ඉන්දීය සංචාරය නිමකර පැමිණි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්.

උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය (18) වැනිදා ප්‍රකාශ කළේය.

සියයට 6ක බද්දකට යටත් වන පරිදි පෞද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව රුපියල් ලක්ෂ එකහමාරක මාසික වැටුපක් ගන්නා අයකුගෙන් සියයට සියයක් බදු නිදහසක් වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. රුපියල් ලක්ෂ දෙකක වැටුපක් ගන්නා අයකුගේ බද්ද සියයට 71කින් නිදහස් වන අතර ලක්ෂ දෙකහමාරක වැටුපක් ගන්නා අයකුගේ බද්ද සියයට 47කින් නිදහස් වේ. එමෙන්ම රුපියල් ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද සියයට 25කින් නිදහස් වේ. රුපියල් ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්නා කෙනකුගේ බද්ද 25.5%කින් නිදහස් යැයිද හෙතෙම පැවසීය.

මේ අනුව වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබා ගන්නා අයට වැඩි සහනයකුත් හිමි වන පරිදි උපයන විට ගෙවන බද්ද සංශෝධනය කර ගැනීමට සමත් වූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

උපයන විට බදු සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් අතර විශාල කනස්සල්ලක් තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, බැංකු නිලධාරින්ට මේ පිළිබඳව දැඩි කනස්සල්ලක් පැවැති බවද කීවේය.

එමෙන්ම ලබන වසරේ පෙබරවාරි 1 දා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කීවේය.

වසර 2028 වන විට නැවත ණය ගෙවීමට සිදු වන බැවින් රට යළි බංකොලොත් වනු ඇතැයි මතයක් රටේ පවති. 2028 වන විටත් තිබෙන්නේ අපේ ආණ්ඩුවක් බැවින් යළි කිසි දිනක 2022 – 2023 වැනි තත්ත්වයක් රටේ ඇතිවීමට ඉඩ නොදෙන බවටත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

මේ අතර ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු (Droupadi Murmu) මහත්මියගේ ආරාධනාවක් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරය පසුගිය (17) වැනිදා  අවසන් වූයේ ද්වීපාර්ශ්වික එකඟතා හා අවබෝධතා රැසක් ඉතිහාසයේ සනිටුහන් කරමිනි.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ජනාධිපතිවරයා සිදු කළ පළමු විදෙස් නිල සංචාරයේදී ශ්‍රී ලංකාවට වාසි ගෙන දෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර සංචාරක, කෘෂි, ඩිජිටල්, ධීවර, බලශක්ති වැනි ක්ෂේත්‍ර ගණනාවක වාසි රැසක් මෙරටට ලැබී තිබේ.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉන්දීය බලධාරීන් විසින් ඉකුත් 15දා ඉමහත් හරසරින් පිළිගනු ලැබිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය මඟින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි නුවර ප්‍රධාන වටරවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ ඉන්දීය අගමැතිවරයාගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

මේ සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිනිය, අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද හමු විය.

ජනාධිපතිවරයා නැවති සිටි නවදිල්ලි නුවර අයිටීසී මයුරා (ITC MAURYA) හෝටලය වෙත ඉන්දීය මුදල් හා ආනයනික කටයුතු පිළිබඳ ඇමැති නිර්මලා සීතාරාම්, විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර්, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවල් මහත්ම මහත්මීන් එදිනම පැමිණ හමුවූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නි‍ෙවස වන රාෂ්ට්‍රපති භවන්හිදී පසුගිය (16) වැනිදා පැවැත්විණි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා අශ්වාරෝහකයන් පෙරටු කර ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවාගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාළියේ හරසර පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් එක්ව සිටියහ.

මෙම නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය. ජනාධිපතිවරයා වීමෙන් පසු සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත්වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපතිවරයා අමුත්තන්ගේ පොතේද අස්සන් තැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හයිද්‍රාබාද් මැදුරේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් මෙරට ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා ඉදිරියේ හුවමාරු කෙරිණ. මින් පසුව දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හීදී පෙරේදා (16) වැනිදා පස්වරුවේ හමුවූ අතර සුහඳ සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරයාට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමුණි.

එමෙන්ම ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා ද හමුවී ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුභ පැතුම් පිරිනැමුවේය.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද මෙහිදී පැවැත්විණි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවරදී පෙරේදා (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද හමු වී සාකච්ඡාවක නිරත විය.ආයෝජනවලට මෙරට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේආයෝජන කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළේය.පසුව ජනාධිපතිවරයා බුද්ධගයාව වැඳ පුදා ගැනීමට ද පසුගිය(17) වැනිදා එක් වූහ.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත්, කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරු එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *