වාත්ස්‍යායනගේ කාමසූත්‍රයේ කාම මිථ්‍යාව සිරිලාල් කොඩිකාර ශුරීන්ගේ ඇසින්, සක් දෙව් ගඳඹ පන්සිළු

වාත්ස්‍යායනගේ කාමසූත්‍රයේ කාම මිථ්‍යාව

(‘ලංකාදීප’ වෙබ් අඩවියට ශෂී ප්‍රභාත් රණසිංහයන් සකසන ‘මතුමහල’ සාහිත්‍ය අතිරේකයෙහිද මේ ලිපිය ඔබට හමුවෙයි.)

පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ ජන්ම ශත සංවත්සර උලෙළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යොදා ගෙන තිබුණේ2017 මාර්තු මස 03 වැනි දිනටය.ඒ නිමිත්තෙන් සමස්ත ලංකා කවි සම්මේලනය ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂිත පී. බී. කිවියර – සියවස් හරසර’ නමැති සමරු කලාපයේ සංස්කරණය පැවරුණේ කෘතහස්ත මාධ්‍ය වේදියෙකු මෙන්ම ගත්කරුවෙක්ද වූ මා මිත්‍ර පී.ඇම්. සේනාරත්නයන් හටය.එම පොතට ඇතුළු කිරීම සඳහා කීර්තිමත් ලේඛක, කිවියර සිරිලාල් කොඩිකාරයන්ගෙන් පී.බී.කිවිඳුන් ගැන කාව්‍ය රචනයක් ලබාගැනීමට අවශ්‍ය වූයෙන් ඔහු හමුවීමට යෑමට සේනාරත්නයෝ මට වෙසෙස් ඇරයුමක් කළහ. සිරිලාල් කොඩිකාරයන් මගේ අතිශය හිතෛෂී මිත්‍රයෙකු බව සේනාරත්නයන් ඉතා හොඳින් දන්නා හෙයිනි. මගේ කුලුපග මිත්‍ර සිරිලාලුන් කලකට පසු දැකීමේ බලවත් ස්නේහ උපන් හෙයින් මම ගමනට එකහෙළා එකඟ වීමි.

අප දෙදෙනා සිරීගේ නිවසට ගියේ 2017 පෙබරවාරි 16 වැනි බෘහස්පතින්දා දිවා කලය. ඒ වන විට ඔහු 93 වියේ පසු විය. ඔහු 1924අගෝස්තු 24 වැනිදා උපත ලද්දෙකි. එදා අප දෙදෙනා සිරීගේ කාමරයට ඇතුළු වන විට දුටු චිත්තාහ්ලාද ජනක දර්ශනය එක් වරම මගේ සිහියට නැංවූයේ ලෝකප්‍රකට ප්‍රංශ නවකතාකරු VictorHugo(1802-1885)ගේ විශිෂ්ට ආප්ත වාක්‍යයකි.Victor Hugo යනු

අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ පරිවර්තනයක් වන ‘මනුතාපය’ කෘතියට පාදක වුණු

‘Les Miserables'(1862) නමැති මුල් ප්‍රංශ නවකතාවේ කතුවරයාය. ඒ ආප්ත වාක්‍යය මෙසේය.

“Forty is the old age of youth.Fifty is the youth of old age” එභි අරුත මෙසේ සිංහල පැදි දෙපෙළකට නඟා දක්වමි.”හතළිහ මහලු කාලය වෙයි තරුණ වියේ

පනහා තරුණ කාලය වෙයි මහලු වියේ”‘මහලු වියේ තරුණ කාලය’ යනු පරිණත ඥාන තාරුණ්‍යය මිස අන් කවරක්ද? මිනිසාගේ පරම ආයුෂ වසර 100 සේ ගෙන එය දශක දශකයකට බෙදා දක්වන විග්‍රහයක් බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

මන්දෝ ඛිඩ්ඩා ච වණ්ණා ච

බලා පඤ්ඤා ච හායනා

පබ්භාරා ච පවංකා ච

මෝමූහා සයනා දස

ඒ අනුව පිළිවෙළින් මන්ද (පළමු 10 විය); ඛිඩ්ඩා (ක්‍රීඩාවෙන් ගෙවෙන 20 විය); වණ්ණ (හැඩ රුවැති 30 විය); බල (සිරුරු බලැති 40 විය); පඤ්ඤා (නුවණ මේරූ 50 විය); හායන (පිරිහීම ඇරඹෙන 60 විය); පබ්භාර (කෙළින් ඉන්න බැරි 70 විය); පවංක (වක ගැහෙන 80 විය); මෝමූහ (සිහි මුළා 90 විය); සයන (ඇඳට වැටෙන 100 විය ) යනු එම දශක දශකය වෙයි.

බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන එම දශක දශකය පිළිබඳ විග්‍රහය අනුව පස් වන දශකය හෙවත් 50 වන විය හැඳින්වෙන්නේ ‘ප්‍රඥා’ දශකය නමිනි. එය වනාහි ඉහත දැක්වුණු Victor Hugo ගේ ආප්ත වාක්‍යයේ පූර්ව ප්‍රකාශයක් වැනිය. එහෙත් අපේ රටේ විශ්‍රාම ගැන්වීම සිදුවන්නේ මේ ප්‍රඥා දශකයේය.

දශක දශකයට අයත් එක් එක් දශකය හැඳින්වෙන නාම ව්‍යවහාර අනුව නම් එදා සිරිලාල් කොඩිකාරයන් සිටිය යුත්තේ ‘මෝමූහ’ හෙවත් සිහි මුළා දශකයේය. 90 වන විය ‘මෝ මූහ’

නම් වන හෙයිනි.එහෙත් සිරිලාලුන් තවමත් පසු වනුයේ ප්‍රඥා දශකයේ බව සනාථ කළේ අප දෙදෙනා දුටු පෙර සඳහන් කළ හද ඔද වඩවන චිත්තාහ්ලාද ජනක දර්ශනයමැයි.

සිරිලාල්හු හාන්සි පුටුවේ ඇලවී කන්නාඩියකින්ද තොරව වාත්ස්‍යායනගේ ‘කාම සූත්‍රය’ කියවති.

කාමරයට පිවිසුණු දෙදෙනා ඔහුගේ අවධානයට ලක් නොවෙති.මෙහෙකාරිය අප පැමිණ සිටින බව

ඔහුට සැල කර සිටී. ඉන් පසු අප දෙදෙන හැඳිනගත් ඔහු හඬ නඟා සිනාසී හෙමින් නැඟී සිට අප බදා වැලඳ ගනියි.පසුව කාම සූත්‍රය පොත අතට ගත් ඔහු එය රචනා කළ වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත නිර්දය ප්‍රහාරයක් එල්ල කළේ තමා තවමත් ප්‍රඥා දශකය ඉක්මවා නොමැති බව නියත ලෙස සනාථ කරමිනි.

“මේකට ‘කාම සූත්‍රය’ කියල කිව්වට මොකද මේකෙ කාමය තියෙන්නෙ බොහොම ටිකයි. වැඩියෙන් තියෙන්නෙ අර්ථ,ධර්ම, මෝක්ෂ.ඒ වුණාට ‘චතුර්විධ පුරුෂාර්ථ’ අතරෙන් “කාමය’ තමයි සාහිත්‍යය,සංගීතය,නාට්‍යය ආදි කලාවන්ගෙ පහළවීමට මුල් වුණේ.”

කාම කලාව අරබයා සම්පාදිත පැරණි භාරතීය ග්‍රන්ථවල සාරය ගැබ් කොට විරචිත ග්‍රන්ථයකි ‘කාම සූත්‍රය’. කාමාස්වාදය මුල් කරගත් විධි නියමයන් මෙහි ලා ‘සූත්‍ර’ නාමයෙන් හැඟැවුණු බැව් සිතිය හැකිය. මෙය වාත්ස්‍යායන නම් ආචාර්යවරයාගේ කෘතියකි. ඔහු විසූ කාලය අවිනිශ්චිතය. එහෙයින් ‘කාම සූත්‍රය’ බිහිවුණු කාලයද අඥාතය.

ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යනුවෙන් දැක්වෙන්නේ සතර පුරුෂාර්ථයෝය. මෝක්ෂාදි පුරුෂාර්ථයන්ට ශාස්ත්‍රයක් අවශ්‍ය වේ නම් කාම පුරුෂාර්ථයටද වෙසෙස් ශාස්ත්‍රයක් අවශ්‍ය බව භාරතීයෝ කල්පනා කළහ. ශෘංගාර රස ප්‍රධාන සාහිත්‍ය, සංගීත, චිත්‍ර, මූර්ති ආදි කලාවන් පවතින්නේ කාම ශාස්ත්‍රය පාදක කොට ගෙනය. රමණයෙහි යෙදෙන ස්ත්‍රී පුරුෂයන්ගේ විවිධ විචිත්‍ර රමණ විලාස විධිවලට (Erotic Postures)

‘කාම සූත්‍රය’ වෙසෙස් තැනක් දී ඇත. ඒවා එහි හැඳින්වෙන්නේ ‘ආසන බන්ධ ක්‍රම’ යන නමිනි. මධ්‍යම ඉන්දියාවේ පිහිටි කජුරාහෝ දේවාල සමූහයට අයත් ගොඩනැගිලි බිත්තිවල අඹන ලද එකී කාම සූත්‍ර ආසන බන්ධ විලාස පිළිබිඹු කරන මනමෝහන මූර්ති කැටයම් අදත් දැකිය හැකිය. ඒවා වූකලී ආදි භාරත මූර්ති කලාවේ පරම නිර්මාණ ප්‍රාතිහාර්යෝ වැනියහ.

‘කාම සූත්‍රය’ අරබයා සිරීගේ මුවින් පිටවුණු ඒ නිවහල් එඩිතර ප්‍රකාශය වහා මගේ මතකය ගෙන ගියේ මගේ ගෙදර ලියන කාමරයේ ෆයිල් කුසක් තුළ කලක පටන් ප්‍රසූතිය පතමින් විලි වේදනා විඳින පරිවර්තිත ලිපි සමුච්චයකට අයත් එක්තරා එඩිතර ලිපියක් වෙතය. මවිසින් සිංහලට නගන ලද එම සියලුම ලිපි කීර්තිමත් ඉන්දියානු ලේඛක, අදීන මාධ්‍යවේදී කුෂ්වාන්ත් සිං ගේ ප්‍රබල මිසයිල ප්‍රහාරයන්ය. කා විනාශ කර දමනු වෙනුවට ඒ ලිපි මෙතෙක් පණ මෙන් රැකි කාවෝ, වේයෝ, මීයෝ මගේ සංසාර නෑයෝ නොවන්නෝද?

කුෂ්වාන්ත් සිං යනු ඉන්දියාවේ කීර්තිමත් සන්නිවේදකයෙකි. ප්‍රශස්ත ලේඛකයෙකි. නිවහල් මනසකින් යුත් කුෂ්වාන්ත් සිං සන්නිවේදකයෙකු ලෙස අඛිල භාරතීය ආකාශ්වාණියට බැඳීමත් සමග විශිෂ්ට වෘත්තියක ආරම්භය සිදුවිය. එතැන් සිට ඔහු ඉන්දියාවේ කීර්තිමත් පුවත්පත් රාශියක කර්තෘත්වය හෙබවීය. එසේම ලේඛකයෙකු වශයෙන්ද ඔහු ඉන්දියානු සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් සිදු කර ඇත. Train to Pakistan, Company of Women යන සුප්‍රකට කෘති ඇතුළු නවකතා, කෙටිකතා හා පරිවර්තන මෙන්ම ප්‍රබන්ධ ගණයට නොවැටෙන කෘතිද ඔහුගේ එකී සාහිත්‍යය සේවයෙහි විපුල ඵල වෙයි. විවිධ සම්මානයන්ගෙන් පුද ලද ඔහුට 1974 වසරේදී ඉන්දියානු ජනාධිපතිවරයා විසින් ‘පද්මභූෂණ’ සම්මානය පිරිනමන ලදී. එහෙත් ඒකාබද්ධ ආණ්ඩුව විසින් අම්රිත්සාරයේ රන්දෙවොල ආක්‍රමණය කරන ලද අවස්ථාවේ ඊට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන් 1984 වසරේදී ඔහු එකී සම්මාන පදක්කම ආපසු ආණ්ඩුවට භාර දුන්නේය.

කුෂ්වාන්ත් සිං ගේ ඉහත මා සඳහන් කළ එම එඩිතර ලිපියෙන් ඔහු ‘කාම සූත්‍ර’ ග්‍රන්ථ කර්තෘ වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයයි මේ! එය කියවන කෙනෙකු තුළ අපේ සිරිලාලුන්ද කුෂ්වාන්ත් සිං ගේම නැකතින් උපන්නෙක් නොවේදැයි යන හැඟීම හට ගතහොත් එය කවර අරුමයක්ද!

“මා මෙතෙක් කියවා ඇති අමනම, අවිද්‍යාත්මකම කාම විද්‍යා ග්‍රන්ථය

වාත්ස්‍යායනගේ කාම සූත්‍රයයි.ඔහු විසින් ගැහැනුන් හා පිරිමින් වර්ගවලට බෙදා ඇත්තේ තම තමාගේ ජනනේන්ද්‍රියවල ප්‍රමාණය අනුවය.මෙහි කිසිම පදනමක් නැත.පිරිමින් සා, අශ්ව සහ ගව යෝනි වශයෙනුත් ගැහැනුන් මුව, වෙළඹ සහ ඇත් යෝනි වශයෙනුත් ඔහු වර්ග කර ඇත්තේ ගැහැනු – පිරිමි කායික සම්බන්ධය පිළිබඳව තමා කරන විග්‍රහය පදනම් කර ගනිමිනි.මෙය අත්‍යන්ත අත්තනෝමතික වර්ග කිරීමකි.

“ගැහැනු – පිරිමි සමීප කරන සෑම ක්‍රියාවක්ම පාහේ ගණනය කිරීමට ඔහු දක්වන අභිරුචියද එසේමය. 64 සංඛ්‍යාවෙහි ඔහුට එක්තරා ආකාරයක ගුප්ත වැදගත්කමක් ඇත. චතුර්වර්ණයන් විසින් කඩ නොකළ යුතු කුල චාරිත්‍ර 64ක් ඔහු පෙළ ගසා ඇත්තේ මනු නීතිය අනුව යමිනි. මේ ගණයේ නිබන්ධයක් අද කා හට නම් බරපතළ කෘතියක් ලෙස පිළිගත හැකිද?

‘කාමසූත්‍රය’ හොඳ කාමාස්වාද ජනක ග්‍රන්ථයක්ද නොවේ.එය මුළුමනින්ම අමන වූත් බොහෝ විට හාස්‍ය ජනක වූත් කෘතියකි. ඊට අනුග්‍රහ පිණිස පැවසිය හැකි එක් දෙයක් ඇත. එනම් එය ගුප්ත යුගයට අයත් ස්වර්ණ යුගය උදාව පැවති ක්‍රි:ව:04 වන සිය වසට සමීප කලක සම්පාදනය වූ බවය. එසේම එකල පැවති නිදහස් විවෘත සමාජය පිළිබඳ යම් කිසි අදහසක් එමගින් පාඨකයාට ලැබෙන බවය. රටේ නොයෙක් තැන්වල ශෘංගාරාත්මක ප්‍රතිමා කලා සහ චිත්‍ර කලා සශ්‍රීකව පැවතුණේද මේ කාලය තුළය.”

කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.

සියළු හිමිකම් රචකයා සතුය.

https://www.facebook.com/karunarathna.amarasinghe.3

සක් දෙව් ගඳඹ පන්සිළු

මගේ ප්‍රිය රසිකයෙකු හා ළෙන්ගතු මිතුරෙකු වන චන්ද්‍රරත්න බණ්ඩාරයන් මා “චරණ” රූප වාහිනියේ “කවි 10යට ගී10යි” වැඩසටහනේදී හෙළි කළ සක් දෙව් ගඳඹ පන්සිළු පිළිබඳ පුවත F B රසික අවධානයට යොමු කිරීම අගය කරමි. පාලි සාහිත්‍යය හුදු බණකතා සාහිත්‍යයක් පමණකැයි සිතන වත්මන් ගිහි පැවිදි තරුණ පරපුරේ ඇස් ඇරවීමට ඉන් මඟ පෑදෙන හෙයිනි. ශෘංගාර රසාලිප්ත මුළු පන්සිළු ගී පෙළම සිංහල කවියට නඟා මා මෙසේ ඔබට ඉදිරිපත් කරන්නේ ඊට අනුබලයක් වශයෙනි. රාධාවගේ හා කෘෂ්ණයන්ගේ පරම රමණීය රමණ රංගන වර්ණිත ජයදේව කිවිඳුන්ගේ ශ්‍රුති රම්‍ය ගීත ගෝවින්ද කාව්‍ය රත්නය සිහිගන්වන සුළකල මියුරු පද වැලෙන් බැඳි මේ පැදි පෙළ අපේ

පාලි සාහිත්‍යයේ හමුවන විශිෂ්ට රචනයකි. සංස්කෘත සාහිත්‍යයට අයත් මුඛ්‍ය කාව්‍ය විචාර ධාරාව වන ‘රසවාදය’ බෞද්ධ යතිවරයන්ට ප්‍රගුණ කරවීම සඳහා “සුබෝධාලංකාරය” නමින් විරචිත උත්කෘෂ්ට පාලි අලංකාර ග්‍රන්ථයක් අප සතුව පවත්නා බව පවා දන්නවුන් වත්මන් වැඩිහිටි පැවිදි පඬි පරපුරේද ඇත්තේ අතළොස්සකැයි සිතමි.

මේ පන්සිළු පුවත හමුවන්නේ දීඝ නිකායේ ‘සක්ක පඤ්හ’ සූත්‍රයෙහිය. එක් කලෙක බුදුන් වහන්සේ ඉන්දසාල නම් ගුහාවේ වැඩ වෙසෙති.එවිට සක් දෙවිට උන්වහන්සේගෙන් ප්‍රශ්න විචාරීමට අවශ්‍ය වෙයි. ඉක්බිති ඔහු සිය ගඳඹ පන්සිළු කැඳවා මෙසේපවසයි.”ගඳඹ පන්සිළුව,බුදුන් හමුවට මා එක්

වරම නොයා යුතුය. ඔබ පළමුව ගොස් ඊට සුදුසු පරිසරය සදා ලනුව” ඉක්බිති ඉන්දසාල ගුහාව වෙත ගිය පන්සිළු බුදුන් හමුවෙහි එකත්පස්ව හිඳ තම බේලුව පණ්ඩු වීණාව වයමින් මේ ගීය ගයයි.

ළා හිරු මඬල මෙන් රැස් විහිදෙන බඳැතී

මා සිත සතුට පොබයන සොඳුරියෙ රුවැතී

මේ ලොව ඔබේ දිවි බිහි කළ පින අයිතී

ඒ ඔබෙ පියා නමඳිමි තිම්බරු නමැතී

ගිමනින් දැවෙනවුන් හට ඇල් පවන් මෙන

පවසින් පෙළෙනවුන් හට පැන් පොදක් මෙන

රහතුන් හැමට ලොව්තුරු දම් රසක් මෙන

සැනසෙම් ළඳුනි මම් ඔබගෙන් කැලුම් දෙන

රෝ දුක ඇති අයට සුව දෙන ඔසුව මෙන

සා දුක ඇති අයට රස පිරි බොදුන මෙන

ආලය වඩන්නියෙ රුව දිළි ළහිරු මෙන

මා සිත නිවනු දිය ඉස ගිනි නිවන මෙන

නොහිම් ගිම් තැවුල් ගත් ඇතෙකු හණිකට

පියුම් රොනැති සිහිලැල් දියැති විලකට

එගිම් නිවා ගැන්මට බසින විලසට

බසිම් ඔබ දෙතන අතරට බඩතුරට

කන් පා පෙළන අංකුස ඇනුම් නොතකන

මද මත් ඇතෙකු විලසින් කිසිත් නොදැනෙන

මන් මත් වූ බැවින් ඔබෙ ළකල් වටොරින

කම් පල විපා හැම මගෙ සිතින් ගිලිහිණ

ඇලුනෙම් සිතින් ඔබටම මම සෙනෙහසිනී

එතරම් ඇලුණු සිත දැන් විකලව ගොසිනී

බිලියෙහි රැඳුණු මසෙකුට සම වන ලෙසිනී

පසුවෙයි සිත මිදෙනු නොහැකිව ඔබ වෙතිනී

සොඳ වටොරැති සොඳුර මා වැලඳ ගනු මැන

අඩ බැල්මෙන් බලා මා වැලඳ ගනු මැන

කලණියෙ අත නෑර මා වැලඳ ගනු මැන

එයමය මා පැතූ එක පැතුම හැම දින

රැළි වරලින් සැදි ඔබ රුව දැක ළඳුනේ

ආසා බින්දුවකි පළමුව හට ගැනුණේ

නොසිතූ විරූ ලෙස එය දින දින වැඩුණේ

රභතෙකු හට පිදූ දානෙක පල ලෙසිනේ

එවන් උතුම් රහතුන් හට බැති සිතින

මා කළ පින්කමක් ඇත්නම් පල දරන

පිය කලණියේ හැම අඟ පසඟින සොබන

එපින් පල විඳිමු එකටම අපි දෙදෙන

මේ මිහිමඬලෙ වසනා කල මගෙ අතින

සිදුවුණු පින්කමක් ඇත්නම් පල ලබන

පිය කලණියේ භැම අඟ පසඟින සොබන

එපින් පල විඳිමු එකටම අපි දෙදෙන

දැහැනින් එකඟ වුණ සිහි නුවණ සමගින

මුනිඳුන් සැරිසරන මෙන් නිවන සොයමින

ළා හිරු මඬල විලසින් සිරුර බබළන

සොඳුරියෙ මමද සරනෙමි ඔබම සොයමින

මුනි උතුමන් කෙලෙස් මල මුලින නසමින

සොම්නස් වූ සේම බුදු පදව් ලැබගෙන

එක් වන්නට ලැබීමෙන් සොඳුර සමගින

සොම්නස් වෙම් මමත් ඒ මුනිඳු විලසින

දෙදෙව්ලොවට අදිපති සක් දෙවියන්ම

දුන්නත් දෙව් රජය වරමක් විලසින්ම

අතහැර දමමි එය සොඳුරිය පතමින්ම

මසිතෙභි කම් පවස දැඩි වෙයි එතරම්ම

නුවණින් සපිරි රූ සිරි මනරම් ළඳුනී

කිසියම් පියෙකු හට ඔබ වුණි නම් දුවණී

සල් වනයක් සදිසි මල් පිපි කල් ගොසිනී

ඒ ඔබෙ පියාණන් මම් නමඳිම් බැතිනී

ගැයුම අවසන බුදු හිමියෝ පන්සිළු අමතා මෙසේ වදාළ සේක. “පන්සිළුව,ඔබේ වෙණ සර ගී සර සමගද ගී සර වෙණ සර සමගද මනාව සැසඳේ.ඔබේ වෙණ සර ගී සර ඉක්මවා නොයයි. ගී සරද වෙණ සර ඉක්මවා නොයයි.පන්සිළුව ,මේ ගීය බුදුන්, දහම්, රහතුන් හා කාමය ඇසුරින් ගෙතුණකි.

මෙය ඔබ කවදා ගොතා ගැයූවක්ද?”

එවිට පන්සිළුහු මෙසේ පැවසූහ. “ස්වාමීනි! බුදු වුණ මුල් කාලයේ ඔබ වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජරා ගංතෙර අජපල් නුග රුක මුල වැඩ සිටි සේක.එකල භද්‍රා නම් සොඳුරු යුවතියක් ළහිරු මඬල සේ දිළෙන සිරුර නිසා සුරිය වච්චසා නමින් ප්‍රසිද්ධ වූවාය. තිම්බරු නම් ගන්ධර්ව රජුගේ දුව වන ඇයට එකල මම පෙම් කළෙමි. එහෙත් ඕ පසු වූයේ සක් දෙව් රියකරු මාතලී පුත් සිඛණ්ඩි කෙරෙහි උපන් පිළිබඳ සිතකිනි. එය දැනගත් මම මගේ බේලුව පණ්ඩු වීණාව ද රැගෙන තිම්බරු ගන්ධර්ව මැඳුර අසලට ගොස් එය වයමින් මේ ගීය ගොතා ගැයීමි”

කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.

සියළු හිමිකම් රචකයා සතුය.

https://www.facebook.com/karunarathna.amarasinghe.3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *