යුරෝපා සංචාරයක මතකය
ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි.
අපි සමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ.
Royal Observatory
රාජකීය තාරකා විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්‍රයේ තිබෙන ග්‍රිනිච් මධ්‍ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් ඒ සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්.
රාත්‍රී කාලයට ඒ රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය ඒ අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන ඡეයාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40 ක තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 ට පහලට වැටෙනවා. පැයක කාලයකට පස්සෙ ආයෙමත් දවල් 1 ට එය නියමිත තැනට එසවෙනවා.
Greenwich Area
ග්‍රිනිච් ලන්ඩන් ප්‍රදේශයේ තිබෙන වැදගත් සංධිස්ථානය ඔබට තේම්ස් ගග යටින් තිබෙන බිම්ගෙයින් ගගේ අනිත් පැත්තට යන්න පුළුවන්. තේම්ස් නදියේ අසිරිය බලන්න සංචාරක බෝට්ටුවක් ගන්නත් මෙතැනදීම ඔබට පුළුවන්. ගගට ඉහලින් යන ගොන්ඩෝලාවකින් අවට සිරි බලන්නත් පුළුවන්. Blackwall බිම්ගෙය හරහා වාහනයකින් අනික් පැත්තට යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලන්ඩන් Tube දුම්රියෙන් ලන්ඩන් නගරයේ ගමනාන්තවලට යන්නත් පුළුවන්.මේ ප්‍රදේශයේ තිබෙන සුවිසල් උද්‍යානය විවේක සුවය සදහා සියළු පහසුකම් දනවන කදිම පරිසරයක් හින්ද ඇවිදින්න , බයිසිකල් පදින්න, තණ නිල්ලේ වැතිර ඉන්න වගේම ගහක් යට බංකුවකට වෙලා පොතක් කියවන්න වුණත් නියමයි.
National Maritime Museum
1937 දී ආරම්භ කල මේ කෞතුකාගාරය 6 වන ජෝර්ජ් රජතුමා විසින් විවෘත කල බ්‍රිතාන්‍ය නාවික ඉතිහාසය පෙන්වන සුවිශේෂ තැනක්. ලෝකයේ නාවික ඉතිහාසයේ ඉතා සුවිසල් තැනක් හිමිකරගෙන සිටි බ්‍රිතාන්‍ය නාවික අංශ භාවිතා කල විවිධ උපකරණ, චිත්‍ර සහ නොයෙකුත් දෑ ඔබට මෙහිදී බලන්නට පුළුවන්. මේ පරිශ්‍රය නොමිලයේ බලන්න පුළුවන්. ඔබට කැමති නම් වෙබ් අඩවියට ගිහින් මේ සදහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගන්න පුළුවන්. ඒ ගමනටම ලගම තියෙන බ්‍රිතාන්‍ය රජ පවුල පාවිච්චි කල Queens House එකතු කරගන්න පුළුවන්.
ගමන් වෙහෙස නිසා ළගම තියෙන ග්‍රිනිච් නගරයේ ස්ථාන කිහිපයක් බැලූ හින්ද හවස් වරුවේ දුම්රියෙන් අපි ගියේ කථා හතක් තිබෙන Harry Potter ප්‍රබන්ධ කථා මාලාවේ මතක රැසක් එකතුකර තිබෙන තැනක් බලන්න. මතක් කරගන්න Harry Potter කථා මාලාවේ රසිකයෙක් නම් ලන්ඩනය ආශ්රිත බොහෝ ස්ථාන නාම ඔබට සිහියට නැගේවි.
The Warner Bros. Harry potter Studio Tour
මුලින්ම Harry Potter කථා මාලාව චිත්‍රපටයට නැගුනේ 2000 වසරේදී. එතැන් පටන් විවිධ පසුතල වල රූපගත කෙරුණු කථාමාලාව 2010 දී කල මේ වනවිට අවසන් Harry potter and deathly hallows Part 2 චිත්‍රපටය දක්වා දිගටම ඇදුනා. චිත්‍රපටය සදහා භාවිතා වූ සියළු දේ එක්තැන් කරමින් වෙනමම පරිශ්‍රයක් තැනීමේ අදහස වෝනර් සමාගමට ඇතිවී තිබුනේ ඒ කාලයේදී. ඒ අනුව Leavesden ප්‍රදේශයේදී මේ මධ්‍යස්ථානය සකස් වුනේ 2012 වසරේදී. ඔබ පොදු ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරන්නේ නම් Watford Junction දුම්රිය ස්ථානය අසලට ගිහින් එතැන ඉදන් ක්‍රියාත්මක වන විශේෂ බස් සේවාවෙන් මෙතැනට එන්න පුළුවන්.
Hogwarts Express දුම්රිය , Platform 9 ¾ මගේ මතකය අළුත් කලා. පටු Diagon alley වීදිය ආයෙමත් මාව කථාවට ගෙනගියා. Great Hall, Forbidden forest අතරින් අප ඇවිද ගියේ කථාවට යොදාගත් ඇදුම් ආයිත්තම්, උපකරණ ජීවමාන අයුරින් දකිමින්. මේ පරිශ්‍රයේදී චිත්‍රපටවලට මැවූ පසුතල හා කථාව ඔබට ජීවිතයේ එක් වරක් පමණක් ලබන්නට හැකි අත්දැකීමක් එකතු කරනවාට කිසිම සැකයක් නැහැ. කලින්ම මේ සදහා වෙලාව වෙන්කරවා ගැනීම හොද වෙන්නෙ මෙය ඉතාමත්ම ප්‍රකට සංචාරක ආකර්ශනයක් හින්ද. ආයෙමත් දුම්රිය ස්ථානයට ආව අපි රෑ වෙනකොට නවාතැනට ආවා.
ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට
කැනේඩියානු සංචාරයක මතකය
කැනඩාවේ පලාත් අතරින් 4 වන විශාලතම පලාත විදිහට සැලකෙන්නේ වර්ග කිලෝමීටර 1,076,395 ක බිම් කඩක් වසා පැතිර පවතින අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතයි. පංච මහා විල් අතරින් 4 ක කොටස් ඇමෙරිකා එකසත් ජනපදය සමග සහයෝගයෙන් බෙදා ගන්නා කැනඩාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 10.8 ක් මේ පලාතට අයිතියි. මේ මුළු ඉඩෙන් 3/4 ක ප්‍රදේශය සැලකෙන්නේ උතුරු ඔන්ටාරියෝව ( Northern Ontario ) කියලයි. ජන ගණත්වය ඉතාම අඩු , ජලපෝෂක රක්ෂිත සහ පලාත් උද්‍යාන ලෙසින් සංරක්ෂණය වන මේ කලාපයේ ජීවත්වන්නේ ඔන්ටාරියෝ ජනගහණයෙන් සියයට 25 කටත් අඩු පිරිසක්. දිගු වාහන ගමනකට පස්සෙ අපි මේ ඇවිත් ඉන්නෙ ඒ නිස්කලංක පරිසරයේ අසිරිය බලන්නයි.
මේ වනවිට ඔන්ටාරියෝ නමින් හදුන්වන පලාත යුරෝපීයන් අත්පත් කරගන්නට පෙර අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වදේශික ගෝත්‍ර කිහිපයක් මේ සම්පත් බොහොම පරිස්සමින් පාවිච්චි කර තිබුනා. අදත් ඒ කලාපයේ බොහෝ ඉඩම් පාලනය වන්නේ First Nations මගින්. ඒ වගේම අඩු මාර්ග සහ යටිතල පහසුකම් සහිත ඒ ප්‍රදේශ බාහිර ලෝකය සමග එක් වන්නේ අඩුවෙන්. අදටත් ඔන්ටාරියෝ පලාතේ මාර්ග නැති සමහර ප්‍රදේශ තිබෙනවා.ඒ හින්ද අපේ ගමනට අයත්වුණු කලාපයට අපි ගියේ Trans Canada Highway එක දිගේ. කුඩා ගම් , නගර, ස්වදේශික කලාප යා කරමින් ඒ ප්‍රදේශයට යන එකම ප්‍රධාන මාර්ගය වුනු හින්ද එහි වේග සීමාව පැයට කිලෝමීටර 50 ඉදන් 110 වෙනකම් තැනින් තැනට වෙනස් වුනේ එක් පසකට මංතීරු 3 ඉදන් එක දක්වා අඩු වැඩි වෙමින්. හෙමින් ගමන් ගන්නා සමහර වාහනයක් ඉස්සර කරන්නට කිලෝමීටර 10 ක් විතර ඉබි ගමනේ යන්නට වෙන හින්ද සැලසුම් කරද්දී ගමනට වැඩි කාලයක් අයින් කරලා තියෙන එක හොදයි.
ටොරොන්ටෝවේ ඉදන් පැය 7-8 ක රථ ධාවනයකට පස්සෙ අපි ගියේ .Sault Ste Marie නගරයටයි. සුපීරියර් විලෙන් හියුරන් විලට වතුර ගලායන ජල මාර්ගය දැක්කාම ඒ ප්‍රදේශයට මුලින්ම ගිය යුරෝපීයන් වුනු ප්‍රංශ ලොම් වෙළෙන්දන් සහ මිෂනාරීවරු එය නම් කල ශාන්ත මේරි ඇල්ල යන තේරුමින් ඒ නගරයට ඒ නම ලැබිල තියෙනවා. ඇත්තටම කියනවා නම් සුපීරියර් විලෙන් හියුරන් විලට වතුර වැටෙන්න හේතුවෙන්නේ ඒ දෙක අතර තියෙන අඩි 21 ක පරතරය කියලයි කියන්නෙ. Sault කියන වචනය රළ කියන අදහසත් දෙන හින්ද රළ නගමින් වතුර ගලායන මේ ඉසව්වට ඔවුන් ඒ නම දෙන්න ඇති.
ඔන්ටාරියෝ පලාතේ උතුරු මායිම වන Kenora නගරයට තවත් පැය 13 ක ගමනක් තියෙනවා. Thunder Bay වලට නම් තවත් පැය 8 ක්. ඒත් අපි සංචාරය කලේ Wawa නගරයට විතරයි.
Wawa
යුරෝපීයන් සහ ස්වදේශිකයින් අතර ලොම් වෙළද මධ්‍යස්ථානයක් විදිහටත්, රත්රන් සහ යපස් නිධි නිසාත්, දැව කර්මාන්තය නිසාත් ජනාවාස වුනු Wawa නගරයේ තිබෙන ජනප්‍රියම සංචාරක ආකර්ෂණය අඩි 28 ක් උස ලෝහමය Canada Goose ප්‍රතිමාව තමයි. ස්වදේශික Ojibwe භාෂාවෙන් කැනඩා පාත්තයින්ට කියන්නේ Wawa කියල හින්ද උන් බහුල මේ ප්‍රදේශයට ඒ නම ලැබිලා තියෙනවා.
Yong’s General Store කියල කියන්නේ ඒ නගරයේ බලන්නට පුළුවන් තවත් තැනක්. අද වගේ බඩු ගන්නට පහසුකම් නොතිබුණු ඒ කාලයේ ස්වදේශිකයින්ට තමන්ගෙ ලොම් සහ තවත් දේ තමන්ට අවශ්‍ය තුවක්කු, රෙදිපිළි සහ තවත් දේ සදහා හුවමාරු කල තැනක්. අද ක්‍රෙඩිට් කාඩ් පතට ගණුදෙනු කලත් මේ කඩේ අදත් ඔබට ඒ අත්දැකීම සිහිපත් කරාවි.
සුපීරියර් විල ( Lake Superior )
පංච මහා විල් අතරින් විශාලතම විල වන වර්ග කිලෝමීටර් 82,100 ක් විශාල සුපීරියර් විල ඉඩ ප්‍රමාණය අතින් ලෝකයේ තිබෙන විශාලතම මිරිදිය විල විදිහට සැලකෙනවා. ලෝකයේ මතුපිට තිබෙන ජල ප්‍රමාණයෙන් සියයට 10 ක් එහි තියෙනවා කියලයි කියන්නෙ. සුපීරියර් විල අයින දිගේ ඉදිකර තිබෙන Trans canada Highway මාර්ගය කැනඩාවේදී මා දුටු තවත් ලස්සන Scenic routes එකක්. ඔන්ටාරියෝ පලාත් ආණ්ඩුව මගින් පාලනය වන Lake Superior Provincial park, Batchwana Bay provincial park, Pancake bay provincial park පලාත් උද්‍යාන රැසක් මේ විලට මායිම් වන කැනඩා බිම් කඩේ තිබෙනවා. කලබලකාරී නාගරික ජීවිතයෙන් මිදිලා ගිම්හානයේ දවස් කීපයක් ගත කරන්නට ඇවිදින මංපෙත්, විනෝදයට මාළු අල්ලන්න, බයිසිකල් පදින්න, Canoe, Kayak බෝට්ටු පදින්න, මෝටර් බෝට්ටු වලින් විල ගවේෂණය කරන්න , පිහිනන්න, වෙරළේ අව්ව තපින්න වගේම දින කිහිපයක් කදවුරු බිම් ( Camping ) කරන්නත් අවශ්‍ය සියළු පහසුකම් මේ උද්‍යාන වල අඩු නැතුව තියෙනවා. ඔබ ඒ පැත්තට යනවා නම් එකින් එක උද්‍යානයට දිනපතා ප්‍රවේශ පත් ගන්නවාට වඩා Ontario Parks seasonal Pass ගන්න එක ඔබේ පසුම්බියට ලොකු ඉතිරියක් කරාවි.
Mid point of Trans Canada Highway.
කැනඩා ඔටෝමොබයිල් සංගමය පිහිටවූ වෛද්‍ය පෙරී ඩු ලිටල් (Dr. Perry E. Doolittle) ගේ සිහිනය වුනේ කැනඩාවේ දෙකොන යාවන මාර්ගයක වාහනයකින් යන එක. 1932 දී ඔහු මියගියත් 1962 දී , හැතැක්ම 4860 ක් ( 7476 km) දිග Trans Canada Highway එක ඉදිවුණා. එහි මධ්‍ය ලක්ෂය තිබෙන්නේ මේ ප්‍රදේශයේ Batchwana Bay වලයි. ඒ වෙනුවෙන් ඉදිකල පුවරුවක් ඔබට මේ ගමනේදී දකින්න පුළුවන්.
Lake Superior provincial Park
කැනඩා ඉතිහාසය වර්ණවත් කල සිත්තරුන් 7 දෙනෙකු ( Group of seven) විසින් සිත්තම් කල පරිසර චිත්‍ර හින්ද ලොව දස අත නම පතල වුනු මේ උද්‍යානය වර්ග කිලෝමීටර 1556 ක් විශාලයි. ඒ මැදින් යන Trans canada Highway මාර්ගයෙන් ඔබට මේ සුන්දර පරිසරයේ අසිරිය විදින්න පුළුවන්. මේ උද්‍යානයට තියෙන ඉල්ලුම හින්ද ජනවාරි මාසෙදි කදවුරු බිම් වෙන්කර ගන්නවා වගේම දවස් 5 කට කලින් ඉදන් අන්තර් ජාලයෙන් දිනක සංචාරය සදහා වූ ප්‍රවේශ පත්‍ර ගන්නා එකත් නුවණට හුරුයි. මේ උද්යානය්යේ මගේ සිත් ගත තැන් කිහිපයක් ගැන විතරක් මෙහි සටහන් කරන්නම්.
Agawa Bay Pictographs
විලට මුහුණලා තියෙන සිරස් ගල් පර්වතයක Ojibwe ගෝත්‍රික පිරිස් ඇදි චිත්‍ර මෙතැනදී ඔබට බලන්නට පුළුවන්. වාහන නැවතුමේ ඉදන් කුඩා දුරක් ඇවිදගෙන ගිහින් යකඩ දම්වැල් වල එල්ලිලා විල් දිය ගෑවී නොගෑවී යන ඒ ගමන තරමක් ත්‍රාසජනකයි. දැඩි හුලං තිබෙන දවසක රැළි ඉහළට නැගෙන හින්ද පරිස්සමින් යන එක හොදයි. අප එතැනට ගිය වෙලේ ගෝත්‍රික තරුණයෙක් ඇවිත් බෙරයක් වයමින් යම් යම් දේ කියමින් පූජාවක් වැනි යමක් කරනු අපි දැක්ක හින්ද මෙතැන ගැන ඔවුන්ට යම් යම් විශ්වාස තියෙන බව පේනවා.
Old women bay
මේ ප්‍රදේශයේ වම් අත පැත්තේ තියෙන පර්වත සැකැස්ම හරියට වයසක ගැහැණු කෙනෙකුගේ මුහුණ වගේ පේන හින්ද මේ බොක්කට මේ නම ලැබිල තියෙනවා. එතැන තියෙන වෙරළ තීරය පීනන්න, නිදහසේ අව්ව තපින්න වගේම කිහිප දෙනෙක් එකතුවෙලා පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න අපූරු තැනක්.
Nakomis Trail
කිලෝමීටර 4 ක මේ ඇවිදින මං තීරුව ගල් පර්වත නගිමින් , බහිමින් යන අපූරු ගමනක්. තිබෙන කුඩා රථගාල ඉක්මණින් පිරෙන හින්ද උදේම මෙතැනට ගියොත් හොදයි.
Sand River Falls
අයිස් යුගයේ තිබුණු අයිස් දියවෙලා ගිහින් ඉතිරිවුණු Canadian Shield එකේ පවතින පර්වත විවිධත්වය හොදින් බලාගෙන කදිම දිය ඇල්ලක් බලන්න යන මේ ගමන අපූරුයි. කාලයක් තිස්සේ විවිධ හැඩවලට කැඩුණු පර්වත කැබලි මැද්දෙන් ගලන ගග දිහා බලාගෙන උඩහට ගියාම තියෙන දිය ඇල්ල ඔබට බලන්නට ආසා කරන පරිසරයක් මවනවා.
ඔබට වෙලාව තියෙනවා නම් බලන්න තවත් ගොඩක් දේ තියෙනවා. ඒත් කාලය අපට සීමා පනවන හින්ද අපි නවාතැන් ගන්න හෝටලය වෙන්කරවා ගෙන තිබුණු Saulte Ste Marie වලට යන්න පිටත් වුණා.
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
අනුරුද්ධ වැලිගමගේ