කවි පොතකින් පිටුවක්, බස්සෙක්, බර වාහනයක් සහ කරත්තයක්

අපි තරුකැට යා කරමු අපි කැමති විදිහට

ඔරායන් කියන්නේ උස හීන්දැරී හාදයෙකුට 

කැරළි කොණ්ඩයක් තියෙන 

උරහිසේ ගිටාරයක් එල්ලගෙන බිම බලාගෙන ඇවිදින 

ඉදහිට සිනාසෙන වැඩිපුර කථා නොකරන 

මගෙ මනාපයක් නෑ ඒ හැටිම , අයෝමය රණ ශුරයන්ට ……

කුඩා වලසයි , මහ වලසයි කියන්නෙ ටෙඩි බෙයාර්ල දෙන්නෙක්ට 

වලාකුළු වගේ මෘදුවට දැනෙන , දිලිහෙන රවුම් ඇස් තියෙන 

ඒ කගවේනෙක්, හොදට බලන්න නලල මැද්දාවෙන් අගකට යාවෙන්න 

ඕනෑ තරම් තරු තියෙද්දිත් , වෘෂභයෙක් කියන එක හරි මදි නේද ?……..  

සැදෑ අහසක් යටදි ඔබේ උරහිසක ඉඩ මට දෙන්න 

මං යා කරන්නම් තරුකැට ආදරේ හිතෙන හැඩවලට 

ඇත්තමයි මං බයයි 

වලස්සු , ගෝනුස්සෝ , දඩයක්කාරයෝ බැල්ම දාගෙන ඉන්න 

අහසක් අපි දෙන්න උඩින් තියෙනවට 

අපි දෙන්න ගොඩනගන මේ ලෝකයට , මේ මති මතාන්තර එපා 

ග්‍රීක මිථ්‍යා කථාවල හිරවෙන්න , මටනම් බෑ ඔන්න 

අපි අතර මේ මොහොත සුබම නැකතක් වෙන්න 

අපි තරුකැට යා කරමු අපි කැමති විදිහට ……… 

කවිය – අපි තරුකැට යා කරමු අපි කැමති විදිහට

කිවිදිය  – වින්ධ්‍යා ආරියරත්න

කවි පොත –  මිහිරි මිත්‍යා දෘෂ්ටියක මම

බස්සෙක්, බර වාහනයක් සහ කරත්තයක්

පහුගිය දොහක මං පාන්දර ජාමෙ වැඩ ඉවර වෙලා එලියට ආව, ගෙදර එන්න.

පාන්දර වුනාට, තාමත් කළුවරයි. පොඩි හිරිපොදයකුත්, ඇඟ කිලිපොලන හීතලකුත්

තිබුනා. පැත්තක නවත්තල තිබුන තඩි කන්ටේනර් ට්‍රක් එකේ දොර ඇරුන. ඒකෙන්

බැස්ස සුන්දර ලලනාව, කෝපි මල් හිනාවකුත් දාගෙන කෙලින්ම බස්ස ගාවට ආවා. 

මට පොඩි චකිතයක් ඇති  නොවුනාමත් නෙමෙයි, ඒත් අතේ ලමයෙක් හිටියෙ නෑ,

තිබ්බෙ ෆයිල් කවරයක් 🙂 සාමාන්‍යයෙ ඔය තඩි ට්‍රක් එලවන්නෙ පිරිමි. ඉඳලා හිටලා

මහත-දෙහත පිරිමි වගේ ගෑණුපරාණත් එලවනවා. ඒත් මේ වගේ මටසිලි‍ටු  ඉටි-කිරිස්

කෑලි ට්‍රක් ඩ්‍රැයිවරියො  අඩුයි.

ලඟට ආව කෙල්ල, මගෙන් පෑනක් තියේද ඇහැව්වා. මං නෑ කියලා, පැන්සලක් නං තියේ

කිව්වා. කමක් නෑ, කියලා  පැන්සල ගත්ත කෙල්ල, ස්තූති කරලා , ආයෙත් අර මල් හිනාව

දාලා , මගෙ පැන්සලත් අරං, කදිම පස්ස තාලෙට වන, වන යන්න ගියා. ඊට පස්සෙ

එතන ඉතුරු වුනේ, හෙඩ් ලයිට් වැදිච්ච මුවෙක් වගේ ඇස් දෙකත් ලොකුකරන්, කටත්

බාගෙන ඇරගෙන, ඒ දිහා බලා හිටිය බස්සෙක් විතරයි.

මං ගෑණුත් දැක්කා, මේවගෙ ගෑණු නොදැක්කා …
ඔය ට්‍රක් එලවන වැඩේ තියනව නේද? ඕක හරිම ආතල් ‍රැකියාවක් වෙන්න ඇති

කියලා, මට නොයෙක් වෙලාවල හිතිල තියනවා. පඩිත් ගෙවනවා, රට-තොටත්

 බලාගන්න ගමන්, මඟ දිගට තියෙන  කඩ වලින් බඩ පැලෙන්න කඩචෝරු

කන්නත් ඇහැකි නෙව? පොඩි කොස්සකට තියෙන්නෙ , ගියර් 18 විතර තියනවාලු,

ඔටෝමැටික් එහෙම නෙමෙයි. 

ඉස්සර ලංකාවෙ ඔය ට්‍රක් වල රාජකාරිය කරල තියෙන්නෙ කරත්ත. මෙව්වා

සින්ගල් ඇන්ජින්, ඩබල් ඇන්ජින් කියන මොඩල් දෙකම තිබිල තියනවා.ගමේ

ගොඩේ සිල්ලර වැඩවලට තනි ගොනා බැඳපු කරත්තෙ යොදාගත්තත්, මේ

වගේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගෙන තියෙන්නෙ ගොන්නු දෙන්නා බැඳපු

කරත්ත. සොර සතුරු, වන සිව්පා උවදුරු වලින් බේරෙන්න, මේ  කරත්ත

ගිහින් තියෙන්නෙ  නඩයක් විදිහට. මේ ගැල්කරුවොත්, හොඳ කලාකාරයො.

බලන්නකො කියල තියන කවිවල ලස්සන.

කම්මල තිබෙන තැන පල්ලම   බස්සනවා
යන්නට හෙමින් පිට දීලා       නවතනවා

රයිගම දෙපාවේ පාලම         පසුවෙනවා
කොයි හැටි ගියත් කොතලාවල නවතිනවා

නිරන්තර ගමනේ යෙදිච්ච , ගැල්කරුවන්ගෙ ජීවිත , පතල්කරුවන්ගෙ ජීවිතවගේ

දුක්බර නෑ කියලයි හිතෙන්නෙ. යනගමන්, මඟදියට තියෙන ආප්ප, ලැවරිය, හැලප

කකා, වටපිට සිරි නරඹමින් යනකොට මොන දුකක්ද? 

සත් කෝරලේ දොරවක  බල්ලාපාන
වල්ල සුණු අංග දුම්බර          නාපාන
පලිස් පත්තුවේ ගම මැද        වටපාන

ඉඹුල කැපූ රුව බල         ගුන්නෑපාන

මේ ගැල්කරුවන් ඉලක්ක කරගත්ත කඩයප්පන් කඩත්  මඟදෙපස තිබිල තියන

පාටයි. ගැල් කරුවන් උණු ආප්ප ගිලින්න රුසියො බවත් මේ කවිවලින් පෙන්නුම් 

කරනව. උණු ආප්ප වගේ විකිනුනා කියල, කතාවට කියන්නෙ නිකංයැ? ආප්ප දාන

 ලිප අසල තියෙන  ඇඹුල් කෙසෙල් කැන වරුවට ඉවරවෙනවා කියල තමයි මං

අහල තියෙන්නෙ. උණු ආප්ප සහ ඇඹුල් කෙසෙල්, කට්ට සම්බල්, සීනි සම්බල්,

ඇඹුල්තියල් කියන්නෙ ජාඩියට මූඩිය වගේ  ගැලපෙන සුසංයෝගයක්.

බොහෝ කාලයකට පෙර, ගම්මානයක  සතිපොලක් ගැන සොඳුරු මතකයක්

 බකුසු මතකයේ තාම තියෙන්නෙ, එහිදි ගිලපු උණු ආප්ප නිසයි. අසලින් 

ගලාගෙන ගිය ගංගාව අද්දර පොල් අතු සෙවිලිකල මේ තාවකාලික  

කඩයප්පන් කඩපෙලේ ආප්ප කඩයකුත් තිබුනා. ආප්පවල නියම රස විඳින්න

නං , ආප්ප ලිපෙන් බාපු ගමන් කන්න ඕනෙ. රස වැඩිවෙන්න පරිසරයත්

බලපානව ඇති. 

අපේ ගැල්කවියා  හොඳ විනෝදකාමියෙක්. හොඳට  කෑවා වගේම හොර

පොලෙන් දෙකක් නමාගන්නත්, අමතක කරල නෑ

කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ

ඩකු ඩුකු ගගා බිම පෙරළෙන            පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන        කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන            ආප්පේ

ඒ දවස්වල , කරත්ත ගාල් තිබිල තියනවා, සමහර ගාල්වල නතරවෙලා, උයාගෙන

කාලා , නිදාගෙන පාන්දර ජාමෙ තමයි ආයෙත් ගමන පටන් අරන් තියෙන්නෙ.

මේක දින ගණනක් යන විනෝද ගමනක් වගේ තියෙන්න ඇති

බත උයලා කාබී අපි සිත             අයුර
තණ කවලා ගොන් දෙන්නට දී   වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි        වැතිර
එළිවෙන ජාමෙ පිටවී යමු හිත    මිතුර

අතමිට හොඳ කලට , හොර පොලෙන් ,රේන්ද පොලට…

බැඳලා විය බාන ගොන් දෙන්නගෙ   කරට
මැනලා ගනිමු බෝතලයක්          සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක   හරියට
කොතලාවල පසුකර මිතුර            හනිකට
සසඳ කවි  කියන්නෙනෙත් ගැල්කවි විශේෂයක්. හැම කවියක්ම ආරම්භවෙන්නෙ

“සසඳ සසඳ” කියලා. එක කරත්තයකින් කියන්නෙ එක පේලියයි. මේ ක්‍රමේට

නඩයේ ඔක්කොම කරත්ත කරදරයක් නැතිව යනවා කියල අනිත් අයට දැණුම් දීමක් වෙනවා.

සසඳ සසඳ සඳ පානේ අපි                 යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ   යනවා
සකිය සගව්වට රෝදේ            කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල            ලතැවෙනවා

අපේ ජනකවියා බිහිවෙලා තියෙන්නෙ ගොවියො, පාරුකාරයො, පතල්කරුවො,ගැල්කරුවො වගේ වැඩකරන ජනතාව අතරින්. කටවහරෙන් 

පැවතගෙන ආපු මේ ලස්සන කවි, අභාවයට යන්න දෙන්නෙ නැතුව , මතු

පරම්පරාවට ඉතුරු කරන්න උත්සාහයක් ගන්නව නං  අගෙයි.

හවුස් බස්තියන්

බකමූණු කතා බ්ලොග් අඩවිය* අවසර ඇතිව උපුටා ගත්තකි .

https://frozenlazyowl.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *