සිංහල බ්ලොග් කවි මුතු

රේල්ලුවට ගොඩවනු පෙර

ඉර පිපෙන්නේ හිමිදිර

දෑස ගැඹරෙනි

මුනිවර මුනිවතක

සංයමය අස

සුවහසක් මල් සුපිපුණි…

පීලි මත්තෙහි තාම

දිලිහේය පිනි…

රේල්ලුවට ගොඩවනු පෙර

දෑස ට දෑස හමුවුණි

ළය උපන් සුසුමෙහි

එ රන් මුදුවක් දිලිහුණි.

එකම මැදිරියක අප දෙපසිනී

එකම නැවතුමක බැස දෙතැනිනී

සිල්පරෙන් සිල්පරය පනිමිනී

පීලි නොපනින දෑස නික්මිණී….

හූ හඬ නංවාන

කලබල ගමන් යන

රේල්ලුව තවරා ගිය

දූවිල්ල පිසිමින්

මොනිං ග්ලෝරි මල්වැල

සුපුරුදු සිනාවෙනි…

එකම මග දෙපස අපි

උනුන් දෙස නොබලා ම

එරන් මුදු හැඩැති

වටරවුම පසුකොට

දෙමගක නික්ම යන

තරුර​සී

https://tharurasi.blogspot.com

අවාරයේ පිපි මල් කැකුළේ….

තටුකැඩී රිදුම්දෙන ගත පොළව මත     හොවා

කඳුළු රැඳි නෙතු එක්ක ගුලිගැසී       වැතිරිලා

ඉඳිද්දී මගෙ ලඟට හිමින් පා තිය           තියා

සුරඟනක් මෙහි ඇවිත් සිනාමල්          වපුරලා

තරු අතර සැඟවිච්ච සඳ එළිය         අහුලලා

හද මඩල මුවාකල කලු වලා            අතර’ලා

අමතකව ගිය සුවය දිවි මගට          කැදවලා

සමනලිය මගෙ දිවිය නිම්නයක          පාකලා

තුරුළුවී සෙනෙහසින් පපුව මත හිස       තියා

විසල්වුන නෙතින් මගෙ නෙතු දෙසම බල බලා

ඉවරයක් නැති කතා කියනවිට මට        මෙදා

කන්න හිතෙනව උඹව මිරිකගන        හිතපුරා

ගොළුවිච්ච මුවින් මම හිඳිනවිට      නෙතුඅයා

කතානොකලට බණින රතු ගැහුණ      මුවපුරා

දෙතොල ගෙනියන්න මගෙ හිතන මට  ඔරවලා

කොනිත්තන නුඹ සුරත මගෙ ලොවම  සරසලා

සිනිඳු සුදු පෙම රැගෙන හෙටත් නුඹ    එනතුරා

පුරන පෙරුමන් රැඳුන නොසන්සුන්       හදවටා

වෙලී දෙවඟන විලස රඟන නුඹ මැවු        රටා

මගෙ දිවිය රැඳුන ඉම තව තවත්         දුරකලා

කටුසු හදවත

https://katusuhadawatha.blogspot.com

එකම හිස් අසුන

කොයිතරම් නපුරුද

බස් රථයෙහි

ඔබේ පසෙකින් ඉඩ තබන

එකම හිස් අසුන.

කොයිතරම් දරුණුද

විලවුන් සුවඳ ගෙන

දස අත හමන සුළඟ.

කොයිතරම් වැරදිකාරද

මේ වැනි මොහොතක

වික්ටර් ගෙ ප්‍රේමගීයක් ගයන

රේඩියෝව..

සඳෙහි පෙදෙසක 

https://hashanrandika.blogspot.com

ආදරය නුඹ සොයමි

සොයමි මම..

තවම නුඹ..  

කොහෙද හැංගෙනු  

මිදි මාවෙතින්..

රෑක හීනෙන්  

සිතට ගොඩවනු මිසක 

හැබැහින් එන්නේ නැතිවද?

කඳුල ලඟ 

සිනහා රේඛා

අඳින්නට හැක  

ආවොතින් නුඹ…

සොයමි මම..  

ආදරය නුඹ..

හුදකලාවේ ලියු කවි

https://hudakalakavi.blogspot.com

තෙරපිය – The Therapy

අදත් බැරිලු කරන්න

අන්තිම තෙරපිය.

කීවතාවක් නම් කල්ගියා ද?

ඉන්නෙපයි වරුවක් එනකම්

ගමේ යන බස්සෙක

ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම.

මහා දානපති ගමේ මුදලාලි

සැරසිලා සුදෝ සුදු ඇඳුමින්

පිටව ගියා හීන් සීරුවෙන්

වහලා ඉමර්ජන්සි දොරටුව,

බලන්නෙපයි කටපුරා හිනාව.

රිදුම් දෙන ඇඟපත,

ඇවිදින ඇටකටු කූඩු,

ගිලුන දෑස් බලා හිඳී

අපේක්ෂාවෙන් එනතුරු වාරය.

පිච්චිලාලු පිලිකා වාට්ටුවේ මැසිම,

හරි පදමට පිච්චුනා ද

මුදලාලියේ මැණික් කැටය?

ගල්මල් – Coral

https://galmal.blogspot.com

අහඹු

කුහුඹු ගුල් ඇවිස්සුනු දවස්වල

වෙනදාට ඉක්මනින් රෑවෙයි

අහඹු සල්ලාපයක අතරමැද

ඔබෙ දෙතොල්, මගෙ කොපුල් යාවෙයි

කියඹු වැල් ලිහී ඉහිරෙන තැනක

පිච්ච සුවඳක් හදේ ගෑවෙයි

සුහුඹුලේ පිපෙන තරු අහිනකට

ඔබේ ඇස් දිස්නයම බෝවෙයි 

බස්සි  (Yash)

https://basukavi.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *