යොවුන් ක්‍රීඩිකාවෝ  විස්සයි20 ලෝක සටන අරඹයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් දෙවැනි වරට සංවිධාන කරන අයිසීසී අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 18 වැනිදා මැලේසියාවේදී ආරම්භ විය.

කණ්ඩායම් 16ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර, එම තරග 18 වැනිදා සිට මේ මස 23 වැනිදා දක්වා පැවැත්වේ. අනතුරුව ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන 3 හිමිකර ගන්නා කණ්ඩායම් 12 කාණ්ඩ දෙකක් යටතේ සුපිරි 6 තරගවලට එක් වෙයි. එම තරග‍ 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර, සුපිරි 6 තරග අවසානයේ කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට එක් වේ. එම තරග මේ මස 31 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය පෙබරවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක මැලේසියාව, පළමු තරගාවලියේ (2023) ශූරියන් වූ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය සහ අමෙරිකාව ‘බී’ කාණ්ඩයට ඇතුළත් වන අතර, නවසීලන්තය, නයිජීරියාව, සැමෝවා සහ දකුණු අප්‍රිකාව ‘සී’ කාණ්ඩයෙනුත් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නේපාලය සහ ස්කොට්ලන්තය ‘ඩී’ කාණ්ඩය යටතේත් මූලික වටයේ තරගවලට එක් වෙයි.

පළමු වරට පැවති තරගාවලියේදී සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයට එක්වීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, එම කාණ්ඩයේ 5 වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරීමට සිදු විය.

තරගාවලියේ පලමු තරග    (18)වැනිදා ඔස්ට්‍රේලියාව – ස්කොට්ලන්තය, එංගලන්තය – අයර්ලන්තය, සැමෝවා – නයිජීරියාව, බංග්ලාදේශය – නේපාලය, පාකිස්තානය – අමෙරිකාව සහ නවසීලන්තය – දකුණු අප්‍රිකාව අතර තරග පැවැත්විනි.

ශ්‍රී ලංකා පිල තරගාවලිය ආරම්භ කරන්නේ 19 වැනිදා සත්කාරක මැලේසියාවට එරෙහි තරගයෙනි. අනතුරුව 21 වැනිදා කොදෙව් පිල සමඟ තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩිකවෝ 23 වැනිදා ඉන්දියාවට එරෙහි තරගයෙන් මූලික වටය නිමා කරති. පළමු යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මනුදි නානායක්කාර මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.

මේ තරගාවලියට පිටත්ව යෑමට පෙර ඇය කියා සිටියේ කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බැවින් සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන බවයි.

“මට හොඳ සංචිතයක් ලැබිලා තියෙනවා. මෙවර තරගාවලියේදී අලුත් වගකීමක් සමඟ නායිකාව ලෙස මම යන්නේ. ගියවර ගියේ ක්‍රීඩිකාවක් ලෙසයි. අපි හොඳ සූදානමකින් යන්නේ. මගේ උප නායිකාව සමඟ ගියවර ක්‍රීඩා කළ ක්‍රීඩිකාවෝ 4ක් සංචිතයේ ඉන්නවා. ඉතින් එයාලගෙයි මගෙයි පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන පුළුවන් උපරිමය කණ්ඩායමට දෙන්න බලාපොරොත්තු වෙනවා. අනෙකුත් ටීම්වලත් වෙනස්කම් තියෙනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.” මනුදි කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *