2024දී සංචාරක ව්‍යාපාරයෙන් කෝටි 92,500ක ආදායමක්

සංචාරක ආකර්ෂණය අතින් කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන ශ්‍රී ලංකාව පසුගිය 2024 වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 92,500ක (අමෙරිකානු ඩොලර් බිලියන 3.16) ආදායමක් ළඟාකර ගැනීමට සමත්ව තිබේ.

එම අගය පසුගිය 2023 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන අමෙරිකානු ඩොලර් 2.06ට සාපේක්ෂව සියයට 53.2ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 වසරේදී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන අතර එම වසරේදී විදෙස් සංචාරකයන් 2,053,465 දෙනකු මෙරටට පැමිණ ඇත. එම සංඛ්‍යාව පසුගිය 2023 වසරේදී මෙරටට පැමිණි 1,487,303ට සාපේක්ෂව සියයට 38.07ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

2023 වසරේදී ශ්‍රී ලංකාවට 1,487,303ක විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068කි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2024 වසරේ දෙසැම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1ක් ලෙස වාර්තා වී තිබෙන බවත් 2023 දෙසැම්බර් මාසයේදී එම අගය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3ක් ලෙසත් ය.

පසුගිය 2024 වසරේ සෑම මසකම 100,000ට වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එම වසරේ දෙසැම්බර් මාසයේදීය. එම අගය 248,592ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

පසුගිය 2024 වසරේදී වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබෙන අතර එම සංඛ්‍යාව 416,974 කි. ඊට අමතරව රුසියාවෙන් 201,920ක් එක්සත් රාජධානියෙන් 178,339ක්, ජර්මනියෙන් 136,084ක් සහ චීනයෙන් 131,681ක් මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔස්ට්‍රේලියාවෙන් 89,573ක් ද ප්‍රංශයෙන් 88,775ක්ද, අමෙරිකා එක්සත් ජනපදයෙන් 59,532ක් සහ නෙදර්ලන්තයෙන් 50,116ක් ද මෙරටට පැමිණ ඇත. ඊට අමතරව මාලදිවයිනෙන් සංචාරකයන් 47,222ක් ද සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *