තවමත් අබිරහසක් වුනු Stonehenge,ලංකාවේ ශත දහයත්, බෞද්ධාලෝක මාවතේ, නාම පුවරුවත් සොයා ඔටාවා නුවරට

තවමත් අබිරහසක් වුනු Stonehenge, පැරණි Roman Bath නාන තටාකය සහ Windsor Castle බලන්නට ගියදා

 එංගලන්ත සංචාරයක මතක……

අපි උදෙන්ම නවාතැනෙන් පිටත් වුණේ දවසට නියමිත එක් දින සංචාරයට යන්න. මුලින්ම අපි කලේ දුම්රියෙන් වික්ටෝරියා උමං දුම්රිය ස්ථානයට කිට්ටුව තියෙන බස් පර්යන්තයට යන එකයි. අපේ සංචාරයට නියමිත බස් රථය ගමන පටන් ගත්තෙ එතැනින්. අද දවසේ අපේ මේ ගමන ඒ සංචාරක බස් රථයෙන් තමයි.

වින්ඩ්සර් මාලිගාව (Windsor Castle)

බ්‍රිතාන්‍ය රජ පවුල සතු ටින් මාලිගා අතරින් වින්ඩ්සර් මාලිගාව ට හිමිවන්නේ සුවිශේෂී තැනක් . තේම්ස් නදිය අසබඩ පිහිටි මේ මාලිගාවේ ඉදිකර තිබෙන්නේ එකොළොස් වැනි සියවසේ දී.  ලන්ඩනයේ සිට පැයක තරම දුරකින් තියෙන මේ මාලිගාවට අපි ගියේ windsor දුම්රිය පොළ මැදින් ගිහින්.  වාහන නැවතුම ගාව තිබෙන තේම්ස් නදිය අසබඩ ඇලෙක්ඩ්සැන්ඩ්‍රා උද්‍යානයත් ගිමන් නිවන්න කදිම තැනක්.  ඔබත්  මම වගේ දුම්රිය ලෝලියෙකු නම් එතැන දුම්රිය ස්ථානයේ පසෙක තිබෙන රැජිනගේ නිල ලාංඡනය සවිකලේ අංක 3041 දරන වාෂ්ප එන්ජිම බලලා එහි සේයාරුවක් ගන්න අමතක කරන එකකුත් නැහැ. . අවුරුදු නමසීයක් පුරා  රජවරුන් සහ රැජිනන්  හතළිස් දෙනකුගේ නිවහන වුනු  මේ මාලිගෙයි ගෘහ  නිර්මාණ ශිල්පය සුවිශේෂී එකක්.

මෙය මේ වන වන විට චාල්ස් රජතුමා භාවිතා නොකළත් දෙවන එලිසබත් රැජිණ  තමන්ගේ භාවිත නිවහන විදිහට පාවිච්චි කළේ මාලිගාව තමයි. වාර්තා වන විදිහට ඉදිරියේ දී මෙහි නිවැසියන් වන්නේ විලියම්  කුමරු සහ කේට් කුමරියයි.  මේ මන්දිරයේ නරඹන්නන් හට බලන්නට හැකි වන්නේ  සීමිත කාමර ගණනක් සහ උද්‍යානයේ කොටසක් පමණයි.  ඒවාගේම මේ මන්දිරය අඟහරුවාදා සහ බදාදා දිනවල  නරඹන්නන් සඳහා වසා තැබෙනවා. එතනදී ඔබට ලැබෙන ශ්‍රව්‍ය  ආධාරකයන් ඒ ඒ තැන ගැන විස්තර දැනගන්න කදිම උදව්වක් වේවි. ඔබ බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා මේ ගමන ගියොත් එහි සිටින සම්ප්‍රදායික සෙබළුන්ගේ  Change of Guards  බලන්නත් අමතක කරන්න එපා. 

ඔබට එහි විවෘතව පවතින කාමර තුළදී ලියනාඩෝ ඩාවින්චි සහ  රම්බ්‍රාන්ට්ගේ  සිතුවම් ඇතුළු  චිත්‍ර  රැසක් , පැරැණි ගෘහ භාණ්ඩ, විසිතුරු පිඟන් භාණ්ඩ, ප්‍රතිමා,  යුධ ආයුධ ඇතුළු අපූරු දේ රැසක් දකින්න පුළුවන්.  ඒ වාගේම විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පුද්ගලයන්ට කලින් කලට රැජිණ හෝ රජු විසින් පිරිනමන නයිට්  පදවිය ලබන ශාලාවත් මේ මන්දිර යේ දී දකින්න පුළුවන්.

ඔබ රාජකීය විවාහයන් ගැන උනන්දු වන කෙනෙක් නම් හැරී කුමරු සහ මේගන් මාකල්  විවාහ වුණු ස්ථානය ඔබට මතක ඇති.  ඒවගේම මෑතකදී දෙවන එලිසබත් රැජිනගේ අවමංගල්‍යය පැවැත්වුණු දේවස්ථානයත්  ඔබට මතක ඇති . මේ සිදුවීම් දෙකම සිදුවුණු ශාන්ත ජෝර්ජ් දේවස්ථානය පිහිටා තිබෙන්නේ මේ පරිශ්‍රය තුළ හින්දා ඔබට එහි සුවිශාල සීලිමෙහි ගොතික් සම්ප්‍රදාය කැටයම් ප්‍රතිමා වගේම රැජිණන් සහ රාජවරුන්ගේ දේහයන් තැන්පත් කළ කුටි  බලන්නත්  පුළුවන්.

Roman Bath 

රෝමන්වරුන් බ්‍රිතාන්‍ය පාලනය කළ ක්‍රිස්තු පූර්ව හැට සහ හැත්තෑව කාලයේ දී නිම

කරන ලද බව සඳහන් මේ පරිශ්‍රය පොදු නාන තටාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

විවිධ ඛනිජ වර්ග වලින් පොහොසත් ස්වභාවික උල්පත් ජලය එකතු කොට තනා

තිබෙන මෙය පිහිටා තිබෙන්නේ ලන්ඩනයේ සිට පැය දෙකක තරම් දුරින්

තිබෙන Somerset ප්‍රදේශයේ. 

යුනෙස්කෝ ලෝක  උරුම අතුරින් එකක් වන මෙහි  ප්‍රධාන කොටස් හතරක්

තිබෙනවා. ඒ  පූජනීය ජල උල්පත, රෝමන් දෙවොල , රෝමන් නාන තටාකය 

සහ කෞතුකාගාරය විදිහට. සෞඛයාරක්ෂිත හේතු හින්දා මේ වන විට ඔබට

එහිදී නාන්නට බැරි උනත් මෙතැන සංචාරක වශයෙන් ඉතාමත්ම වැදගත් තැනක්. 

මෙහි කෞතුකාගාරයේ  ඉතා වැදගත් පුරාවස්තු රැසක් දකින්නට තිබෙනවා.

තැන තැන දකින්නට තිබෙන කැටයම් සහ පිළිම සේම මේ පරිශ්‍රයේ ඇති

ගෘහනිර්මාණ ශිල්පී දක්ෂතා සේයා රූ ගන්නට හොඳ පසුතල මවනවා. 

මතක ඇතිව ශ්‍රවණ සන්නිවේදක ලබා ගත්තොත් පැරැණි බවින් යුතු

දේවස්ථානයක් වගේම,  ගල් ඇතිරූ මාවත්, පැරැණි බ්‍රිතාන්‍ය ගොඩනැගිලි

රැසක් මේ අවට ප්‍රදේශයේ තිබෙන නිසා  ප්‍රදේශය ගැන බොහෝ  තොරතුරු

ඔබට දැනගන්නටත්  පුළුවන්. අප ගිය බස් රථය  අපට නියමිත කාල වේලාවක්

ලබා දුන් නිසා අපට නොහැකි වුණත් ඔබට වෙලාව තිබෙනවා නම් ඒ අවට

එළිමහන් අවන්හලකට ගොඩ වැදිලා නිදහසේ වෙලාවක් ගත කරන්නත්

පුළුවන්. ඔබ තනිවම රිය පදවාගෙන ගමනක් යනවාට වඩා පිරිසක් ලෙස

සංවිධානය කරන සංචාරක බසයක යනවිට ඇති අවාසියක් විදිහට එය

හදුන්වන්න පුළුවන්.  

Stonehenge

ප්‍රාග් ඓතිහාසික යුගයේදී නිමවුණු බව කියැවෙන මේ ගල්කුළුණු සමූහය අවුරුදු පන්දාහකට පෙර නියෝලිතික යුගයේදී ( කිස්තු පුර්ව 2500) කාලයේදී නිර්මාණය කළ එකක් බවයි සඳහන් වන්නේ. තවමත් විවිධ මතිමතාන්තරවලට වරින් වර ලක් වෙමින් පවතින බර ටොන් 20-25 තරමේ සුවිශාල ගල්කණු සහ ගල් පුවරු 83 ක් මේ වනවිට දකින්නට ලැබෙනවා . මේ ගල්කණු කිලෝමීටර්240 ක් තරම් දුරකින් පිහිටි වේල්සයේ Presali Hills.ඉඳන් මුහුදෙන් සහ එවෝන් ගඟ හරහා මෙතනට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනවා. තවත් ගල්කණු කිලෝමීටර 32 ක් තරම් දුරකින් පිහිටි Marlborough Downs වලින් ගෙන ආ බවත් විශ්වාස කරනවා.. ඒත් රෝදයවත් හොයාගෙන නොතිබුණු බවට අප විශ්වාස කරන ඒ කාලයේ මේ වගේ දෙයක් කලේ කොහොමද කියල ඔබට හිතන්න පුළුවන්ද ? පොත පතින් කියවල තිබුණු ඒ කාරණා සහ වාර්තා චිත්‍රපට තුළින් දැක තිබුණු තොරතුරු එක්ක කලක ඉදන් මෙතැනට එන්නෙ මට තිබුණේ පුදුම ආසාවක්.

යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට සලකන මෙතැන ගැන පණුවන් ආශ්‍රිතව චාල්ස් ඩාවින් බොහෝ පර්යේෂණ සිදුකර තිබෙනවා. අදියර තුනක් යටතේ ඉදිකිරීම් සිදු කෙරුණු බව කියන මෙහි පල්ලියක් සහ සුසාන භූමියක් ඇති බවට සැක කෙරෙනවා.ප්‍රදේශයේ කෙරුණු කැණීම්වලින් විවිධ ජාතීන්ට අයත් බව සැක කරන පුද්ගලයන් එකසිය පනහකට අධික පිරිසකගේ ඇටකටු හමුව තිබෙනවා.මේ වගේ සංකීර්ණ රැසකින් එකක් විදියටත් අතීතයේදී මෙය ගල්කණු මත වහලක් සහිතවත් තවත් ගල් කණු වළලු කිහිපයෙක් යුත්ත විශාල පරිශ්‍රයක් ලෙස තිබු බවටත් අනුමාන කෙරෙනවා. ආයෙමත් වතාවක් මහා බ්‍රිතාන්‍යයට ගියොත් Avebury ප්‍රදේශයට යන්නත් හිතාගෙන ඉන්නෙ එතැන එක්ක මෙයට තිබෙන සමානතා බලන්නයි. බස් රථයෙන් රථ ගාල ගාවින් බැස්සට පස්සේ බට අවශ්‍ය නම් අවට සිරි නරඹමින් කිලෝමීටර් දෙකක් විතර දුර ගෙවාගෙන මෙතැනට පයින් එන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන ෂටල් බස් එකකින් එතනට යන්නත් පුළුවන්. අපට ලැබී තිබුණු කාලය සීමා සහිත හින්දා අප තීරණය කළේ ෂටල් බස් එකේ යන්න. ඔබ ඔබේම වාහනයකින් ගියොත් මෙතැන ගොඩක් දේ නිරීක්ෂණය කරන්න පයින් යන එක තමයි හොඳ. 1915 දී විකුනන්න දාල තිබුණු මේ ඉඩම අරගෙන ආණ්ඩුවට දුන්නු Cecil Chubb ගැන වගේම 1984 දී මෙතැන පැවැත්වුණු හිපි එකමුතුව( 1984 Stonehenge Free Festival ) , ඊට පස්සේ මෙතැන වැටකින් ආරක්ෂා කරන්න වගේම කිසිම මහජන රැස්වීමක් තියන්න කර තිබෙන තහනම වගේ බලලා තිබුණු වාර්තා චිත්‍රපට මැවිලා පේන්න පටන් ගත්තා.

තවත් සමහරුන් මේ ගල් කණු සැකැස්ම හඳුන්වන්නේ හිරුගේ සහ සඳුගේ ගමන් මග අනුව අවුරුද්දෙ කාල නිර්ණය සඳහා යොදාගත් කැලැන්ඩරයක් විදිහටයි. ඒ කොහොම වුණත් මේ සැකැස්ම යම් ගණිතමය සහ විද්‍යාත්මක රටාවකට කරල තියන බවක් පේනවා. ගිම්හානයේ සහ ශීත ඍතුවේ ඉර බැසීමෙන් සහ නැගීමෙන් ඇතිවන කෙටි සහ දිගු දෙවා කාල ගැන මනා අවබෝධයක් සහිතවත් මේ ගල් කණු පොළොවේ සිටුවා තිබෙන බව කියැවෙනවා. ඒ තොරතුරු පැත්තක තියලා විවිධ පසුතල හෙවනැලි සහ තණ බිස්ස මත  විවිධ කෝණවලින් සොයාරූ ගන්නා පිරිස අතරේ අපිත් එහි සුන්දරත්වය හොඳින් රසවින්දා. හොඳින් හිරු එළිය තියෙන දවසක ඔබට මෙතනට යන්නට පුළුවන් නම් මේ පරිශ්‍රය වටිනා සෙයාරූ රැසක මතක ඔබට ඉතිරි කරාවි.

ආපහු ෂටල් බස් එකේම ආපු අපි මේ නිර්මාණය කල කාලයේ නිවාස සහ ගමක අනුරූ වගේම මේ ගල් ප්‍රවාහනය කළ බවට අනුමාන කෙරෙන විස්තර ඉදිරිපත් කරලා තිබෙන ආකෘති පරිශ්‍රය බලලා එතන තිබුණු කෞතුකාගාරයට ගොඩ වුණා. ගමන මතක් වෙන්න පුංචි සිහිවටන කිහිපයක් ගත්ත අපේ ආපහු රථ ගාලට ගියේ දවසක්ම මෙතැන ඉන්න තිබුනනම් කියන අදහසින්.

ලබන මාසයේදී ලන්ඩන් නුවර තැන් කිහිපයක් බලන්න යමු.

පසු සටහන මගේ ගමන් සටහන් වලට ඇතුලත් සංචාරක පරිශ්‍රවල තොරතුරු සහ සීමා නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වන බැවින් ඔබ මේ ගමන් යන්නට අදහස් කරනවා නම් ඊට සතියකටවත් කලින් හැබෑ තොරතුරු යලිත් සොයා බලන එක වටිනවා.

අනුරුද්ධ වැලිගමගේ

ලංකාවේ ශත දහයත්, බෞද්ධාලෝක මාවතේ, නාම පුවරුවත් සොයා ඔටාවා නුවරට

…….කැනේඩියානු සංචාරයක මතකය

ලංකාවෙන් බොහෝ දුර ගෙවා කැනඩාවේ පදිංචියට පැමිණි අපට මලක හැඩයේ ලංකාවේ ශත 10 කාසියක් සහ බෞද්ධාලෝක මාවතේ සිංහල , දමිල, ඉංග්‍රීසි භාෂා තුනෙන් ලියැවුණු නාම පුවරුවත් ඔටාවා නගරයේදී දකින්නට හැකිනම් ඔබ පුදුමයට පත්වෙනවා නිසැකයි . සංචාරයක මතකය කියවන බොහෝ දෙනාගේ ඉල්ලීම මත ඔබව ඔටාවා නගරයට කැදවා ගෙන යන්නේ ඒ නිසයි .

ඇමෙරිකානු ආක්‍රමණ වලින් එදා යෝර්ක් නමින් හැදින්වූ වත්මන් ටොරොන්ටෝ නගරය විනාශ වූ පසුව වික්ටෝරියා රැජින තීරණය කලේ ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් නගර අතරමැද පිහිටි ඔටාවා නගරය කැනඩාවේ අගනුවර ලෙස නිර්මාණය කිරීමටයි . කිලෝමීටර 202 ක් දිග රිඩව් (Rideau) ඇල සකස් කරමින් ඔන්ටාරියෝ විල සහ ශාන්ත ලෝරන්ස් ගග සමග ඔටාවා නුවර සම්බන්ධ කලේ වඩාත් ආරක්ෂිත පාලන ස්ථානයක් ලෙසයි .

ටොරොන්ටෝවේ සිට පැය 5 ක පමණ රථ ධාවනයකින් ළගා විය හැකි ඔටාවා නගරය දිනක , දින 2 ක සංචාරයකට හෝ මොන්ට්‍රියල් , කුවිබෙක් , මොන්ට්‍රේ බ්ලොන්ග් වැනි නගර වලට කරන සංචාරයන් හිදී අතරමග මං සලකුණක් ලෙස සංචාරය කරන්නත් පුළුවන් . ගිම්හාන කාලයට විශ්ව විද්‍යාල වසා තැබෙන නිසා නවාතැන් සදහා ඒවායේ නේවාසිකාගාර ඒකක පහසු මුදලකට වෙන්කර ගන්නත් පුළුවන් .

කැනේඩියානු පාර්ලිමේන්තුව ( Parliament of Canada)

ඔටාවා නගරයේ ඇති ප්‍රමුඛතම තැනක් ලෙස කැනඩාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය හඳුන්වා දෙන්නට පුළුවන් . ඔටාවා නදිය අසබඩ පිහිටි මනරම් බිම් කඩක ඇති ඒ පරිශ්‍රය ගිමන් හරින්නට කදිම තැනක් . කලින් වෙන්කරවා ගත හැකි උපදේශාත්මක සංචාරයක් ( Guided Tours ) තුලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සෙනෙට් සභිකයන් රැස්වන ශාලා , පෞරාණික පුස්තකාලය මෙන්ම දර්ශනීය ආලින්දය න් ගැන විස්තර රැසක් දැනගන්නට පුළුවන් . පාසැල් , විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදෙන දූ දරුවන්ට එතුලින් ගත හැකි දැනුම අති විශාලයි . පාර්ලිමේන්තු සංකීර්ණය ඇති බිම් කඩෙහි විවිධ ප්‍රතිමා රැසක් පිහිටුවා තිබෙනවා . ඒ අතුරින් කාන්තා අයිතීන් වෙනුවෙන් හඩ නැගූ කාන්තාවන් පස් දෙනෙකු සිහිකරමින් තැනුණු  Famous five විශේෂයි .

කැනඩා දිනය වෙනුවෙන් මෙන්ම ටියුලිප් උළෙල වෙනුවෙන් විශේෂ සැමරුම් මේ පරිශ්‍රයේ පැවැත්වෙන බැවින් ඔබේ ගමනට පෙර අන්තර්ජාලයෙන් විමසා ගමන් කිරීම කාල කළමනාකරණයට මහත් රුකුලක් වේවි .

රෝයල් මින්ට් කාසි නිෂ්පාදනාගාරය ( Royal Mint Coin Factory)

A Valuation of the Royal Canadian Mint | Frontier Centre For ...

කැනඩාව පමණක් නොවෙයි ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ බොහෝ රටවලට කාසි නිපදවන ආයතනයක් ලෙස  ( Royal Mint) දිනාගෙන ඇත්තේ ඉමහත් කීර්තියක්. මලක හැඩයේ ලංකාවේ පැරණි ශත 10 ඇතුළු බොහෝ කාසි මේ පරිශ්‍රයේදී ඔබට දැක ගන්නට පුළුවන් . ලෝහ තහඩුවේ සිට පාටින් පාට දර්ශනීය කාසි නිෂ්පාදනය වන අයුරු පියවරෙන් පියවරට දකින්නට මෙය අපූරු තැනක් . ආදරයට සමහරුන්ට රත්තරන් කියමින් සිටින කාහට වුවද අති විශාල රන් කුට්ටියක් දෙඅතින් ඔසවා සේයාරුවක් ගන්නටත් මෙහිදී පුළුවන් . තරමක් මිල අධික වුවත් , පුරුද්දට කාසි එකතු කරන්නෙකු නොවුණත් මෙහි ඇති අලෙවි හලෙන් ඔබ සමරු කාසි සිහිවටනයක් ගන්නවාට කිසිදු සැකයක් නැහැ .

Few Old & Rare Sri lankan Coins | Old Sri lanka Coins - YouTube

ඔන්ටාරියෝ සහ කුබෙක් පළාත් දෙකේම මායිම් වල විසිරී තිබෙන කැනඩාවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වන ඔටාවා නගරය තුල කැනඩා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන කාර්යාල පිහිටා තිබෙනවා . ඊට අමතරව සංචාරකයෙකු ලෙසින් ඔබට වැදගත් වන කැනඩාවේ ජාතික කෞතුකාගාර රැසක් පිහිටා තිබෙනවා . ඔබේ රුචි අරුචිකම් අනුව , ඇති වෙලාව අනුව තෝරාගත් කිහිපයක් ඔබට බලන්නත් පුළුවන් . නගර සංචාරක බස් රථයක , දිය ගොඩ දෙකෙහිම යන උභය බස් රථයක රවුමක් යන්නත් ඔබට පුළුවන් .

බෞධාලෝක මාවත ගැන සදහන් කල නිසාත් , ඉඩකඩ පිළිබද සීමාවන් නිසාත් ඔටාවා නදියේ පාර්ලිමේන්තුවට හරියටම අනිත් පැත්තේ තිබෙන කැනඩාවේ ඉතිහාස කෞතුකාගාරය වෙත ඔබ කැදවා ගෙන යන්නම් .

William James Roué Collection Finds Perpetual Home at Canadian ...

කැනේඩියානු ඉතිහාස කෞතුකාගාරය ( Canadian Museum of History)

File:Canadian museum of civilization 03.jpg - Wikimedia Commons

මෙය පිහිටා ඇත්තේ ඔටාවා නගරයේ කුවිබෙක් පළාතේ ඇති කොටසේයි . එම ප්‍රදේශය හැදින්වෙන්නේ ගැටිනව් (Gatineau ) නමින් . 1859 තමයි වර්තමානයේ අප දකින මේ කෞතුකාගාරයේ ආරම්භය සිදුව තිබෙන්නේ . අද අපි දකින අමුතු හැඩයේ ගොඩනැගිල්ල නිර්මාණය කලේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී ඩග්ලස් කාඩිනල් විසින් 1989 දී .

මේ කෞතුකාගාරයේ ප්‍රධාන අංශ 3ක් තිබෙනවා . වැන්කුවර් සහ වික්ටෝරියා නගර වලදී හමුවන සුවිශාල ලී කණු (Totem Poles) පිරි සුවිශාල ශාලාව හැදින්වෙන්නේ  Grand Hall නමින් . ආදිවාසීන්ගේ ජීවන රටාව පිළිබද කදිම චිත්‍රයක් මවන්නට මෙහි ඇති ප්‍රදර්ශන භාණ්ඩ සමත් . කැනඩා ඉතිහාසය දැක්වෙන ශාලාව දූ දරුවන්ගේ දැනුම නැංවීමට රුකුලක් සේම නිමාව සුන්දරයි .ටෙරී ෆොක්ස් ( Terry Fox) ගේ  Marathon of Hope කුටියේ ඔහුගේ සහයට ගිය රථය පවා තිබෙනවා .අධිෂ් ටානය ගිය දුරක් ගැන ඉන් හැගවෙන අදහස ඉතා වටිනවා .

කුඩා ළමුන් සදහා ක්‍රියාකාරකම් රැසක් ඇති මේ පරිශ්‍රයේ ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් තම ගමන් බලපත්‍රයේ මුද්‍රා තබා ගැනීම සදහා ලෝකයේ විවිධ රටවල දක්නට ලැබෙන දෑ මෙහි එක් රැස් කොට තිබෙනවා . අපේ බෞද්ධාලෝක මාවත පුවරුව හමුවන්නේ එසේ ආසියාවේ සංචාරය කරන විටයි .

සුවිශේෂී සිනමා දර්ශන රැගත් IMAX සිනමා හලක් ද මෙහි තිබෙනවා .

Canadian History Hall | Canadian Museum of History

ඔටාවා නගරයේදී දැකිය හැකි තවත් තැන් …..

·         රිඩව් ඇල (Rideau Canal)

Tripadvisor | Rideau Canal Cruise provided by Paul's Boat Lines ...

·         ලෞරියර් නිවහන (Laurier House)

Laurier House National Historic Site (Ottawa) - All You Need to ...

·         කැනේඩියානු ස්වභාව කෞතුකාගාරය ( Canadian Museum of Nature )

·         කැනේඩියානු යුධ කෞතුකාගාරය ( Canadian War Museum )

·         ජාතික කලා මධ්‍යස්ථානය ( National Art Centre )

·         ජාතික යුධ ස්මාරකය ( National War Memorial )

File:National War Memorial, Elgin St, Ottawa (491641) (9450170594 ...

විස්තර 

අනුරුද්ධ වැලිගමගේ

 සේයාරූ – හෙසදී වැලිගමගේ  සහ


 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *