මහාවංසයේ ඓතිහාසික හා කාලීන වැදගත්කම
Percy Jayamanna July 10, 2023
මහාවංසය යනු දැනුදු ලියැවෙමින් පවතින කෘතියකි. එහෙත් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘මහාවංසය’ට අයත් වන්නේ එහි මුල් කොටසයි. එනම් 1 වන පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ 50 වන ගාථාව තෙක් වන කොටසයි. කාලාවකවානු අනුව දක්වනවා නම් එහි ආරම්භය සිදුවූ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස පමණ තෙක් සිට මහසෙන් රජු ගේ රාජ්‍ය කාලයේ අවසානය (ක්‍රි.ව. 274- 301) දක්වා වූ කාල පරිච්ඡේදය අළලා රචිත කොටසයි.
37 වන පරිච්ඡේදයේ 51 වන ගාථාවේ සිට ඉදිරියට ලියැවී ඇති ඉතිහාසය ඇතුළත් කොටස දෙවැනිව ලියැවූ කොටසක් ලෙසයි, හැඳින්වෙන්නේ. එය ‘චූලවංසය’ ලෙස හැඳින්වූයේ විල්හෙල්ම් ගෛගර් නම් ජර්මන් ජාතික පඬිවරයා විසිනි.
මහාවංසය රචනා කළ කතුවරයා කවුරුන්දැයි හැඳින ගැනීමට ඒ කෘතියෙන් කිසිම පිටිවහලක් නො ලැබෙයි.එහෙත් මහාවංසයට ලියන ලද ටීකාව වන ‘වංසත්ථප්පකාසිනියෙන්’ ඊට යම් එළියක් ලැබේ. එහි එක් තැනක, දික්සද සෙනෙවිරදුන් විසින් කරවන ලද මහා පිරිවෙන් වැසි මහාවංස අර්ථසාරයෙහි ප්‍රවීණාචාර්යයන් කෙරෙන් ලද මහානාම යන නම් ඇති තෙරුන් විසින් හෙළ බසින් කරන ලද පැරණි හෙළ අටුවායෙහි භාෂාන්තරය හැර, අර්ථ සාරයම ගෙන හෙළ බසට අනුරූප වන සේ කරන ලද ‘පද්‍යපද මහාවංසය’ ලෙස එහි සඳහන් වෙයි. මහානාම නම් මහා ස්ථවිරයන් වහන්සේ කෙනකු දික්සද සෙනෙවි පිරිවෙන්හී විසූ බවත් ධාතුසේන කුමරු පරසතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා පැවිදිව සිටියේ උන්වහන්සේ ළඟ බවත් මහාවංසයේ දෙවන කොටස වන චූලවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව මහා වංසය රචනා කර ඇත්තේ ධාතුසේන රජ සමයේයි. (ක්‍රි.ව. 455-473)
දික්සඳ සෙනෙවි පිරිවෙනේ විසූ මහානාම හිමියන් විසින් යැයි විද්වතුන් කල්පනා කරන බැවින් මෙම කෘතිය රචිත කාල වකවානුව ක්‍රි. ව 5 වන සියවස ලෙස දැක්විය හැකිය.
මහාවංසය රචනා කොට ඇත්තේ ඊට පෙර හෙළ බසින් රචනා කොට තිබූ කෘතියක් මූලාශ්‍රය කොට ගෙනයි. මහාවංස ටීකාව වන වංසත්ථප්පකාසිනිය මගින් එකී මුල් කෘතිය හඳුනා ගැනීමට අවකාශ ලැබේ. මහා වංසයෙහි 1 වන පරිච්ඡේදයෙහි දෙවන ගාථාවෙහි වංසත්ථප්පකාසිනී කතුවරයා එය සීහළට්ඨකථා මහා වංසය ලෙස එහි අර්ථ දක්වා ඇති අතර ඒ අනුව මහාවංසයට මුල් වූ කෘතිය සීහලට්ඨකථා මහාවංසය බව පැහැදිලිය.
මහාවංසය පමණක් නොව දීපවංසය රචනා කොට ඇත්තේද එකී සීහළට්ඨකථා මහාවංසය මූලාශ්‍රය කොට ගෙන බව පැහැදිලි වන්නේ එම ග්‍රන්ථ දෙකම එකම කාල වකවානුවක් අළලා රචනා කොට තිබීමත්, එකම ගාථාව ග්‍රන්ථ දෙකෙහි ඇතැම් තැනක දක්නට ලැබීමත් නිසාය. දීපවංස කතුවරයා එම කෘතියෙන් ලබා ගත් කරුණු සංස්කරණය කිරීමක් නොකොට තම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබීමත්, මහාවංස කතුවරයා එම හෙළ අටුවාවේ කරුණු සංස්කරණය කිරීමට ලක් කොට වාර්තාගත කිරීමත්, එහිදී සිදුවී ඇති කාර්යයයි. මහාවංසය රචනා කිරීමේ අවශ්‍යතාව පැන නගින්නට ඇත්තේද දීපවංසයේ අඩුපාඩු පැවති බැවිනි. එසේ කරන ලද්දේ ක්‍රමවත්ව සංස්කරණය කළ පාලි ග්‍රන්ථයක් රචනා කිරීමේ අවශ්‍යතාව නිසා විය යුතුය.මහාවංසය දීපවංසයට වඩා උසස් සාහිත්‍ය කෘතියක් වනවා පමණක් නොව ව්‍යක්ත පාලි භාෂා භාවිතයක්ද එහි දක්නට ලැබේ.
මහාවංසයට මුල් වූ කෘතිය සිංහලයෙන් ලියැවුණු බැවින් මහාවංස කර්තෘගේ අභිමතය වූයේ ඒ භාෂාව බැහැර කොට එහි වූ කරුණු පාලි භාෂාවෙන් ඉදිරිපත් කිරීමයි. එය ගද්‍යයෙන් ලියා තිබුණු අතර අට්ඨකථාවලින් උපුටා ගෙන එහි බහා ඇති ඇතැම් ගාථාවලින් පෙනෙන හැටියට එහි අතරින් පතර පාලි ගාථාවලින් ද යුක්ත වන්නට ඇතැයි සිතිය හැකියි.
මහා වංස ටීකාව මහා වංසය හඳුන්වා ඇත්තේ ‘පජජපදොරුවංස’ යන නමිනි. එහි අරුත ‘පද්‍යපද මහා වංසය’ යන්නයි. මෙසේ හඳුන්වන්නට ඇත්තේ ඊට කලින් ලියැවුණු ගද්‍ය ග්‍රන්ථයෙන් මෙය වෙන් කර දැක්වීම සඳහා විය යුතු යයි විද්වතුන් දක්වන මතයයි. මහාවංස කර්තෘගේ මේ උත්සාහය මුල් කෘතියෙහි හුදු පදගත අර්ථ පරිවර්තනයක් කිරීම නොවේ.
මෙසේ හෙළ බසින් පවත්වා ගෙන ආ ඓතිහාසික තොරතුරු පාලි පද්‍යයට නඟන ලද්දේ කවර හේතුවක් නිසාද යන්න ඊළඟට නැඟෙන ප්‍රශ්නයයි. එකල පාලි භාෂාව මතක තබා ගැනීමේ හා සජ්ජායනය කිරීමේ පහසුව සඳහා නිර්මාණ කළ භාෂාවක් ලෙස සලකනු ලැබූ නිසා මහා වංස හෙළ අටුවාව පාලියට නැඟුවා විය හැකියි.
ලෝක උරුමයක් වූ මහාවංසය
පස් වන සියවස වන විට පාලි භාෂාව ථේරවාදී බෞද්ධ ලෝකයේ ශාස්ත්‍රීය හා ජාත්‍යන්තර භාෂාව වශයෙන් වර්ධනය වෙමින් පැවති අවධියකි. ඒ නිසා ත්‍රිපිටක පාලිය සඳහා හෙළ බසින් හෙවත් සිංහල භාෂාවෙන් ලිඛිත හෙළ අටුවා නැවත පාලි බසට පෙරළා ගැනීමේ අවශ්‍යතාවක් පැවතුණා විය හැකියි. ඒ වගේ ම ඒ අවධිය, ආසියාවේ ථේරවාදී භික්ෂූන් අධ්‍යාපනය ලැබීමට හා ග්‍රන්ථ රැස් කිරීම සඳහා ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල සංචාරය කළ සමයක් ද විය. ක්‍රි.ව. පස් වන සියවසේ දී සිදු වූ චීනයේ පාහියන් භික්ෂුවගේ ලංකාගමනයත්, හෙළ අටුවා පාලියට නඟන්නට බුද්ධඝෝෂ හිමියන්ගේ පැමිණීමෙනුත් මෙය පසක් කර ගත හැකියි.
හෙළ අටුවා පාලි භාෂාවට පෙරළන ලද්දේ මහානාම රජ සමයේ(ක්‍රි.ව. 406-428)දියි. පාලි මහා වංසය රචනා කරන ලද්දේ ඊට පසුවයි. එහි අරමුණ වන්නට ඇත්තේ මෙරට බෞද්ධ ආගමික ඉතිහාසය හා බැඳුණු දේශපාලන සංස්ථාව පිළිබඳ ඉතිහාසය ලොව බුද්ධිමතුන් අතර හා දේශාන්තරවල ප්‍රචලිත කිරීමය.
මීට අමතරව සීහලට්ඨකථා මහාවංසය පාලි පද්‍යයට නැඟීමේ තවත් හේතුවක්ද උපකල්පනය කළ හැකිය. මෙරට ව්‍යවහාර වූ හෙළ බස හෙවත් සිංහල භාෂාව තුන් වැනි සිය වසෙහි සිට යම් යම් වෙනස්කම්වලට භාජනය වෙමින් පැවතුණේය. මේ වර්ධනය සෙල් ලිපි ආශ්‍රයෙන් හඳුනාගත හැකිය. ව්‍යවහාර භාෂාවේ ඇති වෙමින් පැවති වෙනස්කම් සැලකිල්ලට ගනිමින් එසේ නොවන පරිද්දෙන් මහා වංසය පවත්වා ගෙන යාමට පාලි බසින් පද්‍යයට නැඟුවා විය හැකිය.
දීප වංසය, මහා වංසය යන වංසකථාවල ඇති ඓතිහාසික අගය හා නිවැරදි බව පිළිබඳව පෙර’පර දෙදිග විශේෂ ඇගයීමටද ලක් වී ඇත. ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සෙප්, හර්මන් ඔල්ඩන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් ආදී අග්‍රගණ්‍ය උගත්තු ඒ අතර ප්‍රමුඛ වෙති. එහෙත් එහි මිථ්‍යා කථා හා මහා විහාරිකයන්ගේ ප්‍රලාප බහුල යයි කියන පඬිවරුද සිටියහ. මහාවංසයේ ඇතුළත් ආශ්චර්යජනක අද්භූත සිද්ධි, ආදි යුගයේ දින වකවානු, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වර්ෂය යන කරුණු අළලා මේ විවේචන ඉදිරිපත් කර ඇත.
භාරත ඉතිහාසය ගොඩනැංවීමෙහිලා මහාවංසයෙන් ලැබුණු පිටිවහල ඉමහත්ය. ඉන්දියා ඉතිහාසයෙහි අතිශයින් ම වැදගත් වූ මගධ රාජ්‍ය යුගයේ හර්යංක, ශිශුනාග, නන්ද හා මෞර්ය වංශ ආදියට අදාළ ක්‍රි. පූ. 5 වන සියවස සිට ක්‍රි. පූ. 3 වන සියවස තෙක් පැවති දින වකවානු රැසක් නිරාකරණය කර ගැනීමට හැකි වූයේ මහා වංසය ඇතුළු ලාංකීය වංස කතාවලිනි. මහා වාංසයෙහි දැක්වුනු දින වකවානු ඉන්දියානු පුරාණ ග්‍රන්ථවල හා ජෛන මූලාශ්‍රවල එන දින වකවානුවලට බොහෝ සෙයාන් නිවැරදි බව ඉන්දීය ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. අජාසත්ත රජුගේ සිට චන්ද්‍රගුප්ත මෞර්ය රජු දක්වා මගධයෙහි රජ කළ රාජ වංශයන්ගේ අනුපිළිවෙළ නිරාකරණය කර ගත හැකි වූයේ මහා වංසය මගිනි. එසේම එමගින් දේවානම් පියදසි යනු අශෝක රජු බවට තහවුරු කර ගැනීමට හැකි විය.
3 වන ධර්ම සංඝායනාව පිළිබඳව මහාවංසයේ එන තොරතුරු කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ හැකි පුරාවිද්‍යාත්මක සාධකද ලැබී ඇත. එම සංඝායනාවේ ප්‍රධානත්වය ඉසිලූ මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශාරීරික ධාතු අඩංගු කරඬුවක් සාංචි අංක 2 දරන ස්තූපයේ කැණීම්වලින් ලැබුණි. එහි කොටා තිබූ අකුරුවලින් ඒවා හඳුනා ගත හැකි විය. 3 වන ධර්ම සංඝායනාවෙන් අනතුරුව ගත් වැදගත්ම තීරණය වූ රටවල් 9 කට ධර්ම දූතයන් වහන්සේලා යැවීමත් ඒ සඳහා යැවුණු මහ රහතන් වහන්සේලාගේ ඓතිහාසිකත්වයත් නිසැක ලෙසම තහවුරු වී ඇත. ලංකාවේ වංසකතාවල සඳහන් පරිදි හිමාල ප්‍රදේශයේ බුදු සසුන පිහිටුවීමෙහිලා වගකීම පැවරුණු මජ්ජිම, කෝටිපුත්ත, කස්සපගොත්ත හා දුන්දුභිස්සර මහ රහතන් වහන්සේලාගේ නම් එම ලිපිවල සඳහන් වේ.
මහාවංසයේ 11 වන පරිච්ජේදයේ සිට 37 වන පරිච්ජේදයේ 50 වන ගාථාව තෙක් ඇති කොටසේ ඓතිහාසික අගය පිළිබඳව ප්‍රාමාණික උගතුන් අතර එකඟතාවක් ඇත. දේවානම්පියතිස්ස රජුගේ යැයි සැලකිය හැකි සෙල් ලිපි කිසිවක් සොයා ගෙන නැතත් ඒ රජුගේ මලණුවන් වූ උත්තිය රජුගේ නම සඳහන් වන ශිලා ලිපි ගණනාවක්ම සොයා ගෙන ඇත. එළාර, පඤ්ච දමිළයන් මා චෝරනාග, අනුලා, සීවලී වැනි පාලකයන් කිහිපදෙනකුගේ හැර අන් හැම රජ කෙනෙකුගේම නම් සඳහන් වන ශිලා ලිපි ලැබී තිබේ. ඒ අනුව අනුරාධපුර රාජ්‍යයේ රාජ නාමාවලිය සකස් කර ගත හැකි විය.
එළාර දුටුගැමුණු සංග්‍රාමය සැබෑ ඓතිහාසික සංග්‍රමයක් බව තහවුරු කෙරෙන්නේ දුටුගැමුණු රජුගේ මහ සෙනෙවිවරුන්ගෙන් නන්දිමිත්‍ර, ඵුස්සදේව, වේලුසුමන, ගොඨයිම්බර යන අයගේ නම් සඳහන් ශිලාලිපි ලැබී තිබීම නිසාය.
මහාවංසය නොතිබුණා නම් පුරාණ ලංකාවේ ශිලා ලේඛනයන්හී දැක්වෙන කරුණුවල සත්‍යාසත්‍යතාව නිශ්චය කර ගැනීම පවා අපහසු වන්නට ඉඩ තිබිණි. රජවරුන් හඳුනා ගැනීමත්, ශිලාලිපිවල කාලය නිර්ණය කිරීමත් වංසකථාවේ අනුපිළිවෙළින් ලියවුණු රාජ නාමාවලිය නොතිබුණා නම් අසීරු වනු ඇත.
2024 වසරේ බුකර් සම්මනය දිනූ සමන්තාගේ විස්මිත ‘ඕබිටර්’ නවකතාව
Percy JayamannaNovember 18, 2024
වසරක් පාසා, ‘ද බුකර්’ (The Booker) සම්මානය පිරිනැමෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කෙරෙන හොඳම නවකතාවටය. ජයග්‍රාහී ලේඛකයාට හෝ ලේඛිකාවට තෑගි වශයෙන් පවුම් 50,000 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් 20,465,650 ක් පමණ) ද සමඟ සම්මානයක් හා සහතික පත්‍රයක්ද හිමිවෙයි.
සම්මානලාභී සමන්තා හාවි
බුකර් සම්මාන ප්‍රදානය ආරම්භ වූයේ මීට වසර 55 කට පෙර, 1969 වසරේදීය. එදා මෙදා තෙක් සම්මානයට පාත්‍ර වූ සාහිත්‍යධරයන් අතරේ, වී. එස්. නායිපෝල්, කාසූ ඉෂිගුරෝ, සල්මන් රෂ්ඩි, මාගරට් ඇට්වුඩ්, ඉයන් මැක්එවන්, හිලරි මැන්ටල්, ඩග්ලස් ස්ටුවර්ට්, අරුන්දතී රෝයි සහ අරවින්ද් ආදිගා පමණක් නොව ශ්‍රී ලාංකික ලේඛකයකු ද වන මයිකල් ඔන්ඩච්චි පවා සිටිති. එපමණක් නොවෙයි; 2022 වසරේ දී ‘ද බුකර්’ සම්මානයෙන් පිදුම් ලැබුවේ, ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවය. 1992 වසරේදී මයිකල් ඔන්ඩච්චි විසින් රචිත ‘ද ඉංග්‍ලිස් පේෂන්ට්’ කෘතියට ‘ද බුකර්’ සම්මානය හිමිවීමෙන් පසු, ශ්‍රී ලාංකික ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව එයයි.
ආරම්භයේ දී ‘ද බුකර්’ සම්මානය සඳහා ඇතුළත් කර ගැනුණේ, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සිම්බාබ්වේ යන රටවල ලේඛකයින්ගේ පමණක් වූ අතර, 2014 දී එහි නීතිරීති වෙනස් කෙරුණි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ පළ කෙරෙන, ඉංග්‍රීසි භාෂාවෙන් පොත් ලියන සියලුම කතුවරුන්ට එය විවෘත කරනු ලැබුණි. මෙම 2024 වසරේ, බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ, බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන සමන්තා හාවීය. ඒ, ඇය විසින් රචිත ‘ඕබිටර්’ නවකතාව වෙනුවෙනි.
ඇය දිනූ සම්මානය හා කෘතිය
බුකර් සම්මානය පිරිනැමීම ආරම්භ කර වසර 55 ක් සපිරෙන මෙම වසරේ, වැඩිම කාන්තා ලේඛිකාවන් පිරිසක් සම්මානයට ඇයදුම් කර තිබුණි. අවසන් වටයට තේරුණු නවකතා හයෙන් පහක්ම රචනා කර තිබුණේ රටවල් පහක් නියෝජනය කළ ලේඛිකාවන් වීම විශේෂත්වයකි. ඒ අතරින් පළමු වරට අයර්ලන්තය නියෝජනය කළ නවකතාවක් ද විය. ‘ඕබිටර්’ නවකතාව වෙනුවෙන් සමන්තා හාවීට පවුම් 50,000 ක මුදල හිමිවෙද්දී අවසන් වටයට තේරුණු සෙසු නවකතා වෙනුවෙන් පවුම් 2,500 බැගින් තෑගි මුදල් පිරිනැමුණි. ඒ, පසුගිය නොවැම්බර් 12 වැනිදා ලන්ඩන් නුවර ඕල්ඩ් බිලින්ග්ස්ගේට්හිදීය.
‘ඕබිටර්’ නවකතාව, එක්තරා ආකාරයක විද්‍යා ප්‍රබන්ධයකි. ඊට පාදක වන්නේ පෘථිවි කක්ෂයේ ඉහළින් රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් පිරිසක් සහ ඔවුන්ගේ අත්දැකීම්ය. ඒ අනුව, අභ්‍යවකාශය හා සම්බන්ධ වූ නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වෙයි. මහා බ්‍රිතාන්‍යයේ වේගයෙන් අලෙවියක් පෙන්නුම් කළ ජනප්‍රිය නවකතාවක් ලෙස ද ‘ඕබිටර්’ සැලකෙයි. ‘ඕබිටර්’ නවකතාවේ ප්‍රධාන චරිත වන්නේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන්ය. රෝමන්, ඇන්ටොන්, චේයි, පියෙට්‍රෝ, ෂෝන් සහ නෙල් යනු සමන්තා විසින් පණ දෙනු ලැබූ එම ගගනගාමීන් හය දෙනාය.
සමන්තා හාවි හා ඇගේ ‘ඕබිටර්’ කෘතිය
රෝමන් රුසියානු අජටාකාශගාමියෙකි. ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ දින 434 ක් තිස්සේ රැඳී සිටී. නැවතුම්පොළේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහුය. රෝමන් දක්ෂයෙකි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඔහුට කළ නොහැකි දෙයක් නැත. ඇන්ටොන් ද රෝමන් සේම රුසියානු අජටාකාශගාමියෙකි. ඇන්ටොන් නිහඬ චරිතයකි. නමුත් ඇඟට නොදැනී විහිළු කරයි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ හදවත ඔහුය. ඇන්ටොන් සංවේදී කෙනෙකි. චිත්‍රපට බලද්දී දුක දැනුනොත්, ඔහු කඳුළු සලයි. අසාර්ථක විවාහයකින් හදවත පාරා ගත් ඇන්ටොන්, නිතරම තමන්ට අහිමි වූ දේ ගැන කතා කරයි. චීයි ජපාන ජාතික ගගනගාමිනියකි. ඇගේ මව මියගියාය. මව මියයද්දී, චේයි අභ්‍යවකාශයේය. ඇයට අවසන් ගෞරව දැක්වීමට යෑමට චීයිට නොහැකි විය. චේයිට සිටියේ මව පමණි. දැන් ඇයට කවුරුවත් නැත. අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටින ඇය මවගේ වියෝව වෙනුවෙන් ශෝක වෙයි. චේයි, ක්‍රමාණුකූලව වැඩ කරන, සාධාරණ බුද්ධිමත් තැනැත්තියකි.
පියෙට්‍රෝ ඉතාලි ගගනගාමියෙකි. ෂෝන් ඇමෙරිකන් ගගනගාමියෙකි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටිද්දී ෂෝන් දෙවියන් ගැනත්, විශ්වය ගැනත් කල්පනා කරයි. විවාහක කාන්තාවක වන නෙල් බ්‍රිතාන්‍ය ජාතික ගගනගාමිනියකි. ඇගේ සැමියා අයර්ලන්ත ඔවුන්ට අයත් පවුලේ ගොවිපොළේ ජීවත් වෙයි. රැකියාවට ඇති බැඳීම නිසා සැමියාගෙන් සහ පවුලේ අයගෙන් නෙල් දුරස් වී සිටී. ගගනගාමීන් හය දෙනාගේ එක පැය 24 ක් මුලු නවකතාවටම පාදක වෙයි. එම පැය 24 ඇතුළත අභ්‍යවකාශයේ සිටින එම ගගනගාමීන් හය දෙනා හිරු නැගීම් 16 ක් සහ හිරු බැසීම් 16 ක් නිරීක්ෂණය කරයි. පහළ පෘථිවිය නිහඬව සෙමින් භ්‍රමණය වනු ඔවුන් දකින්නේ අපූර්වත්වයකින්.
මහා විශ්වයේ අප සිටින්නේ කොතැනදැයි අපට සිහිපත් කරයි. ගගනගාමීන් පෘථිවියෙන් ඉහළ අභ්‍යවකාශයේ රැඳී සිටින්නේ පහළින් ඇති පෘථිවිය දකිමිනි. අප ග්‍රහලෝකය, තනි ආඛ්‍යාන රාමුවක් තුළ ස්ථානගත කරමින්, දේශසීමා සහ කාලසීමා පරයන පුද්ගල සබඳතා සහ මනුෂ්‍යත්වය ඉස්මතු කිරීමට සමන්තා හාවිගේ ‘ඕබිටර්’ නවකතාව සමත් වී තිබෙනවා. කුමන ජාතිය නියෝජනය කළත් මනුෂ්‍ය අප හැමෝම එකයි නේද? යනුවෙන් පාඨකයාට සිතන්න සැලැස්වීමට සමන්තා ඇගේ ‘ඕබිටර්’ නවකතාව හරහා සමත් වී තිබෙනවා යැයි ‘ඕබිටර්’ නවකතාව බුකර් සම්මානයට සුදුසු යැයි තෝරා ගත් බුකර් විනිසුරු මඩුල්ල හේතුපාඨ වශයෙන් පැහැදිලි කර තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතේ උපන් 49 හැවිරිදි සමන්තා හාවි ලේඛිකාවක පමණක් නොවෙයි. දක්ෂ මෙන් නිර්මාණශීලීව ලියන්නේ කෙසේදැයි උගන්වයි. බාත් ස්පා විශ්ව විද්‍යාලයේ, ‘නිර්මාණාත්මකව භාෂා භාවිතය’ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව මෙහෙයවන්නේ ඇයයි. 2009 වසරේ දී, සමන්තා හාවි, ‘ද විල්ඩර්නස්’ The Wilderness නවකතාව එළිදැක්වූවාය. මෙය බෙටී ට්‍රෑස්ක් ත්‍යාගය Betty Trask Priz හිමිකර ගත් නවකතාවකි. ‘ඕල් ඊස් සොංග්’ All is Song, ‘ඩියර් තීෆ්’ Dear Thief සහ ‘ද වෙස්ටර්න් වින්ඩ්’ The Western Wind යන නවකතාවල කතුවරිය වන්නේ ද සමන්තාය. ඇගේ ප්‍රබන්ධ නොවන නවකතාවක් වන ‘ද ෂේප්ලස් අන්ඊස්: අ ඉයර් ඔෆ් ස්ලීපිං’ The Shapeless Unease: A Year of Sleeping සාහිත්‍ය විචාරක පැසැසුමට ලක් වී ඇත. ‘ඕබිටර්’ නවකතාව වෙනුවෙන් බුකර් සම්මානය හිමිවීමෙන් පසු ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සතුට පළ කළාය.
‘ඕබිටර්’ නවකතාව පිටු 136 කින් සමන්විතය. එය ලොකු නවකතාවක් නොවෙයි. මේ අයුරින් අඩු පිටු ගණනක නවකතාවක් බුකර් සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව වන්නේ මෙය යැයි ද පැවැසෙයි. ‘අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගගනගාමීන් හය දෙනා බැගින් මාස හයෙන් හයට රැඳී සිටිනවා. ඒක ප්‍රබන්ධයක් නොවෙයි. අපේ ඇස් පනාපිට අපි ඒක දකිනවා. ඒ විතරක් නොවෙයි; සජීවීව එම ගගනගාමීන් මොනවද කරන්නේ පෘථිවියේ සිට නැරැඹීමටත් අපට පුළුවන්. ‘ඕබිටර්’ නවකතාව මම රචනා කළේ එසේ අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් ලැබෙන වීඩියෝ දසුන් නැරැඹීමෙන් ද පසුවයි.
‘ඔබ බුකර් සම්මානය ජයග්‍රහණය කළා. ඉතිං මොනවද ඔබට කියන්න තියෙන්නේ?’ යැයි බීබීසි පුවත් සේවය, සමන්තා හාවිගෙන් විමසුවේය. ‘බයික් එකක් මිලදී ගන්න මට ආසාවක් තියෙනවා. ඒ වගේමයි මට ජපානයට යන්නත් ආසාවක් තියෙනවා. මේ තෑගි මුදල මට ඒ සඳහා උදවු වේවි’ යැයි සමන්තා පිළිතුරු දුන්නාය.
– ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
ප්‍රවීණ පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න මහතාගේ මල් කැකුළු බ්ලොග් අඩවියෙන්
http://www.malkakulu.com/ අවසර ඇතිව උපුටා ගත්තකි.