සිංහල කෙටිකතාව – දෛවයෝගය !!, ජීවන කතන්දර- අධ්‍යාපන ඇමති හත්වන ශ්‍රේණියේ සිසුන්ට උගන්වයි,පරිවර්තිත කෙටිකතාව – මීයා

දෛවයෝගය !!

ගල්කිස්ස වෙරළ තීරය දිගේ ලා අඳුර මෝඳු වෙනකොට බටහිර අහස කෙලවරින් ගිනියම් වෙච්ච ඉර තව තප්පර ගානකින් මහ මුහුදෙ ගිලෙන්න මඟ බලාගෙන උන්න.ඉරේ අන්තිම රැස් කැරැල්ලත් මූදු වතුර සිපගන්න ඒ මොහොතෙ බටහිර අහස් අනන්තයේ මැවෙන සිතුවම මොන තරම් විචිත්‍රද… දනුක හැමදාමත් ඒ සිතුවමට ප්‍රේම කලා…ගිනිබෝලයක් වගේ රතු වෙච්ච ඉර වටේ අහස ඒ වෙලාවට සැරසෙන්නෙ ලෝකෙ තියෙන ලස්සනම පාට වලින් හැඩ වෙලා.වෙනදට නම් දනුක අතින් මෙහෙම වෙලාවට අනන්තවත් කවි ගී ලියවෙනව. ඒත් අද එහෙම දවසක් නෙවෙයි.සමහර විට අදින් පස්සෙ දනුක ආයෙ කවමදාවත් මේ වෙරළට එන එකකුත් නෑ.

වෙරළට අඳුර එද්දි …ඉර රක්තවර්ණ වෙද්දි …අහස ලා දම්පාට වෙද්දි…මුහුදු හුළඟ එන්න එන්නම සීතල වෙද්දි ධනුක උන්නෙ ඒ හැටි සිහිකල්පනාවකින් නෙවෙයි.ඒ වෙනකොට ඉවර වෙච්ච බියර් කෑන් හතරක්ම දනුකගෙ පය පාමුල විසිරිලා තිබුන.ඇඟිලි අතර හිරවෙලා තිබුන සිගරට් එක පිච්චිල පිච්චිලා අන්තිමට ඇවිත් දනුකගෙ ඇඟිල්ලත් පිච්චෙන්න ඔන්න මෙන්න ඒත් එයාට ගානක්වත් නෑ.ගල්කිස්ස මහ හෝටලය පාමුලට වෙන්න රේල්පාර ආසන්නයේම ගල්තලාවට වෙලා උන්නු දනුකගෙ ඇස් තිබුනෙම හෝටලේ දිහාට එල්ල වෙලා.හැන්දෑවේ හත පහුවෙලා හරියටම විනාඩි දෙකක් පහුවුනා විතරයි ගල්කිස්ස හෝටලේට ඉහලින් අහස සිසාරා එක දිගට මල් වෙඩි පත්තුවුනා.හදිසියේම ඇස් විශ්මයෙන් වශී කරපු ඒ අයස්කාන්ත දර්ශනය දිහා හැමෝම ආසාවෙන් බලන් ඉද්දි දනුකගෙ ඇස් වලට විතරක් කඳුළු ඉනුව.මල් වෙඩි වගේ එයාගෙ හිතත් පට පට ගාල පුපුරන්න ගත්ත. ඉදගෙන උන්න තැනින් දනිපනි ගාලා නැගිටින්න හැදුවත් දෙපාවලට වාරු තිබුනෙ නෑ.උත්සහ කරන හැම පාරම දනුකව වාරු නැතුව වැටෙන්න ගියා.අන්තිමට උත්සහය අත ඇරල ගල්තලාවෙ වැතිරිලා දනුක මහා හයියෙන් ඉකිගැහුව.

මන්දාරා…..

අතේ තිබුනු බියර් කෑන් එක කිටි කිටියෙ අත් වලට හිර කර ගන්න ගමන් දනුක මහා හයියෙන් කෑ ගැහුව.මන්දාරා… දනුකගේ සදාකාලික ප්‍රේමය අද සදහටම වෙන කෙනෙකුගේ වෙන නැකතට දැල්වුන මල් වෙඩි දනුකගෙයි මන්දාරගෙයි ආදර කතාවම ගිනිබත් කලා. දනුකට මන්දාරාව මුල් වරට මුණගැහෙන්නෙ මේ වෙරළ තීරයේදි මේ ගල්පරය ළගදිමයි.අද මන්දාරා වෙන කෙනෙකුගෙ වෙලා පෝරුවට නගින්නෙත් ඒ වෙරළ සීමාවෙම ප්‍රපාතවත්ව නැගී ඉන්න ගල්කිස්ස මහ හෝටලේදිමයි.

දනුක…මචං ..උඹ පිස්සුනම් නටන්න ලෑස්ති දෙන්න එපා කියල යාලුවො කොච්චර අවවාද කලත් ඒ හැමෝවම මඟහැරල දනුක මෙතන්ට ආවේ මේ වේදනාවෙන් පපුව පුච්ච ගන්නමයි.ගොඩාක් ඉස්සර ඉදලම දනුක මේ වෙරළට අසීමාන්තිකව ආදරේ කලා.එයා මේ ලෝකෙන් වැඩියෙන්ම ආස කරපු තැන මේ වෙරළ.ජිවිතේට මහා දුකක් දැනෙන වෙලාවට වගේම සතුටක් සැනසීමක් දැනෙන වෙලාවට පවා මේ වෙරළේ ගල් පරයක හුදකලාවම වාඩි වෙලා ජීවිතේ විඳින විඳවන එක දනුකගෙ පුරුද්දක්.

             * * * * * * * *

ඉතින් එදාත් එහෙම දවසක්..ඔව් මීට හරියටම අවුරුද්දකුත් මාස අටකුත් දවස් දාහතරකට කලින් දවසක දනුක උන්නෙත් අද මේ ඉන්න ගල්තලාවෙ වාඩි වෙලා හුදකලාවම බිඳෙන විසිරෙන රැළි දිහා බලාගෙන. එක පාරටම කොහේදො ඉදල දුවගෙන ආව සුදුම සුදු පුලුන් බෝලයක් වගේ පුංචි පොමනේරියන් බලු පැටියෙක් දනුකගෙ දෙපා අතර හැංගිලා ගුලි උනා.දිවත් එලියට දාගෙන මහා සද්දෙට හුස්ම ගන්න බලු පැටියව දනුක හිමිහිට ඔඩොක්කුවට අරන් ඔලුව අතගෑවා.

සින්…ඩීඊඊඊඊඊ….

එක පාරටම ඇහුන ඒ උස් කටහඬට බලු පැටිය විතරක් නෙවෙයි දනුකවත් සසල වුනා.ඒ සසල වීම විශ්මයක් උනේ ඒ හඬ ආපු දිහාට ඇස් හැරෙව්වම.බලු පැටිය වගේම හති දදා දනුකට අඩි තුන හතරක් එහාට වෙන්න හිටියෙ සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක්.රැළි රැළි කොට සායයි මූදු හුළඟ එක්ක හරි හරියට දඟ දාන කැරලි කැරලි කොණ්ඩෙයි.ඒ සුදු මූණයි හයියෙන් උස්පහත් වෙන ළැමයි ජීවිතේ පලවෙනි වතාවට දනුකගෙ හිතට මොන මොනවාදෝ කලා.

අනේ….සින්…ඩී….එන්නකෝ…

ආයෙත් ඒ කිංකිණි හඬ නැගෙන බිඳෙන රලක් වගේ උස් පහත් වෙවී ඇවිත් දනුකගෙ පපුවෙම වැදුන.ඇත්දල පාට සිහින් පය’ගිලි රළු ගල් පර උඩ ලතාවට තිය තිය ඈ දනුක ළඟටම ආවා. දනුකගෙ අත් අස්සෙ ගුලිවෙලා උන්න සින්ඩි ඇගේ දෝතට මාරු උනේ ජිවිතේ කවරදාවත් මීට කලින් නොවිඳපු සුවදක් දනුකගෙ ජීවිතේට එක්කාසු කරල.

Thanks….

ඇය දනුකගෙ මූණ දිහා බලල එහෙම කිව්වත් දනුකට නම් එකම එක වචනයක්වත් කියාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ආව වගේම ලතාවට ඈ බලු පැටියවත් තුරුලු කරගෙන ගලින් ගලට මාරු වෙවී වෙරළට පාවුනා. දනුක ඒ සුන්දරත්වය ඈතට ඈතට නොපෙනී යනකම්ම ඇස් දල්වගෙන බලන් හිටිය.

ඊට පස්සෙ උදා වෙච්ච හැම දවසක්ම දනුක උන්නෙ බලාපොරොත්තුවේ ඇස් ගල්කිස්ස වෙරළ තීරයේ දිගේලි කරල.ඉස්සරහින් මහා සාගරෙයි වම් අත පැත්තෙන් ගල්කිස්ස මහ හෝටලෙයි අනිත් අත පැත්තෙ වෙරළ තීරයයි විතරක්ම ජීවිතේ සිතුවම කර ගත්ත දනුකගෙ චිත්‍ර පොතේ සුරංගනාවියන් වගේ යුවතියක් පුංචි බලු පැටියෙක් අතින් අල්ලන් වෙරළ දිගේ දුවන සිතුවමක් හරි අපූරුවට සිත්තම් වුනා. හැමදාම නොවුනත් සතියට දවසක් හෝ දෙකක් දනුකගේ ඒ සිතුවමේ සුරංඟනාවි ජීවමානව වෙරළ දිගේ ඇවිදන් ආව.මුලින් මුලින් අහම්බෙන් දැක්ක වගේ විශ්මයෙන් බලල දන්න අඳුනන කෙනෙක් එක්ක වගේ හිනා වෙන එක… ඊට පස්සෙ පස්සෙ වචනයක් දෙකක් හුවමාරු කර ගන්න එක… ඊටත් පස්සෙ එකම ගල් තලාවේ දෙපැත්තෙ වාඩි වෙලා ජීවිතේ බොහෝ දෙවල් කතාවෙන් හුවමාරු කර ගන්න තැනට එන්න දෙන්නටම ඒ හැටි කාලයක් ගියේ නෑ.

මං ආදරෙයි….

දනුක එහෙම කියද්දි මන්දරාගේ ඇස් දිළිසුනා.හරියට එයා ඒක බලාපොරොත්තුවෙන් හිටිය වගේ. ඒත් මන්දාරා මුවින් කිසිම දෙයක් කිව්වෙ නෑ.උන්නු තැනින් නැගිටලා ඇවිත් දනුක වාඩි වෙලා හිටපු තැනින්ම වාඩි උනා. දනුක හිමිහිට ළං වෙලා මන්දාරගෙ අතකින් අල්ල ගත්ත.ඒ ඇස් වලින් වැටුණු කඳුළක් දනුකගෙ ඇඟිලි උඩට වැටුණ. ඒ සුදු මූණෙ පැත්තක්ම වහගෙන හිටපු කැරළි කොණ්ඩෙ කන පිටිපස්සෙ හංගල දනුක මන්දාරාව තමන්ගෙ උරහිසට වාරු කර ගත්ත.

             * * * * *

මචං දනුක උඹ දන්නවද මන්දාරා කාගේ කවුද කියල

දවසක් යාලුවෙක් එහෙම අහද්දි දනුක නිරුත්තර උනා.මන්දාරා ගැන මිසක් එයාගේ පවුලෙ තොරතුරු කිසි දෙයක් ඒ වෙනකොට දනුක දැනගෙන උන්නෙ නෑ.මන්දාරා එහෙම කියපු බවක්වත් මතකෙට ආවේ නෑ.

ඒකි ඉද්දමල්ගොඩගෙ එකම දුව

දනුක එහෙමම ගල් ගැහුන. මොන ඉද්දමල්ගොඩද කියල අහන්නවත් දනුකගේ මුව ඇරුනෙ නෑ.අනික එහෙම අහන්න වැඩකුත් නෑ. මුලු ලංකාවේම ප්‍රසිද්ධ බිස්නස් කාරයෙක්.සද්ගුණවත් ධානපතියෙක්, මැරයෙක් ඉද්දමල්ගොඩ නම ඉස්සරහින් බොහෝ විශේෂණ පද තිබුන.එයාගේ එකම දුව මන්දාරා…. දනුක සීතල උනා. බුද්ධිය කිව්වෙම ආපහු හැරියං හැරියං කියල. දනුකව විතරක් නෙවෙයි ඒ නම ගෑවිච්ච ගෑවිච්ච කෙනෙකුට ඉද්දමල්ගොඩගෙන් ගැලවිල්ලක් නැති බව දනුක දැනගෙන හිටිය. ඒත් හදවත තිබුනෙ ඒ ඇත්ත පිලිගන්න පුලුවන් තැනක නෙවෙයි.

හා පැටියෙක් මුවැත්තියක් වගේ අහිංසක ඒ සරළ කෙල්ල ඉද්දමල්ගොඩගෙ දුව කියල පිලිගන්න හිත ඉඩ දුන්නෙම නෑ.එහෙම පිලිගත්තා උනත් ඒ ආදරේ අතඇරල බයේ පස්සට යන්න දනුක සූදනම් නෑ.

මට ඔයා නැතුව බෑ

මන්දාරා දනුකට එහෙම කිව්ව.

ඒ නිල් ඇස් වලින් කඳුළු කැට කඩන් වැටුන.ගල්කිස්ස වෙරළ ඒ කඳුළු රැලි අස්සෙ හංගගෙන ඈතට අරන් ගියා.

මොනම හේතුවකටවත් මගෙන් ඈත් වෙන්න එපා….

දනුක එහෙම කිව්වට මන්දාරා එහෙම පොරොන්දුවක් උනේ නෑ. දනුකගෙ බෙල්ල බදාගෙන පපුවට හේත්තු උනා විතරයි. කාලය හරි ඉක්මනට ගතවුනා. දනුකගෙයි මන්දාරගෙයි ආදරේත් ඒ තරමටම වැඩුන.පුලු පුලුවන් වෙලාවට මන්දාරා දනුකව හොයන් ආවා. ඒ ආදරේ හැම රහසක්ම දැනගෙන හිටියෙ ගල්කිස්ස මුහුද විතරමයි.

දනුකට ඕන ඕන වෙලාවට මන්දාරා එක්ක කතා කරන්න හිතෙන හිතෙන වෙලාවට මුණගැහෙන්න යන්න කවදාවත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ.ඇය කතා කරනකංම දනුකට ඉවසන්න උනා.ඇය එනකන්ම දනුකට බලන් ඉන්න උනා.ඒත් ආදරේ වෙනස් උනේ නෑ.ඉඳහිට එන මැසේජ් එකක්, විනාඩියක දෙකක කළබල කෝල් එකක්,වෙරළ කොනේ සුන්දර හමුවීමක් වෙනුවෙන් දනුක ඒ වයසෙ තරුණ හිතකට හිතන්නවත් බැරි තරම් ඉවසීමකින් සංයමයකින් බලා හිටිය.දනුකගෙ ජීවිතාශාව දැල්වුනේම මන්දාරා කියන බලාපොරොත්තුව වෙනුවෙන්.ඒත් ඒ බලාපොරොත්තුවට මහා ලොකු ආයු කාලයක් නෑ කියල දනුකගෙ බුද්ධියට නොවැහැටුනා නොවෙයි.ඒත් බුද්ධිය ඒක මතක් කරල දෙන හැම පාරකම හදවත ඒක නොතේරෙනව වගේ මඟහැරිය.

          * * * * *

ඉතින් දවසක් ඒ පණිවිඩය අරගෙන කෙනෙක් ආවා.වෙනද වගේම දනුක හිටියෙ කොයි මොහොතක හරි මන්දාරාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වෙරළ කොනේ ගල් බැම්මට වෙලා.ඒත් එදා මන්දාරා වෙනුවට ආවේ ඇගේ විශ්වාසවන්තම මිතුරියක්.හරිම පරිස්සමට රැකගෙන ආපු පුංචි කොළ කෑල්ලක් ඇය දනුක අතට දුන්න.

‘ මාව අමතක කරන්න දනූ..ප්ලීස් අදින් පස්සෙ මාව බලාපොරොත්තුව ඉන්න එපා’..

හිත පුංචිම පුංචි කෑලි වලට කැඩිල කුඩුපට්ටම් වෙලා යනව වගේ දැනුනත් ඒ පුංචි කොළ කෑල්ල සීරුවට නවල කලිසම් සාක්කුවෙ පතුලටම දාගෙන කලින් නමින් විතරක් අඳුරගෙන හිටපු ඇගේ මිතුරිය දිහා හිස් බැල්මෙන් බලා උන්න.
දේවල් සිද්ධ උනේ හරි ඉක්මනට දනුක..ඔයා දන්නව මන්දිට කරන්න කිසිම දෙයක් නැති බව…එයා මේ වෙලාවෙ හිතන්නෙ ඔයාගෙ ආරක්ෂාව ගැන විතරමයි….

ඇය මන්දාරා වෙනුවෙන් කතා කලා.දනුක අහගෙන හිටිය.

මැයි 20 මන්දිගෙ වෙඩින් එක..අර හොටෙල් එකේ….

ඈ ඇගිල්ල දික්කරල ගල්කිස්ස මහහෝටලේ පෙන්නුව.

කීයටද..?

දනුක ඇහුවෙ එච්චරමයි.

පෝරුව සෙරමනි 6.20 ට …හවස… 

තව මුකුත් අහන්න පුලුවන් කමක්වත් උවමනාවක්වත් දනුකට තිබුනෙ නෑ අඩියට දෙකට ගල්පරෙන් රේල්පාරට පැනල පුරුද්දට වගේ පාර දිගේ ඇවිදගෙන ගියා. ජීවිතේ කියන්නෙ හින්දි චිත්‍රපටියක් උනානම් දනුකටත් තිබ්බ වීරයා වගේ ගිහින් මන්දාරා වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කරන්න.කොහේහරි ඈතකට ගිහින් ලුණුයි බතුයි හරි කකා සන්තෝශෙන් ජීවත් වෙන්න.දුශ්ඨයො හොයන් එද්දි සටන් කරල දහපහලොස් දෙනෙක්වත් බාවන්න. ඒත් සැබෑ ජීවිතේ කියන්නෙ පාට පාට හීන කතන්දරේකට නෙවෙයි.ඉද්දමල්ගොඩ කියන්නෙ දනුකට හැප්පෙන්න තියා එහෙම හිතන්නවත් පුලුවන් කෙනෙක් නෙවෙයි.දනුකගෙ අම්මට ඉන්නෙ දනුක විතරයි .තාත්ත පපුවෙ අමාරුව හැදිල ඇස් වහගන්නකොට දනුකට යාන්තං අවුරුදු දාසයයි.එදා ඉදන් අම්ම දුකක් නොදී දනුකව හැදුවෙ ආදරයක් වෙනුවෙන් කුඩුපට්ටම් වෙන්න නෙවෙයි කියල දනුක ඕනාවටත් වැඩිය දැනගෙන උන්න.ඉතින් ඒ හින්දම දනුක මන්දාරා ගැන මැව්ව අපමණ සිහින හිතේම තියාගෙන විඳෙව්ව.යන තැනක ඇයට සතුටින් ඉන්න ලැබෙන්න කියල පැතුව.

         * * * * *

දනුකගෙ අතීත සිතුවිලි පොඩිපට්ටම් කරගෙන ක්රී….ස් සද්දයක් එක්ක දුම්රියක් පීලි මත ඇදි ඇදී ගිහින් මහ හඬින් නැවතුනා. හැම හැන්දෑ වරුවක්ම මෙතන ගෙවන දනුකට ඒකත් අමුතු දෙයක් නෙවෙයි.ඒත් මන්දාරා වෙනුවෙන් අවසන් වතාවට කියල හිතට ඒත්තු ගන්වමින් අඬන තැවෙන මේ වෙලාවේ අනවශ්‍ය සද්ද බද්ද වලට හිත යන එකට දනුක කැමති වුනේ නෑ.මෙච්චර වෙලා එක අතක ගුලි කරගෙන හිටපු පුංචි කඩදාසි කෑල්ල දනුක ගැහෙන ඇගිලිතුඩුවලින් ආයෙමත් දිග ඇරිය.හරි හදිස්සියෙන් වගේ ලියපු ඒ බෝල අකුරු ‘ මාව අමතක කරන්න… ‘ දනුකගෙ ඇස් දෙකෙන් ආයෙම ලොකු කඳුළු බිංදු දෙකක් ඒ කොළේ මතට වැටුන.

දනූ. .මගෙ දනූ…

සිහියත් අසිහියත් අතර හිටපු දනුකට ඒ හඬ ඇහෙන්නෙ තමන්ගෙ හිතින්ද හැබෑවටමද කියල හිතාගන්න බැරිවුනා.කඳුළු වලට බොඳ වෙච්ච ඇස් උස්සල බලද්දි මංගල ඇඳුමින් හැඩ වෙච්ච මන්දාරා මල් පොකුරකුත් අතේ තියන් බලන් හිටිය.

ම…න්..දා…රා..

දනුක අසිහියෙන්ම නැගිට්ටා වාරු නැතුව වැටෙන්න යද්දි මන්දාරා පැනල දනුකගෙ අතින් අල්ල ගත්ත.සුදෝ සුදු කැන්ඩියන් එක ඇඳල මාල හත පලන්දල මල් පොකුරක් අත දරා ගෙන ඇය ඔහු ළඟ.ඔව් මේක හීනයක් නෙවෙයි දනුකගෙ හිත මොරගගහා කිව්ව.

මං ආවා දනූ..මට ඔයා නැතුව බෑ…

මන්දි…දෙයියනේ ඔයා කොහොමද මෙහෙම….

දනුක විශ්මයෙන් කෑගැහුව.

.

ෂ්ෂ්ෂ්…..කෑගහන්න එපා රන්… අපිව අහුවෙයි… එන්න අපි ඉක්මනට මෙහෙන් යමු…

දනුකට කිසිම දෙයක් හිතාගන්නවත් කියාගන්නවත් ලැබුනෙ නෑ.දනුක උන්නෙ සතුටින් සන්ත්‍රාසයට පත්වෙලා මන්දාරා දනුකගෙ අත අල්ලගෙන ඉස්සර වුනා පුරුදු කාරියක් වගේ ගලින් ගලට වේගෙන් අඩි තිය තිය වෙරළත් පහුකරගෙන මූදු රැළි අතරට සේන්දු උනා..දනුකගෙ ගිනියම් වෙච්ච අත මන්දාරාගේ සීතල වෙච්ච අතේ තදින් පැටලිලා තිබුන.

        * * * * *

දෙයියනේ..මොන ආරාධයක්ද..

වැඩක් නෑ… එතනමයි….

පව් ලස්සන කෙලි පොඩ්ඩක්..

හප්පච්චියේ මොන නවනින්ගිරාවක්ද මගුල් ඇඳුමෙන්ම නේහ්….

මුන්ගෙ මගුල් නිසා අපිට ගෙවල් වලට යන්නත් නෑ ….

හදිසියේ නවත්තපු කෝච්චියේ සෙනඟ එක එක දේවල් කියල කෑගහන සද්දෙ ඇහෙන මානෙක දනුක ඒ වෙනකොට උන්නෙ නෑ අහුනත් ඒවා සිහිකල්පනාවෙන් අහල තෝර බේර ගන්න පුලුවන් පැහැදිලි මානසික මට්ටමක් ඔහුට තිබුනෙත් නෑ. ඉතින් එදායින් පස්සෙ ආයෙ කවදාවත් කවුරුවත් දනුක ගල්කිස්ස මුහුදු වෙරළ අයිිනෙ ඉන්නවා 

දැක්කෙත් නෑ.

ශානිකා ශෂිප්‍රියා

සොඳුරු සඳවතී බ්ලොග් අඩවිය https://kavisandalla.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .

අධ්‍යාපන ඇමති හත්වන ශ්‍රේණියේ සිසුන්ට උගන්වයි

1952 වර්ෂයේ සෞඛ්‍ය සතියේ වැඩ සටහන් රාශියක්‌ අපේ විදුහලෙත් සංවිධානය කර තිබුනා. මේ සඳහා අධ්‍යාපන ඇමති තුමාත් සහභාගී විය හැකි බව එක්‌ උදය රැස්වීමකදී විදුහල්පති තුමා අපට දැනුම්දී තිබුනා. ඒ කාලයේ ඇමති වරයෙක්  විදුහලකට එනවිට මහා පිළිගැනීම් උත්සව පවත්වන්නේ නැහැ. සෞඛ්‍ය සතියේ දෙවෙනි හෝ තුන්වන දිනයේදී ඇමති තුමා විදුහලට පැමිණියා. ඒ කාලයේ අපගේ 7ශ්‍රේණි  පන්තිය තිබුනේ විදුහල්පති කාර්යාලයට යාබද ශාලාවක. අපේ පන්තියට සෞඛ්‍යය ඉගැන්වූයේ විදුහල්පති තුමාමයි.  සතියකට එක කාල ඡේදයක් වූ සෞඛ්‍ය පාඩම විදුහල්පති තුමා ඉගැන්වූයේ ගුරුවරු අඩු කම නිසාද, පන්තියක ඉගැන්වීමට තිබුණු කැමැත්ත නිසාද, විදුහල්පති කාර්යාලයට කිට්ටුම පන්තිය නිසාද ඒ සියල්ලටම අමතරව අප පන්තිය කාගේත් ආදරය දිනාගත් පන්තිය නිසාද යන කිසිවක් කුඩා අය වූ අපි නොදැන සිටියෙමු.

එදා තුන්වන කාලඡේදය සඳහා  සෞඛ්‍ය පාඩම උගන්වන විදුහල්පතිතුමා පන්තියට නොපැමිණි  නිසා පන්තියේ තරමක නොසන්සුන් බවක්ද ඇති විය. ටික වේලාවකින් විදුහල්පතිතුමා විශේෂ අමුත්තෙකු සමග කාර්යාලයෙන් පිටට එනු අපි දුටුවෙමු. සුදු ජාතික ඇඳුමෙන් සැරසී උතුරු සලුවක්ද දමා සිටි  එම අමුත්තාට ප්‍රතාපවත් පෙනුමක් තිබිණ. ඝනට වැඩුණු සුදු උඩු රැවුල සහ පැළඳ සිටි රත්රන්  පැහැති රාමුව සහිත රවුම් ඇස් කන්නාඩි කුට්ටමද නිසා ඔහුගේ පෙනුමෙහි ප්‍රතාපවත් බව වැඩියෙන් දිස්විය. විදුහල්පතිතුමා සමග හෙමිහිට කතාකරමින් පටු මිදුල දිගේ ඉදිරියට ගමන් කළ ඔවුහු  අපගේ පන්ති කාමරය ඉදිරිපිට මඳක් නතර වූහ. විදුහල්පති තුමා යම කිසි දෙයක් පවසා අපගේ පන්තිය දෙසට ඇඟිල්ල දික් කර යමක් කී බව අපට දැනුනි. පන්තියේ සියලු දෙනාම බිරාන්තව මීයට පිම්බා සේ නිහඬව සිටියහ. ඒ සමගම විදුහල්පතිතුමා සහ අමුත්තා අපගේ පන්තියට ඇතුල්විය. බිය, සැක, භක්තිය, ගෞරවය ආදී සියලුම හැඟීම් සහිත වූ පන්තියේ අපි සියලු දෙනාම එක වර නැගී සිට සුපුරුදු ලෙස ‘ Good morning, Sir’ කියා ඔවුන්ට  ආචාර කර සිටගෙනම සිටියෙමු. අපට හිඳ ගැනීමට අතින් සංඥා කළ ඔව්හු පන්තිය ඉදිරියට පැමිණියහ. පන්ති නායකයා ඔහුගේ පුටුවද අමුත්තන් සඳහා  පන්තිය ඉදිරිපිටට  ගෙනයාමට සූදානම් වූ විට විදුහල්පතිතුමා එය නතර කර අපට අමුත්තා හඳුන්වා දුන්නේය. ඉංග්‍රීසියෙන් කළ හඳුන්වා දීම සිංහලෙන් මෙසේය.

”ළමයි කව්රුත් දන්නවා ඇති මේ අමුත්තා කව්ද කියා. මේ තමා අප රටේ අධ්‍යාපන ඇමති,  සී. වබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර   මැති තුමා. එතුමා අද මෙහෙ උත්සවයකට සහභාගී වෙනවා”.  

ඇමති තුමා පන්තියේ සිටයදී විදුහල්පතිතුමා නික්ම ගියේ ය.

කුඩා අපට ආදරයෙන්  ආමන්ත්‍රණය කළ එතුමා සෞඛ්‍ය සතිය ගැන පන්තියෙන් ප්‍රශ්න කළා. කව්රුත් කුමක් කිව යුතුද කියා සිතමින් සිටින විට පන්තියේ එක් ශිෂ්‍යාවක්  ඉංග්‍රීසියෙන්ම ඒ පිලිබඳ හොඳ උත්තරයක් දුන්නා. එයින් සතුටට පත් එතුමා

“මේ පන්තියේ සිටින ශිෂ්‍යත්වධාරීන්  අත් ඔසවන්න” යයි   කීවා.

මෙම විධානයට අපට තරමක බියක් සහ කුතුහලයක්ද ඇතිවූවා.  අපේ පන්තියේ ශිෂ්‍යත්වධාරීන් 15 දෙනෙක් සිටියා. අත් එසවූ කිහිප දෙනෙකුගේ ගම් පළාත් ගැනද  තොරතුරු ඇසූ ඇමති තුමා, 

“මමත් මේ පළාතේ කෙනෙක් බව දන්නවාද ?” කියා ඇසුවා.

ටික වෙලාවක නිශ්ශබ්දතාවයකින් පසුව,

“මම ලූල්බද්දුවේ, ඇමැතිතුමාත් අපේ ගමේ.” යයි ජයසිංහ උත්තර දුන්නා.

“බොහොම හොඳයි. අපි එහෙනම් එක ගමේ මිනිස්සු” කියා  ඇමති තුමා  මඳ සිනහවක් පෑවා.

ජයසිංහ මහත් ආඩම්බරයකින් පන්තියේ වට පිට බැලුවා.

“සෞඛ්‍ය සතියේ තේමාව කුමක්ද?”  කියා ඊළඟට ඔහු පන්තියෙන් ප්‍රශ්න කළා.

අපගේ සගයෙක්   ‘Health is wealth’ යයි හෙමිහිට උත්තර දුන්නා.

“හරියට හරි ඒක හඬ නගා කියන්න” ඇමති තුමා  කීවා.  

මුළු  ශාලාවටම ඇසෙන ලෙස අප සගයා එය හඬ නගා කිව්වා. එයින් සතුටට පත්වූ ඇමති තුමා, පුටුවෙන් නැගිට සෞඛ්‍යය පිළිබඳව ඉතා අගනා පාඩමක් කියාදුන්නා.  ‘ආරෝග්‍යා පරමා ලාභා’ යන පාඨය භාෂා කිහිපයකින්ම මෙසේ කළු ලෑල්ලේ ලිව්වා. 


‘ආරෝග්‍යා පරමා ලාභා’
‘A healthy mind in a healthy body’ or ‘Health is wealth’
‘නිරෝගී බව උතුම්  ධනයයි’
mens sana in corpore sano                                            
                                                                                                 

එතුමා පාලි, සිංහල, ඉංග්‍රීසි සහ ලතින් යන භාෂා හතරෙන්ම එම පාඨය ලියා උච්චාරණය කර  නිරෝගී බවෙහි වැදගත් කම ගැන තවත් තොරතුරු රාශියක් කියා දුන්නා. කාල ඡේදය අවසන් වීමට සීනුව වැදුණු විගසම ඇමති තුමා පන්ති වාර්තා පොතෙහිද සටහනක් තබා අත්සන යොදා ‘අධ්‍යාපන ඇමති’ කියා ඊට යටින් ලිව්වා.

අපේ පන්තියේ සිසුන් දක්ෂ බව ඇමති තුමා විදුහල්පති තුමාට කියා ඇති බව පසුවදා අපගේ පන්ති භාර ගුරුතුමියගෙන්  දැනගන්නට ලැබුනා.

අධ්‍යාපන ඇමති තුමාගේ සටහන සහිත එම පන්ති වාර්තා පොත තවමත් සුරක්ෂිතව තිබේනම් එය විදුහලට අගනා කෞතුක භාණ්ඩයක් වනු නොඅනුමානය. 

තංගවේලු සර්

ඒ කාලයේ මා ඉගෙනීම කළේ ප්‍රදේශයේ තිබුණු උසස්ම විදුහල වන මතුගම මධ්‍ය විද්‍යාලයේය. ඒ 1952 වසරේදීය. පසු කාලයේදී, නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් එම විදුහල ආචාර්ය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ලෙස නම් කරන ලදී. මේ විස්තර කරන සිද්ධිය සිදුවන කාලයේ මා සිටියේ  හත්වන ශ්‍රේණියේය. එවකට එම ශ්‍රේණිය නම් කරන ලද්දේ ‘ෆෝම් 2’  (Form 2) ලෙසටය. හයවන ශ්‍රේණිය ‘ෆෝම් 1’ (Form 1) විය. සාමාන්‍ය පෙළ ‘සීනියර් ස්කූල් සර්ටිෆිකට් ‘ (SSC) පන්තිය වූ අතර උසස් පෙළ හැඳින්වුයේ ‘හයර් ස්කූල් සර්ටිෆිකට්’ සහ ‘යු ඊ’ (HSC and UE) පන්තිය යන නමිනි.

අප ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ලීවීම, කියවීම, කතාබහ ආදී සියල්ලම ඉංග්‍රීසියෙනි. අපට සිටි ගුරුවරුද ඉංග්‍රීසි ව්‍යක්තව දන්නා අය වුහ. මේ කිසිවෙක් දැනට ජීවතුන් අතර නැත. අපගේ ගුරුවරු බොහෝ දෙනෙක් දෙමළ ජාතිකයින් වූ අතර පන්තියේද දෙමළ සිසුන් කිහිප දෙනෙක් සිටියහ එම සිසුන් සියලු දෙනාම විදුහල කිට්ටුව තිබුණු සෙන්ට් ජෝජ් වත්තේ වැඩකළ සේවකයින්ගේ දරුවන්ය. අප කිසි කෙනෙකු අතර ජාති භේදයක් හෝ පන්ති භේදයක් නොවීය.

අපට  ‘ෆෝම් 2’ පන්තියේ ගණිතය ඉගැන්වූයේ තංගවේලු නම් දෙමළ ගුරුවරයෙකි. ඔහුගේ ගම්  පළාත අපි නොදත්තෙමු. ඔහු ඉතාමත් දක්ෂ ගුරුවරයෙකු වූ අතර තරමක් කම්මැලි කෙනෙක් ලෙසද ප්‍රසිද්ධය. විනාඩි 40 ක පමණ ගණිත පාඩමෙන් විනාඩි 20 ක් පමණ ඉතාමත් හොඳින් උගන්වන ඔහු පන්තියට, පොතෙන් ගණන් 10 ක අභ්‍යාසයක් දී ඉතිරි කාලය මේසයට හිස තබාගෙන ගොරව ගොරවා නිදාගනියි. විනාඩි 15 කට පමණ පසු අවදි වන ඔහු පන්තියට මෙසේ ආමන්ත්‍රණය කරයි.

(මේ කතාබහ සියල්ල ඉංග්‍රීසියෙන් වුවත් සිංහලෙන් ලිවීමට කල්පනා කළා.)

“ළමයි දැන් වැඩ නවත්වන්…..න…..”

“අභ්‍යාසයේ ගණන් වලට හරි උත්තර මම කියනවා. රතු පැන්සලෙන් හරි වැරදි ලකුණු කර ගන්න.”

අප එම කාර්යය අවසන් කළ  පසු ඔහු තවත් අමතක නොවන  දෙයක් කරයි.

“ දැන් අභ්‍යාසයේ සියල්ලම හරි අය අත් උස්සන්න.”

අපේ පන්තියේ සිටි සියලු දෙනාම වාගේ පහේ ශිෂ්‍යත්ව ධාරීන්ය.  පන්තියේ බොහෝ අය හරි උත්තර ලබාගනිති. ඒ කාලයේ කිසිම ශිෂ්‍යයෙකු බොරු කීමට හෝ කිරීමට  යොමු වූයේ ද  නැත.

“ඒ සියලු දෙනාම අභ්‍යාසයට යටින් වම පැත්තට වෙන්නට රතු පැන්සලෙන් ‘වෙරි ගුඩ්’ කියා ලියාගන්න”.

ඒ සමගම ඔහු එම වචන අකුරෙන් අකුර කියවයි . “වී ඊ ආර් ව්‍යි – වෙරි,  ජී ඩබල් ඕ ඩී – ගුඩ්”.  “වී කැපිටල්, ජී කැපිටල්”. “දැන් එයට යටින් කෙටි ඉරක් අඳින්න” 

“ඊළඟට උත්තර පහ සිට නවයක්  දක්වා හරි අය “ගුඩ්” කියා ලියාගන්න. අමතක කරන්න එපා, ජී  කැපිටල්”.

“අනිත් අය කී දෙනෙක් ඉන්නවාද?. ඒ අය කිසි දෙයක් ලියන්න එපා”.

ඊට පසු ඔහු තවත් හාස්‍ය ජනක දෙයක් කරයි.

“දැන් කවුරුත් අභ්‍යාසයට යටින් මගේ අත්සන දමාගන්න” 

මෙසේ කියන ඔහු පුටුවේ වාඩිවී සිටිමින්ම දිගාවී කළු ලෑල්ලේ කොනක ලොකුවට ඔහුගේ අත්සන ලියයි. ලියන ගමන්ම ශබ්ද නගා කියවයි.

“ කැපිටල් සී ඩොට් කැපිටල් ටී, (C.T)   සීටී, ………  “සී. තංගවේලු”

“ඊට යටින් අද දිනය දමාගන්න”

පන්තියේ කව්රුත් රතු පැන්සලෙන් තංගවේලු සර්ගේ අත්සන ඔහු කී ආකාරයට යොදා,   දිනය දමා ගනිති.

මෙම සත්‍ය සිද්ධිය අදට නම් නොගැලපෙනු ඇත. එසේ වුවත් මා දකින ආකාරයට ඔහු ඉගැන්වීම, අභ්‍යාසයක් කරවීම, ලකුණු කිරීම,  ඇගයීම යන සියල්ලම පාඩමේදී කර තිබේ.

මේ වකවානුවේදී පන්තියක  සිසුන් විසිපහකට වඩා සිටියේ නැත. එසේම ගුරු ගෝල සම්බන්ධයද දැනට වඩා වැඩිය. සිසුන්ද පෞද්ගලික ඉගැන්වීම් ගැන දන්නේවත් නැත. උත්තර හරි වැරදි බැලීමේදී රතු පැන්සලයක් යොදා ගත්තේ ඒ කාලයේ ‘බෝල් පොයින්ට්’ පෑන් නොතිබුණු නිසාය.

දයාරත්න වීරසේකර

අධ්‍යාපන රසකතා බ්ලොග් අඩවිය https://dayawee2.blogspot.com* අවසර ඇතිව උපුටා ගත්තකි .

මීයා

තම නිවසේ වෙසෙන ගැහැනුන් රාත්‍රී දෙකක් තිස්සේ නොකඩවා එක ලෙසම කටයුතු කිරීම ගැන ගනේසන් ට දැනුණේ කේන්තියකි. එදිනත් රාත්‍රී ආහාරයෙන් පසු කිසිම කෑම කැබැල්ලක් ඉතුරු නොවන සේ ඔවුන් මුළුතැන්ගෙය පිරිසිදු කර නින්දට ගොස් තිබිණි.

මොවුන් ට මේ ගැන අවබෝධයක් නොමැති වීමට ඉඩ නැත. තම සොයුරියට වයස පනහට වැඩි ය. බිරිඳ ට හතළිහකට ආසන්න ය. දියණියට ළඟදීම දහතුන් විය එළඹෙනු ඇත. එහෙත් කුස්සියේ එකම තෝසේ කැබැල්ලක්, අප්පලමක් හෝ පොල් ඉරුවක් දක්නට නොවිණි.

ඉතින් මීයාට උගුල් අටවන්නේ කුමකින් ද?

“උඹලා බම්බු ගහගනිල්ලා!” තමන්ටම මුමුණා ගත ගනේසන්, නිදන්නට ගියේය. 

රෙදි වනන්නට යොදාගැනෙන උණ බම්බුව යන්තමින් සෙලවෙනු ඔහුට ඇසුණේ ඔහු නින්දට ගොස් පැය බාගයක්වත් ගතවන්නට පෙර ය.  මීයා එහි යට අත ඔස්සේ ඇවිදිමින් සිටියේය. තවත් විනාඩි දෙකක් යද්දී උණ බම්බුව තවත් සෙලවෙනු ඇසුනි.  ඒ වෙද්දි මීයා එහි මතුපිටට නැග තිබුණි.  ඉනික්බිති ඇසුණේ තඹ පලංගනාවක් බිත්තියේ ගැටෙන හඬකි. මීයා සොල්දරයට නැග තිබුණි.  සර සර හඬින් කියවුණේ ඌ  පරණ පත්තර ගොඩක් මතින් ඇවිද යන බවයි. 

“දඩස්!”

මීයා සොල්දරයේ සිට ලී අල්මාරිය මතට පනිද්දී ඒ මත ඇති පැරණි ටින් බෙලෙක්ක පෙරලී යන හඬක් ඇසේ. ඉන්පසු එතැනින් ඌ ඇණයකින් බිත්තියේ එල්ලා ඇති කුඩා රාක්කය මතට පනී. ඉනික්බිති පැතිරෙන්නේ මද නිහැඬියාවකි. එහෙත් ඒ සන්සුන් බව බිඳිමින් කුමක් හෝ මහා හඬින් පෙරළෙනු ඇසේ. ගනේසන් සහ බිරිඳ අවදි වී, විදුලි බුබුල දල්වා වටපිට බලද්දී දුටුවේ මීයා විසින් තෙල් බඳුනේ පියන පෙරළා ඇති බවයි. 

ගනේසන් දත් මිටි කමින් සිය බිරිඳට රවාගෙන සිටිද්දී ඈ නිදිමතින්ම තෙල් බඳුන කූඩයකින් වසමින් සිටියාය. 

“මම හැමදාම ඔහෙට කියනවා මොනවා හරි කෑම ඉතුරු කරන්න කියලා මී උගුලට තියන්න. එහෙම කියලා තියෙද්දීත් ඔහේ කිසිම දෙයක් ඉතුරු නොකර කුස්සිය අස් කරලා දානවා!”

“මොනවා තියන්නද? මීයාට කියලා රසම් හැන්දක් තියන්නද මට කියන්නේ?එහෙම නැත්තම් උප්පුමා ගුලියක් කොක්කක අමුනන්නද?”

මෙය අසා ගනේසන් මහත් සේ කෝපයට පත් වූයේය. “මට ඔහොම කතාකරන්නේ උඹ කවුරු කියලා ද හිතාගෙන ද?” ඔහු ගුගුලේ ය. 

“මම කවුරුවත් කියලා හිතාගෙන නැහැ. මේ ගෙදර තෝසේ හරි වඩේ හරි හදනවානම් මීයාට කියලා මොනවා හරි ඉතුරු කරන්න තිබුණා. අපි ඉතින් දවස ගානේ තෝසේයි වඩේයි නේ කන්නේ, නැද්ද හොඳයි?”

“හරි එහෙනම් හැමදාම මීයා ආවදෙන්, ඇවිත් හැම දේම හලලා නාස්ති කළදෙන්!”

මීට ගනේසන් ගේ බිරිඳ පිළිතුරු දුන්නේ නැත.ඒ වෙනුවට ඈ එළවලු කූඩයේ පතුලේ තිබී වියලුණු ළූනු ගෙඩියක් ගෙන එය ඔහු වෙත පෑවාය. “කැමති නම් මේක පාවිච්චි කරලා බලන්න.”

“මේ වගේ ළූනු ගෙඩියක් කන්න මීයෝ ආවේ කොයි ලෝකේ ද?” ඔහු එය ඇය වෙත දමා ගැසූ විට ඇයට යම් වේදනාවක් දැනෙන්නට ඇත. නමුත් ඈ කිසිත් නොකියා නැවතත් ඇඳට ගියාය. 

ගනේසන්ට නැවත නින්දට යා නොහැකි විය. පුද්ගලයන් දස දෙනෙකුට එකවර කෑමට හෝ නින්දට පවා ඉඩකඩ මදි වූ ඒ කුඩා ඉඩකඩ තුළ හැම රාත්‍රියකම මීයන් හතර පස් දෙනෙක් මහත් නිදහසින් කෙළි සෙල්ලම් කළහ. උන් රෙදි පෙරෙදි හපා විනාශ කර, හට්ටි මුට්ටි පෙරළා, තක්කාලි ගෙඩි කා දමා ඉවුම් පිහුම් සඳහා වූ තෙල් බීවෝය. මීට අමතරව උන් නොවරදවාම දෙවියන් වෙනුවෙන් දැල්වූ පහනේ පහන් තිරය පවා ඇදගෙන යන්නට අමතක කළේ නැත. 

ගනේසන් කමිසයක් පැළඳගෙන ශත විසිපහක් සාක්කුවෙහි දමා ගත්තේය. නිවසින් පිටත් වූ ඔහු තමන්ගේ පසුපසින් ඉදිරිපස දොර අගුලු දැමුවේය. 

මේ වෙද්දී මඟ දෙපස ආපන ශාලා වසා දමා තිබිණි. විවරව තිබුණේ තේ කඩ සහ බුලත් විට විකිණූ පෙට්ටි කඩ පමණි. එක වඩයක් සොයාගනු හැකි නම්, අඩුම තරමේ වඩයකින් අඩක් වත්..ඒත් කොතැනක වත් වඩයක් ඉතිරි වී තිබුණේ නැත. පාන්, විස්කෝතු, කෙසෙල් වැනි දේවල් ආපන ශාලා වල ඉතිරි වී තිබුණත් මේ හැම එකක්ම මීට පෙර මීයා වෙනුවෙන් අත්හදා බලා අසාර්ථක වී තිබිණි. මීයා ප්‍රිය කළේ ගැඹුරු තෙලේ දින ලද වඩේ, පකෝඩා හෝ පපඩම් වැනි දේ පමණි. එහෙත් තෙල් වල මිළත් පරිප්පුවල මිළත් බලද්දී මේවා නිවසේදී පිළියෙළ කළ හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගේ නිවසේ හාල් කොටා සකසන උප්පුමා, රුලං උප්පුමා හෝ පොංගල් මාරුවෙන් මාරුවට පිසිනු ලබන්නේ වෙන කෑම වර්ග සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිවසේ නොතිබුණු නිසා යි. ‘උප්පුමා’ සහ ‘පොංගල්’ යන වචන පවා ගනේසන් ට ඒ වෙද්දී පිළිකුල් ව තිබුණු අතර මීයාටද එසේ වන්නට ඇතැයි ඔහු අනුමාන කළේ ය. 

“මීයාගේත් වෙලාව තමයි, අද උදේම ඌ අසුබ නිමිත්තක් දකින්න ඇත්තේ’ සිතූ ගනේසන් ආපසු හැරී නිවස බලා පිටත් වුණේය. 

නගරයේ චතුරශ්‍රය දෙසින් මහජන රැස්වීමක හඬක් ඈතින් ඇසුණි. එහි සෙනඟ තිහ හතළිහකට වඩා රැස්ව නොසිටියත් කවුදෝ තම අත පය විසිකරමින් කතාවක් පවත්වමින් සිටියේය. ටික වෙලාවක් මීට සවන් දෙන්නට සිතූ ගනේසන් රැස් ව සිටි සෙනඟ ට එකතු වූවේය. 

සභාව අමතන්නා නික්සන් ට තදින් දොස් පවරමින් සිටියේය. ඉනික්බිති ඔහු චීනයටත්, බ්‍රිතාන්‍යටත් රුසියාවටත්, පකිස්තානයටත් වග පල කියා ඉන්දිරා ගාන්ධිටත් තමිල්නාඩුවේ පාලකයන්ටත් සිය අවසාන නිවේදනය නිකුත් කළේය. මේ තර්ජන වලින් සීයෙන් එකක් වත් ප්‍රදේශයේ මී සමාජ පන්තියට අසන්නට ලැබෙන්නේ නම් උන් බෙන්ගාල බොක්කේ පිළිසරණ සොයා යනු නොඅනුමානය. මීයන්ට දෙමල භාෂාව නොවැටහුණේ කිමද?

නමුත් මෙහි මේ කථිකයාට අමතරව තවත් දෙයක් ගනේසන් ගේ අවධානය පැහැර ගත්තේය. රැස්ව සිටි පිරිසෙන් මඳක් ඔබ්බෙහි වූ අත් කරත්තයක් වටා කීප දෙනෙකු වටවී සිටිනු ඔහුට පෙනුණි. මේ කරත්තයේ ලිපක් තිබුණු අතර ඒ මත බුබුළු දමමින් තිබුණු තෙල් තාච්චියෙන් බානු ලබන කෑම වර්ග තත්පර කිහිපයක් ඇතුළත අලෙවි වෙමින් තිබුණි. ගනේසන් අත් කරත්තය වෙත කිට්ටු වී එය අසලින් සිට ගත්තේය. පාන් පිටි දවටන ලද මිරිස් කරල් විස්සක් පමණ තෙලේ බැදෙමින් තිබෙනු පෙනුණේ සයුරේ පාවෙන සබ්මැරීන මෙනි. අසල සිටි මිනිසෙක් “වඩේ හදපන්කෝ අයියා, වඩේ!” කීවත් ඊළඟ වතාවේත් තෙල් තාච්චියට දමනු ලැබුවේ මිරිස් කරල් ම පමණි. “වඩේ හදපන්කෝ අයියා!” ගනේසන් ද කීය. මිරිස් බජ්ජි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව පෙනුණි. මෝටර් රථයකින් බට පුද්ගලයෙක් “බජ්ජි අටක් ඔතලා තියනවා,” කියා අඳුරු ඉසව්වකට ගියේ මුත්‍රා කිරීමටයි.

“මේ වතාවේ වඩේ හදපන් අයියා, හරිද?” ගනේසන් නැවතත් කීවේය. මිරිස් කරල් තෙලෙන් පිටට ගත් සැණින් ඒවා දෙකක්, හතරක් හෝ දහයක් ලෙස වහා වහා පාර්සල් කෙරුණි. 

“සර් වඩේ ඉල්ලුවද? කීයක් ඕන ද?”

එක වඩයක් පමණක් ඉලීමට ගනේසන් ට මැළිකමක් දැනුණි. “දෙකක් ඇති” ඔහු කීවේය. 

“එහෙනම් ඊළඟ වටේට වඩේ බදින්නම්” කී වෙළෙන්දා යලිත් වතාවක් තෙලට දැම්මේ මිරිස් කරල්ම ය. වරුවක් තිස්සේ වඩේ ඉල්ලමින් සිටි අනෙත් පුද්ගලයා උස් හඬින් තම විරෝධතාවය පළ කරන්නට විය.

“මේක බැදිලා ඉවර වෙන්න ලඟයි සාර්.. තව විනාඩියයි! අර බලන්න අර මහත්තයාත් බලාගෙන ඉන්නේ වඩේ දෙනකම්.”

ගනේසන් ට අපහසුතාවයක් දැනුණි. කෑම විකුණන අත් කරත්තය වටා සෑහෙන්න තරමක පිරිසක් රැස් වී සිටියහ. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ඇනවුම ලැබෙනතුරු කෑමට සුදානම් ව බලා සිටියහ. තමන් ද තමා ඇනවුම් කළ වඩේ ආහාරයට ගැනීමට නොඉවසිල්ලෙන් සිටින බවක් ඔවුන් සිතනවා ඇත. ඒ ඇනවුම මී උගුලකට බව ඔවුන් දන්නවා නම්! ඔහුට මහත් කනස්සල්ලක් දැනුණි. 

බැදී අවසන් වූ පසු ඔහුට ඔහුගේ ඇනවුම මුලින්ම ලැබුණි. ඒවා ‘මාලයි මරසු’ නම් සවස පුවත්පතේ පිටුවකින් ඔතා තිබිණි. ඉන් කාන්දු වූ උණුසුම් තෙල් පත්තර පිටුව පෙඟී ඔහුගේ අත්ලේ ගෑවුණි. මේ වඩේ දෙකෙන් විහිදුණේ ප්‍රනීත සුවඳකි.

ගනේසන් තම නිවාස බලා නික්මුණි. වඩේ පාර්සලයේ උණුසුම දරාගනු නොහැකිව ඔහු එය අත්ලෙන් අත්ලට මාරු කරමින් ඇවිද ගියේය. මින් ඔහුගේ දෙ අත්ලේත් පත්තර පිටුවේත් බෙහෙවින්ම තෙල් තැවරිණි. 

මේ වඩේ මීයෙකු වෙනුවෙන් සැකසුණු බවක් ඒ වෙළෙන්දා දැන සිටියා නම්! මේවා තම නිවසේදී පිසිනු ලැබී නම් ගනේසන් ට මේ වරදකාරී හැඟීම නොදැනෙනු ඇත. එහෙත් දැන් ඔහුට දැනුනේ මහත් අපහසුතාවයකි.

තම කමිසයේ තෙල් පල්ලම් නොගෑවී එහි සාක්කුවෙන් නිවසේ යතුර පිටතට ගැනීම කළ නොහැක්කක් විය. ඔහු වඩේ පාර්සලය බිමින් තබා තම තෙල් තැවරුණු දෑත දෙපයේත් විලුඹේත් පිසදා ගත්තේය. නිවස තුළ ට ගිය පසු ඔහු එක් වඩයක් මී උගුලේ කොක්කෙහි ඇමිණූ අතර දෙවැන්න කා දැමුවේය. 

වයස පනහට වැඩි පුද්ගලයෙක් රාත්‍රී දහයට පමණ වඩයක් කෑ විට එහි යම් අයහපත් ප්‍රතිපලයක් 

ඇති වනු නියත ය. මේ තමන්ට ලැබෙන්නේ එක්තරා ආකාරයක දඬුවමක් බව කල්පනා කළ ගනේසන් ඒ මේ අත පෙරළෙමින් වැතිර හිඳ අන්තිමේදී නින්දට වැටුණේය. 

උදෑසන වෙද්දී ගනේසන්ගේ උදරය මහත් සේ පීඩා දෙමින් තිබිණි. එමෙන්ම රාත්‍රියේදී මීයා මී උගුලට හසු වී මහත් කලබලයක් කරමින් පසු වූ බව ඔහු දැනගත්තේ බිරිඳ කියූ විටයි. 

දැන් ඉතින් මීයා ව කොතැනකට හෝ ගොස් අත ඇරිය යුතු ය. ඔහු මී උගුල අතින් ගෙන නිවසින් පිටත් විය. මීයා උගුලේ වූ කුඩා සිදුරකින් තම හොම්බ පිටතට දැම්මේ ය. ඒ හොම්බේ තරමින් නම් ඌ විශාල මීයෙක්ද, කුඩා එකෙක් ද යන වග අනුමාන කිරීම දුෂ්කර විය. නමුත් ඌ ට පිටි බෙලෙක්කයක් පෙරළන්නත්, තෙල් බඳුනේ පියන ගලවන්නත්, කිලිටි රෙදිත් එළවලුත් කා දමන්නත් හැකි නම් උගේ ප්‍රමාණය දැනගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මෙවර නම් මීයා ව කාණුවට අත් නොහරින්නට කල්පනා කළ ගනේසන්, මී උගුලත් ගෙන චතුරශ්‍රය වෙත ගියේ ය. මේ මීයාට නම් ඔවුන්ගේ නිවස නැවත සොයාගැනීමට අඩුම තරමේ සතියක්වත් ගතවනු ඇත. ඒ අඩුපාඩුව ලොකු ගැටළුවක් නොවන්නේ තම නිවසට පැමිණීමට තවත් ඕනෑතරම් මීයන් සිටි බැවිනි. 

තමන් පසුපස එන කොලු කුරුට්ටන් මඳක් ඉවත්වන්නේ නම් මැනවි යැයි ගනේසන් ට සිතුණි. නමුත් ඔවුන් බලා සිටියේ තමන් මී උගුල විවර කරන තුරුයි. ඔහු එය බිම තබා එහි දොර විවර කළේ ය. එළියට දිව ආ මීයා මධ්‍යම තරමේ එකෙක් විය. ඌට ඉඩකඩ සහිත එළිමහන නුහුරු බැවින් කලබලයට පත් ව ඒ මේ අත දුවන්නට විය. අසල වූ කොල්ලෙක් ඌ වෙත ගලක් ගැසී ය. 

“එපා, කොල්ලෝ එපා!” ගනේසන් කෑ ගැසීය. 

එවෙලේම කොහේදෝ සිට පියඹා ආ කපුටෙක් මීයාට එක වරක් කොටා නැවතත් පියාඹා ගියේ ය. උඩුකුරුව වැටී ගැහෙමින් උන් මීයා ටික වෙලාවකින් නැවත නැගිට කොර ගසමින් වඩාත් වේගයෙන් දුවන්නට විය. කපුටා වටයක් පියාසර කර වේගයෙන් පහතට පැමිණෙන්නට විය. මීයාට සැඟවෙන්නට තැනක් තිබුණේ නැත. කපුටා ඌ ව එක්වරම ඩැහැගෙන ඈතට පියාඹා ගියේය. ගනේසන්ට වේදනාවක් දැනුණි. 

එහෙත් ඔහුට වඩාත්ම දුකක් දැනුණේ වෙනත් කරුණක් නිසා යි. නැවත නිවස බලා යාමට පෙර ඔහු මී උගුල තුළ බැලුවේ ය. ඔහු පෙර දිනයේදී එහි රැඳවූ වඩය එලෙසින්ම ඒ තුළ විය. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘The Rat’ by Ashokamitran translated from Tamil to English by Vasantha Surya

From the book ‘Short fiction from South India’ (2008)-  Oxford University Press

Hot Chocolate Days බ්ලොග් අඩවිය https://hotchocolatedays.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *