සිංහල බ්ලොග් කවි මුතු

ගාමිනී හෝල් හන්දිය

හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ

ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ

බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ

සුන්දර මතක හිත සනසයි මගෙ බාලේ

ඇම් ඩී ගුණසේන පල බැඳ උන්නාට

අලුත් පොත් සුවඳ නැහැයට දැණුනාට

අතරින් -පතර හමුවෙනවද මැණික් කැට?

පරණ පොත් කඩේ පුස් සුවඳයි මෙමට

මදන විසේ කියල එකක් තියෙනවද

“ඇඩම්ස්-ඔන්ලි” පොතකට පෙම් බඳිනවද

මැගසින් සඟරා සිහින ලෝක ගෙනෙනවද

රට යන හීනෙකුත් හිත යට මවනවද

සෙල්-මුවා වෙලා නැවතුන මගෙ හිත ගාවා 

රෙඩ්-හෙඩ්, බ්ලොන්ඩ්, බෲනෙට් කියනා ඒවා

මොනවද අම්මෙ! මං දන්නේ නෑ ඕවා

හැමතැන එකම පාටද? ප්‍රශ්ණය ආවා

මොබයිල් පෝන්, ඉන්ටනැට්ට නැති කාලේ

පිච්චිය අතේ නැති සතුටින් හිටි බාලේ

පිචෑර් එකට, පොතකට බැඳි මගෙ ආලේ

එහෙම කික් එකක් නැත්තේ ඇයි රාලේ

දුප්පත් බස්සෙකුගෙ බාලේ වර්ණ කොට

කවදාවත්ම “ජජ්” කලෙ නෑ සත්තකට

රෙන්ට් එකට පොත් දුන්නේ බලන්නට

පොත් කඩේ අයියා බුදු වෙනවා මත්තකට

බකමූණු කතා

https://frozenlazyowl.blogspot.com

දළ රළ මැද………!

නැගෙන  දිය සුළි තරග නංවා දිවි ගමන බිහිසුනු                     කරයි

රැගෙන   සිය දිවි පමනකුදු නොව සිය පතද ගෙන පාව                යයි

දැනෙන   පිය සෙනෙහසද ගුලි කොට දියඹ හා නිති පොර           බදයි

වැනෙන   කුඹ ගස රුවල එක්කොට කෙම් බිමට යන මං        සොයයි

දිවිය    අති තෙක් දිවි ගෙවන්නට ඔබේ සුසුමන් මා            පතන්නෙමි

ජවය   ඇති තෙක් නොවේ හදවත ගැහෙන තුරු මා ඔබ     රකින්නෙමි

බලය  නැතිමුත් කාසි කොලවල මිනිස් බව ඇත මිල        නොදන්නෙමි

ඔබය  මගෙ පන! මිය ගියද මා කිසිදු ලෙසකින් හැර       නොයන්නෙමි

තට්ටයාගේ කොලම 

https://thattayagekolama.blogspot.com

මං සරන්නාට

මේපල් තුරු හිසක

අවසන් පත්‍රයත්

මහ පොලොව වැලදගත් පසු

ඉහල උන්නතාංශයේ සිට

හිම හීතලක තෙත රැගෙන

සිසිරය පැමිණිය හැක…

හිම්හානයේ ගිනියමට කැබිලි වූ

සමකාසන්න හිතකට

සරත් කල සෞම්‍ය සේම

සිසිරයේ සිහිලද

අපේක්ෂා කල තරමටම

ප්‍රේමාන්විත නොවිය නොහැක

ඉනිතින් ,

ඔබ ,

ඈත දුර ඈත හිමයේ

මං සරන්නෙකු සේ

කොහේ කොහේ හෝ ඇවිද

හෙම්බත් වූ හද

සතපවන්නට තැනක් සොයමින්ද ?

දුක්නොවන්න

හැලෝවීන් දින රැයේ

මරණයේ මිටියාවතදී

ප්‍රේමණීය තුවාල සහිතව

අමරණීය වූ බොහෝ හදවත් වල

කැබිලිති ඔබට හමුවිය හැක…

සොඳුරු සඳවතී 

https://kavisandalla.blogspot.com

ගැඹුරු අරුතත් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙල කලාවේ…..

දුඹුරු පැහැගත් සුමුදු පහසින් දෙපා සුවමය වැලි           තලාවේ

පිඹුරු පිටපත්  මනසෙ රැඳෙමින් චන්ද්‍ර අර්ධය මැවු       වෙලාවේ

නැඹුරු වන සිත් දහම් අරණෙන්  නොයන බවමය වෙත.  මුලාවේ

ගැඹුරු අරුතත් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙල         කලාවේ

පළමු කවයක නොවන සේ මුදු විසිර රඟනව ගිණි         ලතාවන්

සිතමු මොහොතක විඳින මී බිඳු සසර දුක ලොව සැදි    මනාවන්

දකිමු එකිනෙක දුවන සී සිඳු අතර ගජ ගව වෙති           රටාවන්

දනිමු අරුතක රැඳෙන දේ රුදු සතර බිය බව දෙති        මුලාවන්

ඉරෙන් පනදෙන හැඩය විහිදෙන ලියවැලකි නෙත පැහැර   ගන්නා

බරෙන් මිරිකෙන භවය විඳවන ඉඟිපෙලකි සිත පැතිර       තණ්නා

කිරෙන් දිය මැන සතිය  හික්මුන හසරැළකි  නැත නතර   වෙන්නා

වැරෙන් දිරිගෙන අරිය මග යන පිළිවෙතකි ඇත නිතර      පෙන්නා

සිහින් ලියවැල් ඇලෙන හැඟුමන් තුරන් වී යන හැඩය        තියලා

නිවන් සිහිලැල් රඳන සියපත් මලින් පීදෙන රසය               තවලා

දනන් හැමකල් ඇදෙන පිංවත් දමින් නෑවෙන සුවය         සොයලා 

බලන් කළුගල් මැවෙන දසුනත් සිතින් පේවෙන බැතිය       වැඳලා……

දුමින්ද අබේසේකර 

https://dumindasanchare.blogspot.com

ආදර සිපිරිගෙය තුල

ඝන අහස කලුවර

වසා ඇති බොහෝ 

නිම්න කදු මාරක අනතුර…

තරු එලිය පවා රවටන

පාවෙන කැට කැබිලිති

අත පොවන සැනෙක බාඳුර…

දුක් දොම්නසින් පෙරවුන

එකම පොඩි කෙම්බිම 

නුඹ මා පෙමින් සිරකල…

අතැර කොයි යම්ද තනිකර

මියෙමි ඔබ දෙපා පාමුල

අවසන් සුසුම සිරකර….

මන්ජි

https://kadadasikole.blogspot.com

දුම් දමන ජීවිත

දහඩියෙන් පෙඟුණු මිනිස්සු

පිඹිමින් උඩ බොත්තම් ගලවාගෙන ශර්ට් අස්සට

දුම් දමන ප්ලේන්ටිය – අනුපානයට සිකැරට්ටුවක් දල්වා

බ්ලොග්ගල් අට්ටි දෙකකට – හරහට බැලන්ස් වූ ලෑලි බංකුවේ ඉදගෙන

කරති වාද ළඟ එන කතිර හටන ගැන

බලමින් අත බැදි ඔරලෝසුව

තබමින් බාගයට ඉවර කළ කහට බැඳි කෝප්පය අහකට

දුවයි කඩිමුඩියේ – වැස්සට පිරී  ඉතිරුණු පාරේ කාණු උඩින් පැනගෙන

ආවත් හයේ මහවට – නැතිලු අදත් කෝච්චි

අපරාදේ ප්ලේන්ටියේ ඉතුරු බාගය…    

නාඩියා නාඩිරත්න

https://naadiyaonline.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *