මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නෝනලගෙ වැඩ

එළැඹෙන මාසයේ ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම භාවිත කිරීමට සැලසුම් කරන ජර්සිය සඳහා තරගාවලියේ සත්කාරක පාකිස්තානයේ නම ඇතුළත් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ. මින් පෙර මෙම තරගාවලියේ ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග පාකිස්තානයේ නොපවත්වා ඩුබායි වෙත ගෙන යාමට සිදු වූයේ ඉන්දියාව පකිස්තානයේ ක්‍රීඩා කිරීමට අකැමැත්ත පළකිරීම හේතුවෙනි.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සත්කාරක රටෙහි නම සෑම කණ්ඩායමකම නිල ඇඳුමෙහි ඇතුළත් කළ යුතු වුවද පවතින ඉන්දු - පාකිස්තාන එදිරිවාදිකම් හේතුවෙන් පාකිස්තාන නාමය නොමැතිව ඉන්දියාව සිය නිල ඇඳුම එළිදක්වා ඇතැයි වාර්තා වේ. ඉන්දීය කණ්ඩායම මේ දක්වා නිල වශයෙන් සිය ජර්සිය එළි දක්වා නොතිබුණද, ඉන්දීය නිල ජර්සිය යැයි පැවසෙන පාකිස්‍තානයේ නම ඇතුළත් නොවන ජර්සියක් විදෙස් මාධ්‍ය විසින් පළ කර තිබිණි. තරගාවලි ඉතිහාසය සලකා බැලීමේදී මෙවන් සිදුවීමක් දැකිය හැකිවන්නේ ද මෙම තරගාවලියේදී පමණක් වීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, සත්කාරක රටෙහි නම ඇතුළත් කිරීම සම්ප්‍රදායක් පමණක් බවත්, ඉන්දීය කණ්ඩායම ඩුබායි හි ක්‍රීඩා කරන බැවින් පාකිස්තානයේ නම ජර්සියට ඇතුළත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, සඳහන් කර ඇතැයි පැවසේ. මේ හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් දැඩි විවේචන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *