පෙබරවාරි පළමුවැනිදා ටොරොන්ටෝවේ දී රාණි චිත්‍රපටය බලන්න කලින් හඳගම ලියූ මේ සටහන් කියවන්න. 3 වන කොටස

රාණි ෆිල්ම් හෝල් වලට එන ආරංචියත් එක්ක ද කොහෙද රිචඩ් ගැන, මනෝරානි ගැන නොයෙක් කතා අපිට අහන්න ලැබෙනවා. මං කලින් කිව්ව වගේ සිද්ධියක් සිද්ධවෙලා ඉවර වුණාට පස්සේ ඒ ගැන ඉතුරුවෙන්නේ කතාන්දර ගොඩක් තමයි. ඒවා ඔක්කොම ඇත්ත සිදුවීම් වටා ගෙතුණු ප්‍රබන්ධ කතා. ඒ එකක්වත් බොරුත් නෙවෙයි. සම්පූර්ණ ඇත්තත් නෙවෙයි.

ඉතින් ඒ දහසකුත් කතා අතර මේත් එක කතාවක්.

සම්පත් ජයවීර කියන්නේ රූපවාහිනියේ, වේදිකාවේ නිර්මාණවලට නැතිවම බැරි නළුවෙක්. ඒ උනාට සිනමාවේ ඉඳ හිට හම්බවෙන චරිත වලට සාධාරණයක් ඉටුකරන ශිල්පියෙක්. 2004 අවුරුද්දේ අක්ෂරය රූපගත කරද්දී අද තරම් ජනප්‍රිය නැති සම්පත් එහි ඉතා සුළු චරිතයකට සම්බන්ධ වෙනවා. ( විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ නිවස පර්යේෂා කිරීමට පැමිණෙන පොලිස් නිලධාරියකු ලෙස.) වසර විස්සකට පසු ආයෙත් අප හමුවෙලා!

රඟපෑමේදී ‘timing’ කියලා කියන්නේ නාට්‍යමය ආචරණයක් (dramatic effect) ඇතිවන පරිදි කතාවෙ හා චලනයෙහි සිදු කරන සීරු මාරුවටයි. සම්පත් ජයවීර කියන්නේ ජවනිකාවක ඉතා හොඳින් timing පවත්වාගෙන යන්නෙක්.

තවත් අසල්වැසි භූමිකාවක් රඟපාමින් සම්පත් ජයවීර රාණි චිත්‍රපටය සඳහා එක් වෙනවා.

නිහාල් සිල්වා, ජෝ අබේවික්‍රම වගේ අය සිනමාවේ, වේදිකාවේ හිටපු, කොමඩි රෝල් එකක් හරියට කරපු අය. විකට චරිතයක් හරියට රඟපාන්න බැහැ අති දක්ෂ රංගන ශිල්පියකුට ඇරෙන්න. සමහරු හිතන් ඉන්නවා මිනිස්සු හිනස්සන්න පුළුවන් කියලා තමන් කැපිච්ච පනුවෝ වගේ දඟලුවාම. එහෙම බෑ. මිනිස්සු හිනස්සන්න රඟපානවා කියන්නේ වෙනම කුසලතාවක්. ඒ වගේම එහෙම කෙනෙකුට වෙන ඕනම චරිතයක් වුණත් රඟපාන්න පුළුවන්.

ගිහාන් (Fernando ) ඒ කුසලතාව තියෙන රංගන ශිල්පියෙක්. ග්‍රීක ඛේදාන්ත නාට්‍යයක් වන ‘ඊඩිපස්’ ගේ ඉඳලා ගිහාන් ගේම ‘ලොක්කා ලෙඩ වෙලා’ වෙනකම් විශාල පරාසයක විහිදුණු චරිත රැසක් එකවර රඟපාන එක ලේසි වැඩක් නෙවෙයි.

ගිහාන් මට ඉස්සරලාම දැකගන්න හම්බවෙන්නේ රාජිත දිසානායක ගේ ‘සක්වාදාවල’ නාට්‍යයෙන්. ඔහු ගේ මම කැමතිම රඟපෑම් හොඳටම දැකගන්න පුළුවන් රාජිත ගේ නාට්‍යවල. ඒවා සීරියස් නාට්‍ය. සීරියස් චරිත.

ගිහාන් මගේ නිර්මාණයකට සම්බන්ධ වූ පළවන අවස්ථාව රාණි..

2023 අවුරුද්දේ යෞවන නාට්‍ය උළෙලේ ජූරි එකේ ඉන්න මට අවස්ථාව ලැබුණා. උළෙලේ වැඩකටයුතු සංවිධානය කරපු පුද්ගලයෙක් දිහා මම උවමනාවෙන් බලාගෙන හිටියා. ඔහු යන එන විලාශය, වැඩ කටයුතු සංවිධානය කරන ආකාරය අවධානයට යොමු වුණා. ඒ රාණි චිත්‍රපටියට නළු නිලියන් තෝරගන්න කාලේ. මං ළඟම ආසනයේ වාඩිවී සිටියේ රාජිත දිසානායක නාට්‍යකරුවා. රාජිත ගෙන් නිකමට මං ඇහුවා අහවලාගේ චරිතයට මොහු ගැලපෙන බව පේන්නේ නැද්ද කියල. ටික වෙලාවක් බලන් ඉඳලා ඔහු කිව්වා ‘ඒ විදිහට බලනකොට නම් ඒ වගේ පේනවා’ කියලා.

රාණි චිත්‍රපටයේ හැම චරිතයක්ම තෝරා ගත්තේ ‘ඒ විදිහට බලනකොට ඒ වගේ පෙනිලා’.

‘ඒ විදිහට පෙනෙන අය ඒ විදිහට මේකප් කරන්න කියලා’ කිව්වේ ප්‍රියන්ත දිසානායක කියන අංගරචන ශිල්පියාට. ප්‍රියන්ත වැඩේ හරියටම කළා.

ඉතින් මේ ඒ ප්‍රියන්ත. ප්‍රියන්ත ලලිත්.

ප්‍රියන්ත අපිට ඉන්න දක්ෂ වේදිකා නළුවෙක්. රැකියාව නිසා රඟපෑම සීමිත වෙලා. මං නම් පුද්ගලිකව ඒකට කැමතියි. ජීවත් වෙන්න වෙන රැකියාවක් කරන ගමන් විනෝදයට රඟපානවාට. ඒත් හැමෝටම එහෙම කරන්න බැහැනේ.

රාණි චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම ගේ මුහුණු පොත් සටහන් එකතුවක්

https://www.facebook.com/asoka.handagama.5

මේ ලිපියේ පළමු කොටස සදහා දිගුව

https://srilancan.ca/2025/01/12/%e0%b6%bb%e0%b7%8f%e0%b6%ab%e0%b7%92-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%b4%e0%b6%a7%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba/

මේ ලිපියේ දෙවන කොටස සදහා දිගුව

https://srilancan.ca/2025/01/18/%e0%b6%b4%e0%b7%99%e0%b6%b6%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%8f-%e0%b6%a7%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *