රනිල් – සඡිත් හමුවක් ?

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඉදිරි දින දහය ඇතුළතදී පැවැත්වීමට නියමිත බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පැවසීය.ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාප සහ සජබ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් මෙම හමුව සිදුවන බවද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.සන්ධානයේ නම, තරග කරන ලකුණ, අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ඇතුළුව දේශපාලන කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානයට යොමුවනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.ඉන් ඉදිරියට නායකයන් දෙපොළ තවත් මුහුණට මුහුණ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව කී හිටපු ආණ්ඩුකාරවයා මෙම නායක මට්ටමේ  සාකච්ඡා ඉතා සංකීර්ණ වනු ඇතැයි කීය.

එජාප සහ සජබ අතර තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පසුගිය දිනවල පැවති බව ත් නායකත්ව මණ්ඩලයක් මඟින් මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වුවහොත් සාර්ථක වනු ඇති බව ත්  දිසානායක මහතා පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණ හැර සියලු දෙනාට පිළිගත හැකි වෙනත් පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න බොහෝ දෙනාගේ ස්ථාවරය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේ ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ අනකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට එජාපය සැලසුම් කර ඇතැයිද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.සජබ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා පෙබරවාරි 10 වන දා විට අවසන් කරන ලෙසට එජාප නායකයා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බවද දිසානායක මහතා පැවසීය.අපේක්ෂකයන් තෝරා ගැනීමේදී එජාපය මෙන්ම සජබය සංවේදී විය යුතු බව ත්,පසුගිය මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ඒ ඒ පක්ෂවලට අපේක්ෂක ලැයිස්තුවල ඉඩකඩ හිමිවන  බව ත් හෙතෙම සඳහන් කළේය.එජාප-සජබ එකතුවකින් ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 40ක් ලබාගැනීමට හැකියාව තිබෙන බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *