77 වැනි ජාතික නිදහස් දිනය චාම් සහ අභිමානවත්ව සමරයි.

ශ්‍රී ලාංකේය ජාතිය අධිරාජ්‍යවාදීන්ගෙන් මිදුණු අභිමානවත් නිදහසේ හැත්තෑ හත් වැනි සංවත්සරය පසුගිය පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබුණා.

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, අගමති ආචාර්ය හරිනි අමරසූරීය, කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධන, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු මැති ඇමතිවරුද සමාන්‍ය ජනතාවද සහභාගී වුණා.

එමෙන්ම වෙනත් වසරවල දරන වියදමට වඩා අඩු වියදමක් මෙවර උත්සවය සඳහා දැරීමට ද රජය කටයුතු කර තිබූ අතර පසුගිය වසරේ ගාලු මුවදොර පැවති නිදහස් දින උලෙළට රුපියල් මිලියන 200ක මුදලක් වැය කර ඇත. මෙවර විශේෂත්වය වන්නේ එම වියදම රුපියල් මිලියන 87ක් දක්වා අඩුකර තිබීම වන අතර නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතිය ද මෙවර වෙනසකට භාජනය කරමින් මින් පෙර යොදාගත් හමුදා සංයුතිය සියයට 40කින් අඩු කර තිබිණි.

ඒ අනුව හමුදා සාමාජිකයන් 1873ක් පමණක් මෙවර සහභාගි වූ අතර ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇත. ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබේ. එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර තිබූ අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩි මුර 25 මෙවරද පවත්වනු ලැබුවා. පසුගිය වසරේ භාවිත කළ ගුවන් යානා 19න් මෙවර හෙලිකොප්ටර් යානා තුනක් පමණක් යොදා ගැනීම ද විශේෂත්වයක්.

සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25 පැවැත්වීමද මෙවර ද සිදුවුණා.

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කලා.

නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපති‌ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 77 වැනි ජාතිකනිදහස් දින සැමරුම ආරම්භ කෙරුණා.

නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙන බවයි. එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතු බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *