

ජාතික විදුලි බල පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය පෙබ. 9 වැනිදා පැය තුනකට ආසන්න කාලයක් මුළු දිවයිනට ම විදුලිය ඇණහිටි අතර තවත් ප්‍රදේශ ගණනාවකට පැය හතකට අධික කාලයක් විදුලිය බිඳ වැටීම හේතුවෙන් කර්මාන්ත සහ ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල විය.
පානදුර විදුලි බල ජාල උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයේ වඳුරෙකු ගැටීම හේතුවෙන් හටගත් හදිසි දෝෂය ජාතික විදුලි පද්ධතියේ සමතුලිතතාව අඩාල කිරීමට හේතු වූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කළ අතර විදුලිබල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඊයේ පෙරවරු 11:15ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමට බලපෑ ලද මූලික ම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාව සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත් බවය. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය තත්ත්වය පිළිබඳ මෙසේ පැහැදිලි කළේය.
“පානදුර විදුලි උප පොළේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමග අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාව අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය අසමතුලිත වූයේය. ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකි වීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි විය.
ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණිය ද, එහිදී විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාව මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි විය.කෙසේ නමුත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්ත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කෙරේ.”
කෙසේ වුවද එම සංගමය අවධාරණය කරන්නේ මෙම තත්ත්වය පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව ය. විදුලිය ඇනහිටීමෙන් පසු පද්ධතිය අදියරෙන් අදියර යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බවද එම මණ්ඩලය පවසයි. පසුගිය පෙබ. 9 වැනිදා පෙ.ව. 11:15ට පමණ විදුලිය බිඳවැටීම සිදු වූ බව ත් පස්වරු 1:40ට කොළඹ නගරය, කළුතර, කොළොන්නාව, සපුගස්කන්ද, කැලණිය, පන්නිපිටිය, බියගම යන ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කළ බවත් විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද සහ අනියාකන්ද බලාගාරවල විදුලිය සියයට 80ක් සවස 4:00 වන විට යථා තත්ත්වයට පත් කළ බවද මණ්ඩලය පැවසීය.නමුත් දිවයිනේ දුරස්ථ ප්‍රදේශවලට විදුලිය ලබා දීමට තවත් පැය කිහිපයක් ගත විය.
ශල්‍යකර්ම, හදිසි ප්‍රතිකාර සේවා, රසායනාගාර, එක්ස් කිරණ සහ විදුලි සෝපාන ක්‍රියා විරහිත වීම ඇතුළු රෝහල් මෙහෙයුම්වලට බාධා ඇතිව තිබිණි.ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක සහ දැඩි සත්කාර ඒකකවල සේවාවන් අඩාළ වූ බවත් රෝහල් බලධාරීහු පැවැසූහ.
විදුලිය විසන්ධි වූ විට කොළඹ ජාතික රෝහලේ විදුලි ජනක යන්ත්‍ර පණ ගැන්වීමේදී දුෂ්කරතා ඇති වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.ජීව විද්‍යාත්මක සාම්පල ගබඩා කර ඇති හරිතාගාර පද්ධතියේ ක්‍රියාකාරිත්වයටද බලපෑම් ඇති වූ බව එම නිලධාරියා පැවසීය.
ජාතික රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයෙහි ක්‍රියාකාරකම්වලට බලපෑම් එල්ල වූ බව ත් රෝගීන්ට ආහාර බෙදාහැරීම පැය කිහිපයක් ප්‍රමාද වූ බව ත් වාර්තා විය.විදුලිය ඇනහිටීමෙන් පසු, මහරගම අපේක්ෂා රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීම පරිදි රෝහල පවත්වාගෙන යෑම සඳහා ජනක යන්ත්‍රයක් ලබා දුන් බව විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිය නොමැතිකම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීමෙන් වැළකී සිටි අවස්ථා වාර්තා විය.දුම්රිය සංඥා පද්ධතියේ බාධා හේතුවෙන් දුම්රිය ගමනාගමනය අඩාළ වූ බව ත් සියලු ම දුම්රිය පැය භාගයක් ප්‍රමාද වූ බව ත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පානදුර ග්‍රිඩ් උප පොළේ හානියට පත් ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කිරීමට මණ්ඩලයේ සේවකයන් කඩිනමින් පියවර ගත් බව විදුලි බල මණ්ඩලය පවසයි.විදුලි බල පද්ධතියේ අසමතුලිතතාව බිඳවැටීමට හේතුව පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව මණ්ඩලය කියයි.දිවයින පුරා පැය කිහිපයක් විදුලිය ඇනහිටීම පිළිබඳ අමාත්‍යාංශය විමර්ශනය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ අතර පානදුර විදුලි උපපොළේ ඇතිවූ හදිසි විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝල, ලක්විජය බලාගාර ද අක්‍රිය වී ඇත. එය යථා තත්ත්වයට පත් කරනතෙක් පසුගිය 11වැනිදා කාණ්ඩ හතරක් යටතේ දිවයිනම ආවරණය වන පරිදි පැය 1 1/2ක් විදුලිය විසන්ධි කිරීමක් සිදුවිය.පසුගිය 10වැනිදා ද මෙම කාල සටහනට අනුව විදුලිය විසන්ධි කෙරිණි.
A,B,C,D/ E,F,G,H,U,V/ I,J,K,L,P,Q/ R,S,T,W ලෙස කාණ්ඩ 04කට වෙන් කර විදුලිය විසන්ධි කිරීම සවස 3.30ත් රාත්‍රි 10.00ත් අතර සිදු කෙරේ.
කිසියම් කාණ්ඩයක් යටතේ ඇති විදුලි ඉල්ලුම කළමනාකරණය, නියමිත වේලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව ධාරිතාව වෙනස් වීමට ඉඩ ඇති බව විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. ඉහත දක්වා ඇති පරිදි විදුලි සැපයුම විසන්ධි කරන වේලාව සහ යථා තත්ත්වයට පත්වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30ක් ඇතුළත වෙනස් වීමට ඉඩ ඇති බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ද හිමිව තිබිණි.