25 ටෙස්ට් වලට අපලද?

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා පිල කඩුලු 9ක පරාජයක් ලැබූ අතර, එය ශ්‍රී ලංකා ටෙස්ට් වංශකථාවේ 325වැනි ටෙස්ට් තරගය විය. 1982 වසරේ සිට ශ්‍රී ලංකාව සහභාගි වූ ටෙස්ට් තරග අතරින් අංක 25න් අවසන් වන එකදු ටෙස්ට් තරගයක් හෝ ජය ලබා නොමැතිවීම විශේෂත්වයකි.

25 වැනි ටෙස්ට් තරගය නවසීලන්තය සමඟ ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර, ශ්‍රී ලංකා පිල සහභාගි වූ 125 වැනි ටෙස්ට් තරගයේදී එංගලන්තය හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූවේය. ශ්‍රී ලංකා පිලේ 225 වැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානය හමුවේ කඩුලු 5කින් හා 325 වැනි ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ මෙයට දින කිහිපයකට පෙර පරාජය වූවේය.

එහෙත් මේ සෑම තරගයකදීම සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම වාර්තාවීම කැපී පෙනේ. කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පිලේ 25 වැනි ටෙස්ට් තරගයේදී නවසීලන්තයට එරෙහිව බ්‍රෙන්ඩන් කුරුප්පු ආරම්භක පිතිකරු‍ ලෙස සිය මංගල ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් විය. එවැනි දක්ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා‍වේ පළමු පිතිකරු ලෙස බ්‍රෙන්ඩන් ඉතිහාසයට එක් වූවේය.

මැන්චෙස්ටර් ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පිලේ 125 වැනි ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව රසල් ආර්නෝල්ඩ් ලකුණු 109ක් ලැබූ අතර, එය ඔහුගේ අවසන් ටෙස්ට් ශතකය විය. ඔහු එයින් පසු ඉනිම 7කට ක්‍රීඩා කොට ලකුණු 48ක් පමණක් ලබා අසාර්ථක පිතිකරුවකු බවට පත්වූ හෙයින් ටෙස්ට් පිලේ ස්ථානය අහිමි වී ගියේය. මේ තරගයේදී එංගලන්ත පිතිකරුවන් වූ මාක් බුචර් හා ඇලෙක්ස් ස්ටුවට් ලකුණු 123 බැගින් ලබා ගැනීමට සමත් වූහ.

එකම ඉනිමකදී පිතිකරුවන් දෙදෙනකු එලෙස එකම ඉලක්කමකින් ශතක වාර්තා කළ දුර්ලභ අවස්ථාවක් ලෙස එම තරගය ඉතිහාසයට එක් වූවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පිලේ 225 වැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් දිල්රුවන් පෙරේරා තම මුල්ම ටෙස්ට් ඉනිමේදී ලකුණු 95ක් ලබා ටෙස්ට් වරම් දිනූ මංගල තරගයේදී අර්ධ ශතකයක් ලැබූ පිතිකරුවන්ගේ නාමලේඛනයට එක් වූවේය.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාව දුටු ශ්‍රී ලංකා පිලේ 325 වැනි ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති අතර, එම තරගයේදී දිමුත් කරුණාරත්න 100 වැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය සනිටුහන් කරමින් ටෙස්ට් බිමෙන් සමුගෙන ගියේය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ඔහුගේ 200 වැනි ටෙස්ට් උඩ පන්දුව සමඟින් ආසියානු උප මහද්වීපයේ වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවා බවට ද පත් වූවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *