කටුගෙයක් වන නුවරඑළියේ ජනාධිපති මන්දිරය.

වර්තමාන ජනපති අනුර දිසානායක නිතර පවසන්නේ රට වටා ඇති ජනාධිපති මන්දිර ජනපතිවරුන්ගේ අධික සුඛවිහරණයට භාවිත කරනවා වෙනුවට රටට ඵලදායක වැඩකට යොදාගැනීමට කටයුතු කරන බවය. කොළඹ සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිර දෙක හැර අනෙක් ජනාධිපති මන්දිර සියල්ල එසේ වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒවාගේ පිහිටීම් හා යෝග්‍යතාවය අනුව කවර කටයුත්තක් සඳහා සුදුසු වන්නේද යන්න ඉතා ඉක්මනින් රජය විසින් තීරණය කිරීමට නියමිතය. ඒ සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් වාර්තා කැඳවා තිබේ.

පසුගිය සතියේ නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිරය නැරඹීමට එය ඉදිකළ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරිගේ මිණිබිරිය වන බෙලෙන්ඩා හන්ඩ් පැමිණෙන්නේ ඒ අතරවාරයේය. එහි අපූරු පිහිටීමෙන්ද පෞරාණික අලංකාරත්වයෙන්ද ප්‍රමුදිත වූ ඇය රජයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ එම අනර්ඝ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කරන ලෙසය. එය අගනා යෝජනාවක් බව අපටද පෙනේ. දැනට සාමාන්‍ය ජනතාවට නැරඹීමට වරම් නැති ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාලනය වන මේ ගොඩනැගිල්ල කොලෝනියල් යුගයේ ලංකාවේ එක් පැතිකඩක් පිළිබිඹු කරන සජීව නිදර්ශනයක් බවට පහසුවෙන් පත්කළ හැකිය. එය දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වනු නිසැකය.

විලියම් ග්‍රෙගරි ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස පත්වන්නේ 1871 දීය. ඔහු ආණ්ඩුකාර ධුරය දරන්නේ 1875 දක්වා වසර හතරක් පමණි. නමුත් ඒ කාලයේ ඔහු දේශීය සංස්කෘතියට සහ මෙරට ජනතාව කෙරෙහි බැඳීමකින් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ඉටුකිරීමට මුල්විය. එකල ජනතාව ඔහුට කිව්වේ ගිරිගෝරිස් ආණ්ඩුකාරයා ලෙසිනි. කොළඹ 7 මාර්ගයක් විලියම් ග්‍රෙගරි නමින් නම්කර ඇත්තේද ඒ නිසාය.

ග්‍රෙගරි යටත්විජිත කාර්යාලයේ අවසරයකින් තොරව ගාල්ලේ ආණ්ඩුකාර නිවහන විකුණා නුවරඑළියේ මන්දිරයක් ඉදි කළේය. එය පිහිටා ඇත්තේ අක්කර 125 ක භූමියකය. මේ ගොඩනැගිල්ල පවුම් 1500 ක වියදමින් තැනූ අතර එහි සැලසුම් සකස් කළේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහනිර්මාණ ශිල්පී හර්බට් ප්‍රෙඩ්රික් තෝමියන් විසිනි. කොළඹ පැරණි මහ තැපැල් හල ද තෝමියන්ගේ අධීක්ෂණය යටතේ ඉදිවූ ගොඩනැගිල්ලකි. විලියම් ග්‍රෙගරි ලංකාවේ රාජකාරි කළ කාලයේ නුවරඑළියට ඉතා ප්‍රිය කළ අතර ඒ නිසා බොහෝ අවස්ථාවලදී කොළඹට අමතරව එම ප්‍රදේශයේද රැඳී සිටියේය. මේ මන්දිරය ඉදිකරන ලද්දේ එසේ නිවාඩු ගැනීමටය. ජනාධිපති මන්දිරය නැරඹීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමට ක්ෂණිකව අවසර ලබාදීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට සිය ස්තූතිය පුද කරන බවද බෙලෙන්ඩා පැවසුවාය. බෙලෙන්ඩා ලංකාවේ සංචාරය කරන්නේ සැමියා වූ මායල්ස් සමඟය.

විවේක ස්ථානයක් ලෙස 1800 මුල් භාගයේ පටන් ඉංග්‍රීසින් අතර ජනප්‍රිය වූ නුවරඑළියට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් පුංචි එංගලන්තයක් බවට පත් කළේ විලියම් ග්‍රෙගරිය. එයට පෙර සැමුවෙල් බේකර් එහි එංගලන්තයේ එළවළු වර්ග වගා කළ ගොවිපොළක්ද පවත්වාගෙන ගියේය. අක්කර 225 ක් විශාල ග්‍රෙගරි වැව 1873 දී ඉදිකෙරෙන්නේද ග්‍රෙගරිගේ පාලන සමයේදීය. ග්‍රෙගරි දකුණු ආසියානු ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරද්දී අනුරාධපුර රාජධානි සමය පිළිබඳ විශාල පැහැදීමක් ඇති කරගත් අතර ඒ නිසා නටබුන්ව පැවති එම නගරය ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවට යෝජනා කළේය. මෙරට ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ සැණින්ම ඔහු අනුරාධපුර පෙදෙසේ සංචාරය කළ බව සඳහන් වේ. යටත්විජිත පාලන කාලවලදී අනුරාධපුරයේ වැව් අමුණු, වෙහෙර විහාර පිළිබඳ අවධානයක් දැක්වුණේ ඉතා අඩුවෙන් නිසා ඒ බොහෝමයක් කැලෑවැදී ජරාජීර්ණව තිබිණි. ඉන් කනගාටුවට පත් ග්‍රෙගරි මුලින්ම වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කොට පුරාවස්තු ආරක්ෂා කළ යුතු බවට විශේෂ වාර්තාවක් බ්‍රිතාන්‍යයට යැවීය. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුළුල් කර ශ්‍රම කණ්ඩායම් රැස්කරමින් රජරට වැව් ප්‍රතිසංස්කරණය කිරීමටද උනන්දු විය. 1877 සැප්තැම්බරයේදී ග්‍රෙගරි ආණ්ඩුකාර ධුරය අවසන් කොට නැවතත් මව්‍ රට වූ එංගලන්තය බලා යන අතර පසුව ඕස්ට්‍රේලියාවට රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන්නේ ප්‍රිවි කවුන්සලයේ සාමාජිකයෙ ලෙසිනි.

ක්වීන්ස් හවුස් ලෙසින් හැඳින්වූ මේ මන්දිරයේ විලියම් ග්‍රෙගරිගෙන් පසුව පත්වූ සෙසු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුද විවේකයෙන් කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දැක්වූහ. ආණ්ඩුකාරවරු පමණක් නොව ඔවුන්ගේ අමුත්තන්ටද නුවරඑළිය මන්දිරයේ දොරටු නිරන්තරයෙන් විවරව තිබුණි. කොළඹට උණුසුම අධික ජනවාරි සහ මැයි දක්වා ආණ්ඩුකාරවරු බොහෝවිට මෙහි කල්ගත කරමින් රාජකාරි කළ බව සඳහන් වේ.

“මේ පැරණි ගොඩනැල්ල ශ්‍රී ලංකා රජය විසින් ඉතා හොඳින් නඩත්තු කරනවා. මෙය වර්තමානයේ විශාල වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක්. එය සීමාවන්ට යටත්ව කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් එහි ඉතිහාසය ජනතාවට දැනගැනීමට අවස්ථාව සැලසීම වැදගත්.”‍ බෙලෙන්ඩා හන්ඩ් පවසා සිටී.

නුවරඑළියේ සංචාරය කරන අතරතුර ග්‍රෙගරි වැවද දැකබලාගත් ඇය අක්කර 26 කින් සමන්විත වික්ටෝරියා උද්‍යානය සහ කෞතුකාගාරය නැරඹීමට ද ගියාය. “කෞතුකාගාරය ඉතාම අලංකාරයි. දිගු ඉතිහාසයක් ඇති ඡායාරූප වැනි වටිනා දේවල් එහි ප්‍රදර්ශනය කෙරෙනවා. සෑම කෙනෙක්ම මෙය නැරඹීමට පැමිණිය යුතුයි.”‍ යැයි ඇය පැවසුවාය. කෞතුකාගාරය ඉදිකළ නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද ‍දොඩම්පේගමගේ ද හමුවූ ඇය කෞතුකාගාරය මීට වඩා ක්‍රමවත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත.

සිය සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළියේ ශාන්තිපුර ප්‍රදේශයේ ඉදිකළ ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරීමේ උත්සවයටද සහභාගී වූ අතර, එහිදී විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සුහද පිළිසඳරක ද නිරත වූවාය. නුවරඑළියේ සංචාරය සඳහා එක්වීමට ඇය පැමිණ ඇත්තේ දුම්රියෙනි.

ශ්‍රී ලංකාවේ මිය ගිය එකම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ජෝන් ඇන්ඩර්සන් රෝගාතුර වී මිය ගොස් ඇත්තේ නුවරඑළිය ජනාධිපති මන්දිරයේය. වර්ෂ 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව අග්‍රාණ්ඩුකාරවරයාගේ නුවරඑළිය නිල නිවෙස බවට පත්වූ මෙය පසුව ජනාධිපතිවරයාගේ නිල නිවෙසක් බවට පත්විය. අපේ ජනාධිපතිවරුද විවේකයෙන් කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වා ඇත්තේ නුවරඑළිය ජනාධිපති මන්දිරයේය. එහි වෙනම මුළුතැන්ගෙයක් සහ ජනාධිපතිවරයාට සහ ඔහුගේ අමුත්තන්ට අවශ්‍ය පහසුකම් සපයන කාර්යමණ්ඩලයක් සේවයේ නිරත වෙති. උද්‍යානයේ අලංකාර මල් වගාවක් ද පවතී.

නුවරඑළිය ජනාධිපති මැඳුර වටා තිබෙන විශාල ඉඩමේ අදටත් කාබනික එළවළු වගාවක් පවත්වාගෙන යාම සිදුවේ. එම එළවළු වගාවෙන් සෑම සිකුරාදාවකම එළවළු කිලෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවන බව ජනපති අනුර පසුගිය කාලයේ ප්‍රචාරක රැළියකදී සඳහන් කළේය. ඔහු සඳහන් කළේ එම එළවළු ජනාධිපති ආරක්ෂක අංශයට ලබාදීමට කටයුතු කළ බවයි.

ජනතාව දැන් බලා සිටින්නේ ආණ්ඩුව පවසන අන්දමට නුවරඑළියේ පමණක් නොව රටේම සෙසු ජනපති මන්දිරවලට කරන්නේ කුමක්ද යන්නයි. ඒවාට කළ යුතු දේ ගැන කල් බලමින් නොසිට අද හෙටම තීරණය කළ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *