කවි පොතකින් පිටුවක්, වත්මන් ළමා ගී පරපුරේ ආරම්භකයා – රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා

වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා

පොඩි චූටිට වයිරස් උණ , රෑ තිස්සෙම ඇග තෙම තෙම 

හිටියේ ෆිට් එකට බයෙන් 

ලොකු චූටිට විභාගෙ අද , මම හිටියේ බත් බැද බැද 

ඒ වෙලාවෙ චූටි ඇඩුවේ ඇදුම තෙමන් 

චුටිගෙ තෙත මාරුකරලා, ලොකූගෙ සුදු ගවුම මැදලා 

ඉවරකරලා උණ බැලුවම , දන්නෙම නෑ එකසිය ගාණකට නැගල 

චූටි ඇඩුවේ වෙවුල වෙවුලා ………

එයා හිටියෙ රැවුල බබා , උරුහන් බානවත් ඇහුනා 

බබා බලන්නට කිව්වම , එයාට අද යකා වැහුන .

ඒත් අම්මෙ මං ඉවසුව….

එයාගෙ අම්මා හිටියේ බණ අහ අහ , ටීවී එකටත් වැදගෙන 

ළමයි බමයි නිදිකරලා , අපි නම් කුබුරටත් ගියා 

එයා කිව්වෙ මට ඇදේට , ඒත් අම්මෙ මං ඉවසුව …..

මේ සේරම කරන්න මට , තියෙන්නෙ අත් දෙකයි කියල 

කිව්වෙත් මං බොහොම හෙමින් , මගෙ කරුමෙට ඒක ඇහිලා ….

” ගෑණු දෙතුන් දෙනෙක් ගන්න , කියලද දැන් මට කියන්නෙ “

එයා ඇහුවෙ සද්දෙ දමල .

” මගේ මොකද ? ” මාත් කිව්වා .

තමුසෙ කියනකම් හිටියේ , මටත් ඕක හිතුන කියල

එයා කිව්වෙ ඔළුවේ ජෙල් ගාන ගමන් 

ඒ වෙලාවෙ මතක් වුණෙම 

කොටට කොටේ ගවුම ඇදන් , අවුරුදු පාටියට ඇවිත් 

එයා එක්ක මුකුළු කරපු ජැකී ෂෙරන් 

අම්මේ මට යකා වැහුණා . වතුර ජෝගුවත් පෙරලුනා.

එයා ගියේ කේන්තියෙන් . ලොකූ ගියේ බඩගින්නෙම 

නැන්දම්මත් බුම්මාගෙන , කෑවෙත් අද එහා ගෙයින්    

ඔෆිස් එකට කෝල් කරලා බබාට උණ බව කිව්වම 

වැලන්ටයින් සමරනවද සරුත් ඔච්චමට ඇහුව 

ඊයෙ ෂෝට් ලීව් දමල , ගත්ත කමිසෙ බෑග් එකේ .

දෙන්න හිතෙන්නෙත් නැහැ දැන් 

අම්මේ මට බනින්නෙපා ….

වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා ……

කවිය – වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා

කිවිදිය  – සුහර්ශිනි ධර්මරත්න

කවි පොත –  සුදුවත ඇඳි කෙකනිය 

වත්මන් ළමා ගී පරපුරේ ආරම්භකයා – රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා

‘රෝස මලේ නටුවෙ කටූ – වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී – මම ළමයෝ පැණි උරමී’

යනුවෙන් ළමයකුත්, වන බමරකුත් අතර සංවාදයක් ආකාරයෙන් ලියා ඇති කුඩා කවිය අදත් අපේ දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් එකසේ ජනපි‍්‍රය ළමා කවකි. ළමයින්ට කවි ලිවීම අරභයා ආනන්ද රාජකරුණා (1885-1957) කවියා දැක්වූ දක්ෂතාව මැන ගැනීමට එම කව ම ප‍්‍රමාණවත්ය. ළමයින් සඳහා විවිධ මට්ටමේ කව් රැසක් ආනන්ද රාජකරුණා විසින් අපේ ළමා පරපුරට දායාද කර තිබේ.

කි‍්‍ර.ව. 1885 ජනවාරි 7 වැනිදා ගාල්ලේ මහදම්පාගම රාල්ලාගේ වත්තේ දී උපන් ඔහුගේ උපත් නාමය ‘ඇල්ෆ්‍රෙඞ්’ වුවද ඔහු පසු කලෙක ඒ වෙනුවට ‘ආනන්ද’ නාමය යොදා ගත්තේය. ගම්මුලාදෑනි මෙන්ම ගමේ වෙද මහතා ද වූ විජය වර්ණකුල චාර්ල්ස් තාබ්‍රෙව් රාජකරුණා ඔහුගේ පියාය. මව හෙලේනා ද ලිවේරා කරුණාරත්න වූවාය. ඔහු පස් හැවිරිදි කල මුලින්ම සිංහල උගන්වන ලද්දේ මවගේ සොහොයුරා වූ ජෝශප් ද ලිවේරා කරුණාරත්න විසිනි.

අකුරල සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මාදම්පේ මිෂනාරි පාසලින් ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබීය. ඉන්පසු පූජ්‍ය මාදම්පේ ධම්මතිලක හිමියන් වෙතින් සිංහල බස වැඩිදුර උගත්තේය. සිරි සුමන වංශාලංකාර පේමරතන හිමියන්ගෙන් පාලි හා සංස්කෘත භාෂාවන් ද උගත්තේය. තරුණ කාලයේ දී ම ඔහු පැරණි කවි පොත් සියල්ලම කට පාඩමෙන් දත්තේය. පියාගේත් මාමාගේත් සිංහල පොත් පරිහරණය කළේය.

මුලින් ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරඹූ ඔහු පසුව පත‍්‍රකලාවේදියකු වශයෙන් කටයුතු කළේය. ළමයින් වෙනුවෙන් ඔහු කළ නිර්මාණ රැසකි. ඒ අතරින් පසුව ආ කවීන් බොහොමයකට ම ඔවුන්ගේ නිර්මාණ කරන්නට ආභාසය සපයා ඇති බව එම නිර්මාණ විමසා බැලීමේදී පෙනේ. සොබා දහම දෙස ළමා නෙතකින් බලන්නට බොහෝ කවීන් පෙලඹවූ මේ කවි සිඟිත්ත ඊට හොඳ නිදසුනකි.

මල

ගසෙක වැලෙක
හැටියට මය
මලක නටුව
අපූරුවක්

නටු අග දිග
ඇදී තිබෙන
පෙති වටය ද
අපූරුවක්

මැද කෙමියයි
රේණු ගොඩයි
සිනිඳු ගතිය
අපූරුවක්

මී මැස්සකු
මල නොතළා
රොන් ගෙන යන
අපූරුවක්

සරල සුමට වදන් යොදා ගෙන මෙම කව් ඔහු විසින් එකල පහළ බාලාංශය (වර්තමානයේ පළමු වන ශ්‍රේණිය) සඳහා ලියන ලද ‘ළදරු කව් මී’ පෙළ පොතට ඇතුළත් කළ එකකි. කුඩා ළමයකුගේ සිතෙහි පරිසරයට ආදරයක් ඇති කරන, පරිසරය තුළ සිදුවන කි‍්‍රයාකාරම් ඔස්සේ රස වින්දනයක් ඇති කිරීමට මේ පුංචි කව් පෙළෙන් කවියා සමත් වී ආකාරය අප තුළ ද ‘අපූරුවක්’ ඇති කරයි.

ඒ හැරෙන්නට අදත් ළමයින් හොඳින් දන්නා ‘ටිකිරි ටිකිරි ලියා’, ‘අම්බලමේ පිනා පිනා’ වැනි කිසිදාක නොමියෙන සුප‍්‍රකට ළමා කවි ද ඔහුගේ නිර්මාණයන්ය. ඒවායේ නිර්මාණකරුගේ නම පරම්පරාවෙන් පරම්පරාවට නොයතත්, ඔහුගේ මේ අපූරු කවි නම් අප අතින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන බව නම් කිව යුතුය.

කවිය ළමයින්ට කැප කළ කවීන් අතර පුරෝගාමියකු වූ ඔහු 1934 දී පබැදු ‘ජාතික දරු නැළවිල්ල’ නම් කෘතියට කවි 50ක් ඇතුළත් විය. ළමයා තුළ දේශානුරාගය ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු තොටිල්ලේ සිට එම කාරිය කිරීම සඳහා මෙම ‘ජාතික දරු නැළැවිල්ල’ බිහි කළේ එවැන්නක් නොමැති වකවානුවක් තුළය. මෙය නොමිලයේ බෙදා දුන්නේ කාහටත් ඉන් ඵල ලැබිය හැකි වන පරිදිය. එහි එන එක් කවියක් මෙසේය:

    ජාතික ගති පණ  පොවන්ට
    නව ජීවන රස      කවන්ට
    සිංහල නම      බබළවන්ට
    සිය රට දැය      පුබුදුවන්ට

දරුවන් වෙනුවෙන් මෙවැනි දේශානුරාගී කව් ලියන්නට, ජාතිකත්වය පිළිබඳව දරුවන් තුළ ඇති කරන්නට, ආනන්ද රාජකරුණා අනුව යමින් සිය නිර්මාණ බිහි කළ කවීන් අතර ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ළමා සිත් තුළ දේශානුරාගය වඩවන්නට උන්වහන්සේ නිර්මාණය කළ එම කව් පෙළ හඳුන්වා ඇත්තේ ”දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල” යනුවෙනි. එහි එන කවි දෙකකි, මේ සමග පළ වෙන්නේ.

දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බයෝ

මුනි සිරිපා       සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ      එන්නේ
මගේ පුතා        නිදියන්නේ

නිදහස මහ මුහුදක්       වේ
එහි උල්පත පුත නුඹ     වේ
ඒ බව සිහි කොට මෙලොවේ
යුතුකම ඉටු කළ      යුතුවේ

ඇස්. මහින්ද හිමියන්ගේ ඒ කව් පෙළ ජාතික හැඟීමෙන් යුතු පරම්පරාවක් බිහි කිරීමට ආනන්ද රාජකරුණා සූරීන් කළ මෙහෙයට එක් උදාරණයක් පමණය. 

අවසානයේ දී එතුමා 1955 ජනවාරි 5 වැනිදා ආනන්ද ධම්ම නමින් පැවිදි බිමට ඇතුළත් විය. 1957 අගෝස්තු 27 වැනිදා මෙලොවින් සමුගත්තේය. එතුමා සිහි කිරීමට 1971 ඔක්තෝබර් 29 වැනිදා තැපැල් මුද්දරයක් ද නිකුත් කරනු ලැබීය.

ප්‍රවීණ පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න මහතාගේ මල් කැකුළු සිංහල බ්ලොග් අඩවියෙන්
http://www.malkakulu.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *