අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත වැඩසටහන් මෙහෙයවීම හරහා මහත් මෙහෙයක් කල චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන එවන් ප්‍රජා සන්නිවේදනයක යෙදෙන පළමු චරිතයයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.



චතුර කථිකත්වය කියන්නෙ අහඹුවක් නොවෙයි, ඒ පිටුපස අප්‍රතිහත කැපකිරීමක්, බුද්ධියක් සහ දැනුම් සම්භාරයක් තිබිය යුතුමයි. පොත පත කියවීමෙන් සහ අනිකුත් විවිධ ආකාරවලින් අප ලබා ගන්නා දැනුමට ජීවයක් ලබා දීමේ ප්‍රබල හැකියාවට චතුර කථිකත්වය කිව්වොත් එය නිවැරදියි කියලයි මට හිතෙන්නෙ. චතුර බව ජීවිත කාලය පුරාවටම කියැවීමට ඇති ආශාව හේතුවෙන් ලබන දැනුමට, අවබෝධයට අපූරු පාලමක්. සමහරුන්ට මේ චතුර කථිකත්වය උරුමයෙන් හෝ ජානවලින් ලැබෙන්න පුළුවන්. සමහරෙක්ට එය මනා අභ්‍යාසයකින්ද ලබා ගන්න පුළුවන්. අද අපේ කතා නායකයා වන්නේ ඒ දෙයාකාරයෙන්ම ලද හැකියාවලින් පරිපුර්ණ පුද්ගලයෙක්. ඔහු ටොරොන්ටෝ අවට කුමන සංදර්ශනයකට, උත්සවයකට අප සහභාගී වුවත් බොහෝ විට ඒ රසවත් තැන් තවත් රසවත් කරනා මියුරු කටහඩක්, පැහැදිලි උච්චාරණයක් සතු පුද්ගලයෙක්. ඔහුගේ කථිකත්වයෙන් අසන්නා අමන්දානන්දයට සහ වසගයට පත් වන්නේ ඔහු නොදැනුවත්වම යොදාගන්නා සුමට වචන වගේම, ඒවා කැපී පෙනෙන විරාමයකින්, පැකිලීමකින් හෝ වෙහෙසකින් තොරව අඛණ්ඩ ප්‍රවාහයක් මෙන් ගලා යෑම හේතුවෙන්. වරෙක ඔහු කළා කරුවෙක්, වරෙක ඔහු මාධ්‍ය වේදියෙක්. දුර අතීතයක, ඔහු වමේ දේශපාලන ක්‍රියාකාරී සාමාජිකයෙක්, විප්ලව කාරයෙක්.
ඒ පුර්වකථනයට හිමිකම් කියන්නේ අප කවුරුත් දන්නා කියනා සුප්‍රසිද්ධ උපාලි රණසිංහ. ඔහු මා ගැන කිසිවක් නොදැන සිටියත්, අප හමුවූ සැම විටම මා අසල නැවතී සිනහ මුසු මුහුණින් වචනයක් දෙකක් කතා කලේ ඔහුගේ නිහතමානීතත්වයේ පිළිබිඹුවක් ලෙසට.
උපාලි රණසිංහ චරිතාපදානය ආරම්භ කල යුතුයි සිතූ මොහොතේම මට කුතුහලයක් ඇති වුයේ ඔහුට ඒ හැකියාව ලැබුනේ කෙලෙසකදැයි දැන ගැනීමට. ඒ නිසා සංවාදය ආරම්භයේදීම මගේ ප්‍රශ්නය වුයේ ඔහුගේ කථිකත්වයට පසුබිමක් හෝ උරුමයක් තිබේද යන්නයි. මගේ උපකල්පනයට සරිලන පරිදිම උපාලි රණසිංහ කතාව පටන් ගත්තේ ඔහුගේ පියාගෙන්. පාරම්පරික පවුලකින් පැවත ආ රණසිංහ පියාණන්ගේ නිවහන නිතර ජනී ජනයාගෙන් පිරී ඉතිරී තිබු තැනක් වුයේ ඔහු ඒ ගම් පළාතේ චන්දයෙන් පත් වූ සමසමාජ පක්ෂය නියෝජනය කල ගම්සභා නියෝජිතයා මෙන්ම බණ්ඩාරගම ගම්සභාවේ උපසභාපති වීම. කුඩා උපාලි දරුවා හැදුනේ වැඩුනේ තාත්තාගේ දේශපාලන දර්ශනය මෙන්ම ඔහුගේ සුවිශේෂ දක්ෂතාවයන්ද ඇසට පෙනෙන මානයක තිබු පසුබිමේ. ඔහුගේ නිවසට නිතර ආ ගිය 1970 රජයේ ප්‍රබල දේශපාලකයන් වූ ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන බණ්ඩාරගම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්බට් වික්‍රමසිංහ වැනි වියතුන් රණසිංහ පියාගේ බොහොම සමීපතමයන් උනා. උපාලි, ලෙස්ලි ගුණවර්ධන ශ්‍රීමතාණන් ගැන මතකයන්ද සෙනෙහසින් මා සමග බෙදාගත්තා.
දේශපාලකයකු වූ උපාලිගේ පියාගේ සමාජයීය භූමිකාව අද දේශපාලකයින්ගේ භූමිකාවට වඩා හරිම වෙනස්. තාක්ෂනය නොතිබුණු එදා ඔහු ගමේ පුංචි පාරවල් වැඩි දියුණු කලේ කැති උදලු සහ ගම්මුන් පිරිවරා ගත් ශ්‍රමදාන මගින්, අද දේශපාලන ප්‍රතිපත්තීන්ට හාත්පසින්ම වෙනස් ආකාරයට. අද ඒවා කාපට් දාපු බොහොම දියුණු පාරවල් කියලා ඔහු කිව්වේ සිනා මුසු හඩින්. පසුගිය දිනක ඔහුගේ බාල සොහොයුරු සරත් රණසිංහ ඒ ගම් පලාතේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුරට තේරී පත් උනා.
මගේ ඊලග ප්‍රශ්නය වුයේ ඔහු ඉපදුනු ගම්මානය ගැන. මගේ ප්‍රශ්නයෙන් උද්දාමයට පත්වූ උපාලි මෙහෙමයි පිළිතුරැ දුන්නෙ, “මගේ උත්පත්තිය සිදු වුනේ කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම් කෝරලයේ, අදිකාරි පත්තුවේ, බණ්ඩාරගම, අලුත්ගම නම්වූ රමණීය ගම්මානයේ. ඇත්තටම මගේ ගම විතරක් නෙවෙයි ඒ මුළු පලාතෙම තිබූ වැව් අමුණු, ඇල දොළ ගංගා, නිල්ලෙන් වැසුණු ලඳු කැලෑ, කුඹුරු යායවල් අපේ ගම් පළාතටම ගෙන දුන්නේ හරිම සුන්දරත්වයක්. කළු ගගේ එක අත්තක් ගලා ගියේ අපේ ගම ඉස්මත්තෙන්. ඒ දියසීරාවේ තෙතමනය නිසා ඉතා සෞම්‍ය සශ්‍රීක ගමකයි මම හැදුනෙ. ඔහු එක හුස්මට කියාගෙන ගියා, “අපේ ගමේ පන්සල තිබුනෙ වැව් දෙකට මැද්දෙන්, ඒකට උභය වාපිකාරාමය කියන නම හැදුනේ උභය කියන්නේ පාලි භාෂාවෙන් දෙක, වාපිකා කියන්නේ වැව්, වැව් දෙකක් මැද තිබු ආරාමය නිසා එයට උභය වාපිකාරාමය යයි නම්වී තිබුනා. මම “සකස්කඩය” ඉගෙන ගත්තෙ අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන්. පාසැලක්, පන්සලක්, සමුපකාරයක්, තොටුපොළක්, වැවක් සහ සශ්‍රීක කුඹුරු යායක් තිබු මගේ ගම පරිපුර්ණ ගමක්”, ඒ කටහඬේ යම් ආකාරයක අභිමානයකුත් තිබුනා.
පුතුන් සය දෙනෙකු ගෙන් සහ එක දියණියක ගෙන් සමන්විත රණසිංහ පවුලේ දෙවෙනියා වූයේ උපාලි රණසිංහ, “අපේ අම්මා කොල්ලො හය දෙනෙක් ආණ්ඩු මට්ටු කරගෙන හිටිය හැටි මතක් වෙනකොට අදටත් මට අදහා ගන්න බැහැ කියලා” ඔහු මට කිව්වේ මහා හයියෙන් කොක් හඩ දමා සිනාසෙමින්. උපාලි කුඩා දරුවා අධ්‍යාපනය ආරම්භ කලේ ගමේ මුලික පාසල වූ අලුත්ගම ප්‍රාථමික විද්‍යාලයෙන්. හතර වැනි ශ්‍රේණිය දක්වා එහි අධ්‍යාපනය ලැබූ උපාලි එතැන් සිට අල්ලපු ගමේ තිබු ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයට ඇතුල් කරනු ලැබුවා.
උපාලි සිසුවාට ශ්‍රී සාරාලංකාරයෙන්, මහා පඩිවරුන් බිහි කල හොරණ විද්‍යාරත්න පිරිවෙනට ඇතුල්වීමට භාග්‍යය ලැබුනේ 8 වැනි වසරේදී. විද්‍යාරත්න පිරිවෙන කියන්නෙ ඒ යුගයේ මෙන්ම අදත් ඉතා දීප්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම අති විශිෂ්ඨ නාට්‍ය කලාගාරයක් කියලා මුළු ශ්‍රී ලංකාවේම පතල කරුණක්. 1960 දශකයේ නාට්‍ය කලාව පිළිබද අප මතකය අලුත් කළහොත්, 1966 සමස්ත ලංකා නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය චන්ද්‍රසේන දසනායකගේ “ආඩි ටිකයි අම්බලමයි” නාට්‍ය දිනා ගත් බව ඔබට සිහියට නැගේවි. ඒ නිෂ්පාදනය සිදුවුයේ මේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ. නමුත් උපාලිගේ පාසැල් සමයේ චන්ද්‍රසේන දසනායක විශ්‍රාම සුවය විදිමින් සිටියා. උපාලි තරුණ සිසුවාගේ භාග්‍යයකට මෙන්, ඔහු පාසලට ඇතුල්ව වැඩි කාලයක් යාමට මත්තෙන් තමයි වර්තමානයේ හේමසිරි ලියනගේ නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවා, තරුණ නාට්‍ය ගුරුවරයා ලෙස එම පාසලට පැමිණියේ. විද්‍යාරත්නයේ ආදී ශිෂ්‍යයෙක් වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටව ලැබූ පළමු පත්වීමයි එය. හේමසිරි ලියනගේ සිහිපත්ව ඉතා ප්‍රමෝදයට පත්වූ උපාලි පැවසු දේ එයාගෙ වචනයෙන්ම කියනවා නම්, “ඩෙනිම් කලිසම ඇදලා මහත Belt එකක් දාලා, කොන්ඩෙ ටිකක් වැවු ඔහු හරිම කඩවසම්”. උපාලි පහළ ශ්‍රේණිවල සිටියදී, උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය හැදෑරු ප්‍රතිභාපුර්ණ කළා කරුවන් අතර ධර්මසිරි බණ්ඩාරනායක, ලාල් කුලරත්න, ලෙස්ලි රත්නායක, නාට්‍ය නිෂ්පාදක ඩග්ලස් සිරිවර්ධන, ප්‍රවීණ වේශ නිරූපන ශිල්පී තරංග රුක්මල්වලද වුවා. ධර්මසිරි බණ්ඩාරනායකයන් නාට්‍ය කලාවට අත්පොත් තැබුවේ හොරණ විද්‍යාරත්නයෙන්. ධර්මසිරි බණ්ඩාරනායකයන් රඟපෑ හේමසිරි ලියනගේ කලාකරුවාගේ ප්‍රථම නිෂ්පාදනය වන “සුදු ඇතා” නම්වූ වේදිකා නාට්‍යය සමස්ත ලංකා නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා. ඒ ජයග්‍රහණයට ධර්මසිරි, ලාල්, ඩග්ලස්, ලෙස්ලි වැනි දක්ෂයින්ගේ රගපෑම්ද හේතු සාධක වෙන්න ඇති. ඒ කාලයේදීම තමයි ධර්මසිරි බණ්ඩාරනායක මෙහෙයවූ කළා සංගමයක්ද පාසලේ පිහිටවනු ලැබුවේ. ඒ කළා සංගමය මගින් සංවිධානය කල කළා උළෙලේදී, අටවැනි වසරේ සිටි අප කතානායක උපාලි සිසුවාට එහි තිබු කථික තරගයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමේ වාසනාව ලැබුනා. ඒ ජයග්‍රහණය වෙන්නැති අද අප ශ්‍රී ලාංකික සමාජයට කථිකත්වය සපයන ඔහුගේ අඩිතාලම වෙන්න ඇත්තෙ. එම ජයග්‍රහණයට ලැබුණු ත්‍යාගය වූ පුංච් සුට්කේස් එක ගැන උපාලි මා සමග පැවැසුවේ සිනහමුසු හඩින්. උපාලි සිසුවා 10 වසරේ සිටියදී, හේමසිරි ලියනගේ “චුලෝදර මහෝදර” නම්වූ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කිරීමට සැලසුම් කලද කිසියම් හේතුවකින් එය රග දැක්වීමට එදා නොහැකි උනා. එහි චරිත නිරුපනය සදහා උපාලිද තෝරා ගෙන තිබුනා. නමුත් පසුකාලීනව එදා විද්‍යාරත්නයේ සිසුවකුව සිටි අද නීතීඥවරයෙකු වන ඩග්ලස් සිරිවර්ධන එම නාට්‍යය නිෂ්පාදනය කර රඟ දැක් වුවා.
ඔහු නැවතත් ඉතාමත් උද්දාමයෙන් කටහඬ අවදිකළේ ඔහුගේ ළමා කාලය ගැන, “අද කාලේ දරුවන්ගේ ජීවිත හරියට යුධපිටියක් වගේ, හරිම තරගකාරියි. අපිට එවැනි පීඩා කිසිවක් තිබුනේ නැහැ, අපේ ජීවිත ගෙවුනෙ හරිම සරලව සහ සැහැල්ලුවෙන්. ඒ කාලේ මගේ වයසේ කොල්ලෝ රංචුවක් අපේ ගමේ හිටියා. අපේ ගෙදර පිටිපස්සට හුඟක් ආසන්නව තමයි වැව තිබුනේ. එතනට ගියාම පන්සල, එළවළු වගා කරන ඕවිටි හරිම ලස්සනට පේනවා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් අපි කොල්ලො රංචුවම වැවේ එගොඩ මෙගොඩ පීනනවා, ගස් නැගලා කුරුම්බා කඩන් බොනවා. අපි කැලේට පැනලා දං, හිඹුටු කඩාගෙන කනවා. ඇත්තටම ඒක හරිම සුන්දර ළමා කාලයක්”. අවංකවම කියනවා නම්, උපාලි එමොහොතේ මනසින් හිටියේ එදා ඒ ළමා කාලයේ, ඒ වැව් ඉස්මත්තෙ.
උපාලි කියනා මේ ගම, සංස්කෘතිකව ඉතා උසස් තැනක තිබුනාවූ තැනක් බවයි හැගෙන්නේ. ඔහු නැවතත් වචන ගැට ගැසුවා, “බෙර හඩක් නොඇසුන රාත්‍රීයක් නැති තරම්. දෙවොල් මඩු, ගම් මඩු, පෙරහැර, බලි තොවිල් මේවා ගම්මුන්ගේ ජීවිත සමග පුදුම විදියට බැදුණු සංස්කෘතිකාංගයන්. මෙවැනි සාම්ප්‍රදායික කලාවන් උදෙසා ගැමියන්ගේ ජීවිතවල විශාල කොටසක් වෙන්වෙලා තිබුනා”. දෙමාපියන් සමග මෙවැනි සංදර්ශනවලට සහභාගී වූ පුංචි උපාලිට ලැබුනේ ඉතා මනරම් ආස්වාදයක්. ඔහු ඒ පිලිබදව කතාකලේ ඉතා සංවේදීව, “මම ආසම දේ තමයි උදේට නටන ගරා යකා නැටුම. ඇත්තටම අපි බොහෝ දේ දැක්කා, රසවින්දා. මේ පසුබිම තුලින් මට සංස්කෘතික ආභාෂය වගේම රසකාමිත්වය ලැබුනා කියලයි මට දැනෙන්නෙ. අපි දරුවන් මේ දේවල්වලින් පුංචි හිත්වලට තෘප්තියක් ලබා ගනිද්දී, වැඩිහිටි පරම්පරාව එයාලට ආවේනික ටීටර් වැනි දෙයින් ජීවිතයේ සතුට සොයා ගත්තා”.
සත්තකින්ම, උපාලිගේ ගැඹුරු වචන පතුලෙ බොහොම වැදගත් ධර්මතාවයක් ගැබ්වෙලා තිබුනා, “අපේ ගමේ මිනිසුන් සරල සුන්දර ජීවිතයක් ගත කළා. හැම කෙනෙකුටම තමුන්ගේ මට්ටමෙන් ඉන්න ගෙයක් දොරක් තිබුනා, හැම කෙනෙකුටම වගේ කුඹුරෙන් වී ටික, වත්තේ වවාගත් කොස් පොල් එළවලු තිබුනා. ඒ නිසා ජීවන බර දැනුනේ නැහැ. ඒ හේතුවෙන් වෙන්න ඇති වැඩිහරියක් දෙනා තෘප්තිමත් සහ පිරිපුන් ජීවිත ගත කලේ. ඔවුන් ලැබෙන දෙයින් සතුටු උනා, ලොකු හීන තිබුනේ නැහැ. බුදු දහමෙන් පෝෂණය වූ ගැමි ජීවිතවලට දුක්‍ය දෝමනස්සයන් සහ අනෙකුත් ජීවන ගැටළු වූ කලී දිවි පැවැත්මේම කොටසක් බව ඔවුන් පසක් කරගෙන ඒවා උපේක්ෂාවෙන් දරා ගත්තෙත් බුදු දහම හැර වෙන පිහිටක් ඔවුනට නොතිබූ නිසා වෙන්න ඇති”, ඔහු එලෙස පැවසුවේ ඉතා සන්සුන් කට හඩකින්. ඔහු උත්පත්තිය ලැබූ ඉතා සුන්දර ගම්මානයත්, නිර්ව්‍යාජ සහ කාසි වන්දනාමාන නොකරන, බුදු දහම පදනම් වූ ජීවිතාබෝධයෙන් යුත් ඒ ගැමි පරිසරයත් ඔහුගේ ආත්මයේ ලියවී තිබෙන බව ඒ කටහඩින් අපුරුවට කියවුනා.
අළුත්ගම වාසය කල සෝමරත්න ගමගේ උපාලි රණසිංහයන්ගේ පරම්පරාවට පාර පෙන්වූ කලාකරුවෙක්. උපාලිට සෝමරත්න අය්යා ආරම්භ කළ “සීගිරි කළා” නිකේතනයෙහි සාමාජිකත්වය දැරීමට මෙන්ම ඔහු නිපදවන නාට්‍යවල නළුවෙක්වීමේ භාග්‍යයද ලැබුනා. ඔවුන් කුලියට ගත් පාසැල් ගොඩනැගිල්ලේ නාට්‍ය පෙන්වා ගම්මුන්ව ඉතාමත් උද්දාමයට පත්කිරීමෙන් ලබාගත්තේ ඉතාමත් සතුටක්. අදටත් ඔහු තුල ජීවමාන වන රසාඥතාවය, රගපෑම් කෞෂල්‍යය ඒ ආභාෂයෙන් ලැබූ අත්දැකීම තුලින් උකහා ගත් බව ඔහු සදහන් කලේ ඉතාමත් ප්‍රමෝදයෙන්.
දහවැනි වසරේදී, විද්‍යා ධාරාවෙන් අධ්‍යාපනය ලැබූ උපාලි සාමාන්‍ය පෙළ විභාගයේදී සාර්ථක ප්‍රථිපල ලබා ඉතා උද්යෝගයෙන් උසස් පෙලට සුදානම් වෙමින් සිටියදී, ඔහු පෙර සිටි පාසලට පැමිණ අධ්‍යාපනය හදාරන ලෙසට ඔහුගේ පියා යෝජනාවක් ගෙන ආවේ උපාලි විමතියට පත් කරමින්. එහි විදුහල්පතිතුමා වු පී. ආර්. පෙරේරා මහතා උපාලිගේ පියාගේ ඉතා කුළුපග මිත්‍රයෙක්.1965 දේශපාලන දඩුවමක් ලෙස ස්ථාන මාරුවක් ලැබු ඔහු 1970 සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ නැවත ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයට ගෙන්වා ගත්තේ උත්සවශ්‍රීයෙන්. පියාගේ බහට කීකරු වූ උපාලි, හොරණ විද්‍යාරත්නයෙන් නැවත සාරාලංකාර විද්‍යාලයට පැමිණියේ උසස් පෙළ හැදෑරීම සදහා.
ඔහු ඒ වකවානුව ගැන සඳහන් කලේ ඉතාමත් ගෞරව පුර්වකව, “මම හිතනවා ඒ මගේ ජීවිතයේ දීප්තිමත්ම කාලය කියලා, වසර දෙකක්ම ප්‍රධාන ශිෂ්‍ය නායකයා උනා. පාසලේ තිබු සෑම සංගමයකම මම තනතුරු දරුවා. ඒ වගේම පාසලේ විවාද කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළා. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ සෑම විවාද තරගයකින්ම ජයග්‍රහණය කර පාසලට කීර්තියක් අත්කර දීමේ වාසනාවත් අපට හිමි උනා”. 1975 මුල්වාරයෙන්ම උසස් පෙළ සමත්වූ උපාලි තරුණයා කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ආරම්භ කලේ 1976. එතෙක් අධ්‍යාපනය ලැබූ ගුරුවරු ගැන ඔහු සදහන් කලේ ඉතා භක්ති පුර්වකව. ඒ වකවානුවේ ගුරුසේවය කියන්නේ රැකියාවක් නොවන බවත් ඔවුන් සෑම දරුවෙක් ගැනම විශේෂ අවධානයක්, ආදරයක් දැක්වු බවත් ඔහු පැවසුවේ ගුරු භක්තිය උතුරා ගිය සෙනෙහසකින්.
වමේ දේශපාලන පසුබිමක් තිබු පියාගේ හෙවනැල්ලේ හැදුනු ඔහුට විශ්ව විද්‍යාලයේදීද වමේ දේශපාලනය කෙරෙහි අවධානය යොමු උනා. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධව දිගින් දිගටම දොඩමළු උනා, “එවකට විශ්ව විද්‍යාලවල බලය තිබුනේ වමේ සාම්ප්‍රදායික පක්ෂ වූ සමසමාජ සහ කොමියුනිස්ට පක්ෂවලට. ශ්‍රී.ල.නි.පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේද ශිෂ්‍ය සංගම් තිබුනා. ඒත් සෑම ශිෂ්‍ය සංගමයක්ම ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ලෙසටයි දේශපාලනය කලේ. එදා, අහිංසක හූවකට වඩා වැඩි කලබලයක් විශ්ව විද්‍යාලය තුල තිබුනෙ නැහැ. අපි කොමියුනිස්ට්, සමසමාජ සහ අනෙකුත් වමේ සංවිධාන සමග එකතුවී තමයි චන්දයට ඉදිරිපත් උනේ”.
උපාලි රණසිංහ යෞවනයාද නිලවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළා. ඔහුගේ වාමාංශික දේශපාලන සන්ධර්භයට අමතරව, සහජ කථිකත්වය එයට විශාල ලෙස බලපාන්න ඇති කියලා අපට නිගමනයකට එන්න පුළුවන්. ඉන් ඔබ්බට, 1977 මහා මැතිවරණයේදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස සමසමාජ කොමියුනිස්ට් පක්ෂ රැස්වීම් ඇමතීමට පක්ෂයෙන් ආරාධනාවක් රණසිංහ තරුණයාට ලැබුනා. හේමසිරි ලියනගේ ගුරුවරයාත් සමග එකම වේදිකාවේ දේශපාලන කතා පැවැත්වූ බව ඔහු සිහිපත් කලේ මහා හඩින් සිනාසෙමින්.
විශ්ව විද්‍යාල දිවියේදී ඔහුට ලැබුණු දේශපාලන දැනුම ගැනද ඔහු සදහන් කලේ කෘතඥපුර්වකව, “එකල ජනතා විමුක්ති පෙරමුණද විශ්ව විද්‍යාලය තුල ජනප්‍රිය වෙමින් තිබුනා. අප සැමගේ දායකත්වයෙන් රුසියන් විප්ලවය, කොමියුනිස්ට් වාදය, ලෙනින්ගේ න්‍යාත්මක ධර්මතාවයන් වැනි දේ පිලිබදව බාහිර උගතුන් සම්බන්ධවූ ඉතා ගැඹුරු දේශපාලන සංවාද, විවාද විශ්ව විද්‍යාලය තුල නිතර පැවතුනා”. එකල සංගීත ප්‍රසංග, උසස් මට්ටමේ වේදිකා නාට්‍ය වැනි සංස්කෘතික අංගයන්ද සුලභව සිදු උනා.
ඔහු දිගටම කතා කළා “1977 එක්සත් ජාතික පක්ෂය(UNP) ජයග්‍රහණයෙන් පසුව, විශ්ව විද්‍යාලය තුල රජයේ බලය කරට ගත් UNP ශිෂ්‍ය සංගම් ඉතා ප්‍රබලවීම විශේෂ සිද්ධියක් උනා. 1978 නිලවරණයෙදී, වමේ අනික් කණ්ඩායම් JVPයට එකතුව තරග කරමුයි කියා ආරාධනා කලත් ඔවුන් එකඟ වුයේ නැති නිසා, විශ්ව විද්‍යාලයේ වමේ පක්ෂවලට යම් පරාජයකට මුහුණ දීමට සිදු උනා. ඒ හේතුවෙන් වමේ සිසුන් තීරණයක් ගත්තා, කලා සහ විද්‍යා පීඨ එකතුව මහා ශිෂ්‍ය සංගමය පිහිටුවීමට. ඒ හේතුවෙන් ප්‍රථම වරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ සිදුවූ භයානක අත්දැකීමක් වූ මැර ප්‍රහාරයකට මුහුණ දීමට වමේ සිසුනට සිදු උනා. එම සිද්ධියෙන් එක මැරයෙක් මිය ගියා, වමේ ශිෂ්‍ය සංගම් නායකයින්ගේ පන්ති තහනම් උනා. අප එදා ඔහු මැරයෙක් ලෙසට හංවඩු ගැසුවද, අද පැසුණු වයසේ සිටිනා මට එය දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ නොමග ගිය අහිංසක තරුණ ජීවිතයක්”, යනුවෙන් ඔහු දුක්බරව පැවසුවා.
විශ්ව විද්‍යාල සිසුන් ලෙස ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණ දුන් එසමයේදී උපාලි සමග එක්ව සටන් කර පන්ති තහනම් වූ මහා ශිෂ්‍ය සංගම් සභාපති වීරසිරි නානායක්කාර, ආචාර්ය ඉන්ද්‍රසේන වීරසිංහ අද පදිංචිව ඉන්නේ කැනඩාවේ බව අපේ කතා නායකයා පැවසුවේ ඉතාමත් සතුටින්. ඒ වගේම, ඔහුගේ සමකාලීනයන් වුයේ ටොරොන්ටෝ මහා විහාරාධිපති අහංගම රතනසිරි හිමියන්, ආනන්ද ජයම්පති, අතුල සිබේරා, මංගලිකා සිබේරා, මාලනී සෙනෙවිරත්න, සම්මානනීය සංගීත අධ්‍යක්ෂ චන්දන ලියනගේ, ජානක ගුනවර්දන, තිලක් රොද්‍රිගු, රවී ද සිල්වා. එදා ඒ තිබු මිත්‍රකම මුහුකුරා යන වයසත් සමග වැඩි උනා මිසක අඩු නොවුණු බව උපාලි කිව්වෙ ඉතාමත් ආදරණීය හැගීමෙන්. අපේ අනෙක් කිට්ටුවන්ත දේශපාලන සගයින් ලංකාවේ ජීවත්වන අතර, හියුබට් වැනාකාඩි ජීවත්වන්නේ එංගලන්තයේ. ඔහු බැරිස්ටර්වරයෙකු ලෙස එහි සේවය කරමින් සිටිනවා.
පන්ති තහනමින් පසුකාලීන තත්වය උපාලිගේ වචනයෙන්ම ඇසුවොත්, “අපි හිතුවා සිදුවූ මරණයට තනතුරු දැරූ සෑම ශිෂ්‍යයෙක්ම චුදිතයන් ලෙස නම් කරයි කියලා. නමුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමෙන් පැමිණිල්ලට අවාසියක් වෙයි කියනා සැකයෙන්, බද්දේගම සමිත හිමියන් පමණක් මේ මිනී මැරුමට එකම චුදිතයා ලෙස විත්ති පාර්ශවයෙන් නම් කළා. උන්වහන්සේ තමයි සමසමාජ ශිෂ්‍ය සංගමයේ සභාපති, මම ලේකම්. ඇත්තටම උන්වහන්සේ තමයි පසු කලෙක මුල්ම පැවිදි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වුයේ, ඒ සමසමාජ පක්ෂයෙන්”.
විශාල ආරක්ෂාවක් මධ්‍යයේ පැවතුනු ඒ නඩුවේ වාර කිහිපයම බලන්න අපත් ගියා. ඒ නඩු විමසීම් ඉතා සංවේදීයි. මේ නඩුවේදී මට අමතක නොකළ හැකි සහ දරාගන්නම බැරිම වුදේ තමයි මියගිය ඒ තරුණයාගේ මවගේ ඇස්වලින් ගැලූ කඳුළු. නැති බැරිකමට බලයේ සිටිනා දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් පිරිමසිනා මේ මිනිසුන්ගේ ජීවිත කොයිතරම් අසරණද?”, උපාලි පැවසුවේ ඉතාමත් දුක්බර කටහඩින්.


මහාධිකරණ මට්ටමේ නඩු සදහා කොල්වින් ආර් ද සිල්වා නම්වූ කීර්තිමත් නීති විශාරදයා පෙනී නොසිටිනා හේතුවෙන් ඔහුගේ උපදෙස් මත නීතීඥ බැටී වීරකෝන් චුදිත සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් තීන්දුව දෙන දිනයේ, ආචාර්ය කොල්වින් තීන්දුව දීමට මොහොතකට පෙර පැමිණියා. සියලුම චෝදනාවලින් සමිත හිමි නිදහස් වුවත්, ඔහුට නැවත විශ්ව විද්‍යාලයට පැමිණීම අනතුරුදායක බැවින් උන්වන්සේ එංගලන්තයේ විශ්ව විද්‍යාලයකට ගොස් උපාධිය සම්පුර්ණ කළා. ජව සම්පන්න සහ ඉතාමත් ප්‍රබල පෞරුෂයක් හිමිවු සමිත හිමියන්, කොවිඩ් වසංගතය වැළදී මෑත කාලයේ අපවත්වීම ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක්. සමිත හිමියන් ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙහිම සාක්ෂරතාවය ඉතා ඉහල මට්ටමකට ප්‍රගුණ කල ප්‍රවීනයෙක්.
උපාලි විශේෂ අවධාරණයක් කළා සමිත හිමි නිදහස් වීම සැමරූ අවස්ථාවේ නීති ක්ෂේත්‍ර දැවැන්තයා වූ කොල්වින් කල ප්‍රකාශය, “සහෝදරවරුනි, මේ රටේ අපි කවදාවත් නඩුවකින් පැරදිලා නැහැ. 1953 හර්තාලයේදී, ලංකාව පුරා නඩු 5000 කට වැඩි සංඛ්‍යාවක් පෙනී සිටලා තියෙනවා. ඒ සෑම නඩුවක්ම අපි ජයග්‍රහණය කළා. අද සමිත හිමියන්ව නිදහස් කරගත්තා. මේ රටේ නඩු කියලා බලය අල්ලන්න පුළුවන් නම්, ඒ එකම පක්ෂය ලංකා සමසමාජ පක්ෂයයි”, උපාලි ඒ ප්‍රකාශය නිම කලේ සිනහව නතර කරගත නොහැකිව.
අතීත ස්මරණයෙන් උද්දාමයට පත්වූ උපාලි සහෘදයා දිගටම කියාගෙන ගියා “කැළණි විශ්ව විද්‍යාල භුමිය මට පාර කිව්වෙ උගත්කමට, දේශපාලන සබුද්ධියට පමණක් නොවේ, වමේ පතාක දේශපාලන යෝධයින් වන වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න, සුමනසිරි ලියනගේ, කුමාර් ඩේවිඩ්, මහාචාර්ය නලින්ද සිල්වා, ජයතිලක කම්මැල්වීර, ගුණසේන මහානාම, ජී. වී. ඩී. තිලකසිරි, සුදන්ත ගනේගමආරච්චි වැනි අයව පෞද්ගලිකව හඳුනා ගැනීමේ වරප්‍රසාදයද මට ඉන් ලබා දුන්නා. මේ අයගේ කැපවීම, සරලබව සහ නිහතමානීත්වය ගැන අවබෝධයක් ලබා ගන්න මට අවස්තාවක් උදා උනා. දවසක් මම තාත්තත් එක්ක උවමනාවකට එවකට මුදල් ඇමතිව සිටි එන්.එම්. පෙරේරා මහතාගේ බොරැල්ලේ තිබු නිවසට ගියා. කිසිම ආරක්ෂකයෙක් නොසිටි එහි සිටියේ වත්තේ වැඩ කල කෙනෙක් සහ කෑමබීම උයා පිහා දුන් වයසක අම්මා කෙනෙක් විතරයි, මුදල් ඇමති හැටියට ඔහුට නිල රථයක් තිබුනත් කිසි දිනක එය ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සදහා යොදවා ගත්තේ නැහැ. ඔහු පාවිච්චි කලේ ඔහු සතුව තිබු පොඩි රතුපාට කාර් එකක්”. කැබිනට් ඇමති කෙනෙක් වූ එන්.එම්. පෙරේරා ගෙවූ සරල ජීවිතය ගැන උපාලි පැවසුවේ 1977 වසර අපේ දේශපාලන සංස්කෘතියේ කඩ ඉමක් වූ ආකාරය පාඨකයින්ට සිහිපත් කරමින්.
අප විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු කලේ නව සමසමාජ පක්ෂයේ ඉතා ආකර්ශනීය චරිතයක් වූ තරුණ වාසුදේව සමග. නමුත් 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වාසුදේව පරාජය උනා. වම එකතු නොවීමේ හේතුවෙන්, වමේ දේශපාලනයට සිදුවූ විනාශය ගැන උපාලි පැවසුවේ ඉතාමත් කනස්සල්ලෙන්. ඔහු කටහඩ නැවත අවදි කළා “නමුත් ඒ ජනාධිපතිවරණය සම්බන්ධව මට රසවත් අත්දැකීම් තියෙනවා. 1982 මම රැකියාව කලේ Shermans පුත්‍ර සමාගමේ. වාසුදේව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ, කොළඹ අවට රැස්වීම් ඇමතීම මගේ රැකියාවට බාධාවක් වේයැයි පක්ෂය සිතු නිසා නිවාඩු ගෙන ආචාර්ය වික්‍රමබාහු, වාසු සහෝදරයා සමග මට අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවලට යාමට සිදු උනා. ඔවුන් සමග පෞද්ගලිකව ගනුදෙනු කිරීමෙන් මා ලැබූ දැනුම සහ රසය ඉතා මහත්”, කියලා ඔහු උද්දාමයෙන් සදහන් කළා. මගේ දේශපාලනික ජීවිතයේ මා බෙහෙවින් කම්පනයට පත්කළ අවස්ථා අතර විජය කුමාරණතුංගගේ සාහසික ඝාතනයට විශේෂ තැනක් හිමි වෙනවා. එවකට තරුණ අපිට බලාපොරොත්තුවක් තිබුනා විජය වම එකතු කර ආණ්ඩු බලය දක්වා ගමන් කරාවී කියලා”. ඒ වචනවල තිබුනෙ බලාපොරොත්තු කඩවූ ස්වරයක්.
1980 වනවිට, උපාලි විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා Export Development Board(EDB) එකේ සේවය ආරම්භ කළා. නමුත්, ඔහුට විශ්වාසයක් තිබුනා පෞද්ගලික අංශයෙන් අවංකකමට, දක්ෂතාවයට සහ ශ්‍රමයට සරිලන මනා ඇගයීමක් ලැබෙන බව. ඒ හේතුවෙන් ඔහු EDB සිට Shermans පුත්‍ර සමාගමේ Management Trainee කෙනෙක් ලෙස බැඳුනා. එතැන් සිට 1989 කැනඩාවට පැමිණෙන තෙක්ම ඔහු එතැන විධායක නිලධාරියකු ලෙස සේවය කළා.
ඔහුගේ කථා වපසරිය පුළුල් නිසාවෙන්ම අපට මේ සටහන එක කලාපයකට සීමා කරන්නට බැහැ . මේ ලිපියේ ඉතිරි කොටස ලබන කලාපයෙන් ඔබට කියවන්නට පුළුවන් . උපාලි රණසිංහ මහතාගේ කැනඩාවේ ප්‍රජා කාර්යභාරය ගැන වැඩිදුර විස්තර කියවන්න ලබන කලාපයෙන් එක්වන්න.