මේ වනවිට ලංකාවේ තිරගත වන දේශපාලන ඝාතනයක් පදනම් කර ගත් සමාජ කියැවීමක් පසුබිම් කරගෙන ප්‍රවීණ සිනමාකරු අශෝක හඳගම නිර්මාණය කල රාණි චිත්‍රපටය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී බලන්නට අවස්ථාව ලැබුණු අපේ රචිකාව අසෝකා ජයලත් කරන සටහනක්. මෙය සිනමා විචාරයක් නොවන බව කරුණාවෙන් සලකන්න. මේ සටහන පදනම් වූ ඇගේ ශ්‍රව්‍ය දෘශ්‍ය වීඩියෝ නිර්මාණය මේ යූ ටියුබ් දිගුව තුලින් බලන්න පුළුවන්.

පෙබරවාරි 01 වෙනිදා, අසෝක හඳගම නම්වූ පරිකල්පනීය සිනමා නිර්මාපකයා මෙන්ම ප්‍රතිභාපුර්ණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගේ නවතම “රාණි” නම්වූ ශ්‍රේෂ්ඨ සිනමා කෘතිය දැක බලා ගැනීමේ වාසනාව කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ටත් හිමි උනා. රැඩිකල් එහෙමත් නැත්නම් අසම්මත චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු ලෙසටයි ලාංකික සිනමා ප්‍රේක්ෂකයින් අසෝක හඳගමව හඳුන්වන්නෙ. ඔහුගේ සිනමා දිවිය පුරාවටම මතභේදාත්මක චිත්‍රපට නිෂ්පාදනය හේතුවෙන් ඔහුට ඒ විරුදාවලිය ලැබුනත්, “රානි” සිනමා පටය මගින් හඳගමයන් ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්නේ වෙනස්ම අත්දැකීමක්.
රිචඩ් ද සොයිසා නම්වූ නළුවා, මාධ්‍යවේදියා, රූපවාහිනී නිවේදකයා, නාට්‍යකරුවා, මානව හිමිකම් මෙන්ම දේශපාලන ක්‍රියාධරයාගේ පැහැර ගැනීම සහ අමානුෂික ඝාතනය වෙනුවෙන් ඔහුගේ මව ගෙන ගිය අනුවේදනීය අරගලය ඉතාමත් නිර්මාණාත්මකව මේ සිනමා පටය පුරාම ගෙත්තම් වෙලා තියෙනවා.
අද ශ්‍රී ලංකාවේ සිටිනා ප්‍රමුඛතම සංගීතඥයෙක් වන ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ඉතාමත් සංවේදීජනක සංගීතය රිචඩ් ඝාතනයේ වේදනාව රාණි ප්‍රේක්ෂකයාගේ හදවතට ඉතා ප්‍රබලව කාන්දු කිරීමට සමත් උනා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ මනෝරානි සරවනමුත්තු නම්වූ වෛද්‍යවරිය. ඇය රිචර්ඩ් සොයිසාගේ මව. උගත්, බුද්ධිමත් ඉතාමත් සුරූපී මනෝරානි ප්‍රභූ පැලන්තියකට අයත් ප්‍රබල පෞරුෂයකින් හෙබි කාන්තාවක්.




මුළු චිත්‍රපටය පුරාම කැපී පෙනුනාවූ ප්‍රතිභාපුර්ණ නිලියක් වන ස්වර්ණා මල්ලවාරච්චිගේ අති විශිෂ්ඨ රංගනය මනෝරානිගේ චරිතයට ඉතාමත් කදිමට පණ පෙව්වා. මනොරානිගේ සැබෑ ජීවන අරගලය ප්‍රක්ෂේපනය කිරීමට ස්වර්ණාගෙන් ලැබුණු දායකත්වය මේ චිත්‍රපටයේ විශිෂ්ඨයත්වයට ප්‍රබලම හේතුව වෙනවා.
ස්වර්ණා ඇයගේ සිනමා දිවිය පුරාම රඟපෑ චරිත සමාලෝචනය කළහොත් ඇය රැඩිකල් ස්ත්‍රීත්ව චරිත රග පෑමට ඉතා කැමැත්තක් දැක්වූ නිලියක් ලෙස හැඳින්වීම සාධාරණයි. අනෙක් කැපී පෙනෙන දේ තමයි, ස්වර්ණා කියන්නෙ දශක ගණනාවකට පෙර, ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික රුමත්කමේ ලක්ෂණ වන සඳ වැනි සුදු මුහුණ, බොකුටු දිග කෙහෙරැල්ලක් වැනිදේ ඇත්තියක් නොවේ. වසර 30ක් තිස්සේ, තම පුතු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කල මනෝරානි සරවනමුත්තුගේ චරිතය රගපෑමේ සිහිනය සැබෑකර ගැනීමට ස්වර්ණා බලා සිටියේ ඒ චරිතය තුල ජීවත්වීමෙන්. ඒ චරිතයට ස්වර්ණා සාධාරණයක් ඉටුකර තිබෙනවා මෙන්ම ඇයගේ රංගනය සිය වෘත්තීය ජීවිතයේ උච්චතම ස්ථානයකට ඇය ඔසවා තබා තිබෙනවා.
ස්වර්ණා සිනමා පටයේ තම පුතු සිහිවූ විට ඇයට දැනුනාවූ ආවේගකාරී හැගීම් කිසිවකුටත් නොදැනෙන ලෙස පාලනය කර ගන්නා අවස්ථා ප්‍රේක්ෂකයාට දැනුනේ ඉතාමත් සංවේදීව. තම පුතු රිචඩ්ට ට රහසින් පෙම් කල යුවතිය ගැනද ඇයට තිබුනේ ඉතාමත් ආදරණීය හැගීමක්.
රිචඩ් ගේ චරිතයට ජීවය දුන්නේ රෙහාන් නම්වූ ආධුනික නළුවෙක්. ඔහු එම චරිතයට උපරිම සාධාරණයක් දුන් බව නරඹන්නන් පිළිගන්නා බවට සැකයක් නැහැ. මනෝරානිගේ ගෙදර වැඩපලට උදව් පදව් වෙන සේවකයා ලෙස ඉතා විශිෂ්ඨ සහ කැපී පෙනෙන රංගන කුසලතාවයක් දැක්වූ මයුර කාංචනගේ අති විශිෂ්ඨ රංගනය මෙන්ම හඳගම ඔහුගේ චරිතයට කාවැද්දු නිර්ධන පන්ති මානසිකත්වය ඉතාමත්ම ආකර්ශනීය ලෙස චිත්‍රපටය පුරාම දිව යනවා. ප්‍රේමදාස බෝම්බයෙන් මියගිය අවස්ථාවේ සරෝජිනීගේ සේවකයා කණගාටු වුයේ දුප්පතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රේමදාස ජනාධිපති නැතිවීමේ විප්‍රයෝගයෙන්. දේශපාලන සබුද්ධිය නොමැති අසරණ මිනිසුන්ට යම් දෙයක් දීමෙන් ඔවූන් සදාකාලික වහළුන් බවට පත්කරගෙන බලය ලබාගන්නා ක්‍රියාදාමය හඳගම මනාවට මේ චරිතයට කාවද්දා තිබෙනවා. දැනුම, විචාර බුද්ධිය, පෞරුෂය, ස්වාධීනත්වය ලබා නොදෙන අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ මෙවැනි වන්දි හට්ටයන් බිහි කිරීමටයි.
රිචඩ් ගේ මරණයට ප්‍රධානම හේතුව ඔහු මාධ්‍යවේදියකු වීම යැයි ප්‍රචලිත වුවත්, සැබෑ හේතුව වන්නේ ඔහු රජයට දේශපාලනිකව අභියෝගයක් වීම බව කවුරුත් දන්නා රහසක්. ඔහු අසාධාරණය නොඉවසුවා පමණක් නෙවෙයි ඒ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමද ප්‍රේමදාස රජයට දරා ගැනීමට නොහැකි උනා. රිචඩ් ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය හේතුවෙන් රෝහණ විජේවීරගේ “දෙමළ ඊලාම් ගැටලුවට විසඳුම කුමක්ද” යන කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට ඔහු මැදිහත්වීමත් ප්‍රේමදාස රජයේ නොරිස්සුමට තවත් හේතුවක් විය හැකියි.
80 දශකයේ සමස්ථ සමාජ දේශපාලන අර්බුදයට සාධාරණ විසඳුමක් දිය නොහැකි පාලකයාට එරෙහිව රටේ සතර දිග්භාගයෙන් නැගී සිටි උගත් තරුණ තරුණියන් රාජ්‍ය මර්ධනය කිරීම හේතුවෙන් ටයර් සෑ මත පිළිස්සුනු මල සිරුරුවලට අදටත් පිළිතුරක් නැති වුවත්, 1990 පෙබරවාරි මස 18 වෙනිදා ඝාතනය වූ රිචර්ඩ් සොයිසාගේ මරණයට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුනේ කිමෙක්දයි සිතා බැලිය යුතු ඉතා වටනා කරුණක්.
ප්‍රබල පෞරුෂයක් හිමි වෛද්‍යවරියක් වූ මනෝරානි මෙන්ම ඇයගේ පුතු රිචඩ් උසස් මධ්‍යම පාන්තික තලයේ සිටියාවූ ප්‍රභූ පන්නයේ අය වීම සහ ඔවුන්ට තිබු ප්‍රබල දේශපාලන සම්බන්ධතාවයන් මේ මරණයට ජාත්‍යන්තර අවධානය යොමු වීමේ ප්‍රබලම හේතුවයි. මේ ඛේදවාචකය සිදු වුයේ digital යුගයක නොවුනත් එය ලොව පුරා ප්‍රචලිත වුයේ ඔවුන් ඉංග්‍රීසි භාෂා පරපුරේ අය වීම. ලාංකික දේශපාලන සන්ධර්භය තුල ඉංග්‍රීසි භාෂාව ඉතාමත් දේශපාලනිකයි. රිචඩ් හද්දා පිටිසර අහිංසක පවුලක තරුණයෙක් වුවා නම්, මේ ඝාතනය පිළිබඳ ආරංචිය අනෙක් දහසකුත් මරණ මෙන්ම උප්පැන්නයක් නැති මරණයක් වෙනවාමයි. රිචඩ් ගේ මිනිය හදුනාගත් සරෝජිනී මාධ්‍ය වේදීන් ඇසු ප්‍රශ්නයකට,” මම තමයි මේ ලෝකේ ඉන්නා වාසනාවන්තම අම්මා, අඩුම ගනනේ මගේ පුතාගේ මිනියවත් දැක ගැනීමේ අවස්තාව මට ලැබුනා, දරුවන් නැතිවූ දහසකුත් අම්මලාට ඒ අවස්තාව ලැබුනේ නැහැ” යැයි පැවසුවේ ඒ නිසයි.
මවකවීම ගැහැණියකගේ සිහිනයන් අතරින් සුවිශේෂී සිහිනයක් වෙනවා. ඊටත් එහාට ගියාම, යහපත් මෙන්ම ලොවට වැඩදායී දරුවෙක් ඇති දැඩි කිරීම ඒ සිහිනයේ උසස් අවස්තාවක්. ඒ සිහිනයේ උත්කෘෂ්ඨම අවස්තාව වන්නේ, ඒ දරුවා අසාධාරණය ඉදිරියේ නිවටයෙක් නොවී මානව හිතවාදය වෙනුවෙන් සටන් කරනා වීර දරුවෙක් වීම. සත්‍ය වශයෙන්ම රිචඩ් කියන්නෙ මනෝරානිට එවැනි ආඩම්බර විය හැකි පුතෙක්. මනෝරානි තම එකම පුතුගේ මරණයට මුහුණ දීමට තීරණය කල ආකාරය වෙනස්වීමත් මේ ප්‍රසිද්ධියට ප්‍රබලම හේතුවක්. මනෝරානි කිහිප විටකම පවසා තියෙනවා “දරුවෙක් නැති වූ පසු අම්මා කෙනෙක් ඉතිරි නොවනා බව”. ඇය සදහන් කරනවා, “ රිචඩ් කියන්නෙ මගේ ආදරනීය පුතා විතරක් නොවේ, ඔහු මගේ හොඳම යාළුවා” කියලා. ඇත්තටම මනෝරානිටත් තිබුනා අනික් අම්මලා වගේ මුළු ජීවිතය පුරාම හැඬු කඳුලින් ගෙවලා මිය යන්න. ඒත් ඇය එහෙම කලේ නැහැ. ඇය තීරණය කළා ඇයගේ නැතිවූ ආත්මය තුලින් ඇයට මෙන් දරුවන් නැතිවූ අනික් අම්මලාට ශක්තියක් වෙන්න. ඒ නැතිවූ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න.
පුතුගේ වියෝවෙන් මනෝරානි ඉල්ලා සිටියේ ඇය වැනි දස දහස් ගණන් මව්වරුන්ගේ දුක් වේදනාවලට ගරු කිරීම සඳහා සමාජ හා අධිකරණ ප්‍රතිසංස්කරණයක්. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නිසා දරුවන් අහිමි වූ දහස් ගණනක් මනෝරානිලාගේ ශක්තියේ සහ ඔරොත්තු දීමේ සංකේතයක් බවට පත් වූ ඇය යුක්තිය වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිටියා. ඇය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, සදාචාරය සහ සමාජ වටිනාකම් බිඳ වැටීම ගැන විවේචනය කළා.
මනෝරානිගේ හදවතේ කැකෑරුණු මේ වේදනාවේ ඇති දේශපාලන වාසිය ක්ෂණිකව තේරුම් ගත් මහින්ද රාජපක්ෂ, මංගල සමරවීර ඇතුළු දේශපාලකයින් එමගින් බලය ලබා ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කළා. 1994 චන්ද්‍රිකාගේ පුනරාගමනයට හේතු වුයේද මේ මව්වරුන්ගේ දුක් වේදනාව බව ඔබට මතකයි නේද? මේ දරුවන් මරා දැමුවේද පාලකයින්, අනික් අතට නැවත බලය ලබා ගැනීමටද ඔවුන් යොදවා ගත්තේත් ඒ මරා දමන ලද දරුවන්ගේ අම්මලාගේ කඳුළු. චිත්‍රපටයේ බිමල් ජයකොඩි සහ අශාන් ඩයස් මහින්දගේ සහ මංගල සමරවීරගේ චරිත ඉතා සුක්ෂමව හසුරුවනු ලැබුවා.
මේ චිත්‍රපටය ආරම්භ වන්නේ ඉතාමත් සංවේදී දරු ප්‍රසුතියක රූප රාමු කිහිපයකින්. ඉදිකටුවක් බිම වැටුනත් ශබ්දය ඇසෙනා තරම් නිහඩතාවයක් ඒ සිනමා ශාලාව පුරා පැවතීම ප්‍රේක්ෂකයා ඒ රුප රාමුවලට දැක්වූ ප්‍රතිචාරය නිහඩවම කියා පැවා. අසෝක හඳගම ඉන් කීමට උත්සාහ ගන්නේ දරු ප්‍රසූතියේදී ඇති වන කායික හා චිත්තවේගීය අභියෝග ස්ත්‍රියකගේ අභ්‍යන්තර ශක්තිය සහ බාධක ජය ගැනීමේ හැකියාව පිළිබඳ රූපකයක් ලෙස කියා කෙනෙක්ට සිතන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ලොවට දරුවකු බිහි වීමේ මේ ඉතා දැවැන්ත වේදනීය ක්‍රියාවලියේ වටිනාකම ගැන හඳගමයන් අපිට මතක් කර දීමක් කරනවාද? එවැනි පසුබිමකින් ලොවට ආ පරිකල්පනයක් ඇති මිනිසුන් ලෙස මේ කුණුවූ සමාජ ක්‍රමය වෙනස් කිරීමට අප දෙවුර මත පැටවී ඇති වගකීම අබමල් රේණුවකින්වත් නොසලකා තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට පමණක් කටයුතු කර සතුන් ලෙස මිය යනවාදැයි” අසෝක හඳගම ප්‍රශ්න කරනවාද?
රිචඩ් ගේ බිහිසුණු ඝාතනය දන්නා ප්‍රේක්ෂකයින් මවිතයට පත් වූ රූපරාමු කිහිපයක් චිත්‍රපටය අවසානයේ රූ ගත කෙරුනා. වාහනයක නැගී ගමන් කල බීමත්ව සිටි මැරයින් “ලොක්කාට මේ මිනිහා ගැන යකා නැගලා තියෙන්නේ” කියා සදහන් කලත්, රිචඩ් ගේ ලිපිනයවත් ඔවුන් දැන සිටියේ නැතිබවයි ඒ රූපවල කතාබහෙන් පිළිබිඹු වුයේ. ඉන් අදහස් වන්නේ plan එකක් නොතිබූ මේ පැහැර ගැනීම සිදුවන්නේ මැරයින්ගේ පමණක් උවමනාවටද?ඇත්තටම ගහ දන්නා අපිට කොළ කඩා පානවාසේ, හඳගම ප්‍රේමදාස නම්වූ අපරාධකරුගේ අත්වල ගෑවුණු ලේ සෝදා ඔහුට සිල් රෙදි ඇන්දවීමට උත්සාහ කළා දැයි කියනා හැගීමක් ඔබට ඇති උනේ නැද්ද?







මනෝරානි මවගේ අරගලයට නොසෑහෙන ලෙස ලැබූ තර්ජනවලදී ඇය “මගේ පුතා නැති උනාට පසුව මට නැතිවෙන්න දෙයක් නැහැ” යනුවෙන් පවසා දිගටම සටන් කලත් රිචඩ්ට සාධාරණයක් ඉටු නොකරම ඇයට මෙලොව හැර යාමට සිදු වුවා. නමුත් මග හැරුණු ඇයගේ ඒ වගකීම අද වමේ බලය ලබා සිටිනා මව්වරුන්ගේ ඉතිරි වූ දරුවන්ගේ කරපිට පටවායි ඇය මෙලොවින් තුරන් වුයේ. ඔවුන් දරුවන් නැතිවූ මව්වරුන්ට සාධාරණය ලබා ගැනීමේ මාවත එළිපෙහෙළි කරමින්, ඒ මව්වරුන්ට බලාපොරොත්තුවක් ලබා දීමේ අරමුණින් කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ට සහය දී අපට නැතිවූ දරුවන්ට යුක්තිය සාධාරණය ඉටුකර දීම අපගේ පරම යුතුකම නොවේද?