සිංහල කෙටිකතාව-දූවිලි,ජීවන කතන්දර -කනු කුනු නොගෑ කුණු ප්‍රශ්ණය!, පරිවර්තිත කෙටිකතාව- අම්මා කෙනෙකුගේ වෛරය

සිංහල කෙටිකතාව

දූවිලි

වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්‍යෝගය වැස්සට හේදී ගියා වැන්න. ගැඹුරු අළු පැහැ වැහි බීරුම මගේ හදවත කොටසින් කොටස ශීතනය කරනු මට දැනේ.

ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. දැවි දැවී හුන් ගතත් සිතත් ඇසිල්ලකින් නිවී යයි. ඒ සැනින් වැහි දියෙන් පණ ලද අකීකරු හිත තෙමී දියබත් වූ පුරාණ මතක පොදියක් කොණහමින් දඟ කරයි.

වැසි දියෙන් තෙතබරිත වූ කෙහෙරැලි අතින් පිස හරිමින් ඔහේ ඇවිද යන කෙසඟ සිරුරැති ගැටවරයෙක්  කවුළුව මත විසිරුණ මීදුම් පටලයට එපිටින් පෙනී නොපෙනී යයි. ඔහු නූස්ය, සුදුමැලිය. කොහෙත්ම කඩවසම්යැයි කීමට නොහැකි වුවද ඉතා හුරුබුහුටිය.
“සනූ….” ඔහු ඉදිටියට නැමී මගේ දකුණු කන් පෙත්තට කොඳුරයි.
“හ්ම්ම්ම්…?”
“මම එන්නද ඔතනට?”
“ම්හු.” මම හිස සලමි. මගේ විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු ඉදිරි අසුනට පැන මා කවුළුව අසලට තවද තල්ලු කර හරී. මම බස් රියේ කවුළුවට කොපුල තදකරගෙන ඉවත බලමි. වීදුරුව දිගේ පහළ ඇදෙන වැහි බිඳු සුලං පහරට ඒමේ අත විසිරී අමුතුම රටාවක් මවයි.
“බලාගෙන හොස්ස බිම වදියි.” ඔහු යළිත් මුමුණයි. දකුණු කන්පෙත්තේ දැවටෙන ඔහුගේ හුස්ම රැලි උණුහුම්ය. මම තිගැස්මෙන් අවට බලමි. බසය සිසාරා බැලුවද සියල්ලම නාඳුනන මුහුණුය. මම සැනසුම්  සුසුමක් හෙලමි.
“හෝම් වර්ක් කලාද?” ඔහුට මගෙන් පිළිතුරු වුවමනා නැත. මගේ ඇකයේ වූ පොත් කිහිපය අතට ගත් ඔහු කඩිනමින් පිටු පෙරළයි.
“ඔයා ඩිස්කෂන් එක ලිවුවෙ නැද්ද? සර් බනීවි.”
පසුපිටේ ලියා ඇති යමක් වෙත ඔහු දුරකතන කැමරාව මානයි. පෙරදිනක සර්  පද්‍ය පන්තියක් ඇගැයීමේදී උදාහරණයට ගත් Christina Rossetti ගේ පදවැලකි ඒ.

“ලස්සනයි නේද?” මම අසමි.
“හ්ම්ම්…. ඔයාගෙ අකුරෙන් ලියපු නිසා.”

****************************

මම ගෙලට සිර කරගත් ලා දම් පැහැ කුඩය ලතාවකට කරකවමින් මග බලා හිඳිමි. ඔහු පුරුදු පරිදි හිතත් හිසත් වැහි වතුරෙන් පොඟවමින් මා අසලට දිව අවුත් අනුමාන  ප්‍රශ්ණ පත්‍ර එකතුව ම’අත තබයි.
“අද ස්කූල් කට් කලාද?” මම විමසුම් දෙනෙතින් ඔහු විනිවිදින සැර බැල්මක් හෙලමි.
“ඔව්.”
“ඇයි?”
ඔහු නිහඬවම පාර කෙළවර වූ ගල් කැටයකට පා පහරක් එල්ල කරයි. පෙරැලී යන ගල් කැටය වතුර වලකට වැටෙන්නාහාම මගේ සුදු සපත්තු යුගලයේ අලුතින් මඩ පැල්ලම් රටාවක් ඉහෙයි. මම ඔහු දෙස ඔරවා බලමි. කළු පැහැ බාටා යුගලය තුලරැඳි ඔහුගේ දෙපා ඉතා පිවිතුරු ය. සීතලෙන් නියපොතු ලා නිල් පැහැ ගැන්විලා ය.
“එක්සෑම් ෆේල් වෙයි. එතකොට?”
“එතකොටත් මෙහෙමම තමයි සනූ…. කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.”
 ඔහු කී දේ හරියටම හරිය. වෙනස් වී ඇතැයි සිතා හුන් බොහෝ දේ දශමයකින්වත් වෙනස් වී නැති බැව් මෙතැන, මේ මොහොතේ ඇස් වලින් වැහි මීදුම උරා ගන්නා කල්හි මට පසක් වෙයි. කිසිම දෙයක් වෙනස් වී නැත. කොපමණ උත්සාහගත්තත් වෙනස් කිරීමටද නොහැක.
“රෝස මල් නැහැ. චොකලටුත් නැහැ. ඒ කියන්නෙ වැලන්ටයිනුත් නැහැ. මේ එකක්වත් නෑ කියන්නෙ ඉතින් ආදරෙත් නැහැ.” 

මම නොපුරුදු කලකිරීමකින් හිස දෙපසට පද්දමින් නෝක්කාඩු කියමි. ඔහු මහා වරදක් කර හසුවුන පොඩි එකෙකු සේහිස බිමට බර කරගෙන සිතිවිල්ලේ හිඳී.
“අදවත් ඩෙනිම හෝදලත් නැහැ.” ඔහු තවම බිම බලාගත්වනමය. මම තරහින් ගවොම් සාය ගසා දමමින් නැගී සිටිමි.
“ඉගෙන ගන්නෙත් නැහැ. රස්සාවක් කරන්නෙත් නැහැ. තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්නෙත් නැහැ.” කවදාවත් නැතුව මම උස් හඬින් කියවාගෙන යමි.
“මට ලැජ්ජයි. යුනි එකේ යාලුවො අහනකොට මම ඔයා මොකෙක් කියලද කියන්නෙ? කියන්න. මොනවද මම එයාලට කියන්නෙ?”
“සනූ…. මේ අහන්න. මම….” ඔහු අතේ ගුලි කරගෙන සිටි යමක් ම’වෙත පායි. ඒ පොතක හැඩයේ කුඩා යතුරු රඳවනයකි. එය විසි කර දමන්නට හිතුනත් මමත් නොදන්නා මොනවාදෝ හේතුවකට මම එය උදුරාගෙන ගවොම් සාක්කුවෙහි රුවා  ගනිමි.
“මං යනව.”
“තව පොඩ්ඩක් ඉන්න සනූ. ලෙක්චර්ස් පටන් ගන්න තව පැය දෙකක්ම තියෙනව නේද?”
“හිතුවද මමත් ඔයා වගේ නිකමෙක් කියල? මට වැඩ තියෙනව.”
මගේ වදන් වලින් ඔහු හුන් තැනින් ඉවතට විසි වුනා වැන්න. ඔහු තවත් මොන මොනවාදෝ කීවත් මම වහ වහා දේශන ශාලාව වෙත යන කලුගල් පඩි එකක් හැර එකක් ගානේ පා තැබුවේ ඉක්මනින්ම ඔහු කෙරෙන් ඈත් වීමට ය.
තවමත් එක සීරුවට වැස්ස ය. අතීත මතකයන්හි උණුහුම මගේ ගෙල දෙපසින් ඉහළ නැගී  කොපුල් රත් පැහැ ගන්වනු මට දැනේ. 

ඒ උණුහුම කාන්දු වීමෙන් කුහුල් වූ වීදුරු  කවුළුව එක්වරම මා ඉවතට තල්ලු කර හරියි. පිටත වැහි බීරුමේ සීතලත්,ඇතුලත එක්වනම පැන නැගි උණුහුමත් දරාගත නොහී වීදුරුව සට සට නදින් කම්පනය වන්නේ ජනෙල් පඩිය මත වූ පරණ ආභරණ පෙට්ටියක් බිම පතිත විය. මම තිගැස්මෙන් කවුලුව අසලින් මෑත් වී බිම විසිරුණු කොණ්ඩා කටු, අමුතු හැඩයේ බොත්තම්, මාල පෙති එකින් එක අහුලන්නට වීමි.
එක්වනම මගේ ඇස ගැටුනේ ලියන මේසය යටට පෙරැලී ගිය දුහුවිලි වැකුණු මාල පෙත්තකි. 

නැත, 

ඒ යතුරු රඳවනයකි.
වහා එය ඇහිඳගත් මම ගැහෙන ඇඟිලි තුඩු වලින් එය මේසය මතට අත හරිමි. බිම පතිත වීමෙන් එහි කෙලවරක් කැඩී ගොස්ය. මම සෙමෙන් ඒ පොත් හැඩැති යතුරු රඳවනය අත්ලට මත ඒ මේ අත පෙරළා බලමි.
එක්වනම එහි පියනක හැඩැති ඉදිරි කොටස ගැලැවී වැටුනි අතර එතුලින් එලියට පෙරැලී ආවේ නිල් පැහැ කරදාසි ගුලියකි. වෙවුලන දෑතින් කරදාසිය විවර කරද්දී එය දෙතුන් පලකින්ම ඉරී ගියේ මගේ නොයිවසිල්ල නිසාමය.
එහි වූයේ හදවත් හැඩැති රිදී තෝඩු දෙකකි.

මම යතුරු රඳවනය අත්ලට තදකරගෙන කවුළුව අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. ඇතුලත්, පිටතත් එකවාගේම වැස්සය. කැඩුනු යතුරු රඳවනය ආභරණ පෙට්ටිය තුල තැන්පත් කල මම වහ වහා තෝඩු යුගල කන් පෙත්තේ රුවා ගෙන කවුළුවෙන් පෙනෙන ඡායාවෙහි හැඩ බලමි.
මගේ වත බොඳවී ගොස් එතැන ඔහු මැවී පෙනෙයි. ඔව්, සුදුමැලි මුහුණ, දිගටි දෙතොල්, කිසිදා නොපීරූ හිසකෙස් ඒ වාගේමය. 

නැහැ! වෙනස්ය. 

මේ ඉන්නේ ඔහු නොවේ. ඒ පරණ නව යොවුන් කෙල්ලද නොවේ. සියල්ලම හොඳටෝම, ආපසු හරවන්නට හිතන්නවත් නොහැකි ලෙසම වෙනස් වී ඇත.
තෝඩු දෙක ගලවා ආභරණ පෙට්ටියේ පතුලටම විසි කර දැමූ මම දිලිසෙන තීන්ත පිරවූ පෑන අතට ගෙන අඩක් ලියා අහවර කල මංගල ඇරයුම්පත ලං කර ගනිමි.
යතුරු රඳවනයේ වූ දුහුවිලි වලින් මංගල ඇරයුම්පත පැල්ලම් ගැසී තිබුනි.

යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) 

බස්සීගේ නවාතැන https://bassigenawathana.blogspot.com/ බ්ලොග් අඩවිය 

* අවසර ඇතිව උපුටා ගත්තකි .

ජීවන කතන්දර-කනු කුනු නොගෑ කුණු ප්‍රශ්ණය!

මා වසර දොලහක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් සමාගමේ සිට අවසන් වතාවට සේවය කල ඔටෝමිරාජ් ආයතනය වෙතට පැමිණීම සිදු උනේ හරිම අනපේක්ෂිත විදියට. ඇත්තටම ඊට මුල් උනේ මගේම හදවත කිව්වොත් මම වඩාත් නිවැරදියි!

වසික කැන්ගරු දේශයට ගිය අලුත එයාගේ තනිය ටික කාලෙකට හරි මකා දමන්නට එහාට යන්න මගේ අදහසක් තිබුනා.

නමුත් ඒ සඳහා වීසා ගැනීමේ සිට වෙනත් වෙනත් කටයුතු වලට කාලය ගතවන විට ඔටෝ මිරාජයට සෙට් වෙන්නට කරුණු කාරණා යෙදුනා.

දෙමටගොඩ ඔටෝමිරාජය යනු ඔටෝමිරාජ් සමූහයේම වැඩිම ආදායම් ලබපු ශාඛාව නැතිනම් ඒකකය.

අපේ ඉලක්කය වූයේ මසකට මිලියන 15 ක්. අපි මිලියන 10 ක 12 ක මට්ටමක් සැමදා පවත්වාගෙන ගියා.

මගේත් එක්ක ලොකු කණ්ඩායමක් වැඩකලා.

එයින් ප්‍රධාන උනේ රුෂාන් මල්ලී.

ඔහු මට සෙවනැල්ල සේ එකටම අදටත් සිටින මිත්‍රයෙක්.

ගැන්සිය – දකුණේ සිට – රුශාන්, ජනක, මලීෂා, ප්‍රියන්ජි, අසේල. සෆ්ෆ්‍රාස්, සුගත්, පොඩි ඉසුරු, ලසන්ත

ඊට අමතරව අසේල, සෆ්‍රාස්, රොක්සි, නලීන්, නන්දික, මනෝජ්, සුදත්, විජේ, සම්පත්, ලසන්ත, ප්‍රියන්ජි වගේ නිළධර කාඩරයකුත් ඔවුන් වෙතින් පාලනයවූ දෙමල, සිංහල, මුස්ලිම් එළ කොල්ලො සෙට් එකකුත් එතන හිටියා.

රුෂාන් ඔපරේෂන් එක; එහෙම නැතිනම් ක්‍රියාන්විතය මුළුමනිනම දිවැව්වා.

එයාට ඒ සඳහා තිබුනේ අනර්ඝ පලපුරුද්දක්.

මම පෞද්ගලිකව රුෂාන්ගේ කළමණාකරණයටත් පොදුවේ අනෙක් අයගේ කටයුතු වලටත් අනවශ්‍ය බලපෑම් කරණ්න ගියේ නෑ.

මට අවශ්‍ය වුනේ ආයතනයේ සේවාවේ ගුණාත්මක බව ඉහල මට්ටමකට ගෙන ඒමයි.

ඒ සඳහා මම කුඩා කුඩා අත් හදා බැලීම් කලා වගේම ඉන් බොහොමයක් සාර්ථක උනා. වාහනයක් සේවාවෙන් පසු ආයතන භූමියෙන් ඉවතට යන අවස්ථාවේ දී කරණු ලබන අවසාන සුපරීක්ෂනයේදී වීල් නට් හෙවත් රෝද වල ඇන පරීක්ෂා කිරීමටත් ප්‍රමිතියට තද කිරීමටත් ටෝක් රින්ච් පාවිච්චිය හඳුන්වාදීම ඉන් එකක්.

හරිනේ! ඇයි වැරදිද? අසේල මුල්ම ටෝක් රින්ච් එකෙන් වැඩ පෙන්වමින්

වමේ සිට – අසේල, හසන්, වික්‍රමසිංහ, කුමාර, ලසන්ත, සම්පත්

අදටත් එය එහි සාර්ථකව කරගෙන යනු ලබනවා.

නමුත් ආයතනයට පැමිණි මුල් දිනයේම මා දුටු; මවිසින් පළමුව විසඳිය යුතු ප්‍රධාන ගැටළුව වූයේ අපද්‍රව්‍ය කළමණාකරණය කියලා මට ඒත්තු ගියා.

දිනපතා එකතුවන විශාල අපද්‍රව්‍ය හෙවත් කුණු බැහැර කිරීම සඳහා සතිපතා ලොකු වියදමක් දැරීමට වාගේම ඒ සඳහා නගර සභාවෙන් වාහනයක් ගෙන්වා ගැනීමට ආයතනයක් ලෙසට අපි සැවොම මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීමක් උනා.

මෙය මට මහත්වූ අභියෝගයක්නේ ආණ්ඩුවටවත් විසඳ ගන්න බැරි!? 

එය මා සතුටින් භාර ගත්තා.

පළමුව ආයතනයේ එක් වන කුණු මොනවා දැයි සොයා බැලුවා. එතනදි මම තේරුම් ගත්තු දෙයක් තිබුනා අනිවාර්‍යයෙන්ම එක්තු වන අපද්‍රව්‍ය හා අපට පාලනය කරගත හැකි ඒවා ලෙස කොටස් දෙකක් ඇති වග.

මොනවද මේ අනිවාර්‍යය කුණු:- ඒවා තමයි වාහන වලින් ඉවත් කරණු ලබන දැවිතෙල් හෙවත් කළු තෙල්. අනෙක ඉවත් කරණ පෙරහන් හෙවත් ෆිල්ටර් ඊළඟට ලිහිසි තෙල් කෑන් හා වෙනත් ඇසුරුම්.

මම ආයතනයට යන විට දැවිතෙල් බැරලයක එනම් ලීටර 200ක මිල වූයේ රුපියල් 7500ක්. මමත් රුශානුත් එකවුන්ටන් ප්‍රියන්ජිත් එකතුව අපි තීරණයක් ගත්තා කළුතෙල් බැරලයක මිල රු: 10,000 කට ඉහල දැමීමට. ඒ පියවර කිහිපයකින්. පලමුව එය රු: 9000 කට ඉහල දැමීමට සමත් උනා.

 ඒ ගැනත් පොඩිත්තක් ලිව්වොත් හොඳයි වගේ. මේ කළු තෙල් විකුණන මුදල බැර උනේ අපේ අර මුලින් කීව මල්ලිලාට උදේ කෑම එක දෙන්න. තෙල් වලට ලැබෙන මුදල මත තමයි අපිට මේ දරුවන්ට දෙන්න පුළුවන් කෑම එකේ ගුණාත්මක බව තීරණය උනේ!

මෙහෙම තෙල් විකිණීමට මෙතෙක් පැවති ඒකාකාර මිල ඉහල දැමිය හැකි වේ දැයි බොහෝ දෙනා හට කුකුසක් තිබුනා.  ඒ පිළිබඳව වගකීම මා භාර ගත්තා. නැවත කළුතෙල් මිළදී ගන්නා අය ආ විට; ඔහුව මා මුණ ගැසීමට තීරණය කලා. දිනක් සවස් වරුවේ තෙල් මුදලාලි ආ විගස ඔහුව මා වෙත ස්ටෝරුවේ මනෝජ් රැගෙන ආවා.

ඔහුගේ නම ලැම්බර්ට්!

“ලැම්බර්ට් ඔයාට එන්න කිව්වේ අපට ඉදිරියේ ඔයාට තෙල් දෙන්න බැරි වෙන බව කියන්න!” මම කීවේ  පොඩි බොරුවක්.

“ඒ මොකද සර්!?”

“නෑ! අපේ ඔටෝමිරාජ් ඔක්කොම ඒවායෙ තෙල් ගන්න එක්කෙනෙක් ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. එයා 9000 ගානේ ගන්නවාලු. ඒ හින්දා අපිට තෙල් පිට දෙන්න එපා කියලා හෙඩ් ඔෆිස් එකෙන් කියලා තියෙනවා. වෙනසක් උනොත් මම ඔයාට දන්වන්නම්.”

“හරි සර් මම 9000 ට ගන්න කැමති උනොත්?”

“මට දැන්ම ඒක ගැන කියන්න බෑ! මම හෙඩ් ඔෆිස් එකෙන් අහලා ඔයාට දන්වන්නම්!”

ඒ කෙටි වේලාව අවසන් උනේ අපේ ඉලක්කය සපුරා ගනිමින්.

අපිට ෆිල්ටර විකිණීමත් නියමිත ක්‍රම වේධයකට සකස් කර ගන්න පුළුවන් උනා.

ඒ වගේම හිස් කෑන් සියල්ල ප්ලාස්ටික් කැට හදන තැනකට විකුණා ගන්නටත් පසුව ප්ලාස්ටික් එකතු කරණා අයෙකු අපගෙ ආයතනයටම විත් හිස් කෑන් වතුර බෝතල් කිලෝ ගානට අරං ගියා. ඒ කුණු සේරම මුදල් කර ගැනීමට හැමෝම මට උදව් කලා!

දැන් තමයි සංකීර්ණ ප්‍රශ්නය:

දෙවෙනි අපද්‍රව්‍ය උනේ පාලනය කල හැකි කුණු!

මෙහි ප්‍රධාන වශයෙන් තිබුනේ කෑම ඔතන කඩදාසි, ලන්ච් ශීට්, ඉඳුල්.

ඒ වන විට ආයතනයේ 40 කට අධික සේවක පිරිසක් සේවය කලා.

ඔවුනට උදෑසන සහ දිවා ආහාරය දුන්නේ ආයතනයෙන්මයි, උදෑසන ආහාරය මුළුමණින්ම නොමිලේ වුනු අතර දිවා ආහාරයට අය කලේ අඩක් පමණයි. ඉතිරිය ආයතනයෙන්. මේ ආහාර ගත්තේ සැපයුම් කරුවන් දෙදෙනෙකුගෙන්. ඔවුන් ගෙනා ආහාර වල ගුණාත්මක භාවය කෙසේ වෙතත් ප්‍රමාණාත්මක භාවය ඉහල මට්ටමක තිබුනා. මේ නිසා විශාල ඉඳුල් ප්‍රමාණයක් මෙන්ම කෑම ඔතන කඩදාසි කොල 80ක් ද ලන්ච් ශීට් 80ක් ද අනිවාර්යයෙන්ම දිනකට එකතු උනා.

මම අළුත් අදහසක් ගෙනාවා.

“අපි කෑම ගේන්න කියමු ප්ලාස්ටික් පෙට්ටියක. උදේට ගේන එක්කෙනාට පෙට්ටි 40 කුත් දවල් කෙනාට පෙට්ටි 40 කුත් අරණ් වැඩේ පටන් ගන්න කියමු.”

“පෙට්ටි එතකොට අපි අරන් දෙනවා?” ප්‍රියන්ජි ඇහුවා.

“නෑ! නෑ!! නෑ!!! එයාල ගන්න ඕනෙ! එයාලට දැන්ටත් කඩදාසි වලට ලන්ච් ශීට් වලට මුදලක් වැයවෙනවානේ!? ඒක ඉතුරුයි. අපි එයාලගෙන් අනිවාර්‍යයෙන්ම මාස තුනක් කෑම ගන්න පොරොන්දු වෙනවා! එතකොට එයාලගෙ ඉනීශියල් කොස්ට් එක කවර් වෙනවා. ඊළඟට වෙන සප්ලයර් කෙනෙක් ගෙන් අපි කෑම ගන්න පටන් ගත්තොත්; මේ බොක්සස් ටික අළුත් සප්ලයර්ට ගන්න කියනවා මෙයාට සල්ලි දීලා!?

“ඔව් එහෙම නම් එයාලා කැමති වෙයි!” ප්‍රියන්ජි සැනසුම් සුසුමක් හෙළුවා.

“ඔව් එතකොට ඒගොල්ලන්ට පාඩුවක් නෑනෙ . . . !? රුශාන් මල්ලි මගේ පැත්තට කථා කලා – නිකං දී කිරට බලල්ලුත් ඥාව් ඥාව් ගානවා වගේ. (ඌ කොහොමත් මාව බේර ගන්නවා!)

“එතකොට ඉඳුල් . . ? (මට මතක නෑ කවුද ඇහුවේ කියලා නම්!)

“ඉඳුල් එයාලා ගෙනියන්න ඕනෙ!!!!!!” මම ගානක් නැතිව කිව්වා.

“මොන පිස්සුද? ඒකට නම් කවුරුවත් කැමති වෙන එකක් නෑ!” රුශාන්ද මංදා කිව්වේ.

“හරි සප්ලයර්ස්ලා දෙන්නාව අදම හවස මීටින් එකකට එන්න කියන්න!” අපි එයාලත් එක්ක කථා කරමු. මම උන්ට කථා කරණ්නං! උඹලා මට ග්‍රවුන්ඩ් සපොර්ට් එක දෙන්න ඕනෙ! හාද?”

“හරි හරි! හා හා!! ප්‍රියන්ගි අක්කේ!? අපිටත් ගුටි කන සීන් එකක් තමයි සෙට් වෙන්න යන්නේ” කවදත් ඕන එකකට කින්ඩිය දාන රුශාන් කියගෙනම පහලට ගියා.

හවස මීටිම සෙට් උනා. මාත් හිටියේ තරමක චකිතයකින්. ඒත් මගේ හිතේත් චකිතයක් තිබුනාට සාධාරණ තර්කයක් තිබුනා මේ “ඉඳුල් රිටර්න්” වැඩේ ගැන!

සප්ලර්ස්ලට මාව අඳුන්වලා දුන්නේ ප්‍රියන්ජි වගේ මතක.

මම මගේ  කථාව පටන් ගත්තා. ඔවුන්ට වටහා දුන්නා කෑම පෙට්ටි වල කෑම ගේන එකේ තියෙන වටිනාකම. ඒක එයාලට ලාභ දායක වන හැටි. කථාව දිගට යන්න ලැබුනේ නෑ. ඒ අය අකමැති උනා මේ කරදර වලට.

මොනවා කරණ්නද? මට පරාජය භාර ගන්න උනා.

මම එවෙලේම ස්ටෝරුවේ මනෝජ්ට කථා කරලා කිව්වා හෙට දවස ඇතුලත අපිට අළුත් සප්ලයර්ස්ලා දෙන්නෙක් හොයාගෙන එන්න කියලා.

“මනෝජ් මල්ලී උඹ මුකුත් කියන්න යන්න එපා. මං ගාවට එක්කගෙන එන්න. ඔය කෑම පෙට්ටි හුට පට ගැන උඹ කථා කලොත් වැඩේ අල වෙනවා!”

“හරි සර්! මම මුකුත් කියන්නෙ නැතිව කෑම සප්ලයි කරණ්න පුළුවංනං සර්ව ඇවිත් හම්බෙන්න කියන්නම්!”

“එළ!’

පසුදා  වන විට අපට අවස්ථා දෙකකදී  සැපයුම් කරුවන් දෙදෙනෙකු මුණ ගැසීමට හැකිවිය. දෙදෙනාම පෙට්ටි කථාවට දෙදෙනාම පහසුවෙන් එකඟ කර ගැනීමට අපහට පුළුවන් විය. මා ඔවුන්ව අපේ අවශ්‍යථාවයට පොළඹවා ගැනීමට කථා කරණ විට එයට ප්‍රියන්ජිත් රුශානුත් ම ග්‍රවුන්ඩ් සපෝර්ට් එක දුන්නෝය.

පහසුවෙන්ම  සැපයුම් කරු අපගේ පෙට්ටි සීන් එකට නවා ගත්තෙමු.

ඊළඟට “ඉඳුල් රිටර්න්” සීන් එක.

“දැං ඔයා හොඳ කෑම එකක් දුන්නොත් අපේ කොල්ලෝ පෙට්ටිය වත් ඉතුරු කරණ්නේ නෑ! කෑම අවුල්නම් ඉඳුල් ඉතුරු වෙනවා! පිළිගන්නවාද? ඔව්! (උං “ඔව්!” කියන්නටත් කලිං මම ම “ඔව්!” කියාගෙනම කථාව ඇද්දෙය!) දැන් ඔයාලා හැම පෙට්ටියටම කෑම පුරෝලා දාන්න යන්න එපා. සයිස් දෙකකට හරි තුනකට හරි කෑම එවන්න. එතකොට අඩුවෙන් කන කෙනාට පොඩි කෑම එකක්. ගොඩක් කන කෙනාට ලොකු එකකුත් ගන්න පුළුවන්. හරිනේ? ඒක ඔයාලටත් ලාභයි කෑම අපතේ යැවෙන්නෙත් නෑ. හැබැයි එක දෙයක්! අන්තිමට ඉතුරු වෙන කෑම අපි පොඩි ශොපින් කවරෙකට දාලා තියනවා. ඔයා ඒක අරන් යන්න ඕනෙ ආපහු! ඔයා හොඳට – ගානට කෑම දුන්නොත් ඔයාට මෙච්චරක් වත් ආපහු ගෙනියන්න වෙන්නේ නෑ!” මම අත් දෙක එකට තබා දෝත ඔහුට පෙන්වීය.

අපරාදෙ කියන්න බෑ. ඔවුන් ඊට එකඟ විය.

අපේ පවිත්‍රතා අංශයේ අංශාධිපති මිස්ටර් පෙරෙරාටත් වැඩ අඩු විය. සතියක් යනකොට සියළු දෙනා වඩේට එකෙන්ම සෙට් විය. සහරාන් බෝම්බ ගසනා තුරු වඩේ පුරා වසරක වැනි කාලයක් නියමෙට නැගලා ගියා. 

ඔබ පිළිගන්නවාද? අන්තිමට නගර සභාවට පටවන්න කුණු නැතිවූ වග?

වරක් රජයේ නිළධාරිණියක් පැමිණ අපගේ අපද්‍රව්‍ය බැහැර කරණා අන්දම ගැන විමසුවාය.

“අපිට එහෙමට කියලා කුණු නෑ මිස්!”

“මොකක්!?”

“ඔව්! අපි කුණු ප්‍රශ්නය විසඳා ගෙන තියෙන්නේ මෙහෙමයි! . . . . . . . . . . . . . .!!  රුශානුයි මමයි තරඟෙට මෙන් කියාගෙන කියාගෙන ගියා! මිසී ඇස් උඩ තියාගෙන  යන්න ගියේ අපි නිකං දුන්නු ස්මැක් දිවුල් බීම එකත් නොබීම!

ආතල් එකේ වැඩ – රුශාන් මල්ලීත් රොක්සිත්  එක්ක!

අප ආයතනයකට වේවා. පලාතකට වේවා, රටකට සේවය කරණා විට; නායකත්වය සපයන විට එය පාලනය කලයුත්තේ සැපයුම් කරුවන්ගේ ඕනෑ එපාකම් වලට අනුව නොව එකී සංස්ථාවේ උන්නතිය සුභ සිද්ධිය උදෙසාය! මෙසේ කල හැක්කේ ජරාව නොකන එවුංට පමණි. සැපයුම් කරුවන්ගෙන් ජරාව කන එකා සැපයුම් කරුවාට නැවේ. ඉන් පසු ක්‍රියාවට නැගෙන්නේ සැපයුම් කරුවාගේ න්‍යාය පත්‍රයයි!

සියල්ල අතිශය සාර්ථකව කෙරුණි. අති මහත් බහුතරයකගෙ ආශීර්වාදය මත වැඩේ ලස්සනට ගියේය. එතෙක් බත් කොලේ මේසය මත එළාගෙන කෑ කොල්ලන් කෑම පෙට්ටියක පිළිවෙලට අසුරා තිබුනු බත් එක මා සමගම එක මේසයේ කෑවෝය.  ගෙදර වසිකලාට;  ඉතුරු කරණ්නට ඉඩ නොදී; බලෙන් ඇන ඇන කවන ලෙසින්ම උන්ට එළවළු මැල්ලුම් ඉතුරු කරණ්නට නොදී කන්නට බල කලෙමි! උන් මගේ වයසට ගරු කල නිසාදෝ නො එසේනම් අනුකම්පා කල නිසාදෝ; මැල්ලුම්, කරවිල, හාල් මැස්සෝ; තිබ්බොටු වැනිදේ කරබාගෙන ගිල දැමුවෝය. ඇත්තෙන්ම එය අතිශය සුන්දර මතකයකි!

කොහොමටත් තිබ්බොටු කෑම මගේ ජීවිතයේ අමරණීය මතකයකි!

මංජුල ශ්‍රීනාත් පෙරේරා

තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ 

* අවසර ඇතිව උපුටා ගත්තකි .

පරිවර්තිත කෙටිකතාව

අම්මා කෙනෙකුගේ වෛරය

පාඔලෝ සවේරිනිගේ වැන්දඹුව සිය පුතණුවන් සමග බොනිෆාචියෝ නගරයේ පවුර අද්දර ඉදිකළ කුඩා දුගී නිවෙසක ජීවත් වූවාය. කඳුවැටියෙහි කෙළවරක් මුහුද දෙසට නෙරා ගොස් නිර්මාණය වූ බිමක ගොඩනගා තිබූ බොනිෆාචියෝ නගරය ඇතැම් ස්ථානයක සත්‍ය වශයෙන්ම මුහුදට උඩින් එල්ලී තිබුණේය. නගරය පිහිටා තිබූ තැන සිට බලන විට ගල්පරවලින් ගහණ ඕඩයකට ඔබ්බෙන් සර්දීනියාවේ පහත් වෙරළ තීරය පෙනිණි. මුහුද පිහිටි දිශාවට විරුද්ධ පැත්තෙන් නගරය පාමුල වූයේ වරාය ලෙස භාවිතා කෙරුණු තවත් ඕඩයකි. එය නගරය සම්පූර්ණයෙන්ම පාහේ වට කොට සිටි අතර දැවැන්ත කොරිඩෝරයක් පරිද්දෙන් කඳු ප්‍රපාතය දෙකට කපා දමා තිබිණි. ශීඝ්‍ර බෑවුම් සහිත ඕඩය ඔස්සේ දීර්ඝ ගමනක යෙදීමෙන් අනතුරුව කුඩා ඉතාලි හෝ සර්දීනියානු මාළු ඔරුවලටත් සෑම සති දෙකකටම වරක් අජාච්චෝ නගරයේ සිට පැමිණ නැවත ගිය පැරණි දුම් බෝට්ටුවටත් නගර පාදමෙහි පිහිටි නිවෙස් අසළටම යාත්‍රා කිරීමේ හැකියාව තිබිණි.   

සුදු පැහැති කන්ද මත ඉදිවුණු නිවෙස් සමූහය වඩාලාත් සුදු පැහැයෙන් යුත් පැල්ලමක් කන්දෙහි නිර්මාණය කළේය. කලාතුරකින්වත්  නැවක් යාත්‍රා කරවීමේ අවදානම ගැනීමට නාවිකයන් නොපෙළඹෙවූ ඒ භයංකර දියපහර මත සිය ආධිපත්‍යය පතුරවමින් ගල් පර්වතය මත ඉදිව තිබූ නිවාස සමූහය වනයෙහි වසන සියොතුන්ගේ කූඩු මෙන් පෙනිණි. නිරන්ත‍රයෙන් හැමූ සුළඟ මුහුද පීඩාවට පත්කොට තුනී තණ ආවරණයකින් වැසී තිබූ නිසරු වෙරළ තීරය ඛාදනයට ලක් කළේය. කඳු අතර වූ පටු ගැඹුරු දෙණියට කඩා වැදුණු සුළඟ එහි දෙපස වනසා දැමීය.  රළ පෙළ පරයා සෑම තැනකම නැගී සිටි නොගිණිය හැකි තරම් වූ ගල්පරවල කලු පැහැති මුදුන් වටා විසිරුණු පෙණ පිඬු , ජලය මතුපිට පාවෙමින් උඩ පහත යන කැන්වස් රෙදි කැබලි මෙන් පෙනිණි.

‍සවේරිනි වැන්දඹුවගේ නිවෙස ගල් පර්වතයේ කෙළවරේම පිහිටා තිබිණි. නිවෙසේ වූ ජනේල තුන අතරින් පෙනුණේ පෙරකී වියරු හුදෙකලා දර්ශනයයි. ඇය සිය පුතණුවන් වූ අන්තොන්ද බැටළුවන් බලා ගන්නා වර්ගයට අයත් වූ  දිගු අවුල්ව ගිය ලෝම සහිත විශාල සිහින් බැල්ලක වන සෙමියන්ත්ද සමග එහි ජීවත් වූවාය.  තරුණ අන්තොන් දඩයමේ යන විට බැල්ල රැගෙන ගියේය.

එක් සන්ධ්‍යාවකදී, දබරයකින් අනතුරුව, නිකොලා රවොලාති විසින් අන්තොන් සවේරිනිට  පිහියෙන් ඇන ඉතා නින්දිත ලෙස මරා දමනු ලැබිණි.  එදා රාත්‍රියේම නිකොලා  රවොලාති සර්දීනියාවට පළා ගියේය.

අවට බලා සිටියවුන් විසින් අන්තොන්ගේ මළ සිරුර ඔහුගේ මව වෙත රැගෙන එනු ලැබූ විට ඇය නොවැලපුණාය. එහෙත් දීර්ඝ වේලාවක් ඒ දෙස නිසොල්මන්ව බලා සිටියාය.  ඉන් අනතුරුව සිය රැළි ගැසුණු දෑත මළ සිරුර මතින් දිගහැර ඔහුගේ මරණයේ පළිය ගන්නා බවට දිවුරුවාය. කිසිවෙකුට තමා සමග ඉන්නට ඉඩ නොදී දොර වසාගත් ඕ  මළ සිරුරද උඩු බුරලන බැල්ලද  සමග ගෙතුළ තනි වූවාය.  ඇඳ පාමුල සිට සිය ස්වාමියා දෙස නෙත් අයාගෙන දෙපා අතර වල්ගය තදින් රුවාගත් බැල්ල නොනැවතී උඩු බුරුලෑවාය. බැල්ල එතැනින් සෙලවුණේවත් නැත. මළ සිරුරට උඩින් නැවී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් නිහඬවම මහා කඳුළු ගංගාවක් හෙලූ මවද එතැනින් නොසෙල්වුණාය.

ඉදිරිපසින් හරහට ඉරුණු සිදුරකින් යුත් ඝනැති ලොම් කබායක් හැඳ උඩුබැලි අතට වැතිරී සිටි තරුණයා පෙනුණේ හරියට නිදන්නාක් මෙනි. එහෙත් ඔහු‍ගේ සිරුරේ හැම තැනම රුධිරය තැවරී තිබිණි. තුවාලය ඔතන්නට කැබැල්ලක් ඉරා ගනු ලැබූ කමිසය, යටි කබාය, කලිසම, මුහුණ, අතපය මේ සෑම තැනකම රුධිරය තැවරී තිබිණි. ඔහුගේ රැවුලේද හිස කෙස්වලද මිදුණු රුධිර කැටිති විය.

මහලු මව ඔහුට කතා කරන්නට පටන් ගත්තාය. ඇගේ කටහඬ ඇසූ බැල්ල නිහඬ විය.

“ අනේ මගේ අසරණ පුංචි පු‍තේ මේකෙ පළිය මං ගන්නවා. නිදාගනිං පුතේ නිදා ගනිං මං මේකේ පළිය ගන්නවා. ඇහුණද මගේ පුතේ ? මං දිවුරනවා. පු‍තේ උඹ මගේ හැටි දන්නවා නේද ? මං කිවුවොත් දෙයක් ඒ දේ කරනවා.”

සෙමෙන් ඔහුට උඩින් නැවුණු ඇය ඔහුගේ මියගිය දෙතොල මත සිය ශීතල දෙතොල තැබුවාය.

ඉන් අනතුරුව සෙමියන්ත් නැවතත් උඩු බුරලන්නට විය.  ඇය දිගු, ඒකතානමය, හදවත පාරන සුළු, බිය ජනක හඬවල් නැගුවාය.

අන්තොන් සවේරිනිගේ මළ සිරුර පසුදා මිහිදන් කරන ලදී. වැඩිකල් යාමට මත්තෙන් බොනිෆාචියෝ නග‍රයේ ඔහු ගැන කෙරෙන කතාබහ නතර විය.

අන්තොන්ට සහෝදරයකුවත් සමීප ඥාති සහෝදරයකුවත් නොසිටි බැවින් ඔහුගේ ලේවල පළිය ගැනීමට පිරිමියෙක් නොසිටියේය. මහලු කාන්තාවක වූ ඔහුගේ මව පමණක් ඒ ගැන තදින් කල්පනා කළාය.

ඕඩයෙහි අනෙක් ඉවුරෙහි වෙරළ මත වූ සුදු පැහැ තිතක් දෙස ඇය උදේ සිට රෑවන තුරු බලා සිටියාය.  එය ලොන්ගොසාර්දෝ නම් කුඩා සර්දීනියානු ගම්මානයක් වූ අතර නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට පළා යන මං පහරන්නන්ට එහි පිළිසරණ ලැබිණි.  මේ කුඩා ගම්මානයේ සම්පූර්ණ ජනගහණය සමන්විත වූයේ මෙසේ නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට සර්දීනියාවට පළා ගිය මං පහරන්නන්ගෙනි. ඔවුහු මෙසේ සිය මවුබිමෙහි වෙරළට මුහුණ ලා ජීවත් වූ අතර පෙරළා මවුබිමට පැමිණීමට; කෝර්සිකා‍වේ වනාන්තරවලට පැමිණීමට සුදුසු වේලාවක් එනතුරු කල්යල් බලමින් හුන්හ.  නිකොලා රවොලාති ද සරණ ලබා ඇත්තේ මේ කුඩා ගම්මානයේම බව ඕ දත්තාය.

මුළු දවස පුරාම හුදෙකලාව ජනේලය අසළ වාඩිවී ගම්මානය දෙස බලමින් ඇය පළිගැනීම ගැන කල්පනා කළාය.  මරණයට මෙතරම් ළං වූ දුර්වල තමා මේ කාර්යය තවෙකෙකුගේ සහයක් නොමැතිව තනිවම කරන්නේ කෙසේද? එහෙත් පුතුගේ මළ සිරුර මත දිවුරා පළිගැනීමට ඇය ශපථ කොට තිබිණි. ඇයට එය අමතක කළ නොහැක. තවදුරටත් බලා සිටීමටද නොහැක. ඇය කරන්නේ කුමක්ද? රාත්‍රී කාලයේදී ඇයට නිදා ගැනීමට නොහැකි විය. නින්දවත් සිතෙහි සන්සුන්බවවත් ඇයට නැතිව ගියේය. ඕ මුරණ්ඩු ලෙස පළිගැනීමේ මගක් සෙව්වාය. බැල්ල ඇය‍‍ පා ළඟ වැටී නිදා වැටුණු අතර ඇතැම් විට හිස නගා බලා හිස් අවකාශයට උඩු බිරුවාය. දැන් සිය ස්වාමියා මියගොස් සිටි බැවින් බැල්ල බොහෝවිට මේ ආකාරයට උඩු බිරූ අතර ඇය එසේ කළේ ඔහු අමතන්නාක් බඳුව මෙන්ම සැනසිය නොහැකි සිය තිරිසන් ආත්මය තුළ ඔහු පිළිබඳ මැකී නොයන මතකයක් රැඳී ඇතිවාක් ද මෙනි.

එක් රාත්‍රියක සෙමියන්ත් උඩු බුරලන්නට පටන් ගත් විට  පළිගැනීමේ කැමති ‍රෞද්‍ර වනචාරියකුගේ සිතක ස්වභාවිකවම පහළ විය හැකි සිතිවිල්ලක් මවගේ සිතෙහි හට ගත්තේය. උදෑසන වන තුරු ඒ ගැන හොඳින් සිතා බැලූ ඇය අලුයමින්ම නැගිට පල්ලිය වෙත ගියාය. ගල් පොළොව මත දණගසා ගෙන යාඥා කළ ඇය සිය පුතණුවන්ගේ ලේවල පළිය ගැනීමට සිය දුර්වල සිරුරට ශක්තිය දෙන ලෙසද සිය කාර්යයේ දී තමාට දිරිය සහ සහය දෙන ලෙසද දෙවියන් ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා සිටියාය.  

ඉන් අනතුරුව ඇය නිවෙස කරා පෙරළා පැමිණියාය. බ‍ඳෙහි තැන් තැන්වලින් ඇතුළට එබී ගිය පැරණි පීප්පයක් මිදුලේ තිබිණි. එය වැසි ජලයෙන් පිරී තිබුණේය. පීප්පය හිස් කළ ඇය එය පොළොවෙහි ‍පෙරළා ලී කූඤ්ඤවලින් සහ ගල්වලින් එය බිමට තද කළාය. මෙසේ තනාගත් බලු කූඩුවෙහි සෙමියන්ත් දම්වැලකින් බැඳ දැමූ ඇය නිවෙස තුළට ගියාය.

ඉන් අනතුරුව ඇය සිය කාමරය තුළ නොනැවතී සක්මන් කළාය. ඇයගේ ‍දෑස සර්දීනියාවේ වෙරළ තීරය වෙත තවමත් එල්ල වී තිබිණි. මිනීමරුවා ජීවත් වූයේ එහිය.

මුළු දවස පුරාමත් රාත්‍රිය මුළුල්ලේත්  බැල්ල උඩු බිරුවාය. උදෑසන මහලු කාන්තාව භාජනයක දැමූ ජලය ස්වල්පයක් ඌට දුන්නද කෑමට කිසිවක් නොදුන්නාය.

තවත් දවසක් ගතවිය. අධික ලෙස වෙහෙසට පත් සෙමියන්ත් නිදාගෙන හුන්නාය. ඊළඟ දවසේ බැල්ලගේ දෑස දිලිසෙන්නට විය. කෙලින් වූ ලෝම සහිතව ඇය වියරුවෙන් මෙන් දම්වැල ඇද කඩන්නට තැත් කළාය. 

එහෙත් මැහැල්ල ඌට කෑමට කිසිවක් නුදුන්නාය. කුසගින්නෙන් උමතු වූ බැල්ල බැරෑඬි හඬින් බුරන්නට වූවාය. තවත් රැයක් ගතවිය.

දවස උදා වූ කල සිය අසල්වැසියාගේ නිවෙසට ගිය සවේරිනි වැන්දඹුව පිදුරු මිටි දෙකක් ඉල්ලා ගත්තාය. සිය මිය ගිය සැමියාගේ ඇඳුම් කිහිපයක් ගත් ඇය ඒවාට පිදුරු පුරවමින් මිනිස් රුවකට සමාන පඹයකු සෑදුවාය.

සෙමියන්ත්ගේ කූඩුව ඉදිරිපිට කණුවක් සිටවූ ඇය පඹයා ඊට තබා ගැට ගැසුවාය. දැන් එය සිටගෙන සිටින සෙයක් පෙනිණි. පැරණි ඇඳ රෙද්දක් ගුලි කොට ඇය ඊට හිසක්ද සවි කළාය.

කෙතරම් කුසගින්නෙන් සිටියද විමතියට පත් බැල්ල මේ පිදුරු මිනිසා දෙස නිහඬව බලා සිටියාය.

ඉන් අනතුරුව මස් කඩයට ගිය ඇය ඌරු ලේවලින් තැනූ කලු පැහැති දිග සොසේජස් කැබැල්ලක් මිලට ගත්තාය.  නිවෙසට පැමිණි ඇය මිදුලෙහි බලු කූඩුව ආසන්නයේ ගිනි ගොඩක් ගසා කලු සොසේජස් කැබැල්ල පුළුස්සන්නට වූවාය.  වියරු වැටුණු සෙමියන්ත් ඔබ මොබ පනිමින් මුවෙහි පෙණ නංවාගෙන දැඟලුවාය.  ඇයගේ බැල්ම මස් කැබැල්ල වෙත යොමු වී තිබුණු අතර පිළිස්සෙන මසෙහි සුවඳ ඇයගේ කුසෙහි පත්ළටම කා වැදුණේය.

දුම් දමන ‍සොසේජස් කැබැල්ල ගත් මැහැල්ල එය පිදුරු මිනිසාගේ ගෙල වටා පැළඳුවේය. එය සකස් කරමින් ඇය බොහෝ වේලාවක් ගත කළේ මස් කැබැල්ල ඉතා ‍හොඳින් පිදුරුවලට තබා තදකොට බඳිනු පිණිසය.  කාර්ය අවසන් කළ ඇය බැල්ල ලිහා දැමුවාය.

පඹයාගේ ගෙල වෙත වේගවත් පිම්මක් පිනූ බැල්ල සිය ඉදිරි ගාත් පිදුරු මිනිසාගේ උරහිස් මත තබාගෙන මස් කැබැල්ල සපන්නට විය. කැඩුණු මස් කෑල්ලක් මුවෙහි තිබියදී බැල්ල පසුපසට වැටුණාය. ඇය නැගිට යළිත් පිදුරු මිනිසාගේ උගුරු දණ්ඩ වෙත පැන්නාය. මස් කෑල්ල ගැට ගසා තිබූ නූල් කටින් කඩා දැමූ ඇය තවත් මස් කැබැල්ලක් ඉරා ගත්තාය. ඇය යළිත් වැටිණි. වියරුවෙන් මෙන් බැල්ල යළිත් මස් කෑල්ල වෙත කඩා පැන්නාය.

සිය විශාල මුවෙන් සපමින් ඇය පඹයාගේ මුහුණත් ගෙලත් කීතු කීතුවලට ඉරා දැම්මාය.

දිලිසෙන දෑසින් යුත් මැහැල්ල නිසොල්මන්ව නිහඬව ඒ දෙස බලාගෙන සිටියාය. ඉන් පසුව ඕ නැවතත් බැල්ල දම්වැලෙන් ගැට ගසා දෙදිනක් කුසගින්නේ තබා මේ අමුතු රංගනය නැවතත් රඟ දැක්වූවාය.

මාස තුනක් තිස්සේ ඇය බැල්ල මේ තියුණු දත්වලින් ඉරාගෙන ආහාර ගැනීමේ කාර්යයට පුහුණු කළාය. මැහැල්ල තවදුරටත් ඇය දම්වැලෙන් බැඳ දැමුවේ නැත. එහෙත් සංඥාවක් කළ පමණින් පඹයා වෙත කඩා පැනීම බැල්ලට පුරුදු කෙරිණි.

පඹයාගේ ගෙලෙහි ආහාර සඟවා නොතිබියේදීත් ඒ වෙත කඩා පැන ඉරා කන්නට මැහැල්ල ඇයට පුරුදු කළාය. බැල්ල හොඳින් සිය කාර්ය කළ විට මැහැල්ල ඌට පිසින ලද කලු ‍සොසේජස්වලින් සංග්‍රහ කළාය.

පිදුරු මිනිසා දුටු විගස සෙමියන්ත් වෙවුලන්නට පටන් ගන්නා අතර සිය ස්වාමි දියණිය දෙස බලන්නට පටන් ගන්නීය.  එවිට මැහැල්ල ඇඟිල්ලක් ඔසවා සිවුරුහන් හඬකින් ‘අල්ලපන්’ කියන්නීය. බැල්ල ඊට ප්‍රතිචාර දක්වයි.

නියම කාලය එළඹ ඇතැයි ඇයට වැටහුණු විට පවු ක්ෂමා කරගැනීමට ගිය සවේරිනි වැන්දඹුව එක් ඉරිදා උදෑසනක ප්‍රහර්ෂිත උනන්දුවකින් යුතුව සත්ප්‍රසාදය ලැබුවාය. ඉන් අනතුරුව මහලු හිඟන්නෙකුගේ බඳු පිරිමි ඇඳුම්වලින් සැරසුණු ඇය සර්දීනියානු ධීවරයකුට ඇවිටිලි කොට තමාවත් බැල්ලවත් ඕඩයේ අනෙක් ඉවුරට එතෙර කරවා ගත්තාය.

ඇය ගෙන ගිය කැන්වස් මල්ල තුළ විශාල කලු සොසේජස් කැබැල්ලක් විය. සෙමියන්ත්ට දින දෙකකින් ආහාර දී නොතිබිණි. ඇය සෑම මොහොතක් පාසාම මස් කැබැල්ල තිබූ මල්ල ඉව කරන්නට බැල්ලට දුන් අතර ඇ‍යගේ කුසගින්න එයින් දියුණු තියුණු විය.

ඔවුහු ලොන්ගොසාර්දෝ වෙත පැමිණියහ. කෝර්සිකානු ගැහැනිය යාන්තමින් නොන්ඩි ගසමින් සිටියාය.  අසළ බේකරියට ගිය ඇය නිකොලා රවොලාතිගේ නිවෙස තිබෙන ස්ථානය ගැන විමසා සිටියාය. වැද්දුම් ශිල්පියෙකු වු රවොලාති සිය පැරණි රැකියාව යළි ආරම්භ කොට තිබූ අතර  සිය සාප්පුවේ පිටුපස තනිවම වැඩ කරමින් සිටියේය.

දොර තල්ලු කොට විවෘත කළ මැහැල්ල ඔහුට කතා කළාය.

“ඒයි ! නිකොලා !”

ඔහු හැරී බැලුවේය. එවිටම බැල්ලගේ දම්වැල අත් හළ ඇය කෑ ගෑවාය.

“අල්ලපන්, අල්ලපන්, හපපං ඕකව ! හපපං ඕකව !”

දෑත ඉදිරියට දිගු කළ මිනිසා බැල්ල බදා ගෙන බිම පෙරලුණේය.  මිනිත්තු කිහිපයක් ඔහු සිය දෙපා බිම ගසමින් දඟලන්නට විය.  ඉන් පසුව සෙමියන්ත් ඔහුගේ උගුරු දණ්ඩ සපා එය කීතු කීතුවලට ඉරා දමන විට බිම හොත් ඔහුගේ සිරුර නොසෙල්වී තිබිණි.

සිය ස්වාමියා විසින් දෙන ලද දුඹුරු පැහැ යමක් අනුභව කරමින් යන සිහින් කලු බල්ලෙකු සමග දුගී මහල්ලෙකු දොරෙන් එළියට ආ බවක් තමාට යාන්තමින් මතකයැයි සිය දොරකඩවල් අසළ  වාඩි වී සිටි අසල්වැසියෝ දෙදෙනෙක් පසුව පැවසූහ.

එදින සවස මැහැල්ල පෙරළා සිය නිවෙසට පැමිණියාය. එදා රාත්‍රියේ ඇයට ඉතා හොඳින් නින්ද ගියේය.

 ගී ද මෝපසාං  (1850-1893)

නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *