සිංහල බ්ලොග් කවි මුතු

“පොඩි” ගෑණුළමයෝ…!

පියාපත් ඇති අයෙකුට,

කුඩා තරු තිතකට,

දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න.

එකම එක – හෙන්දිරික්කා සුවඳකට පුලුවනි

පුංචි වීදුරු බරණියක් තුල

සංසාරයක මතක හංගන්න.

අතීතේ ගමන් මළු සේරම බිමින් තිබ්බම

ආදරේ විතරක්ම හදවත පුරා පිරුණම

ඔයාටත් බැරි නෑ වළාකුළු අල්ලන්න.

පොඩි ගෑණුළමයෝ 

ඔයා 

අන්න ඒ ටික දැනගන්න!

බස්සි  (Yash)

https://basukavi.blogspot.com

මතකය මෘදු විලවුන් සුවඳකි…

පෙම්වත,

මතකය

මෘදු විලවුන් සුවඳක් වැනිය

පිරිමදියි සිත…

ස්පර්ශ කරනු නොහැකිය…

සිඹීම්වලින් නැහැවුණු

කොපුල්තල පවා

සැලි සැලී මන්ද්‍ර ස්වරයෙන්

සුසුම් උහුළා ගනු වැනි ය…

එකලාව යන මෙමඟ

නිදිකුම්බා මල් පවා

පත් හකුළා තුඩු මුදවා

රෝස පෑ සිනා සඟවා

පාරනා හැඟුම්

වාවමිද කෙලෙසින්…

පෙම්වත

අගුල්ලෑවද තරව

යකඩින්

තවමත් පණ ගැහෙන හදවතකි

ලෝහ රාමුව විනිවිදිනු බැරි…

හෙමිහිට… හෙමිහිට

නිශ්චලව… නිශ්චිතව

අවසන් සුසුම් කැටිය ද

නික්ම යාමට නියමිත

ආදාහනාගාරයක

වා කවුළුවෙන් නික්මෙන

උණුහුම් සුළං දහරක් මෙන්… 

තරුර​සී

https://tharurasi.blogspot.com

සමහර එළි

ළඟ ළඟ එන බව දැනුම් දී

දැල්වෙන බැවින් මැතිවරණ කොළ එළි

සමහර උස කුළුණු මත

දැල්වෙන්න පටන් ගනියි නෙක එළි

පැයකින් දෙකකින් ආයෙ එන්නම් කියා

බැස ගිය නිසා පහනෙන් හිත මිතුරු විදුලි

ඇතැම් පැල්පත් වහලවලට ඉහළින්

දිදුළන බව පෙනෙයි තරු එළි…

සඳෙහි පෙදෙසක 

https://hashanrandika.blogspot.com

අතරමං

ඉඟ සුඟ නලවා

පුරුදු සද්දයම දා

ඇයි විග විගහට දාලා ගියේ

මා

සමුද්දරේ…

ගල්මල් – Coral

https://galmal.blogspot.com

නුඹට හිතැති නුඹ හිත නැති …..

හිරු රැසින් පිපි රෝස කුසුමක් නෙලා පිණිදිය විසුරුවා

සිසි උවන රැඳි සිසිල දෝතින් සුමුදු පෙති මත රඳවලා

උදා ඉරබටු තාරුකාවේ කැල්ම රොන් වට තවරලා

ඔබ නිදන සයනයෙ තියන්නම් ඔබට රහසින් පැමිනිලා

ඈත හිමගිර සීත කඳුරක උනන පැන් දෝතට දරා

මිනිස් ඇසකින් නොකිලිටිව ගිය සුවඳ පරසතුවක තබා

තඹර රොන්මත සරන බඹරුන් තනන මධු බිඳකුත් දමා

දෙතොල් නා දළු මත තබන්නම් සසල නෙතු බිඳකට වසා

ගැඹුරු සමුදුර පතුල රැඳි මුතු කිමිද සුරැකිව ලයහොවා

නීල අහසේ වලාවක් මත එකින් එක මුතු අමුණලා

නුඹ නමින් නෙත ඉණුව කඳුලින් ධවල මුතුපොට සරසලා

සුමුදු ගෙලවට පළඳවන්නම් සිහිනයෙන් මම පැමිණිලා

කටුසු හදවත

https://katusuhadawatha.blogspot.com

නුඹේන් සිත නොමිදෙන හැටි

හීන ගෙන ආ

තරමටත් වැඩියෙන්

කඳුලු ගෙන ආවත්

මගේ නෙතට

නුඹ….

නුඹේන් 

මගේ සිත

නොමිදෙන හැටි…

කියා දෙන්නට 

මේ මහා රෑ

නුඹේ නෙත 

අවදියෙන්නම්…..

හුදකලාවේ ලියු කවි

https://hudakalakavi.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *