ඇමති විජිත ඡගත් මානව හිමිකම් සැසිය අමතයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය 25වැනිදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය ඇමතුවේය.එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා සිය දේශනයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම යළිත් තහවුරු කළේය.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කරන බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා මානව හිමිකම් සැසිය අමතමින් පෙන්වා දී තිබේ.

අපගේ අරමුණ වන්නේ ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් තත්ත්වයට පත් කිරීමයි යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලාංකීය සමාජය තුළ ආතතීන් ඇති කරන ජාතිවාදය සහ ආගම්වාදය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලයලත් සත්‍ය සහ සංහිඳියා කොමිසමක් සඳහා වන වැඩපිළිවෙලක් ද ඊට ඇතුළත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වීමට ඇමතිවරයා පෙබරවාරි 23 දිවයිනෙන් පිටත්ව ගියේ ය.එහිදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන සාකච්ඡා කිහිපයකට ඔහු සහභාගීවිය.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් හයිබරිහි කොලින්ස් සාමිවරයා සමග ද්විපාර්ශ්වික හමුවකට ද එක් වූ අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ද හමුවී තිබිණි.එමෙන් ම, පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය, ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තවත් නායකයින් කිහිපදෙනෙකු ද හමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *