වසර 16කට පසුව විශේෂ දළදා ප්‍රදර්ශනයක්.

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල, දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ පිළිබඳ අද මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමග සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදාමාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.

මල්වතු මහා විහාරය වෙත ද ගිය ජනාධිපතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍යවරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමග ද කෙටි පිළිසඳරක නිරත විය.අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර මහාසංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවයි. පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වුවත් එය පොදු මහජනතාවගේ ආරක්ෂාවට ගැටලුවක් වී නැති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙතෙක් දේශපාලන රැකවරණය මත වර්ධනය වූ පාතාලය මුළුමනින්ම මැඬපැවැත්වීමට වත්මන් රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

පාතාල කණ්ඩායම් අතර පවතින ගැටුම් සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ පාතාල කණ්ඩායම් අතර එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බවත් එය මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් වී නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම පාතාල කල්ලි වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ ඒවා බවත් මේ වනවිට ඔවුන් අතර පවතින ගැටුම් කිසියම් හස්තයක් විසින් මෙහෙයවන්නේ දැයි කියා සොයා බලන බවත් දැනටමත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇතැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වීම රජයේ ද අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් ද රජය වෙන්කර ඇති බවත් සඳහන් කළේය. මැතිවරණ කොමිසම විසින් ඒ සඳහා කඩිනමින් දින නියම කරනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුෂාරි ජයසිංහ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *