
බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුකුලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස ජන අරගල සන්ධානය, ඇතුළු පාර්ශව රැසකින් ආණ්ඩුවට බලපෑම් එල්ලවෙමින් පවතිනවා.
එවැනි පසුබිමක මේ වනවිට ජාත්‍යන්තරයේ ද මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන බටලන්ද වධකාගාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
පසුගිය 15 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. අමාත්‍යවරයා පැවසුවේ පැවැති කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවය. ඒ අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
“අපේ රටේ දශක ගණනාවක් තිස්සේ, දකුනේ උතුරේ කඳුකරයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් මානව හිමිකම් කඩකිරීම් ඕන තරම් වෙලා තියෙනවා, ඒ ගැන අපි දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයයි..අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත්වුණු ආණ්ඩුවක්.
බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ සතිය ඇතුළතදී බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ගන්න තීරණ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් ඉන් අනතුරුව.” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.
එම වද කඳවුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී අවධානයක් යොමු වූයේ අල් ජසීරා රූපවාහිනිය හිටපු ඡනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවෙන් පසුව ය. ඒ සම්බන්ධයෙන් රට තුළ ද නැවත ඉහළම සාකච්ඡාවක් ඇති වී තිබේ. චන්ද්‍රිකා කුමාරතුංග පාලනය ආරම්භයේදී ම මෙම වධකාගාරය පිළිබඳ කරුණු සෙවීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබීය. එම වද කඳවුර පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා ඍජුව සම්බන්ධ බව එම කොමිෂන් සභාව හමුවේ හෙළි වූ සාක්ෂි මගින් ඔප්පු වී තිබිණි.
කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 1998දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය වෙත බාර දුන්න ද මේ දක්වා එම වාර්තාව පදනම් කර ගනිමින් වින්දිතයන් හට යුක්තිය ඉටු කිරීම සඳහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාද පැවසුවේ ද බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අවශ්‍යතාව අනුව පරීක්ෂණ සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බවයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් නොමැති බවට අල්ජසීරා වැඩසටහනේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම වාර්තාවේ සත්‍යතාව සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවිය.
හිටපු BBC මාධ්‍යවේදිනී ෆ්‍රැන්සිස් හැරිසන් මහත්මිය අල්ජසීරා රූපවාහිනී වැඩසටහනේදී එම කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ඉදිරිපත් කරමින්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රකාශ කළ අතර පසුව ඇය එම වාර්තාව අන්තර්ජාලයට නිකුත් කරමින් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන බවයි.
කෙසේවෙතත් මේ වන විට බටලන්ද වාර්තාව ගැන කතාබහ අලුත් වී තිබෙන අතර කැබිනට් බණ්ඩලය ගෙන ඇති තීරණය අනුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමක් සිදුවනු ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිගේ සමයේදී මෙරට 88/89 සමයේදී සිසු වූ ඝාතන සම්බන්ධයෙන් සොයා පැලීමට පත්කළ ජනාධපති කොමිසමෙන් හෙළිදරව් වූ බටලන්ද වධකාගාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවී වසර ගණනාවක් ගතවී ඇතිබවත් කිසිදු ආණ්ඩුවකින් මේ සම්බන්ධයෙන් වරද කරුවන්ට දඩුවම් ලබානොදුන් බවත් මෙම කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙයට ඍජුවම සම්බන්ධ හිටපලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය ක්‍රියාත්ම කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාරදීමට අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පසුගියදා කටයුතු කළේය.
මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් රජය බරපතලයි ලෙස කටයුතු කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.වත්මන් රජයට පාර්ලිමේන්තුවේ 159 ක් මන්ත්‍රීවරුන් පිරිසක් සිටින නිසා ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ දී මෙම වාර්තාව සම්මත කර ගත හැකි බවත් කීවේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද සහ රටපුරා එවකට පැවති වධකාගාර සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු පුද්ගලයෙක් බව මෙම වාර්තාව මගින් හෙළි කර තිබෙනවා බවද සඳහන් කළේය.එනිසා බටලන්ද කොමිෂන් සභා වාර්තාව යළි විමර්ශන කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද සදහන් කළේය.අල්ජසීරා නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී බීබීසී වාර්තාකාරිනිය බටලන්ද කොමිෂන් සභා වාර්තාව පෙන්වූ විට රනිල් වික්‍රමසිංහ මහතා හැසිරෙන්නේ එම වාර්තාව ගැන කිසිදු තැකීමක් නොකර බවද එය පාර්ලිමේන්තුවේ අනුමත වී නැතිව නිසා තමා එම වාර්තාව පිළිනොගන්නා බව ද සදහන් කරන්නේ එබැවින් යැයි ද පැවසීය.එනිසා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනයන්ට ලක්වූ බටලන්ද සහ රටපුරා පැවති වධකාගාර සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමු කළ යුතු බව ද කීවේය.මෙම වාර්තාවේ නිර්දේශ තුළ වැරදිකරුවන්ට ප්‍රජා අයිතිය අහෝසි කිරීම ද සදහන් කර ඇති බව ද කුමාර් ගුණරත්නම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.