ශ්‍රී ලංකාවට ලොව දර්ශකවලින් ඉහල තැනක්..

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් සිදුකර තිබෙනවා.ලෝක ජනගහණයෙන් 99.7%ක් ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ Burkina Faso  අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පාකිස්තානයයි.ත්‍රස්තවාදී අවදානම වැඩිම රටවල් අතර තෙවන ස්ථානයට සිරිවයාව පත්වී තිබෙනවා.

මෙම දර්ශකයට අනුව අඩුම ත්‍රස්තවාදී අවදානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සියවන ස්ථානය හිමිවී ඇති බව සඳහන්.2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36වන ස්ථනායේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ පසුගිය වසර 5 තුළ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය නම්කර ඇති අතර 2019 වර්ෂයෙන් පසු අඛණ්ඩව ත්‍රස්ත තර්ජන අඩුවී ඇති බවයි අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන Condé Nast Traveler ට අනුව, 2025 සඳහා ලොව පවුල් සඳහා සංචාරය කිරීමට වඩාත්ම හිතකාමී රට ශ්‍රී ලංකාව බව අනාවරණය වී තිබේ.Condé Nast Traveler විසින් නිකුත්කරන ලද නව වාර්තාවක් මගින්, 2025 දී පවුල් වෙනුවෙන් හොඳම රට ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳවා ඇත.

“ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ මෙතරම් ඉහළින් ශ්‍රේණිගත කිරීම පුදුමයක් නොවේ – ඇත්ත වශයෙන්ම, එහි පිළිගැනීමේ ස්වභාවය, එළිමහන් ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමුකිරීම සහ පවුල්-හිතකාමී ශ්‍රී ලාංකික හෝටල් හේතුවෙන්, 2025 දී පවුල් වශයෙන් මෙගා ට්‍රිප් සඳහා යාමට අපගේ ප්‍රියතම ස්ථානවලින් එකක් ලෙස අපි ශ්‍රී ලංකාව නම් කළෙමු.මෙම රට ඇදහිය නොහැකි වනජීවීන්ට නිවහනක් වන අතර, විශාල ජාතික වනෝද්‍යාන සහ පුළුල් වෙරළ තීරයන් මෙන්ම සිත් ඇදගන්නාසුළු ඉතිහාසයක්, නිර්මාණාත්මක වෙරළ තීරයන්, රසවත් ආහාර සහ විශිෂ්ට සාප්පු සවාරි ද ඇත,” ශ්‍රී ලංකාව විස්තර කරමින් කොන්ඩේ නාස්ට් ට්‍රැවලර් පවසයි.

2025 දී වඩාත්ම පවුල් – හිතකාමී රටවල් වන්නේ;

1. ශ්‍රී ලංකාව
2. ස්වීඩනය
3. නෝර්වේ
4. නිව්සීලන්තය
5. අයිස්ලන්තය
6. ජර්මනිය
7. ෆින්ලන්තය
8. ඩෙන්මාර්කය
9. ඕස්ට්‍රේලියාව
10. ඇමරිකා එක්සත් ජනපදය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *