
අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත වැඩසටහන් මෙහෙයවීම හරහා මහත් මෙහෙයක් කල චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු එවන් ප්‍රජා සන්නිවේදනයක යෙදෙන චරිතයයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.
අද එහි දෙවන කොටසයි. පළමු කොටස ඔබට මේ දිගුවෙන් කියවන්න පුළුවන්.

මගේ ඊළග ප්‍රශ්නය වුයේ “ඇයි ඔබ කැනඩාවට පැමිණියේ” කියන එක. ඔහු ඉතා සන්සුන්ව කතාව නැවත පටන් ගත්තා, “අද මගේ බිරිඳ සහ එදා මගේ පෙම්වතිය වූ ජානකීගේ සොහොයුරු ජයන්ත විතාන පදිංචිව සිටියේ කැනඩාවේ. ඔහුගේ ආරාධනයෙන් ජානකීත් දෙමාපියනුත් කැනඩාවට පැමිණියා. මම ආවේ ඊට පසුව.
“මම මේක අවස්තාවක් කරගන්නවා, ප්‍රවීණ ලේඛක සෝමසිරි මුණසිංහ ගැනත් සඳහනක් කරන්න. ඔහුත් කැලණි විශ්ව විද්‍යාලයේ මගේ සමකාලීන මිත්‍රයෙක්. එදා ජානකී ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ උප කතුවරියක්. ඇය ප්‍රවීණ පුවත්පත් කලාවේදී රත්නපාල විතානයන්ගේ දියණිය. ජානකී සහ සෝමසිරි දෙදෙනාම සේවය කලේ Lake house ආයතනයේ කතෘ මණ්ඩලවල. සෝමසිරි සහෘදයා අනුයුක්තව සිටියේ Daily News උප කතුවරයෙක් හැටියට. 2023 ඔහු මිය යන තෙක්ම අප අතර තිබුනේ ඉතා සමීපතම මිතුදමක්”.

දැඩි ලෙස රෝගාතුර වූ සෝමෙ සුවපත් කරගැනීම සඳහා ඔහුගේ හිතවතුන් බොහොම දෙනෙක් මැදිහත් උනා, උදව් පදව් කළා. ඔහු මෙලොව හැර ගිය මොහොතේ ඔහුට ගෞරවනීය අවසානයක් ලබා දීම සඳහා ටොරොන්ටෝ මහා විහාරයේ විහාරාධිපති අහංගම රතනසිරි හිමියන්ගේ මග පෙන්වීමෙන් බොහෝ දෙනෙකුගේ උපකාර ලැබුනා. ඒත් එක්කම කැලණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය එම වගකීම සිය උර මතට ගනිමින් තම හිතවතා වෙනුවෙන් ප්‍රශංසනීය මැදිහත්වීමක් කළා.
“මම කැනඩාවට පැමිණියේ 1989 අප්‍රේල් මාසයේ. මෙහිදී තමයි අපේ විවාහය සිදුවුයේ. මගේ පැත්තෙන් සහභාගිවීමට කිසිවෙක් නොසිටියත් ජානකීගේ පැත්තෙන් බොහෝ ඥාතීන් සහ මිතුරන් එයට සහභාගී උනා. ඔවුන් අදත් අපේ මිතුරන්”. ඔහු එදා මංගල සභාව ඇමතූ ආකාරය බොහෝ දෙනාගේ සිත් ඇද ගත් බව මට දැනගන්නට ලැබුනා.
ඔහුට අප ශ්‍රී ලාංකික සමාජයේ විශේෂිත පුද්ගලයින් කිහිප දෙනා මුණ ගැහුනේ ටොරොන්ටෝ පන්සලට ගිය අවස්ථාවේ. ඒ තමයි මඩවල පුන්නජී හිමියන් සහ කුළුගම්මන ධම්මාවාස හිමියන්. ධම්මාවාස හාමුදුරුවන් සමග 1989 අප්‍රේල් මස මුලින්ම දුටුවදා ඇතිවූ ඒ පිවිතුරු සබඳතාවය අද එදාටත් වඩා ශක්තිමත්ව පවතින බවයි ඔහු මට සතුටින් පැවසුවේ. ඔහුත් සමග එකම කාලයේ විශ්ව විද්‍යාලයේ සිටි අහංගම රතනසිරි නායක ස්වාමීන්වහන්සේ කලකට පසු ටොරොන්ටෝ පන්සලේදී නැවත හමුවීම උපාලිට විශ්මිතවූ විශේෂ සිදුවීමක් වුවා.
ඔහු නැවත කතාව ආරම්භ කළා “ඉතා කුඩා ගොඩනැගිල්ලකින් ආරම්භ කර, ක්‍රම ක්‍රමයෙන් දියුණුවු ටොරොන්ටෝ සහ ඒ අවට ශ්‍රී ලාංකික කැනේඩියානු නගර වාසීන්ට මුදුන්මල් කඩක්වූ ටොරොන්ටෝ විහාරය බිහි කලේ දහමට ලැදි ශ්‍රී ලාංකිකයින්ගේ ආධාරයෙන් උපකාරයෙන්. ළඟදීම වැඩ නිම කිරීමට නියමිත ටොරොන්ටෝ මහා විහාරයේ නව සංඝාවාසය විහාරස්ථානයට මහඟු වටිනාකමක් එකතු කරනවා. ඒ ආකාරයෙන්ම, කුළුගම්මන ධම්මාවාස ස්වාමීන්වහන්සේ ටොරොන්ටෝ නගරයේ සිට මිසිසාගා නගරයට පැමිණ, සියලුම සැදැහැවතුන්ගේ උපකාරයෙන් ඉතා සුළුවෙන් ආරම්භ වූ විහාරස්ථානය, අද West End Buddhist Centre නම්වූ සුප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙනවා. 2025 මැයි මස විවෘත කිරීමට නියමිත චෛත්‍ය රාජයන්ට කොත් පැළඳ වීමෙන් මිසිසාගා විහාරයද පරිපුර්ණ විහාරස්ථානයක් බවට පත්වේවි. මේ විහාරස්ථාන දෙකම සියලු බෞද්ධ මෙන්ම අබෞද්ධ බැතිමතුන්ගේත් ප්‍රජා මධ්‍යස්ථානයන් බවටත් පත් කරගත්තේ ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනක අවසන් ප්‍රථිපලයක් ලෙසට. අප මේ විහාරස්ථාන දෙකම සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වා ගෙන යනවා” යැයි උපාලි රණසිංග මැතිතුමා ඉතා ප්‍රමෝදයෙන් අවධාරණය කළා.
මගේ ඊළඟ ප්‍රශ්නය වුයේ ඔහුගේ කැනේඩියානු රැකියා සම්බන්ධව. ඔහු ඉතා තෘප්තිමත් කට හඬකිනුයි පිළිතුරැ දුන්නේ. මා ඇවිත් මාස දෙකකින් පමණ මට රැකියාවක් ලැබුනා. මම එතැන නොකඩවා අවුරුදු 31ක් Cost Analyst කෙනෙකු වශයෙන් සේවය කලා”. අදටත් මම එම ක්ෂේත්‍රයේම රැකියාවක නිරත වෙනවා.
මම ආපු කාලේ ඇලෝයි පෙරේරා සහ සරත් චන්ද්‍රසේකර මහත්වරුන් එකතුව “ශ්‍රවණ රමණී" නම්වූ රේඩියෝ වැඩසටහනක් පටන් ගත්තා. ඒ වැඩසටහන සදහා කාන්තා නිවේදිකාව ලෙසට මගේ බිරිඳ ජානකීටත් ආරාධනා ලැබුනා. එම කාලයේම ආචාර්ය රිචර්ඩ් තිලකරත්නයන් මෙහෙයවූ Sounds Of Paradise රුපවාහිනී වැඩ සටහනේ කාන්තා නිවේදිකාව වුයේ ජානකී.
ඒ වගේම ලංකාවේ සුපසිද්ධ චිත්‍රපට නිෂ්පාදකයෙක් මෙන්ම කැසට්පට නිෂ්පාදනයේ පුරෝගාමියා වූ විජය රාමනායකගෙන් උපාලිටත් ජානකීටත් ආරාධනාවක් ලැබුනා ඔහුගේ “තරංගා රංග තරංග” රේඩියෝ වැඩ සටහනේ නිවේදකයින් ලෙසට කටයුතු කිරීමට. බොහෝ විවිධ දේවලට, ඒ කියන්නේ වෙළෙඳ දැන්වීම්, විශේෂ අමුත්තන් සමග සාකච්චා, ලංකාවෙන් මෙරටට පැමිණෙන සංගීත ශිල්පීන් සමග සාකච්චා එයට ඇතුල් උනා. ඒ වැඩසටහන ඔහුටත් ජානකීටත් ඉතාමත් තෘප්තියක් ගෙන දුන් කර්තව්‍යක් බව ඔහුගේ කට හඩින්ම පිළිබිඹු උනා.

ඒ යුගයේ වන්නි ධනවර්ධන, රංජිත් වික්‍රමසිංහ මහත්වරුන් තමයි වැඩිපුරම කැනඩාවට ප්‍රවීණ කළා කරුවන් ගෙන්වා තිබෙන්නෙ. ඊට අමතරව, විජය රාමනායක, රොනී රත්නායක, අජිත් ගෝමස් ඇතුළු බොහෝ දෙනෙක් සංගීත සංදර්ශන පැවැත්වුවා. ඒ පැමිණි කලාකරුවන් අතර පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනී, ගුණදාස කපුගේ, සනත් සහ මල්කාන්ති නන්දසිරි, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, කීර්ති පැස්කුවෙල්, සමන්ද සිල්වා, නිරෝෂා විරාජිනී, නීලා වික්‍රමසිංහ, ටී.එම්. ජයරත්න, ජෝ අබේවික්‍රම ලතා වල්පොල, සුජාතා අත්තනායක, ප්‍රෙඩී සිල්වා, නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසුරිය, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, රෝහණ බැද්දගේ, බන්දුල විජේවීරයන්ද වුවා. රෝහණ වීරසිංහ, ජගත් වික්‍රමසිංහ, මනෝජ් පීරිස් වැනි සංගීතඥයින් ලඟින් ඇසුරු කිරීමටද ඔහුට අවස්තාව ලැබුනු බව ඔහු විශේෂයෙන්ම සදහන් කළා. බොහෝ විට වන්නි ධනවර්ධනගේ සංදර්ශනවල සංගීත සංදර්ශන වේදිකාව මෙහෙයවීමට සහ වේදිකා සැරසීමට උපාලිටත් ජානකීටත් පැවරුණා. මේ සුප්‍රසිද්ධ කලාකරුවන් පෞද්ගලිකව හඳුනා ගැනීමට ලැබුණු අවස්ථාවන් භාග්‍යයක් ලෙසයි උපාලි සැලකුවේ.
මේ මුණ ගැසීම් මැද්දේ ඔහු එක කළා කරුවෙක් සම්බන්ධව ඉතාමත් සංවේදී මතකයක් එකතු කළා, “විශාරද කපුගේ පැමිණි අවස්ථාවේ වන්නිගේ ඉල්ලීම පිට මට බොහෝ දේට මැදිහත් වෙන්න සිදු උනා. සංදර්ශනය අවසානයේ, ඉතාමත් වෙහෙස වූ මම වේදිකාව පිටුපස පුටුවකට බර දුන්නෙ මොහොතකට හුස්ම පොදක් ගන්න. මාව දැක්ක කපුගේ මම ලගට ඇවිත් මෙහෙම කිව්වා, “මල්ලි මට ඔයාට දෙන්න දෙයක් නැහැ, මෙන්න මේක තියා ගන්න කියලා ඔහු ඇඳ සිටි දාඩියෙන් පෙගුන කුර්තාව මගේ අතේ තිබ්බා. ඒක මට හරිම සංවේදී මොහොතක් උනා. කපුගේ කියන්නේ මට මහා පුරුෂයෙක්, මගේ ජීවිතයට මුණ ගැසුන මිල මුදලට ගැති නොවනා උසස් පෞරුෂයක් ඇති සුන්දර මිනිසෙක්. අදටත් මම ඒ කුර්තාව ආදරයෙන් ආරක්ෂා කරනවා”. සෑම කලාකරුවෙක් සමගම ඔහුට තිබුනාවූ අතිශයින් පෞද්ගලික ඉතා සුන්දර මතකයන් මා සමඟ බෙදා ගත්තෙ ඉතා සතුටින්.
උපාලි සහ ජානකී ඔවුන්ගේ විවේක කාලයෙන් වැඩිපුරම කාලයක් ගතකලේ මේ පොදු වැඩවලට. එවකට දරුවනුත් නොසිටියා වගේම ජානකීගේ අම්මා ගෙදර සියලු කටයුතුවල වගකීම භාර ගෙන සිටි නිසා ඔවුනට ඒ සෑම දෙකටම සම්බන්ධවීම පහසු උනා.
උපාලි ආයෙත් කටහඩ අවදි කළා, “ඒ කාලයේම තමයි මිසිසාගා පන්සලට ආධාර සදහා දහම් පාසල් දරුවන් සහ දායකයින් සම්බන්ධ කරගෙන “රසාංජලී” නම්වූ සංස්කෘතික සංදර්ශනයක් පැවැත් උනේ. මුදිත හාමුදුරුවො මෙවැනි කළා වැඩවලට දැක්වුයේ විශේෂ උනන්දුවක්. වසර 3 ක් එක දිගටම රසාංජලී සංදර්ශනය පැවැත්වුවා. සංදර්ශනය අවසාන අංගය ලෙස නාට්‍යයක් පැවැත්වීමත් එහි විශේෂාංගයක් උනා. ජානකී රචනා කල “රාස්සයන් කන පරාස්සයන්” ඉන් එක නාට්‍යයක්. මා එහි පොතේ ගුරා ලෙස රඟපෑ අතර විජිත් විතාන සහ ඩග්ලස් කරුණාරත්න එහි ප්‍රධාන චරිත නිරුපනය කළා. පසුව එය දෙවන වර වේදිකා ගත කරනවිට යකාගේ චරිතය පණ පෙව්වේ රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ නාට්‍යකරු බන්දුල කුරුවිටආරච්චි. එහි අප කල ගායනා ගැන පැහැදී, පසුකාලීනව ඔහු නිෂ්පාදනය කල “හුටප්පරේ” නාට්‍යයේ පසුබිම් ගායකයෙක් ලෙස මාවද තෝරා ගත්තා”. ඒ සෑම සංදර්ශනයකටම සංගීතය සැපයුවේ ප්‍රවීණ සංගීතඥ සුනිල් ජයසිරි. ඒ සඳහා ගායනයෙන් සහ වාදනයෙන් ප්‍රවීණ කළා ශිල්පිනී දීපා හෙට්ටිගේ ගෙන් ලැබුනේ මහත් සහයෝගයක්. සුනිල්ට තියෙන්නෙ වයලීනය, බෙරය, සර්පිනාව, තබ්ලාව වැනි සෑම තුර්ය භාණ්ඩයක්ම වාදනය කල හැකි විශිෂ්ඨ සංගීත ඥානයක්. සංචාරයක් සදහා කැනඩාවට පැමිණ සිටි ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල “සපත්තු” වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරදී අපේ තුන්වැනි “රසාංජලී”සංදර්ශනය ආලෝකමත් කළා. ප්‍රවීණ රංගධර අජිත් ජිනදාසයන්ද එහි ප්‍රධාන චරිතයක් නිරූපනය කළා.
ඉන් පසුව, අජිත් ජිනදාසගේ යෝජනාවක් අනුව ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත්ගේ වේදිකා නාට්‍යයක් වන, “දිවැස හෙලනු මැන” කැනේඩියානු නළුවන් යොදා දර්ශන වාර දෙකක් Toronto නගරයේත් එක දර්ශනයක් Ottawa හිදීත් ඉතා සාර්ථකව රඟ දැක් වුවා. එයට උපාලි, අජිත් සහ සේනාධීර කුරුප්පුගේ බාල පුතනුවන් වන එරංග කුරුප්පු, දීපා සහ තවත් අය සම්බන්ධ උනා.
උපාලි රණසිංහයන්ගේ ඊළඟට සිහිපත් කලේ සිංහල සංගමයේ ලේකම් වීම. නීතීඥ දොන් පතිරාජ, නීතීඥ මෙල්වින් බොරලැස්ස, වන්නි ධනවර්ධන යන මහත්වරු තමයි වරින්වර සභාපතිත්වය දැරුවෙ. 2000 දී, සිංහල සංගමය ප්‍රථම වතාවට කැනඩාවේ බක් මහ උළෙලක් ආරම්භ කලා. කොට්ට පොර, කඹ ඇදීම, ග්‍රීස් ගහේ යාම වැනි සම්ප්‍රදායික ක්‍රීඩා ද ඇතුලත්වු මේ උළෙලෙහි චාරිත්‍ර වාරිත්‍ර සිදු වූයේ ලංකාවේ සිදුවන ආකාරයටමයි.

2016 දක්වාම සෑම අප්‍රේල් මාසයකම අංග සම්පූර්ණව පැවැත්වූ මෙම උළෙල තම මව් රටේ වියෝවෙන්, ලාංකිකයින්ගේ හදවත් තුල සැඟව තිබූ වේදනාත්මක හුදෙකලාව මඟ හරවා ගැනීමට විශාල රුකුලක් වුවා. අදටත් එම උත්සවය සිංහල සංගමය මගින් නොකඩවා පවත්වාගෙන යනවා.
උපාලි රණසිංහයන්ගේ විවිධ පොදු සමාජ පරිචයන් පිලිබඳ අවබෝධයෙන් පසුව ඔහුගේ පෞද්ගලික දිවිය සම්බන්ධ මගේ පැණයට පිළිතුර වුයේ, “අපගේ සෑම කර්තව්‍යකදීම සෙවනැලි සේ අප පිටුපසින් සිටියේ ජානකීගේ දෙමව්පියන්. ඔවුන්ගේ වයෝවෘධ අවධියේදී, මගේ බිරිඳ ජානකී ඔවුන් රැක බලා ගත්තේ භක්තියෙන් සහ කැපවීමකින්. ඒ ගැන අප දෙදෙනාටම තියෙන්නේ තෘප්තියක්. කැනඩාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශ අවසන් වසරේ(High School) සිටින මගේ දියණිය නදී රණසිංහත් අපගේ කළා ජීවිතවලට බොහෝ කැමැත්තක් දක්වනවා. අද ඇය දහම් පාසලේ අවසන් විභාගයද සමත්ව සහකාර ගුරුවරියක් ලෙස ටොරොන්ටෝ දහම් පාසැලට උපකාර කරනවා. ඒ වගේම ඇය පළාත් මට්ටමේ soft-ball ක්‍රීඩිකාවක්. මට ඇය රටක් රාජ්‍යයක් දිනිය යුතුයි කියනා සිහින නැහැ. නමුත් ඇය සමාජයට වැඩදායක යහපත් පුරවැසියෙක් විය යුතුයි කියනා බලාපොරොත්තුව තියෙනවා”. ඇත්තටම ඇය සම්බන්ධව උපාලිට ඇත්තේ ප්‍රෞඪ පියෙක් කියනා හැගීම.
ඔහු එයටම ඔහුගේ පොදු සිහිනය ගැන යමක් කීමට අමතක කලේ නැහැ “අප ඉතා දිගු කලක මේ රට ජීවත් උනත්, අපේ නාඩිවල දුවන්නෙ ලාංකික ලේ. එදා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසත් පසුකාලයේ ඉන්දියන් සාගරයේ කඳුල ලෙසත් නම් දැරූ මගේ මව්බිම, ඉතාමත් සශ්‍රීක වටිනා භූමියක්. ඒත් දශක ගණනාවක් තිස්සේ අපේ මිනිසුන් දුක් විදිනවා. ඒ ගැන මට තියෙන්නේ විශාල කනගාටුවක්. යමක් පෞද්ගලිකව ලබා ගැනීමේ අරමුණක් සපථ කර ගැනීමකට වඩා සමාජයේ පුරවැසියන්ට යහපත් ජීවිතයක් ලබාදීමේ උත්තරීතර අරමුණින් ගොඩ නැගුනු වාමාංශික දේශපාලනයයි මම අදත් අදහන්නෙ. 1956 න් පසුව, රටේ ඓතිහාසික වෙනසක් සිදු උනා. ඒ ගැන මම සතුටු වෙනවා. ඔවුන් පැමිණියේ අති දුෂ්කර ගමනක්, ඒ වගේම ඔවුන් අභියස ඇත්තේ ඊටත් වඩා දුෂ්කර අභියෝගයක්. ආණ්ඩුව IMF ආර්ථික වැඩපිළිවෙල සමඟ ඉදිරියට යන්නේ නම් එය ජනතා අපේක්ෂාවන් සමඟ ගැටීමකට යාම වැළක්විය නොහැකියි. එය කෙසේ කළමනාකරණය යන්න මත ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වෙනවා. වාමාංශික ප්‍රගතිශීලී උරුමයන් ඉදිරියට ගෙන යමින් මේ රජය අපේ රටේ පුරවැසියන්ට යහපත් හෙට දවසක් උදා කර දේවි යැයි අප විමසිල්ලෙන් බලා සිටිනවා මෙන්ම එය එසේ වේවා යැයි’ද ප්‍රාර්ථනා කරනවා”, ඒ වචනවල ගැබ් වුයේ ඉතාමත් අවංක බවක්.
උපාලි රණසිංහයන් සියළු ආකාරයෙන් තම ජීවිතයේ අරමුණු සපථ කරගත්තා යන හැඟුම මට තිබුනත්, සෑම විටම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මා අසන ප්‍රශ්නය වන, “ඔබගේ සිහින මොනවාද” යන්න අදත් සුපුරුදු පරිදි විමසුවා. ඔහු ඉතාමත් බැරෑරුම්ව සහ ඥානාන්විතව මෙහෙමයි වචන ගැට ගැසුවේ, “ඉතිහාසය සෑම පුද්ගලයෙකුටම යම් දෙයක් උරුම කර තිබෙනවා, ඒ උරුමයන් පසුබිම් කරගෙන පරාර්ථකාමීව තමා හුස්ම ගන්නා වටපිටාවට යමක් කිරීමයි කල යුත්තේ, මම හිතනවා මිනිසකු ලෙසට මම ඒ යුතුකම මට හැකි පමනින් ඉටු කළා සහ අදටත් ඉටුකරනවා කියලා. මගේ දියණිය යහපත් දිවියක් ගෙවනවා දැකීම සහ මා ඉපදුනු රටේ විමුක්තිය ඇරුනහම වෙන සිහින මට නැහැ” ඔහු නිහඩ වුයේ දිගු හුස්මකුත් පිටකරමින්.
මගේ ඊළඟ ප්‍රශ්නය උනේ, “ ඔබට මග හැරුණු සිහින තිබෙනවාද” කියන එක. ඔහු සෙමින් කටහඩ අවදි කළා “ඇත්තටම නැහැ, ලංකාවේ සිටියදී, සාර්ථක අධ්‍යාපනයක් ලැබුවා, තෘප්තිමත් රැකියාවක් කළා. මුලින්ම මම මගේ ජීවිතය ශක්තිමත් කර ගත්තා. ඊට පස්සෙ ඒ ශක්තිය තුලින් මට හැකි පමණින් සමාජයට යමක් කිරීමට මම උත්සාහ කළා. බිලියන ගණනක් ඉපදී මැරී යන මේ ලෝකයේ සමාජය හඳුනන්නේ ඉතා අතලොස්සක් දෙනෙක්, ඇතැමුන්, ඉපදී තම පෞද්ගලික අභිමතාර්ථයන් පමණක් මුදුන්පත් කරගෙන මිය යනවා. ඒ අර්ථයෙන් සමාජය වෙනුවෙන් කැපවෙන, සමාජයේ පොදු අරමුණු වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් ගැන මට ඇත්තේ මහත් ගෞරවයක්. අපත් යහපත් සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් තරුණ කාලයේ ජීවිතයේ බොහෝ අවදානම් දේට අත ගැසුවා, මගේ ජීවිතය අනුනවයෙන් බේරුන අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ නිසා මට සිහින මග හැරුනා කියලා කියන්න බැහැ”.
ඉතා තැන්පත් සහ නිවුණු හඩින් ඔහුගේ වර්තමාන දිවිය සම්බන්ධව තොරතුරු බිදක් මා සමග බෙදා ගත්තේ මෙහෙමයි. “අපි සෑම සන්ධ්‍යාවකම රුපවාහිනියේ වටිනා නිර්මාණ නරඹනවා, උසස් චිත්‍රපට, ටෙලි නාට්‍යය, සංස්කෘතික වැඩසටහන්, ශාස්ත්‍රීය දේශන සහ සාකච්චාවලට ඇහුම්කන් දෙනවා. ඒ වගේම අපි සංචාරය කිරීම සදහාත් සෑම ඉඩ ඇති අවස්තාවක්ම යොදා ගන්නවා. ගිම්හානයේ, ගෙවත්තේ වගා කිරීම තමයි මගෙත් ජානකීගේත් ප්‍රියජනකම විනෝදාංශය. “කළා කවය” මගින් අපේ ගෙවත්ත සම්බන්ධව විශේෂ වැඩසටහනක් කළ අතරේම මා සමග ඒ පිළිබඳව සාකච්චාවක්ද කළා, ගස් වැල් වලට සතා සීපාවන්ට ආදරය කිරීමෙන් ජීවිතයට ලැබෙන සතුට අප්‍රමානයි”.

“නිමල් පෙරේරා නම්වූ ගැඹුරු රසාඥාතාවයක් තිබු කලාකරුවා නිෂ්පාදනය කල මමත් ජානකීත් නිවේදන කටයුතු කල රුපවාහිනී වැඩසටහන තමයි “පෙරදිග මුතු ඇටය”. පසුව “කළා කවය” බවට පත් වූ ඒ වැඩසටහන ඉතාමත් ජනප්‍රිය උනා. ඒ වෙනුවෙන් නිර්මාණය කල ඓතිහාසික හා සංස්කෘතික වැඩසටහන් සදහා බොහෝ කරුණු සොයා දුන්නේ ජානකීගේ පියා. ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් ලෙස ජීවිත කාලයක් ඔහු පරිහරණය කල වටිනා පොත්පත් සඟරා සිය ගණනකින් සමන්විත ඔහුගේ පුස්තකාලය අපට ඉතිරි කර ගිය වටිනාම දායාදය වගේම එය අප නිවසේ තිබෙන වටිනාම සම්පත ලෙස අප සලකනවා”. ඒ වගේම රංජීත් වික්‍රමසිංහයන්ගේ Voice of Lanka වැඩ සටහනටත් අප නිවේදනයෙන් සම්බන්ධ උනා.
මගේ අවසානම ප්‍රශ්න උනේ, “අපි මෙහෙම උපකල්පනය කරමු, යම් දිනක ආපසු අතීතයට ගොස් පුංච් ගැමි දරුවාගේ අවධියට යාමට ඔබට අවස්තාවක් ලැබුනොත් ඔබ ඒ මහඟු අවස්තාව සර්වප්‍රකාරයෙන්ම ඉටු කර ගන්නේ කෙසේද? මම හිතන්නෙ මොහොතකට හෝ මම ඔහුට ඉතා සුන්දර සිහිනයක් දකින්න අවස්ථාවක් දුන්න කියලා. සුළු නිහැඩියාවකට පසු ඔහු පිළිතුරු දුන්නා, “මට අද වගේ මතකයි, අපි හුස්ම ගත් නිල්ලෙන් වැසුණු කුඹුරු යායෙ තාත්තා එක්ක කුඹුරු කොටපු හැටි, හරකුන් යොදාගෙන කමතේ ගොයම් පාගපු හැටි, රෑ නිදිමරාගෙන පැල් රැකපු හැටි, මට ඒවා කරන්න ආයෙම ආසයි, වැවට පැනලා වැවේ එගොඩ මෙගොඩ පීනලා මහන්සි උනාම තැඹිලි ගෙඩියක් බොන්න ආසයි, ඒ වගේම අපිට අද මග හැරී ගිය අපේ ගම් දනව්වල අපේම මිනිසුන් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්නත් තියෙන්නෙ පුදුම ආසාවක්”.
අවසානයේ උපාලි රණසිංහයන් පැවසු දේවලින් සහ ඔහුගේ ඇවැතුම් පැවැතුම් වලින් අපට උකහා ගත හැකි කරුණු කිහිපයක් තියෙනවා. ඔහුට කථිකත්වයට උරුමයක් තිබුනද, සාපේක්ෂව ඔහු උපයා ගත් හැකියාව එයට වඩා බොහොමයක් වැඩියි. තමාට යමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන ඒ සදහා වෙහෙස මහන්සි වී කටයුතු කලයුතු බව ඔහු අපිට ආදර්ශයෙන් පෙන්වා දී තිබෙනවා.
මිනිස් ආත්මයක් ලැබූ අපේ සහ අනිකුත් ජීවීන්ගේ ආශ්චර්යාත්මක වෙනස වන්නේ මිනිසාට ඇති පරිකල්පන හැකියාවයි. එමනිසා අවදානමක් තිබුනද, මේ ජීවත්වන කෙටි කාලයේ මනුෂ්‍ය වර්ගයාට ලැබුනාවූ ඒ දායාදය සමාජ ප්‍රගමනය සදහා යෙදවීමේ උදාර යුතුකම අප දෙඋර මත වැටී තිබෙනවා. තමාගේ සුභසිද්ධිය පමණක් නොසලකා අප උපත ලැබූ ලෝකයට වඩා අප හැර යන ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමේ සදාචාරාත්මක බැඳීමක් සහ යුතුකමක් අපට තිබිය යුතුයි නොවේද?
ඔහුගේ සිහින ලෝකයේ බලාපොරොත්තු සැබෑ වේවා යයි ප්‍රාර්ථනා කරනා අතරම, අදටත් මාධ්‍ය සහ කළා කර්තව්‍යන්හි යෙදෙන උපාලි රණසිංහයන්ට ඒ සදහා ශක්තියත් ඔහුගේ කැදැල්ලෙහි ගෙවනා සුන්දර දිවියට ආශීර්වාදයත් පල කරමින් ඉතාමත් සුහදශීලීව ගෙවුණු පැය කිහිපය නිමාකර අපේ දුරකථන සංවාදය නිමකළා.
අවසාන වශයෙන් “අප අපේ ජාතියට ආගමට සහ සංස්කෘතියට ආදරය කරනවා මෙන්ම අනිකාගේ අයිතියත් අප පිළිගත යුතුයි, ඒ අයිතියට අපි ගෞරව කලයුතු යැයි” උපාලි සඳහන් කල අදහස හැම කෙනෙක්ම විශ්වාස කරන්නේ නම් ලෝකය කෙතරම් සුන්දර තැනක් වේදැයි” මම ලියා තබමි.