‘ද සවුන්ඩ් ඔෆ් මියුසික්’ සහ ‘ඩොක්ටර් ශිවාගෝ’

'ද සවුන්ඩ් ඔෆ් මියුසික්'

'රොබට් අර්ල් වයිස්', ඇමරිකානු සිනමාවට පැමිණියේ 1944 දී පමණය. ඒ 'වැල් ලෙව්ටන්' නිශ්පාදනය කළ 'ද කර්ස් ඔෆ් ද කැට් පීපල්' යන චිත්‍රපටයෙනි. එයද ඔහුට ලැබූ අහඹු අවස්ථාවකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක වරයා වූයේ 'ගුන්තර් වයිස්' ය. ඔහු චිත්‍රපටයේ මුල් කොටස අධ්‍යක්ෂණය කරනා විට, නිශ්පාදක සමඟ ඇතිවූ මත ගැටුමකින් ඔහුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත් කෙරීය. එම හිස්තැන පිරවීමට ආ අධ්‍යක්ෂක වරයා වූයේ 'රොබට් වයිස් ය'. එතැන් සිට ඔහු 1989 වන තෙක් පුරා අව්රුදු 45 ක් ඇමරිකානු සිනමාවේ නියැලි චිත්‍රපට 39 ක් සහ රූපවාහිනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එලෙසම චිත්‍රපට 12ක සංස්කරණ ශිල්පියෙකු ලෙසද තම සේවය බෙදා දුනි. ඔහු සංස්කරණය කෙරූ චිත්‍රපට අතර ලෝකයේ සුප්‍රසිද්ධ වූ, 'සිටිසන් කේන්' 'ද හන්ච් බෑක් ඔෆ් නෝට්‍රෙ ඩේම්' ද විය.

ඔහු අධ්‍යක්ෂණය කෙරූ චිත්‍රපට අතරින් වඩාත්ම කථා බහට ලක්වූ, එමෙන්ම විශාලතම ආදායම් ඉපයූ ⁣චිත්‍රපට දෙකක් විය. එයින් එකක් 'වෙස්ට් සයිඩ් ස්ටෝරි' ය. අනෙක් චිත්‍රපටය, අද, මෙම ලිපියට පාත්‍රවන ' ද සවුන්ඩ් ඔෆ් මියුසික්' ය.

ඇමරිකානු ඩොලර් මිලියන 8.2 ක ඇස්තිමේන්තුවකට නිර්මාණය වූ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' මුල් වටයේ ඉපැයීම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 286.2 කක් වැනි විශාල මුදලකි. මෙය ලෝකයේ වඩාත්ම ආදායම් ඉපයූ චිත්‍රපට ලැයිස්තුවේ තවමත් මුල් පෙලේ තිබෙන චිත්‍රපටයකි. එය 1965 වසරේ වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය විය. එලෙසම එම තත්වය, අව්රුදු 5 ක් යන තෙක්ම තබා ගැන්මට මෙම චිත්‍රපටයට හැකි විය. එලෙසම එය රටවල් 29 කම ආදායම් අතින් කලින් තබා තිබූ බොක්ස් ඔෆිස් වාර්ථා බිඳ හෙළීමට සමත් වූ අතර, එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උළේලේ දී සම්මාන 5 ක් දිනා ගැන්මට සමත් විය.

'ද සවුන්ඩ් ඔෆ් මියුසික්', චිත්‍රපටයට නැංවූයේ 'හෝවාර්ඩ් ලින්ඩසි, සහ රසල් ක්‍රෝස් විසින් ලියූ එම නමින්ම පල කල නවකථා පොතක් ආශ්‍රිතවය. එයට මාරියා වොන් ට්‍රැප් ලියූ 'ද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමලි සින්ගර්ස්' යන පොතෙන්ද ඇතැම් කරුණු උපුටා ගතී. එලෙසම මෙය මුලින්ම එනම් 1959 වසරේදී සංගීත වේදිකා නාට්‍යයක් ලෙස රඟදැක්විය. එහී සංගීතය මෙහෙවූයේ රිචඩ් රොජර්ස් ය. චිත්‍රපටයේ ද සංගීතය මෙහෙය වූයේ රිචඩ් රොජර්ස් මය. ඔහු මෙයට අර්වින් කොස්ටල් ගේ වාද්‍ය වෘන්දියද එකතු කර ගතී. මෙහී එන සියලු ගීත රචනා කළේ ඇමරිකාවේ සම්මානනීය ගී රචකයෙකු වූ ඔස්කාර් හැමර්ස්ටේන් ය.

වර්ෂ 1962 දී, ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රපට සමාගමේ සභාපති රිචඩ් ඩී සනූක් විසින් අර්නස්ට් ලෙහෙමන් නම් තිර රචකයාගේ සේවය ගත්තේ, 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' නම් වූ සංගීත නාට්‍ය චිත්‍රපටයකට හැර වීමටය. ලෙහෙමන් එම සංගීත වේදිකා නාට්‍යයේ ගීත ගෙන එය වේදීකාවෙන් සිනමාවට රැගෙන ආවේ එහී දර්ශනීය පසුතල සකස් කරමිනි. ඔහු එම පසුතල බොහෝමයක් උකහා ගත්තේ ඕස්ට්‍රියා වේ ඇල්ප්ස් කඳුපාමුල දර්ශන ආශ්‍රිතවය.

ලෙහෙමන් පියවරෙන් පියවර, නාට්‍යය සිනමාවට සරිලන සේ තිරනාටකය සකස් කරනාතුර, චිත්‍රපටයේ නිශ්පාදක රිචඩ් ඩී සනුක් ,ලෙහෙමන් සමඟ එක්වී චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂක වරයෙකු සෙවීය. ලෙහෙමන් මුලින්ම යෝජනා කළේ අධ්‍යක්ෂක රොබට් වයිස් වය. ඒ ලෙහෙමන් ඔහු සමඟ 'වෙස්ට් සයිඩ් ස්ටෝරි' චිත්‍රපටයේ වැඩ කර තිබූ නිසාය. එහෙත් ඔහු 'ද සෑන්ඩ් පෙබල්ස්' නම් චිත්‍රපටයේ රූ ගත කිරීම් සඳහා කාර්ය බහුල වී සිටි නිසා, ලෙහෙමන්ගේ ඒ ඉල්ලීම කාරුණීකව ප්‍රතික්ෂේප කරන්නට සිදු විය. ඉන්පසු ඔවුන් දෙදෙනා මෙය අධ්‍යක්ෂණය කිරීමට අධ්‍යක්ෂක වරුන් කීප දෙනෙක්වම යෝජනා කළහ. ස්ටැන්ලි ඩොනෙන්, වින්සන්ට් ජේ. ඩොනෙහූ, ජෝර්ජ් රෝයි හිල්, සහ ජීන් කෙලී, ඒ අතර විය.

1963 වසරේ ජනවාරි මාසයේ දී, ලෙහෙමන් විසින් ඔහුගේ ප්‍රියතම අධ්‍යක්ෂක වරයෙකු වූ, 'විලියම් වේයිලර්' ට ආරාධනා කළේ ඔහු සමඟ නිව්යෝක් නගරයට ගොස් බ්‍රෝඩ්වේ සංගීත ප්‍රසංගය නැරඹීමටය. එම ප්‍රසංගය නැරඹු පසු විලියම් වේයිලර් කීවේ, ඔහු එම ප්‍රසංගයට කිසිසේත් ප්‍රිය නොමැති බවය. එහෙත් සති දෙකක් තුල එම ප්‍රසංගය චිත්‍රපටයකට නැංවීමේ අදහසට විලියම් වේයිලර් ව නම්මා ගැන්මට, ⁣ලෙහෙමන්ට හැකි විය. වේයිලර් පසුව, චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට එකඟ විය. රොජර් එඩන්ස් නම් සංගීත උපදේශක වරයෙකු ගේ සේවය ලබා ගන්නට නිර්දේශ කරගත් පසු, වේයිලර්, ලෙහෙමන් හා එඩන්ස්, සල්ස්බර්ග් බලා පිටත් වුයේ චිත්‍රපටයේ රූ ගත කිරීමට අවශ්‍ය ස්ථාන නැරඹීමටය.

ඉන්පසු, ලෙහෙමන් තම තිරනාටකයේ පළමු පිටපත, වේයිලර්ට දුන් පසු, ඔහු එය කියවු අතර, එහි කිසිදු දෙයක් කප්පාදු කිරීමක් හෝ අලුත් කිසිවක් එකතු කිරීමක් අනවශ්‍ය බව කියා සිටියේය. ඒ අතරේදී ලෙහෙමන් එම තිර නාටකයේ පිටපතක් රොබට් වයිස්ට යැව්වේ,මෙම චිත්‍රපටය රොබට් වයිස්ම අධ්‍යක්ෂණය කිරීම ලෙහෙමන්ට උවමනා කමක් තිබූ නිසාය.

පසුව එම මස මැද දී වේලර් ගේ නියෝජිතයා චිත්‍රපටයේ නිශ්පාදක රිචඩ් ඩී සනුක්ට අමතා ඇසුවේ චිත්‍රපටය පටන් ගැන්මට තවත් ප්‍රමාද වන්නේ නම්, වේයිලර්ට අධ්‍යක්ෂණය කිරීමට ලැබී තිබෙන 'ද කලෙක්ටර්' චිත්‍රපටය පටන් ගත හැකිය කියාය. එයට සනුක් කීවේ, වේයිලර්ට ඒ චිත්‍රපටය කරන ලෙසටත්, තමාගේ චිත්‍රපටයට ⁣වෙනත් අධ්‍යක්ෂක කෙනෙක් ව ගත හැකි බවක්ය. 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට විලියම් වේලර්ට අහිමි වූයේ ඒ අයුරිනි.

ඒ අතරේදී, රොබට් වයිස් විසින් අධ්‍යක්ෂණය කිරීමට සිටි 'ද සෑන්ඩ් පෙබල්ස්' චිත්‍රපටය කල් ගිය නිසා, ඔහු ලෙහෙමන් දුන් තිර නාටකය කියවා බැලීය. එය ඔහුගේ සිතට තදින්ම කා වැදුණු නිසා, එය අධ්‍යක්ෂණය කිරීමට රොබට් වයිස් එකතු විය. 1963 ඔක්තෝබර් මාසයේ ඔහු නිල වශයෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම භාර ගතී. ඉන් පසු ඔහුද ලෙහෙමන් හා ඔහුගේ නිශ්පාදන හා කාර්මීක කණ්ඩායම, රූ ගත කරන ස්ථාන නැරඹීමට ගියහ. පෙර විලියම් වෙයිලර් විසින් නැරඹූ ස්ථානද වයිස් විසින් නැරඹීය.

ඉන්පසු ලෙහෙමන් ඔහුගේ තිර රචනයේ දෙවන පිටපත රොබට් වයිස්ට දුන් අතර, එය ඔවුන් දෙදෙනා එකතු වී අවශ්‍ය වෙනස් කම් සිදු කළහ. චිත්‍රපටයට නළු නිළියන් තේරීමෙදී, ලෙහෙමන් ට උවමනා වූයේ 'මරියා' ගේ චරිතයට, ජූලි ඇන්ඩෘස්ව ගැනීමට ය. එලෙසම ග්‍රේස් කෙලී, හා ෂර්ලි ජෝන්ස් ගැනද ඔහු යෝජනා කළේය. ජුලි ඇන්ඩෘස් ගැන එතරම් කැමැත්තක් අධ්‍යක්ෂක රොබට් වයිස් ට තිබුණේ නැත. එහෙත් ලෙහෙමන් හා වයිස් ඩිස්නි චිත්‍රාගාරයට ගොස් ඇය රඟපෑ ඒ වන විටත් තිර ගත නොවූ 'මේරී පොපින්ස්' චිත්‍රපටයේ ඇතැම් කොටස් නැරඹීය. එය දුටු පසු රොබට් වයිස්, ලෙහෙමන්ට කිවේ, වහාම ගොස් ඇය හා ගිවිසුම් ගත විය යුතුයි කියාය. ඉක්මන් නොවුව⁣හොත්, මෙම චිත්‍රපටය කිසියම් නිශ්පාදකයෙක් හෝ අධ්‍යක්ෂක වරයෙකු දුටුවහොත්, අනිවාර්යයෙන්ම ඇයව තම චිත්‍රපටවලට එකතු කර ගැනීම වලක්වා ගත නොහැකි බවය.

ජූලි ඇන්ඩෘස් සමඟ ගිවිසුම් ගත වීම කල යුත්තේ ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමඟ ය. ෆොක්ස් සමාගම ඇය සමඟ ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහකට අත්සන් කළේ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' හා වෙනත් චිත්‍රපටයක් වෙනුවෙනි.

චිත්‍රපටයේ 'කැප්ටන් වොන් ට්‍රැප්' ගේ චරිතයට නළුවෙක් තේරීම තරමක් දුෂ්කර කාර්යක් විය. හේතුව එසේ තෝරන නළුවාට, ගායන හැකියාවත්, රංගන හැකියාවත් එකසේම තිබිය යුතුවු නිසාය. එහෙයින් ඔවුන්, 'බිංග් ක්‍රොස්බි' ගැන අවධානය යොමු කළ අතරම, 'යූල් බ්‍රයිනර්,' 'ෂෝන් කොනරි,' 'රිචඩ් බර්ටන්' යන නළුවන් ගැනද ඒ හා සමාන අවධානයක් යොමු කළහ. අධ්‍යක්ෂක රිචඩ් වයිස් බ්‍රෝඩ්වේ සංගීත නාට්‍ය වල රඟපෑ 'ක්‍රිස්ටෝපර් ප්ලමර්' ට ද කුරුමානම් ඇල්ලුව ද, ක්‍රිස්ටෝපර්, ⁣වේදිකාව අතහැර මෙම චිත්‍රපටයේ රඟපෑමට කැමති වූයේ නැත. වයිස් වහාම ලන්ඩන් නුවරට ගොස් ක්‍රිස්ටෝපර් ප්ලමර්ව මුණ ගැසී, මෙම චිත්‍රපටයේ වටිනාකම ගැන ඔහුට පහදා දුනී. සාකච්ඡා වට කීපයක් ගිය අතර, ක්‍රිස්ටෝපර් ප්ලමර් කීවේ, ලෙහෙමන් විසින් ලියූ තිරනාටකයේ තමාට ලැබෙන චරිතය වූ කැප්ටන් වොන් ට්‍රැප් තවත් දීර්ඝව හා ප්‍රබලව විහිදා යන ලෙස ලියන්නේ නම් ඔහු මෙහී රඟපෑමට එකඟ වන බවය. එයට වයිස් එකඟ විය.

'මීයා ෆ්‍රරෝ', 'පැටි ඩියුක්', 'ලෙස්ලි ඈන් වොරන්' , 'ජෙරල්ඩීන් චැප්ලීන්', 'ෂෙලී ෆැබරෙස්', ටෙරි ගාර්, 'කර්ට් රසල්' පමණක් නොව එවකට බ්‍රිතාන්‍යයෙන් පැමිණ, ලෝකයේ සංගීත ලෝකයට එක්වූ 'ඩොනි ඔස්මන්ඩ්' 'මාරි ඔස්මන්ඩ්' 'ජිමි ඔස්මන්ඩ්' ඇතුළු 'ද ඔස්මන්ඩ්' සංගීත කණ්ඩායමේ සමාජිකයන්වද, කැප්ටන් වොන් ට්‍රැප් ගේ ළමයින් 7 දෙනාට තෝරා ගැන්ම සඳහා නිශ්පාදක ,අධ්‍යක්ෂක කණ්ඩායම් අවධානය යොමු කළද, ඒ එක් අයෙක්වත් තෝරා ගත්තේ නැත. ඉන්පසු ඇමරිකාවෙන් හා එංගලන්තයෙන් ගැයුමට, නැටුමට, රැඟුමට එක ලෙස සමත් ළමයින් 200ක් පමණ සම්මුඛ පරික්ෂණ වලට ගෙන්වා ගත්හ. 'චාර්මියන් කාර්', 'හෙදර් මෙන්සීස්', ' නික්ලස් හැමන්ඩ්', 'ඩුඒන් චේස්', 'ඇන්ජලා කාට්රයිට්', ''ඩෙබි ටර්නර්', ''කිම් කාරත්', 'යන හත් දෙනා එලෙස තෝරා ගත් අය විය.

ලෙහෙමන් සංශෝධන සහිත තම අවසාන තිර නාටකය අධ්‍යක්ෂක රොබට් වයිස්ට භාර දීමට පෙර, ක්‍රිස්ටෝපර් ප්ලමර් , එය කියවා, එහී ජූලි ඇන්ඩෘස් ට දී තිබෙන චරිතයට වඩා තම චරිතය වූ කැප්ටන් වොන් ට්‍රැප් ගේ චරිතය ප්‍රබල කරන ලෙස ලෙහෙමන්ගෙන් නැවතත් ඉල්ලා සිටියේය. ඒ සියලු සංශෝධනය සහිතව අවසාන තිර නාටකය ලෙහෙමන්, රොබට් වයිස්ට භාර දුන්නේ 1964 වසරේ මාර්තු 20 වනදා ය.

ක්‍රිස්ටෝපර් ප්ලමර් , තම චරිතය වූ කැප්ටන් වොන් ට්‍රැප්ගේ භූමිකාව ප්‍රබල කිරීමට කීවද, කථාව ගෙතී යන්නේ ජූලි ඇන්ඩ්‍රෘස් රඟපෑ මරියා ගේ චරිතය වටාය.

මරියා යනු ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත් වන, ගීතයට, නැටුමට, දාංගලේට කැමති රූමත් ඔස්ට්‍රියානු තරුණියෙකි. ඇය ඉගෙන ගත්තේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හී පිහිටි 'නොන්බර්ග් අබේ' නම් වූ කන්‍යාරාමයේය. ඒ ඇය කන්‍යා සොහොයුරියක් වී දෙවියන්ට සේවය කිරීමේ අරමුණෙනි. එහෙත් එහී සිටි අනෙක් තරුණ කන්‍යා සොහොයුරියන් නම් කිවේ, මරියා වැනි සිංදු කියමින් නටන, රඟන එමෙන්ම දාංගලේ ඇති කෙල්ලකට කන්‍යා සොහොයුරියක් වීමට කිසිසේත් කළ නොහැක්කක් බවකි.

විශ්‍රාමික නාවික හමුදා කපිතන් වරයෙකුගේ ළමයි හත් දෙනෙකුව බලා ගැන්මට, කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය විසින් මරියාව එම නිවසට යවන්නේ මේ අතරේදීය. මරියා එතැනට යන්නේ තම ගිටාරයද අතැතිවය.

හමුදා කපිතාන් වරයාගේ බිරිඳ මිය ගොස් සිටි අතර, මෙම ළමයි 7 දෙනාව කපිතාන්වරයා පාලනය කරමින් සිටියේ හමුදාවේ නිතී රීති යොදවමින්ය. හමුදාවේ තිබෙන කාල සටහන අනුවය මෙම ළමයි හැසිරිය යුත්තේ. කපිතාන්, තම ළමයින් තමන් ඉදිරියේ රැස් කර ගන්නේ විසිල් එකක ආධාරයෙන්ය. කපිතන් රළු ප්‍රතිපත්තයක් නිවෙස තුළ ගෙන ගිය හෙයින් ළමයි 7 දෙනා ගේ හැසිරීමද රළු විය.

ලීසල්, ලුයිසා, ෆ්‍රෙඩ්රිච්, කර්ට්,බ්‍රිජිටා, මාර්ටා,ග්‍රේටල් , මෙම වොන් ට්‍රැප් පවුලේ ළමයි 7 දෙනාය. පිරිමි ළමයි දෙදෙනෙකු හා ගැහැණු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත මෙම ළමයි 7 දෙනා මරියා ගේ පැමිණීමද සැලකුවේ මින් පෙර ඔවුන්ව බලා ගන්නට ආ සේවිකාවන් සේය. ඒ කිසිදු සේවිකාවක් මොවුන් සමඟ දින දෙකකට වඩා සිටියේ නැත. මොවුන් ඒ හැම සේවිකාවකටම, එතැන සිටීමට නොහැකි අන්දමේ දෑ කරමින් ඔවුනට ඒ තැන අහිමි කළහ. වි⁣ශේෂයෙන් ගෙම්බන්, කුඩා සරපයන්, වැනි සතුන් ඒ සෙවිකාවන්ගේ නිදන කොට්ටයට, කෑම කන පිගානට,දමා ඔවුන් ව බය කළහ. වොන් ට්‍රැප් ළමයි 7 දෙනා ඉතාමත් රළු අන්දමට ඔවුනට සලකන විට, එම සේවිකාවන් වොන් ට්‍රැප් නිවස අතහැර දමා ගියේ, නැවත කිසි දි⁣නයක එම පැත්තවත් නොබලන ලෙසටය.

වොන් ට්‍රැප් ළමයි 7 දෙනා මරියාට කළේද එම දෙයමය. කුඩා සරපයන්, ගෙම්බන් වැනි දේ දමමින් ඔවුන් මුලින්ම මරියාව බය කරන්නට සැරසුනද, මරියා එයට බය වුනේ නැත. මෙම ළමයි 7 දෙනා රළු වී තිබුණේ, කපිතාන් වරයාගේ රළු සැලකීම් හා ප්‍රතිපත්තින් නිසා බව, මරියා තේරුම් ගතී. මොවුන්ට අවශ්‍ය ආදරය, කරුණාව, දයාව, හා ඔවුන් ගැන දක්වන පෞද්ගලීක සැලකිල්ල බව, මරියා යලි යලිත් වටහා ගති. කපිතාන් වරයා විසින් තම දරුවන්ට සලකන්නේ ද, හමුදා භටයන්ට සලකන අයුරින් බවත් මරියා වටහා ගත්තාය.

මෙම දරුවන් යථා තත්වයට ගත හැක්කේ තමා 'මානසික වෛද්‍යවරයකු ' ගේ චරිතයකට අවතීර්ණ වූවහොත් පමණක් බව, ඇය , තේරුම් ගත් අතර, ඇය මුලින්ම, ඔවුනට මානසික වෛද්‍යවරයකු වන්නට විය. ඇය ඔවුනට බෙහෙත් වෙනුවට තෝරා ගත්තේ සංගීතය ය. එයට ඇය ගෙන ආ ගිටාරය බොහොමත් ප්‍රයෝජන විය.

කපිතාන් වරයා තම නිවස තුල කිසිදු ශබ්දයක් කිරීමට කැමති වූයේ නැත. ඔහු ළමුන්ට ඉගෙනීම හැරෙන්නට කිසිදු අතිරේක ක්‍රියා කාරිත්වයක් කිරීමට ඉඩ දුන්නේ නැත. එහෙත් මරියා ළමයින්ව ටිකෙන් ටික, සෙල්ලමට, ගීත ගායනයට, නැටුමට හුරු කළාය.

එයින් නොනැවතුනු ඇය, කපිතාන්වරයා විසින් එතෙක් ළමුන්ට අන්දවා තිබූ මිලිටෙරි ඇඳුම වෙනුවට, අලුත් තාලේ ඇඳුම් ඇන්දවීමට සිතුවාය. එහෙත් ඇයට එලෙස ඇඳුම් ගැන්මට මුදල් නොමැති නිසා, නිවසේ දොරවල් හා ජනෙල් වල එල්ලා ඇති තිර රෙදි ගලවා එයින් ළමයි 7 දෙනාට නව විලාසිතාවන් අනුව ඇඳුම් මසා ඇන්දවීය. මේ සියල්ලම ඇයට කිරීමට හැකි වූයේ කපිතාන් වරයා එම අවස්ථාවේ වියානා නගරයෙන් පිටතට ගොස් තිබූ නිසාය.

ඔය අතරේදී, කපිතන් වරයා නිවසට පැමිණියේ ඔහු යලි විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින 'බරෝනස්' නම් වූ කාන්තාව හා ඔවුනගේ කිට්ටුම සගයෙකු වූ 'මැක්ස් ඩෙට්වෙයිලර්' සමඟය. මැක්ස් ට අවශ්‍ය වූයේ කෙසේ හෝ බරෝනස් ව කපිතාන්ට විවාහ කර දී, මේ විශාලවූ ⁣ගෙවල් දොරවල් වල අයිතිය ඇයට ලබා දීමටය.

ඔවුන් තිදෙන එන විට, මරියා තම දරුවන්ට ගෙදර දමා තිබූ තිර රෙදි වලින් ඇඳුම් මසා අන්දවා ඇති බවක් කපිතාන් වරයා දුටුවේය. ඔහුට ඇතිවූ කේන්තිය කොපමණක් දැයි කිව හොත්, ඔහු මරියාව මෙම නිවසේ රාජකාරියෙන් ඉවත් කර, නැවත කන්‍යාරාමයට යැවීමට තීරණය කෙරීය. එහෙත් ඒ අතරේදී, ඔහුට උඩුමහලෙන් ගීතයක් ගායනා කරන හඬක් ඇසිණි. තම නිවස තුල මෙසේ ගීත හඬක් ඇසීම ගැනද ඔහුට කේන්ති ගියද, එම ගීතයද ඔහුට හුරු පුරුදු ගීතයක් විය.එය එකල ඔහු නිතරම ගායනා කළ ගීතයක් ද විය. එම ගීතය තුළින් ඔහුගේ තද හිත මෙලෙක් වූ අතර, ඔහු සංවේදි විය. එහෙයින් ඔහු සියල්ලෝම මවිතයට පත් කරමින් එම ගීතය ගැයීමට ඔවුන් හා එක්විය. ළමුන්ගේ ගී ගැයීම ඇසූ මැක්ස් කීවේ මොවුන්ව,සල්ස්බර්ග් හී ඉදිරි සතියේ තිබෙන ගායනා තරඟයට ඉදිරිපත් කළ යුතුයි කියාය. එහෙත් කපිතාන් තම ළමයින්ව ගායනා තරඟ වලට ඉදිරිපත් කර, ප්‍රසිද්ධ කිරීමට අකමැති විය.

කපිතාන් වරයාගේ මාළිගාවක් වැනි නිවසේ ප්‍රිය සාදයක් පැවැත්වීමට කපිතාන් වරයා අදහස් කළේ එම සාදය අතර තුරේදී, ඉදිරියේදී සිදුවීමට නියමිත , ඔහුගේ හා බාරෝනස් ගේ විවාහය ප්‍රසිද්ධයේ පැවසීමටය.

ප්‍රිය සාදය යන අතරේ, නිවසේ උද්‍යානයේ, තම දරුවෙකු වූ 'කර්ට්' ට මරියා විසින් 'ලැන්ඩලර්' නම් වූ දේශිය නැටුම් පුහුණු කර නටන බව කපිතාන් දුටුවේය. එය දුටු පසු කපිතාන් මරියාට 'බෝල් රූම්' නැටුමකට ආරාධනා කළේය. ඔවුන් දෙදෙනා ලංවී නටන ආකාරයෙන් කපිතාන්වරයා තුල මරියාට කිසියම් ඇල්මක් ඇති බවක් බාරොනස්ට වැටහිනි. එයට ඊරිසියා කෙරූ ඇය, කපිතාන්ට නියෝග කළේ වහාම මරියාව කන්‍යාරාමයට හැරලවන ලෙසටය.

කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය අබේස් ට මරියා, කපිතාන් ගැන කිසියම් හැඟීමකින් පසුවන බවක් හැඟී ගියෙන්, ඇය මරියාව කන්‍යාරාමයට නැවත ගෙන්වා ගත්තේ මරියා ගේ මුලික අරමුණ වූ කන්‍යා සොහොයුරියෙකු වීමේ අවශ්‍යතාවය ඉටු කර දීමට ය.

එහෙත් කපිතාන් හා බාරොනස් ගේ ගිවිසුම් ගැනීම නිසා ළමයින් අයාල යෑමත්, එලෙසම ළමයි 7 දෙනාම මරියාව සොයා ගෙන කන්‍යාරාමයට පැමිණීමත් හේතු කොට ගෙන, තවත් සේවිකාවක් සොයා ගන්නා තෙක් මරියා නැවතත් වොන් ට්‍රැප් නිවසට පැමිණියාය. ඒ අතරේදී, කපිතාන් වරයා හා මරියාගේ හැඟිම් තිව්ර වන්නට විය. මෙය බාරොනස් ගේ ඇසට අසුවූ අතර, කපිතාන් වරයා, තමාට වඩා මරියාට ඇල්මක් දක්වන බවත්, එලෙසම ළමුන් 7 දෙනාද තමන්ට වඩා මරියාට ලැදි බවත් තේරුම් ගත් බාරොනස් තමාගෙ විවාහ ගිවිසුම අවලංගු කර, නැවත වියානා බලා පිටත් වූයේ තම සියලු බලාපොරොත්තුන් සුන් කර ගෙනය.

කපිතාන් හා මරියා විවාහ විය. එය විචිත්‍රවත්, මහා විවාහ මංගල්ලයක් විය. ඔවුන් දෙදෙනා මධු සමය සඳහා පිටත් වූ පසු, මැක්ස් ළමයින් 7 දෙනා ව, සල්ස්බර්ග් හී ගායනා තරඟයට ඉදිරිපත් , කළේ කපිතාන්ගේ කැමැත්තවත් නොවිමසා ය.

කපිතාන් හා මරියා මධු සමය ගත කර නිවසට පැමිණීමෙන් පසු, ඔහුට විදුලි පණිවිඩයක් ලැබෙන්නේ, වහාම ජර්මනු නාවික හමුදාවට වාර්ථා කරන ලෙසටය. එහෙත් කවදත් නාසිස්ට විරුද්ධ වන කපිතාන්, මරියා ට හා ළමුන්ට කියනුයේ ඉතාමත් ඉක්මනින් ඔස්ට්‍රියාවෙන් පිට වී, ස්විට්සර්ලන්තය බලා පිටත් වන්නට ලැස්ති වන ලෙසටය. ඔවුන් පිටත් වන්නට යන විට, හමුදාව විසින් ඔවුන්ව නවත්වන්නට විය. කපිතාන් කියන්නේ ඔවුන් සල්ස්බර්ග් හී තිබෙන ගායනා තරඟයේ අවසන් වටයට තරඟ කිරීමට යන බවක්ය. ඇත්ත වශයෙන්ම මැක්ස් විසින් වොන් ට්‍රැප් ළමුන්ව ඉදිරිපත් කර තිබූ ගායනා තරඟයෙන් ඔවුන් අවසන් මහා තරඟයට සුදුසු කම් ලබා තිබුණි. කපිතාන් මේ සිදුවීමේදී ප්‍රයෝජන ගත්තේ එම අවස්ථාව ය. ඔහු හමුදාවෙ උසස් නිලධාරින්ට කීවේ ඔවුන් ට සැකයක් ඇත්නම් ඔවුන් සමඟ පැමිණ තරඟය නැරඹීමට කියාය. ඒ හමුදා නිලධාරින්ද, ඔවුන් සමඟ තරඟය තිබෙන ශාලාවට පැමිණීය. තරඟය පටන් ගත් අතර, කපිතාන්, මාරියා ඇතුළු වොන් ට්‍රැප් පවුලම වෙිදිකාව මත ගායනයෙන් තම දක්ෂතා විදහා දක්වන්නට විය. අවසානයේදී ජයග්‍රහණය ඔවුන්ට හිමිවූ අතර, ඔවුන් ගේ නම් ප්‍රකාශ කරන විට, ඔවුන් වේදිකාවට පැමිණියේ නැත. ඔවුන් උපක්‍රමශීලිව එතැනින් පැන ගොස්ය. ඔවුන් කෙළින්ම ගියේ කන්‍යාරාමයට ය. ප්‍රධාන කන්‍යා සොහොයුරිය අබේස් ඔවුන්ව කන්‍යාරාමය තුළ සැඟවුවාය. හමුදාවේ නිලධාරින් කෙළින්ම පැමිණියේ කන්‍යාරාමයටය. ඒ අතරේදී කපිතාන් සහ පවුල කන්‍යාරාමය බලා ගන්නා පුද්ගලයාගේ වාහනයෙන් පලා ගියහ. ඔවුන්ව අල්ලා ගැනීම සඳහා හමුදා නිලධාරින් තම රථවලට නැගී වාහන පණ ගන්වන්න⁣ට උත්සහ කළ ද, ඒව පණ ගන්වන්නට නොහැකි විය. ඊට හේතු වූයේ කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු, හොර රහසේ්ම එම රථවල එන්ජීමෙි ඇතැම් කොටස් ගලවා විනාශ කර තිබූ නිසාය. මේ හේතුවෙන් ඔවුන්ට වොන් ට්‍රැප් පවුල ගිය ඉසව්ව හඹා යෑමට නොහැකි විය.

කපිතාන්, මරියා ඇතුළු ⁣වොන් ට්‍රැප් සමාජිකයන් කිසිදු අවහිරයක් නොමැතිව ස්විස් දේශ සීමාවට ඇතුල් විය.

'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' කථා ශාරය එලෙස ගලා ගිය අතර, එයට, තව තවත් අපූරු සිදුවීම් රැසක් එකතු වී තිබුණි. විශේෂයෙන් වොන් ට්‍රැප් පවුලේ වැඩිමහල් දියණිය වූ, ලිසල් වොන් ට්‍රැප්ගේ රහස් ප්‍රේම සම්බන්දයත්, ඔවුන්, ඔවුනගේම උද්‍යානයේ රාත්‍රියේ දී හමුවන ආකාරයත් එහීදී ගීත ගයමින් විනෝද වන අවස්ථාවත්, ඒ අපූරු ජවනිකාවන්ට ඇතුලත් වී තිබුණි. මුලින්ම අප ඇයගේ පෙම්වතාව දකින්නේ් ලියුම් කරුවෙක් ලෙසටය. පසුව හමුදාව විසින් වොන්ට්‍රැප් පවුලව හොයන අවස්ථාවේදී, එහී යුධ භටයෙක් ලෙස පමණක් නොව, ඔවුන් සැඟවී සිටි තැනින් සොයා ගන්නා යුධ භටයා ලෙස ටද ඔහුව අපට මුණ ගැසේ. එම අවස්ථාවේදී ඔහු අනෙක් හමුදා භටයන්ට අසු නොවෙන්නට ඔවුන්ව හොරෙන්ම මුදා හරින්නට විය.

'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' හුදෙක් සංගීතමය චිත්‍රපටයක් නොවීය. එය, ආදරය, ත්‍රාසය, නැටුම්, ගැයුම් ඇතුලත් පරීපූර්න චිත්‍රපටයක් විය.

'අයි හෑව් කන්ෆිඩන්ස්', ' යු ආ සික්ස්ටීන්, ගොයින් ඕං සෙවන්ටීන්', 'මයි ෆෙවරිට් තිංග්ස්', 'ක්ලයිම්බ් එව්රි මවුන්ටන්', 'ද ලොන්ලි ගොතර්ඩ්', 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්', 'ඩෝ,රේ,මී', 'සම්තිංග් ගුඩ්',' සෝ ලෝංග් ෆෙයාර්වෙල්', 'එන්ඩ්ල්වයිස්' වැනි සුන්දර ගීත රාශියක්ම චිත්‍රපටයට ඇතුලත් වූ අතර, ඒවා ජූලි ඇන්ඩෘස්, චාමෙන් කාර්, ඩැනියෙල් ටෘහිතේ, මාර්ගරි මැක්කේ, නිකලස් හැමන්ඩ්, බිල් ලී, විසින් පසුබිමින් ගායනා කරනු ලැබීය.

මෙය ලංකාවේ, මිලි මීටර් 70 ප්‍රමාණයේ විශාල පුළුල් තිරයේ දැවැන්තව දිස්වූයේ කොළඹ රියෝ සිනමා ශාලාවේය.

'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' ලංකාවේ ඉංග්‍රිසි වේදිකාවට ගෙන ආවේ මණික් සන්ද්‍රසාගරය. ගාමිණි ෆොන්සේකා කපිතාන් වොන් ට්‍රැප්ට රඟපෑ අතර, මරියා වූයේ ඉන්දිරා ජොන්ක්ලාස්ය. ඉන් පසු ලාංකීය රූපවාහිනියට සිංහල ටෙලි නාටකයක් ලෙස නිශ්පාදනය විය. එය ප්‍රියා රණසිංහ ගේ නිර්මාණයක් වූ අතර, චාන්දනි සෙනවිරත්න මරියාටත්, පාලිත සිල්වා කපිතාන් වොන් ට්‍රැප්ටත් රඟපෑහ. සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් 'සරිගම' කියා තිරගත වූයේද, මේ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්මය' . පූජා උමාශංකර් මරියා වූ අතර, අශාන් ඩයස් කපිතාන් වොන් ට්‍රැප් ගෙ චරිතයට පණ දුනි. මාලනි ෆොන්සේකා ප්‍රධාන කන්‍යා සොහොයුරිය ගේ චරිතය රඟපෑවාය.

ලෝකයේ විශිෂ්ඨ චිත්‍රපට ලැයිස්තුවේ තවමත් ඉහළින් වැජඹෙන චිත්‍රපටයක් වූ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' එකල නැරඹු නැති කෙනෙක් නම් සොයා ගැන්මට අපහසුය.

🎶 Edelweiss, edelweiss

Every morning you greet me

Small and white, clean and bright

You look happy to meet me

Blossom of snow, may you bloom and grow

Bloom and grow forever

Edelweiss, edelweiss

Bless my homeland forever🎶

-⁣ ශෝන් මැක්ස්මස් දිසානායක-

ශෝන් මැක්ස්මස් දිසානායක මහතාගේ මුහුණු පොත් සටහනකින්.
සියළු හිමිකම් ඒ මහතා සතුයි.

චිත්‍රපටය මේ යූ ටියුබ් දිගුවෙන් බලන්න පුළුවන්

https://www.youtube.com/watch?v=_0Ecqv3qPUw

https://www.facebook.com/shaun.dissanayake

'ඩොක්ටර් ශිවාගෝ'

රුසියන් ජාතික බොරිස් ලියෝනිඩෝවිච් පස්ටර්නාක්, ලොව ජනප්‍රිය වූයේ විශිෂ්ඨ කාව්‍ය නිර්මාණකයෙකු හා නවකථා කරුවෙකු ලෙසය. ' මයි සිස්ටර් මයි ලයිෆ්', 'ද සෙකන්ඩ් බර්ත්', නමින් ඔහු ලියු ග්‍රන්ථයන් ලෝකය පුරා ප්‍රචලිත විය.

කීර්තිමත් ලේඛකයෙකු වූ ඔහු 1958 දී නෝබල් ත්‍යාගයටද හිමිකම් කීවේය. බොරිස් පස්ටර්නාක් විශ්වය පුරා තව තවත් ප්‍රචලිත වන්නට ඔහු 1957 දී ලියූ 'ඩොක්ටර් ශිවාගෝ' නව කථාව බෙහෙවින් ඉවහල් විය. ඇතැම් විට 'ඩොක්ටර් ශිවාගෝ' නවකථාවේ විශිෂ්ඨත්වය ත්, එය ලොව පුරා විවිධ භාෂාවන්ට පරිවර්ථනය වීමෙන් ලද ජනප්‍රියත්වයත් ඔහුගේ නෝබල් ත්‍යාගයට හේතු වන්නට විය.

බොරිස් පස්ටර්නාක් ගේ 'ඩොක්ටර් ශිවාගෝ' නව කථාව, සිනමාවට උචිත බව මුලින්ම වැටහුණේ ඇමරිකාවේ 'මෙට්රො ගෝල්ඩන් මේයර්' නොහොත් එම්.ජී.එම් චිත්‍රපට සමාගමටය. මෙය 'එපික්' වර්ගයේ සිනමා නිර්මාණයකට වඩා 'එපික්' ශෛලයට ' ක්ලැසික්' වර්ගයේ චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නම් වඩාත්ම පලදායික බවක් ඔවුනට වැටහුණි. මෙම පොතේ විශේෂීත ස්ථානයක් රුසියානු විප්ලවයටත්, රුසියානු සිවිල් යුද්ධයට හා පළමුවැනි ලෝක මහ යුද්ධයටත් රුසියාව සෝවියට් එක්සත් ජන රජය බවට පත් වීමේ සිදුවීමට ඉඩ ලබා දී තිබුනද, එයට වඩා ඒ තුළ ඇති ප්‍රේමණීයත්වය ට තැනක් දීමට, විශේෂයෙන් ඩොක්ටර් යූරි ශිවාගෝ හා ලාරා ගෙ සම්බන්ධයත්, ලාරාගේ හා වික්ටර් ගේ සම්බන්ධයත්, ලාරා හා පාෂා ගේ සම්බන්ධයත්, යූරි ශිවාගෝ හා ටෝන්යා ගේ සම්බන්ධයත්, එකී, අරගල හා යුධමය සිදුවීම් මාධ්‍යයේ ඉදිරිපත් කළහොත් මෙය වටිනා සිනමා පටයක් වන බව එම්.ජී.එම්. සමාගම ට වැටහුනී. ඔවුන් මෙහී මූලික නිශ්පාදනය භාර කළේ ලොව විශිෂ්ඨ එමෙන්ම ජනප්‍රිය තම චිත්‍රපට නිශ්පාදක වරයෙකු වූ ඉතාලි ජාතික කාලෝ පොන්ටි ටය. ඒ වන විටත් ඔහු තම කාලෝ පොන්ටි නිශ්පාදන සමාගම හරහා 1964 වන විට, ඇමරිකානු හා ඉතාලි චිත්‍රපට 50 ක් නිශ්පාදන කර තිබුණි.

මෙම චිත්‍රපටය කෙරෙන්නේ නම් මෙය අධ්‍යක්ෂණය කිරීමට භාර දිය යුත්තේ ඒ වන විට චිත්‍රපට 13 ක් පමණ අධ්‍යක්ෂණය කෙරූ ඩේවිඩ් ලීන් ට යැයි කාලෝ පොන්ටි තීරණය කළේය.

ඩේවිඩ් ලීන් පූර්ණ සිනමා අධ්‍යක්ෂණය ට පැමිණියේ 1940 වර්ෂයේ පමණය. 1964 වර්ෂයේ දී, 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටය ට, අත ගැසීමට පෙර ඔහු අධ්‍යක්ෂණය කර තිබූ චිත්‍රපට ලැයිස්තුව මෙසේය. 'ඉන් වීව් වී සර්ච් (1942), 'දිස් හැපි බ්‍රීඩ්' (1944), 'බිල්කි ස්පිරිට්'(1944), 'බ්‍රීෆ් එන්කවුන්ටර්'(1945), 'ඔලිවර් ටුවිස්ට්'(1948), 'ද පැෂනේට් ෆ්‍රෙන්ඩ්ස්'(1949), ' මැඩිලෙයින්', (1950), 'ද සවුන්ඩ් බැරියර්' (1952) ' හොබ්සොන්ස් චොයිස්' (1954), 'සමර් ටයිම් (1955), 'ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි' (1957), හා 'ලෝරන්ස් ඔෆ් ඇරැබියා' (1962) .

ඒ අනුව බලන කල 'ඩොක්ටර් ශිවාගෝ' ඩේවිඩ් ලීන් ගේ 14 වෙනි චිත්‍රපටය විය. ඉහත සඳහන් චිත්‍රපට ලැයිස්තුව තුළින් 'බ්‍රිෆ් එන්කවුන්ටර්' 'ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්', 'ඔලිවර් ටුවිස්ට්', 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' ' ලෝරන්ස් ඔෆ් ඇරැබියා' ලංකාව තුළද තිරගත වී ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණි.1965 දී තිරගත වූ 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටයට පසුද ඔහු 1970 දී 'රයන්ස් ඩෝටර්' අධ්‍යක්ෂණය කළ අතර, 1979 දී 'ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්' නිර්මාණය විය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1984 තිරගත වූ 'අ පැසේජ් ටු ඉන්දියා' ය.

'ඩොක්ටර් ශිවාගෝ' තිර නාටකය ලියුවේ රොබට් බෝල්ට් ය. ඔහු මීට පෙර ලියූ තිරනාටකයද අධ්‍යක්ෂණය කළේ ඩේවිඩ් ලීන් මය. ඒ 'ලෝරන්ස් ඔෆ් ඇරැබියා' ය. 'ඩොක්ටර් ශිවාගෝ' ට පසු ඔහු 'මෑන් ෆො ඕල් සීසන්' චිත්‍රපටයේ තිරනාටකය ලිවීය. බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ රොබට් බෝල්ට් ගේ අතින් ලියවුනු 'ඩොක්ටර් ශිවාගෝ' තිරනාටකය නමි අද්විතීයම ය.

ඩොක්ටර් ශිවාගෝ චිත්‍රපටය ආරම්භ වන්නේ ජනරාල් යෙව්ග්‍රාප් අන්ඩ්‍රෙයේවිච් ශිවාගෝ තම සහෝදරයෙකු වූ දොස්තර යූරී අන්ඩ්‍රෙයේවිචි ශිවාගෝ හා ලාරා ඇන්ටිපාවෝ ගේ දියණියව සොයා යෑමය. ඒ වන විට දොස්තර යූරි ශිවාගෝ හා ලාරා මිය ගොස් ඇති අතර, දැං ඔවුනගේ දියණිය යයි නිගමනය කරන ටාන්යා කොමාරෝවා ද විවාහ වන වයසේ තරුණියක්ව සිටියාය. ජනරාල් යෙව්ග්‍රාප් තම සහෝදර දොස්තර යූරි ගැන ටාන්යා කොමාරෝවා ට කියන්නේත්, ඔවුන්ගෙ පින්තූර පෙන්වන්නේත් ඒ මගින් හෝ ඇයට තම මවගෙ හා පියාගෙ මතකය අවදි වේ යැයි සිතාය.

ඉන් පසු චිත්‍රපටය අතීත කථාවකට සම්බන්ධ වේ. එය කෙළින්ම යූරි ශිවාගෝ ගේ කුඩාම කාලයට රැගෙන යයි. එය ආරම්භ වන්නේ යූරි කුඩා කාලයේම ඔහුගෙ මව මිය යෑමත්,ඇයගේ අවමංගල්‍ය උත්සවයත්, ඉන් පසු කුඩා යූරි තනිවීමත්, තුළින් ය. එකී අවමංගල්‍ය උත්සවයෙන් පසු ඔවුනට හිතවත් පවුලක් වූ, ඇලෙක්සැන්ඩර් හා ඈන් ග්‍රොමේකෝ විසින් යූරි ව දරු කමට හදා ගැන්මට රැඟෙන යයි. යුරිගේ කුඩාම කාලය වැඩෙන්නේ තම සම වයසේ සිටි ඇලෙක්සැන්ඩර් හා ඈන්ගේ එකම දියණිය ටොන්යා ග්‍රොමේකෝ සමඟ ය. පසුව ටොන්යා ව අධ්‍යාපනය සඳහා ප්‍රංශයේ පැරිස් නගරයට යවන අතර, යූරිව දොස්තර කෙනෙකු කිරීමේ අදිටනින් මොස්කව් පාසැලකට දමයි. මොවුනගේ පාසැල් සමය හා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම හෝ ටොන්යා ගේ පැරිසියේ ඉගෙන ගන්නා ආකාරයන් චිත්‍රපටයේ නොපෙන්වූවාට, කථාව ගලා යෑමේදී එය උද්දීපනය වන්නට විය.

ඒ, වර්ෂ 1913 ය. යූරි තරුණ වියට එළැබී ඇති අතර ඔහු දොස්තර විභාගයෙන්ද සමත් වී දොස්තර වරයෙක් ලෙස පුහුණු වෙමින් සිටි කාලයයි. ඔහු දොස්තර කෙනෙක් වූවද, ඔහුගේ සහජ හැකියාවක් වූ කවි පබැදුමෙන් ඔහු ඉවත් වූයේ නැත. ඉඩක් ලද හැම විටම ඔහු කවි නිර්මාණ කළේය. පුවත් පත් වලට කවි ලියා ඇරියේය. ඒවා⁣ බොහෝ විට රුසියාවේ ජාතික පුවත් පත් වල පලවිය.

ටොන්යා තම අධ්‍යාපනය නිම කර පැරිසියේ සිට නැවත මොස්කව් පැමිණි⁣යාය. මේ ඔවුන් දෙදෙනා කුඩා කළ වෙන්වී අව්රුදු ගනනකට පසු නැවත මුණගැසුනු අවස්ථාවය. ඔවුන් දෙදෙනාම නාඹර තරුණ වයසට එළැඹී තිබුණි. ඇලෙක්සැන්ඩර් හා ඈන් තම දියණිය ටොන්යා ව දොස්තර යූරි ශිවාගෝ ට, විවාහ කර දීමට, මුල සිටම සැලසුම් කර තිබුණි. යූරි හා ටොන්යා ද, උනුන් හා විවාහ වීමට කැමති වී සිටියහ. එහෙයින්, ටොන්යා පැරීසියෙන් ආ පසු සති කීපයකින් ඔවුනගේ විවාහය සිදුවිය.

චිත්‍රපටයේ එක් කථාංගයක් එසේ ගලා යන අතර, එයට පටහැනි තවත් කථාවක් වෙන පැත්තකින් ගලා යන්නට විය. ඒ, ලාරා ඇන්ටිපෝව්, වික්ටර් කොමරොවස්කි හා පවල් ඇන්ටිපෝව් නොහොත් පාෂාගේ කථාවය.

වික්ටර් කොමරොවස්කි මැදිවියේ පසුවූ බලවත් පුද්ගලයෙකි. ඔහු ලාරා ගේ මවගේ මිතුරෙකු සේම, ඇයගේ පෙම්වතා ද විය. එහෙයින් ඔහු නිතරම ඇය ගේ නිවසට එන්නට විය. ඒ අතරේදීය ඔහු ඇයගේ 17 හැවරිදි දියණිය ලාරා සමඟ රහස් සම්බන්ධතාවයකට මුල පිරුවේ. ඇතැම් විට ලාරා මෙය තමාගේ මවට කරන වරදක් බව දැන දැනත් ඔහුට කැමති වුයේ, ඔහුගේ තිබෙන බලවත් කමටත්, ධනවත් කමටත්, එසේම ඔහුට තිබූ බිය නිසාත් විය හැක. එලෙසම,ඔහු රූමත් ලාරා ව රැගෙන ගියේ ධනවත් හා බලවත් අය පමණක් යන ආපන ශාලාවන්ටය. ඇනවුම් කළේ මිල අධික කෑම ය, බීවේ ඉහලම වයින්ය. ඔහු ලාරා ට රැගෙන දුන්නේ වෛවර්ණ මෝස්තර සහිත ඉස්තරම්ම ඇඳුම් හා ආභරණ ය. එලෙසම ඔහු ඇයව ඉහළ පෙළේ බාල් නැටුම් වලට පවා රැගෙන ගියේය. ලාරා ද මෙවන් තත්වයන්ට ප්‍රිය නිසා ඔහු හා ඇසුර පවත්වා ගියාය. පවල් නොහොත් පාෂා ඇන්ටිපෝව්ද, ලාරා ව විවාහ කර ගැන්මට බලාපොරොත්තුව සිටියේය. ලාරාද විවාහ වන්නට අදහස් කර සිටියේ පාෂා සමඟ ය.

පාෂා විප්ලවකාරි තරුණයෙක් විය. රුසියන් ධනවාදයට විරුද්ධව සමාජවාදය ස්ථාපිත කරන්නට වෙර දරන තරුණ⁣යෙකි පාෂා. ඔහු එකතු වී සිටින රැඩිකල් වාදී පක්ෂය නිතරම අරගල කලේ රුසියන් රජයට විරුද්ධව ය. මේ හෙයින් රජය කල් යල් බලා සිටියේ ඔවුන් සමඟ පැටලෙන්නටය. එය සිදුවුනේ පාෂා ලාගේ පක්ෂය සමාජවාදය ස්ථාපිත කිරීම වස් යෙදුනු සාමකාමි පා ගමන දිනය. රජයේ හමුදාව පා ගමන මැදට පැන එය කඩාකප්පල් කළ අතර එයින් කීප දෙනෙක් මිය ගොස් බොහෝ අය තුවාල ලැබීය. තුවල ලැබූවන් අතර පාෂාද එක් අයෙකි. තුවාල වූ පාෂා කෙළින්ම ගියේ ලාරාගෙ නිවසටය . ඇය පාෂාගෙ තුවාල දැක බියවී, වහා ඔහුගේ තුවාල වලට බෙහෙත් දැමීය. සියල්ල නිමවුනු පසු පාෂා නැවත යන්නට සැරසී, ලාරා අතට පිස්තෝලයක් දී එය පරිස්සමින් සඟවා තබන ලෙස ඉල්ලීය. ඇය මුලින් අදි මදි කළද, පසුව ඔහුගෙ ඉල්ලීමට අවනත වී එම පිස්තෝලය භාර ගති.

මේ අතර තම දියණිය තම පෙම්වතා සමඟ රහස් සබඳ කමක් ගෙන යන බවක් අහුවුනු පසු ලාරාගේ මව වස පානය කර, සිය දිවි හානි කරගන්නට තැත් කළාය.

ඇය අසාධ්‍ය තත්වයේ පසුවන නිසා වික්ටර් වහාම තමා හදුනන දොස්තර මහචාර්ය වරයෙකුට රහසින් පණිවිඩයක් යවා ඔහුව ගෙන්වා ගත්තේය. මහචාර්ය වරයාගෙ දෙවනි දොස්තර වරයා ලෙස පැමිණියේ දොස්තර යූරි ශිවාගෝ ය. වික්ටර් ට මුළින්ම දොස්තර ශිවාගෝ ව මුණ ගැසුණේ එදිනය. මහචාර්ය වරයා හා දොස්තර ශිවාගෝ එක්ව නිසි අයුරින් බෙහෙත් කරමින් ලාරාගේ මව සිටි අසාධ්‍ය තත්වයෙන් ඇය ව මුදා ගති.

ඉන් දින කීපයකට පසු වික්ටර් විසින් ලාරා ට කීවේ, පාෂාව විවාහ කර ගන්නා අදහස අතහැර තමා සමඟ සිටින ලෙසටය. ලාරා එය දැඩි අයුරින් ප්‍රතික්ෂේප කළ අතර, එයින් කෝපාවිෂ්ඨ වූ වික්ටර් ,ලාරාව දූෂණය කළේය.

එම සිදුවීම ලාරාගේ සිතට තදින් ම බලපෑ ය. ඇය එක් සැදෑවක පාෂා දුන් පිස්තෝලයත් රැගෙන වික්ටර්ව සොයා ඔහුගේ නිවසට ගියේ ඔහුට වෙඩි තැබීමටය. එහෙත් ඔහු එහී නොසිටිනා බවත්, ඔහු නත්තල් සාදයකට ගිය බවත්, ඒ ගිය ස්ථානයත්, එහී ⁣සිටි සේවකයා ලාරා ට කීය. ඉන්පසු ඇය එම සාදය තිබෙන තැනට ගියාය. ලාරා එම සාදය තිබෙන පැත්තට යන අයුරු එම මාර්ගයේ කෙළවරක සිටි පාෂා දුටුවේය. ඔහු ඇය පසු පස ගියේ ය. ඇය සාදයේ විනෝදවෙමින් සිටි තැනට ගොස් වික්ටර් ට වෙඩි තැබීය. එහෙත් එය වැදුනේ ඔහුගේ වම් අතටය. ආරක්ෂක භටයෝ ඇයව අල්ලා අත්අඩංගුවට ගත්තද, වික්ටර් ඔවුන් ට කීවේ ඇයව නිදහස් කරන්නට කියාය. එම සාදයේම බාල් නැටුමකට සහභාගි වෙමින් දොස්තර යූරි ශිවාගෝ තම බිරිඳ වූ ටොන්යා ද සිටියහ. ලාරා පසු පස පැමිණි පාෂා ඇයව ආරක්ෂිතව එතැනින් එළියට රැගෙන ගියේය. ඉන් අනතුරුවය දොස්තර යූරි ශිවාගෝ වික්ටර්ගේ අතට බෙහෙත් කිරීමට ඉදිරිපත් වූයේ.

එම සිදුවීමෙන් පසු වික්ටර් ගෙන් සම්පූර්ණයෙන්ම අයින් වූ ලාරා, පාෂා සමඟ විවාහ විය. ඔවුනට කේට් නම් දියණියක් ඉපදුනි.

පළමුවැනි ලෝක යුද්ධ සමය ඇරඹී තිබුණි. දොස්තර යූරි ශිවාගෝ ගේ සහෝදරයා වූ ⁣ජනරාල් යෙව්ග්‍රාෆ් ශිවාගෝ බොල්ෂවික්ස් ආණ්ඩු පක්ෂය විසින් රුසියානු හමුදාව යටත් කර ගැනීම පිණිස යැවූ අතර, දොස්තර යූරි ශිවාගෝ ව යුද්ධයේදී තුවාල වන සොල්දාදුවන්ට සාත්තු කිරීම පිණිස 'බැටල් ෆීල්ඩ්' දොස්තර ලෙස පත් කෙරීය.

ලාරා සමඟ විවාහ වී සිටි පාෂා අතුරුදහන් වූයේ මේ කාලයේදීමය. එය සිදුවී තිබුණේ ඔවුන් ජර්මන් හමුදාවට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදීය. පාෂා ඒ සමඟම මිය යන්නට ඇතැයි අනුමාන කළද, ඔහු මිය ගියා යැයි පිළිගැන්මට ලාරා කැමති වූයේ නැත. ඇය හෙදියක් ලෙස බැඳී පාෂාව සෙවීමට උත්සහා ගත්තාය. ලාරා දොස්තර ශිවාගෝ සමඟ එක්ව 'බැටල් ෆීල්ඩ්' හී වැඩ කළාය. ඔවුන් සියල්ලෝම මාස 6 ක් එක දිගට හමුදා විවෘත රෝහලේ වැඩ කරන්නට විය. එය නියමයක් විය. එකී වකවානුවේම විලාඩිමියර් ලෙනින් මොස්කව් වලට නැවත පැමිණ සෝවියට් එක්සත් අණ්ඩුව හරහා පාලනය කිරීමෙන් රුසියාව තුළ රැඩිකල් වෙනසක් සිදුවෙමින් තිබුණි.

මේ අතර දොස්තර යූරි ශිවාගෝ හා ලාරා අතර ආදර සම්බන්ධය ගොඩ නැගුණි. ඔවුනොවුන් ගේ තනි ජීවිත වලට එම තහනම් ඇසුර ඉමහත් අස්වැසිල්ලක් විය. එහෙත් එය එසේ වූවා කියා ශිවාගෝ තම බිරිඳ වූ ටොන්යා ට තිබූ ආදරය හා ලබැදියාව අයින් කළේ නැත. ටොන්යා ඔහුගේ සිතේ නිරතුරුවම රැඳී තිබුණි . ලාරා ද, පාෂා ගැන සිතුවේ එවැනිම සිතුවිල්ලකි.

යුද්ධය නිමවූ පසු 'බැටල් ෆීල්ඩ්' හී වැඩ කෙරූ සියල්ලටම තම නිවෙස් වලට යාමට හැකි විය. ලාරාද, ශිවාගෝ ගෙන් වෙන්වී ගිය අතර, ශිවාගෝ තම පවුල වෙත ගියේය. එහී ගිය පසුය එහී සිදුවී ඇති බොහෝ වෙනස් කම් ඔහු දැනගත්තේ.

ටොන්යාගේ මව, එනම් තම නැන්දණීය , මිය ගොස් ඇති බවත්, සෝවියට් එක්සත් ජනරජය විසින් රුසියාව යටත් විජිතයක් කරගෙන ඇති බවත් දැන් මුළු පාලනයම සෝවියට් ජනරජය විසින් කෙරෙන වගක් දැන ගත්තේ එහි පැමිණියාට පසුවය. එලෙසම ශිවාගෝ, ටොන්යා දරුවා සහ ඇයගෙ පියා එක්ව සිටින මෙම නිවසද සෝවියට් රජය විසින් පවරා ගෙන තිබුණි. ශිවාගෝ රුසියානු රජයට සේවය කරන දොස්තර කෙනෙක් කියා කීවද, එලෙසම දැන් පැමිණියේ 'බැටල් ෆීල්ඩ්' හී දිඟු කාලයක් වැඩ කර සිට යැයි කීවද, එතැන පාලනයේ සිටි සෝවියට් රජයේ නියෝජිතයන් ඒවා මායිම් කළේ නැත. මේ අතර දොස්තර ශිවාගෝ ගේ සහෝදර ජනරාල් යෙව්ග්‍රාෆ් දන්වා එව්වේ දොස්තර විසින් පුවත් පත්වලට ලියූ කවි, සෝවියට් රජය නිර්ධය ලෙස විවේචනය කළ අතර ඒවා කොමියුනිස්ට් වාදයට ප්‍රතිවිරෝධ දැක්වූ කවි ලෙස සලකා ඇති බවත්, ඒ හේතුව නිසා දොස්තර ශිවාගෝ හා ඔහුගේ පවුලේ උදවියට, ජීවිත තර්ජන පැමිණීමට බොහෝ සේ ඉඩ ඇති බවත්, ඒ හෙයින් වඩාත්ම නුවණැති දේ මොස්කව් හී නොසිට එයින් පිටවීම බවත්, කියා ඒ සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන ද සකස් කර එවා තිබුණි. මේ හෙයින් ඔවුන් සියල්ලම ටොන්යා ගේ පියා වූ ඇලෙක්සැන්ඩර් ග්‍රොමේකෝස් ගේ ගම වූ 'වැරිකිනෝ' බලා යෑමට පිටත් විය. ඔවුන්ට එහී යන්නට සිදුවූයේ 'බොල්ශෙවින්' පාලකයන් විසින් පාලනය කෙරූ දුම්රියකිනි. එය ඉතාමත් දිගු ගමනක් වූ අතර, දුම්රිය තුළ නිදන මැදිරි වල ඔවුනට යෑමට හැකි විය. මෙම දුම්රිය ගමන රුසියාවේ හිමෙන් වැසුනු ගම්මාන පරිසරය මැදින් ගිය සුන්දර ගමනක් විය. නමුත් ඒ සුන්දරත්වය අතරින් භීතියද නොතිබුණා නොව.

දොස්තර ශිවාගෝව හමුදා භටයන් කීපදෙනෙක් අල්ලාගෙන තම හමුදා නායකයා වෙත ඉදිරිපත් කළේ ඔහු දුම්රිය මදකට නැවැත් වූ පසු එයින් බිමට බැස පරිසරය විඳමින් සිටි අවස්ථාවකය.

එහෙත් එතැන වූයේ තවත් දෛවෝපගත සිදුවීමකි. හමුදා භටයන් ශිවාගෝව තම නායකයා ලඟට රැගෙන ගියහ. හමුදා නායකයා බවට පත්වී තිබුණේ, එදා මාර්ගයේ පත්‍රිකා බෙදමින්, පෙළපාලි යමින් සිටි, එලෙසම ලාරාව විවාහ කර ගත්, තවමත් ලාරා විසින් සොයන ඇය ගේ සැමියා වු පාෂාය. ඔහු ඔහුගෙ අරගලය ජය ගෙන ඇති බවක් ශිවාගෝට වැටහුණි. කෙසේ හෝ පාෂා ශිවාගෝව හඳුනා ගත්තේ, එදා ලාරා විසින් වික්ටර්ට වෙඩි තැබූ දවසේ වික්ටර්ගේ වෙඩි වැදුනු අතට බෙහෙත් දැමීමට ඉදිරිපත් වූ නිසාය. ශිවාගෝටද පාෂාව මතක ඒ සිදුවීම මතය. ලාරා තවම ඔහුව සොයන බවක් ශිවාගෝ පාෂාට දැන්විය. එහෙත් පාෂා කීවේ පෞද්ගලීක ජීවිත තබාගෙන අරගල දිනන්නට නොහැකි බවක්ය. කෙසේ හෝ ශිවාගෝ නිවැරදි අහිංසක පුද්ගලයෙක් බව පාෂා දැන සිටියේය. එහෙයින් ඔහු ශිවාගෝව නිදහස් කර හමුදා භටයන් සමඟ නැවත දුම්රියට යැව්වේය. සාමාන්‍යයෙන් මෙතනට ආ කිසිකෙනෙක් නැවත නොයන බවත් මේ නැවත ගිය පළමුවැනි පුද්ගලයා බවත්, ඒ අතින් ශිවාගෝ වාසනාවන්ත බවත් හමුදා භටයෝ පෙරලා එනවිට ශිවාගෝ ට කීහ.

'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටය වෙනත් තලයකට පරිවර්ථනය වෙන්නෙ දොස්තර යූරි ශිවාගෝ ටොන්යා දරුවා හා ඇයගෙ පියා වූ ඇලෙක්සැන්ඩර් ගෙ මුල් ගම්මානය වූ 'වැරිකිනෝ' වලට ජීවත්වීමට ගියාට පසුවය. මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ වූ පසුබිම් තල අප දකින්නේ මෙතැන් සිටය. එය දකින්නට ආරම්භ වන්නේද ඔවුන් දුම්රියෙන් මෙම ගම්මානයට එන අතරෙදීමය. මුලු පරිසරයම හිමෙන් වැසී තිබුණි. දුම්රිය ඇදෙන්නෙ මේ හිම වැස්සෙන මාර්ගයන් අතරින්ය.

දුම්රියෙන් යන අතරේ දොස්තර යූරි ශිවාගෝ දුම්රියේ කව්ළුව හැර පරිසරය දෙස බලමින් යන අපුරුවූ දර්ශනයක් චිත්‍රපටයේ තිබුණි. මොස්කව් නගරයේ සිට ගම්මානයට එන අතර මග දකින මෙම හිමෙන් වැසුණු පරිසරය එම චිත්‍රපටය රූ ගත කළ කැමරා අධ්‍යක්ෂක ෆ්‍රෙඩි යංග් විසින් සිදු කර ඇත්තේ අරුමැසිම ප්‍රතිහාර්ය ක් යැයි සිතේ. දුම්රියේ හිරවී යන යූරි ශිවාගෝ කවුලුව තුළින් දකින මෙකී සුන්දර වූ පරිසරය ට බද්ධ වන්නේ එයට දැඩිව වශී වූවාක් මෙනි. එම වශී වීම ප්‍රේක්ෂකයන් ටද එයාකාරයෙන්ම දැනෙන ලෙසය ෆ්‍රෙඩී යංග් කැමරා ගත කර තිබු⁣ණේ. එලෙසම මෙම දර්ශන වලට අනුකූලව විශ්මජනක සංගීතයක් සැපයූ සංගීත අධ්‍යක්ෂක මොරිස් ජාර් මෙලොවට පහල වූ තවත් ප්‍රතිහාර්යක් යැයි සිතේ.

'වැරිකිනෝ' ගම්මානය සුන්දර වූවාට එය බොහෝ තැන් ජන ශුන්‍ය වී පැවතුණි. එය නිතරම පාළු වූ ස්වභාවයක් ගත්තේය. එම පාළු ස්වභාවය බිඳින්නට දෝ හැම රැයකදීම හිවලුන් හූ හඬ නඟන්නට විය. ඇතැම් දිනවල හිවලුන් ඔවුන් සිටි නිවස අද්දරටද පැමිණෙන්නට විය.

ලාරා ව අහම්බෙන් ශිවාගෝට මුණ ගැසුණේ මේ අතරේදීය. ඒ මුණ ගැසීමේදී ඔවුනතර තිබූ පරණ සම්බන්ධය නැවත අළුත් විය. ලාරා ඒ වන විට, වැරිකිනෝ ගම්මානයට පැමිණ අව්රුද්දක් පමණ වූ අතර ඇගේ කුඩා දියණිය ගම්මානයට නුදුරින් තිබූ කුඩා නගරයක පාසැලකට යන්නට විය. යූරි ශිවාගෝ ඉන්පසු නිතරම ලාරා ව සොයා යන්නට විය. මේ අතරේදී ශිවාගෝ ගේ බිරිඳ වූ ටොන්යා ද තවත් දරු ප්‍රසුත්තියකට සැරසුනි. ඇයගේ උදරය දරු ගැබින් විශාල වේගන එන අතරේදී දොස්තර ශිවාගෝ ට සිතුණේ ලාරා හා සම්බන්ධ ය නවත්වා දමා ටොන්යා වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවකි. එහෙයින් ඒ බව කියා මේ සම්බන්ධ ය නවත්වා දැමිය යුතු යයි සිතූ ශිවාගෝ තම අසුපිට නැගී ලාරාව හමුවීමට ගියේය. එසේ ලාරාගෙ නිවසට ගොස් සියල්ල පවසා සම්බන්ධය බිඳ දමා යළි තම නිවසට එන අතරේ රුසියානු රැඩිකල් සංවිධානයක කල්ලියක් ශිවාගෝව පැහැර ගතී. ඒ පැහැර ගත්තේ ඔවුන් සෝවියට් රජය සමඟ කැරලි ගසා අරගල කරන විට තුවාල වන ඔවුන්ගේ මිනිසුන් ට වෛද්‍ය සේවාවන් ලබා දීමට ය. ඒ පැහැර ගැනීම ඔහුගෙ ජීවිතය තව තවත් අඩාල කළේය. එක දිගට අව්රුදු 2 කක්ම ඔහුට ඔවුන් සමඟ සිටින්නට සිදුවිය . ඒ සිටින්නට සිදුවූයේ පිටස්තර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයකින් තොරවය. එහෙයින් ඔහුට ටොන්යා සමඟ වත්, ලාරා සමඟ වත් සම්බන්ධවීමට නොහැකි විය.

අව්රුදු 2 කට පසු කැරලි කරුවන් ඔහුට නිදහස දුන්නෙ ඒ වන විට කැරලි කාරයන්ගේ බහුතරයක්ම සටන් නිසා විනාශ වූ හෙයිනි. ඔවුන්ට තව දුරටත් සටන් කිරීමට ශක්තියක් හා පිරිසක් නොවූ නිසා, සංවිධානය විසිරුණි. ශිවාගෝ හිම කාන්තාරය තරණය කරමින් ලාරාගෙ නිවසට පැමිණියේය.

ඒවනවිට ඔහු හිම කුණාටුවලට අසුවූ නිසාත්, ඉමහත් සේ අබල දුබල වී සිටියේය. ලාරා ඔහුව තමා ලඟ තබාගනිමින් සාත්තු කර යථා තත්වයට ගෙන ඒමට සමත් විය. ටොන්යා විසින් ලාරාට ලිපියක් සීල් කර එවා තිබුණේ කවදා හෝ දිනයක ශිවාගෝව මුණ ගැසුණහොත් මෙම ලිපිය ඔහුගේ අතට පත් කරන ලෙසටය. එම ලිපිය මාස 6 ක් පමණ පැරණි විය. එකී ලිපිය අනුව දරු ප්‍රසුත්තියේදී ටොන්යා ගැහැණු දරුවෙකු බිහි කෙරූ අතර ඇයගේ නම ඇනා විය. සෝවියට් එක්සත් ජනරජය විසින් ටොන්යාගෙ මුළු පවුලම රටින් පිටුවහල් කෙරූ අතර ඔවුන් ප්‍රංශය ට ගොස් එහී පැරිස් නගරයේ ජීවිතය යළි ගොඩ නගාගෙන ඇත.

නැවත කිසිදිනයක ටොන්යා ව ,තමාගෙ දරු දෙදෙනාව හා තම මාමණ්ඩිය ඇලෙක්සැන්ඩර් ව දකින්නට නොලැබෙන බව දැන් ශිවාගෝට විශ්වාසය . ලාරා ටද පාෂාව යළි හමුනොවන බව ස්ථීර වි⁣ය. ශිවාගෝ හා ලාරා ගෙ පරණ ආදර බැඳීම යළි අළුත් විය. ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වන්නට විය.

එක් රාත්‍රියක හදිසියේම බලාපොරොත්තු නොවූ අයුරින් වික්ටර් කොමරොවස්කි ලාරාව සොයා ආ විට, ඇය සමඟ ශිවාගෝ සිටින බව දැක පුදුම විය. එලෙසම ඔහු කියා සිටියේ ලාරාගේ සැමියා පාෂා දිවිනසා ගත් බවත්, ඔහුගේ මිනිය පාරක තිබී හමුවූ බවත්, සෝවියට් රජයට විරුද්ධව කැරලි ගැසූ නායකයෙක් නිසා ඔහු මිය ගියද ඔහු සම්බන්ධ හැම කෙනා ගැනම සෝවියට් රජය අවධානයෙන් සිටින බවත් ඒ නිසා ලාරා ඔහුගේ බිරිඳ නිසා ඇය ගැන රජය සොයමින් සිටින බවක්ය. ලාරටත්, ශිවාගෝටත් රටින් පිටුවහල් වීමට තමාට උපකාර කළ හැකි බවක් වික්ටර් කීය. එහෙත් එයට ශිවාගෝවත් ලාරාවත් කැමති වූයේ නැත. මෙය ඔහු ලාරාව රැගෙන යාමට කරන උප්පරවැට්ටියක් යැයි සිතූ ශිවාගෝ ඔහුව නිවසින් එලවා දැමීය.

නමුත් දෙවනි වර ඔහු පැමිණ විට ඔහු කී දෙය සත්‍ය බවත් තවත් ලාරා මෙහි සිටියහොත් ඇය හා ඇයගේ දියණියට අනතුරක් සිදුවෙන්නට ඉඩ ඇති බවක් ශිවාගෝටද වැටහුණී. එහෙයින් ලාරාට වික්ටර් සමඟ යෑමට ශිවාගෝ ඉඩ දුනී. වික්ටර් සමඟ දුම්රියේ යන අතර වාරයේ ඇය වික්ටර්ට කීවේ තමාට ශිවාගෝ ගෙන් දරුවෙක් පිළිසිදී ඇති බවක් ය.

ශිවාගෝ මොස්කව් වල නැවතුනි . කාලය අව්රුද්දක් පමණ ගත වුනි. දිනක් ශිවාගෝ මොස්කව් සිට දුම්රියකින් යන විට දුම්රිය කව්ළුවෙන් ලාරා ඇවිදගෙන යනවා දුටුවේය. ඒ වන විට දුම්රියද එම නැවතුමේ නැවැත්වුනි. වහා දුම්රියෙන් බැස ගත් ශිවාගෝ, ලාරාගෙ නම කියමින් ඇය පසු පස ගියද ඔහුගේ ආමන්ත්‍රණය ඇයට ඇසුණේ නැත. එවිටම ශිවාගෝගෙ හෘද ස්පන්දනය වැඩි වී හෘදාබාධයකට හැරුනී.

දොස්තර යූරි ශිවාගෝ ගේ අවමංගල්‍ය යෙන් පසු ලාරාව හා ශිවාගෝ ගේ දරුවාව සෙවීමට උත්සහ කළේ ඔහුගේ සොහොයුරු ජනරාල් යෙව්ග්‍රාප් ශිවාගෝ ය. එහෙත් ඔහුට ඔවුන් ව සොයා ගැන්මට නොහැකි විය. ලාරා කොහේ හෝ කම්කරුවන් සිටින කඳවුරක මිය යන්නට ඇතැයි ඔහු අනුමාන කළේය.

ටාන්‍යා මොවුන්ගේ දරුවෙක් යයි යෙව්ග්‍රාප් සිතන්න ට පෙළඹුනේ, ඇය දෙමාපියන් සොයා ගත නොහැකි වූ අනාථ තරුණියක් වූ නිසාත් ,ඇයගේ මතකයන් විවර කරන විට ඇය විස්තර කරන ඇයගේ මව බොහෝ දුරට ලාරාට සමාන නිසාය. යෙව්ග්‍රාප් ගෙ කථාව ටාන්‍යා අසා සිටියද, ලාරා හා ශිවාගෝ ගේ පින්තූරු දුටුවද ඔවුන් දෙදෙනා තමාගෙ මව හා පියා ලෙස පිළිගන්නට ටාන්‍ය මැලි කමක් දැක්විය. නැවත ටාන්‍යා තම පෙම්වතා සමඟ යන්නට සැරසෙන විට, ඇයගේ අතේ තිබෙන 'බලලයිකා' සංගීත භාණ්ඩය යෙව්ග්‍රාප් දිටීය. ටාන්‍යාගේ පෙම්වතා කීවේ ඇය මෙම භාණ්ඩය අපූරුවට වාදනය කරන බවත්, රුසියාවේ හොඳම බලලයිකා සංගීත භාණ්ඩය වාදන කරන අය අතර ඇයද සිටින බවත්, ඇය එය කිසිවකගෙන් ඉගෙන නොගෙන සහජ හැකියාවෙන්ම වාදනය කරන බවත් ය.

යෙව්ග්‍රාප් ට කුඩා කාලයේදී, ඔවුන්ගේ මව, යූරි ශිවාගෝට 'බලලයිකාව' ක් ගෙනත් දුන් බවත් ,ඔහු එය කිසිවකගෙන් ඉගෙන නොගෙන ඔහුගේ සහජ හැකියාවෙන්ම වාදනය කළ බව සිහි විය. එසේ නම් ඔහුගේ නිගමනය නිවැරදිය. මේ ටාන්‍යා යනු තම සහෝදර දොස්තර යූරි ශිවාගෝගේම දියණිය බව දැන් නම් යෙව්ග්‍රාප් ට විශ්වාසය. ඔහු ඒ බවක් ඇයට කීමට හිස එසෙව්වද, ඔහු ට දකින්නට ලැබුණේ 'බලලයිකා' වත් තම කරේ එල්ලාගෙන තම පෙම්වතා සමඟ ඈත දුර යන ටාන්‍යා වය.

ඔමාර් ශෙරිෆ් නමිවූ ඒ ශ්‍රේෂ්ඨ ඊජිප්තියානු රංගධාරියා විශිෂ්ඨ ලෙස 'දොස්තර යූරි ශිවාගෝ' ගේ චරිතය ට පණ පෙවීය. ජූලි ක්‍රිස්ටි 'ලාරා ඇන්ටිපෝව් ' වූ අතර, 'ටොන්යා' වූයේ ජෙරල්ඩීන් චැප්ලින් ය . ඇලෙක් ගුයිනස්, 'ජනරාල් යෙව්ග්‍රාප් ශිකාගෝ' වූ අතර රොඩ් ස්ටයිගර් 'වික්ටර් කොමොරොවස්කී' ලෙස රඟපෑවේය. ටොම් කර්ටේනි 'පාෂා' විය. 'ඇලෙක්සැන්ඩර් ග්‍රොමේකෝ' වූයේ රැල්ෆ් රිචඩ්සන් ය. රීටා ටුෂින්ගම් 'ටාන්‍යා' ගේ චරිතය රඟපෑවා ය .

'ඩොක්ටර් ශිවාගෝ' ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කළේ 1965 වසරේ දෙසැම්බර් 22වන දිනය. එය එංගලන්තයේ 1966 අප්‍රේල් 26 වෙනි දින සිට තිරගත විය. 1966 දෙසැම්බර් 10 වන දින ඉතාලි ප්‍රදර්ශනය ආරම්භ විය. යළි 1999 සැප්තැම්බර් 28 වන දින ඇමරිකාවේ දෙවනි වරටත් තිරගත කිරීම ආරම්භ කළේය.

විනාඩි 193 ක එනම් පැය 3 කුත් විනාඩි 13 ක ධාවන කාලයෙන් යුක්තවූ 'ඩොක්ටර් ශිවාගෝ' හී එකල ඇස්තිමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 11කි. මුල් වටයෙන් ඇමරිකාවෙන් හා කැනඩාවෙන් ලද බොක්ස් ඔෆිස් ආදායම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 111.7 කි. ලොව අනෙක් රටවල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 248.2 ක ක ආදායමක් ලැබීය.

38 වෙනි ඇමරිකානු ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේදී 'ඩොක්ටර් ශිවාගෝ ' චිත්‍රපටය ප්‍රධාන සම්මාන 5 ක් දිනාගති.

ඒ 'හොඳම තිර නාටකය - රොබට් බෝල්ට්, ' හොඳම සංගීත අධ්‍යක්ෂක මොරිස් ජාර් , 'හොඳම කැමරා අධ්‍යක්ෂක ෆ්‍රෙඩි යංග් ට ය. ඉතිරි සම්මාන දෙක හොඳම කලා අධ්‍යක්ෂණය ට හා හොඳම ඇඳුම් නිර්මාණය ටය. එලෙසම මෙය හොඳම චිත්‍රපටය- කාලෝ පොන්ටි, හොඳම අධ්‍යක්ෂක - ඩේවිඩ් ලීන් සම්මාන සඳහා නිර්දේෂ විය.

38 වෙනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට, චිත්‍රපට දෙකක් තේරුණු අතර,ඒ 'ඩොක්ටර් ශිවාගෝ ' හා ' ද සවුන්ඩ් ඔෆ් මියුසික් ය'. ජූරියේ 10 දෙනෙක් සිටි අතර 5 දෙනෙක් 'ඩොක්ටර් ශිවාගෝ ' ට පක්ෂ විය. ,අනෙක් 5 දෙනා 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' චිත්‍රපටය ට පක්ෂ ව ලකුණු කළහ. එලෙස සම සමව ලකුණු එකතු වුනද, විනිශ්චය මණ්ඩලය හොඳම චිත්‍රපටය ලෙස ⁣සම්මානය දුන්නේ ' ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' චිත්‍රපටය ටය.

එහෙත් කාලෝ පොන්ටි නිශ්පාදනය කළ ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ 'ඩොක්ටර් ශිවාගෝ ' චිත්‍රපටය 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' චිත්‍රපටය ට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බවක් එතැන සිටි බොහෝ අයගේ මතය විය.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

ශෝන් මැක්ස්මස් දිසානායක මහතාගේ මුහුණු පොත් සටහනකින්.
සියළු හිමිකම් ඒ මහතා සතුයි.

https://www.facebook.com/shaun.dissanayake

Leave a Reply

Your email address will not be published. Required fields are marked *