බටලන්ද ඇවිලේ..පාතාලය නිදැල්ලේ…

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දෙසටයි. පසුගිය 14 සිකුරාදා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් බටලන්ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සභාගත කරන ලදි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හා හිටපු ජනාධිපතිවරු ගණනාවක්ම එක තැනක එකට හමුවූ උත්සවයක් පසුගිය සඳුදා (10දා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මුළු රටේම අවධානය ඒ උත්සවය සඳහා යොමු වී තිබුණේ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හිමියන් ලෙස අභිනවයෙන් තේරීපත්වූ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක හිමි උත්තරීතර තානාන්තරය ප්‍රදානය කිරීමේ මහෝත්සවය ලෙස ඒ උත්සවය සංවිධානය කර තිබූ නිසාය. රජය වෙනුවෙන් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි ප්‍රමුඛ අමාත්‍යාංශය සංවිධානය කර තිබූ එම උත්සවයට හිටපු සියලුම ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයන්ට මෙන්ම බෞද්ධ කලාපීය රටවල තානාපතිවරුන්ටත් ආරාධනය කර තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග ආදි මහත්ම මහත්මීන් පැමිණ සිටීම විශේෂත්වයකි. ජනාධිපතිනි චන්ද්‍රිකා ශාලාවට පැමිණියේ අනුර කුමාර ජනාධිපතිවරයා පැමිණ අසුන් ගන්නට සූදානම් වූ අවස්ථාවට ආසන්නවයි. ඇය පැමිණෙන විට ජනාධිපතිවරයා අසලම සිටි ප්‍රභූවරයෙක් ඇයට අත දිගු කරමින් පිළිගන්නට සූදානම් වුවත් ඕ ඊට ප්‍රතිචාර දැක්වූයේ දෑත් එකතුකොට ආයුබෝවන් කියාය. ජනාධිපතිවරයා ඇයට ආයුබෝවන් කීවා දැයි පැහැදිලි නැත. එහෙත් සිද්ධිය හුවා දැක්වූ බොහෝ සමාජ මාධ්‍යවල ප්‍රකට වූයේ ජනාධිපතිනිය දෑත් එකතු කර වත්මන් ජනාධිපතිට ආයුබෝවන් කීවත්, ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා බලා සිටි බවටයි.

කෙසේ වෙතත් උත්සවය ඉතා ගරු ගාම්භීර ගෞරවනීය එකක් වූහ. ජනාධිපතිවරයා මහ නායක හිමියන්ගේ මහා නායක පදවියට අදාළ සන්නස් ප්‍රත්‍රය ප්‍රදානය කළ අතර සංස්කෘතික ඇමැතිවරයා ඊට අදාළ අක්තපත්‍රය ප්‍රදානය කළහ. ඉන් අනතුරුව සිදුවූ පිරිකර පූජාවන්ට සහභාගි වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට ද ආරාධනා කර තිබුණි. ඒ වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය උත්සවයේ සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ තමන්ට පාදයේ අපහසුතාවක් නිසා වේදිකාවට ආරාධනය නොකරන්නයි කියාය. එහෙත් එම ඉල්ලීම මනාව සම්බන්ධීකරණය වී නොතිබිණි. නිවේදනයට අනුව ඇයට ද වේදිකාවට නඟින්නට සිදු විය. වෙනත් අමතර සිදුවීම් හා කතාබස්වලින් තොරව උත්සවයේ වැඩකටයුතු ඉතා සාර්ථකව අවසන් වූයේ ජනාධිපතිවරයා කරනු ලැබූ කතාවෙනුත් අභිනව මහානායක හිමියෝ දේශනා කරනු ලැබූ අනුශාසනාවෙනුත් අනතුරුවයි.

ඒ හැරුණු විට පසුගිය සතිය පුරාම ජනාධිපතිවරයාට වැඩ අධික විය. ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ පිළිබඳ විවාද පාර්ලිමේන්තුවේ දිගින් දිගටම පැවැත්වීම නිසා දේශපාලනඥයෝ ද සිටියේ කාර්යබහුලවය. එම විෂය කරුණුවලට අමතරව පාර්ලිමේන්තුව තුළ පසුගිය සතියේ දේශපාලනමය කරුණු කාරණා රාශියක් සාකච්ඡාවට ගැණුනේ විපක්ෂයේ උණුසුම් මැදිහත්වීම් හා ඉදිරිපත්වීම් රාශියක් මතයි…

බටලන්ද පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා (14) පාර්ලිමේන්තුවේ සභාගත කළේය. මෙහිදී බිමල් කියා සිටියේ මේ වාර්තාව ගැන දින දෙකක විවාදයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බවයි.

බිමල්ගෙන් සංවේදි කතාවක්

බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සංවේදි කතාවක් සිදු කළ අතර, එය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

“ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මේ ඒකාධිපති භීෂණකාරි 1987 – 1990 සිවිල් යුද වකවානුවේ ඒ ආණුඩුවේ මැදිහත් වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතුරින් බටලන්දේ පවත්වාගෙන යන ලද මහාපරිමාණ ඝාතකාගාරයක් පිළිබඳ සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ මේ වන විට ජාතිකව හා ජාත්‍යන්තරව උනන්දුවක් ඇතිවී තිබේ. 1977 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්කර 1994 දී සිදුවූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේ මෙම නීතිවිරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳදමා 17 වසරක සාපයට එරෙහිව යලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි.

“ඒ 17 වසරක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මරාදමන ලද දස දහස් ගණන් ජනතාවට යුක්තිය ඉටු කිරීමයි. සූරියකන්ද වැනි සමූහ මිනීවළවල් පිළිබඳවද බටලන්ද ආදි වධකාගාර පිළිබඳවද එවක සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හෙළිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ එම ජනතාවට යුක්තිය ඉටු කිරීමයි; තම ආදරණීයන්ට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමයි; එම ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමයි; එම ක්‍රෑර, පාදඩ, දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි. ගරු කථානායකතුමනි, මේ වාර්තාවත්, එයට පදනම් වූ පිටු දහස් ගණනක සාක්ෂි සටහන්ද වැඩිපුර සමන්විතව තිබෙන්නේ මේ වධකාගාරවල අනන්ත වධවේදනා විඳි, එමෙන්ම තා සාක්ෂි දෙන මොහොතේදී පවා එම වධකයන් බලවත් තනතුරුවල විරාජමානව සිටියදී ඔවුන්ගේ පන්ති මිතුරන් පැහැදිලිවම එකී වධකයන් රකිමින් සිටියදී දහස් ගණන් පුද්ගලයන් ජීවිත අනතුරුව සිටියදී එම ජීවිත අනතුරු නොසලකමින් මේ කොමිසමට පැමිණ සාක්ෂී දීමට ඉදිරිපත් වූ නිසා බව ඔබතුමා හොදින් දනී.

“ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 1998 මැයි මස 22 දින එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට කොමිෂන් සභාව මගින් භාරදී ඇති බව පැහැදිලි වේ. එසේ වුවද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මේ වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකළ හේතුව එවකට අපැහැදිලි වුවත් අද අහස සේ පැහැදිලිය.

“කොමිසමේ ප්‍රධාන චුදිතයා මෑතකදී අල්ජසීරාවට ප්‍රකාශ කළ පරිදි එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැත.19980 සිට වසර 35ක්ද කොමිෂන් සභාව අරඹා වසර 30ක්ද කොමිෂන් සභාවේ වාර්තා නිකුත්කර වසර 25ක්ද ගතවී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විසින් මා වෙත පරපුරක හෘදයසාක්ෂිය කැටි වී ඇති මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එය ජනගත කිරීමටත් වගකීම පවරා ඇත. එසේම ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක සැඟවී තිබූ මේ වාර්තාව වසර 25කට පසු අද හිරු එළිය දැක තිබේ. මරණය වැලඳගත් විජේදාස ලියනාරච්චි සහෝදරයාත්, පරම්පරාවක දුක් වේදනා සහ ඔවුන්ගේ අරගලය පිළිබඳවත් මහත් බරකින් යුත් මේ වාර්තාව දැන් මම පාර්ලිමේන්තුවේ සභාගත කරමි.

“මේ වාර්තාව මාතෘභූමියේ අයිතිය පැහැරගත්, මවුබිමේ හිසගසාදැමීමට උත්සාහ කළ ගහලයන් පිළිබඳව ඔවුන්ගේ ක්‍රෑරත්වය පිළිබඳ වාර්තාවක් පමණක්ම නොවේ. 1989දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණන් සහෝදර සහෝදරියන් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ හා හදවතේ තැන්පත් වූ විශාල ගල්පර්වතයක් තරම් වූ බරක් තිබේ. එය මාගේ පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සාමාජිකයන්ගේ හිතවතුන්ගේ පමණක් නොව, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටගෙන සිටින දස ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය සාධාරණ ශ්‍රී ලාංකිකයන්ගේ හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දනිමි. මේ වාර්තා මන්ත්‍රීවරුන්ගේ හා පොදුජනතාවගේ පරිහරණය සඳහා මුද්‍රණය කළයුතුයැයිද ඔබතුමාට යෝජනා කරමි. එමෙන්ම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මේ බටලන්ද වාර්තාව පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ,” යනුවෙන්ද බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසීය.

රනිල් බටලන්ද ගැන කතා කරයි.

මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ දේශපාලන කාර්යාලයට රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ එජාප නායකයන්ගේ මතය වූයේ බටලන්ද කොමිෂන් වාර්තාව ආණ්ඩුව ඉල්ලන් කෑ ගුළියක් බවයි.

“බටලන්ද වාර්තාව කියමින් දැඟලුවාට වාර්තාවේ තියෙන්නේ මොකක්ද කියලා කවුරුවත් හොයන්නේ නෑ!” වජිර කීවේ ඇත්තටම ඒ වාර්තාවේ සඳහන් දේ ගැන ඒ වාර්තාව සම්බන්ධයෙන් කතා කරන කිසිවකුත් නොදැන සිටීම සම්බන්ධයෙනි.

“ඇත්තටම සර්ට ඔය කොමිෂන් වාර්තාවෙන් චෝදනාවක් නඟලා නැද්ද?” රුවන් ඇසූයේ සමාජයේ බහුතරයකට තිබෙන ප්‍රශ්නයකි.

“කොමිෂන් වාර්තාවේ 119 පිටුවේ තියෙන්නේ මට ගෙවල් දෙකක් දීපු එකක් නීත්‍යනුකූල නැහැ කියලා. ඒක නිසා මම බටලන්දට වක්‍රව වගකිව යුතු බව කියනවා. බටලන්ද වාර්තාවේ මට කිසිම දඬුවමක් නිර්දේශ කරලා නෑ. මම සහ දෙල්ගොඩ වක්‍රව වගකිව යුතු බව කියනවා. එහෙම නැතුව ඍජුව කිසිම දෙයක් කියලා නැහැ. ගෙයක් දුන්න දුන්නා කියලා වක්‍රව වගකිව යුතු කතාවක් නම් තියෙනවා. අඩු ගණනේ මේවාට සැක කළ යුතුයි කියලවත් සඳහනක් නැහැ.” රනිල් පිළිතුරක් දුන්නේ සැහැල්ලුවෙනි.

වජිරගෙන් අලුත් තර්කයක්

අනතුරුව වජිර විසින් අලුත් තර්කයක් ඉදිරිපත් කරනු ලැබීය.

“මේ රටේ එදා ඇති කළ ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ ජවිපෙ බව බටලන්ද කොමිසම පිළිගෙන තිබෙනවා. දැන් මේ ආණ්ඩුව බටලන්ද කොමිසම පිළිගන්නවා කියන්නේ ඉහත කාරණයත් පිළිගන්නවා කියන එකයි. ඒ කියන්නෙ ප්‍රචණ්ඩත්වය ඇති කළේ ජවිපෙ බව කොමිසමේ පිළිගැනීම ආණ්ඩුවටත් පෙරළා පිළිගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි බටලන්ද කොමිසම පිළිගන්නවා, ප්‍රචණ්ඩත්වය ඇති කළේ අපි, කියලා පිළිගන්නේ නෑ කියන කතාව ආණ්ඩුවට කියන්න බැහැ.” වජිර ඉදිරිපත් කළ තර්කය සියල්ලෝම පිළිගත්හ.

“බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරලා ඡන්දයක් ගන්නවා නම්, ඒකට යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මොකක්ද ඉතින් දාන යෝජනාව? මේ වාර්තාව පිළිගන්නවා කියලා පාර්ලිමේන්තුවට කිවුවොත් ප්‍රචණ්ඩත්වයට ඒ අය වගකිව යුතුයි කියන කතාවත් පිළිගෙන විවාද කළ යුතුව තිබෙනවා.” සියලු මන්ත්‍රීවරුන්ගේ මතය එය විය.

“ඇත්තටම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මොත් කතා කරන්නේ මොකක්ද? මේකෙ පසුබිම ගැන කතා කරන්න පුළුවන්. පසුබිම තමයි ජේවීපීඑක. ජේවීපීඑක එදා කරපු දේ පිළිගන්නේ නැති බව වාර්තාවේ පැහැදිලිව තියෙනවා. එතනින් වාදේ පටන් ගත්තොත් මේක ඉවර වෙන්නේ කොතනින්ද?” තලතා ඇසුවාය.

“මේක යට ගිය කුණු ගොඩක් අවුස්සාගන්නවා වගේ වැඩක්. හරියට තමන්ගෙ කුණු තමන්ම ඇවිස්සීමක් වගේ…” චාමර කීවේ සියල්ලට සාවධානව ඇහුම්කන් දීමෙන් පසුවයි.

“මේ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට දාලා සර්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා වගේ කතා ගැලරියට කියනවා නේද?” ශෙහාන් පැවසූයේ ආණ්ඩුවේ ඇමැතිවරයකු කළ ප්‍රකාශයක්ද උපුටා දක්වමිනි.

ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරිලු

“එහෙම ප්‍රජා අයිතිය අහෝසි කරන්න හැකියාවක් නෑ. මේක 48 වගන්තිය යටතේ පිහිටුවපු සාමාන්‍ය කොමිසමක් විතරයි. පාර්ලිමේන්තුවට දාලා ඕනැ නම් කල් තැබීමේ විවාදයක් විදියට විවාද කරන්න පුළුවන්.” රනිල් පවතින තත්ත්වය විස්තර කළේ එසේය.

“ඒ කතාව හරි සර්, මමත් ස්වාධීන දේශපාලන විචාරකයෙක්ගේ වාර්තාවක් කියෙවුවා. සාමාන්‍ය කොමිසමකින් මුකුත් කරන්න බැහැ. එහෙම පියවරක් ගන්නවා නම් විශේෂ කොමිසමක් පත් කරන්න ඕනෑ. මේක අවුරුදු විසිපහක් පරණ කොමිසමක්. සාක්කි පවා අලුතින් ගන්න වෙනවා කියන අදහස තමයි ඒකෙ තිබුණේ.”

බටලන්දට විතරක් ඇයි විජේවීරටත් කොමිසමක් ඕන.

මේ අතර පසුගිය සතියේ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වූහ. එහි නායක කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව, පුබුදු ජාගොඩ, සේනාධීර ගුණතිලක, චමීර කොස්වත්ත ඇතුළු සාමාජිකයෝ මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කළහ. ඒ වන විට සමාජයේ පැතිරෙමින් තිබූ මතවාදය වූයේ වත්මන් ආණ්ඩුව බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට දමා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඇති කොට රනිල් වික්‍රමසිංහට නිසි දඬුවමක් ලබාදීමට සූදානම් වනු ඇති බවකි. ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ යම් යම් අදහස් දැක්වීම් පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පවා බටලන්ද කොමිසමේ නිර්දේශ ප්‍රමාණවත්ය. නිර්දේශ සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කොට රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කළ හැකි බව පිරිසකගේ මතයයි.

එහෙත් පෙරටුගාමී දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාවේදී ඔවුන් පලකළ මතය වූයේ… “අනුරලා රනිල්ලා හොඳ යාළුවෝ. රනිල්ට නරකක් වෙන්න කොහොමටවත් අනුරලා ඉඩ තියන්නේ නෑ. හැබැයි ජවිපෙ ගැන කැපකිරීම් කරපු බලවේගවලින් අනුරට බේරිල්ලක් නෑ…”

එහෙත් මේ රටේ ජනතාව ඒ සඳහා ආණ්ඩුව තල්ලු කළ යුතු බව ඔවුන්ගේ මතයයි. බටලන්ද කොමිසමට වඩා විජේවීර ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර පරීක්ෂණයක් පවත්වනවා යැයි මැතිවරණ වේදිකාවේ පොරොන්දු දුන් ආණ්ඩුව දැන් එය ඉටු කළ යුතු බව ඔවුන් සාකච්ඡා කළහ.. ඒ සඳහා දේශපාලනඥයන් හැටියට මහජනතාව දැනුවත් කරන්න පොරොන්දු ඉටුකරන්නට රජය වෙත බලපෑම් කළ යුතු බව පෙරටුගාමී දේශපාලන මණ්ඩලයේ අදහස වූහ.

“ආණ්ඩුව මේක පාර්ලිමේන්තුවට දානවා කියලා කියන්නෙ සමාජයෙන් ආපු තෙරපුම නිසා. ඒ වුණාට මේක එතනින් එහාට අරගෙන යයි කියලා අපට නම් විශ්වාසයක් නෑ. අරගෙන යන්න අපි ජනතාවත් එක්ක රජයට බලපෑම් කරන්න ඕන…”

මේ අතර පහුගිය දිනක ආණ්ඩුවේ ඇමැතිවරයකු වන නජිත් ඉන්දික, රජයට උදව් කරන එක්තරා පුද්ගලික රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට පැමිණ ඉදිරිපත් කරනු ලැබූ අදහසක් පෙරටුගාමීන්ගේ සැලකිල්ලට ලක්වූහ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී පියවරක් නොගනු ඇතැයි කියා ඔවුන් නිගමනය කරන්නට වූයේ නජිත්ලාගේ එවන් අදහස් දැක්වීම් ඉදිරියේය…. ඔහු එම වැඩසටහනේදී කියා ඇත්තේ මෙබඳු අදහසකි.

“මේ රටේ ජනතාව ලොකු බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ පරණ කුණු අවුස්ස අවුස්සා කාලය කා දමන්න නෙවෙයි. මේ රට හදන්න. මේ රට වැටිලා තියන ආගාධයෙන් මුදව ගන්න. පරණ වැරදි හොය හොයා ඉන්නවට වඩා අපිට මේ රට සංවර්ධනයේ මාවත වෙත ගෙනයන්න ලොකු වගකීමක් යුතුකමක් තියෙනවා…” එම වැඩසටහනේදී ලහිරු පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් නජිත්ගෙන් ලොකුවට ඒ ගැන ප්‍රශ්න කළත් ඔහුගේ අදහස වී තිබුණේ “පරණ කුණු හවුස්ස අවුස්සා රට ගඳ ගස්වමින් ඉදිරි වසර කිහිපය කාලය කා දැමිය යුතු නැති බවයි. රට වැටී ඇති තැනින් එතෙර කරවීමට රජය අවධානය යොමු කළ යුතු බවයි..”

එජාපයට ගැටලු ගොඩක් රනිල්ට ප්‍රශ්න පිට ප්‍රශ්න.

මේ අතරතුරදී එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වූ පීඩනය සුළු පටු නොවීය. බටලන්ද ප්‍රශ්නය ඔහුට තදින් බලපෑවේය. පළාත් පාලන ඡන්දය සඳහා පක්ෂය සූදානම් කළ යුතු විය. ඒ සඳහා රැස්වීම් ගණනාවකි. ඒ අතරින් පසුගිය බදාදා උදේ සිරිකොත මූලස්ථානයේ පැවැති නව සංවිධායකයන් පත්කිරීමේ රැස්වීම කැපී පෙනෙන මුහුණුවරක් ගත්තේය. නව සංවිධායකවරුන් 64ක් වූ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. එහෙත් ඒ අතර රැස්වීම උණුසුම් වූයේ කළුතර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න හා ලක්ෂ්මන් විජේමාන්න අතර ඇතිවූ එක්තරා ගැටුමක් නිසාය.

සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා ලක්ෂ්මන් විජයමාන්නය. රනිල් මෙවර ඔහුට දිස්ත්‍රික් නායකත්වය නොදී ඔහුගෙන් නොවිමසා දිස්ත්‍රික් නායකත්වය රාජිත සේනාරත්න වෙත පිරුනමනු ලැබීය. ලක්ෂ්මන් කළුතර ආසන සංවිධායකයා පමණක් විය. රනිල්ගෙන් පත්වීම් ලිපිය තනි අතින් ලබාගත් ඔහු ඒ මොහොතේම සිද්ධ වූ දෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කතා කරන්නට පටන් ගත්තේය.

“කරුණාකර ගිහිල්ල වාඩිවෙන්න, කතා කරන්න දෙයක් නෑ…” කියමින් රනිල් ඊට ප්‍රතිචාර දැක්වීය.

“මට මේ ගැන කතා කරන්න දෙයක් තියෙනවා… ඔබතුමා මේ විදිහට අපිව හෑල්ලු කරන්න එපා. දිස්ත්‍රික් නායකත්වය එතුමට දෙන්න ඕන නම් මාත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා….” යනාදී වශයෙන් ලක්ෂ්මන් විජයමාන්න දිගින් දිගටම අදහස් ප්‍රකාශ කළත් රනිල් හිටියේ ඒ කිසිවක් නෑසුන ලෙස අනිත් පැත්ත හැරී ය. ඔහු කීවේ ලක්ෂ්මන්ට සභාවේ වාඩිවෙන ලෙසයි. රාජිත කිසිවක් නොවූවාසේ නිහඬත්වය ආරක්ෂා කළේය. ඒත් ලක්ෂ්මන් විජේමාන්න සභාව ඇතුළේත් ඉන් පිටතත් තම ගැටලුව ගැන සභාව දැනුවත් කරමින් කෑ කෝ ගසන්නට විය. ආසන්න සංවිධායක පත්වීම් සම්බන්ධයෙන් තවත් ආසන ගණනාවක ප්‍රශ්න තිබුණු බව පෙනුණේ සංවිධායකයන් කිහිප දෙනෙක් නැඟිට ඒ පිළිබඳ විරෝධය පළකිරීම හේතුවෙනි. පක්ෂය ඇතුළේ බලවත් රනිල් ඒ කිසිවකට කන් නොදී කිසිවකුටත් කතා කරන්නට ඉඩ නොදී පක්ෂයේ වැඩකටයුතු මෙහෙයවමින් කටයුතු කළේය.

රනිල් සභාවේ වැඩකටයුතු රුවන්ට හා වජිර අබේවර්ධනට භාර කළේය…

“අද මම මේ අවස්ථාවේදී කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගකීම මම අපේ සභාපතිතුමාට භාරදුන්නා. සභාපතිතුමා මේ ඡන්දයට අපේ සූදානම ගැන කතා කරයි….”

ඒ අවස්ථාව භාරගත් පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කතා කළේය. ඔහුගේ කතාවේ ඉතා වැදගත් කොටසක් මෙසේ කියවිණි.

“අපිට අද 77 වසරක ශාපය කියලනේ කිව්වේ. 77 වසරක හොරු ලු. එතකොට බලන්නකො හොරු අවුරුදු 77 ක් ලුණු පැකට් එක රුපියල් 110කට තියාගෙන හිටියා. හොරු අවුරුදු 77 ක් පොල් ගෙඩිය රුපියල් 80 ට 100 ට තියන් හිටියා. අවුරුදු 77 ක් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නායකත්වය යටතේ පටන් ගත්ත මෝටර් සයිකල් ව්‍යාපාරය ලක්ෂ 3 ට තියන් හිටියා. අද ඒක ලක්ෂ 7 යි. ලුණු පැකට් එක 280 යි. පොල් ගෙඩිය රුපියල් 240 යි, 250 යි, 300 යි. දවස් 77 ට සිදු වූ වෙනස ඔබ තේරුම්ගත යුතුව තිබෙනවා. ලංකාවේ ත්‍රිරෝද ව්‍යාපාරය පටන් ගත්තේ මේ පක්ෂ මූලස්ථානයේ. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, සිරිල් මැතිව් මැතිතුමා පළවෙනි ත්‍රිරෝද රථ 10 නිදහස් කළේ මේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ. අද ඒක මහා ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. අද ඒ ත්‍රිරෝද රථය අවුරුදු 40 ක් 77 වසරක හොරු තියාගත්තා ලක්ෂ 6 ට 7 ට. අද ඒක ලක්ෂ 20 යි. එහෙනම් ඔබට පේනවා දෙසැම්බර් වෙනකොට අපේ රට නරක භයානක තැනකට ගමන් කරයි. ඒක අපි බලමු. ඒක අපිට කියන්න පුළුවන්. මහජනයා හරියට තේරුම්ගත යුතුව තිබෙනවා.”

මේ අතර හිටියා අමාරුවෙන් එළියට ගිය ලක්ෂ්මන් විජයමාන්න මාධ්‍ය අමතා රනිල්ටත්, වජිරටත්, රාජිතටත් බැණ වදින්නට වූහ.

“රාජිත කියන්නේ ගෙම්බෙක් වගේ එහාට මෙහාට එහාට මෙහාට පැන පැන ගිය මිනිහෙක්. අපි එදා ඉඳල අද දක්වා මේ පක්ෂය ආරක්ෂා කරගෙන මේ පක්ෂයට දර දිය ඇදපු මිනිස්සු. ඒ වුණාට අපේ නායකතුමාට අපි වගේ පක්ෂයේ රැකගත්ත මිනිසුන්ට වඩා වටින්නේ එහාට මෙහාට පනින ගෙම්බෝ. එයාට රාජිතව ඔය තරම් වටිනවනම් පත්වීම දෙන්න ඕන නම්, මාත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා. මමයි දිස්ත්‍රික් නායකයා… මේ පක්ෂයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. දැන් ඒකාධිපතියෙක් විදියට වියරු වැටිලා රනිල් වික්‍රමසිංහ වැඩ කරනවා නම් අපට තවදුරටත් මේ පක්ෂයේ ඉන්න විදියක් නෑ…”

එසේ කියමින් මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කළ ලක්ෂ්මන් විජේමාන්න ඊට ස්සේ සැළකිය යුතු වේලාවකට පසු සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවන්නට ගොස් තිබිණි. සජිත් ප්‍රේමදාස ඔහුට ඉතා හොඳ පිළිගැනීමක් ලබා දී තිබිණි. පළාත් පාලන මැතිවරණය කළුතර දිස්ත්‍රික්කයේ මෙහෙයවීම සඳහා උත්තේජනයක් ලබා දෙමින් ලක්ෂ්මන්ව පිළිගත් සජිත් ඔහුට කළුතර ඉතා ඉහළ ස්ථානයක් ලබා දෙන්නට පොරොන්දු වූයේය. ඒ අනුව ලක්ෂ්මන් විජයමාන්න සජිත් සමග ඉදිරියේදී වැඩ කරන්නට තීරණයක් ගත්තේය.

ඉන් අනතුරුව ලක්ෂ්මන් නැවතත් රනිල් වික්‍රමසිංහ හමුවන්නට ගියේය. තමන් මෙවන් පියවරක් ගත්තා යැයි ලක්ෂ්මන් රනිල්ට පැවසුවත් රනිල් ඒ පිළිබඳ කිසිදු අදහසක් ප්‍රකාශ කළේ නැත. ඒ රනිල්ගේ හැටිය.

රනිල්ගෙන් සජිත්ට පණිවිඩයක්.

හිටපු ජනපති රනිල් ඉකුත්දා රහසක් හෙළි කළේය. ඒ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද යාපා අබේවර්ධන, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, නිමල් ලාන්සා යන හිටපු මන්ත්‍රීවරුන් සමඟ පැවති කතාබහකදීය.

“විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුයි මම සජිත්ට පණිවිඩයක් යැවුවා” ඒ රහස හෙළි කළා මිස ඉන් එහාට යමක් හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේ නැත.

ඇමැති විජිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පැවසුවේ මොනවාද?

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සන්ධ්‍යාව’ දේශනය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සිදු කරන ලද අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළෙඳ ප්‍රමුඛතා පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ ව්‍යාපාරික නායකයන් සමඟ සම්බන්ධ විය.

අන්තර්ජාතික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර හිතකාමි පරිසරයක් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැප වීම අවධාරණය කරමින්, ආර්ථික ස්ථාවරත්වය, විදේශ ආයෝජන සහ වෙළෙඳ ව්‍යාප්තිය සඳහා රජයේ උපාය මාර්ගය අමාත්‍ය හේරත් මහතා සිය කතාවේදී ගෙනහැර දැක්වීය:

“අපගේ රජයේ අවධානය යොමු වී ඇත්තේ ප්‍රධාන ප්‍රමුඛතා තුනක් කෙරෙහිය. එනම්: දරිද්‍රතාව අඩු කිරීම, ඩිජිටල්කරණය සහ ‘පිරිසුදු ශ්‍රී ලංකාව’ යන බහුවිධ වැඩසටහන. මේ කුලුනු දේශීය හා අන්තර්ජාතික වශයෙන් සහයෝගිතාවට සහ හවුල්කාරිත්වයටද අවස්ථාවන් වේ. එබැවින්, රජය සහ පෞද්ගලික ව්‍යවසාය සමඟ මේ ඉදිරි ගමනේදී රාජ්‍ය තාන්ත්‍රික බලකායේ හවුල්කරුවන්ට මම ආරාධනා කරමි.මේ ප්‍රතිපත්තිමය දිශාව සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි ඇති හොඳ හිත දැනටමත් විශාල ප්‍රමාණයක් අප දැක ඇති අතර හවුල්කාරිත්වය සඳහා සංයුක්ත මුලපිරීම් සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

“ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීම සහ තිරසර කිරීම සඳහා රජයේ කැපවීම, ස්ථිර, දුෂ්කර සහ අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ සමඟ අත්කර ගෙන ඇති ස්ථාවරත්වය තුළින් පිළිබිඹු වේ. අන්තර්ජාතික මූල්‍ය ආයතන මෙන්ම අපගේ ණයහිමි රටවල් ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය මේ ඉදිරි ගමනේදී තීරණාත්මක වී ඇත. ඔබ දන්නා පරිදි, පෙබරවාරි 28 ෙදින, IMF විධායක මණ්ඩලය විසින් 48 වැනි මාසයේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානය යටතේ තුන්වැනි සමාලෝචනය අනුමත කරන ලද අතර එමඟින් අමෙරිකානු ඩොලර් මිලියන 334ක් ලබාගත හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය වීම සහ ආර්ථික ප්‍රතිපත්ති තිරසර කිරීම අරමුණු කරගෙන ඇත. මේ පියවර මඟින්, 2024 අවසානය වන විට සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සාර්ථකව ළඟා කර ගනිමින් IMF ශ්‍රී ලංකාවේ ශක්තිමත් වැඩසටහන් කාර්යසාධනය හඳුනාගෙන ඇත. මෙය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පරිසරයේ ස්ථාවරත්වය සහ ප්‍රගතිය පිළිබඳ ප්‍රබල ඇඟවීමකි.”

මෙහිදී අදහස් පළ කළ විජිත හේරත් අමාත්‍යවරයා රට ගොඩනැඟීම සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කරුණු දැක්වීමට රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.

පාතාලය නිදැල්ලේ වැඩ පොලිස්පති තාම අතුරුදන්.

පසුගිය සතියේ සමාජයේ කතාබහට ලක් වූ ගැටලු රාශියක් තිබිණි. එකක් වූයේ පොලිස්පති අතුරුදන් වීමයි. රටේ පොලිස්පතිවරයා ලෙස තවමත් නිල බලය හිමිවන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාටය. ඔහු රාජකාරිවලින් ඉවත් කර වැඩබලන පොලිස්පතිවරයකු පත්කර සිටියත් පොලිස්පති ලෙස සැලකෙන්නේ ඔහුය.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහුව අත්අඩංගුවට ගන්නයි ලබාදී තිබෙන නියෝගයට අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්න රට පුරා විමර්ශන කළත් දේශබන්දු තෙන්නකෝන් සිටින තැනක් සොයා ගන්නට කිසිවකුටත් නොහැකි විය. ඇතැම් පිරිස් විශ්වාසය පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ බලවතුන් හෝ රනිල් පාර්ශ්වයේ කවරෙකු හෝ බලවතෙක් ඒ වෙනුවෙන් සැඟව සිටින්නට දේශබන්දුට උදව් කරන බවයි.

රට පුරා ඒ වෙනුවෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය වැටලීම් ගණනාවක්ම කළේය. කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකරගෙන්ද යම් ප්‍රශ්න කිරීම් කර තිබුණත් ඒ පොලිස්පති ගැන දැයි තොරතුරු හෙළි වූයේ නැත. එහෙත් ඩිෂාන්ට අයත් මාතර මහ ගෙදර හිටිහැටියේම පොලිස් කණ්ඩායමක් විසින් රහසිගත මෙහෙයුමකින් වටලෑමක් කර තිබිණි. ඩිෂාන්ගේ වියපත් මාතාව පමණක් ජීවත්වන එම නිවසේ වැටලීමක් කරමින් සෙව්වේ කුමක්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කළත් ඒ ගැන ඩිෂාන් කතා කරන්නට දැක්වූයේ මැලිකමකි. ඔහු කීවේ එය විශාල කරදරයක් හා බලපෑමක් බවය. දේශබන්දු කර ඇතැයි කියන වරදට සමාන තවත් වරදක් බවය. වරෙන්තුවක්වත් නොමැතිව කරන ලද එම වටලීම කාගේ අවශ්‍යතාවයකට වූවක් දැයි දියවඩන නිලමේවරයා ප්‍රශ්න කරයි.

ඒ අතර නැවතත් පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති ආකාරයක් රට පුරා ප්‍රදර්ශනය වෙන සිදුවීම් ගණනාවක් පසුගිය සතියේ සිදුවිය. වෙඩි තැබීම්ද ඒ අතර විය. දෙමටගොඩ සංජීව ඝාතනයේ සැකකරුවන් සොයා ගන්නටත් නැති, පොලිස්පතිවරයා සොයා ගන්නටත් නැති මෙවන් තත්ත්වයක් යටතේ රටේ පවතින මහජන ආරක්ෂාවේ තරම සාකච්ඡා වූයේ පසුගිය දිනවල අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ අකරතැබ්බයක් සමගයි. එම අකරතැබ්බයත් සමගම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් කැළඹිල්ලක් ඇති වූ බව සනාථ කෙරෙන වැඩවර්ජන කීපයක්ද රටේ සිදුවිය. ඒ ගැන උණුසුම් කතාබහකින් මුළුමහත් සමාජයම ඇළලී ගිය දින කීපයකි පසුගිය සතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *