
සක් දෙවිගේ ඇරයුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටියහ. ඒ පුවත් අති මහත් වූ හෙයින් ගුත්තිල ඇදුරු ඔවුනට පැවසුවේ සිය වෙණ වැයුම් අසා සතුටින් පිනා ගිය සුරඟනන් තුටු පඬුරු වශයෙන් හෙළි කළ පින් පල පමණි. එහිදී සුරඟනන් ගුත්තිල ඇදුරිඳුට කියා පෑවේ මනුලොවදී කළ ඒ ඒ පින් අනුව තමන් ලද නානා සග සැප පිළිබඳ තතුය. වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයෙහි ඒ පින් පල විස්තර කෙරෙන පැදි වැලෙහි හමුවන එක් පැදියකි මේ.
තිඹිරි පකක් දුන් අඟනක් සඟන
දැක
ඉතිරි සැපත් ලදු ගන රන්
විමානෙක
සපිරි එළඳ පිරිවර ලියොම
දාසෙක
ඉදිරි පිහිට පින් මය ඉන් නොවවු
සැක
(ගුත්තිල - 494)
(සඟ නමකට තිඹිරි ගෙඩියක් පිදූ අඟනකට එහි පින් පල වශයෙන් දහසක් පිරිවර ලියන් සමග අධික සැප ඇති දිව්‍ය විමානයක් පහළ විය. එබැවින් ඉදිරියෙහිදී පිනම පිහිට වන බව සැක නොකරත්වා!)
පැරණි සිංහල කාව්‍ය සාහිත්‍යයට අයත් වනුයේ මහා කාව්‍ය දෙකක් පමණි. ඉන් එකක් දඹදෙණි යුගයේ විරචිත 02 වන පැරකුම්බා රජුගේ 'කව්සිළුමිණි' මහා කාව්‍යයයි. අනෙක නම් ජයවර්ධනපුර සමයේ විසූ ෂඩ්භාෂා පරමේශ්වර කවීන්ද්‍ර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමිපාදයාණන් විසින් නිර්මිත 'කාව්‍යශේඛර' මහා කාව්‍යයයි. කාව්‍යශේඛරය වූකලී ජාතක පොතෙහි එන 'සත්තුභස්ත' (අග්ගලා මල්ල) ජාතකය වස්තු කරගෙන රචිත කෘතියකි. මහලු බමුණෙකුගේ හා ඔහුගේ භද්‍ර යෞවන බැමිණි බිරිඳගේ ජීවන ප්‍රවෘත්තිය විදහා දැක්වෙන අතුරු කතාවක් කාව්‍යශේඛර මහා කාව්‍යයට පිවිස ඇත. මහලු බමුණා තම භද්‍ර යෞවන බිරිඳගේ ඇවිටිලි අනුව දැසි දස්සන් සොයා මග බැස යයි. කුසගිනි දැනුණු බමුණා. ගංතෙරක නැවතී ගෙදරින් ගෙනා අග්ගලා මල්ල ලිහාගෙන කා එහි කට නොබැඳම පැන් බීමට ගඟට යයි. ඒ අතර අසල තුඹසක හුන් නයෙක් අග්ගලා සුවඳ දැනී මල්ලට රිංගා ගනියි. එය නොදත් බමුණා මල්ලේ කට බැඳ එය කරේ එල්ලාගෙන යළි ගමන් අරඹයි. සිද්ධිය දුටු රුක් දෙවියෙකු පවසන බසක් එවේලේ බමුණාට ඇසේ.
අස බමුණ ගම් . වැසි
මග රැඳුන අද තෝ නසි
ගෙට ගිය අඹුව නසි
අතුරුදන් වී කියා මේ ලෙසි
(කාව්‍ය: ශේඛ: 10 සර්ග: 105 පැදිය.)
("ගම් වැසි බමුණ අසව. මග නැවතුනොත් අද නුඹට මැරෙන්නට සිදුවෙයි. ගෙදර ගියොත් නුඹගේ බිරිඳට මැරෙන්නට සිදු වෙයි" කියා රුක් දෙවි අතුරුදන් විය.)
රුක් දෙවි බස ඇසූ බමුණා බියෙන් ඇළලී ගොස් එහි අරුත් විමසා දැනගැන්මට සේනක පඬිඳුගේ දෙසුම් හලට යයි. බමුණාගෙන් සියලු තතු විමසා දැනගත් පඬිඳාණෝ සිදුවූ දෑ වටහාගෙන බමුණු හට රහස හෙළි කරති.
තොප ගිය කල බැමිණි
අතොබයි පයිය සපැමිණි
කයි නයි විස ගිහිණි
එයින් ගෙට ගිය නසියි ගුරුහිණි
(කාව්‍ය: ශේඛ: 11 සර්ග: 19පැදිය.)
(නුඹ ගෙදර ගිය කල බැමිණිය ඇවිත් මල්ලට අත ඔබයි. එවිට විසකුරු නයා ඇයට දෂ්ට කරයි. ගෙට ගියොත් බිරියට මැරෙන්නට සිදුවන්නේ එනිසයි.)
අතරමඟ නුඹ වයි
අත්සුණු කන්ට ගෙන පයි
අතෙළුව හොතින් නයි
නපුර මග ලැග්ගොත් කඩා කයි
(කාව්‍ය: ශේඛ:11 සර්ග: 20 පැදිය.)
(අතරමඟදී නුඹ අත්සුණු(අග්ගලා) කන්ට වහා (වයි) මල්ලට අත දැම්මොත් නයා නුඹට දෂ්ට කරයි. මග ලැග්ගොත් නුඹට නපුරක් (විපතක්) වන්නේ එනිසයි.)
මවිසින් මෙසේ මූලාශ්‍රද හෙළි කරමින් 'ගුත්තිල' සහ 'කාව්‍ය ශේඛර' යන උභය කාව්‍යයෙන් නිදසුන් පැදි කීපයක් ගෙනහැර පෑවේ භාෂා භාවිතයට අදාළ එක්තරා ශබ්දාර්ථ විපර්යාසයක් කෙරෙහි ඔබගේ වෙසෙස් අවධානය යොමු කිරීමේ අටියෙන් මිස කවිය ගැන යමක් කීමට නොවේ.
'ගුත්තිලය' හා 'කාව්‍ය ශේඛරය' යන කාව්‍ය කෘති දෙකම පහළ වූයේ කෝට්ටේ හෙවත් ජයවර්ධනපුර රාජ්‍ය සමය වන15 වන සියවසේය. අදට වසර 600කට පමණ පෙරය. එකී උභය කාව්‍යයන්හිම බස් වහර එකල විසූ ජනයාගේ සාධු සම්මත සැබි වහර බැව් නිසැකය. ඊට පටහැනි අසැබි බස් වහරක් එකල විසූ ලේඛකයන් හෝ කවියන් තම රචනාවන් සඳහා භාවිතයට ගනිතියි සිතිය නොහැකිය. එය අවඥාවට භාජන වන හෙයිනි.
මා ඉහත නිදසුන් කොට දැක්වූ 'ගුත්තිල' පැදියෙහි එන 'තිඹිරි පකක්' යන යෙදුමත් 'කාව්‍ය ශේඛර' පැදියෙහි එන 'අතොබයි පයිය' යන යෙදුමත් ජයවර්ධනපුර රාජධානි සමයේ විසූවන් ශිෂ්ට සම්මත භාෂා ප්‍රයෝගයන් සේ සැලකූ බැව් අවිවාදයෙන් පිළිගැනීමට සිදුවෙයි. කෝට්ටේ යුගයේ විසූ උත්කෘෂ්ට කවියන් දෙදෙනෙකුගේ ඡේකප්‍රයෝග සේ ඒවා සම්මතව ඇති හෙයිනි.
'තිඹිරි පකක්' යනු තිඹිරි පලය හෙවත් ගෙඩියයි. මෙම පල වාචී 'පක්' ශබ්දය පාලි භාෂාවේ එන පල වාචී 'පක්ක' ශබ්දයෙන් සිංහලට තද්භව වූවකි. එනම් බිඳී ආවකි. පාලියෙන් ගෙඩිය හෝ ඉදුණු ගෙඩිය හැඳින්වෙනුයේ 'පක්ක' නාමයෙනි. සිරි රහල් හිමියන් තම 'කාව්‍ය ශේඛර' පැදියෙහි 'පයිය' යන පදය යොදා ඇත්තේ 'පසුම්බි' වාචී නාම පදයක් ලෙසිනි. 'කාව්‍ය ශේඛර' පුරාණ සන්නය 'පයිය' වචනයට අරුත් දක්වන්නේ 'ප්‍රසේවිකා' යන සංස්කෘත නාමයෙනි. මෑත අතීතයේ පවා 'පයි' ශබ්දය පසුම්බි වාචී වදනක් ලෙස ව්‍යවහාරයේ පැවැති බව 'බුලත් පයි' 'කොක්කන පයි' යන සිංහල ගැමි යෙදුම්වලින් සනාථ වෙයි.
කෝට්ටේ කාලයේ ශිෂ්ට සම්මත සැබි වදන් සේ භාවිතයේ පැවැති 'පක්' ශබ්දය මෙන්ම 'පයි' ශබ්දයද මෙකල ජන සම්මතව ඇත්තේ අසැබි වහර වෙසෙසක් ලෙසිනි. මුල් සැබි අරුත සපුරා අතුරුදන්ව ගොස් තත් ශබ්දයන්ට එසේ අසැබි නිෂ්පන්න අරුතක් පිවිසියේ කෙසේද? මේ ප්‍රතීයමානාර්ථ හෙවත් ව්‍යංග්‍යායාර්ථ විපරීතය ජීවභාෂාවක එනම් කතා ව්‍යවහාරයේ පවත්නා භාෂාවක අනිවාර්ය ලක්ෂණයකි. එක් යුගයකදී එවන් භාෂාවකට අයත් වචනයක් තුළ ගැබ්ව පවත්නා නිෂ්පන්න අර්ථය කාලයාගේ ඇවෑමෙන් ගිලිහී ගොස්, තවත් යුගයකදී එම වචනයට අභිනව නිෂ්පන්නාර්ථයක් ප්‍රවිෂ්ට වෙයි. එය නොවැළකිය හැක්කකි. කතා ව්‍යවහාරයේ නොපවත්නා භාෂා අප මළ භාෂා ලෙස හඳුන්වන්නේ ඒවා මෙවන් ශබ්දාර්ථ විපර්යාසයනට ගොදුරු නොවන හෙයිනි. ජීව භාෂාවකට අයත් වාක්කෝෂය අන්තර්ගත ශබ්දකෝෂයන් අරභයා කලින් කලට අභිනව සංස්කරණයන් සැපයීමට සිදුවන්නේද මෙම ශබ්දාර්ථ විපර්යාසයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙනි.
'සමහන්' යන නාමය අද ලංකාවේ දසදිග්භාගයේ වෙසෙන කවර කෙනෙකුගේ හෝ කන වැකුණු සැණින්ම ඔහුගේ සිහියට නැගෙනුයේ උණ හෙම්බිරිස්සාවට වක්කර බොන බේත් කුඩකි. එම නම එතරම්ම තුඩතුඩ රැඳුණකි. මෙම බේත සඳහා යොදා ඇති 'සමහන්' යන නාමය කුමන අරුතක් පළ කරන්නක්ද? මෙතෙක් එය භාවිත කළ කිසිවෙකු එහි අරුත සොයා වෙහෙසුණැයි සිතිය නොහැකිය. එහි නිෂ්පාදකයන් හෝ මෙම 'සමහන්' වදන තම වෙළඳ දැන්වීම් මගින් වුවද නිර්වචනය කොට දක්වා ඇති බවක් නොඇසූ නොදුටු විරූය. ඇතැම් විට ඔවුන් තම නිෂ්පාදනයට 'සමහන්' නම යොදන්නට ඇත්තේ රෝග සමනය හෙවත් සංසිඳවීම යන අරුත සලකා යැයි අනුමාන කළ හැකිය.
එහෙත් පුරාණයේ මෙම 'සමහන්' යන වචනයෙහි ගැබ්ව පැවති අර්ථ කවරේදැයි ඔබ දන්නෙහිද යන්න සැක සහිතය. මෙම 'සමහන්' පද රූපය පුරාණ සිංහල කාව්‍ය ග්‍රන්ථයන්හිදී 'මෛථූනය' හෙවත් 'රති ක්‍රීඩාව' යන අර්ථයෙහි වැටෙන පර්යාය ශබ්දයක් වශයෙන්ද භාවිත වූවකි. ඒ අනුව 'සමහන්' සුව විඳීම යනු රති කෙළි යෙදීමයි.
12 වන සියවසේ දඹදෙණි රජ සමයේ 2 වන පැරකුම්බාවන් විසින් විරචිත 'කව්සිළුමිණි' මහා කාව්‍යයෙහි 2 වන සගෙහි එන 75 වන ගීයයි මේ.
"දවන් දවනෙක්වන් රුසිරඟ අඟ පසඟ වී
ලොබ සහගිය සිත් හුදු සමහම් ඔවුන් කෙවදන්"
(රුසිරු සිරුරක් ඇත්තියක ගැන ඇති වන ලොබ සිතම නිතර මුළු ඇඟම දවන ගින්නක් වැනිය. ඇය සමග රති සුව විඳුම ගැන කවර කතාද!)
(මෙහි 'සමහන්' වෙනුවට 'සමහම්' පද රූපය යෙදීඇත.)
15 වන සියවසේ සවන පැරකුම්බා යුගයෙන් අනතුරුව බිහිවුණු සීතාවක රජ යුගයේ විසූ අලගියවන්න මුකවෙටි කිවිඳුන්ගේ කුස ජාතක කාව්‍යයේ එන මේ 463 වන පැදිය බලන්න.
යා දෙක නොරත . රත
සමග පෑසීමෙක් නැත
එබැවින් විරත රත
දෙදෙන සමහන් වී ඉඳිනු නැත
(රත් වුණු යකඩය හා රත් නොවුණු යකඩය එකට නොපෑහෙයි. එසේම රාගයෙන් රත් වුණු හා රත් නොවුණු දෙදෙනා අතරද තෘප්ත ලෙස රති කෙළි විඳුමක් සිදු නොවෙයි.)
එහෙත් 'සමහන්' වචනය 'රතිකෙළි' අර්ථයෙන් වත්මන් ලේඛන ව්‍යවහාරයේ හෝ කතා ව්‍යවහාරයේ භාවිත නොවන්නකි. ජයවර්ධනපුර කෝට්ටේ 06 වන පැරකුම්බා රජ සමයේ ඔහුගේ බෑනා වන නන්නූරුතුනයාර් විද්වතා විසින් රචිත 'පුරාණ නාමාවලිය' නම් නිඝණ්ඩුව 'සමහන්' යන්නට, 'රති ක්‍රීඩාව' යන අර්ථය හැර, 'සිප වැලඳ ගැනීම' හා 'එකට එක්වීම' යන අර්ථද පළ කරයි.
මෙම නිදසුන් මගින් ව්‍යවහාර භාෂාවට අයත් එක් ශාබ්දික ලක්ෂණයක් සනාථ වෙයි.. එනම් යුගයෙන් යුගයට වාග් ව්‍යවහාරයේ අඛණ්ඩව සිදුවන නොවැළැක්විය හැකි අර්ථ විපර්යාසයයි. මේ ශාබ්දික විප්ලවයට හසුවුණු තවත් වචන යුගලයක් මෙකල මෙරට ජනතාවගේ තුඩ තුඩ රැව් දෙයි. ඉන් එකක් 'අරගල' යන්නය. අනික 'අර්බුද' යන වදනය. මේ වචන දෙකම පැරණි සිංහල ග්‍රන්ථ ව්‍යවහාරයේ එයි. එහෙත් එක් නිශ්චිත අර්ථයකින් නොවේ. වෙනස් අර්ථයෙනි.
පළමුව 'අරගල' ශබ්දය ගනිමු. 'අරගල' යන්න සංස්කෘත භාෂාවේ නොඑන්නකි. එහෙත් 'අර්ගල' යන්න එයි. එය පාලියේ 'අග්ගල' යනුවෙන් යෙදේ. සිංහල 'අගුල' එන්නේ එයිනි. මෙකල වෙසෙන ශබ්දකෝෂකාර විද්වත්හු 'අරගල' ශබ්දය අරබයා , 'දබරය', 'කෝලාහලය', 'ආරවුල', 'සටන' ආදි අරුත් දක්වති. එය ඉංග්‍රීසි Quarrel යන්නට සමාන වෙයි. එහෙත් අපේ පැරණි ග්‍රන්ථ ව්‍යවහාරයේ භාවිත 'අරගල' ශබ්දයේ ගැබ්ව පැවතියේ ඊට සපුරා වෙනස් වූ ප්‍රතීයමානාර්ථයකි.
15 වන සියවසේ ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ විසූ ෂඩ් භාෂා පරමේශ්වර කවීන්ද්‍ර ශ්‍රී රාහුල ස්වාමිපාදයන් විරචිත කාව්‍යශේඛර මහා කාව්‍යයෙහි උත්කර්ෂයෙන් වර්ණිත අවස්ථාවක් ඇත. භද්‍ර යෞවන සේනක කුමරු තමා ආවාහකොටගත් කුසුම සුකුමාල නව වධූව සමග මධුර මධුසමය ගෙවීමෙන් අනතුරුව නගර ප්‍රදක්ෂිණාවේ යෙදෙයි. එම සුන්දර දර්ශනය නැරඹීමට යුහුසුලු වූ පුරකාන්තාවෝ තම මන්දිරවල උඩුමහලේ සිට රන් පඩි පෙළෙන් බිමට බසිති. එම වැනුමෙහි එන පැදියකි මේ.
මනහර පුළුලුකුළ
කැරැ මිණි මෙවුල් අරගළ
රන් හිණින සුලකළ
තුමුටු බටුවෝ ලියෝ පැහැදුළ
(කාව්‍ය ශේඛර: 6 වන සග; 50 පැදිය.)
(පැහැපත් කාන්තාවෝ තම සිත්කලු පුළුල් උකුළෙහි බැඳි මිණි මෙවුල් නාද නංවමින් අලංකාර රන් හිණිමගින් හානි හනික බිමට බැස්සෝය.)
(තුමුටු = ශීඝ්‍රව ; ඉක්මනින්.)
මෙම පැදියෙහි 'අරගල' ශබ්දය යෙදී ඇත්තේ 'මහත්වූ නාදය' යන අර්ථයෙනි. එය එකල ව්‍යවහාර සම්මත අරුත වූ බැව් නිසැකය. 'අරගල' යන්නට මෙකල පිවිස ඇති 'සටන' යන වෙසෙස් අරුත එහි ගෑවීවත් නැත. 'අරගල' ශබ්දයේ ගැබ්ව පැවති නාදය , ඝෝෂාව යන පැරණි අරුත කාලයාගේ ඇවෑමෙන් 'සටන' යන අරුතට පෙරළී යෑම ව්‍යවහාර භාෂාවේ ශබ්ද ධර්මය අනුව කවර අරුමයක්ද? එහෙත් අද භාවිත වන 'අරගල' ශබ්දය තුළද පැරණි අරුත සැඟවී සිටිතියි කීම කවර වරදද? මක්නිසාද යත් , මෙකලද 'අරගලය' උද්ඝෝෂණයක්ද වන හෙයිනි. අද අප සුලබ ලෙස භාවිත කරන :අරගල' වදන ඉංග්‍රීසි Struggle යන්නට පර්යාය වශයෙන් වර්තමානිකයන් විසින් මෑත යුගයේ තනා ගත්තකැයි සිතමි. ඉංග්‍රීසි Struggle යන්න 'සටන' යන අර්ථය දෙන්නකි.
වර්තමාන ව්‍යවහාරාර්ථයට පටහැනි වූවක් ගම්‍ය වන අනික් ශබ්දය 'අර්බුද' යන්නය. කෝෂ ග්‍රන්ථ අනුව 'අර්බුද' ශබ්දය පැරණි වහරේ බහු අර්ථ නංවන්නකි. එහි මෙකල ප්‍රචලිත විශේෂ අර්ථයට වඩා එම අර්ථයෝ සපුරා වෙනස් වෙති. පැරණි ව්‍යවහාරාර්ථ අනුව 'අර්බුද' යනු කම්මුල් ආදියේ මස් දලු ලියලා සෑදෙන පිළිකා ගෙඩි විශේෂයකි. දශකෝටියද 'අර්බුද' නාමයෙන් හැඳින්වෙයි. එසේම 'අර්බුද' නාමයෙන් දන්නා නිරයක්(අපාය)ද වෙයි.
'අර්බුදය' යන්නෙහි සම්මත වත්මන් ව්‍යවහාරාර්ථය වී ඇත්තේ වහා විසඳිය නොහැකි , තීරණාත්මක , උග්‍ර ප්‍රශ්නයකි. නැතහොත් ගැටලුවකි. මෙම 'අර්බුද' ශබ්දය එම අරුතින් භාවිතයට පැමිණියේ ඉංග්‍රීසි Crisis යන්න ඇසුරෙන් යැයි සිතමි.
වෙනත් භාෂාවකට අයත් වෙනස් අර්ථ ඇති වචනයක් අපේ භාෂාවට අවිචාරවත් ලෙස ප්‍රවිෂ්ට කිරීම කරණකොටගෙනද අනපේක්ෂිත ශබ්දාර්ථ විපරීත සිද්ධ වෙයි. ඇතැම් විට ඒවා හාස්‍යයෝත්පාදකද වෙයි. ඒ බව සනාථ කරනු වස් කීර්තිධර ප්‍රාඥයෙකුගේ ප්‍රශස්ත නෛරුක්තික විවරණයක් ගෙනහැර පාම්හ. එය ඔබගේ අවබෝධයට හා ආස්වාදයට හේතු භූත වන බැව් ඉඳුරාම දැනුම්හ.
එකල මම විශ්ව.විද්‍යාලයේ පළමු වසරේ උපාධි අපේක්ෂකයෙකි.විශ්වවිද්‍යාල ඡාත්‍ර ගණයාගේ පුථුපඤ්ඤභාවය නගා ලනු වස් එවක අප රටේ වැජඹුණු ප්‍රඥා ප්‍රදීපස්තම්භායමාන විද්වතුන් විශ්ව විද්‍යාලයට ගෙන්වා මාසික දේශනයක් පැවැත්වීම එකල අපගේ සිංහල සංගමයේ නියත වතක් විය. වරක් ඒ උදෙසා අපගේ ආරාධනය ලැබුවේ භාෂාන්තර සමයාන්තර ඥානධර පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාශයන්ය. එදා ඔහු වරින් වර සිනා නගමින් තමාටම ආවේණික හාස්‍ය උපහාස රසාලිප්තව කළ දේශනයේදී මම පළමු වරට ශබ්දාර්ථ විපරීත පාරිභාෂික පද නිෂ්පාදනයෙහි අත්‍යන්ත අවිචාරත්වය සාක්ෂි සහිතව සාක්ෂාත් කරගතිමි. ඔබ වෙනුවෙන් මා පහතින් මගේ වදනින් ලියා දක්වෙන්නේ තවමත් මගේ මතකයේ නිනද වන පරණවිතාන ප්‍රාඥයන්ගේ ඒ ආස්වාදනීය නෛරුක්තික විවරණයයි.
"ඉංග්‍රීසි Museum වචනයට හොඳටම ගැළපෙන වචනයක් සිංහල මිනිහා නිපදවාගෙන පාවිච්චි කළා. ඒක තමයි 'කටු ගේ'. ඒත් අපේ පණ්ඩිතයො ඒක හොඳ නෑ කියලා 'කෞතුකාගාරය' කියන සංස්කෘත වචනය භාවිතයට ගත්තා. ඒත් ඒගොල්ලො දන්නෙ නෑ සංස්කෘත භාෂාවේ 'කෞතුකාගාරය' කියන්නෙ කසාද බැඳපු ජෝඩුවක් මංගල රාත්‍රිය ගත කරන කාමරයට කියලා. 'කෞතුක' ක්‍රීඩාව කියන්නෙ රති ක්‍රීඩාවටනෙ. 'කෞතුක' කියන්නෙ කුතුහලය, කුහුල. රති ක්‍රීඩාවත් කුහුල දනවන ක්‍රීඩාවක්නෙ. තවත් එහෙම වචනයක් තමයි 'උපකුලපති'. ඉංග්‍රිසි Vice Chancellor වෙනුවටයි ඒ නම හදාගෙන තියෙන්නෙ. සංස්කෘත භාෂාවෙ 'කුල' ශබ්යේ අර්ථය 'පවුල.' ඒ අනුව 'කුලපති' කියන්නෙ පවුලේ ප්‍රධානියා. පවුලේ ප්‍රධානියා සැමියනෙ. 'උප කුලපති' කියන්නෙ සැමියා නැති වෙලාවට එන දෙවෙනි සැමියා. ඒ කියන්නෙ සොර සැමියා. අපි Assistant Secretary , Assistant Director තනතුරු සඳහා යොදනවා 'සහකාර' ලේකම්, 'සහකාර' අධ්‍යක්ෂ කියලා. සංස්කෘත භාෂාවෙ 'සහකාර' කියන්නෙ 'මී අඹ'. ඒ අනුව අර තනතුරු හඳුන්වන්න ඕනැ මී අඹ ලේකම්. මී අඹ අධ්‍යක්ෂ කියලා. අපි අද 'පේෂ කර්ම' කියලා හඳුන්වන්නෙ රෙදි කර්මාන්තය. ඒත් සංස්කෘත භාෂාවෙ 'පේෂකර්ම' කියන්නෙ පිටි කෙටීමට. ඒකනෙ කියමනක් තියෙන්නෙ 'පිෂ්ට පේෂණයෙන් වැඩක් නෑ' කියලා. එකම දේම නිතර නිතර කියනවා නම් ඒක හරියට පිෂ්ට පේෂණයට , පිටි කෙටීමට සමානයි. පිටි වෙන කං කෙටුවට පස්සෙ කොටන්න දෙයක් නෑ නෙ.".
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.
https://www.facebook.com/karunarathna.amarasinghe.3
සාහිත්‍යයේ ශෘංගාරය

භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය රසාවිෂ්ට
ප්‍රතිභාන්විතයෙකුට මිස රසවිහීන හුදු වාර්තාකරුවෙකුට නොකළ හැක්කකි. සාහිත්‍යය හා ස්ත්‍රී පුරුෂ ප්‍රේමය යන දෙකෙහි සමවාය අරභයා කළ විසිතුරු වර්ණනා අපගේ පැරණි සිංහල සාහිත්‍යයේ නොයෙක් තැන දිදුලයි. පැරණි වුවද අදද ඒවා නොව පැරණිය වන රමණිය වැනුුම් මැයි. යුග යුග රසික ජන මන පිනවන වදන් සිත්තම්මැයි. අප සතු පැරණි පොත පතින් උකහා ගත් එබඳු සිරිඟර රසයෙන් පෙඟුණු මනරම් වැනුම් නව ජන සන්නිවේදන මාධ්‍යයනට නගාලීමෙන් ඒවායෙහි රසය තම හදවතින්ම පසක් කොට ගැන්මට වත්මන් රසික ජනයාට මං සැලසීම සංස්කෘතික පුණ්‍ය කර්මයක් යැයි සිතමි. සෞන්දර්ය පූජාවක් සේ සලකමි.
ගුරුළු ගෝමී පඬිඳුන් විරචිත උත්කෘෂ්ට සාහිත්‍ය ග්‍රන්ථ රත්නයක් වන, 'ධර්මප්‍රදීපිකා' නම් මහා බෝධිවංශ පරිකථා ග්‍රන්ථයෙහි හමුවන "දන්ත පුරේ රාජා හුත්වා" යන 146 වන පාඨය අරබයා මට සිලිටි සුකොමල සිනිඳු මුදු හුදු හෙළවදනින් ගෙතුණු පරිකථාවක් වන මනරම් 'සුළු කලිඟු දා' නම් පෙම් පවත වූකලී සිරිඟර රසයෙහි නොමියෙන මිහිර මමන සාහිත පබඳකි. සුහදයෙනි! ඔබහට රස විඳිනු වස් එය මෙසේ මගේ වදනින් හකුළා දක්වම්හ.
කලිඟු රජුට දරුවෝ දෙදෙනෙකි. දෙදෙනාම පුත්තුය. ඒ දරුවන් දෙදෙනාගේ ලක්ෂණ බැලූ නිමිතිකාරයෝ අනාවැකියක් පළ කරති.
"පියාගෙන් පසු රජ වන්නේ මහ කලිඟු කුමරුය. සුළු කලිඟු කුමරු තවුස් වෙස් ගෙන ජීවිකාව කරන කෙනෙක් වෙයි. ඒත් ඔහුගේ පුතෙකු චක්‍රවර්ති වනු ඒකාන්තය."
ඉන්පසු ලොකු පුතා පියාගෙන් පසු රජ වෙයි. තම පුතා චක්‍රවර්ති වන බව ඇසූ සුළු කලිඟු කුමර මල්හු උදම්ව හිඳිනා බව දැනගත් වැඩිමල් සොයුරු රජු තම මල්ලී අල්ලාගෙන එන්නැයි අණ දෙයි. රජ අණ සැලවූ සැණින් සුළු කලිඟු කුමරු තම මුද්දත් පලසත් කඩුවත් තම විශ්වාසවන්ත ඇමතියෙකුට දී දිවි රැක ගනු පිණිස පලා ගියේ ඔහුට මෙසේ පවසමිනි.
"කවදා හෝ දිනක මේ වස්තුත් අරගෙන මගේ පුතා පැමිණියහොත් ඔහුට රජය දෙනු."
සුළු කලිඟු කුමරු මෙසේ දන්වා පිටත්ව ගොස් ඔයක් අසල රමණීය වන පියසක අසපුවක් සාදාගෙන හුදකලා දිවියක් අරඹයි.
මදුරට සාගල නුවර මදු රජුටද දුවක් සිටියි. නිමිති කාරයෝ ඇයගේද ලක්ෂණ බලා ඇය තවුස් දිවියක් ගෙවන බවත් ඇගේ පුතෙකු චක්‍රවර්ති වෙන බවත් කීහ. ඇය භද්‍ර යෞවනයට එළඹ සිටි කල්හි මුළු දඹදිවම රජවරු ඇය පතා අවුත් නුවර වට කොට ගත්හ. එකල්හි මදු රජු, "මා මගේ දුව මොවුන් ගෙන් එකෙකු හට දුනහොත් සෙසු රජවරු උදහස් වෙති. මා ඇය රැක ගත මැනවැ"යි සිතා දුවද බිසෝද හැරගෙන වෙස් වලා වනයට පලා ගොස් සුළු කලිඟු කුමරු විසූ තැනට
නුදුරු තැනක අසපුවක් කොටගෙන විසීය.
වසන්තය උදා විය. නව යොවුන් විය බබළවන මදු රජ දුව, මවුපියන් පල වැළ නෙළා ගෙනෙනට වන වන් කල්හි නන් විසිතුරු කුසුමින් ගෙතූ මල් දමක් ගෙල පැලඳගෙන අසපුවෙන් නික්ම ගොස් එවන පියසෙහි තිබූ මල් පල්ලෙන් පිරි අඹ රුකකට නැගී හුදකලාව ගී ගයමින් කෙළිදෙලෙන් ඔකඳව සිට පසුව තම ගෙල පලන් එම මල් දම අඹ රුක අසලින් නැලැවි නැලැවී ගලා ගිය ඔය දියේ හෙළා යළි අසපුව බලා යෑම සිරිතක් කොටගෙන සිටියාය.
සුළු කලිඟු කුමරුද එළැඹ සිටි වසන්තයේ හුදකලා නවයොවුනන්ට දැනෙන දුකින් නොමඳව තැවේ. කුමරුගේ දුක වාවනු බැරි තරමට බලවත් වෙයි. වසන්තයේ අසිරි සිරියෙන් සැරසුණු වන මැද කෙසේ හුදකලාව වසන්නද! සුළු කලිඟු කුමරු දිනක් ඔයට බැස දිය නාද්දී දියේ පාවී ආ මල් දමක් තම හිසෙහි දැවටෙයි. එමල් දම නිසැකවම නව යොවුන් දැරියකගේ සියුමැලි ඇඟිලි තුඩින් මැවුණක් බැව් සිතූ සුළු කලිඟු කුමරු එම මල්දම ආ තැන සොයා ගියේ නොඉවසිල්ලෙනි. අඹ රුක් දෙබලෙහි හිඳ මදු රජ දූ ගැයූ
මියුරු ගීය ඇසෙන දෙසට කුමරුගේ පා
එසැවෙයි.
දෙව් අප්සරාවකගේ රූ සිරියෙන් දුල්නා නව යොවුන් මදු රජ දූ දැක කුල්මත් වන සුළු කලිඟු කුමරු අඹ රුක් මුලට එළැඹ "සොඳුර ඔබ කවුරුන්දැ"යි අසා මදු රජ දූ බව දැනැ නොයෙක් පෙම් බස් කියා ඕ ගසින් බස්වා ගැන්මට අපමණ වෙහෙසක් ගත් මුත් එය පල නොගත් බැවින් තම අවසන් පෙම් බසත් පැවසුවේ බලවත් සිත් තැවුලිනි
.ගුරුළු ගෝමි පඬිඳු සුළු කලිඟු දා කුමරුගේ මුවින් ගිලිහුණු ඒ අවසන් පෙම් බස තමාටම වෙසෙස් වූ මුදු සුකොමළ ගීතවත් මිහිරි හෙළ ප.ද වැලෙන් යුතුව සුකුමාරමතික ජන ළතෙත් වන ලතාවෙන් ගොතා ඇත්තේ මෙසේය.
"කියග සොඳුර! මහබඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ රන් ගලින් පහන් පැහැ උකාගෙනැ වනවිලින් මත්හස් යුවළක් ගෙනැ තුන්රත්පියුමක් ඇරැ එයින් එකක් තබා දෙකක් හිරාගෙනැ සිනිඳු සුනිල් මහනෙල් මල් දෙකක් ගෙනැ ළහෝපල්ලෙහි මෙළෙකක් ගෙනැ ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ සැහැසී හනා වනා බඹරබැර පුල් ලෙළ ලියෙක්හි එව තී මවමින් ළය කිසේ ගල කෙළේ හො"
(ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමි - සුළු කලිඟු දා වත)

(මහබඹු හඳෙන් සොමි ගුණයද රන් කන්දකින් රන් පැහැයද වනයේ විලකින් මත් හංස යුවළක්ද අරගෙන , රතු නෙළුම් මල් තුනක පෙති ඇර එකක් මුහුණට තබා දෙකක් ඉරා දෙතොලට තබා සිනිඳු සුනිල් මානෙල් මල් දෙකක්ද , ළා අසෝක දල්ලේ මෙළෙක හා ළා හෙල්මැලි මලේ සිහිලද අරගෙන , ඒවා හණික එකට ගළපා , බඹරුන් පිරුණු පිපී සැලෙන වැලක සතපා ඔබ මවා ඔබේ හදවත විතරක් මෙහෙම ගලක් කෙළේ කොහොමදැයි කියන්න සොඳුරිය!)
ගුරුළු ගෝමි පඬිඳුන්ගේ ඒ මනරම් ගැදි පෙම් බස නගමු හෙළ පැදියට.
සොමි ගෙන සඳෙන් රන් පැහැ ගෙන
රන් ගලින
මදමත් හසුන් යුවළක් ගෙන
වන විලින
තුන් රත් පියුම් ඇරැගෙන පෙති පොබයමින
ඔබ වත හා දෙතොල රිසි ලෙස
නිමවමින
සුසිනිඳු සුනිල් මහනෙල් මල්
දෙකක් ගෙන
සුව දෙන ළහෝපල්ලෙහි රැඳි
මෙළෙක ගෙන
සියුමැලි ළහෙල්මැල්ලෙහි මුදු
සිහිල ගෙන
මහබඹු එහැම විසිතුරු ලෙස
හනාගෙන
නුඹ මවමින් එහැම ගුණ ගිහිනි
විලසින
බඹර බර සුපිපි ලෙළ ලියක
හොවමින
ළය පමණක් නුඹේ ඒ බඹහු
මෙලෙසින
ගලක් කළේ කෙලෙසද සොඳුර
කිව මැන
'ධර්මප්‍රදීපිකා' කර්තෘ ගුරුළුගෝමි පඬිඳුන් මෙම මනරම් පෙම්බස මෙතරම් කාව්‍යමය ලෙස රසාලිප්තව රචනය කිරීමට මූල ආවේශය ලැබුවේ කොතැනින්ද ! මහාකවි කාලිදාස ප්‍රණීත කෘතියක් ලෙස ඇතැම් විචාරකයන් විසින් සැලැකෙන 'ශෘංගාර තිලක' ඛණ්ඩ කාව්‍යයෙහි එන මේ සුන්දර ශ්ලෝකය කියවා බලන්න.
ඉන්දීවරේන තයනම් මුඛමම්බුජේන කුන්දේන දන්තමධරම් නව
පල්ලවේන
අංගානි චම්පක දලෛඃ සවිධාය
වේධාඃ
කාන්තේ කථං ඝටිතවාන් උපලේන
චේතඃ
දෙනුවන් නිලුපුලින් මුව මඬල
නෙළුමෙනී
දසන් කොඳ මලින් තොල් අලුත්
දලුවෙනී
හැම අඟපසඟ සපුමල් පියලි
මොළොකිනී
බඹු ඔබ මවා ළය ගල කළේ
කෙලෙසිනී
මෙහිදී වර්ණනා චාතුර්යය අතින් ගුරුළු ගෝමි පඬිඳු කාලිදාස කිවිඳු අබිබවා නොබැබළෙතියි කාහට නම් කිව හැකිද?
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.
https://www.facebook.com/karunarathna.amarasinghe.3
ජෝර්ජ් කීට් මහතාගේ සිතුවම් - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි