සිංහල කෙටිකතාව- කාන්තා විමුක්තිය, ජීවන කතන්දර – කුඹුක්ගහ උල්පත, පරිවර්තිත කෙටිකතාව – තාත්තා කළ උදව්ව.

සිංහල කෙටිකතාව

කාන්තා විමුක්තිය

විල්සන්ට වෘත්තියක් නැත. එහෙත් ඔහුට රැුකියාවක් තිබේ. ඔහු අනියම් මුරකරුවෙකි. රුකියාව ස්ථිර රැුකියාවක් නොවුවද දැන් වසර ගණනාවක් පුරා ඔහු රැුකියාවට යයි. ඔහුට දැන් එය ස්ථිර රැුකියාවක් බඳුය. එම නිසා රැුකියාව ස්ථිර කර ගැනීමට ආයාචනා, උද්ඝෝෂණ, මාරාන්තික උපවාස යනාදිය කිසිවක් කිරීම සඳහා ඔහු යොමු නොවීය. විල්සන්ගේ බිරිඳ පමණක් ඉඳහිට ”නරකද රස්සාව ස්ථිර කර ගත්තොත්. ලොකු මහත්තයට කියලා” යනුවෙන් අසන්නීය. එහෙත් ඔහුගේ ප‍්‍රතිචාර නෑසුණා මෙන් සිටීමයි. එම නිසා විල්සන්ගේ බිරිඳ සුමනාවතීද එය ඔහුගේ හිසට දැම්මේ කලාතුරකිනි.

විල්සන් රැුකියාව කළේ සෙන්ට‍්‍රල් කොලීජියේය. මුරකරුවෙකු වූ ඔහු කිසි දිනෙක නිදිවරා නැත. ඊට හේතුව ඔහු දහවල් මුර කරු වීමය. රාත‍්‍රි කාලයේ මුර වැඬේ කළේ කොලීජිය අසල පදිංචිව සිටි අගෝනිස් අයියාය. නිදිවර්ජිතව පයේ ඇති දදය කසමින් ?ට කහින අගෝනිස් අයියාට ? මුර වැඩය පෑහේ. ? මුර වැඩෙයට එන අගෝනිස් අයියා මුල්ලක කුදගසා ගනී. ඉක්බිතිව කහිමින් කොලීජිය වටේ කැරකෙන අගෝනිස් අයියාට හොරුන්ගෙන් කරදරයක් නොවීය. ඩෙස්, පුටු හැර සොරාගැනීමට තරම් දෙයක් කොලීජියේ නොතිබුණු නිසා සොරු මන්ෙදාත්සාහී වූහ. ඉඳහිට හෝ සුළු හොරකමක් කළේ කොලීජිය අවට සිටි කිහිප දෙනෙකි. කෙසෙල් කැනක් හොරෙන් කැපීම, කුකුලෙකු සොරකම් කිරීම වැනි සුළු හොරකම් මිස බැංකු මං කොල්ලකෑම්, වැට්බදු වංචා වැනි මහා පරිමාණයේ සොරකම්වලට ඔවුහු සහභාගී නොවූහ. ඇරත් ඔවුහු අගෝනිස් අයියා හොඳින් දැන සිටි නිසා කොලීජියේ වත්තට පය නොතැබූහ. මේ නයින් බලන කළ කොලීජියේ විදුලි බුබුලක්වත් අතුරුදහන් වූයේ නැත.

රාත‍්‍රි කාලය නිසොල්මනේ ගෙවී ගියද දහවල් කාලයේ කොලීජිය සමකළ හැක්කේ යකාගේ කම්මලටය. දහවල් මුරකරුවා වන විල්සන්ට උදේ සිට සවස් කාලය දක්වා නිදහසක් නොවූයේ වැඩ අධිකව තිබීම නිසාය. විදුහල්පතිගේ පණිවිඩ පන්තිකාමරවලට ගෙනයෑම, විදුහල්පති කාමරය සුද්ධ පවිත‍්‍ර කිරීම, පාසලට එන අමුත්තන්ට විදුහල්පති හමුවීම අවහිර කිරීම හෝ ප‍්‍රමාද කිරීම (මෙය සිදුවූයේ විදුහල්පතිගේ නියෝග මතය. කොලීජියට ළමයින් ඇතුළත් කර ගැනීම ගැන කථා කිරිමට පැමිණෙන දෙමාපියන් තම ණය කරුවන් ලෙස විදුහල්පති දිටීය.* ගුරුවරුන්ගේ සුළු අවශ්‍යතා ඉටුකර දීම පමණක් නොවේ. ඉඳහිට තුවාලකරගත් ළමයින්ට ප‍්‍රථමාධාර ලබාදීමද ඔහුගේ රාජකාරි පරාසයට අයත් විය.

මෙලෙස උදෑසන සිට සවස් වරුව දක්වා එ් මේ අත දුවමින් වැඩකරන විල්සන් විදුහල්පතිතුමා රාජකාරි අවසන් කරත් ම එතුමාගේ කාර්යාලයේ විදුලි බුබුලූ, විදුලි පංකා නිවාදමා ෙදාර ජනෙල් වසයි. විදුහල්පති පිටව යාමත් අගෝනිස් අයියාගේ පැමිණිමත් අතර කාලය කොලීජියේ අරාජික
සමයකි. පැය කීපයකට සීමාවෙන මේ කාලයේ දී ආයතනයේ අධිපතියා විල්සන්ය. එම නිසා යතුරු කැරැුල්ල කරකවමින් කොලීජිය වටා යෑම ඔහුගේ සිරිතය. එවිට ඔහුව දකින කරඳඬු උස්වූ සිසූහු ”ඔන්න වයිස් ප‍්‍රින්සිපල් කාරයා එනවා..” යැයි එකිනෙකාට කියා ගනිති. මෙය දන්නා විල්සන් ඉඳහිට හෝ ගෝරනාඩුවක් දැම්මේ පහළ පන්ති වල සිසුන් වෙත පමණි.

අගෝනිස් අයියා පැමිණි වහාම විල්සන් ඔහු අතට යතුර බාර දෙයි. සිරිත් පරිදි ”අගෝනිස් අයියා ලොකු සර්ගේ කාමරය උදේට ඇරලා අතුගාලා තියන්න” යැයි විධානයක් ද දීමට අමතක නොකරයි. ඉක්බිතිව නිවසට යෑම සඳහා කොලීජියෙන් පිටත්වෙන විල්සන් ගෙදර ගෙන යාම  සඳහා එළවළු ටිකක්ද මිළ දී ගනියි. මෙසේ ගෙදර යන විල්සන් ඉවුම් පිහුම් කටයුතු වලදී බිරින්දෑට උදව් කරයි. තවමත් තරුණවියේ පසුවන ජෝඩුව විවාහ වී අවුරුදු පහක් ගතවුවද ඔවුන්ට දරුවෝ නොමැත. එය විල්සන්ට ගැටළුවක් නොවුවද බිරිඳට එය සිත්තැවුලකි. අසල්වාසී කාන්තාවන් ”මොකද සුමනෝ තාම මොකුත් නැද්ද?” යැයි ඇසූවිට සුමනා කරන්නේ ”පස්සේ බලනවා” යනුවෙන් පවසා සංවාදය මගහැරීමය. මේ බව දන්නා දරුවන් ඇති බවලත්තු එ් ගැන හාර හාරා ඇයගෙන් ප‍්‍රශ්න කරති.

එහෙත් රොසලින් අක්කා මේ ගැන ඇසුවේ උදවු කිරීමේ පරම චේතනාවෙනි. මැදිවියේ පසුවූ ඇය වැන්දඹුවකි. බොහෝ කරුණු කාරණා දැනසිටි ඇය නගරයේ සිදුවන දෑ පිළිබඳව අවබෝධයෙන් සිටියාය. ඇයගේ දියණිය සේවය කළේ මැදපෙරදිග රටකය. එම නිසා මැදපෙරදිග තොරතුරු පවා ඇය දැන සිටියේ යැයි කීම සාවද්‍ය නොවේ.

”      මෙහෙම ඉඳලා හරියන්නේ නෑ සුමනෝ. නරකද ඉස්පිරිතාලේ ක්ලිනික් එකකට ගියොත්? දැන් ඇවිල්ලා ඉන්න ඞී. ඇම්.  ඕ. ළමයි නැති අයට ක්ලිනික් එකක් කරනවා බදාදා හවස. දෙන්නා එක්ක යන එකයි තියෙන්නේ… ” රොසලින් අක්කා සුමනාට කිව්වේ සමාගම් කඬේ අසලදීය.
”      
මෙම විශේෂ සායනය පිළිබඳව තොරතුරු රොසලින් අක්කා දැනගත්තේ රෝහලේ කංකානමගේ බිරිඳ වන කැතරිනාගෙනි. කැතරිනාට මෙම ආරංචිය පැවසුවේ තම සැමියා වූ රෝහල් කංකානමයි.

රාජකාරි වේලාවේ දී පවා නිතරම සුරාමතින් සිටන විජේපාල කංකානම තමන්ට හමුවන සෑම අයෙකුටම රෝහලේ ඞී. ඇම්.  ඕ. මහතාගේ ගුණ වර්ණනා කරයි. ”අනේ අපේ ඞී. ඇම්.  ඕ. මහත්තයා දාහකින් හොයාගන්න බැරි රත්තරං මහත්තයා. අත්ගුණේ පිහිටලා තියෙනවා නියමෙට. ඇස්වහක්, කටවහක් නෑ සීදේවි මහත්තයා” ඔහු තොරතෝංචියක් නැතුව හැමෝටම කියයි.

මෑතකදී රෝහලට අලූතින් පත්වීම ලැබ ආ ස්ථානභාර වෛද්‍යවරයා තම පෞද්ගලික වෛද්‍යසායනය සඳහා රෝගින් ආකර්ෂණය කර ගැනීම පිණිස විවිධ උපක‍්‍රම භාවිතා කරන ලදි. කොළඔ පවුල් සංවිධාන කාර්යංශයට ගොස් දැනුවත් කිරීමේ පත‍්‍රිකා තොගයක් රෝහලට ගෙන ආ ඔහු බදාදා දිනවල පවුල් සංවිධානය පිළිබඳව සායනයක් ඇරඹීය. එම සායනයේ දී දරුවන් නැති විවාහක කාන්තාවන් සඳහා විශේෂ උපදෙස් ලබා දෙන ලදී. මෙම විශේෂ උපදෙස් වල සඳහන් වූයේ රෝහලට කිලෝමීටර් විසිපහකින් පමණ දුරකින් පිහිටි මහ රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවන ලෙසටත්, එතුමාගේ උපදෙස් පිළිපදින ලෙසටත්ය. මේ හැර සාර්ථකව පෞද්ගලික සේවයේ යෙදෙන සහකාර වෛද්‍යවරුන්ට රාජකාරි කරන වෙලාවේ පෞද්ගලිකව රෝගීන් බැලීම තහනම් කළ ඔහු, දිවා විවේකයේදී තම නිළ නිවාසයේ රෝගීන්ට පෞද්ගලිකව ප‍්‍රතිකාර කළේය.

තම ප‍්‍රතිරූපය නංවාලන වැඩසටහන්වලට ප‍්‍රිය කළ හෙතෙම රෝහලේ දී රෝගීන්ට කරුණාවෙන් කථා කළේය. බාහිර රෝගී අංශයේ මවුවරුන් සමඟ රැුදී සිටි කුඩා ළමුන්ගේ හිස අතගෑවේය. එසේම අනෙකුත් වෛද්‍යවරුන්ගේ ප‍්‍රතිකාර ක‍්‍රම හෙළාදැකීමට අමතක නොකළේය.

”අයියෝ.. මේ මොනවද දීල තියෙන බෙහෙත්” කියමින් ඔහු රෝගියාට කලින් ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයා විසින් නිකුත් කළ බෙහෙත් තුන්ඩුව දෙස සාවඥ ලෙස බලයි.

මින් බිරාන්ත වන රෝගීහු තමාට මීට ඉහත දී ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයා නියම කොට ඇත්තේ වැරදි බෙහෙත් වට්ටෝරුවක් බව සිතයි. මේ හැර අලූත් ෙදාස්තර මහතාගේ ජනප‍්‍රිය භාවය වැඩි කිරීම සඳහා විජේපාල කංකානම විසින් තැනිත් තැන පවසන ගුණකථනයන් ද ඉවහල් විය.

වරක් බීමතින් ගෙදර පැමිණි විජේපාල කංකානම රාත‍්‍රි ආහාරය ගනිමින් සිටිමින් තම බිරින්ඳෑට ආරංචියක් කීවේය.

”අපේ ඞී. ඇම්.  ඕ. මහත්තයා ළමයි නැති ගෑණුන්ට ළමයි හම්බවෙන්න ක්ලිනික් එකක් කරනවා. අපරාදේ කියන්න බැහැ සීදේවි මහත්තයා. මටත් හරිම කරුණාවයි. කෝ ගනින් ඔය මාළු හොද්ද මෙහාට. හරිම රසයි.” එසේ කියමින් මාළු සමග බත් අනාගෙන හොඳට බඩපුරා කෑවේය.

මේ ආරංචිය විජේපාලගේ බිරිඳ පසුදින ගමේ ගෑණුන්ට කීවාය. එතැන සිට රොසලින් ”අනේ කොච්චර හොඳද? එහෙනං අපේ සුමනාවතීව ෙදාස්තර මහත්තයාගේ ක්ලිනික් එකට යවන්න  ඕනෑ.” යැයි සිතා ගත්තාය. රොසලින් අක්කාගෙන් ලද ආරංචිය සුමනාවතී එදින සවස වැඩ ඇරී ගෙදර පැමිණි විල්සන්ට කීවාය.

විල්සන් එ් ගැන වැඩි තැකීමක් නොදක්වා ”බලමු” කීවා මිස වැඩි යමක් කීවේ නැත. මින් හිත රිදුණු සුමනාවතී ”එයැයිට මේවා ගැන කිසිම උනන්දුවක් නැහැ.” කීවේ බිඳුණු හඬිනි. එදින මුළු හවස්වරුවම සුමනාවතී සිටියේ බුම්මා ගත් මුහුණෙනි. විල්සන් ඇසූ යමකට එහෙන් මෙහෙන් උත්තර දීම හැර ඇය ඔහු සමග ලෙන්ගතුව බජනයට නොගියාය.

තම බිරිඳගේ මෙවැනි ක‍්‍රියාකලාපයන් නොරිස්සූ විල්සන් ? කෑමද නොකා ගෙයින් පිටතට ගියේ බාර් එකට ගොස් අඩියක් ගැසීමේ චේතනාවෙනි. මේ හේතුවෙන් සුමනාවතීගේ කෝපය තවත් වැඩි විය. කටුස්සියක සේ කිපුණු ඇය වළඳක් ද පොළවේ ගසා ? කෑම මේසය මත තිබිය දී ඇඳට ගියාය.

? බෝ වී වැනෙමින් පැමිණි විල්සන් අසීරුවෙන් දොරේ යතුර කලිසම් සාක්කුවෙන් ගෙන ෙදාර ඇරියේය. රාත‍්‍රී කෑම මේසය අස්පස් නොකට තිබිම නිසා ඔහුගේ හිසට වෙසමුණියා ආරූඪ විය. ඉක්බිතිව හටගත්තේ අනපේක්ෂිත ගැටුමකි.

”නොදකින් විතරක්, උඔට කෑම ටික අස්පස් කරන්න බැරි උනාද? අන්න මේසේ උඩ කැරපොත්තෝ විමානේ” විල්සන් පැවසුවේ පුටුවකටද පයින් ගසමිණි.

”බීලා බීලා ? තිස්සේ එනවා. මලසමයං” සුමනාවතී පැවසුවේ බිය මුසු කෝපයෙනි. සැමියා දැන් තමාට පහර දෙතැයි භිතියක් ඇයට ඇතිවිය. එම නිසා ඇයට යටිගිරියෙන් කෑගැසිණි. රාත‍්‍රි යාමයේ නිශ්ශබ්දතාව බිඳ හෙලමින් මෙලෙස කෑගැසීම විල්සන්ට රුචි නොවීය. එම නිසා ඔහු බිරිඳගේ කෙස්වැටිය ඇද පිටට පහරක් ගැසුවේය. එයින් ඇගේ කෑගැසීම වැඩි විය.

සුමනාවතීගේ සහ විල්සන්ගේ දබරය අසල් වාසින්ට ඉඳහිට අසන්නට ලැබේ. විල්සන්ගේ බැනීමත් සුමනාවතීගේ කෑගැසීමක් ඔවුන් පිළිගන්නේ අත්‍යවශ්‍යයෙන්ම සිදුවන සිද්ධීන් ලෙසය.

මසකට හෝ දෙමසකට වරක් තොරොම්බල්කරුවෝ ගමට එති. කැඞී ගිය පාරක් සෑදීමට ගන්නා ගල්තලන ලොකු මැෂිම (කොල්ලන් කුරුට්ටන් මෙය හඳුන්වන්නේ ගල්මෝල ලෙසිනි.* ඉඳහිට ගම්බද පාරවල මෙය දක්කට ලැබේ. මෙවැනි දේවල් නිසා ගමේ එක්කාරීත්වය බිඳීයයි. මිනිස්සු මෙවැනි දේවලට කැමති වෙති. එසේම ඉඳහිට විල්සන්ගේ නිවසේ සිදුවෙන ජවනිකාද අසල්වාසින්ට ආශ්වාද ගෙන ආවේය. එවැනි දිනෙක පිරිමින් හමුවූ විට දී ”අන්න විල්සන් කාරයා ගෑනීට නෙළලා..” යැයි එකිනෙකාට කියා ගනිති. ගැහැණුන් කම්මුලේ අත් තබා ගනිමින් විල්සන් සුමනාවතීට පහර දුන් බව බව කියන්නේ අනුකම්පාව හා දුක් සහිත ස්වරයෙනි. එහෙත් ආරංචිය කීමෙන් පිරිමින් ලබන ආශ්වාදය ඔවුහු ද අත්විඳිති.

”අනේ ඔය ගෑණී කොහොම ඔය මිනිහා එක්ක ඉන්නවද දන්නෑ.” යැයි ගමේ ගැහැණුන් පවසන නමුදු එවැනි ගැහැනුන්ගෙන් බහුතරය තම දයාබර සැමියන්ගෙන් ගුටිකා තිබේ. එකම වෙනස ඔවුන් සුමනාවතී මෙන් කෑ මොර දීමෙන් තොරව ගුටි කා පූසියන් මෙන් නිහඬව සිටීමයි.

මෙවැනි දිනවල දී රොසලින් අක්කා හමු වී තම දුක කීම සුමනාවතීගේ සිරිතය. ඇය ඇඬූ කඳුලින් රොසලින්ගේ නිවසේ සිටිනවා දකින අසල්වැසි කාන්තාවක වූ තරබාරු මැගිලින් සෝදිසියෙන් බලන බව සුමනාවතී දකින්නීය. හැලි අරක්කු පෙරූ මැගිලින් දෙමටපිටියේ අක්කා නමින් හැ`දින්විනි. දෙමටපිටියේ අක්කා අතීතයේදී පිරිමි දැලේ දමා ගැනීමට සමත්ව සිටි බවට රාවයක් ගමේ ගෑණූ අතර පැතිරී තිබූණි. තවද ඇග්නස් වැන්නියන්ද පැමිණ විවිධ උපදෙස් දීමට පටන් ගැනීම නිසා ඔළුව තෝන්තුවෙන සුමනාවතී හිටිහැටියේම කථාවට ඇහුම්කන්දීම නවතා තම ගෙදර යාමට සැරසේ. නිදහසට කාරණයක් වශයෙන් ඇය කීවේ තම ස්වාමියාට රාත‍්‍රි ආහාරය පිළියෙල කිරීමට තිබෙන බවයි. සුමනාවතී දිනකට කෑම පිසුවේ එක වරකි. දහවල් කාලයට කෑම පිළියෙල කරන ඇය රාත‍්‍රියට එ්වා රත් කරන්නීය.

ගමේ, නගරයේ තොරතුරු රැුස්කිරීම තම විනෝදාංශය කරගත් රොසලින් අක්කා ගමේ ප‍්‍රජාශාලාවෙහි පැවති චිත‍්‍ර ප‍්‍රදර්ශනයකට ගියේ අහම්බෙනි.”ගෘහස්ථ හිංසනය පිටුදකිමු” යන මාතෘකාව යටතේ පැවති මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ දුක්බර කාන්තා මුහුණු, අතමිට මොළවා ගත් සැමියන්, බියෙන් සැඟවෙන කුඩා ළමුන් යනාදී නොයෙකුත් චිත‍්‍ර තෙල්සායමින්ද, පැස්ටල් වලින්ද ඇඳ තිබිණි. මෙම චිත‍්‍ර නරඹමින් සිටි පිරිස අමතා විශේෂ නිවේදනයක් නිකුත් විය. ශාලාවේ අසුන් ගැනීමට සැමදෙනාටම කාරුණික ආරාධනයක් ලැබිණි. එ් සමගම ”දැන් ඔබ අමතා ඩල්සි පෙරේරා මහත්මිය කථා කරුණු ඇතැයි යන නිවේදනය යකඩ කටින් පිටවිය.

ශාලාවේ කොණක තිබූ ප්ලාස්ටික් පුටුවක වාඩි වූ රොසලින් අක්කා ඩල්සි පොරේරා මැතිණියට සවන්දුන්නේ කුතුහලයෙනි. ජාතික බැනියමක් වැනි ඇඳුමක් උඩුකයට ඇඳ නිල්පැහැති කලිසමක් ඇඳ සිටි ඩල්සි පෙරේරා මැතිණිය තොල්රතු කරගෙන සිටියාය. ඇය මදක් තරබාරුය. එහෙත් ගැමිලියන්ට නැති ඡුවි වර්ණයක් ඇය සතු වූවාය. ”

සැපට හැදිච්ච නෝනා කෙනෙක්” යන්න රොසලින් අක්කා ඩල්සි පෙරේරා ගැන ඇතිකරගත් තක්සේරුවයි. සිංහල සහ ඉංග‍්‍රීසි මිශ‍්‍ර වචන වලින් කථා කළ ඩල්සි පෙරේරා මැතිණියගේ මුළු කථාවම රොසලින් අක්කාට නොතේරුණද මෙම මහිලාව කියූ ඇතැම් කරුණු ඇයට වැටහුනාය.

පිරිමින් ගැහැණුන්ට හිංසාකළ යුගය අවසන් බවත්, සමස්ත කාන්තා පරපුරම ඊට එදිරිව නැගී සිටිය යුතු බවත් ඇය විසින් පවසන ලදි. එසේම ඇය සංචාරය කළ රටවල් වල නම් වැලක් කියාගන ගියාය. සෞදි, බහරේන්, ඩුබායි, සාජා වැනි තම දියණිය කියන රටවල් එහි නොවීය. රොසලින් අක්කාට මතක තිබුණේ එංගලන්තය පමණි. ඇය විශේෂ උනන්දුවකින් කාන්තා හිංසනය පිළිබඳව කථාකළ බවත් එ් නිසා නොයෙක් රටවල රාජ්‍ය නායකයින්ගේන් පදක්කම්, සහතික ලැබුණු බවත් කිවාය.

එහෙත් රොසලින් අක්කාගේ සිතගත්තේ ඇය අවසන් වරට පැවසූ වදන් ටික පමණි. සංක්ෂිප්ත වශයෙන් පවසතොත් එය මෙසේ කැටිකළ හැක. ”යම් පුරුෂයෙකු තම බිරිඳට පහරදෙන්නේ නම්, එය නීති විරෝධි කි‍්‍රයාවකි. එවැනි දේවල්වලට දැඩි දඬුවම් කිරීමට තදබල නීති දැන් තිබේ. යම් නිවෙසක මෙවැනි ගැටළු තිබේනම් තමාට පෞද්ගලිකව වුවද දැන්විය හැකිය. එවිට අනිවාර්යයෙන්ම ගතයුතු පියවර ගන්නවා ඇත.” කථාව අවසන් කිරීමට පෙර ඩල්සි පෙරේරා මැතිණිය තම ලිපිනය හා දුරකථන අංකය සභාවට දුන්නාය බොහෝ කාන්තාවෝ කඩිමුඩියේ එය ලියාගත්හ. රොසලින් අක්කා ලඟ සිටි අයෙකු ලියාගත් ලිපිනය තමා විසින් මිළට ගත් සිරිකත පත‍්‍රයේ අවසාන පිටුවේ ලියා ගත්තේ කුරුමිණි අඬු අකුරිණි.

ඩල්සි පෙරේරා මැතිණිය කථාව අවසන් කළ විට සභාවේ සිටි සියල්ලෝම අත්පොලසන් දුන්හ. දේශනය හමාර වූ විගසම තමාට වැඩ රාශියක් තිබෙන බව පවසා ඩල්සි පෙරේරා තමන් සමග පැමිණ සිටි කාන්තා කණ්ඩායම පෙරටුකොට ගෙන පීටත්වීමට සූදානම් වූවාය. ඇය තඩි මෝටර් රථයට නැගීමට පෙර ඇයට කිට්ටු වී ඇය නැරඹීමට රොසලින් අක්කාට අවශ්‍ය විය. ඩල්සි පෙරේරා මැතිණිය මැදි වයසේ සිටියද ඇයට ඇත්තේ තරුණ පෙණුමකි. සෑමදෙනා සමගම සිනාසුණූ ඇය අත් ඔරලෝසුව දෙස බලා මදක් හදිසිබව පළකළ නිසා කාන්තාවෝ ඇයට යාමට ඉඩදුන්හ. එ් ඇසිල්ලේම ඩල්සි පෙරේරා අසලට ගිය රොසලින් අක්කා ඇය දෙස බලා සිනාසුනාය. රොසලින් අක්කාට සිනාවකින් සංග‍්‍රහ කළ ඇය වහාම රෝටර් රථයට නැග ෙදාර
වසාගත්තාය.

ඇය කෙරෙන් හැමූ ප‍්‍රසන්න සුවඳ හා ඇගේ සිනාව රොසලින් අක්කාගේ සිත ගත් බව කිවයුතුය. ”අනේ මෙහෙම නෝනලා, ඡුන්දෙවත් ඉල්ලන්නෙ නෑනේ.” ඇය සිතුවාය. ඡුන්දය ඉල්ලන්න එන්නේ ශරීරයේ පච්චකොටා ඇති තැන් වැසීමට මෙන් ජාතික ඇඳුම අඳින, ඉස්සර මදාවි කම්කළ, පැට්රික්ය. ගමේ මිනිස්සු ඡුන්දය දෙන්නේ පැට්රික්ට මිස ඔහුගේ පක්ෂයට හෝ පාටට නොවේ. ”ඌ ගමේ එකා.” මිනිස්සු කියති. එ් නිසා මොන දහ ජරා වැඩ කළද පැට්රික් ට ගමේ ඡුන්ද වැටීම වැළැක්වීමට සක‍්‍රයාටවත්, සක‍්‍රයාගේ පුතා වන වෛමාටත් බැරිය.

රොසලින් අක්කා රැුස්වීමේ කථාවලට ඇහුම්කන් දීමෙන් පසු බර කල්පනාවකින් යුතුව පාරදිගේ ගෙදර එමින් සිටියාය. ”බලනකොට විල්සන් කරන්නේ අමු නොසන්ඩාල වැඩක්නේ. සුමනාවතීට කරන හිරිහැර වලට මූට මොනව කළත් හිත්වදිනවද?” ඈ තවදුරටත් කල්පනා කළාය. තෙමසකට වරක් හෝ විල්සන් හා සුමනාවතී අතර හටගැනෙන හැළහැප්පීම් වලට අත දැමීමට දැන් රොසලින් අක්කාට හේතු කාරණා තිබේ.

චිත‍්‍ර ප‍්‍රදර්ශනයෙන් පසු සුමනාවතී හමුවන රොසලින් ”සුමනෝ දැන් කොහොමද? විල්සන් එහෙම…” යැයි ඇසීමට අමතක නොකළාය. ”අමුත්තක් නෑ” සුමනාවතී පිළිතුරු දෙන්නීය.

මෙලෙස මාස තුනක් පමණ ගතවිය. දිනක් සවස් වරුවක විල්සන් ගෙදර එනවිට සුමනාවතී සිටියේ ඇලිස්ගේ දෙවැට ළඟ කථා කරමිනි. ඇලිස් සමඟ බජනයට යාම විල්සන් අනුමත කළේ නැත. ඇලිස්ගේ පුරුෂයාට ගමේ මිනිස්සු ”කුකුලා” යයි කියති. පුරුෂයාගේ ක‍්‍රියාකලාපයට ඇලිස් දැක්වූයේ නිහඬතාවකි. එම නිසා ඇලිස්ද විල්සන්ගේ දෝෂ දර්ෂණයට ලක් වූ බව කිව යුතුය.

ඈතින් එන විල්සන් දුටු සුමනාවතී ඇලිස් සමඟ කථාව නතරකර වහා ගෙට ගියාය. ගෙට ගොඩ වූ විගස විල්සන් ගොරනාඩුවක් පටන් ගත්තේය.

”මොකද ඔහේට වෙසමුණිය වැහිලද?” සුමනාවතී එකට එක කීවාය. විල්සන්ගේ ඉවසීම නැතිවිය. ඔහු අත දිගහැර ඇගේ මූණ හරහා දැඩි කමුමුල් පහරක් ගැසීය. එ් පහර නිසා ඇය විසි වී ගොස් වැටුණේ මල්පෝච්චියක් ද පෙරළාගෙනය. වැටීම නිසා ඇගේ වැළමිටේ හම ගැලවී ලේ ගලන්නට විය. සුමනාවතී යටිගිරියෙන් කෑ ගැසීමට තැත් කළද ඇයගේ උඩු තොල පුපුරා ලේ ගලන හෙයින් ඇය කෙඳිරිගෑවා මිස බෙරිහන් දුන්නේ නැත.

බිරිඳට සිදු වූ හදිය නිසා විල්සන් ආ පයින්ම වින්කලේ සුමනේ හමුවීමට ගියේ ”බෝතලයක් හිස්කරමි” යන චේතනාවෙනි. වින්කල් සුමනේ හන්දියේ වින්කලයක් දමාගන සිටි අතර  ඕනෑම අයෙකු සමඟ සංවාදයේ යෙදෙමින් බෝතලයක් දෙකක් නිම කිරීම ඔහුගේ සිරිතකි. කොතරම් වෙරි වුවද ගෝරියට නොඑන නිසා ඇතැම්මු බෝතලයට මිතුරෙකු අවශ්‍ය වූ විට සුමනේ සොයා ගියහ.  ඕනෑම වෙලාවක වැඩ නවතා මිතුරන් සමඟ සෙට්වීමට සිටි සුමනේට බෝතලයක් ගෙන එ්ම පමණක් අනිවාර්ය වේ. ඔහුගෙන් ලැබෙන්නේ මිතුදම පමණි.

බාර් එකෙන් ගල්බෝතලයක් මිළට ගත් විල්සන් සුමනේ සොයා ගියේය. එ් යන අතර මග වඬේ විකුණන්නාගෙන් ඉස්සෝ වඬේ කිහිපයක්ද මිළට ගත්තේ බඩගිනි මදක් දැනුණු නිසාය. විල්සන් සහ සුමනේ වින්කලය පසුපස බෝතලය හිස් කරන අතර තුර සුමනාවතී රොසලින් අක්කාගේ නිවෙසට දිව ගියාය.

”      බුදු අම්මෝ මොකද උඹට වෙච්ච සන්තෑසිය….” ඇයගේ උඩු තොල පුපුරා තිබෙනු දුටු රොසලින් අක්කා හිසේ අතගසා ගත්තාය.
”      
”අනේ අක්කේ….” සුමනාවතීට කීමට හැකිවූයේ එපමණකි. අනතුරුව ඇය මීදෙනක මෙන් හැඬුවාය. සුමනාවතීගේ කලබලය අසා ඇලිස්, සීලවතී, දෙමටපිටියේ අක්කා, ඇග්නස් යනාදීහු රොසලින් අක්කාගේ නිවෙසට රොක් වූහ. එ් සමගම සුමනාවතීගේ ඇඬීම දෙගුණ තෙගුණ විය.

”මෙහෙම හරියන්නේ නෑ නංගියේ. මේකට අපි මොනව හරි කරන්න  ඕනෑ.” රොසලින් අක්කා කීවේ වට වී සිටින කාන්තාවන් අතර තමා නායිකාව බව පෙන්වමිනි.

”පොඞ්ඩක් ඔහොම ඉඳින්. මම සමාගම් කඬේට දුවලා එනකම්. මෙසේ කියූ රොසලින් පත්තර කැබැල්ලක ලියා තිබූ දුරකථන අංකය රැුගෙන සමාගම් කඬේ යනුවෙන් ගම්වැසියන් හඳුන්වන කේ. ටී. ස්ටෝර්ස් වෙත දිව ගියාය. දුරකථන පහසුකම් තිබූ කේ.ටී. ස්ටෝර්ස් හී දුරකථනයේ අංක කරකවන ලද්දේ කඩහිමිකරුවා හෝ ඔහුගේ බිරිඳ විසිනි. මහත් ගර්වයකින් අංක කරකවා රිසිවරය දුරකථන ඇමතුම ගන්නට පැමිණි තැනැත්තාට දීමත් දුරකථන සංවාදයෙන් පසු දෙගුණයක් පමණ වැඩි මිළකුත් එ් සඳහා නියම කිරීමටත් ඔවුහු පුරුදු වී සිටියහ. මිනිසුන් දුරකථනය භාවිතා කළේ හදිසි අවශ්‍යතා නිසා කඩහිමියා පැවසූ ගණන හෙට්ටු කිරීමෙන් තොරව ගෙවූහ. ඊට අමතරව දුරකථන සංවාදය පිළිබඳව යම් තොරතුරුත් ඊට නිධාන වූ කථාවස්තුවත් කඩහිමියා අසයි.

රොසලින් අක්කාගේ වාසනාවට දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ ඩල්සි පෙරේරා මහත්මියයි. මුලදී ඇයට අගක් මුලක් තේරුම් ගැනීමට බැරි විය. එහෙත් චිත‍්‍ර ප‍්‍රදශ_නය, ගමේ නම, ඇයගේ දේශනය ගැන කියූ පසු ඇය සුමනාවතී සහ විල්සන් අතර වූ ගෝරිය තමා ඇසින් දුටුවාසේ
රොසලින් අක්කා විස්තර කළාය. මෙවැනි පහරදීම් දිනපතා සිදුවන බවත් පහර කෑ කාන්තාව විසඥව තමාගේ නිවසේ වැටී සිටින බවත් ඇය කීවාය.

රොසලින් අක්කාගේ ලිපිනය ලබාගත් ඩල්සි මහත්මිය හෙට උදයේම තමා ඇය හමුවීමට එන බවත්, එතෙක් අදාළ කාන්තාව රොසලින් අක්කාගේ භාරයේ තබාගන්නා ලෙසටත් දැනුම් දුන්නාය. ඩල්සි නෝනාට කථා කිරිමේ උද්දාමය නිසා කේ. ටී. ස්ටෝර්ස් අධිපති කළ්‍යණරත්න මුදලාලි දුරකථන සංවාදය සඳහා අයකළ මුදලේ බර පවා රොසලින් අක්කාට නොදැනුන බව සහතිකය. කළ්‍යාණරත්ත මුදලාලි රොසලින් ට වඩා වයසින් වැඩිවුවත් ඔහු රොසලින් අමතන්නේ රොසලින් අක්කා යනුවෙනි.

උගුර පාදාගත් මුදලාලි ”රොසලින් අක්කේ, බරටම කථාව ගියා නේද?” ඇසුවේය.

”ඔව් මුදලාලි මේ උසාවියේ වැඩ කරන නෝනා කෙනෙක් ” රොසලින් පිළිතුරු දුන්නාය. තමන්ටද කථාකිරීමට වැදගතුන් අගනුවර සිටින බව තහවුරු කිරීමටය.

”අර මක්කටෙයි, එ් පාර නඩුවක්වත් දාන්ටද?” මුදලාලි ඇසුවේ විමතියෙනි. මෙහිදී රොසලින් සුමනාවතීට වූ හදියත්, විල්සන්ගේ නොසන්ඩාලකමත් ගැන විනාඩි දහයක වේලාවක් ගෙන සියළු කරුණු හෙළි කළාය. මුදලාලිට අන් ගැනුම්කරුවන් පිළිබඳවද මතක් නොවීය. ”අනේ අම්මපා මෙහෙම මිනිස්සු” යැයි කීවේ විල්සන්ගේ නිවසේ දෙතුන් මසකට වරක් හෝ සිදුවන නාටකය තමා නොදන්නාක් මෙනි.

මුදලාලිගෙන් මිදී වහාම තම නිවෙස බලා ගිය රොසලින් සුමනාවතීට සාත්තු සප්පායම් කරන ගැහැණුන්ට උදව්වූවාය. ඇය තුළ ඇත්තේ අමුතුම උද්දාමයකි. ”ඔන්න සුමනෝ මම කොළඹ නෝනාට කථා කරා. නෝනා හෙට මෙහෙ එනවා කිව්වා. උඹව බලන්න. මේව හැමදේම නෝනට කියාපන්.” ඇය සුමනාවතීට විධාන කළේ ගුරුවරියක් තම ශිෂ්‍යාවකට දැනමුතුකම් දෙන්නාක් මෙනි.

මේ අතරවාරයේ වින්කල් සුමනේ සමඟ දෙවන බෝතලය අවසන් කිරීමේ අදියරට ද ලංවූ විල්සන් ”සුමනේ උඹ අහලා තියෙනවද කවියක්, ගෑණූ කියන්නේ මල්ලියේ නොගෑවෙණූ කියලා” යැයි කීවේ වැනෙමිනි. එ් කවිය කීමට විල්සන් තැත්කළද ඔහුට කියාගත නොහැකි විය.” හරි සුමනේ මම දැන් කැපෙනවා” කී විල්සන් වැනි වැනී ගෙදර ගියේය. ගෙට ගොඩ වූ විල්සන් ”කෝ මේ ගෑනි” යැයි දෙතුන්වතාවක් පිළිකන්න දෙසට ගොස් බලා අන්තිමේ දී ඇඳගෙන සිටි ඇඳුම් පිටින්ම ඇඳට වැටී නිදන්ට විය.

? බෝවී තිබෙන බව දැනගත් සුමනාවතී තම නිවෙසට යාමට තැත්කළද රොසලින් අක්කා ඇතුළු අනෙක් ගැහැණූ එයට ඉඩ දුන්නේ නැත. ඊට හේතුව වශයෙන් ඔවුන් කිව්වේ ” විල්සන් උඹව දැක්කොත් මරලා දමයි..” යන්නය.

”අනේ අක්කේ, මම කවදාවත් ගෙයින් පිටවෙලා රැුයක් ඉඳලා නැහැ.” යැයි සුමනාවතී කීවාය.

”අනේ උඹ හිටපන් සුමනාවතියේ, මම විල්සන්ට කියන්නම් උඹ හිටියේ මගේ ගෙදර කියලා.” යැයි රොසලින් කීවාය. ”මුන්ට තියෙන තෙලට ගෑණූ පළිදැයි රොසලින් තම චීත්තයේ පොට තද කරන ගමන් කීවාය.

සියළු දෙනාගේම විරෝධතාව නිසා සුමනාවතී රොසලින්ගේ නිවෙසේ රැුය ගත කළාය. ක‍්‍රමයෙන් ? බෝවී ගෙන එනවා දුටු ගෑණූ එකා දෙන්නා තම නිවෙස් බලා ගියෝය. තව දුරටත් ප‍්‍රමාද වුවහොත් තමන්ගේ සැමියන් තමන්ට ෙදාස් කීමට ඉඩ ඇතැයිද, සමහර විට පහර දේයැයිද ඔවුහු හිතුවෝය.

රොසලින් සමඟ බත් ස්වල්පයක් කෑ සුමනාවතී ”අනේ අක්කේ විල්සන් ?ට කෑවද දන්නේ නෑ.” යයි කෙඳිරිගෑවාය.

”ඌට ඇති අහේනියක් නෑ. උඹ කාලා නිදාගනින් සුමනාවතී.” කමලක්කා ගොරනාඩුවක් දැම්මාය.

පසුදින සෙනසුරාදාවක් වූ නිසා විල්සන් දවල් වනතෙක් හොඳටම නිදාගත්තේය. තවම වෙරි සිඳී නැති නිසා ඔහුට සිදු වූ දේ තවම වටහාගැනීමට නොහැකිවිය.

එළිය වැටුණ වෙලේ සිට රොසලින් අක්කා සිටියේ නොසන්සුන්තාවයෙනි. නෝනා එන්නේ නැද්ද? ඇයට කිහිප වතාවක් සිතුණු නමුදු නෝනා තමා හා කථා කළ විලාසය අනුව එසේ වීමට කිසිදු ඉඩක් නැති බව ඇය සිතුවාය. එ් සමඟම තඩි දිලිසෙන කලූ කාර් එකක් තම ගෙවත්තට පැමිනීම නිසා රොසලින් කලබල වූවාය.

”නෝනා ඇවිල්ලා වගේයි.” ඈ තමාටම කියාගනිමින් ඩල්සි මැතිණිය පිළිගැනීමට මෝටර් රථය වෙත දිව ගියාය.

”      ආ මේ රොසලින් වෙන්න ඇති” මෙසේ අසමින් ඩල්සි මැතිණිය මෝටර් රථයෙන් බිමට බැස්සාය. ”ටිකක් අමාරු උනා හොයාගන්න. පෝස්ට් ඔෆිස් එක ළඟට ඇවිල්ලා රොසලින්ගේ නම කිව්වාම ගමේ කෙනෙක් පාර පෙන්නුවා.”
”      
රොසලින් ඩල්සි මැතිණියට සාලයට පැමිණ වාඩිවෙන ලෙස කරුණාවෙන් අයැද සිටියාය. ඉන්පසු නිදන කාමරයට ගිය ඇය සුමනාවතීට එළියට එන ලෙස පැවසුවේ කසු කසු ගාමිනි. සුමනාවතිගේ උඩුතොල කෝපි කුඩු දමා තැවීම නිසා දැන් ඉදිමුම අඩුය. එ් නිසා රොසලින් අක්කාට චක්. ගැවිණි. එහෙත් ඇය සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී සුමනාගේ උඩුතොල ඉදිමී තිබූ ආකාරය ගැන මනසින් චිත‍්‍රයක් මහිළාව ඉදිරියේ මැවීමට සමත්වූවාය. අනතුරුව ඩල්සි නෝනා ඇසු ප‍්‍රශ්න වලට සුමනාවතී උත්තර දුනේනේ ඇඬූ කඳුලිනි. එම උත්තරද දුන්නේ අඩු ලන්සුවෙනි. එ් සෑම අවස්ථාවකදිම රොසලින් අක්කා සුමනාවතී සිටින භයානක තත්ත්වය ගැන කිව්වේ ”බය නැතුව ඇත්ත කියපං සුමනාවතියේ” යැයි පවසමිනි.

මෙසේ සුමනාවතීගේ තොරතුරු ඇසූ ඩල්සි මහත්මිය ඇයව ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයට කටඋත්තරයක් ගැනීම සඳහා ගෙන යා යුතු යැයි කීවෙන් සුමනාවතී බියට පත්වූවාය. ඇය උපන්තේකට පොලිසි ගොස් නැත. රොසලින් අක්කා දෙවරක් හෝ තුන් වරක් පොලිසි ගොස් තිබේ. එ් ඉඩමේ මායිම් පිළිබඳ ප‍්‍රශ්නයකට හා මැදපෙරදිග සිටින දියණියගේ මුදලින් මිළට ගත් චේන් එකක් නැතිවීම සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමටය. එම නිසා ඇය තුළ ඇතිවූයේ තිගැස්මකි. එහෙත් ඩල්සි නෝනාගේ වචනයට එපිටින් යාමට ඇයට වාරු නැත. ඩල්සි නෝනා කොළඔ සිට පැමිණියේ තමාගේ වචනයටය. එ් නිසා පෙරට තැබූ පය පසු පසට ගත නොහැකිය.

රොසලින් අක්කාගේ පෙරැුත්තයෙන් හා ඩල්සි නෝනාගේ කරුණාවෙන් තොන්තු වූ සුමනාවතී සිහිනයෙන් ඇවිදින්නියක මෙන් මෝටර් රථයේ පසුපස වාඩිවූවාය. ඇය දෙපස ඩල්සි නෝනා හා රොසලින් අක්කාය. රියැදුරු පොලිස් ස්ථානය බලා රිය ධාවනය කළේය. ඩල්සි නෝනා මේ පොලිස් ස්ථානයට යාමට පෙර කොළඹ මූලස්ථානයේ ලොක්කෙකුට සෙලියුලර් දුරකථනයෙන් ඉංග‍්‍රිසියෙන් කථා කළ අතර එ් අනුහසින් ඩල්සි නෝනා පොලිස් ස්ථානයට ගිය වහාම පොලිස් ස්ථානාධිපති ඇය පිළිගත්තේ රාජ්‍ය නායිකාවක් පිළිගන්නා ආකාරයෙන්ය. දෙබස සිදුවූයේ ඉංග‍්‍රීසියෙන් නිසා නෝනා කීවේ කුමක්ද යන්න ගැමි කාන්තාවන් දෙදෙනාටම වැටහුණේ නැත. එහෙත් වරින්වර සුමනාවතී ගේ උඩු තොල දෙස බලමින් කොළඹ නෝනා කළ කථාවට පොලිසියේ ලොකු මහත්තයට තරහ ගිය බව සුමනාවතී අනුමාන කළාය. පොලිසියට කීම නිසා විල්සන්ට ගුටි ඇන රිමාන්ඞ් කරයි දැයි බියක් සුමනාවතී තුළ ඇතිවිය.

”අනේ බුදු මහත්තයෝ, මගේ මිනිහා මට ගැහැව්වේ තරහ ගිය නිසයි. අනෙක් වෙලාවට එයා රත්රන් කඳක්” යැයි කීමට ඇයට සිත් වූ නමුදු අනපේක්ෂිත ජවනිකා නිසා තවමත් ඇය සිටින්නේ තෝන්තු ගතියෙනි. සුමනාවතීගේ කට උත්තරය ලෙස සඳහන් වූයේ කොළඔ නෝනා ඉංග‍්‍රීසියෙන් කිවූ දේය. ස්ථානභාර නිළධාරියා එය සිංහලට පරිවර්ථනය කළ අතර කාන්තා පොලිස් කොස්තාපල්වරිය එය ලියාගත්තාය. අවසානයේදී ඇයගේ අතට පෑන දී අත්සන් තැබීමට සුමනාවතියට අණ කළාය. ඇය බයෙන් බයෙන් වයි. සුමනාවති කියා තම නම ලියූවාය.

පොලිස් ජවනිකාව හමාර කොට නෝනාගේ මොටර් රථයට ගොඩවෙන තෙක් සුමනාවතී සිටියේ හොන්දු මාන්දු ගතියෙනි. ඉක්බිති ඩල්සි නෝනා සුමනාවතීව කොළඔ පිහිටි තම මධ්‍යස්ථානය වෙත ගෙනයන බව දැන්වූවාය. ඇගේ ආරක්ෂාව සඳහා ඇය ටික දිනක් විල්සන්ගෙන් සඟවා තැබීම මේ අවස්ථාවේ ඉතාම අවශ්‍ය බවත් ඇය කිවාය. මෙය අසා සිටි රොසලින් අක්කාට මේ සම්බන්ධව කිසිවක් කීමට ඉඩක් නැතිවිය. විල්සන් පැමිණිය හැකි නිසා යළිත් රොසලින් ගම්මැද්දට ගෙන යෑම සුදුසු නොවන බැවින් රොසලින් නැවත ගෙදරට හැරලීමට යා නොහැකි බව ඩල්සි නෝනා කීවාය. එ් සමගම රොසලින්ගේ අතේ රුපියල් සීයයක් තැබුවාය. රොසලින්ට මොටෝ රථයෙන් බිමට බසිනවා හැර කළ යුතු යමක් නොවීය. එ් සමගම විල්සන් පැමිණ සුමනාවතී පැහැරගනු ඇතැයිද ඇය තුළ බියක්ද ඇති විය.

”නංගියේ උඹ බය නැතුව ඉඳින්.මේ නෝනා උඹව බලා ගනී.”රොසලින් කිවාය. එ් අතර වාරයේ වාහනය සැරදමා කොළඹ බලා ඉගිලූනේය. කූඩුවක සිර වූ කිරිල්ලියකට දැනෙන බිය සුමනාට දැනුනාය. ”දැන් විල්සන් ඇත්තේ කොහේද? ඔහු තමාව හොයනවද? ඔහුගේ දවල් කෑම කොහොමද? යනාදී ප‍්‍රශ්න රැුසක් ඇගේ හිස තුළට රිංගූ නමුදු පිළිතුරක් සොයා ගැනීමට ඇය අපොහොසත් වූ බව හොඳාකාරව පෙනී ගියේය. එම නිසා ඇගේ වත අසරණව මැළ වී ගියේය. අතරමග වාහනය නතර කරවූ කොළඹ නෝනා කට්ලට්ස්, පැටිස් ආදී මිළෙන් අධික රස ආහාර මිළට ගෙන දුන්නද ඇය කිසිවක් කෑවේ නැත. උණු කිරි තේ කොප්පයක් පමණක් පානය කළාය.

ඔවුන් ඩල්සි නෝනා ජීවත් වූ නිවසට පැමිණෙන විට මදක් සවස් වී තිබුණි. ඇයගේ නිවස විශාල මෙන්ම සැප පහසුකම් පිරි බංගලාවකි. මහළු මුරකාරයා හැරුනු විට නිවසේ සේවයට සිටියේ සේවිකාවන් දෙදෙනෛකි. වෙන පිරිමි පුළුටක්වත් දක්නට නොලැබුණි.

ඩල්සි නෝනා සුමනාවතීට ඉතා කරුණාවෙන් කථා කළාය. ඇයට කොළඹ දින කීපයක් තමා සමඟ නැවතී සිටීමට හැකි බවත් විල්සන්ගේ ප‍්‍රශ්ණය විසඳුණු විට ඇය පිළිබඳව සුදුසු තීරණයක් ගන්නා බවත් පැවසීය. විල්සන් ඇයට පහර දීමට හෝ වෙන යම් අනතුරක් කළ හැකි හෙයින් ඇයව ප‍්‍රවේසම් කිරීම තමාගේ යුතුකම බව පුන පුනා කීවාය. සුමනාගේ පරිහරණයට සැප පහසු කාමරයක්ද වෙන්කොට දුන්නාය.

සාංකාව නිසා සුමනාවතීට එදින රාත‍්‍රියේ නින්ද ගියේ නැත. නෝනා ”වැඩකට එළියට යනවා” කියා ගොස් පැමිණියේ එළිවෙන ජාමයේය. බියගත් මී පැටවෙකු සේ ඇය කාමරයේ ෙදාරගුළු දමාගෙන නිදි වර්ජිතව විල්සන් ගැන සිතමින් සුසුම් හෙළුවාය.

සුමනාවතී නැති අතරවාරයේ විල්සන් අසීරුවෙන් නැගිට තුවාය ඇඳගෙන ලිඳට ගොස් සීතල වතුර බාල්දි කීපක් හිසට වත්කර ගත්තේය. ඉන් අනතුරුව ඔහුට කල්පනා කිරීමට සිහිය ලැබුණි. හිස ගිනිගත්තෙකු සේ සුමනාවතී සොයමින් සිටි ඔහුට සමාගම් කඩෙන් දැනගන්නට ලැබුනේ තමා පහර දීම නිසා නඩුවක් කතා කිරීමට සුමනාවතී කොළඹ ගිය බවය. මෙහි අගක් මුලක් තේරුම් ගැනීමට අපොහෙසත් වී එ් මේ අත දිව යන විට පොලිස් කොස්තාපල් කෙනෙක් පැමිණ විල්සන්ට පොලිස් ස්ථානයට එන ලෙස නියෝග කළේය.

”මගේ පාරෙන් සුමනාවතී මළාවත්ද” යැයි බියක් හා සංතාපයක් විල්සන්ට ඇතිවිය. පශ්චාත්තාපයෙන්ද පෙළුණ විල්සන් වහ වහා පොලිස් ස්ථානය වෙත ගියේය. ඉහින් කනින් දාඩිය දමාගෙන සිටි විල්සන් තමාට කැඳවීමක් ලැබෙන තුරු පොලිස් ස්ථානයේ විශාල මාර ගසකට ඇණ තබා ගෙන සිටියේය. එය අතර වාරයේ නොයෙකුත් බිය ජනක සිතුවිලි ඔහු ගේ මනස වෙලා ගන්නට විය. පොලිස් ස්ථානාධිපතිතමාගේ කමරයට එන ලෙස අණ ලැබූ විල්සන්ගේ දණහිස් වෙව්ලන්නට වූයෙන් ඔහු ඇවිද්දේ අසීරුවෙනි.

”එ්……. උඹ…” වැදගත් සභාවක කිව නොහැකි වචනයකින් විල්සන් පිළිගත් ස්ථාධිපතිවරයා යළිත් වරක් බිරිඳට පහර දුනහොත් ඇටකටු කුඩු කොට කූඩුවට දමන බවට විල්සන්ට තර්ජනය කළේය. ඉක්බිතිව ”දැන් ඉතින් මෙතනින් පලයන්” යැයි පන්නා දැම්මේය.

තැතිගත් විල්සන් ගෙදර ගොස් එල්ලී මැරෙම් දෝ නැතහොත් කෘමිනාශක පානය කරමි දෝයැයි දෙගිඩියාවෙන් සිටින විට දෙමට පිටියේ අක්කා පැමිණ රොසලින් අක්කාගේ උල්පන්දන් දීම නිසා සුමනාවතී පොලිසි ගිය බවත් කොළඹ නෝනා කෙනෙකු නඩු කතා කිරීමට ඇයව තඩි කාර් එකකින් කොළඹට ගෙනගිය බවත් කීවාය. අනතුරුව ඇය වාක්‍ය අවසන් කළේ තමා මේ විත්තිය කී බවක් රොසලින්ගේ කනේ නොතබන ලෙසට ඉල්ලීමක්ද කරමිනි.

එක හුස්මට රොසලින් ගේ නිවසට දිව ගිය විල්සන් හොඳ දෙකක් කථා කිරීමට මුව විවර කළද පොලීසියේ ලොකු මහත්තයාගේ සැල් එක සිහිවීම නිසාදෝ මදක් ඉවසීමෙන් කටයුතු කිරීම ඉටාගත්තේය. ඔහු අසරණ වූ හඬකින් රොසලින් ඇමතීය

”රොසලින් අක්කේ ඇයි උඹ අපේ ගෝරි වලට අත දැම්මේ” විල්සන් ඇසීය.

”හොඳ ගෝරිය උඹ තව පොඞ්ඩෙන් එ්කිව මරණවා” රොසලින් කීවේ කලහ කිරීමට තමාද බිය නොවන බව පෙන්වීමට මෙනි.

”ඇයි අක්කේ එ්කි මගේ කසාද ගෑණිනේ” මෙහි දී විල්සන් රීති ප‍්‍රශ්ණයක් මතු කළේය.

”එවුවා මම දන්නේ නැහැ. සුමනාවතීට උඹ ගහන නිසා සුමනාවතීගේ මනාපෙට කොළඹ ගියා. එ්ත් ඉන්න තැනක් මම දන්නේ නෑ. මම හිතන්නේ නැහැ ආයේ සුමනාවතී උඹේ දැහැට පෙන්නවත් එයි කියලා.” ඇය කීවේ සමුනාවතී කොළඹ ගියේ සුමනාවතීගේම තනි තීරණයකින් බව එ්ත්තු ගැන්වීමට මෙනි. වැඩිපුර කථාවට නොගිය විල්සන් වින්කල් සුමනේ සොයාගෙන ගියේය.

මෙලෙස සතියක් ගත විය. සුමනාවතී තවම ආවේ නැත. විල්සන්ගේ නිවස පිස්සු මඩුවක සිරි ගත්තේය. දවස් කිහිපයකින් විල්සන් වැඩට නොපැමිණිම නිසා අගෝනිස් අයියා දවල් වරු දෙකක් ද අමාරුවෙන් වැඩ කළ අතර අන්තිමේදී කොලීජියේ විදුහල්පති තමා හමුවීමට එන
ලෙස විල්සන්ට පණිවිඩ යැවීය.

සුමනාවතී ගැන ආරංචියක් නැති නිසා කොළඹ නෝනාගේ දුරකථන අංකයට ටෙලිපෝන් කිරීමට රොසලින්ට සිතුන නමුත් කළ්‍යානරත්න මුදලාලි, නෝනාගේ දුරකථන අංකය විල්සන්ට දෙනු ඇතැයි බියක්ද ඇය තුළ ජනිත විය. ”ටවුමට ගිහිල්ලා වෙන කඩයකින් කතා කරනවා” කියා ඇය සිතූ නමුදු අහල පහල ගෑණූ විල්සන්ගේ පවුල කඩා දැමීම ගැන රොසලින් අක්කාට ෙදාස් කියන බව දෙමටපිටියේ අක්කා කියූ නිසා වැඩිය එළිපහලියට යාමට ඇය බිය ගත්තාය. තවද විල්සන් මුලිච්චි වුවහොත් යන බිය ජනක හැඟීමද ඇය තුළ නොතිබුනානොවේ.

”ඌ ඇත්තේ දැන් වෙඩිකාපු ඌරෙකු වගේ” රොසලින් ඇලිස් සමඟ කීවේ තැතිගත් විලායෙනි.

ඩල්සි නෝනා බාරයේ සිටි සුමනාවතී විල්සන් බැලීමට ගෙදර යා යුතු බව කියමින් ඇඬුවාය. ඩල්සි නෝනා ඇය අස්වසාලීමට තැත් කළ නමුදු ඇයගේ ඇඬීම වැඩිවූවා මිස අඩූ වූයේ නැත. සතියක් පසුවන විට මහ හඬින් ඇ`ඞීමට අමතරව ආහාර ප‍්‍රතික්ෂේප කිරීමටත් හිස බිත්තියේ ගසා ගැනීමට පටන් ගත් නිසා ඩල්සි නෝනා සුමනාවතීව ඩ‍්‍රයිවර් සමඟ පිටත් කර යැවුවාය.

ඩල්සි නෝනාගේ මොටර් රථය රොසලින්ගේ නිවස ඉදිරිපිට නැවැත් වූ වහාම ඈ ”අනේ අක්කේ ” කියමින් විලාප තැබුවා. අවට ගැහැණු පිරිමි රැුස් වී සුමනාවතීට අනුකම්පා කළ අතර දෙමටපිටියේ අක්කා මෙම වැදගත් පණිවුඩය දීමට විල්සන් සොයා ගම වටේ දිවුවාය.

රොසලින් ගේ නිදන කාමරයට පැමිණි සුමනාවතී නොනවත්වාම ඇඬුවේ වක්කඩක් කැඩුවාක් මෙනි. අතරින් පතර විල්සන්ගේ නම කියනවා ඇසුණි. මෙවැනි ජවනිකාවක් දැකීමට අපේක්ෂා නොකළ රොසලින් අක්කා නිකටේ අත තබා ගෙන තුෂ්නිම්භූතව සිටියාය. එහෙත් අවසානයේදී ඇයගේ මුවට පණ පෙවිනි.

”ඉතින් සුමනෝ ඩල්සි නෝනා උඹට සැළකුවේ නැද්ද?” සුමනාවතීගේ හැඬීම මොහොතකට නතර විය.

”මතක් කරන්න එපා රොසලින් අක්කේ, එ් ගෑනි මගේ පවුල කඩන්න ආවා මදිවට ?ට ?ට මම හිටපු කාමරේට ඇවිල්ලා මට කරදර කරන්නත් ආවා. නොසන්ඩාල හැත්ත.” ඇය කීවේ රහසක් කියන්නාක් මෙනි.

දෙමටපිටියේ අක්කාගේ පණිවිඩය ලැබීමත් සමඟ විල්සන් රොසලින්ගේ නිවසට පැමිණියේය. විල්සන් දුටු වහාම සුමනාවතී ඔහුගේ දෙපා බදාගෙන හැඬුවේ යසෝදරාව සිහිගන්වමිනි. ”අනේ මගේ දෙයියෝ මට සමාව දෙන්න මම මොනවත් දන්නේ නැහැ. අර කොළඹ සමයම තමයි මේ ඔක්කොම කෙරුවේ.” ඇය දිගට හරහට ඩල්සි මැතිණියට දෙස් දෙවොල් තැබූවාය.

විල්සන් සුමනාවතීගේ දෙවුරෙන් අල්ලා ඇය කෙලින් සිට වූයේය. ”සුමනෝ අපි යමු ගෙදර. මම මීට පස්සේ ඔයැයිට අතවත් තියන්නේ නැහැ. අම්මපා මේ සහතික ඇත්ත”

විල්සන්ගේ උගුර හිර වූ නිසා ඔහු නිහඬ විය. ඉන් පසු දෙදෙනාම තම නිවස බලා පිටත් වූහ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .

ජීවන කතන්දර

කුඹුක්ගහ උල්පත

එදා මා සහභාගී වූ වැඩ මුළුවේ තේමාව වුයේ අත්පත් කර ගැනීමයි.  සමාගමට  තවත් කුඩා සමාගමක් අත්පත්  කර ගන්නට උපාය මාර්ගික සැලසුම් සකස් කරන හැටි ගැනය.  එය ව්‍යාපාරික  ලෝකයේ අරුමයක් නොවුනත් මේ දෙසුම්වලට ඇහුම්කන් දී සිටි මගේ හිතට අතීතයට නොගොස් ඉන්නට බැරි වී  අපේ කුඹුරට අල්ලපු කුඹුර වූ කුඹුක් ගහ උල්පත  වෙත ලඟා වුනේය. එය සුනිමල්ලාගේ කුඹුරයි.
කඳු බෑවුමක ළඟ  ළඟ පිහිටි කුඹුරු තීරු දෙක අපේ කුඹුරත් සුනිමල්ලා කුඹුරත්ය. ඒවා පහලින් සීමා වුයේ පුංචි ඔය පාරකිනි .   ඉහළ  කෙළවර තිත්තමල් හා රැ  කුමරිය පිරි ලඳු බුටෑවැකි . පොළොවෙන් උඩට ඉස්මතු වන අත්  ගොබයක් තරමේ වූ  සුපැහැදිලි දිය බුබුලක් සුනිමල්ගේ කුඹුරේ ලියද්දකින්  අවුරුද්ද පුරාම උතුර උතුරා ඉහළ  නැංගේය . එය ආවරණය කරගෙන තිබු රූස්ස කුඹුක් ගස නිසා උල්පත හා කුඹුර යන දෙකම හැඳින්වුයේ කුඹුක්ගහ උල්පොත නමිනි.

සුනිමල් ඉගෙන ගත්තේ  අපේ පන්තියේමය.ඉස්කෝලෙත් ගමේත්  අපි දෙන්නට හිටිය හොඳම යාළුවෝ  දෙන්නා අපි දෙන්නාමය. සුනිමල්ගේ තාත්තා අපේ තාත්තාත් එකිනෙකාට ගව්රවය  මුසු මිත්රත්වයකින් ඇසුරු කළහ. සුනිමල්ගේ අම්මාට අපේ අම්මා හිතවත්ව සිටියාය.

එත් මේ හිතවත්කමට පුංචි කහටක්  එක්කරේ මේ කියන දිය උල්පතමය.

එය පිහිටා තිබුනේ හෙල්මළු ලියදි නගිමින්  කන්ද මුදුනට යද්දී සුනිමල්ගේ කුඹුරේ හරි මැදට වන්නට පිහිටි මහා කළුගලක් පාමුලය. ඊට යාබදව පිහිටි රූස්ස කුඹුක් ගහත් දෝතුළු  ගස් මන්ඩියත් නිසා කුඹුර මැද පුංචි  ක්ෂේම බුමියක සිරි මැවී තිබිණි.
මේ උල්පතින් උනන දිය පහර නිසා කුඹුරේ හරි අඩක් අස්වැද්දීමට සුනිමල්ලාට හැකි විය. වැඩිපුර වතුර අවුරුද්ද මුළුල්ලේම ඔය පාරට ගලා ගියේය.

වී වගා කරන්නට තරම් වතුරක් නොලැබුණු නිසා අපේ කුඹුරේ අවුරුද්ද පුරාම වාගේ වගා කෙරුනේ නොයෙකුත් එළවලු වර්ගය. ඉඳ හිට අවුරුදුවලදී කුඹුරේ කොටසක වී වැපිරුවා වුවද  මේ කොයි දේටත් වතුර සපයා ගැනීමට  මහත් පරිශ්රමයක් දරන්නට සිදු වුනි. කුඹුරේ සිට හැතැප්ම දෙකක් පමණ ඈත සිට ගලා  එන ඇල  පහරකින් වතුර ගෙන එන්නට සිදුවුනි. ඇලට වතුර ලැබුනේ ඔයේම ඉහල ස්ථානයක පිහිටි අමුණකිනි.

අපේ කුඹුරට වතුර වැද්දවීමට ඕනෑ  විට මේ අමුණටම ගොස් වතුර හරවා ගෙන එන්නටත් ඒ අතර මැද  පිහිටි තවත් කුඹුරු වලට වතුර හරවන වක්කඩ ළඟදී  මුර දමාගෙන රැක ගැනීමටත් සිදු විය. මේ වතුර කඩන වලදී අපේ ගෙදර ළමයින් තැනින් තැන මුරට නවත්වා තාත්තා  කුඹුරට වතුර සපයා ගතතේය .
විලම්බීත, ගම්පෙරලිය, මඩොල් දුව, උම්මග්ග ජාතකය  වැනි පොත් බොහොමයක් අප කියවුයේ මේ වතුර මුර කරන තැන්වල ගල් පඩියක වාඩි  වී සිටිද්දීය.

අපට කුඹුර අත්යවශ්ය වුනේ තාත්තාගේ හා අම්මාගේ ගුරු වැටුප හදමින් තිබු ගෙදර වැඩටත් ලොකු දරු පවුලක ඉගෙන ගැනීමේ වැඩවලටත් නොසහුණු නිසාය. අනෙක් අතට රටපුරා සාගතය පැතිරුණු හත්තෑ හතරේ අපේ කුසගිනි නිව්වේ මේ කුඹුරේ පළදාවෙනි. සරුසාර වූ කන්නවලදී හොඳ අමතර ආදායමක්ද ලැබිණි.

මේ වතුර ප්රශ්නය නිසාම සුනිමල්ගේ කුඹුරේ දිය උල්පත ගැන පොඩි පහේ තෘෂ්ණාවක් අප කා තුලත් අඩු වැඩි වශයෙන් තිබුනේය.
'අර ඔයට බැහැලා යන වැඩිපුර වතුර ටික අපේ කුඹුරට හරවා ගන්න  කතා කර ගන්නකො සුනිමල්ලා තාත්ත  එක්ක' අම්මා කිහිපවරක්ම තාත්තාට කීවාය
තාත්තා ඒ ගැන ඔහුගෙන් අසුවාදයි නැත්දැයි  කවුරුත් දන්නේ නැත. ඒ වෙනුවට ඔහු සිතා සිටියේ සුනිමල්ලා තාත්තා විසින්ම සිය කැමැත්තෙන් උල්පත් වතුර අප සමග බෙදා ගන්නට කතා කරනු ඇත කියලාය.

එහෙත් එවැන්නක් සිදු නොවුනි. එළිපිට කතා නොකළ අප්රකාසිත වුවමනාව වුයේ උල්පත් වතුරයි .

කාලය ගෙවී යද්දී සුනිමල්ලා ටික ටික  කුඹුරෙන් ඈත් වන්නට  පටන් ගත්තෝය. කුඹුක් ගහ උල්පොත වෙනුවට ඊට ඔබ්බෙන් පිහිටි වියලි ලියදි තීරුවක වගා කරන්නට පටන්ගෙන තිබුනේ  ඕනෑවට එපාවාට මෙනි

මේ අල්ලපනල්ලේ අපට ආරංචි වුයේ කුඹුක්ගහ උල්පොත කුඹුරේ හැබෑ අයිතිකාරයා ඈත ගමක පදිංචි වී සිටින සුනිමල්ලා ලොකු තාත්තා බවය. ඔහුට එය  පවුලේ උරුමයෙන් ලැබුනා වෙන්නට පුළුවන.

සුනිමල්ලා ලොකු තාත්තා විසින් කුඹුර විකුණන්නටට හදන කතාවක් ඒ අතර ආරංචි විය. ඔහු ගමේ දෙතුන් දෙනෙකුට ඒ  ගැන කතා කර තිබිණි.

'ඔය කුඹුර විකුනනවානම් ණයක් තුරහක් වෙලා හරි අපි ගමුකො. ඇල දිගේ ඇවිදලා තවත් දුක් විඳින්න ඔනෑ  නෑනේ එතකොට' නරකද සුනීමල්ලා තාත්තා එක්ක කතා කරලා බැලුවොත්. එයාගේ අයියට කියයිනේ '

අම්මාගේ මෙවදන් තාත්තා වගකීමකින් බාර නොගත්තා වුවද ඔහු නිහඬවම අනුමත කලේ ඒ කුඹුර අපම ගත්තානම් හොඳ බවය. ඒ උල්පතේ වතුරින් අපේ කුඹුරේද බාගයකට වතුර සපයා ගන්නට පුළුවන් වෙන නිසාය.
මෙවරත් තාත්තා කිව්වේ මම කතා කරලා බලන්නම් කියලාය. ඔහු එය සුනිමල්ලා තාත්තා සමග කතා කරාදැයි නැත්දැයි කවුරුත් දන සිටියේ නැත.

ඔය විදිහට දවස් ගෙවී යද්දී සුනිමල්ලා තාත්තා බරපතල ලෙස අසනීප වුනේය. උල්පත පිහිටි කුඹුර කවුරුවත් වැඩ නොකර අත හැරුනේය. උල්පතින් උතුරා බුබුළු දැමු  වතුර පාර ඔයට ගලා යමින් තිබුණු හැන්දෑවක සුනිමල්ලා තාත්තා සදහටම දෑස පියා ගත්තේය.

උල්පත් දියත් කුඹුරේ ප්රශ්නයත් මුළුමනින්ම  අමතක කර  අප සුනිමල්ලා සමග මේ  සිදුවීමේ ශෝකය බෙදා ගන්නට ඉදිරිපත් වුනෙමු .

තාත්තා ඒ  දවස්වල මොනතරම් විස්සෝපයෙන් සිටියේද යත් ඔහු හා සුනිමල්ලා තාත්තා අතර මෙතරම් ගැඹුරු මිත්රතත්වයක් තිබුනා යයි සිතා ගන්නට පවා බැරි විය. මළ  ගෙදර අවසන් වන තුරු මම සුනිමල් ලඟින් නොසෙල්ලී ඔහුගේ තනි නොතනියට සිටියෙමි. අපේ අම්මා සුනිමල්ලා අම්මාගේ දුක බෙදා හදා ගත්තේ  සොයුරියක සේය.

මළ  ගෙදර වැඩ අහවර වී මාසයක් යන්නටත් මත්තෙන් අපේ ගෙදරට අමුත්තෙක් ආවේය. ඒ සුනිමල්ගේ ලොකු තාත්තාය.

උල්පත කුඹුරේ ඔප්පුවත් අතේ තියාගෙන හෙමින් හෙමින් ආපු කාරණාව පැහැදිලි කළේය .
දැන් මේ කුඹුර මම විකුනන්ට තීරණය කළා. මම ඉන්නෙත් ඈත නිසා මේක මට වගා කරන්නත් බෑ . අල්ලපු කුඹුර නිසා මේක වටින්නේ ඉස්කෝලේ මහත්තයාටම තමයි.

මේ අප අසන්නට බල බලා සිටි පුවතක් නොවේද? ඇල  දිගේ දුක් විඳිනවා වෙනුවට කුඹුරු දෙක තුනකට අවුරුද්ද පුරා වතුර දෙන කුඹුක් ගහ උල්පත අපේ වෙන්නට යන හැටි. ණයක්  තුරහක් වී මේ කුඹුර ගමු යැයි  අම්මා කී විට නිහඬවම එකඟ  වූ තාත්තාගේ දැන් ප්රතිචාරය කුමක් වේද?

සිවිලින් නොගැසූ වහලය නිසා අල්ලපු කාමරවලටත් කුස්සියටත් මේ කතා බහ හොඳින් ඇසෙයි. සෙමින් සාලයෙන් නික්මුණු තාත්තා අම්මාගේත් අප කාගේත් මුහුණු දෙස බලා නිහඬවම ආපසු ගොස් අමුත්තා ලඟින් ඉඳ ගත්තේය.

ඉන්පසු තාත්තා සිය හදවතේත් පවුලේ සෙසු සාමාජිකයින්ගේ මුහුණුවලත් ලියවී තිබු ඒකමතික තීරණය අමුත්තාට දැනුම් දුන්නේය

'දැන් අපට ඔය කුඹුර ගැනවත් උල්පත ගැනවත් ආසාවක් නෑ .
සුනිමල්ලාගේ තාත්තා හිටියනම් එයත් එක්කත් කතා කරලා අකමැත්තක් නැත්තම් අපි ගන්න තමයි හිටියේ'.

ඉටි කවරයක ඔතා ගෙන ආ ඔප්පු තිරප්පු ආපසු හකුළා  ගත්  අමුත්තා  කරබාගෙනම යන්නට හැරුනේය.

තිලකසිරි ඒකනායක

තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

https://thilakasitha.blogspot.com

පරිවර්තිත කෙටිකතාව

තාත්තා කළ උදව්ව

සඳුදා උදෑසන එළඹ ඇති බව වැටහුණු විට ඇඳේ වැතිරී සිටි ස්වාමි කිලිපොලා ගියේය. ඔහුට දැනුණේ සිකුරාදා පාසලේ අන්තිම පරිච්ඡේදය අවසන් වූයේ මීට මොහොතකට කළින් බවයි. ඉතා ඉක්මණින් නැවතත් සඳුදා එළඹී ඇත! භූමි කම්පාවක් ඇතිවී පාසල් ගොඩනැඟිල්ල ධූලි බවට පත්වන්නැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. නමුත් ඇල්බර්ට් මිෂන් පාසල නම් වූ එය, වසර සියයකට වැඩි කාලයක් මෙවැනි ප්‍රර්ථනා ලබා තවමත් නොසැලී පසුවිය. උදෑසන නමයට “මගේ ඔලුව කැක්කුමයි,” කියා ස්වාමිනාදන් කෑ ගැසුවේ ය. 

“කුලී කරත්තයක් ගෙන්නාගෙන ඉස්කෝලේ පලයන්.” ඔහුගේ මව කීවා ය. 

“එහෙම වුණොත් ඉස්කෝලෙට යද්දී මම සම්පූර්ණයෙන්ම මැරිලා ඉඳීවි. අම්මා දන්නවද කරත්තයක යද්දී කොයි තරම් ගැස්සෙනවා ද කියලා?”

“අද මුකුත් වැදගත් පාඩම් කෙරෙනවද?”

“වැදගත්! හහ්! අපේ භූගෝල ගුරුතුමා අවුරුද්දක් තිස්සේ එකම පාඩම උගන්වමින් ඉන්නේ. ඊළඟට තියෙන්නේ ගණිතය, ඒ කියන්නේ මුළු පාඩම පුරාවටම අපිට ගුරුවරයාගෙන් ගුටිකන්න තමයි වෙන්නේ… වැදගත් පාඩම්!”

මෙය අසා ස්වාමි ගෙදර නැවතිය යුතු බව අම්මා යෝජනා කළේ බොහොමත්ම නිර්ලෝභී ලෙසයි. 

උදෑසන නමයහමාරට, තමන් පාසලේ ශාලාවේ සිට මහා හඬින් යාඥා කිරීමට නියමිත වෙලාවේ ස්වාමි තම මවගේ කාමරයේ බංකුවක වැතිරී සිටියේ ය. 

“මොකද, අද ඉස්කෝලේ නැද්ද?”  තාත්තා ඔහුගෙන් ඇසී ය. 

“ඔලුව කැක්කුමයි,” ස්වාමි පිළිතුරු දුන්නේ ය. 

“විකාර! ලෑස්ති වෙලා යනවා.”

“ඔලුව කැක්කුමයි.”

“ඉරිදාට රස්තියාදු ගැහිල්ල අඩු කළොත් සඳුදාට ඔලුව කැක්කුම් නැති වෙයි.”

පියාගේ මුරණ්ඩු ගති ගැන හොඳින් දන සිටි ස්වාමි තම ක්‍රියා පිළිවෙල වෙනස් කළේ ය. 

“මට පරක්කු වෙලා පන්තියට යන්න බැහැ.”

“ඒක හරි, ඒත් ඒක කරන්න වෙනවා, උඹේම නේ වැරැද්ද. ගෙදර නවතින්න තීරණය කරන්න කලින් උඹට තිබ්බේ මගෙන් අහන්න.”

“මම මේ තරම් පරක්කු වෙලා ගියොත් සර් මොනවා හිතයිද?”

“උඹ පරක්කු ඔලුව කැක්කුම නිසා කියපන්.”

“එහෙම කිව්වොත් මට ගහයි.”

“එහෙමද? අපි බලමුකෝ. මොකද්ද එයාගේ නම?”

“සැමුවෙල්”

“එයා ඔක්කොම කොල්ලන්ට ගහනවා ද?”

“එයා හරි දරුණු යි, වැඩියත්ම පරක්කු වෙලා එන කොල්ලන්ට. මීට ටික දවසකට කළින් පරක්කු වෙලා ආවා කියලා ළමයෙක් ව පීරියඩ් එකක්ම පන්තියේ කෙළවරක දණ ගස්සලා තිබ්බා. මෙහෙම කළේ වේවැල් පාර හයකුත් දීලා කන් දෙකත් මිරිකුවාට පස්සේ. සැමුවෙල් ගේ පන්තියට පරක්කු වෙලා යන්න මම නම් කැමති නැහැ.”

“එයා ඔය තරම් දරුණුයි නම් ඇයි ලොකු මහත්තයාට කියන්නේ නැත්තේ?”

“හැමෝම කියන්නේ ලොකු මහත්තයාත් එයාට බයයි කියලා. මහා දරුණු මිනිහෙක්.”

ඉනික්බිති ස්වාමි සැමුවෙල් ගේ දරුණු ක්‍රියාකාරකම් ගැන බියකරු විස්තරයක් කළේ ය. කොලුවෙකුට වේවැල් පහර දීමට පටන් ගත් විට ලේ දකින තුරු ඔහු එය නොනවත්වන හැටි, ඉන්පසු නළලේ ලෝහිත සලකුණක් ඇඳෙන සේ ඒ ලේ ගලන අත්ල තම නළල ට තද කරන ලෙස කොලුවාට බල කරන හැටි ඔහු විස්තර කළේ ය. මෙය අසා තමන්ට පමා වී පන්තියට යා නොහැකි ඇයිද යන වග තම පියා විසින් තේරුම් ගනු ඇතැයි ස්වාමි බලාපොරොත්තු විය. නමුත් සිදු වූයේ අනිකකි. තාත්තාගේ හැසිරීම අනපේක්ෂිත ලෙස වෙනස් විය. ඔහු උද්යෝගයෙන් පසුවන බවක් පෙනුණි. “මේ ඌරෝ අපේ ළමයින්ට ගහලා මොනවද ඔප්පු කරන්න හදන්නේ? උන් ව සේවයෙන් පන්නලා දාන්න ඕන. ඉඳපන්කෝ හොඳ වැඩක් කරන්න…”

මෙහි ප්‍රතිපලය වූයේ ගුරුවරයාට කරනු ලබන එක්තරා අභියෝගයක් ලෙස ඔහු ස්වාමි ව ප්‍රමාද වී පන්තියට යැවීමට සූදානම් වීම යි . මේ ගැන ස්වාමි කෙතරම් විරෝධය පෑවත් ඉන් පලක් වූයේ නැත. ස්වාමි පාසල් යා යුතු විය. 

ස්වාමි ලක ලැහැස්ති වන අතරතුර තාත්තා විසින් විදුහල්පති ට දීමට දිගු ලිපියක් ලියා, එය කවරයක දමා වසා තිබිණි.

“තාත්තා මොනවාද ඕකේ ලියලා තියෙන්නේ?” ස්වාමිනාදන් බියෙන් ඇසුවේ ය. 

“උඹට අදාළ දෙයක් නෙමෙයි, මේක ලොකු මහත්තයාට දීලා උඹේ පන්තියට පලයන්.”

“තාත්තා ඕකේ අපේ සැමුවෙල් සර් ගැනත් ලිව්වාද?”

“එයා ගැන හොඳ විස්තරයක් ලිව්වා. ලොකු මහත්තයා ඕක කියෙව්වාම ඔය සැමුවෙල් කාරයව රස්සාවෙන් අස් කරලා පොලිසියට භාර දෙයි සමහර විට.”

“එයා මොනවා කළා කියලාද තාත්තා ලිව්වේ?”

“එයා කරපු දේවල් සේරම ඔය ලියුමේ ලියලා තියෙන්නේ. ඕක ලොකු මහත්තයාට දීලා උඹේ පන්තියට පලයන්, හවසට එද්දී මට ලියුම ලැබුණු බවට ලොකු මහත්තයාගෙන් තුණ්ඩුවක් අරන් වරෙන්.”

බොරුවට දිව්රීම අතින් ලෝකයේ සිටින නරකම කෙනා තමන් බව සිතමින් ස්වාමි පාසලට ගියේ ය. ඒ වෙද්දී ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට වධ දෙමින් තිබිණි. තමන් සැමුවෙල් ගැන විස්තර කරද්දී සත්‍යම කීවාද යන වග ඔහුට සැක සහිත වූ අතර ඉන්  කෙතරම් ප්‍රමාණයක් ඇත්ත ද, කෙතරම් ප්‍රමාණයක් මවාගත් දේ ද ඔහුට ම තීරණය කළ නොහැකි විය. සැමුවෙල් ගැන තීරණයක් ගැනීමට ඔහු මහමඟ අයිනේ මොහොතක් නැවතුණේ ය. සැබවින්ම නම් සැමුවෙල් එතරම් නරක මිනිසෙක් නොවී ය. ඔහු අනෙත් ගුරුවරුන්ට වඩා ප්‍රිය මනාප විය. ස්වාමි ගේ අලසකම් ගැන ඔහු ඉඳහිට විහිළුවක් දෙකක් පවා කළේ ය. ස්වාමි මේවා සැලකුවේ තමන්ට කරනු ලබන විශේෂ සැලකිල්ලක් ලෙසයි. නමුත් ඔහු අතීතයේ කෙදිනක හෝ සිසුන්ට දරුණු ලෙස සලකා තිබෙන්නට ඉඩ ඇත. ඔහුගේ වේවැල් පහරින් වරක් හෝ සිසුන්ගේ අත්ල හම ගැලවී තිබෙන්නට ඉඩ ඇත. මෙවැනි සිද්ධියක් ගැන මතක් කරගන්නට ස්වාමි වෙහෙස වූයේ ය. නමුත් එවැන්නක් ඔහුට මතක් වූයේ නැත. මීට වසර ගණනාවකට පෙර පළමු කාණ්ඩයේ කොලුවෙකුගේ අත්ල ට වේවැල් පහර දී ඉනික්බිති ඉන් ගැලූ ලේ කොලුවාගේ මුහුණේ තවරාගන්නට ඔහු අණ කර තිබිණි. නමුත් මේ සිද්ධිය ඇසින් දුටුවෙක් නොවූ අතර පාසලේ ළමුන් විසින් වසරින් වසර මේ පුරාවෘත්තය ඉදිරියට රැගෙන ගියහ. සැමුවෙල් ගේ චරිත ස්වභාවය ගැන ඇති වූ පටලැවිල්ලෙන් ස්වාමිගේ හිස බමන්නට විය. ඔහු සැබවින් ම හොඳ ද නරක ද යන වග, ලිපියේ වූ ඒ චෝදනා ලබන්නට ඔහු සුදුසු ද යන වග… නැවතත් ගෙදර දිව ගොස් මේ ලිපිය නැවත ගන්නට තාත්තාගෙන් යාප්පුවෙන් ඉල්ලන්නට ස්වාමි ට සිත් විය. නමුත් තාත්තා බෙහෙවින් මුරණ්ඩු අයෙකි.

කහ පැහැති පාසල් ගොඩනැගිල්ල වෙත ළඟා වෙද්දී තමන් සිදු කරන්නට යන්නේ වැරදි සාක්ෂි දී තම ගුරුවරයා විනාශ කරන්නට බව ස්වාමි ට වැටහිණි. විදුහල්පති සැමුවෙල් ව අස් කිරීමට ඉඩ ඇති අතර පොලීසිය ඔහුව යදම් ලා හිරේ ලනු ඇත. මේ සියලු නින්දාවන්, මදි පුංචිකම්, වේදනාවන් ට වගකිව යුත්තේ කවුද? ස්වාමි වෙව්ලා ගියේ ය. සැමුවෙල් ගැන තව තවත් සිතද්දී ස්වාමි ට ඔහු ගැන දැනෙන ශෝකය වැඩි විය. ඒ තලෙළු මුහුණ, රත් පැහැ ගැන්වුණු කුඩා දෑස, සිහින් උඩු රැවුල, රැවුල් කොට සහිත දෙකොපුල සහ නිකට, කහ පැහැති කබාය - මේ හැම දෙයක්ම ස්වාමි තුල ශෝකයක් ජනිත කළේ ය. තම සාක්කුවේ වූ ලියුමේ බර දැනෙද්දී ඔහුට හැඟුණේ තමන් අලුගොසුවෙක් බව යි. මොහොතකට තම පියා ගැන තද කෝපයක් ඔහුට දැනුණි. පියා වැනි අසාධාරණ මුරණ්ඩු අයෙක් ලියු ලිපියක් තමන් කාණුවට වීසි නොකරන්නේ ඇයිදැයි ඔහුට සිතුනි. 

පාසල් ගේට්ටුවෙන් ඇතුල්වෙද්දී ස්වාමි ට මීට විසඳුමක් ලෙස එක්තරා ආකාරයක අදහසක් පහළ විය. ඔහු එවේලේම විදුහල්පති වෙත ලිපිය නොදී දවස අවසානයේ දී එය දෙන්නට තීරණය කළේ යම් මට්ටමකට තාත්තාගේ අණ ට විරුද්ධ වීමක් සහ තම ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමක් ලෙස ය. මේ ගැන තාත්තාට දැනගන්නට නොලැබෙන බැවින් ඉන් හානියක් සිදුවන්නේ නැත. මීට අමතරව මේ ලිපිය දවස අවසානයේදී භාර දීමට තබා ගැනීමෙන් ඒ දවස තුළ සැමුවෙල් ගුරුතුමා මෙහි සඳහන් දේ සාධාරණීකරණය වන දෙයක් කරන්නටත් ඉඩ ඇත. 

ස්වාමි තමන්ගේ පන්තියේ දොරකඩ සිටගෙන සිටියේ ය. ගණිතය පාඩම උගන්වමින් පසු වූ සැමුවෙල් මොහොතකට ස්වාමි දෙස බැලුවේ ය. සැමුවෙල් තමන්ගේ ඇඟට පැන සම ඉරා දමනු ඇතැයි අපේක්ෂාවෙන් ස්වාමි පසු විය. නමුත් ගුරුවරයා “තමුසේ දැන් ද පන්තියට එන්නේ?” ඇසුවා පමණි. 

“ඔව් සර්.”

“තමුසේ පැය භාගයක් පරක්කුයි.”

“මම දන්නවා.” දැන් වත් ගුරුවරයා තමන්ට පහර දෙනු ඇති සිතමින් ස්වාමි කීවේ ය. ‘තිරුපති දෙවියනි සැමුවෙල් ගෙන් මට ගුටි කන්න ඉඩ සලස්වන්න.’ යනුවෙන් යාඥා කරන්නට පවා ඔහු සූදානම් ව සිටියේ ය.

“මොකද තමුසේ පරක්කු?”

‘පරක්කු උනොත් සර් මට මොකද කරන්නේ බලන්නමයි’ කියා පිළිතුරු දීමට ස්වාමි ට අවැසි වූවත් ඔහු කීවේ “මට ඔලුව කැක්කුමක් හැදුණා සර්” කියා පමණි. 

“එහෙනම් තමුසේ ඉස්කෝලේ ආවේ මොකද?’ 

මෙය සැමුවෙල්ගෙන් අපේක්ෂා නොකළ වර්ගයේ ප්‍රශ්නයක් විය. 

“මගේ තාත්තා කිව්වා ඉස්කෝලේ පාඩු කරගන්න එපා කියලා සර්.” ස්වාමි පිළිතුරු දුන්නේ ය. 

මෙය අසා සැමුවෙල් සතුටට පත් වූ බවක් පෙනුණි. “තමුසෙගෙ තාත්තා හරියට හරි, හොඳ නුවණක්කාර මිනිහෙක්. අපි කැමතියි ඒ වගේ තව දෙමව්පියෝ ඉන්නවානම්.”

“අනේ අසරණ පනුවෝ!’ ස්වාමි සිතුවේ ය. “උඹ දන්නේ නැහැ මගේ තාත්තා උඹට කරලා තියෙන දේ.” ඔහු සිටියේ සැමුවෙල් ගේ හැසිරීම ගැන මහත් වියවුලෙනි.

“හරි තමුසේ ගිහින් ඉඳගන්නවා. තාම ඔලුව කැක්කුම ද?”

“යන්තම් තියෙනවා සර්.”

ස්වාමි තම අසුන වෙත ගියේ මහත් තැවුලෙනි. සැමුවෙල් තරම් යහපත් මිනිසෙක් ඔහුට කෙදිනකවත් හමු වී නැත. ගුරුවරයා ගෙදරදී කරන්නට දුන් අභ්‍යාස පරීක්ෂා කරමින් සිටියේ ය. ස්වාමි ගේ අදහස අනුව නම් මෙය මහත් සේ දරුණු හැසිරීම් ඇතිවිය යුතු මොහොතකි. මේ අභ්‍යාස පොත් මුහුණු වෙත දමා ගැසීම්, කොල්ලන්ට බැණ වැදී වේවැල් පහර දීම්, ඔවුන් ව බංකු මත සිටුවා තැබීම් සිදු විය යුතු වේලාව යි. නමුත් එදින නම් සැමුවෙල් ඉවසීම සහ මෘදු බව ප්‍රගුණ කළා වැනි විය. වැරදි සහිත වූ පොත් ඉවතට තල්ලු කළ ඔහු වේවැලෙන් යන්තම් තට්ටු දැම්මා පමණි. එමෙන්ම ඔහු කිසි කෙනෙක් විනාඩි කිහිපයකට වඩා සිටුවා තැබුවේ නැත. ඉනික්බිති ස්වාමි ගේ වාරය එළඹිණි. ඔහුට මේ වරම ගැන දෙවියන්ට ස්තුති කරන්නට පවා සිත් විය. 

“ස්වාමිනාදන්, කෝ තමුසෙගෙ ගෙදර වැඩ?”

“මම ගෙදර වැඩ කළේ නැහැ සර්” ඔහු ගණනකට නොගෙන කීවේ ය.

නිහැඬියාවක් පැතිරිණි.

“ඒ මොකද- ඔලුව කැක්කුම නිසා ද?” සැමුවෙල් ඇසී ය. 

“ඔව් සර්.”

“හරි එහෙනම් ඉඳගන්නවා.” 

ස්වාමි නැවතත් අසුන් ගත්තේ සැමුවෙල් ට කුමක් වී ද යයි සිතමිනි. ඒ කාල පරිඡේදය අවසන් වෙද්දී ස්වාමි ට දැනුණේ මහත් අසරණ කමකි. ඒ දවසේ අවසාන කාල පරිඡේදය ද වෙන් වූයේ සැමුවෙල් ට ය. මෙවර ඔහු පැමිණියේ ඉන්දියානු ඉතිහාසය ඉගැන්වීමට යි. මේ කාල පරිඡේදය 3.45ට ආරම්භ වී 4.30ට අවසන් විය. ස්වාමිනාදන් ඒ දවස ගෙවූයේ තදින් කල්පනා කරමිනි. සැමුවෙල් ව කේන්ති ගැස්විය හැකි ක්‍රමයක් ඔහුට කල්පනා වූයේ නැත. ඔරලෝසුවේ හතර වදිද්දී ඔහුට නොඉවසුම් බවක් දැනුණි. තව පැය භාගයයි! සැමුවෙල් වස්කෝ ද ගාමා ගේ ඉන්දියානු ආගමනය විස්තර කරන පරිච්ඡේදයක් කියවමින් සිටියේ ය. පන්තියේ සිසුහු තරමක අලසකමින් මීට සවන් දුන් හ. හදිසියේම ස්වාමි මහා හඬින් මෙසේ ප්‍රශ්න කළේ ය.

“මොකද සර් කොලොම්බස් ඉන්දියාවට ආවේ නැත්තේ?”

“එයාට පාර වැරදුණා.”

“මට නම් ඒක විශ්වාස කරන්න බැහැ, එක වෙන්න බැරි දෙයක් සර්.”

“ඇයි ඒ?”

“ඔච්චර ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් පාර දන්නේ නැති වෙන්න පුළුවන් ද?”

“කෑ ගහන්න එපා, මට තමුසේ කියන දේ හොඳට ඇහෙනවා.”

“මම මේ කෑ ගහනවා නෙමෙයි සර්. මේ දෙවියෝ මට දීපු කටහඬ, ඒ ගැන මම මොනවා කරන්න ද?”

“කට වහගෙන වාඩිවෙනවා”

තම ක්‍රියාවේ සාර්ථකත්වය ගැන තරමක් සතුටින් ස්වාමිනාදන් නැවතත් අසුන් ගත්තේ ය. ගුරුවරයා ඔහු වෙත සැකය මෙන්ම ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මක් හෙලා නැවතත් තම පාඩම ඇරඹුවේ ය. 

ඔහුගේ දෙවෙනි අවස්ථාව එළඹුණේ ඉදිරිපස බංකුවේ අසුන්ගෙන සිටි සංකර් නැගී සිට “සර්, ඉන්දියාවට ආව පලවෙනි මනුස්සයා වස්කෝ ද ගාමා ද?” යැයි ඇසූ විට යි. 

ගුරුවරයා ට මීට පිළිතුරු දෙන්නට අවස්ථාව ලැබෙන්නට පෙර ස්වාමි පසුපස බංකුවක සිට “එහෙම තමයි එයාලා කියන්නේ” කියා කෑ ගැසී ය. 

ගුරුවරයා ඇතුළු පන්තියේ සියලු දෙනා ස්වාමි දෙස බලන්නට වූහ. ස්වාමිනාදන් ගේ මේ කරදරකාරී හැසිරීම ගැන ගුරුවරයාට ගැටළු සහගත ව තිබිණි.

“ස්වාමිනාදන් තමුසේ ආයෙත් කෑ ගහනවා.”

“මම මේ කෑ ගහනවා නෙමෙයි සර්, දෙවියෝ දුන්නු කටහඬ ගැන මම මොනවා කරන්න ද?”

පන්ති කාමරයේ ඔරලෝසුවේ හතරයි කාල වැදුණි. තව පැය කාලයි. ඒ වෙලාව ඇතුළත ඔහු යම් බැරෑරුම් දෙයක් කළ යුතු ය. සැමුවෙල් ඔහු දෙස රවා බලා ඔහුට සැරෙන් කතා කර තිබුණත් එය ප්‍රමාණවත් නොවිණි. තමා තව ටිකක් මහන්සි වූවොත් සේවයෙන් පහ කර හිරේ දැමීමට සුදුසු හැසිරීමක් සැමුවෙල් වෙතින් ලබා ගත හැකි යැයි ස්වාමි ට සිතුණි. 

පාඩම් පොතේ එක් කොටසක අවසානයට එළැඹි විට ගුරුවරයා පාඩම නතර කළේ ය. ඉතිරි විනාඩි කිහිපය සිසුන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඔහුගේ අදහස විය. මුළු පන්තියටම තම පොත් ඉවත් කරන්නට අණ කළ ඔහු, දෙවෙනි පේළියේ සිසුවෙකුගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය. 

“වස්කෝ ද ගාමා ඉන්දියාවට ගොඩ බැස්සේ කවද්ද?”

“1648 දෙසැම්බර් 20,” ස්වාමිනාදන් වහා නැගිට කෑ ගැසුවේ ය. 

“කෑ ගහන්න අවශ්‍ය නැහැ,” ගුරුවරයා කීවේය. “මොකද ඔලුව කැක්කුම නිසා තමුසෙට පිස්සු හැදිලා ද?” 

“මට දැන් ඔලුව කැක්කුමක් නැහැ සර්, “ ඔහු උද්යෝගයෙන්, මහා හඬින් කීවේය.

“වාඩි වෙයන් මෝඩයා,” තමන්ට මෝඩයා කියනු අසා ස්වාමිට මහත් සතුටක් දැනුණි. “තමුසේ ආයෙත් නැගිටලා තිබුණොත් වේවැල් පාර දෙනවා,” ගුරුවරයා කීවේ ය. 

මේ පොරොන්දුව ගැන සතුටින් ස්වාමි අසුන් ගත්තේ ය. 

“මම දැන් මෝගල් අධිරාජ්‍ය යුගය ගැන ප්‍රශ්න කීපයක් අහනවා. මෝගල් අධිරාජ්‍යවරු අතරින් ශ්‍රේෂ්ඨතම, ආගමට වඩාත්ම ලැදි අධිරාජ්‍යයා කවුද?”

ස්වාමි නැගී සිටියේ ය. ඔහු නැගිටිනු දුටු වහාම “වාඩිවෙනවා!” යැයි ගුරුවරයා තදින් කීවේ ය.

“මට උත්තර දෙන්න ඕන, සර්.”

“වාඩිවෙනවා”

“නැහැ සර්, මට උත්තර දෙන්න ඕන.”

“දැන් තමුසේ ආයෙත් නැගිට්ටොත් මම මොනවා කරනවා කියලාද මම කළින් කීවේ?”

“සර් කිව්වා මගේ අතේ හම යනකම් මට වේවැල් පාර දීලා ඒ තුවාල මගේ නළලට තදකරගන්න කියනවා කියලා.”

“හරි, මෙහෙ එනවා.”

ස්වාමිනාදන් මහත් ප්‍රීතියෙන් යුතුව තම අසුනෙන් නැගිට ගොස් පන්තියේ වේදිකාවට නැග්ගේය. ගුරුවරයා මේස ලාච්චුවෙන් තම වේවැල ගෙන “අත අල්ලපන් පොඩි යක්ෂ පැටියා” යැයි කේන්තියෙන් කෑ ගැසී ය. ඉනික්බිති ඔහු ස්වාමිගේ දෙඅත්ලට තද පහරවල් තුනක් එල්ල කළේ ය. ස්වාමි කිසිම පැකිලීමකින් තොර ව ඒවා භාර ගත්තේය. පහරවල් දුසිම් භාගයක් ලැබුණු පසු “මේ ඇති ද, තව ඕනෙද?” කියා ගුරුවරයා ඇසුවේ ය.

ස්වාමි කිසිත් නොකියා නැවතත් තම අත්ල පෑ අතර ඔහුට තව පහරවල් දෙකක් ලැබුණි. එවෙලේම සීනුව නාද විය. තම දෙඅත්ල පුපුරු ගසමින් තිබුණද ස්වාමි වේදිකාවෙන් බිමට පැන්නේ සැහැල්ලු හදවතිනි. තම පොත් පත් එකතු කරගත් ඔහු තම සාක්කුවේ තිබුණු ලිපිය ද ගෙන විදුහල්පතිගේ කාමරය ට දිව ගියේ ය. එහි දොර අගුලු ලා තිබුණි.

“ලොකු සර් කෝ?” ඔහු එහි වූ කාර්යාල සහායක ගෙන් විමසුවේ ය. 

“මොකටද හොයන්නේ?”

“මගේ තාත්තා ලොකු සර් ට දෙන්න ලියුමක් දුන්නා.”

“ලොකු සර් හවස් වරුව නිවාඩු. ලබන සතියෙත් එයා නෑ. මේ ළමයා ට පුළුවන් දෙවෙනි ලොකු සර් ට ලියුම දෙන්න. එයා තව ටිකකින් ඒවි.”

“ඒ කවුද ඒ?”

“ඔයාගේ ගුරුවරයා, සැමුවෙල්. තව තත්පරයකින් එයා එයි.”

ස්වාමිනාදන් එතැනින් ඉවත් වූයේ ඉගිලෙමින් මෙනි. ඔහු ලිපියත් අතැතිව ම නිවසට එනු දුටු විට ඔහුගේ පියා “මම දැනගත්තා උඹ ඕක දෙන්නේ නැති බව, බය ගුල්ලා!” යි කීය.

“ලොකු සර් නිවාඩු, සත්තයි” ස්වාමිනාදන් විස්තර කිරීමට තැත් කළේ ය. 

“බියගුළුකමට අමතරව තව බොරු ත් කියනවා.” තාත්තා පිළිතුරු දුන්නේ ය. 

“ලොකු සර් ආයෙත් ආව ගමන් මම මේක දෙන්නම්” ස්වාමි ලිපිය ඔසවා පෙන්වමින් කීවේය. 

තාත්තා ඔහුගේ අතින් ලියුම උදුරාගෙන, එය ඉරා, මේසය යට වූ කුණු කූඩයට දැම්මේ ය. 

“මින්පස්සේ සැමුවෙල් උඹේ බෙල්ල මිරිකුවත් මට නම් ඇවිත් කියන්න එපා, උඹටම ගැලපෙනවා උඹේ සැමුවෙල්!” ඔහු කේන්තියෙන් මිමිණුවේ ය. 

Translation of the short story ‘ Father’s Help’ by R. K Narayan

From the book ‘Malgudi Days’ (1972) - Penguin Publishers

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *