
සෙවන් සමිට්ස් හෙවත් ‘සප්ත ගිරි හිස්’ තරණය විනෝදාංශයක් වශයෙන් කඳු නඟින්නන්ගේ එකම අභියෝගයයි. ‘සෙවන් සමිට්ස්’ යනු මහාද්වීප 7ක ඇති උසම කඳු මුදුන් වන අතර, ඒ අතරට අඩි 29,029ක් උසින් යුත් එවරස්ට් (ආසියාව), අඩි 22,838ක් උසින් යුත් ඇකොන්කගුවා (ආර්ජන්ටිනාව), අඩි 20,322ක් උසින් යුත් ඩෙනාලි (උතුරු අමෙරිකාව), අඩි 19,341ක් උසින් යුත් කිලිමන්ජාරෝ (අප්‍රිකාව), අඩි 18,510ක් උසින් යුත් මවුන්ට් එල්බ්‍රස්ට් (රුසියාව), අඩි 16,050ක් උසින් යුත් විෂන් මැසිෆ් (ඇන්ටාක්ටිකාව) හා අඩි 8,100ක් උසින් යුත් කොසියොස්කා (ඔස්ට්‍රේලියාව) යන ගිරි හිස් 7 ඇතුළත් වේ.


‘සෙවන් සමිට්ස්’ හඳුන්වා දී ගෙවුණු වසර 40ක කාලය අතරතුර ලොව සප්ත කඳු මුදුන් සාර්ථකව තරණය කර ඇත්තේ 350ක් වැනි අල්ප පිරිසක් වීමම මේ අභියෝගයේ බැරෑරුම්කමට හොඳම සාධකයයි. එවන් පසුබිමක, දේශගුණික අතින් අපේ රටට වඩා බොහෝ වෙනස් පරිසර පද්ධතීන්ට අනුගතව පිහිටි මේ සප්ත ගිරි හිස් තරණයේ බිහිසුණු බවට අභියෝග කරමින් මේ මාරාන්තික අත්දැකීම ජය ගන්නට අපේ පුංචි රටෙන්ද තරුණයෙක් සමත් වී සිටී. ඔහු අන් කවරකු වත් නොව, යොහොන් පීරිස්ය. එදා අප ඔහු හඳුනාගත්තේ එවරස්ට් කඳු තරණය කර ශ්‍රී ලංකාවේ වාර්තා අතරට එක්වූ දෙවැන්නා වශයෙනි. යොහොන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ සප්ත ගිරි හිස් අතුරින් ලොව අසීරුතම කඳු මුදුන් 6ක් තරණය කර අවසන් කරමිනි. සිය පියා මිල්රෝයි පීරිස්ගේ අඩිපාරේ යමින් ලංකාවේ කඳු තරණය ආරම්භ කළ යොහාන් අද අන්තර්ජාතික වශයෙන් රන් සලකුණක් තබන්නට උත්සාහ දරන්නේ ජීවිතයත් මරණයක් අතර බියකරු සටනක යෙදෙමිනි.
“මගේ එකම චැලෙන්ජ් එක වෙන්නේ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය ජය ගැනීම. මේ දක්වා ආ ගමන ඉතා අසීරු, කවුරුත් අපේක්ෂා නොකරන, බියකරු ගමනක්. 2010දි මම අඩි 17,500ක උසකින් යුත් එවරස්ට් කන්ද පාමුල බේස් කෑම්ප් එකට ජයන්තිත් එක්ක ගියේ. ඊට පස්සේ 2012දී අඩි 21,800ක් උස අයිලන්ඩ් පීක් කඳුවැටිය නැග්ගේ මගේ පළමුවැනි අයිස් කන්ද විදියට. මේ කන්ද නඟිද්දි ගොඩාක් අමාරු වුණා. මාර්ගෝපදේශකයන්ගෙන් අතපසුවීම් වෙලා වැරදි මාර්ගයේ ගිහින් කුණාටුවකට අසු වෙලා ජීවිතය පවා නැති වෙන්න ගොස් බේරුණේ අනූනවයෙන්. අපට බොන්න වතුර පවා නැතිව ගියා. වතුර වෙනුවට කෑවේ අයිස්. අවසානයේ ගැලවුම් කණ්ඩායමක් අප බේරගත්තා. පැය 7ක ගමන කෙළවර වුණේ පැය 23කින්. ජීවිතය ගලවාගෙන ආවට පස්සේ ආයෙත් නම් යන්නෙ නෑ කියලා හිතුවත්, ටික දිනක් යද්දි කඳු නැඟීමේ ආසාව නැවතත් මතු වෙනවා…” ඒ යොහාන්ගේ ගමනේ ආරම්භයයි.
ඔහුගේ දෙවැනි පියවර ආරම්භ වන්නේ 2012 වසරේදීය.
“ජයන්ති කුරුඋතුම්පාලත්, මමත් අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද නැග්ගා. ඒ එවරස්ට් නඟින්න සූදානමක් ලෙස. 2016 ජයන්තිත් සමඟ එවරස්ට් තරණය කළා. ඒත් කඳු මුදුන මීටර 400ක් පෙනී පෙනී පහළට බහින්න අපට සිදු වනවා. හතරවැනි කඳවුර පසු වූ පසු මගේ ඔක්සිජන් ටැංකිය මාරු කරලා ඒ අය වැරදීමකින් දාන්නේ භාගයක් පමණ ඉවර වූ ටැංකියක්. මට ඉතුරු මීටර් 400 පහසුවෙන් මුදුනට යන්න තිබුණත් ගිහින් එන්න ඔක්සිජන් නැතිව යනවා. හිතේ දැඩි වේදනාවක් ආවත් ඔක්සිජන් නැතිව ගියොත් අපේ ශරීරය මැරෙන්න පටන් ගන්නවා. කඳු මුදුනේ මළ සිරුරු 400ක් පමණ තියෙනවා. මට ඒවත් මතක් වෙනවා. කඳු මුදුන පෙනි පෙනී ගයිඩ් මට කිවුවා ‘ඔක්සිජන් නැහැ, ඒ නිසා ඔයාට යන්න බැහැ,’ කියලා. ජීවිතය නැති වුණත් මම යනවා කිවුවත් මට ඊට අවසර ලැබුණෙ නැහැ. ජීවිතය ගැන හිතලා මම නැවතත් ආපසු හැරුණා. ළඟටම ගිහින් නැවතත් හැරී ඒමට වූ දේ හරියට දැනගත්තේ වසරකට පස්සේ. මට මිලියන 10ක වියදමක් මීට ගියා. නැවතත් එවරස්ට් නඟින්න ඇඟ හුරු කර ගන්න ඕනෑ… අනුග්‍රාහකයෝ සොයාගන්න ඕනෑ…”
යොහාන් එවරස්ට් නැග්ග දෙවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ 2018 වසරේදීය. ඔහුගේ අභියෝගය පෙළගැසෙන්නේ ‘සෙවන් සමිට්ස්’ ජය ගත් සුළුතරය අතරට එක් වන්නටය.
“මට ඕනෑ වුණා මහාද්වීප හතේ උසම කන්ද නඟින චැලෙන්ජ් එකට මුහුණ දෙන්න. මේ ‘සෙවන් සමිට්ස්’ චැලෙන්ජ් එක සම්පූර්ණ කරලා තියෙන්නේ ලෝකයේම 350ක් විතරයි. ඒ වෙන කොට එයින් මම නැඟලා තිබුණේ එවරස්ට් හා කිලිමන්ජාරෝ විතරයි. 2019දී ආර්ජන්ටිනාවේ උසම කන්ද වන ඇකොන්කගුවා තරණය කරන්න සූදානම් වුණා. ඒක මීටර් 7,000ක් උස කන්දක්. අපි වෙනමම අමාරු පාරක් තෝරාගත්තා චැලෙන්ජ් එකක් ලෙස. අධික සීතල නිසා දින 21ක් තිස්සේ නැඟපු කඳු නැඟීම අවසන් කරන්න බැරි වුණා…”
“කොවිඩ් නිසා රටවල් වැහෙන්න පෙර 2022දී මම තනිවම ගිහින් ඔස්ට්‍රේලියාවේ ‘කොසියොස්කා’ කන්ද නැග්ගා. මේ කන්ද පිදුරුතලාගල කන්ද තරම්, අඩි 8,100ක විතර උස අඩු කන්දක්. ඒත් ඔස්ට්‍රේලියා මහාද්වීපයේ උසම කන්ද. දවසකින් නැඟලා බහින්න පුළුවන් වුණා. කොවිඩ්වලින් පස්සේ මට සෙවන් සමිට් තරණය කර අවසන් කරන්න ඕන වුණා. ඒ නිසා 2023 මම තනිවම උතුරු ඇමරිකාවේ ‘ඩෙනාලි’ කන්ද තරණය කරන්න ගියා. මේ කන්ද ගොඩාක් උසයි, ඒ වගේම තරණය කරන්න අසීරු කන්දක්. ආක්ටික් මහාද්වීපයේ අයිස් කන්දක්. මේ කන්ද නැඟලා බහින්න දවස් 21ක් යනවා. ඒත් අවාසනාවකට මෙන් අන්තිම දින විශාල කුණාටුවක් ඇවිත් ආපසු බහින්න සිදු වනවා. එදා මම අසාර්ථක වුණා… ”
“2023දී මම යුරෝපයේ උසම කන්ද වන රුසියාවේ ‘මවුන්ට් එල්බ්‍රස්ට්’ තරණය කරන්න යනවා. ඒකට සුමාන දෙකක් ගියා. සාර්ථකව අවසන් කර මම එනවා. ඉන්පස්සේ මම පසුගිය ජනවාරියේ තවත් තවත් කඳු දෙකක් තරණය කරන්න යනවා. මුලින්ම යන්නේ කලින් අසාර්ථක වූ ආර්ජන්ටිනාවේ ‘ඇකොන්කගුවා’ කන්ද තරණය කරන්න. මේ පාර මගේ ගමන විශේෂත්වයක් වුණේ මම කඳු දෙකක් එකවර තරණය කිරීම. මේ සඳහා මාස දෙකක් ගියා. ඒ ගමන ඉතා අසීරු අමතක නොවන ගමනක්. ජනවාරි 4 වැනිදා මම ලංකාවෙන් පිටත් වෙලා චිලී රටට ගිහින්, එතැනින් ගුවන්යානාවකින් ආර්ජන්ටිනාවට ගියා. එතැන පොඩි කෑම්ප් එකක් තියෙනවා. එතැන සිට පොඩි ගුවන්යානාවකින් අපි හතරදෙනෙකුගේ කණ්ඩායම මේ කඳු පාමුලට යා යුතු වුණා. මේ ගමන හරිම අභියෝගයක්. කන්ද පාමුලට දිනක් ඇතුළත ගුවන්යානාවකින් යන්න පුළුවන් වුණත්, දේශගුණික වෙනස්වීම් නිසා එතැනට යන්න දින 13ක් බලා ඉන්න වුණා. වියදම රුපියල් මිලියන 18 ක්.
“මේ මහාද්වීපයේ උතුරුකරයේ අධික සීතලක් පවතින නිසා කවුරුත් වෙසෙන්නේ නැහැ. මේ කඳු පාමුලට යෑමයි මුලින්ම වැදගත් වෙන්නේ. මේ ගමනට විශේෂ උපකරණ ඇඳුම් පැලඳුම් තියෙනවා. හරියට වෙනත් ලෝකයකට ගියා වගේ. මේ මහාද්වීපයේ කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නෑ; ගස්කොළන් නෑ; සත්තු නෑ; අපි දකින්නේ කළු, සුදු හා නිල් පාට පමණයි. ගුවන්යානාව බස්සන්නේ අයිස් ගොඩේ. ඒ වගේ රටක මේ කන්ද නැඟීම අභියෝගයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. අපේ කෑමබීම සූදානම් කළේ අදාළ සමාගමෙන්. මේ ගමන හරිම භයංකරයි. අමාරුයි කියලා ආයිත් එන්න බැහැ. අපිව ගෙනියන ගුවන්යානාව එන්නේ සුමානයකට වතාවයි. ඒකත් හොඳ කාලගුණයක් තිබුණොත්. අසනීපයක් වුණොත් යන්න තියෙන්නේ කැම්ප් එකට විතරයි. ඒකේ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා.

“කොහොම හරි මේ කන්ද සාර්ථකව තරණය කරලා මම විලීවලට ඇවිත් ඇන්ටාක්ටිකාවේ ‘විෂන් මැසිෆ්’ නඟින්න ගියා. මට ඒ ගමනෙත් අභියෝග බොහෝමයි. දේශගුණික විපර්යාස මැද එක කන්දක් තරණය කරලා තවත් එකක් තරණය කිරීම සෞඛ්‍යයට හරිම වෙහෙසකර වුණා. විවේකයට තිබුණේ දින දෙකයි. තාමත් ඇඟට අමාරුයි. දින 18ක් කන්ද නැග්ගා. 14 දෙනෙක් හිටියා. ඒක හරිම අමාරු කන්දක්. ගල්පර ගොඩාක් වැඩියි. කෑම්ප් 3 සිට මුදුන දක්වා අයිස්. ඒත් සාර්ථකව එයත් අවසන් කළා…” යොහාන් පවසයි.
යොහාන්ගේ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය ජය ගැන්මට තවත් ඉතිරිව ඇත්තේ උතුරු අමෙරිකාවේ ‘ඩෙනාලි’ කන්ද පමණය. ඉදිරි ජූනි මාසයේ එයද නිම කිරීමට ඔහු සූදානමින් සිටී. ‘සෙවන් සමිට්ස්’ අභියෝගය අභියෝගයක් පමණක් නොව, මාරාන්තික අත්දැකීමකි; ජීවිතයට අභියෝග කරමින් යන ගමනකි. ඒ අභියෝගයට අභියෝග කළ ශ්‍රී ලාංකික මිනිසා වන්නේද ඔහු පමණි.
“මම ඉගෙන ගත්තේ සාන්ත ජෝසප් විදුහලේ. දැන් වයස 56ක්. පසුගිය කාලය පුරා අමතක නොවන අත්දැකීම් බොහෝමයි. එවරස්ට් නඟිද්දි මළ සිරුරු හාරසිය ගානක් දැක්කා. ඒක අදටත් අමතක නැහැ. තවත් අවස්ථාවක මගේ ඇස්පනාපිටම දෙදෙනෙක් මිය යනවා. විටක අයිස් කඳු කඩාවැටෙනවා. වරක් අයිස් කඳු කඩාවැටෙන කොට මාවත් හසු වෙලා මරණය පෙනි පෙනී බේරුණා. ඒ ජීවිත අවදානම දැනුණු එක තැනක්. තවත් තැන් බොහෝමයි.
මේ වතාවේ ආර්ජන්ටිනාවේ කන්ද නඟිද්දි මාත් සමඟ සිටි අමෙරිකානු ජාතිකයෙක් මට කියනවා, ‘පොඩ්ඩක් පහළ බලන්න,’ කියලා. ඒක මහ බියකරු ප්‍රපාතයක්. එක අඩියක් එහා මෙහා වුණොත් ජීවිතය ඉවරයි. අපි මේ ගමන යන්නේ බයක් ඇතිවයි. නෑ කිවුවොත් ඒක බොරු. ආත්මශක්තිය තමයි මේ දේට තිබිය යුත්තේ. ශාරීරික ශක්තියකට වඩා අවශ්‍ය වන්නේ මානසික ඒකාග්‍රතාව. මම කතෝලික දහම හොඳින් අදහනවා. ඒකෙන් අවශ්‍ය ශක්තිය මට ලැබෙනවා…” යොහාන් පවසයි.