වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා, වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

නෙදර්ලන්ත සංචාරයක මතක 1....

වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා .

නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර  සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්.  දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා.

Zaansc  Schans

සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී  මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා.

ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්‍රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ  ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා.

පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්‍රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට ඒ වෙනස කියා පෑ බව කිවයුතුයි. ඒ 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්‍රයක්.       

ඒ පරිශ්‍රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ්‍ය නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.

Dutch Countryside

අපේ රථය ජනාකීර්ණ නගරයෙන් ටිකෙන් ටික ඈතට යනවා.ගොවිපොල, තණබිම්, කළු සුදු පැහැයෙන් ඈතට පෙනෙන ගව රංචු නෙදර්ලන්තය කිරි සදහා සුපතල රටක් කියන එක සිහිගන්නවා. ඒ ගැන වැඩි විස්තර මීළග ලිපියෙන් කියන්නම්.

අපි ගමන්ගන්නා රථ පේලිය එක්වරම රතු එළියට නතර වුනා. අපි කොළ එළිය එනතෙක් බලාගෙන ඉන්නවා. එක පාරටම අපි ඉදිරියෙන් තියෙන පාලම ඉහළට එසවුනා. විනාඩි කිහිපයකින් යාත්‍රා කිහිපයක් එහා මෙහා ගියා. ආයෙමත් ගමන පටන්ගත්තා. කැනඩාවේ St. Catherines වල Welland Canal ප්‍රදේශයේදීත් ඔබට මේ අත්දැකීම ලබන්නට පුළුවන්.

හුළං මෝල පරිශ්‍රයෙන් ඇවිත් යන අපේ මීළග ගමනාන්තය මුහුදු වෙරළබඩ ගමක්. නමින්  Volendam

Volendam

හරිම ලස්සන මුහුද අද්දර පිහිටි ගමක්. විවිධ පාටින් හැඩගැන්වුණු මුහුදට මුහුණලා තියෙන ගෙවල් පුදුම ලස්සනයි. අපි රථ ගාලේ ඉදන් කඩ මණ්ඩියට ඇවිදගෙන ගියා. ඔබට කැමති නම් එවෙලේම පිලියෙල කරලා තියෙන මුහුදු ආහාර සුදානමින් තියෙනවා. තරමක මිල අධික වුණත් නැවුම්බව පිරිලා එන රසය වෙනස්ම එකක්. අපේ දවල් කෑම ගත්තේ එහෙන්. ඔක්කොම මුහුදු ආහාර. බෙල්ලො, දැල්ලො,ඉස්සො සහ කොඩ් මාළු.

Wafelhuis කියල කියන්නෙ මේ ගම්මානයේදී රහ බලන්න පුළුවන් අපූරු අතුරුපසක්. සංචාරයේදී ඒ ඒ රටවල් සහ ප්‍රදේශ වලට ආවේණික කෑම ගැනීම සංචාරය රසවත් කරනවා කියලයි මට හිතෙන්නෙ ඒ හින්ද ඒවායේ රහ බලන්නත් අපි අමතක කලේ නැහැ.

ඊට පස්සෙ අපි ඇවිදගෙන ගියේ නැව් සහ බෝට්ටු තියෙන ජැටියට. පැරණි මාදිලියේ නැව් කිහිපයක් සහ බෝට්ටු එතැන නවත්වලා තිබුනා. ඒ අතරේ නවීන පන්නයේ යාත්‍රාත් තිබුණා.

මුහුදු තීරයත්, ජැටියත් එක්ක පැරණි මාදිලියේ කඩ මණ්ඩිය හරි අපූරු බවක් ගෙන එනවා. ඒ අතරේ හරක් හමින් බුමුතුරුණු හදන්න ගෙවල්වල ඒවා වේලෙන්න දාල තියෙනවා. නෙදර්ලන්තේ වෙරළේ රැල්ල පාගන්න පුංචි වෙලාවක් ගත කරපු අපි ආයෙමත් වාහනයට ආවා.

මේ ගමනේදී ඔබට එකතුකර ගත හැකි තවත් තැන් ….

Keukenhof  Gardens

අවුරුද්දෙ මාස 2 ක් පමණක් මහජන ප්‍රදර්ශණයට තැබෙන මේ මල්වත්ත හොදින්ම බලන්න පුළුවන් අප්‍රේල් මාසෙ මැද උදෙන්ම ගියොතිනුයි. තරමක් මිල අධික වුණත්, ඇමස්ටර්ඩෑම් වල ඉදන් විනාඩි 40 ක තරම් දුරක තියෙන මේ ටියුලිප් පාරාදීසය ඔබව විචිත්‍ර ලෝකයට ගෙනයනවා සිකුරුයි.

Giethoorn

Amsterdam වල ඉදන් පැය එකහමාරක තරම් දුරකින් තියෙන මේ පුංචි ගමේ පාරවල් සහ කාර් නැහැ. හැම ගෙදරකටම යන්න තියෙන්නෙ මීට පෙර ඉතාලි සංචාරයකදී ගිය වැනීසියේ වගේ හැම ගෙදරකටම යන්න තියෙන්නෙ බෝට්ටු වලින් පුංචි ඇලවල් වලින් ගිහින්. ඒත් ඒ ගමේ සුන්දරත්වය දැක්කාම ඔබට මේ ගමනේ වටිනාකම තේරේවි.

Alkmaar Cheese Market

Amsterdam  වල ඉදන් පැය භාගයක තරම් දුම්රිය ගමනකින් යන්නට පුළුවන් මේ වෙළදපල ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් කාලයේදී පමණයි. සාම්ප්‍රදායික නෙදර්ලන්ත චීස් වර්ග රැසක් මේ පොලේදී ගන්නත්, වටිනා සේයා රූ රැසක් ඔබේ සේයාරූ ගොන්නට එකතු කර ගන්නත් පුළුවන් වේවි.

සාම්ප්‍රදායික චීස් සහ සපත්තු නිෂ්පාදනාගාරයකටත්  Amsterdam නුවරටත් ඊළග මාසයේදී යමු.

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන් 

කැනේඩියානු සංචාරයක මතකය

වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

Bay of Fundy. කියලා කියන්නේ ලෝකේ පිහිටා තිබෙන විශාලතම බොක්කක්. අත්ලාන්තික්  සාගරයේ පිහිටා තිබෙන මෙය මායිම් වෙන්නේ කැනඩාවේ නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතට සහ නෝවා ස්කෝෂියා (Nova Scotia ) කියන පළාත් දෙකටයි. සඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන වඩදිය සහ බාදිය බලන්නට ලෝකයේ තිබෙන හොඳම තැන විදියට සැලකෙන්නේ මේ Hopewell Rocks ප්‍රදේශයයි.  දළ වශයෙන් ජල ගැනුම් බිලියන 160 ක් වඩදිය බාදිය ක්‍රියාවලියේදී දවසට දෙවරක් පිරවීම සහ හිස්වීම සිදුවෙනවා. සඳට ළං වන විට ජලය පිරීම හැඳින්වෙන්නේ වඩදිය ( High Tide ) නමින්. ඈත් වන විට මුහුද හෝ ජල කලාපය හිස්ව පතුල පෙනීම හැඳින්වෙන්නේ බාදිය ( Low Tide ) කියලයි.

Hopewell Rocks . කියල කියන්නේ නිව් බ්රුන්ස්වික් පළාතේ වඩදිය සහ බාදිය බලන්නට තියෙන අපූරුම තැනයි .එයට හේතුව ඒ ප්‍රදේශය මායිමේ තියෙන ඛාදනය වුනු පර්වත කොටස් කිහිපයක් වෙරළ ආසන්නයේම පිහිටා තිබීමයි . මීට පෙර සංචාරයකදී ඔන්ටාරියෝ පළාතේ ටොබමොරේ (Tobermory, Ontario )  ආසන්නයේ තිබෙන flowerpot islands වෙත ඔබ රැගෙන ගියා ඔබට මතක ඇති. ඒ ප්‍රදේශයේ වෙරළ අද්දර තියෙන උස්ව නැගුණු පර්වත කොටස් කිහිපයක් තිබුනා. මිනිස්සු ඒවාට විවිධ නම් පටබැඳ තිබුණා. ඒ  වගේම මෙතැන උස්ව පිහිටා තිබෙන පර්වත ( Sea Stacks )  රැසක් තිබෙන හින්දා මෙතැනදී වඩදිය බාදිය  වෙනස ලස්සනට බලන්නට පුළුවන්. මේ වතුර මට්ටමේ වෙනස අඩි 54 ක් ( මීටර් 16) තරම්  තරම් විශාල එකක්. අන්තර්ජාලයෙන් බාදිය පටන් ගන්නට කිට්ටු වෙලාව බලලා අපි නවාතැනින් පිටත් වුණා. මොක්ටන් (Moncton )  නගරයේ දී හමුවනේ පෙටිට් කෝඩියක් ගඟ

( Petitcodiac River ) හිස්  වෙමින් තිබුනා.  වඩදිය සහ බාදිය වෙනස දවසකට දෙවරක් සෑම පැය හයකට වරක් සිදුවෙනවා. හරියටම කියනවා නම් පැය හයයි විනාඩි දොළහමාරකට වතාවක්. අපි මුලින්ම කලේ නැරඹුම් මධ්‍යස්ථානයට ගිහින් මුහුද පතුල දිස්වන හැටි බලන් ඉන්න එකයි.

 මේ දිගුවෙන් වඩදිය බාදිය දවසේ කාලසටහන බලාගන්නට පුළුවන්

https://www.parcsnbparks.ca/en/parks/33/hopewell-rocks-provincial-park/26/tide-tables

Hopewell Rocks  වල  තිබෙන පර්වත කුට්ටි ලට පොදු ව්‍යවහාරයේදී ලැබෙන නම් කිහිපයක් තිබෙනවා අලියා (Elephant ) ,  වලහා ( Bear)  ඩයිනසෝර් (Dinosaur ) , ඊටී (ET )  සහ නැන්දම්මා (Mother in Law ) . ඒ නම් පට බැදෙන්නට ඇත්තේ ඒවා දුටු අයට හිතුණු පුරුදු හැඩ හින්දා වෙන්න ඇති. මුහුදේ තිබෙන තරමක බොර පැහැති වතුර ප්‍රමාණය අඩුවෙමින් ඒ පර්වත මතුවෙමින් තිබුණා.

‍ප්‍රධාන නිරීක්‍ෂණ පරිශ්‍රය අසල නිලධාරීන් මුහුද පතුල හිස්වෙන කොටම ආරක්ෂිත ගේට්ටු අරින්න සූදානමින් හිටියා. වතුර මට්ටම ටිකෙන් ටික  අඩු වෙනකොටම යම් නිලධාරීන් පිරිසක්  සංචාරකයින් සඳහා විවෘත වන ප්‍රදේශ නිරීක්ෂණය කරනවා ඔවුන්ට යම්කිසි අවදානමක් තිබෙනවාද කියලා බලන්න. ඒ නිරීක්ෂකයින් අවසර දුන් ගමන්ම අපි කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ මුහුදු පතුලේ ඇවිදින්න යන්නයි. ඔන්න වෙලාව ආවා. ගේට්ටු විවෘත කලා. අපි දැන් ඉන්නේ කලින් වතුර පිරිලා තිබුණු මුහුදු පතුලෙ. ලංකාවේ 2006 දී සුනාමිය ඇතිවුණු වෙලාවෙ ටික වෙලාවකට මෙහෙම වුනා කියල අහලා තිබුනත්,  මෙහෙම එකක් දැකල තිබුනෙ නැහැ.මේ විදිහට ඇවිදින්න දුර කිලෝමීටරයක් තරම් ප්‍රදේශයක් විවෘතව තැබෙනවා. තැනින් තැන උද්‍යානයේ  නිලධාරීන් ආරක්ෂාවට ඉන්නවා. අපි පැයක් විතර මුහුද පතුල තියෙන කොටසේ ගත කළා. කැමති විදිහට එක එක තැන ඉදලා ෆොටෝ ගත්තා. කැමතිනම් ආයෙමත් වතුර පිරෙනකම් ඔබට තරමක විවේකයක් ගන්නට පුළුවන්.

සනීපාරක්ෂක පහසුකම් අරගෙන, පොඩ්ඩක් ඇවිදලා  කෑම කාලා එහෙම ඔබ සූදානම් වෙනකොට මුහුද ආයෙමත් වතුරෙන් පිරෙන්න පටන් අරන් . ඔබ කැමති නම් පොඩි බෝට්ටු විශේෂ වන Kayak  හෝ Canoe .  කුලියට අරගෙන වතුර මට්ටම ටිකෙන් ටික වැඩි වෙද්දී ඔබ ඇවිදගෙන ගිය පර්වත කුට්ටි අතරින් ඒ යාත්‍රා පදවමින් විනෝද වන්නට පුළුවන්. කණ්‌ඩායම් විදිහට ගෙනියන  ඒ යාත්‍රා වලට මග පෙන්වන්න වගේම ආරක්ෂාවට උද්‍යානයේ නිලධාරීන් ඔබත් එක්ක එනවා.  

ඔබ  Hopewell Rocks provincial park එකට මිලදී  ගන්නා ප්‍රවේශපත්‍රයක් දින දෙකකට වලංගු වෙනවා. ඔබට කැමතිනම් එක දවසක වඩදියත් අනික් දවසේ බාදියත් බලන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි එන සංචාරකයින් වැඩි පිරිසක් මෙතන පැය අටක තරම්  කාලයක් රැඳිලා වඩදිය බාදිය වෙනස බලලම යන බව තමයි කියන්නේ. ඒත් එහෙම අවසර දීල තියෙන්නෙ එහෙම ඉන්නට අමාරු ශාරීරික ආබාධ ඇති අය, පොඩි අය සහ මහළු අයටත් ඒ අත්දැකීම ගන්නයි. ඒ වගේම මඩ සහිත මුහුදු පතුලට යන්නට අවශ්‍යම නම් කෙනෙකුට ඒ අත්දැකීම ගන්න රෝද පුටු ගෙනියන්න අවශ්‍ය Access Ramp  පවා මෙහි සකස් කරලා තියෙනවා. 

රතු දුඹුරු පාටින් යුත් මේ පර්වත වල ඉතිහාසය අයිස් යුගය දක්වා ඈතට දිව යනවා. ඒ වගේම මේ මුහුදු පතුලේ විශාල ජෛව විවිධත්වයක් දකින්නට තිබෙනවා. ඒ නිසා ඔබට කුරුලු විශේෂ රැසක් මේ අවට කූඩු තනාගෙන ජීවත්වන හැටිත්,  මුහුද හිස් වන විට කෑම ගන්නට යන හැටිත් දකින්නට පුළුවන්. ඊට අමතරව විවිධ වර්ගවල සමුද්‍ර ජීවින් රැසක්, ආවේණික සත්ව විශේෂ මේ ප්‍රදේශයේදී දකින්න පුළුවන්.   

 වැඩි විස්තර කැමති අයට මේ දිගු ප්‍රයෝජනවත් වේවි.

https://www.parcsnbparks.ca/en/parks/33/hopewell-rocks-provincial-park

https://en.wikipedia.org/wiki/Hopewell_Rocks

 2016 මාර්තු 14 වැනි දා  Elephant Rock එකේ ටොන් 100-200 ප්‍රමාණයක කැබැල්ලක් විනාශ වී තිබෙනවා. 2022 දීත් සුළු සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ හින්දා බලධාරීන් අවධානම පිළිබඳ නිරන්තර පරීක්ෂාවෙන් ඉන්නවා ඒ වගේම සංචාරක ඔබත් හිතෙන හිතෙන තැන් වලට නොගිහින් ලකුණු කර තිබෙන ප්‍රදේශවල සංචාරය කරනවානම් ආරක්ෂාවට හොඳයි.  

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *