පින්තූරයක් නැත

මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න"
මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්...
"නිදිමත ඇස් - කඳුළු පිරුනාම ලස්සන!"
හිනැහෙමින් කියූ දින
පින්තූරයක් නැත
දුම්රියේ සිහිසුන් වූ දා
බිය වී බොහොමත්ම
වාරු කරගෙන ළය මතට
"බෙහෙත් ගමු, ප්‍රෙෂර් බලමු!"
කලබලෙන් කියූ දින
පින්තූරයක් නැත
පීරා නිමක් නැති කවි රැස
අමුණා එකින් එක පිටු මත
තනවා දී පොතක්,
මගේ විස්මය දැක
දෑස දල්වා සිනාසුණු දින
පින්තූරයක් නැත
නොවැදගත් දේකට
අමනාප වී බිඳකට
යන්නටම යන්නට ගොස්
"හිතෙන්නෙත් නැහැ යන්නට"
කියා යළි ඇවිදින්
ලඟට වී එරවූ දින
පින්තූරයක් නැත
තටු ඉරී තිබුණත්
ඉගිලිය යුතුම බව දුර
පහදා සෙනෙහසින්
ඉගිලෙන්න වරම් ලද දා
පස්වනක් සතුටින්
නළල සිඹ සු'පැතූ දින
පින්තූරයක් නැත
හෙල්මලී ගුණතිලක - Hot Chocolate days
https://hotchocolatedays.blogspot.com

මත් බඹර තුඩු පහස විඳගමි
අත් අතැ'ර මුදු බැලුම් ඉවසමි
නෙත් කවර ලෙසකින්ද පියනෙමි
මුත් වරද කා අතද නොසොයමි
අඳින නෙක සිතුවම්ය අහසේ
විඳින අයදින සිතුම් විලසේ
මැවෙන ආදර අලිංගනය සේ
වසින මේ වැස්සක තෙමෙන සේ
නිය අඳියි ඉරි ඇස පෙලන රුව
සය දැනෙන මීවිත යදින මුව
සිය මඩින සිත හොවමි නිහඬව
දිය කරනු මැන නොදක්නා සොව
ලිඛිතා - කඩදාසි කොලේ
https://kadadasikole.blogspot.com/
ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි ළදළූ

චන්ද්‍ර මඩල පරදන ඒ දිසි හසරැළි රුසිරූ
ඇන්ද සේල සළුපිළි දැක බහ දුන්නද කවුරූ
වින්ද පෙමින් ඉඟි මැරුවේ ලෙස සුරඟන පිළිරූ
මන්ද අසළ දැවටී යළි ඈතට යන අයුරූ
උසින් පවුරු මාළිඟාවෙ මල් සිත්තම් මැකුණූ
වෙසින් රකුසු වින කෙරුවද වෙන්නට පෙම බිඳුණූ
රසින් මත්ව ඔය බැල්මට ඉඟියෙන් මන පිරුණූ
ඇසින් පෙනෙන මානයෙමයි අප හදවත් රැඳුණූ
ළඟක පෙනී යළි සැඟවී පෙම ලියලයි ළදළූ
බරක සුසුම රඳවයි ලේ නහරද ඇට මිදුළූ
ඉමක නොවන ගංගාවක තනිකමමයි කඳුළූ
අතක දුරින් හැමදාමත් විඳින්න වෙද මුකුළූ.........
දුමින්ද අබේසේකර - සංචාරේ
https://dumindasanchare.blogspot.com/

" සිය පතක් ලෙසින් නුඹ
දෝතින්ම නෙලාගෙන;
බුදු පුදට රැගෙන යන
ලෙසින් රැක බලාගෙන . . . !
නිදි නැතිව නිදි කිරන
ගෙවී ගිය දින ගනන . . . . . !
උඹෙ පතුල් සිප මදිව
දිවෙන් එහි රස බැලුව . . . .!
හිතේ ගිනි මත ඉදුන
හබුං කට බත් දෙමිට ;
කවන්නට කී නුඹට
මහ පුදුම කථන්දර . . . . . !
රෑ මැදුයමේ නැගිට
කරද්දී රැහැයි හඬ ;
නිදන තුරු දෙපා මත ;
ගැයූ ගී කවි මිහිර . . . . . !
පාසලේ පළමු දින
දමා ආ විට තනිව ;
තෙත උනේ මගෙ දෙනෙත
පළමුවයි උඹෙ නෙතට . . . !
බනිමි හැරෙනා අතට
ඇසෙන සේ මුළු ලොවට
පෙනෙනු ඇත මා නුඹට
කුමන මේ වදයක්ද. . ?
විඳින්නේ හැම ගැහැට
පුදන්නයි උඹ ලොවට ;
නොවේ කර අග රැජින
වෙයන් දුවකට මවක . . . . ! "
මංජුල පෙරේරා - තට්ටයාගේ කොලම
https://thattayagekolama.blogspot.com/
නමක් නැති මිතුරුකම

රස්සාව සරසවිය
අතර සිරවුණු සිතට
දහස් වරකට වඩා,
දැණුනා ජීවිතේ රළුකම
ජීවිතේ මහ දුකක්
සිතෙන හැම විටකදි ම
සිතේ රැඳි හැම දුකම
ඔහේ කීමට ඇවැසි
මිතුරෙක් උනා නුඹ
නමක් නැති මිතුරුකම
යහපතක් නොවන බව
දැනුණ හැම මොහොතෙදි ම
මැකුවා නුඹේ නොම්මරය,
රවා දුරකථනයට
දින ගණන් ගෙවී ගොස්
සිව්වසක් ගෙවුණු තැන
දුන්නා නුඹ ලොකු නමක්
අපේ මිත්‍රත්වයට
වසර ගණනක් ගියත්
දැනුණු විටකදී දුකක්
රවටගෙන මගේ හිත,
කියනවා අඩ අඬා
දරුවා මට ඇති කියා
එදා වාගෙම අදත්,
අසා ඔබ මගේ දුක,
හදනවා මගේ හිත
එතෙන ලෙස ගසට වැල
ඩ්‍රැකියානිගෙ කවි - ඩ්රැකී ගේ අඩවිය