පුංචි ඡන්දයේ ඡය මාලිමාවට – බහුතරයක බලය පිහිටුවීමේ ගැටලුවක.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඡන්ද විමසීම සිදුකළ ආයතන 339න් 265ක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත්විය. එයින් ආයතන 116ක බහුතර බලය ලබාගැනීමට එම පක්ෂයට හැකි වූ නමුත් ඉතිරි ජයගත් ආයතනවල බහුතර බලය හිමිව ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටය.

කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි වූ නමුත් බහුතර සභික සංඛ්‍යාවක් විපක්ෂයට හිමිවිය.

ජාතික ජන බලවේගය සභික ධුර 48ක් ලබාගනිද්දී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට සභික ධුර 69ක් හිමිවිය. මේ අතර ජාතික ජන බලවේගය සිය පුරපති අපේක්ෂිකා බ්‍රායි කැලී බල්තසාර් පුරපති බවට පත්කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින අතර සමගි ජන බලවේගය ද සිය පුරපති අපේක්ෂක ආචාර්ය රුමේෂ් හනිෆා මහතා පුරපති කිරීමට විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් සිටී.

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සිය පක්ෂය කටයුතු කරන බවත් ඒ සඳහා සෙසු පක්ෂවල සහාය ලබාගන්නා බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය හමුවේ පැවසීය.

ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ ආයතනවල බලය ලබාගැනීමට ද සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග සාකච්ඡා පවත්වයි. ආයතනවල බලය ලබාදීමට තම පක්ෂය කිසිම පක්ෂයකට මුක්කුවක් නොවන බව සර්ව ජන බලවේගයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.

ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස යන මහ නගර සභා ඇතුළු මහ නගර සභා 23ක බලය හිමි කරගත් අතර නගර සභා 25ක් හා ප්‍රාදේශීය සභා 217ක ජයග්‍රහණය කිරීමට සමත්විය. ඉලංකෙයි තමිල් අරුසු කච්චිට මහ නගර සභා 03ක්, නගර සභා 01ක් හා ප්‍රාදේශීය සභා 33ක් ජය හිමිවිය.

සමගි ජන බලවේගයට නගර සභා 02ක හා ප්‍රාදේශීය සභා 12ක ජය හිමිවිය. මුස්ලිම් කොංග්‍රසයට ද නගර සභා 2ක් හා ප්‍රාදේශීය සභා 03ක බලය හිමිවිය. සමස්තලංකා මහජන කොංග්‍රසය හා සමස්තලංකා දෙමළ කොංග්‍රසයට ආයතන 3 බැගින් ජය ගත්තේය.

ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵලය සැසඳීමේදී ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වී ඇති අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ජව ජන බලය පක්ෂය සිය ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ.

ඉකුත් 2018 පළාත් පාලන මැතිවරණය සමග සැසඳීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සිය ඡන්ද ප්‍රමාණය මෙවර වාර්තාගත ලෙස වැඩි කරගැනීමට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට අසමත් විය.

ජාතික ජන බලවේගය සමස්ත පළාත් පාලන ආයතන 339යෙන්ම ඡන්ද 4,503,930ක් ලබාගත් අතර එය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 43.26කි. එම පක්ෂයට මන්ත්‍රී ධුර 3,927ක් හිමිවිය.

සමගි ජන බලවේගයට ඡන්ද 2,258,480ක් හිමි වූ අතර එය සියයට 21.69ක ප්‍රතිශතයකි. එම පක්ෂයට මන්ත්‍රී ධුර 1,767ක් හිමිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 954,517ක් හිමි වූ අතර එහි ප්‍රතිශතය සියයට 9.17කි. ඔවුනට හිමි වූ මන්ත්‍රී ධුර ගණන 742කි. එක්සත් ජාතික පක්ෂය 488,406ක් ලබා ගත්තේ සියයට 4.69ක ප්‍රතිශතයක් සහිතවය. එම පක්ෂයට මන්ත්‍රී ධුර 381ක් හිමිවිය. සර්ව ජන පක්ෂයට මන්ත්‍රීධුර 277ක් හිමි වූ අතර ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 294,681කි.

හිටපු රාජ්‍ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් මහතාගේ තමිල් මක්කල් විදුකලෙයි පුලිකල් පක්ෂය මෙවර පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කළ අතර එම පක්ෂය ඡන්ද 39,791ක් ලබා සභික ධුර 37ක් ලබා ගත්තේය.

මේ අතර ඉකුත් ජනපතිවරණයේදී සියයට 42.3ක් හා මහ මැතිවරණයේදී සියයට 61.5ක් ලබාගත් ජාතික ජන බලවේගය මෙවර සියයට 43.2ක දක්වා ඡන්ද ප්‍රමාණයක් පසුබෑමට ලක්ව ඇත. එමෙන්ම සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී ලබාගත් සියයට 17.6 ප්‍රතිශතය මෙවර සියයට 20.19 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයේදී සියයට 3.14ක් වූ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 10ක් දක්වා වැඩි කරගෙන ඇත. සර්ව ජන බලවේගය ද සියයට 1.60ක් වූ ඡන්ද ප්‍රමාණයක් මෙවර සියයට 2.83 දක්වා වැඩිකරගෙන ඇත.

ඡන්ද විමසීම පසුගිය (06දා) සවස 4.00ට අවසන් වීමෙන් පසුව ගණන් කිරීම එම ස්ථානවලදීම සිදුකළ අතර ඒ අනුව පස්වරු 6.50 පමණ වනවිට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවිය.

ඡන්ද දායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වී පළාත් පාලන ආයතන පිහිටුවීමේ අදහසක් ජාතික ජන බලවේගයට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

එසේ වුවද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති වලට එකඟ ස්වාධීන පුද්ගලයන්ට සිය බලවේගය සමග එක්වීමට අවස්ථාව ඇති බවත්, එසේ එක්වන්නේ නම් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමේ ගැටලුවක් නොමැති බවත් හෙතෙම කීවේය.

අපහාස – උපහාස, තර්ජන -ගර්ජන, මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රටවැසියන්ට සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෑත කාලයේ ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට සහ කඩා වැටීමකට ලක්ව ඇති බවත් රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන ආකාරයට බවත් ඔවුන් ආගම දහම පවා මැතිවරණය වෙනුවෙන් භාවිත කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන තනතුරු පත්කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභිකයන්ගේ සහාය ඉල්ලුවොත් ඒ ගැන සලකා බලන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.

සමගි ජන බලවේගය ඇතුළු විවිධ පාර්ශ්ව පළාත් පාලන ආයතනවල නගරාධිපති, උප නගරාධිපති ඇතුළු ධුර පත්කිරීම සඳහා විරුද්ධ පක්ෂ කණ්ඩායම් එකතු කරගෙන බලය පිහිටුවන බවට ප්‍රකාශ කරන බවත්, මෙතෙක් එවැනි එකඟතාවකට පැමිණීමට තම පක්ෂය සමග සාකච්ඡා නොකළ බවත් මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරිය කීවාය.

කෙසේ වෙතත් ඉදිරි දිනවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවිය හැකි බවත් සමගි ජන බලවේගයේ සිටින්නේ ද එක්සත් ජාතික පක්ෂයේ ම පිරිසක් බවත්, තම පක්ෂය එම පක්ෂයට එක්වීමට ආරාධනා කළේ කාලයක සිට බවත් ඇය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *