පුංචි ආණ්ඩු පිහිටුවීම අර්බුදයක.මන්ත්‍රීවරු බිලිබාන්න රහස් සාකච්ඡා.

පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත. බලය පිහිටුවීමට සහාය දෙන්නේ නම් විවිධ වරප්‍රසාද හා වරදාන ලබාදීමටද ඒ ඒ පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබාගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටී. බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලු‍වක් මතුවුවහොත් අධිකරණයට යෑමටද පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන්  දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික ධුර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධුර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ සභා විසි නවයක සභිකධුර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධුර සංඛ්‍යාවට සමාන වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

මෙම සභාවලින් බොහොමයක ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගයට සභික ධුර 48ක් හිමිව තිබිය දී විපක්ෂයට සභිකධුර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත් එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. 

මේ තත්ත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ  ඇතුළු  සෘජු තනි බලයක් නොමැති  සභාවන්හි පාලන බලය පිහිටුවීමට වැඩි කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අවසන් මැතිවරණ ප්‍රතිඵලය අනුව පළාත් පාලන ආයතන 339 න් සියයට 50 ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇත්තේ පළාත් පාලන ආයතන 76 ක පමණකය.

එබැවින් සෙසු පළාත් පාලන ආයතන 263 ම සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ඡන්දයක් පැවැත්වීමට සිදුවේ.

එහිදී නාමයෝජනා කැඳවා එක් නාමයෝජනාවකට වඩා ඉදිරිපත් වුවහොත් යම්කිසි අපේක්ෂකයකු සියයට 50 ක් ඡන්ද ලබා ගන්නා තෙක් ඡන්දය පැවැත්විය යුතු බව පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන්ය.

පළාත් පාලන ආයතනයක සභාපතිවරයා තෝරා ගැනීම සඳහා එම ආයතනයේ සභිකයන්ගේ කැමැත්ත පරිදි රහස් ඡන්දයක් පැවැත්වීමටද අවසර ඇති බව සඳහන්ය.

අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආයතන 265 කද සමගි ජන බලවේගය ආයතන 14 කද ජය හිමි කරගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානය ද සෙසු ස්වාධීන කණ්ඩායම් ද ඉතිරි ආයතන ජයගෙන ඇත.

එහෙත් ඕනෑම ආයතනයක සභාපති ධුරයට පත්විය හැක්කේ බහුතර මන්ත්‍රීන්ගේ එකඟතාවයෙනි

ජාතික ජන බලවේගයට ලබා දී ඇති මහජන වරම පැහැර ගැනීමට දරන ඕනෑම උත්සාහයකට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂ පක්ෂවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තමන් සතු බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මේ අතර පසුගිය (14)වැනිදා කොළඹ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර සැමරුම අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, පළාත් පාලන ආයතන 267 ක් පාලනය කිරීම සඳහා ජාතික ජන බලවේගයට ජනවරම ලැබී ඇති බවත්, පළමු දිනයේදීම 152 ක් සහ ඉන් පසු ඉතිරි 115 තුළ පාලනය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

ඔහු විරුද්ධ පක්ෂ විවේචනය කරමින් කියාසිටියේ, ඔවුන්ට පළාත් පාලන ආයතන පාලනය කිරීමට ජනවරම නොමැති බවයි.මහජන ජනවරමට එරෙහිව පිහිටුවන ඕනෑම සභාවක් මාස තුන හතරකට වඩා නොපවතින බවටද ඔහු අනතුරු ඇඟවීය.

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් අද පසුගිය (14) වැනිදා එකඟතාවයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය පවසනවා.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමක දී යි.

එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂවල මහ ලේකම්වරුන් නුදුරු දිනකදී හමුවීමට නියමිතයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු  හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක,හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් .සී දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වී තිබෙනවා.

සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරා තිබෙනවා.

මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේ දී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ස්වාධීන මන්ත්‍රිවරුන් බිලිබාමින් සිටින බවත් ඇතැමුන්ට ලක්ෂ 25 වැනි මුදලක් පවා ලබා දෙන බවට යෝජනා කර ඇති බවත් වාර්තා වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී පසුගිය (මැයි 8)වැනිදා අනාවරණය කළේ ය.ඒ අනුව, කොළඹ මන්ත්‍රිවරයන් බිලීබෑමට රුපියල් කෝටි දෙකක් පවා යෝජනා කර ඇති බවට වාර්තා වී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කීය.එමෙන්ම, පඬුවස්නුවර මන්ත්‍රිවරුන් දෙදෙනකුට ද ආණ්ඩු පාර්ශ්වයට එක් වන්නැයි ඉල්ලා ඇති බව ද මන්ත්‍රිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *