ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය

අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන් යටතේ සිදු විය හැකි දේ. හොඳ ආකෘතියක් කියන්නේ බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපගේ නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකෘතියක්. මෙය ඕනෑම විද්‍යාවකට පොදු කරුණක්. 

බොහෝ විට, ශුද්ධ විද්‍යා ආකෘතියක් මගින් විස්තර කෙරෙන තත්ත්වයන් අප‍ට සාමාන්‍ය තත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමඟ පහසුවෙන් ගලපා ගන්න පුළුවන්. ඒ ආකෘති වල විචල්‍යයන් අතර සම්බන්ධය සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමාජ විද්‍යා ආකෘති සම්බන්ධව තත්ත්වය තරමක් වෙනස්. අප‍ට නිරීක්ෂණය කළ හැකි තරම් කෙටි කාලාන්තර ඇතුළත විචල්‍යයන් අතර සම්බන්ධය වෙනස් වෙනවා. එවිට ආකෘතියක වලංගුතාවය නැති වී යන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘතියකින් කරන්නේ පවතින තත්ත්වය විස්තර කරන එක. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනය. දේශපාලනය හරහා සමාජයක පවතින තත්ත්වය වෙනස් කෙරෙද්දී ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එවිට එතෙක් හොඳින් "වැඩ කළ" ආර්ථික විද්‍යා ආකෘතියක් ඒ විදිහටම වැඩ නොකරන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවකදී ආකෘතිය ඇත්තක් සේ සලකමින් සමාජයේ සිදු වන දෙය සිදු නොවිය යුතු, "වැරදි" දෙයක් කියා අපට කියන්න බැහැ. හරි වැරදි සෙවීම දේශපාලනයේ වපසරියට අයිති දෙයක්. දේශපාලනය හරහා සමාජය වෙනස් වෙනවානම්, ඒ වෙනස් වීම් වලින් පසුව කලින් වැඩ කළ ආකෘති තව දුරටත් සාර්ථකව වැඩ කරන්නේ නැත්නම්, කළ යුත්තේ ආකෘති වෙනස් කර ගන්න එක. එහෙම නැත්නම් අලුත්ම ආකෘති හදා ගන්න එක. 

සමාජයීය විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වරූපය වෙනස් වෙන්නේ දේශපාලනික වෙනස්කම් නිසා පමණක් නෙමෙයි. තාක්ෂනය වෙනස් වීම නිසාත් එම සම්බන්ධතා වල ස්වරූපය විශාල ලෙස වෙනස් වෙනවා. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ ආකෘති වලින් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ආකෘති බොහොමයක් විවිධ හා වෙනස් වන තත්ත්වයන් යටතේත් හොඳින් වැඩ කරනවා. ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නනම් එක්කෝ විශාල දේශපාලනික වෙනසක් විය යුතුයි. එහෙම නැත්නම් තාක්ෂනයේ විශාල වෙනසක් සිදු විය යුතුයි.

ප්‍රායෝගිකව තනි පුද්ගලයකුට සමාජය විශාල ලෙස වෙනස් කරන්න බැහැ. අප බොහෝ දෙනෙකු ජීවත් වන්නේ "දෙන ලද" සමාජයක. එවැනි සමාජයක අන්තර් සම්බන්ධතා තේරුම් ගත හැකි හොඳ ආකෘති තිබෙනවා. මේ ආකෘති වල උදවුවෙන් තනි පුද්ගලයෙකුට, ආයතනයකට හෝ රටකට වඩා හොඳ තීරණ ගන්න පුළුවන්.

කවුරු හෝ කෙනෙක් ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් කරනවානම් ඒ ක්‍රීඩාවේ නීති පිළිපදින්න වෙනවා. මේ නීති තමන්ට අභිමත පරිදි වෙනස් කරන්න බැහැ. නමුත් මේ නීති වෙනස් නොවෙන, ස්ථිර නීති නෙමෙයි. වරින් වර මේ නීති වෙනස් වෙනවා. ඇත්තටම කිවුවොත් වෙනස් කරනවා. එසේ කරන්නේ කිසියම් බලාධිකාරයක් විසින්. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය. ඒ බලාධිකාරියේ කොටසක් විය හැක්කේ පවතින නීති යටතේ ක්‍රීඩා කර උඩට එන කෙනෙකුට පමණයි. හරි වුනත්, වැරදි වුනත්, සාමාන්‍ය ලෝක ස්වභාවය ඕක තමයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ගන්න බැරි රටකට ක්‍රිකට් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. යම් හෙයකින් හිතුමතේට එවැනි වෙනසක් කළා කියලා වෙනත් කිසිවෙක් ඒ වෙනස පිළිගන්නේ නැහැ. ඒ රටේ ක්‍රිකට් තව දුරටත් ක්‍රිකට් නොවන එකයි අන්තිමට වෙන්නේ. නමුත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන රටක් යම් වෙනසක් යෝජනා කළොත් එය අලුත් සම්මතයක් වෙන්න පුළුවන්. එවැන්නක් වැළැක්විය හැක්කේත් කවුන්සලයේ රටකටම පමණයි. 

ජාත්‍යන්තර වෙළඳාම ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. ලංකාව වගේ රටකට තියෙන නීති වලට අනුව ක්‍රීඩා කරනවා මිසක් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. නමුත් ඇමරිකාවේ ආණ්ඩුවට ක්‍රීඩාවේ නීති වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න උත්සාහ කරද්දී ලංකාව වගේ රටකට අඩු වශයෙන් විරුද්ධ වෙන්නවත් බැහැ. එහෙම කරන්න පුළුවන් "කවුන්සලය" ඇතුළේ ඉන්න චීනය වගේ රටවල් වලට පමණයි. 

ජාත්‍යන්තර වෙළඳ ක්‍රීඩාවේ නීති කාලයක් තිස්සේ වරින් වර වෙනස් වී තිබෙනවා. ඒ වෙනස්කම් සිදු කර තිබෙන්නේ හොඳින් ක්‍රීඩා කරන රටවල් විසින්. ඇමරිකාව වගේ රටකට තනිව වුවත් ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන්. 

සමහර සමාජ පරිවර්තන යම් නිශ්චිත පුද්ගලයෙක් විසින් යම් නිශ්චිත මොහොතක කරනවා. මෙවැනි අවස්ථාවක් දෙස මතු පිටින් බලා විග්‍රහ කරන කෙනෙක් අදාල පරිවර්තනය තනි පුද්ගලයෙකුගේ කාර්යයක් සේ සලකන්න පුළුවන්. නමුත් සමාජ පරිවර්තනයක් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් තුළයි. වාස්තවික තත්ත්වයන් අනුව යම් සමාජ පරිවර්තනයක් සිදුවීමට ඉඩ ඇත්නම්, වෙනත් පුද්ගලයෙක් අතින්, ආසන්න වෙනත් අවස්ථාවක හෝ ඒ පරිවර්තනය සිදු වෙන්න විශාල ඉඩක් තිබෙනවා. මේ වෙලාවේ ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ සිදු වන්නේද එවැනි දෙයක්.

මේ සිදු වන දේවල් සිදු වන්නේ කිසිසේත්ම තනි පුද්ගලයෙක් නිසා නෙමෙයි. තනි පුද්ගලයෙක්ගේ තීරණ හරහා දැන හෝ නොදැන සිදු වන්නේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු පරිවර්තනයක්. ඒ පරිවර්තනය සිදු වීමට ප්‍රබල හේතු කිහිපයක්ම තිබෙනවා. 

සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ රටවල් අතර ගනුදෙනු සිදු වුනා. නමුත් ඒ මුළු ඉතිහාසය තුළම ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැවතුනේ අද මට්ටමට වඩා ගොඩක් අඩු මට්ටමකයි. 1800 වන විට ලෝක වෙළඳ පරිමාව පැවතුණේ සමස්ත ලෝක නිෂ්පාදිතයෙන් 2%-3% අතර මට්ටමකයි. වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත වීම, කාර්මික විප්ලවය ආදිය එක්ක, පළමු ලෝක යුද්ධය ආසන්න කාලයේදී මෙම පරිමාව 30% ආසන්න මට්ටමකට ඉහළ ගියත්, ඉන් පසුව, දෙවන ලෝක යුද්ධ කාලය තෙක් දැකිය හැකි වූයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ක්‍රමයෙන් අඩු වීමක්. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රෙටන් වුඩ් යුගය ඇරඹුනා. නික්සන් කම්පනයෙන් බ්‍රෙටන් වුඩ් යුගය අවසන් වී ෆියට් මුදල් යුගය ආරම්භ වුනා. ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉතිහාසයේ කිසිදු කලෙක නොපැවති මට්ටමකට ඉහළ ගියේ මෙම ෆියට් මුදල් යුගය තුළයි. 

ලෝකයට නික්සන් කම්පන ප්‍රතිකාරය ලැබුණු 1971 වන විට ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැවතුණේ ලෝක නිෂ්පාදිතයෙන් 20%කට ආසන්නයි. 2008 මහා ආර්ථික පසු බැසීම සිදු වන විට මෙම පරිමාව 60% ඉක්මවා අවසන්. ඊට පෙර, ඉතිහාසයේ කිසිම යුගයක ජාත්‍යන්තර වෙළඳ පරිමාව ලෝක නිෂ්පාදිතයෙන් 30% සීමාවෙන් එහාට ගොස් තිබුණේ නැහැ. ඒ නිසාම, ෆියට් මුදල් ක්‍රමය පිළිබඳ කවර විවේචන තිබුණේ වුවද, ජාත්‍යන්තර වෙළඳාම විශාල ලෙස ව්‍යාප්ත වූයේ ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දෙනු ලැබූ නික්සන් කම්පනයෙන් පසුවයි. ජාත්‍යන්තර වෙළඳාමේ මෙම "ස්වර්ණමය යුගය" හා සැසඳිය හැකි වෙනත් "ප්ලැටිනම් යුග" ඉතිහාසයෙන් හමු වන්නේ නැහැ. 

නික්සන් කම්පනයෙන් ආරම්භ වූ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වර්ණමය යුගය ට්‍රම්ප් කම්පනය නිසා අවසන් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, 2008 මහා ආර්ථික පසු බැසීමෙන් පසුව මෙම යුගය කලකට පෙරම අවසන්ව තිබෙනවා. ඉන් පසු එළැඹුණු දශක එකහමාරක කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය 60% සීමාව ආසන්නයේ එක තැන පල් වෙමින් තිබෙනවා. නික්සන් කම්පනයට පෙර දශක දෙකකට වැඩි කාලය තුළද මේ අයුරින්ම ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය 20% සීමාව ආසන්නයේ එක තැන පල් වෙමින් පැවතුණා. ඒ තත්ත්වය වෙනස් වුනේ නික්සන් කම්පනයෙන් පසුවයි. 

අපනයන ප්‍රමුඛ ආර්ථිකයන් පවත්වා ගැනීම මගින් ලෝකයේ ඇතැම් රටවල් වේගවත් වර්ධනයක් ලබා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වර්ණමය යුගය වූ ෆියට් මුදල් යුගය තුළයි. ඊට පෙර, බ්‍රෙටන් වුඩ් යුගයේදීද ඇතැම් ආර්ථිකයන් වේගයෙන් වර්ධනය වුවත්, එහිදී සිදු වුනේ ලොකු සහෝදරයාගේ උදවුවෙන් ගොඩ යාමක් මිසක් පවතින ක්‍රමයට අනුවර්තනය වී ගොඩයාමක් නෙමෙයි. ලංකාව මේ අවස්ථාව මග හැර ගත්තා. 1977දී සිදු වූ සාපේක්ෂ විවෘත වීමෙහි වාසිදායක ප්‍රතිඵලයක් දැකිය හැකි වුවත්, එසේ ආරම්භ කළ ක්‍රියාදාමයේ සැලකිය යුතු ප්‍රගතියක් ඉන් පසුව දැකිය හැකි වූයේ නැහැ. අවාසනාවකට මෙන් ලංකාව දැන් මේ මාර්ගය දෙස හැරී බලන්නේ මාර්ගය වැසී දශක එකහමාරකට පමණ පසුවයි. එහෙත්, තවමත් ඊට වඩා හොඳ විකල්පයක් ඇත්තේද නැහැ. 

මහා ආර්ථික පසු බැසීමෙන් පසු දශක එකහමාරක පමණ කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය එක තැන පල් වෙමින් තිබෙනවා. එවැනි අවස්ථාවකදී ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයට කිසියම් අලුත් කම්පනයක් අවශ්‍ය වෙනවා. එවැනි කම්පනයක් ලබා දිය හැක්කේ ඇමරිකාව වැනි ප්‍රමුඛ ආර්ථිකයකටයි. අවශ්‍ය වන කම්පනය කුමක්ද කියා ආර්ථික විද්‍යා ආකෘති වලින් නිගමනය කරන්න බැහැ. ආර්ථික විද්‍යා ආකෘති වලින් කරන්නේ පවතින තත්ත්වය විග්‍රහ කිරීමයි. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනික කටයුත්තක්. දේශපාලනික කටයුතු වලදී පරිකල්පනය මත පදනම්ව සහ උපාය මාර්ගිකව සිතමින් අවදානමක් ගන්නට සිදු වෙනවා. 

ප්‍රබලයා විසින් බොහෝ විට නීති වෙනස් කරන්නේ තමන්ගේ වාසියට මිස සාධාරණත්වය අනුව නෙමෙයි. සාධාරණත්වය යන වචනය ඉදිරියට දැම්මත් එය අර්ථ දක්වනු ලබන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටයි. නීති වෙනස් කිරීමේ බලයක් නොමැති දුර්වල අයට එයින් අවාසියක් සිදු විය හැකි වුවත්, ඊට එරෙහිව කළ හැක්කක් නැහැ. කළ හැක්කේ පවතින අලුත් තත්ත්වය විග්‍රහ කරගනිමින් උපාය මාර්ගිකව කටයුතු කිරීම පමණයි.

1970-2023 ලෝක බැංකු දත්ත අනුව නික්සන් කම්පනය සිදු වන විට ජාත්‍යන්තර වෙළඳාම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණයි. 2008 මහා ආර්ථික පසුබෑම සිදු වන විට මෙම පරිමාව 61% දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලෝක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉහළ ගිහින්. 

මේ විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉහළ යාමේ වාසිය ලැබුණේ කාටද? 

ඔය කාලයේ ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය දිහා බැලුවොත් පෙනෙන පරිදි (මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලන්න), ඔය කාලයේදී සිදු වී තිබෙන්නේ එම වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වීගෙන යන එකයි. අනෙක් අතට, ජාත්‍යන්තර වෙළඳාම තව දුරටත් වර්ධනය නොවුණු පසුගිය වසර 15ක කාලය තුළ ඇමරිකාවේ  ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය ස්ථාවරව තිබෙනවා. 

පොදුවේ ඉහළ ආදායම් ලබන රටවල් දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය තත්ත්වයමයි. අඩු ආදායම් රටවල ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගයේ ලොකු වෙනසක් සිදු වෙලත් නැහැ. ජාත්‍යන්තර වෙළඳාම නිසා වැඩිම වාසියක් වී තිබෙන්නේ මැදි ආදායම් රටවලටයි. 2008න් පසුව එම වාසිය නැති වී මැදි ආදායම් රටවල වර්ධන වේගය පහත වැටෙමින් තිබෙනවා. 

ඇමරිකාව වගේ රටක ආර්ථිකය වර්ධනය වෙන්නේ නවෝත්පාදන නිසා සිදු වන ඵලදායීතා වර්ධනය නිසා මිසක් අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ උදවුවෙන් නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාම හරහා සිදු වෙන්නේ ඇමරිකාව වගේ දියුණු රටක ආර්ථිකය වර්ධනය වීමට හේතු වූ සාධක අනෙකුත් රටවලට මහන්සියක් නැතිවම ලබාගත හැකි තත්ත්වයක් ඇති වීමයි. ලෝකයට විවෘතව සිටින මැදි ආදායම් රටක් රෝදය මුල සිටම හොයා ගන්න අවශ්‍ය නැහැ. කලින් රෝදය හදපු රටවල් දිහා බලලා රෝදය හදාගන්න පුළුවන්. හැබැයි ඒ විදිහට දියුණු රටවල් දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නෙත් ආර්ථිකයක් කිසියම් සීමාවකින් එහාට වර්ධනය වූ පසුවයි. අඩු ආදායම්ලාභී රටවල් වේගයෙන් වර්ධනය වී නැත්තේ ඒ නිසා.

ආර්ථික වර්ධනයේ හිණි පෙත්තේ නොසිටින රටවලට ජාත්‍යන්තර වෙළඳාම හරහා ලබා ගත හැකි වාසි ඉතාම පැහැදිලියි. එම රටවල නිෂ්පාදන ක්‍රමවේදයන් වඩා කාර්යක්ෂම කර ගත හැක්කේ ලෝකයට නිරාවරණය වෙන්න ඉඩ දෙන තරමටයි. නමුත් ආර්ථික වර්ධනයේ හිණි පෙත්තේ සිටින රට වලට මෙයින් ලැබෙන වාසිය කුමක්ද?

මෙහිදී අදාළ වන ආර්ථික විද්‍යා මූලධර්මය සංසන්දනාත්මක වාසියයි. ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන ඕනෑම රටකට සංසන්දනාත්මක වාසිය හේතුවෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. 

ඇඩම් ස්මිත් විසින් මුලින්ම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කළේ පරිපූර්ණ වාසිය කියන සංකල්පය මත පදනම්වයි. ඒ අනුව, ඕනෑම රටකට අනෙක් රටවල් වලට වඩා කාර්යක්ෂම ලෙස මොනවා හෝ දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් වෙළඳාම මගින් වාසියක් ලබා ගන්න පුළුවන්. 

සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස පසුව ඉදිරිපත් කළේ ඩේවිඩ් රිකාඩෝ විසින්. අදටත් පිළිගැනෙන එම අදහස අනුව, කිසිම භාණ්ඩයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැති රටකට වුනත් වෙළඳාම මගින් වාසියක් ලබා ගන්න පුළුවන්. ඊට හේතුව ඕනෑම රටකට කවර හෝ භාණ්ඩ හා අදාළව සංසන්දනාත්මක වාසියක් තිබීමයි. ඒ නිසා, කිසිදු භාණ්ඩයකට පරිපූර්ණ වාසියක් නැති වීම ප්‍රශ්නයක් නෙමෙයි.

පරිපූර්ණ වාසිය සරලව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඇමරිකාවට ලංකාවට වඩා කාර්යක්ෂම ලෙස ඇඟලුම් නිපදවන්න පුළුවන්. ඒ වගේම ලංකාවට වඩා කාර්යක්ෂම ලෙස පරිගණක නිපදවන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකේදීම පරිපූර්ණ වාසිය තියෙන්නේ ඇමරිකාවට. ලංකාවට දෙකෙන් එකක් හා අදාළව හෝ පරිපූර්ණ වාසියක් නැහැ. එසේ තිබියදී වුවද, ඇමරිකාවට ලංකාවේ නිපදවන ඇඟලුම් ආනයනය කිරීම වාසිදායකයි. ඊට හේතුව ලංකාවට ඇඟලුම් හා අදාළව සංසන්දනාත්මක වාසියක් තිබීමයි. 

ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් ආනයනය කරන නිසා ඒ වෙනුවෙන් වැය කළ යුතු ශ්‍රමය ඇමරිකාවේ ඉතිරි වෙනවා. එසේ ඉතිරි වන ශ්‍රමය යොදවා පරිගණක සාදා ලංකාවට අපනයනය කර ලැබෙන ආදායමෙන් වඩා වැඩි ඇඟලුම් ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්. සරල අදහස ඕකයි.

රිකාඩෝ විසින් සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස ඉදිරිපත් කරන කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාවක් තිබුණේ නැහැ. ඒ යුගයේදී භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යොදවන මිනිස් ශ්‍රමයට සමාන සේ සැලකුණා. ඒ අනුව, රිකාඩෝ විසින් සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස ඉදිරිපත් කරද්දී භාණ්ඩයක් නිපදවීමේ පිරිවැය ලෙස සැලකුවේ ඒ සඳහා යෙදවිය යුතු ශ්‍රම කාලයයි. මේ වෙද්දී මෙම මෙම ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය වෙනුවට ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය ආදේශ වී තිබෙනවා. 

සංසන්දනාත්මක වාසිය යන කාරණයේදී ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය වෙනුවට ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය ආදේශ වීමෙන් පසුව මූලික සංකල්පයේද යම් වෙනසක් සිදු වී සාපේක්ෂ පිරිවැය පිළිබඳ අර්ථකතන වෙනස් වී තිබෙනවා. උදාහරණයක් ලෙස දිනක් ඇතුළත ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට ඇඟලුම් 100ක් හැදිය හැකි නමුත් ලංකාවේ ශ්‍රමිකයෙකුට හැදිය හැක්කේ ඇඟලුම් 50ක් පමණක්නම් රිකාඩෝගේ මුල් ආකෘතිය අනුව ඇමරිකාවේ ශ්‍රමිකයා වඩා කාර්යක්ෂමයි. නමුත් ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දිනකට ඩොලර් 100ක් ගෙවද්දී ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවිය යුත්තේ ඩොලර් 5ක් පමණක්නම්, ශ්‍රමයේ වෙළඳපොළ මිල අනුව, ලංකාවේ ශ්‍රමිකයා වඩා කාර්යක්ෂමයි.

ලෝකයේ රටවල් අතර ආදායම් පරතරය ඉහළ යද්දී ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය සහ ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය අතර වෙනසද වැඩි වෙනවා. එසේ වීම නිසා වැඩි ආදායම් රටකට තරඟකාරී වීම එන්න එන්නම අමාරු වෙනවා.

වසර කිහිපයකට පෙර අධිකරණයක් මගින් නීති විරෝධී ලෙස තීන්දු කර ඇතත්, චීනයේ 996 ලෙස හඳුන්වන වැඩ කිරීමේ සංස්කෘතියක් තිබෙනවා. එයින් අදහස් වන්නේ උදේ නවයේ සිට රෑ නවය දක්වා දිනකට පැය දොළහක්, සතියේ දින හයකදීම වැඩ කරනවා කියන එකයි. සතියකට පැය 72ක්. ඇමරිකාවේ හෝ යුරෝපයේ ශ්‍රමිකයන් සතියකට එපමණ පැය ගණනක් වැඩ කරන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ මම දන්නා බොහෝ දෙනෙක් තමන් වැඩ කරන කාලය තුළ මහන්සි වී වැඩ කරනවා. ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය සැලකුවහොත් ඇමරිකාවේ ශ්‍රමිකයෙක් සහ ලංකාවේ ශ්‍රමිකයෙක් අතර විශාල වෙනසක් තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. පිරිවැය වෙනසක් තිබෙන්නේ ශ්‍රමයේ වෙළඳපොළ මිල සැලකූ විටයි.

මෙහි යම් ආකාරයක උභතෝකෝටිකයක් දැකිය හැකියි. කිසියම් රටක ශ්‍රමිකයින් ශ්‍රම කාලය පදනම මත වඩා කාර්යක්ෂම වන විට (අනෙක් සියලු තත්ත්වයන් නොවෙනස්ව ඇත්නම්) ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. එවිට ශ්‍රමයේ මිල ඉහළ ගොස් ශ්‍රමයේ පිරිවැයත් ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ වෙළඳපොළ මිල මත කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

රටවල් දෙකක් අතර ආදායම් පරතරය ගොඩක් වැඩිනම්, භෞතික කාර්යක්ෂමතාවය වැඩි කිරීම මගින් ඒ පරතරය පියවා ගන්න අමාරුයි. ඒ නිසා, වැඩි ආදායම් රටවල සිට ශ්‍රම මූලික නිෂ්පාදන කාර්යයන් අඩු ආදායම් රටවලට විතැන් වීම අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක්. නමුත් මෙවැනි ඕනෑම ස්වභාවික ක්‍රියාවලියක් පාලනය වන කවර හෝ යාන්ත්‍රනද තිබිය යුතුයි. 

නිෂ්පාදනයේදී යොදා ගැනෙන්නේ ශ්‍රමය පමණක් නෙමෙයි. ඒ සඳහා ප්‍රාග්ධනයද අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් පිරිවැය තීරණය වෙන්නේ යෙදවූ ශ්‍රමයේ වෙළඳපොළ මිලට යෙදවූ ප්‍රාග්ධනයේ වෙළඳපොළ මිලත් එකතු වෙලා. රටක ආදායම් මට්ටම ඉහළ යද්දී ප්‍රාග්ධනයේ ආන්තික පිරිවැය පහළ යනවා. මේ හරහා ශ්‍රමයේ පිරිවැය ඉහළ යාමේ අවාසිය අඩු වැඩි වශයෙන් තුලනය කර ගන්න පුළුවන්. ඒ වගේම, යම් සීමාවන්ට යටත්ව ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කරන්න පුළුවන්.

ඇමරිකාව විසින් දිගටම කෘෂිකාර්මික අංශයේ තරඟකාරීත්වය තියා ගත්තේ මේ විදිහටයි. කෘෂිකර්මය ක්‍රමයෙන් කාර්මීකරණය වෙද්දී නිෂ්පාදනයේදී යෙදිය යුතු ශ්‍රම ඒකක ප්‍රමාණය පහළ ගියා. ඒ නිසා, ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ගෙවිය යුතු මිල බොහෝ වැඩි වුනත්, සමස්ත පිරිවැය තරඟකාරී මට්ටමක තිබුණා. අඩු ආදායම් රටවලට මේ පිම්ම පනින්න අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසා, නිෂ්පාදනයේදී තව දුරටත් වැඩි ශ්‍රම ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වුනා. ඒ නිසා, ශ්‍රමයේ මිල අඩු වීමේ වාසිය ලොකු වාසියක් වුනේ නැහැ.

කෘෂිකාර්මික නිෂ්පාදනය දේශ සීමා වලින් ඔබ්බට විතැන් කළ හැකි වීනම් මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ. නමුත්, බොහොමයක් අඩු ආදායම්ලාභී රටවල වගා කළ හැකි අතිරික්ත ඉඩම් නොමැති වීම නිසා එවැන්නක් සිදු වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉංග්‍රීසින් විසින් ලංකාවට තේ වගාව හඳුන්වා දුන් කාලයේදීනම් මෙවැනි ශක්‍යතාවයක් තිබුණා. 

කෘෂිකාර්මික නිෂ්පාදන හා අදාළව පැවති ඉහත බාධාව කාර්මික නිෂ්පාදන සඳහා අදාළ වූයේ නැහැ. ඒ නිසා, කාර්මික නිෂ්පාදිතය අඩු මිල ශ්‍රමය ඇති තැන් කරා ටිකෙන් ටික විතැන් වුනා. එයින් අදහස් වුනේ ඒ තැන් භෞතික පදනමකින් වඩා කාර්යක්ෂම වූ බව නෙමෙයි. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කාර්යක්ෂමතා වෙනසට හේතු වුනේ ශ්‍රමයේ මිල වෙනසයි. ශ්‍රමයේ මිල වෙනසට හේතු වුනේ රටවල් අතර ආදායම් වෙනසයි.

මේ ආකාරයෙන් නිෂ්පාදනය වැඩි ආදායම් රටවල සිට අඩු ආදායම් රටවල් දක්වා විතැන් වෙද්දී  වැඩි ආදායම් රටවල ශ්‍රමය නිදහස් වෙනවා. එසේ නිදහස් වන ශ්‍රමය උකහා ගත හැකි වෙනත් යාන්ත්‍රණයක් නැත්නම්, ශ්‍රම සැපයුම ඉහළ ගොස් ශ්‍රමයේ මිල අඩු වී නිෂ්පාදනය විතැන් වීම සීමා වෙනවා. නමුත් ඇමරිකාව වැනි රටවල මේ ආකාරයෙන් නිදහස් වන ශ්‍රමය සේවා අංශ විසින් උකහා ගත්තා. නිෂ්පාදනය සහ පරිභෝජනය එක වර සිදු වන නිසා සේවා ආනයනය කිරීමේ තාක්ෂණික හැකියාවක් මුල් කාලයේදී තිබුණේ නැහැ. දැන්නම් ඒ තත්ත්වය වෙනස් වෙලා සහ තව දුරටත් වෙනස් වෙමින් තිබෙනවා.

අඩු හා වැඩි ආදායම් රටවල සේවා නිෂ්පාදන සඳහා යොදවන ශ්‍රමයේ විශාල මිල වෙනසක් තිබුණත් කෘෂිකාර්මික හා කාර්මික භාණ්ඩ වලට මෙන් සේවා නිෂ්පාදන වලට බාහිර තරඟය විශාල තර්ජනයක් වුනේ නැහැ. තාක්ෂණයේ දියුණුව නිසා දැන් මේ තත්ත්වය වෙනස් වී තිබුණත්, දැනට වුනත් සේවා අංශ වලට තිබෙන ලොකුම තර්ජනය බාහිර තරඟය නෙමෙයි. කෘතීම බුද්ධියේ දියුණුව වැනි හේතු නිසා සංවෘත පද්ධතිය ඇතුළේම  ප්‍රශ්නයක් පිළිසිඳ ගෙන වැඩෙමින් තිබෙනවා. 

බටහිර රටවල අවම වැටුප් නීති, අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම වැනි ප්‍රතිපත්ති නිසාත් කාර්මික නිෂ්පාදන අඩු ආදායම් රටවලට විතැන් වීම ප්‍රවර්ධනය වුනා. මේ එක්ක අඩු ආදායම්ලාභී රටවලට ප්‍රාග්ධනය ගලා යාමද ප්‍රවර්ධනය වුනා. මෙසේ නිෂ්පාදන විතැන් වීම සහ ප්‍රාග්ධනය වැඩි ප්‍රතිලාභ ඇති තැන් වලට ගලා යාම ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් පැහැදිලි ලෙසම කාර්යක්ෂමයි. ආර්ථික විද්‍යාවේදී කාර්යක්ෂමතාවය අර්ථ දක්වන විට දේශ සීමා බෙදීම් සැලකිල්ලට ගැනෙන්නේ නැහැ. ඒ වගේම, ආර්ථික කාර්යක්ෂමතාවය ඉහළ යාම රටක නිරපේක්ෂ වර්ධනයට මිස සාපේක්ෂ වර්ධනයට හේතු වීම අනිවාර්ය කරුණක් නෙමෙයි. 

නමුත් බොහෝ විට රටක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී සාපේක්ෂ වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරෙනවා. ඊට හේතුව බොහෝ දෙනෙකු විසින් රටක දියුණුව සේ සලකන්නේ අනෙක් රටවලට සාපේක්ෂව තමන්ගේ රටේ ස්ථානය වීමයි.

මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල පරිච්ඡේද වලදී එක දිගටම මෙන් වෙළඳ හිඟයක් වාර්තා වුනා (Source: https://www.stlouisfed.org/on-the-economy/2019/may/historical-u-s-trade-deficits).

ඇමරිකාවේ වෙළඳ ගිණුමේ එක දිගටම හිඟයක් තිබීම ප්‍රශ්නයක් නැහැ කියා තර්ක කරන අය ඒ බැව් තහවුරු කිරීම සඳහා 1870ට පෙර කාලය වෙත අවධානය යොමු කරනවා. නමුත් එහිදී එසේ එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු කිරීමට හැකි වුනේ කොහොමද කියන එක ගැන එතරම් කතා කෙරෙන්නේ නැහැ. 

රටක එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු වෙනවා කියන්නේ ඒ රටෙන් එක දිගටම විදේශ විණිමය එළියට යනවා කියන එක. එවැනි දෙයක් වෙන්නනම්, එක්කෝ ඒ රට දිගින් දිගටම ණය විය යුතුයි. එහෙම නැත්නම් රටට විදේශ විණිමය ලැබෙන වෙනත් කවර හෝ ක්‍රමයක් හෝ ක්‍රම තිබිය යුතුයි.

දහනවවන සියවසේ පළමු අර්ධය කියන්නේ අද තිබෙන ඇමරිකාව ගොඩ නැගෙන කාලය. සියවස ආරම්භ වෙද්දී ඇමරිකාව කියන්නේ පළමු කොලනි දහතුන. අවුරුදු පණහක් යද්දී අද තිබෙන මහද්වීපික ඇමරිකාව බොහෝ දුරට හැදිලා. ඔය අතර කාලයේ සංඛ්‍යාලේඛණ ඒ තරම්ම නිවැරදි හෝ සම්පූර්ණ නැහැ. ඒ කාලය තුළ ඇමරිකාවට අයත් හා අයත් නැති භූමි ප්‍රදේශ අතර සීමා ඉර තරමක් බොඳ වූ එකක්. ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර සීමා ඉරත් ඒ වගේම බොඳ වූ එකක්. කෙසේ වුවත්, 1848දී මෙක්සිකෝ යුද්ධය ජයගෙන මෙක්සිකෝවෙන් බාගයක් ඇමරිකාවට එකතු කර ගැනීමෙන් පසුවනම් වෙළඳ හිඟයක් නඩත්තු වුනේ කොහොමද කියන එක ඉතාම පැහැදිලියි.

කැලිෆෝනියාවෙන් රත්තරන් හමු වෙන්නේ ඔය මෙක්සිකෝ යුද්ධය සිදු වෙන අතරවාරයේ. ඒ වන විටත් කැලිෆෝනියාව නිල වශයෙන් මෙක්සිකෝවේ කොටසක්. මෙහිදී කැලිෆෝනියාව යන්නෙන් අදහස් වන්නේ වර්තමාන කැලිෆෝනියා, නෙවාඩා, යූටා, ඇරිසෝනා, නිවු මෙක්සිකෝ, කොලරාඩෝ ආදී ප්‍රාන්ත හෝ ප්‍රාන්ත වල කොටස් ඇතුළත් විශාල ප්‍රදේශයක්. මෙක්සිකෝවේ කොටසක් වුනත්, මේ වෙද්දී ඇමරිකන් හමුදා විසින් මේ ප්‍රදේශ වල බලය අල්ලා ගෙනයි තිබුණේ. පසුව මෙක්සිකෝව විසින් මේ ප්‍රදේශ ඇමරිකාවට භාර දෙනවා.

කැලිෆෝනියාවෙන් මේ විදිහට මුලින්ම හමු වෙන්නේ පොළොව යට තිබෙන රත්තරන් නිධි නෙමෙයි. වල් ළූණු හාරද්දී හමු වෙන්න තරම් පොළොව මතුපිටට ආසන්නව තිබුණු රත්තරන්. 

ඔය කාලය වෙද්දී රත්තරන් වලට ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමක් ලැබිලා. සහශ්‍ර ගණනාවක් පුරාම ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ රත්තරන් වටිනා ලෝහයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. නමුත් බොහෝ සංස්කෘතීන් කියන්නේ හැම සංස්කෘතියම නෙමෙයි. 

රත්තරන් දුලබයි. ලස්සනයි. ඒ වගේම රත්තරන් වලින් පහසුවෙන් සියුම් ආභරණ ආදිය හදන්න පුළුවන්. චීනය, ඉන්දියාව, ඊජිප්තුව, මෙසපොතේමියාව වගේම දකුණු ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශ වල රත්තරන් වලට සියවස් ගණනාවක් පුරා ලොකු වටිනාකමක් තිබුණා. නමුත් අනෙක් අතට රත්තරන් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් නෙමෙයි. අඩු වශයෙන් රත්තරන් වලින් ආයුධයක්වත් හදා ගන්න බැහැ. ඒ නිසා, ඔය කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අයට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. ඔවුන් මුදල් සේ භාවිතා කළේ සිප්පි කටු, වර්ණවත් ගල්, වඩා ප්‍රයෝජනවත් ලෝහයක් වන තඹ ආදියයි. ඔවුන්ගේ සංස්කෘතීන් වල රත්තරන් වලට තිබුණේ අඩු වටිනාකමක්. පසුව යුරෝපීයයන් පිස්සුවෙන් වගේ රත්තරන් හොයද්දී ඔවුන් තමන් දැන සිටි රත්තරන් තිබෙන තැන් යුරෝපීයයන්ට නොපැකිල පෙන්වා දී තිබෙනවා.

ඔය වෙද්දී අයිසෙක් නිවුටන් විසින් සිදු කළ වැරදි ගණනයක් නිසා එංගලන්තයේ රන් සම්මතයක් හැදිලා අවුරුදු සීයකටත් වැඩියි. බොහෝ රටවල මුදල් ඒකක රන් වටිනාකමට සම්බන්ධ කරලා තිබුණා. වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය බිහි වුනෙත්, ඔය නිරීක්ෂණ මත පදනම්වයි. 

රන් කියන්නෙත් තවත් එක් හුවමාරු භාණ්ඩයක් පමණයි. ඒ නිසා, එක් හුවමාරු භාණ්ඩයකින් අනෙක් හැම භාණ්ඩයකම වටිනාකම් තීරණය වෙනවා කියන්නේ පිළිගන්න අමාරු දෙයක්. එහෙමනම්, වටිනාකම් වල මූලය රන් වෙන්න බැහැ. එය වෙනත් දෙයක් විය යුතුයි. රන් වෙනුවට ශ්‍රම කාලය ආදේශ වුනේ ඔන්න ඔය පදනමින්. ඒ අනුව, රන් වල වටිනාකමට හේතුව රන් ගොඩ ගැනීම සඳහා ශ්‍රමය යෙදවිය යුතු වීම. නූතන ආර්ථික විද්‍යාව ඔය ශ්‍රම න්‍යායේ සිට බොහෝ දුර පැමිණ තිබෙනවා. 

අප හැම දෙනෙකුටම රත්තරන් වලින් පෞද්ගලිකව ප්‍රයෝජනයක් නැහැ. එහෙම කිවුවත් රත්තරන් පොරෝගෙන ඉන්න කැමති බොහෝ අය ඉන්නවා. අර එක සැරයක් බ්‍රේස්ලට් කතාවකුත් ජනප්‍රිය වුනේ. රන් ආභරණ වලට දකුණු ආසියාවේ කාන්තා පක්ෂය ගොඩක් කැමතියි. ලොකු රන් දම්වැල්, මුදු ආදියට කැමති පිරිමි පාර්ශ්වයේ අයත් ඒ තරම්ම අඩු නැහැ. ඔය අතර එවැනි කැමැත්තක් නැති මම වගේ අයත් ඉන්නවා.

හැබැයි මගේ වත්තේ වල් ළූණු හාරද්දී ලොකු රත්තරන් කෑල්ලක් දැක්කොත් මම ඒක නැවත පස් දමා වසන්නේ නැහැ. එය විකුණා මම වඩා කැමති, මට අවශ්‍ය, දේවල් මිල දී ගන්න පුළුවන් බව මම දන්නවා.

නමුත් කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අය බාහිර කණ්ඩායම් එක්ක ගනුදෙනු කළ අය නෙමෙයි. ඔවුන් එසේ කළානම්, ඔවුන්ට රන් විකුණා තමන්ට අවශ්‍ය වෙනත් දේවල් ලබා ගන්න තිබුණා. (එහෙම කරන්න ගියානම් ඒ ගෝත්‍ර වලට පසුව සිදු වූ විනාශය ඊට කලින්ම වෙන්නත් තිබුණා). එහෙත් ඔවුන් එසේ නොකර රත්තරන් විසිරුණු පොළොවක සියවස් ගණනක් ජීවත් වුනා. 

කොහොම හරි කැලිෆෝනියා රත්තරන් ගැන ආරංචිය ප්‍රචාරය වෙද්දී ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලින් වගේම ලෝකයේ විවිධ රටවලින් මිනිස්සු විශාල වශයෙන් කැලිෆෝනියාවට එන්න පටන් ගත්තා. ඉක්මණින් පෝසත් වෙන්න කෙටි මාර්ගයක් එහි තිබුණා. ඔය කාලය වෙද්දී කැලිෆෝනියා ඉඩම් වලට හරියකට දේපොළ අයිතියක් නැහැ. ඒ වගේම ඔය ප්‍රදේශයේ නීතියේ පාලනයක් කියලා එකකුත් නැහැ. ඇමරිකාව මෙක්සිකෝවෙන් මේ කොටස ලබා ගත්තත් නීතියේ පාලනය පිහිටුවන්න කාලයක් ගියා.

ඉඩම් වල මුල් පදිංචි කරුවන් වූ ස්වදේශිකයින්ව මේ විදිහට පැමිණි අය විසින් එළවා දමනු ලැබුවා. ඔවුන් බොහෝ දෙනෙකු ආහාර හිඟයෙන් මිය ගියා. ඔය දවස් වල ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය දිනක වැටුප ඩොලරයක් වගේ. මාසයකටනම් ඩොලර් 20-30 පමණ. නමුත් රත්තරන් එකතු කිරීමෙන් එක දවසකට ඩොලර් 100ක පමණ දක්වා මුදලක් හොයාගන්න පුළුවන්කම තිබුණා. ශ්‍රම න්‍යාය අනුවනම්, රත්තරන් මිල අඩු විය යුතුයි. නූතන ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව වුනත් රන් මිල අඩු විය යුතුයි.

කැලිෆෝනියාවේ රත්තරන් මිල ඇත්තටම අඩු වුනා. නමුත් ඩොලර් වලට සාපේක්ෂව නෙමෙයි. අනෙකුත් භාණ්ඩ වලට සාපේක්ෂව. ලෝකයේ හා ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් ඉතා කෙටි කාලයක් තුළ විශාල පිරිසක් රන් සොයා කැලිෆෝනියාවට එනවා කියන්නේ ඔවුන්ට ආහාර පාන ඇතුළු අනෙකුත් දේවල්ද විශාල වශයෙන් අවශ්‍ය වෙනවා කියන එක. නමුත් එවැනි ප්‍රමාණවත් සැපයුමක් කැලිෆෝනියාවේ තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ මෙම ප්‍රදේශයේ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාමයි. උදාහරණයක් ලෙස බිත්තරයක මිල ඩොලරයක සිට ඩොලර් තුනක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මට්ටමට ඉහළ යන්නේ ඩොලර් ශත තුනක හෝ ශත පහක මිලකට අලෙවි වෙමින් තිබුණු බිත්තර. ඉල්ලුම ඉහළ යද්දී, සැපයුම සීමිත නිසා, අනෙක් හැම දෙයක් වගේමත් ඔය විදිහට මිල වැඩි වී වෙනවා. 

අද අර්ථයෙන් කියනවනම් මෙය ඉතාම ඉහළ මට්ටමක අධි උද්ධමනයක්. බිත්තර වලින් බැලුවොත් උද්ධමනය 2000%-10000% පමණ. ඒ කියන්නේ සල්ලි ඉතාම විශාල ලෙස බාල්දු වීමක්. මීට හේතුව රන් මිල අවුන්සයක් ඩොලර් 20.67 ලෙස නියම කර තිබීම. ඒ නිසා, කොයි තරම් රත්තරන් ලැබුණත් රන් මිල අඩු වෙන්න විදිහක් තිබුනේ නැහැ. රන් සහ ඩොලර් අතර වටිනාකම් අනුපාතය නියතයක්. 

රන් මිල වෙනස් වෙන්නේ නැති නිසා සිදු වුනේ රන් වලට සාපේක්ෂව අනෙක් භාණ්ඩ හා සේවා හැම එකකම හුවමාරු වටිනාකම වැඩි වෙන එක. එහිදී එම භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව රත්තරන් බාල්දු වෙනවා. රත්තරන් වලට පෙග් කර තිබෙන නිසා ඩොලරයත් විශාල ලෙස බාල්දු වෙනවා. එහෙමත් නැත්නම් ඩොලරයක මිල දී ගැනීමේ හැකියාව විශාල ලෙස අඩු වෙනවා.

රන් සොයන්න ආ අයට සාමාන්‍ය ශ්‍රමිකයෙක් මාස හයකදී ලබන වැටුප පහසුවෙන්ම සතියෙන් හොයා ගන්න හැකි වී තිබෙනවා. නමුත්, එයින් අදහස් වන්නේ ඒ අනුපාතයෙන්ම ඔවුන් ධනවත් වූ බව නෙමෙයි. රන් හොයන අතර ආහාර පාන ඇතුළු වියදම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් වැය කරන්න සිදු වී තිබෙනවා. 

පහසුවෙන්ම රන් එකතු කරගත හැකිව තියෙද්දී සහ එම රන් අලෙවි කර ඩොලර් එකතු කර ගත හැකිව තියෙද්දී රන් හා ඩොලර් වල වටිනාකම දැනෙන්නේ අඩුවෙන්. සල්ලි අත දිග හැර වියදම් කරන්න හිතෙනවා. නමුත් අතේ කොයි තරම් රන් හා ඩොලර් තිබුනත්, රාත්‍රී ආහාරය ගන්න තැනක් ළඟ පාතක නැත්නම් ඒ රන් වලින් හෝ ඩොලර් වලින් ඇති වැඩක් නැහැ. ස්වදේශිකයෝ රන් එකතු නොකළේ ඔය හේතුව නිසා. නවාතැන පිරෙන්න රන් එකතු කර ගොඩ ගසා ගත්තත්, දඩයමක් කර ගත්තේ නැත්නම් බඩගින්නේ මැරෙන්න වෙනවා. රන් වලින් කළ හැකි දෙයක් නැහැ.

නමුත් ස්වදේශිකයින් හා සංක්‍රමණිකයින් අතර එක් ලොකු වෙනසක් තිබුණා. සංක්‍රමණිකයින්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක්. හුවමාරුව මගින් තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බව ඔවුන් දැන සිටියා. රන් එකතු කරන ප්‍රදේශ වල ජනගහණය ඉහළ ගොස්, භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ යද්දී ඒවා සපයන සැපයුම්කරුවන්ගේ ජාලද බිහි වෙන්න පටන් ගත්තා. මේ මගින් සෘජුව රන් එකතු නොකර, වක්‍රව රන් එකතු කර ධනවත් වීමටද මාර්ග පෑදුනා.

ඔය වගේ කාලයක හදිසියෙන් රන් සොයා එද්දී දරු මල්ලන් අරගෙන එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එන්නේ පිරිමි පමණයි. ඒ නිසාම, කාන්තාවන්ගේ වටිනාකම සහ කාන්තාවන් සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන රන් එකතු කරන පිරිමින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා පැමිණි කාන්තාවන් විසින් රන් එකතු නොකරම විශාල ලෙස රන් එකතු කරගෙන තිබෙනවා. රන් එකතු කළ ගොඩක් අය තමන්ට දවස අවසානයේ ලැබුණු මුදල් වලින් සැලකිය යුතු කොටසක් කාන්තා ඇසුර, මත්පැන්, සූදු ක්‍රීඩා ආදිය වෙනුවෙන් වැය කර තිබෙනවා. මේ ආදී හේතු නිසා අවසාන වශයෙන් වැඩිපුරම පෝසත් වී තිබෙන්නේ රන් මිල දී ගත් අතරමැදියෝ සහ වෙනත් සේවාවන් සපයපු අය. කොහොම වුනත්, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත් නිසා විවිධ භාණ්ඩ හා සේවා සැපයුම් ව්‍යාපාර ගණනාවක්ම අලුතෙන් බිහි වී තිබෙනවා. ඒ සමහර ව්‍යාපාර මේ වෙද්දී දැවැන්ත ව්‍යාපාර.

රන් සුලභ කැලිෆෝනියා ප්‍රදේශයේ ආර්ථිකය සංවෘත එකක් වීනම් අවසාන වශයෙන් වෙන්නේ රත්තරන් ඉතා ලාභදායී ලෝහයක් වීම පමණයි. නමුත් කැලිෆෝනියා ආර්ථිකය ඇමරිකාවට වගේම ලෝකයටම විවෘතවයි තිබුණේ. කැලිෆෝනියාවෙන් පිටත ලෝකයේ රත්තරන් තව දුරටත් දුලබ ලෝහයක් වුනා වගේම සැලකිය යුතු ඉල්ලුමක් තිබුණු දෙයක්. ලෝකයේ රටවල් ගණනාවක්ම ඒ වෙද්දී තමන්ගේ මුදල් එක්ක රත්තරන් වලට පෙග් කර තිබුණු නිසා, ආභරණ සෑදීම ආදී "ඇත්ත හේතු" වලට අමතරව මිනිසුන්ට රන් එකතු කරන්න තවත් හේතුවක් තිබුණා. රත්තරන් තමන්ගේ වත්කම් ගබඩා කර ගත හැකි ක්‍රමයක්ව පැවතුණා. ඒ නිසා, රත්තරන් වලට කෘතීම ඉල්ලුමක් ඇති වී තිබුණා. එහි ප්‍රතිඵලය රන් මිල සාමාන්‍ය මිලට වඩා ඉහළින් නිර්ණය වීමයි. අද දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි.

භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රන් හා ඩොලර් විශාල ලෙස බාල්දු වුනේ කැලිෆෝනියා ප්‍රදේශයේ පමණයි. අඩු වශයෙන් ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වල හෝ එවැන්නක් සිදු වී තිබුණේ නැහැ. මේ වගේ අවස්ථාවක ගනුදෙනු සංස්කෘතියක ඉන්න මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අදාළ ප්‍රදේශයට භාණ්ඩ හා සේවා සැපයුම් වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කැලිෆෝනියා ප්‍රදේශයේ භාණ්ඩ හා සේවා සැපයුම් ඉහළ ගොස් මිල ගණන් ක්‍රමයෙන් අඩු වුනා. ඒ කියන්නේ රන් සහ ඩොලර් වල වටිනාකම නැවත ක්‍රමයෙන් ඉහළ ගියා කියන එක. 

මෙය සිදු වීමට සමාන්තරව කැලිෆෝනියා රත්තරන් ඇමරිකාව පුරා පැතිරී යාමද සිදු වෙනවා. ඒ කියන්නේ සමස්තයක් ලෙස ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් රන් බාල්දු වීමක් සිදු වෙනවා කියන එක. රන් බාල්දු වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ඩොලරයද බාල්දු වෙනවා කියන එක. මොකද ඩොලරයක් කියන්නේ රන් අවුන්සයකින් 20.67කින් කොටසක වටිනාකම. වෙනත් විදිහකින් කිවුවොත්, කැලිෆෝනියා ප්‍රදේශයේ මෙන් අධි උද්ධමනයක් නොවුනත්, සමස්තයක් ලෙස ඇමරිකාවේම උද්ධමනයක් ඇති වෙනවා කියන එක. මොකද රන් සැපයුම, ඒ කියන්නේ මුදල් සැපයුම, වැඩි වූ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. මෙවැන්නක් සිදු වීම වැළකුණේ කොහොමද?

මේ දවස් වල ඇමරිකාව කාර්මීකරණය වී නැහැ. නමුත් යුරෝපය කාර්මීකරණය වෙලා. ඇමරිකාවට යුරෝපයෙන් කාර්මික භාණ්ඩ ආනයනය කළ හැකිව තිබුණේ මූලික කෘෂිකාර්මික නිෂ්පාදන, බොරතෙල් වැනි ස්වභාවික සම්පත් ආදිය අපනයනය කිරීම මගිනුයි. ඒ දේවල් නිපදවීම සඳහා සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වුනා. කාර්මීකරණය වී සිටි යුරෝපය වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදන කටයුතු සිදු කළා. ඒ නිසා, ඇමරිකාවට අසීරුවෙන් වෙළඳ හිඟය පියවා ගැනීමට සිදු වී තිබුණා.

රත්තරන් හමු වීමත් එක්ක මේ සියල්ල වෙනස් වුනා. රත්තරන් අපනයනය කිරීම මගින් ඇමරිකාවට අවශ්‍ය බොහොමයක් දේවල් යුරෝපයෙන් ගෙන්වා ගත හැකි වුනා. රත්තරන් කියන්නෙත් තවත් භාණ්ඩයක් සේ සැලකුවහොත් ඇත්තටම ඔය කාලයේ ඇමරිකාවේ වෙළඳ ශේෂය අතිරික්තයක්. නමුත් රත්තරන් තවත් භාණ්ඩයක් සේ නොසැලකෙන නිසා, රත්තරන් අපනයන වෙළඳ ගිණුමේ සටහන් වන්නේ නැහැ. එය සැලකෙන්නේ මුදල් පියවීමක් ලෙසයි. ඉතින් ඔය කාලයේ ඇත්තටම සිදු වුනේ ඇමරිකාව විසින් "මහ පොළොවෙන් එකතු කරගත්" ඩොලර් ගෙවා ආනයන සිදු කිරීමයි. 

මේ අර්ථකතනය නිවැරදි වන්නේ, පළමුව, කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම සඳහා යෙදවිය යුතු වූ ශ්‍රමය වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. විශේෂයෙන්ම අදාළ කාලයේදී ලෝකයේ වෙනත් ප්‍රදේශයකින් රන් ගොඩ ගැනීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට (පිරිවැයට) වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. දෙවනුව, රන් හා ඩොලර් (සහ ලෝකයේ අනෙකුත් බොහෝ මුදල් වර්ග) අතර වූ නිශ්චිත සම්බන්ධය නිසා රන් හා මුදල් යනු දෙකක් නොව එකක් වූ නිසා. ඉතිං මෙය කතාවට කියන සල්ලි ගස් වලින් කැඩීම වැනි දෙයක්!

පොළොවෙන් "නිකම්ම" ලැබෙන රත්තරන් පිටරට පැටවීම මගින් ඇමරිකාවට ඔය කාලයේදී තමන්ගේ අනෙකුත් භාණ්ඩ හා සේවා අපනයන වලට වඩා බෙහෙවින්ම වැඩි ආනයන ප්‍රමාණයක් සිදු කළ හැකි වුණා. ඒ මගින් පරිභෝජනය ඉහළ මට්ටමකට තබා ගත හැකි වුනා. ඒ වගේම ඉක්මණින් කාර්මීකරණය වීම සඳහා උදවු වෙමින් ප්‍රාග්ධන භාණ්ඩ විශාල ලෙස යුරෝපයෙන් ආනයනය කිරීමටද මෙය උදවුවක් වුනා.

වෙළඳ හිඟයක් තිබෙනවා කියන්නේ රට තුළ හුවමාරු වන භාණ්ඩ ප්‍රමාණය රට තුළ නිපදවන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට (වෙළඳ ගිණුම සමතුලිත තත්ත්වයට) සාපේක්ෂව රට තුල භාණ්ඩ සැපයුම වැඩි බවයි. මෙහි ප්‍රතිඵලය භාණ්ඩ මිල අඩු වී ඩොලරය ශක්තිමත් වීමයි. රන් සැපයුම වැඩි වීම වක්‍ර ලෙස ඩොලර් සැපයුමද වැඩි වීමක් වුවත්, වෙළඳ හිඟය පියවීම සඳහා ඩොලර් රටින් පිටතට යැවෙන බැවින් එය පාලනය වෙනවා. මේ කාලයේදී ඇමරිකාවෙන් හමු වූ රත්තරන් විශාල ලෙස යුරෝපයට (හා අනෙකුත් රටවලට) ගියා. ඇමරිකාවට විශාල ලෙස ආනයන භාණ්ඩ පැමිණුනා. ඒ සියල්ලේ මුල කැලිෆෝනියා රත්තරන් නිසා හිමි වූ ස්වභාවික වාසිය තිබුණා.

මේ කරුණ මා මේ තරම් විස්තර කරන්නේ ෆියට් මුදල් යුගයේදී සිදු වූ දෙයද මේ හා සංසන්දනය කළ හැකි නිසයි. පළමු යුගයේදී ඇමරිකාවට මුදල් ලැබුනේ ස්වභාවික වාසියක් නිසා. රත්තරන් වලට ලෝකයේ තිබුණු ඉල්ලුම මත පදනම් වූ වෙළඳපොළ වටිනාකමට සාපේක්ෂව එම රත්තරන් නිපදවීම සඳහා ඇමරිකාව විසින් පිරිවැයක් දැරිය යුතු වූයේ නැහැ. තුන් වන යුගයේදීද ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා විශාල ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලුම මත වෙළඳපොළ වටිනාකමක් හැදී තිබුණා. නමුත් ඇමරිකාවට ඩොලර් "නිපදවීම' සඳහා පිරිවැයක් දරන්නට අවශ්‍ය නොවූ තරම්. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයක් නඩත්තු වුනා.

මෙයින් මා කිසිසේත්ම ඇමරිකානු ව්‍යවසායකත්වය වැනි දේ අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, ලෝකය පුරා රන් වලට විශාල ඉල්ලුමක් ඇති විට, කිසියම් රටක විශාල රන් නිධියක් හමු වී වෙළඳපොළ මිලට වඩා බෙහෙවින්ම අඩු පිරිවැයකින් රන් නිපදවිය හැකි වූ විට, ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ එවැනි රටකට විශාල වාසියක් අත් වීම පැහැදිලි කරුණක්. මැද පෙරදිග රටවල් අද ඔවුන් සිටින තැන සිටින්නේ තනිකරම මෙන් තෙල් නිසා ලැබී තිබෙන ස්වභාවික වාසියේ උදවුවෙන්. තෙල් නොවන්නට මේ රටවල් අදටත් ඉතා දුප්පත් රටවල්.

මහ පොළොවේ රත්තරන් නැති, පොළොව යට තෙල් නැති, ලෝකයේ උතුම් රටකට පෝසත් වීම ඔය තරමටම  ලේසි නැහැ. රන් සම්මත ක්‍රමය තුළ, රන් නොමැති රටකට වුවද වෙළඳ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් රන් එකතු කර ගත හැකිව තිබුණා. නමුත් එය ප්‍රායෝගිකව ලේසි වැඩක් වුනේ නැහැ. කාර්මීකරණය වී නොමැති රටකට තේ, රබර්, පොල් නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍යයි. එම මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා ආහාර පාන ඇතුළු තවත් බොහෝ දේ අවශ්‍යයි. ඒ සියල්ල නිපදවන අතරම අපනයනය සඳහා තේ, රබර්, පොල් නිපදවීම සඳහාද මිනිස් ශ්‍රමය යෙදවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දේවල් ආනයනය කරන්නට සිදු වෙනවා. මෙම හුවමාරුව මගින් විශාල අතිරික්තයක් එකතු වන්නේ නැහැ. ඊට සාපේක්ෂව රන්, ඉන්ධන වැනි දෙයක් අපනයනය කරන රටක විශාල අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. එම අතිරික්ත ප්‍රාග්ධනයේ උදවුවෙන් රටකට ඉක්මණින් කාර්මීකරණ කඩ ඉම පැනගන්න පුළුවන්. 

කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම ඔය තරම්ම පහසුවෙන්ම කළ හැකි වූයේ වසර කිහිපයක් පමණක් බව මෙහිදී කෙනෙකුට පෙන්වා දිය හැකියි. එය ඇත්ත. කාලයත් සමඟ මේ කටයුත්ත වඩා අපහසු හා පිරිවැය වැඩි කටයුත්තක් බවට පත් වුනා. එහෙත් අඩු වශයෙන් වසර විසිපහක් පමණ කාලයක් ඇමරිකාවට මේ වාසිය තිබුණා. 1870 පමණ වන තුරු ඇමරිකාව වෙළඳ හිඟයක් නඩත්තු කළේ කැලිෆෝනියා රත්තරන් වල උදවුවෙන්.

ඉන් පසු එළඹුණු දෙවන යුගයේදී කැලිෆෝනියා රත්තරන් ඉවර වුනා. මෙහිදී ඉවර වුනා කියන එකෙන් අදහස් වෙන්නේ දේශීය ඉල්ලුම සැපිරීමෙන් පසුව අපනයනය කළ හැකි ශුද්ධ රත්තරන් අතිරික්තයක් තව දුරටත් ඇමරිකාවේ නිෂ්පාදනය වුනේ නැහැ කියන එක. රත්තරන් ඉවර වුනත්, ඉන්ධන වැනි අනෙකුත් ස්වභාවික සම්පත් ඉවර වුනේ නැහැ. ඉන්ධන අතිරික්තය තවත් අවුරුදු සීයක් යන තුරුම ඇමරිකාවට ධනවත් වීමට උදවු කළා. රත්තරන් අවසන් වෙද්දී පළමු යුගය අවසන් වුනා වගේම දෙවන යුගය අවසන් වුනේ ඉන්ධන ඉවර වෙද්දී. දැන් නැවතත් ඇමරිකාවේ ඉන්ධන අතිරික්තයක් ඇති වීමෙන් පසුව, තුන්වන යුගයද අවසන් වෙමින් තිබෙනවා. ඇමරිකාවට ෆියට් මුදල් ක්‍රමය අවශ්‍ය වුනේ ඔය අතරමැදි කාලයේදීයි. පැවති ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය අවශ්‍ය වූයේත් ඔය අතරමැදි කාලයේදීයි. 

මතු සම්බන්ධයි. 

https://economatta.blogspot.com, ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙබ් අඩවියෙන්

* අවසර ඇතිව උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *