
පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය උණුසුම් දේශපාලන වාද විවාද සංවාදවලින් පිරුණු එකක් වී තිබුණේ 2025 පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක ප්‍රතිපලයත් සමගයි. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර මෙම මැතිවරණයේදී උණුසුම් ඡන්ද සටනක් පැවතියත් බොහෝ දෙනකු විශ්වාස කළේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය මේ මැතිවරණයේදීත් ඉතා ඉහළ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි කියාය. ජනාධිපතිවරයාගේ කතා ඇසූ ජනතාව පෙන්නුම් කළ මිත්‍රත්වය හා සුහදතාවය මීට පෙර දකුණේ කිසිදු සිංහල දේශපාලනඥයෙකුට ලැබී නැති තරම්ය. මේ නිසා බොහෝ දෙනෙක් උතුරු නැගෙනහිර මුළු බලයම බන්දේසියක තබා උතුරේ ජනතාව මාලිමාවට දෙනු ඇතැයි විශ්වාස කළහ. අනිත් පැත්තෙන් ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාව වෙත ලබාදෙන්නට පොරොන්දු වී තිබූ ජයග්‍රහණ ද සුළුපටු නොවේ.
මේ අතර බලාපොරොත්තු වූවා සේම මතුපිටින් බලන කල ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නට මාලිමාව සමත් විය. තරගයට නිරාවරණය වූ මහනගර සභා ගණන 28කි. නගර සභා ගණන 36කි. ප්‍රාදේශීය සභා ගණන 275 කි. සියල්ලේම එකතුව ගත් කල පළාත් පාලන ආයතනය 339කි. මේ අතරින් මහ නගර සභා 23ක්, නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළුව පළාත් පාලන ආයතන 265කම ජයග්‍රහණය ලබා තිබුණේ මාලිමාවයි. එහෙත් ප්‍රශ්නය වූයේ පසුගිය මහ මැතිවරණය හා සංසන්දනය කර බලද්දීය. එහිදී මාලිමාව ලබාගෙන තිබූ ඡන්ද 68 ලක්ෂයෙන් ඡන්ද ලක්ෂ 23ක් ම මෙවර මාලිමාවට අහිමි වීම මෙවර ඡන්ද ප්‍රතිඵලයේ දී කැපී පෙනෙන කාරණාවක් විය. ඒ හැරුණ විට ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 265 අතරින් පළාත් පාලන ආයතන 120 කම විපක්ෂය ලබාගත් මන්ත්‍රීවරු සංඛ්‍යාවේ එකතුව බලන විට මාලිමාවේ මුළු ගණනට වඩා වැඩිය. ආයතන 20කම මාලිමාවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව විපක්ෂය ලබාගත් මන්ත්‍රීවරු සංඛ්‍යාව හා සමාන විය.
බලය අඩුවෙන්න මාලිමාව හේතු පහදයි
මේ තත්ත්වය තුළ ආණ්ඩු පක්ෂය බරපතළ අර්බුදයකට මැදිවූයේ පළාත් පාලන ආයතන 140කම බලය මාලිමාවට ලබා ගැනීම හිතන තරම් පහසු කාර්යයක් ලෙස පෙනෙන්නට නොතිබීම තුළයි. මේ නිසා ආණ්ඩු පක්ෂයේ මෙම ජයග්‍රහණය තමන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් සමාජයට පෙන්වන්නට උත්සාහ කළත් අභ්‍යන්තර සාකච්ඡාවලදී ඔවුන් සිටියේ මේ ලබාගත් ප්‍රතිඵලය ගැන නොසතුටකය. මහ ඡන්දයට වඩා ලක්ෂ විසි තුනකින්ම ඡන්ද ප්‍රමාණය පහත වැටීම කිසිලෙසකත් ආණ්ඩු පක්ෂයට දේශපාලනමය වශයෙන්ම පිරිමසා ගත හැකි පාඩුවක් වූයේ නැත.
කාරණාව එසේ වුවත් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ විවිධ මාධ්‍ය ඔස්සේ එක එක කතා මේ ගැන කියන්නට පටන් ගත්හ.
“අපිට යම් ප්‍රමාණයකට මිනිස්සු ඡන්දය දුන්නේ නෑ. ඒකට හේතුව අපි මේ හොරුන්ට දඬුවම් නොදුන්න නිසා. මේ හොරු ටික අල්ලලා ඇතුළට නොදාපු නිසා…” පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි මහත්මිය ලක්ෂ විසි තුනක ඡන්ද ප්‍රමාණයක් තමන්ට අහිමි වීම ගැන පාර්ලිමේන්තුවේදී හුවා දැක්වූයේ එසේය.
කවුරු කෙසේ මොනව කීවත් මේ මැතිවරණයේදී යම්තාක් ජයග්‍රහණයක් ලබාගෙන සතුටු වන්නට පක්ෂයක් තිබේ නම් ඒ වූ කලී “ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය” බවට සැකයක් නැත. ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිනා ගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 37කි. ඒ අතරට මහ නගර සභා 3ක් එක් නගර සභාවකුත් හිමිවීම ඔවුන්ට අනුව සුළුපටු ජයග්‍රහණයක් නම් නොවේ.
බලය අල්ලන්න ස.ඡ.බ. මෙහෙයුමක්.
මෙවර කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගන්නට සමගි ජන බලවේගය අපොහොසත් වුවත් මාලිමාවට ඔවුන් ලබා දුන් තරගකාරීත්වය නම් සුළුපටු නොවේ. මැතිවරණයේදී ඔවුන් මන්ත්‍රීවරුන් 1767 දිනාගන්නට සමත් වූයේ ඡන්ද ලක්ෂ 22ක් ඉක්මවූ සංඛ්‍යාවක් ලබා ගනිමින් 22% ඡන්ද ප්‍රතිශතයක් පවත්වා ගනිමින් වීම විශේෂත්වයකි. ඔවුන්ට සෘජුවම බලය පිහිටුවාගත හැකි පළාත් පාලන ආයතන සංඛ්‍යාව 13කි. තවත් ආයතන සියයකට අධික සංඛ්‍යාවක බලය අල්ලා ගැනීමට නම් ඔවුන්ට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහයෝගයක් ලැබිය යුතුය. පසුගිය දිනවල සජිත් ප්‍රේමදාසගේ දුරකථනයට කිසිදු විවේකයක් නොමැති වූයේ ඒ සඳහා බොහෝ සාකච්ඡා විපක්ෂයේ සිටින ලොකු කුඩා පක්ෂ සමග නිරන්තරයෙන්ම පැවතෙමින් තිබූ නිසා වන්නට ඇත.
රටේ රාජපක්ෂලා නිදොස් කොට නිදහස්
මැතිවරණයේ මෙවර මහජන ඡන්දය හැසිරී තිබෙන ආකාරය නිරීක්ෂණය කළ බොහෝ දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වූයේ පළාත් පාලන ආයතන කිසිවක බලය ලබා ගැනීමට නොහැකි වුවත් මෙවර පුංචි ඡන්දයේ කැපී පෙනෙන ජයග්‍රාහකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ඡන්දයෙන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 954,517ක් වූ අතර ප්‍රතිශතය 10% කට ආසන්න ගණනකි. ඒ මගින් ලබාගත් අපේක්ෂක සංඛ්‍යාව 742කි. මෙය ඔවුන්ගේ මට්ටමින් ඉතාමත් කැපී පෙනෙන තත්ත්වයක් වන්නේ මහ මැතිවරණයෙන් ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය හා ඡන්ද ප්‍රතිශතය හා සසඳා බලද්දීය. 3%ක් ව තිබූ ප්‍රතිශතය 10% දක්වා ඉහළ නංවා ගැනීම 300% වැඩි වීමක් බව බොහෝ නිරීක්ෂකයන්ගේ පිළිගැනීමයි.
ඒ ගොල්ලෝ රාජපක්ෂවරුන්ව නිදොස් කොට නිදහස් කරලා ඉවරයි. දැන් අපට තියෙන්නෙ අපි කෙරෙහි කලකිරවන්න මේ ආණ්ඩුව හිතාමතා හදල ගොතලා ජනතාව අතර පතුරුවා හරිපු හද්ද පල් බොරු ටික ජනතාව ඉදිරියේ පෙන්වා දෙන එක විතරයි. මං හිතන්නේ අපෙන් මිදිලා එහා පැත්තට ගිය මිලියන පහක ජනතාව ආයෙත් අපි ළඟට ගන්න එක ඒ නිසා ඉදිරියේදී අමාරු වෙන එකක් නෑ.
කොළඹ නගර සභාවට ඊළඟට මොකද වෙන්නේ
එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැදුණේ පිරිසිදු එක්සත් ජාතික පක්ෂයක් ලෙසටය. මුලදී තමන්ට ගැළපෙන විපක්ෂයේ පක්ෂ කිහිපයක් හා ඒකරාශී වී සන්ධානගත වී තරග වදින්නට සූදානම්ව සිටියත් සෙසු පක්ෂ ගණනාවකම සහයෝගය ඒ සඳහා නොලැබීම හේතුවෙන් රනිල් තීරණය කළේ තනිව ඡන්දය ඉල්ලීමටයි.
කෙසේ වෙතත් තනිව ඡන්දය ඉල්ලීමේ වැදගත්කම එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත්තේ මෙවර ඔවුන් ලබා තිබූ පිරිසිදු ප්‍රතිඵලයත් සමගයි.
විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ ඡන්දයෙන් ඔවුන් මන්ත්‍රී ධුර 13ක් ජයගන්නට සමත් වූහ. අද වන විට ඒ මන්ත්‍රීවරු 13 දෙනා නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වී තිබීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔවුන් මුළු රට වටෙන්ම ඡන්ද ලක්ෂ 5ට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන 5% ප්‍රතිශතයක් රඳවා ගන්නට ද සමත් වී මන්ත්‍රී ධුර 381ක් ලබාගෙන තිබීම මෙවර මැතිවරණයේ කැපී පෙනෙන කාරණාවක් විය.
මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සතුටට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා සිය නායකත්ව මණ්ඩලය රැස් කළේ ඉදිරියේදී කළ යුතු දේ කතාබහ කරගෙන තීන්දුවක් ගැනීමටය. එම සාකච්ඡාවට සාගල රත්නායක, තලතා අතුකෝරළ, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, රාජිත සේනාරත්න, නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර රනිල් විශේෂයෙන් රෝලන්ඩ් පෙරේරා ප්‍රමුඛ පක්ෂයේ නීතිඥයින් පිරිසකට ද මේ සාකච්ඡාව සඳහා ආරාධනය කර තිබිණි.
පළමුවෙන්ම සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂය ලබාගත් සමස්ත ප්‍රතිඵලය විශ්ලේෂණය කරමින් ඉස්මතු කරන්නට වූයේ කොළඹ නගර සභාව සඳහා ලබාගත් ප්‍රතිඵලයයි. ඒ වන විටත් විවිධ පාර්ශ්වයන් විපක්ෂය වෙනුවෙන් බලය පිහිටුවීම සඳහා එක්වෙන්නැයි කියා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට කතාබස් කර තිබුණේ ඒ සඳහා තීරණාත්මක බලයක් ඔවුන් ලබා තිබූ නිසාය.
“මේක හොඳ අවස්ථාවක්. උද්දච්ච මාලිමාව කොළඹ නගර සභාව දිනාගන්න එක අංක එකට බලාපොරොත්තු තබාගෙන හිටියා. අන්තිමේ තිබුණේ ආසන 48යි. විපක්ෂයට 69ක් තියෙනවා. බලය ගන්නව නම් ප්‍රධාන පක්ෂයක සහයෝගය නැතුව බෑ. ඒ උනාට ඒගොල්ලෝ කල් තියා කට වරද්ද ගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කරපු කිසිම පක්ෂයක සහයෝගය ගන්නේ නෑ කිව්වා. ඒගොල්ලෝ විතරයි හොඳ අනිත් ඔක්කොම හොරු කියල කිව්වා. දැන් ගලේ පහරපු මොකුන්ද එවුන් ගාණයි. ලාහට ගෙම්බො එක්කාසු කරනව වගේ දැන් ස්වාධීන මන්ත්‍රීවරු පස්සේ දුවනවා. විපක්ෂයේ එකමුතුවක් හැදෙනවා නම් අපිත් සහයෝගය දීලා නගර සභාව පිහිටුවමු.” රාජිත කීවේය.
“අපට තියෙන්නේ ඔප්ෂන්ස් තුනයි. එක්කෝ මාලිමාවත් එකතු වෙන්න ඕන. එහෙම නැත්තං සජිත් එක්ක එකතු වෙලා පුළුවන් තැන්වල පළාත් පාලන ආයතන හදන්න ඕන. නැත්නම් ස්වාධීනව ඉන්න ඕන. අපි දැන් ඒ ගැන කතා කරමු. මොනවද කරන්නේ…” රනිල් කීවේ තරමක් තීරණාත්මකවය.
රනිල්ගේ අනාවැකිය.
පළාත් පාලන ඡන්දයට මූද හත් ගව්වක්වක් තබාගෙන රනිල් කීවේ ඡන්දය දිනන්න නම් විපක්ෂයේ පක්ෂ එකතු විය යුතු බවයි. මැයි 6 වැනිදා පැවති ඡන්දයේ ප්‍රතිඵලයෙන් රනිල් එදා කී කතාවේ සත්‍යතාව සියලු දෙනාට පෙන්වා දෙනු ලැබීය.
“මේ මනුස්සයා කියපු දේම වෙච්ච හැටි! ටක්කෙටම කිව්වනේ…” බොහෝ දෙනාගේ අදහස එය විය.
මැතිවරණයෙන් පසුවදා ප්‍රතිඵල විශ්ලේෂණයට මුලින්ම රනිල් හමුවට ගියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, ජනාධිපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ අන්තර්ජාතික සබඳතා අධ්‍යක්ෂ දිනුම් කොළඹගේය. රනිල් හිටියේ සිනාමුසුවය.
“සර් කියපු දේ එහෙමම වෙලා නේද?” මාධ්‍ය සගයන් කී කතාවට රනිල් සැහැල්ලුවෙන් සිනාසුණේය.
ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමුහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය (7) වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය දිය හැක්කේ කෙසේද යන්න මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීනව ප්‍රතිලාභ ලබාගත හැකි ක්ෂේත්‍ර හඳුනාගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැඟෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා විය.
ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්, ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන්, අන්තර්ජාතික මුල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි, ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝරිස් සාර්කස්ජාන් ද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.