බංගලිදේශයෙන් අපේකමට වැඩම කල සරණපාල හාමුදුරුවෝ 

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු බෞද්ධ ස්වාමීන් වහන්සේ වන්නේ මේ පෞර්ෂයයි. කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන තවත් යතිවරුන් රැසක් සිටියදී අප මේ හාමුදුරුවන් ගැන පලකරන්නේ බොහෝ කරුණු කාරණා නිසයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.  

මේ එම ලිපියේ පළමු කොටසයි  

“ඉස්සර විදියට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ, සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ”. අපි පුංචි කාලෙ එඩ්වඩ් ජයකොඩිගේ කටහඩින් ඇසුණු මේ ගීයේ පද පෙළ කුඩා සාමණෙර නමක් දුටු සැනින් නොදැනුවත්වම අප සැමගේ සිත් සතන් තුල සංවේගී හැගුමක් ඇති කලා. ඒ සමගම පසුකාලීනව මේ ගීය, කුඩා හිමිවරුන්ගේ ජීවන දැක්ම පිළිබදව ගැඹුරින් සහ පහන් සංවේගයෙන් සිතීමටද අපව පුරුදු පුහුණු කළා.

කරුණු කාරනා තේරුම් ගත හැකි වයසක සිටි සිදුහත් කුමරුන් ගිහි ගෙය අතහැර යාමට තීරණය කලේ අටලෝ දහම පිලිබදව ජීවිතාබෝධයක් සහ සසර දුක ගැන හැගීමක් ඇතිවීමෙන් පසුව. නමුත් මේ මස අප විද්‍යුත් ප්‍රකාශණයට නිමිත්ත වන්නේ අවුරුදු 10ක් වූ ඉතා කුඩා අවදියේදී, මව්පිය සෙනෙහස ඇතුළු ලෞකික හැගීම්, බැදීම් සියල්ල අතහැර දමා සමස්ත මනුෂ්‍යත්වය සහ බෞද්ධ ධර්මය වෙනුවෙන් අබිනික්මන තෝරා ගත් සාමනේර නමක්. ඊටත් වඩා වටිනාකමක් ඇත්තේ ඒ අසීරු ගමනේදී නැවත ආපසු හැරීමට කිසි විටකත් නොසිතීමට උන්වහන්සේට තිබු අදිටන් ශක්තිය.

මිසිසාගා නගරයෙහි Westend බෞද්ධ මධ්‍යස්ථානය ලෝකයට ගෙන ගිය ආචාර්ය බංගලාදේශ සරණපාල ස්වාමීන් වහන්සේ ගැනයි මම මේ පුරෝකථනය සැපයුවේ. වටින් ගොඩින් උන්වහන්සේ සම්බන්ධව බොහෝ දෑ අසා තිබුනත්, මේ චරිතාපදානය පිළිබඳව පුර්ණ විවරණයක් අප පුවත්පත ඉල්ලා සිටි හේතුවෙන්, සරණපාල ස්වාමීන් වහන්සේ සමග ගැඹුරු සාකච්චාවක් ඇවැසි වුවා. මගේ ඉල්ලීම පිට උන්වහන්සේ ජීවන කතන්දරය ඇරඹුවේ මෙහෙමයි.

“මම ඉපදුනේ Bangladesh වල Chittagong කියන නගරයේ. එහි සම්ප්‍රදායක් තිබෙනවා  සෑම බෞද්ධ පිරිමි දරුවෙක්ම තාවකාලිකව පැවිදිකම ලබා ගතයුතුයි කියලා. ඉතිං මමත් පැවිදි උනේ ඒ සම්ප්‍රදායට අනුව. 1984 ජනවාරි මාසේ දවසක තමයි මගේ ජීවිතේ ඒ විශාලතම කඩඉමට මුහුණ දුන්නේ. එතකොට මට අවුරුදු 10 යයි.  ඒ කාලෙ දිනපතාම අපි පුංචි ළමයි කට්ටිය එකතුවෙලා ගමේ පන්සලට ගිහින් බුදුන් වැදීම පුරුද්දක් කරගෙන තිබුනා. අද 100 වැනි වියේ පසුවන බංගලාදේශයේ  සංඝරාජ පදවිය හොබවන ස්වාමීන් වහන්සේ දවසක් අපේ පන්සලට වැඩියා. එදත් සුපුරුදු පරිදි පන්සලේ බුදුන් වදින්න ගිය අපි යාළුවො කට්ටියගෙන් උන්වහන්සේ ඇහුවා ‘කවුද මහන වෙන්න කැමති’ කියලා. කවුරුත් නිහඩව හිටියත් මම අත උස්සලා කැමැත්ත පලකලා. බෞද්ධ ශික්ෂණයට අනුව මහණකම සඳහා දෙමාපියන් කැමැත්ත අත්‍යාවශ්‍ය නිසා මගේ දෙමාපියන්ගේත් කැමැත්ත ඇතිව උන්වහන්සේගේ පන්සලේ මා පැවිදි කලා. ඇත්තම කියනවනම් මම ඉතාමත් වාසනාවන්තයෙක්, මම සාමනේර පදවිය ලැබුවේ සංඝරාජ හිමිවරුන් දෙදෙනෙකු ඉදිරිපිට. 

මාස දෙක තුනක පුහුණුවකින් පසුව, අපි එකම වයසේ සාමනේර හිමිවරුන් 7 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ලංකාවට එවන්න අපේ සංඝරාජ හාමුදුරුවරු තීරණය කළා. ඒකට හේතුව තමයි බංගලාදේශයේ පිරිවෙන් අධ්‍යාපනය(Monastic Education) දීම සඳහා ක්‍රමයක් නොතිබීම. ඒ නිසා සාමනේර හිමිවරුන්ට බුරුමය තායිලන්තය එහෙම නැත්නම් ලංකාවෙන් තමයි පිරිවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට සිදු උනේ. දැන් ප්‍රංශයේ වැඩවසනා බංගලාදේශ පඥාවංශ ස්වාමීන්වහන්සේ තමයි අපිව ලංකාවට කැටුව ආවේ. ඉනික්බිතිව, අපිව භාර වුනේ මහරගම ධර්මායතනයේ අති පුජනීය මඩිහේ පඥ්ඥාසීහ මහා නායක ස්වාමීන්වහන්සේට සහ අති පුජනීය අම්පිටියේ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ දෙපලට. ඒ දෙනම තමයි මගේ ජීවිතයට මුල්ගල් තැබූ ප්‍රාරම්භක ගුරුවරයින්”.

සරණපාල හිමියන් එක හුස්මට කියාගෙන ගියා, “මහරගම ධර්මායතනයේ මාස 6ක පුහුණුවකට පස්සේ එහිම ශාඛාවක් තිබු මහනුවර Primrose උයනේ වජිරාරාමයට අපිව යැව්වා. එහි නායක ස්වාමීන්වහන්සේ වුයේ බ්‍රාහ්මණාගම මුදිත හිමියන්. එහි නැවතී සිට පේරාදෙණියේ සුබෝධාරාමයේ ඥාණාලංකාර ජාත්‍යාන්තර බෞද්ධ පිරිවෙනේ තමයි අපි පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ. එහි පරිවේනාධිපති වුයේත් මුදිත ස්වාමීන්වහන්සේ.  සුබෝධාරාමයේ විහාරාධිපති සහ  කෘත්‍යාධිකාරී ලෙස කටයුතු කලේ පේරාදෙණිය වත්තේගම ධම්මාවාස  ස්වාමීන්වහන්සේ. උන්වහන්සේලාගේ මුලිකත්වයෙන් මට ඉතාමත් වටිනා පිරිවෙන් අධ්‍යාපනයකට මුල්ගල තැබුණා.  මුදිත හිමියන් සමග අපි නිතර නුවර මහ රෝහලේ බිස්කට් වගේ අතුරුපස එක්ක කිරි දාන දෙනවා. ඊට පස්සේ පිරිත් සජ්ජායනයක් කරලා රෝගීන්ට පිරිත් නුල් බදිනවා. ඒත් එක්කම වගේ මුදිත හාමුදුරුවෝ යුද්ධයෙන් අනාථ වුවන් සදහා “අසරණ සරණ ” නමින් පදනමක් හැදුවා. ඒ දවස්වල අපි හාමුදුරුවරු පාසල්වලට බණ කියන්න ගියාම, දරුවන්ට කියනවා එයාලට පුළුවන් විදියට පෑන් පැන්සල්, පොත්පත්, සපත්තු ඇදුම් පැළදුම් ගෙනත් දෙන්න කියලා. මුදිත හාමුදුරුවන්ට තිබු හමුදා සම්බන්ධකම් මත හමුදා වාහන ගෙන්වාගෙන ඒ බඩු  පටවලා යවනවා අවශ්‍ය ප්‍රදේශවලට යවනවා. මම එතකොට අවුරුදු 14-15 පොඩි සාමනේර හාමුදුරු නමක්. මගේ වයසේ අනිත් හාමුදුරුවරු එක්ක මේ බඩු එකතු කරන, පටවන වැඩවලින් අපි  ලැබුවේ බෞද්ධ හිමිවරුන් ලබනා ශ්‍රද්ධාවන්ත හැගුමකට වඩා කොලු ගැටව් ලබනා ආකාරයේ සතුටක් සහ විනෝදයක්. යමක් දීමෙන් ලබන්නා මෙන්ම දානය දෙන තැනැත්තාද ලබන තෘප්තිය මට එදත් දැනුනා වගේම මේ සෑම කර්තව්‍යක්ම මගේ ජීවිතයට ලොකු බලපෑම් ඇති කළා”.  

සරණපාල හිමියන් නැවතත් ප්‍රබෝධමත්ව හඩ අවදි කළා, “එකල ඉතාමත් ප්‍රසිද්ධ නුවර නිළඹේ භාවනා මධ්‍යස්ථානයට වැඩියෙන්ම භාවනා සදහා ආවෙ ගියේ බටහිර ජාතිකයින්. ඒ මධ්‍යස්ථානය  ආරම්භ කල ගොඩ්වින් සමරරත්න මැතිතුමා භාවනාවන් සදහා එහි ගිය අපිට බොහොම කරුණාවෙන් භාවනාව සහ එහි ආනිසංස පිලිබදව හුගක් දේ කියලා දුන්නා. ඒ කාලෙම පිරිවෙනේ හිටියා මම ඉතාමත් ප්‍රිය කළ ප්‍රසන්න සහ කාරුණික මහවත්තේ ප්‍රේමාලංකාර නායක ස්වාමීන්වහන්සේත්.

ඒත් එක්කම නුවර හිටියා ධර්ම ප්‍රචාරය කටයුතු පිලිබදව ලෝකයේ නම් දරාපු බටහිර ජාතී ස්වාමීන්වහන්සේලා පිරිසක්. ජර්මන් ජාතික ඥානතිලක, ජර්මන් ජාතික ඥානපෝනික, ඇමෙරිකන් ජාතික භික්ෂු බෝධි ස්වාමීන් වහන්සේලාත් ඒ අතර වැඩ වැසුවා. භික්ෂු බෝධි හිමියන් තමයි දීඝ නිකාය, මජ්ජිම නිකාය, සම්යුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය වැනි නිකායන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කලේ. 

මේ අතරෙ, අපි දන්නා යුරෝපයේ නිතර දහම් ප්‍රචාරක කටයුතු කරනා ගෞරවනීය පියදස්සී නායක ස්වාමීන්වහන්සේ අපිට ඒ ගමන් බිමන් ගැන නිතර කතා කියන පුරුද්දක් තිබුනා. සරණපාල හාමුදුරුවන්ට මේ සංචාර  ගැන ඇති උනේ පුදුම ආසාවක්. දවසක් පියදස්සී ස්වාමීන් වහන්සේ  පැවැත් වූ දේශනයක්  අවසානයේ උන්වහන්සේ ලගට ගිය අපේ පොඩි නම ඇහුවා “හාමුදුරුවනේ,  ඔබවහන්සේ කරනවා වගේ ධර්ම ප්‍රචාරක කටයුතු කරන්න නම් මම මොනවද කරන්න ඕන” කියලා. අවුරුදු 13ක් වයසේ පසුවූ සරණපාල ස්වාමීන්වහන්සේගේ ඔළුව අතගා පියදස්සී හිමි පැවසුයේ, “පොඩි නම, මම වගේ නෙවෙයි මම කරනවාට වඩා වැඩි දෙයක් උනත් කරන්න නම් PhD දක්වාම ඉහලටම ඉගෙන ගන්න ඕන” කියලා. ඒ වචන මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් උනා. මම තීරණය කළා හොඳට ඉගෙන ගන්න”, යැයි සරණපාල හිමියන් ඉතා උද්යෝගයෙන් මා සමග පැවසුවා.

මේ පෙළඹවීමෙන් පසුව ඉතාමත් අධිෂ්ඨානයෙන් අධ්‍යාපනය හැදෑරු සරණපාල සාමනේර හිමියන්ට පන්තියක් පන්නා ඉහල දැමීම්(Double promotion) දෙසැරයක් ලැබුනා. සුබෝධාරාමයේ සිටියදීම, සරණපාල ස්වාමීන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය අවසන් කර, ඊටත් ඉදිරියට යමින්, රාජකීය පණ්ඩිත උපාධියද අවසන් කරනු ලැබුවා. මෙම උපාධියට අනුග්‍රහය ලැබෙන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ එක කොටසක් වන ප්‍රාචීන භාෂෝපකාර සංගමය මගින්.  එය පවත්වනු ලබන්නේ ප්‍රාරම්භක, මධ්‍යම සහ අවසන් කියන තුන් වසරක කාලයක් තුල. ඒ දැනුම උපයෝගී කරගෙන උසස් පෙළ විභාගයට පෙනී සිටි සරණපාල ස්වාමීන්වහන්සේ        A හතරක් සමගින් ඉහලින් සමත්ව පේරාදෙණිය සරසවියට ඇතුල් උනා. ඒත් උන්වහන්සේ පේරාදෙනියෙ හිටියෙ අවුරුද්දයි. 1994 දී, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දෙවෙනි අවුරුද්දේදී,  දෛවය විසින් උන්වහන්සේ ලංකාවෙන් කැනඩාව බලා පිටත් කර හරිනවා. 

සරණපාල හිමියන් නැවත කටහඩ අවදි කළා, “මේ ගමනට මට මග පෙන්වුයේ බ්‍රාහ්මනාගම මුදිත ස්වාමීන් වහන්සේ. මිසිසාගා පන්සලට ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ අවශ්‍යතාවය තිබුන නිසා මුදිත හිමියන් මාව මිසිසාගා පන්සලේ නැවත්වීමට කටයුතු පිළියෙළ කරලයි තිබුනේ. ඇත්තටම මට කැනඩාවට එන්න හීනෙකින්වත් හිතේ තිබුනෙ  නැහැ, ඒක අහම්බයක්”. 

කැනඩාවට පැමිණීමෙන් පසුව, මුහුණ දුන් කටුක අත්දැකීම් පිලිබදව උන්වහන්සේ සදහන් කලේ සුළු වේදනාවකින්, “විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට තරම් ඉංග්‍රීසි භාෂා දැනුම නොතිබූ  නිසා ESL, TOEFL වැනි ගිරි දුර්ගවලට නැගීමට මට සිදු උනා. ඉන්පසු, පන්සලේ වැඩපල කරන අතරතුරේම 1996 University of Toronto වලට ඇතුලත්ව මගේ පුර්ණ කාලීන කැනේඩියානු අධ්‍යාපනය ආරම්භ කළා. පසුව පශ්චාත් උපාධිය (Master’s) McMaster විශ්ව විද්‍යාලයෙනුත්, නැවතත් University of Toronto වලට පැමිණ දර්ශන ආචාර්ය උපාධියත් (PhD) ලබා ගත්තා. ඉන්පසුව University of Toronto වල වසර 5-6 දක්වා ගුරුවරයෙක් ලෙස සේවය කරන  අතරේම 1999 සිටම University of Toronto වල Buddhist Chaplain හැටියටත් සේවය කිරීමේ භාග්‍යය මට ලැබුනා”. 

අධ්‍යාපනයෙන් පරිපුර්නවූ ස්වාමීන්වන්සේට, මගේ ඊළඟ ප්‍රශ්නය වුයේ උන්වහන්සේගේ සේවාවක් වන Mindfulness සහ Kindfulness නම්වු සංකල්ප ගැන. ඒ පැනයට ඉතාමත්ම සරල පැහැදිලි කිරීමක් මට ලැබුනා.

“ඇත්තටම මෙයට පියවර දෙකක් තියෙනවා. 

  • පළමු පියවර-ඔබ ඔබටම කරුණාවන්ත වීමට සිහිබුද්ධියෙන් සිටිය යුතුයි. ඇත්තටම තමන් තමන්ටම කාරුණික වීමට නම් තමා සියලුම වැරදි චේතනාවලින් ඉවත්ව තමාට යහපත්වූ ක්‍රියවලීන්හි යෙදීම. 
  • දෙවන පියවර-ඔබ අන් අයට කරුණාවන්ත වීමට සිහිබුද්ධියෙන් සිටිය යුතුයි. ඉන් අදහස් වන්නේ අනිකාට කිසි විටකත් හිරිහැරයක් නොවී හැකි පමණින් අනික් අය වෙනුවෙන් යහපත් ක්‍රියාවන්හි යෙදීම.

මේ කාරනා දෙක ඉෂ්ඨ කරගැනීමට යමෙකුට හැකියාවක් ඇත්නම් ඒ පුද්ගලයා  සොයන සතුට සැනසිල්ල සහ මානසික සුවය ලගා කරගන්න පුළුවන්.

රටක් වශයෙන් සෑම පුරවැසියෙකුටම මේ ධර්මතාවය පුරුදු පුහුණු කිරීමට හැකිනම්, ඒ රට සතිමත් සහ කාරුණික දේශයක් බවට නිතැතින්ම ගොඩ නැගෙනවා” යැයි අප ගෞරවනීය ස්වාමීන්වහන්සේ තරයේ විශ්වාසය කරනවා.

කැනඩාවේ පරසිදු, සරණපාල හිමියන්ගේ භාවනා පන්ති සම්බන්ධවයි මම උන්වහන්සේගෙන් ඊලගට විමසුවේ. මට අවබෝධ වූ ආකාරයට, භාවනා පන්තිය තමයි උන්වන්සේගේ ප්‍රියතම ව්‍යාපෘතිය. ඒ ගැන සවිස්තරාත්මක පිළිතුරක් මට ලැබුනා, “1995 අපේ මිසිසාගා පන්සලේ භාවනා පන්තියක් ආරම්භ කර තිබුනා. නමුත් එය භාරවූ ස්වාමීන්වහන්සේට ඔස්ට්‍රේලියාවට යාමට සිදුවූ හේතුවෙන් මට ඒ පන්තිය භාර ගැනීමට සිදු උනා. එමනිසා 1995  පටන් ඒ භාවනා පන්තිය අද දක්වා සෑම බදාදා දිනකම මම කරගෙන යනවා”. 

අපි කවුරුත් දන්නා පරිදි, වෙස්ට් එන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය මගින් ඉතා සාර්ථකව  දහම් පාසැලක් පවත්වාගෙන යනවා. දහම් පාසැල වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරනා අපේ සරණපාල පොඩි හාමුදුරුවන්ගෙන් ඒ ගැන දැන ගැනීමේ තදබල උවමනාවක් මට තිබුනා. උන්වහන්සේ ඉතාමත් උද්යෝගයකින් කතාව පටන් ගත්තා, “1992 අපේ විහාරස්ථානය ආරම්භ වුවාට පසුව, 1993 අවුරුද්දේ, ළමයි 8 දෙනෙකුගෙන් දහම් පාසලකුත් පටන් ගත්තා. 1994 මම පන්සලට පැමිණිදා සිට එය මට අවිවාදයෙන්ම භාර උනා. ඒකට විෂය නිර්දේශය හැදුවෙ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මැතිනිය. එතුමිය මෙරටට ගැලපෙන ලෙස එය සකස් කලේ පුන්නජී, මුදිත ස්වාමීන්වහන්සේලා සහ මා සමගත් අදහස් හුවමාරු කරගැනීමෙන් පසුව. 

මෙම දහම් පාසැල දිනෙන් දිනම ජනප්‍රියවීම හේතුවෙන්, ළමයින් සංඛ්‍යාව ඉතා ශීග්‍රයෙන් වැඩි උනා. පන්සලේ ඇති ඉඩකඩ මද නිසා, එය වෙනත් විශාල අවකාශයක් සහ පහසුකම් ඇති තැනකට ගෙනයන්න අපට සිදු උනා. අද එය පවත්වා ගෙන යන්නේ මිසිසාගා නගරයේ පොදු පාසලක. Corvid වලට පෙර අපිට ළමයි 400 කට වැඩි සංඛාවක් හිටියා. Corvid කාලේ අපි දහම් පාසල කලේ zoom හරහා. දැන් අපිට ළමයින් 300 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා අපේ පොඩි හාමුදුරුවෝ කිව්වේ ඉතා ගාම්භීර හඩකින් වගේම යම් ආකාරයක ප්‍රෞඩත්වයකින්. අපේ ගුරුවරුන් සංඛාව 30ක් පමණ වෙනවා. එයාලා සමහරක් මේ දහම් පාසලින්ම අධ්‍යාපනය ලබලා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා, අද Canadian රජයේ පොදු පාසැල්වල ගුරුවරුන් හැටියට සේවය කරන අය. ඒ දරුවන්ගේ සේවාව අප පන්සලට සහ අපේ ශ්‍රී ලාංකික සමාජයට ඔවුන් කරනු ලබනා  ගෞරවයක්. විශේෂම දේ තමයි මේ දහම් පාසල පවත්වා ගෙන යන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 

මුලින් සිංහලෙන් පන්ති කිරීමට යෝජනාවක් තිබුනත් සරණපාල ස්වාමීන්වන්සේ ඇතුළු දහම් පාසැල් ආරම්භක කමිටුව තේරුම් ගත්තා මේ දරුවන්ට සිංහල මාධ්‍ය මගින් අධ්‍යාපනික කරුණු කාරනා ධාරණය වන ප්‍රමාණය මද බව. ඒ සමගම දරුවන්ට ධර්ම අධ්‍යාපනය දීම සහ භාවනා කිරීම වැනි ගැඹුරු ශික්ෂණයක් ඇවැසි අවස්ථාවලදී  ඉංග්‍රීසියෙන් ඉගැන්වීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ගැනීම ඉතාමත් පහසු බව උන්වහන්සේ අත්හදා බැලීමෙන් අවබෝධ කරගෙන තිබුනා. ඇත්තටම අරමුණ විය යුත්තේ භාෂාව නොව ධර්මාවබොධය බවයි උන්වහන්සේ විශ්වාස කරන්නේ. අනික සිංහල භාෂාව ඉගැන්වීමට වෙනත් විකල්ප අද කැනඩාවේ තියෙන නිසා ඉංග්‍රීසි භාෂාවෙන් දහම් පාසල මෙහෙයවීමට කමිටුව තීරණය කළා”. 

මේ දහම් පාසැල් වැඩසටහන සාර්ථකව පවත්වා ගැනීමේ රහස ගැනත් පැවසීමට උන්වන්සේ අමතක කලේ නැහැ, “අපේ ධම්මාවාස නායක හාමුදුරුවන්ගෙ මුළු ජීවිතයම පදනම් වෙලා තියෙන්නේ ඉහ වහා ගිය “කරුණාව මෛත්‍රිය” මත. ඒ “කරුණා මෛත්‍රී ” මග අනුගමනය කරමින් දරුවන්ට සමීපව “ප්‍රඥාව” නම්වූ ජීවන මගට ඉතාමත් අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැනි ගැඹුරු ශික්ෂයනයන් දීම තමයි අපේ දහම් පාසැලේ අරමුණ” යනුවෙන් අපේ සරණපාල හිමියන් පැවසුවේ ඉතාමත් ස්ථීරසාර හැගුමෙන්. “එමෙන්ම සිංහල සහ බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන තමයි දහම් පාසැල් ගීතය, වසර අවසානයේ තිබෙන දහම් පාසැල් දිනයේ සිදු කරනා නාට්‍ය සංදර්ශන වැනිදේ සිදු කරන්නෙ. එයට දෙමාපියන්ගේත් උපරිම සහයෝගය දහම් පාසලට ලැබෙනවා. මේ දහම් පාසැලට මසකට ඉතාමත් විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ $5000 ක් වගේ ගානක්. දරුවන්ගේ විනය, ප්‍රඥාව වැනිදේ ඉත සිතින් පතන දෙමාපියන් දහම් පාසලට පැමිණෙන දරුවා සහ නොපැමිණෙන දරුවා අතර වෙනස ප්‍රත්‍යක්ෂ කරගනිමින් ඒ බර ඉතා සතුටින් දරා ගෙන අප පන්සලේ  දහම් පාසලට දක්වන්නේ ඉතාමත් සහයෝගයක්”. 

මේ දහම් පාසැල මගින් සිදු උනේ දරුවන්ට ධාර්මික අධ්‍යාපනය ලබා දීම පමණක් නොවෙයි. අවශ්‍යතා ඇති අයට හෝ දුක් විඳින අයට ත්‍යාගශීලී බව සහ උපකාරශීලීවීම ගැන ප්‍රායෝගික අත්දැකීමක් දරුවන්ට දීමත් සිදුවෙනවා. ඒ  අරමුණින් ලංකාවේ පහසුකම් ඉතා අඩු පාසල්වල දරුවන්ට පොත්පත් පෑන් පැන්සල්, පරිගණක යන්ත්‍ර, වැනි පාසැල් උපකරණ සැපයීමද වාර්ෂිකව සිදු කරනවා.

ඊට අමතරව, එම පාසැල්වල වැසිකිලි සාදා දීම්, අඩු ආදායම් ඇති පවුල්වල දරුවන්ට විශ්ව විද්‍යාල සදහා ශිෂ්‍යත්ව සැපයීමේ ව්‍යාපෘතීන්ටද මේ දරුවන් විසින් පරිත්‍යාග කරන මුදල්වලින් දායකත්වය ලැබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ හේනානිගල මහා විද්‍යාලයේ මුළුමනින්ම වාගේ නඩත්තුව සිදුවන්නේ  පන්සල මගින් යැයි සරණපාල හාමුදුරුවෝ මා සමග පැවසුවේ ඉතාමත් තෘප්තිමත් හඩකින්.  

දහම් පාසැල් දරුවන්ගේ වර්ධන ක්‍රියාවලිය සම්බන්ධව තෘප්තිමත් හැගීමක් තිබුනත්, පන්සලෙන් ඈත්වී විශ්ව විද්‍යාල සහ කොලීජිවලට ඇතුළු වන මේ දරුවන්ගේ පසුකාලීන තරුණ වැඩිහිටි අවධිය සම්බන්ධව සරණපාල හිමියන්ට යම් තරමක බියක් තිබුනා. ඒ හේතුවෙන් උන්වන්සේ තීරණය කළා “තරුණ සභාවක්(Youth council)” හදන්න. ඒ සභාව හරහා කල එක ක්‍රියාකාරකමක් තමයි නිවාස නොමැති ටොරෝන්ටෝවාසී ජනතාවට (Homeless community) ආහාර සැපයීම. Soup Kitchen ව්‍යාපෘතිය අරඹා අන් අයගේ යහපැවැත්මට දායක වීමේ ජීවිත අත්දැකීමෙන් ඒ දරුවන්ගේ  ජීවිතවලට අරමුණක් සහ අර්ථයක් ලබා දුන්නා. මේ ආත්මයේදී ඒ අය දුක් විදීමටත්, මේ උදව් උපකාර කරනා දරුවන්ට අද ලැබී තියෙනා යහපත් ජීවිතයටත් හේතුඵල වන්නේ පෙර කල අකුසල කර්මයන් බව කියනා සංකල්පය දරුවන්ට ලබා දීමටත් ස්වාමීන්වහන්සේ සාර්ථකව සිදු කළා.

එමෙන්ම සදාචාරයේ බීජය මනසේ සහ හදවතේ පැල කරගත් ඒ දරුවන් පන්සලට සහ සරණපාල හිමියන්ට දක්වන්නේ ඉතා භක්තියක් සහ ගෞරවයක්. “විවාහය වැනි ඔවුන්ගේ ජීවිතවල විශේෂ අවස්ථාවල ඔවුන් පන්සල සම්බන්ධ කර ගැනීමට කිසි දිනක අමතක කරන්නෙ නැහැ”, කියලා සරණපාල හිමියන් පැවසුවේ ඒ දරුවන් ගැන සෙනෙහසකුත් සමගින්. 

උන් වහන්සේගේ ප්‍රජා සහ ආගමික සේවා  වපසරිය පුළුල් නිසාවෙන්ම අපට මේ සටහන එක කලාපයකට සීමා කරන්නට බැහැ . මේ ලිපියේ ඉතිරි කොටස ලබන කලාපයෙන් ඔබට කියවන්නට පුළුවන් . බංගලිදේශයේ සරණපාල හිමියන් ගැන වැඩිදුර විස්තර කියවන්න ලබන කලාපයෙන් එක්වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *