සිංහල කෙටිකතාව –පනාව, ජීවන කතන්දර- අමතක නොවන මතක සටහන් ,පරිවර්තිත කෙටිකතාව-වීරයාගේ වීදි කොණ

සිංහල කෙටිකතාව

පනාව

මේසන් සහ ව​ඩු වැඩද හොඳින් දැනසිටි බාස් කෙනෙකුවූ සිරිපාලට ඩුබායි යාමට ලැබුනේ අහම්බෙනි. වලස්මුල්ල ප්‍රදේශයේ ඉපිද, ගමේම රැකියාව කළ සිරිපාල කොළඹ ගොස් තිබුණේ සිය ජීවිත කාලය පුරා වරක් හෝ දෙවරක් පමණි. අවිවාහකයකු වු හෙතෙම ජීවත් වූයේ තම මහළු මව සමගිනි. සිරිපාල කුඩා කාලයේදීම පියා මිය ගිය බැවින් ඔහු පිළිබඳ එතරම් මතකයක් සිරිපාල තුළ නොවීය.

වැඩිය රටතොට ගැන නොදැන සිටියත් සිරිපාල මේසන් සහ වඩු වැඩට දක්‍ෂයෙකි. එහෙත් ඔහුගේ දෛනික ආදායම ප්‍රමාණවත් වූයේ එදිනෙදා යැපීමට පමණි. සිරිපාලගේ වැඩ හොඳ නිසා ගමේ ගෙයක්දොරක් තැනීමේදී නිතැතින්ම ගම්මු ඔහු සොයා පැමිණියහ. තවද සිරිපාල කරන වැඩ සඳහා ඔහු නියමිත මුදලක් නොඉල්ලයි. අතට දෙන ගානක් ගනී. මුදල් ඉල්ලා හෙට්ටු නොකරයි. මේ නිසා වැදගත් සමහරු ඔහුට ඉතා අඩු මුදලක් ගෙවයි. මේ ගැන සිරිපාල හිත නරක් කර නොගත්තද, ඔහුගේ අත් උදව්කාර පියසේන හිඟ මුදල් ගැන නිතරම මතක් කරමින් සිටී.

පියසේන නිතරම පැවසුයේ සිරිපාල මේසන් වැඩ සඳහා වැඩි මුදලක් අයකළ යුතු බවයි. පසුගිය මාසයේ ඔවුන් දෙදෙනා ජයනෝරිස් මුදලාලිගේ තාප්පය බැන්දේය. පුරා සතියක් වැඩ කිරීමෙන් පසු වැඩය නිම කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූවද ජයනෝරිස් මුදලාලි වැඩය සඳහා ගෙව්වේ සොච්චම් මුදලකි. පියසේන ගේ පෙරැත්තය නිසා සිරිපාල ලැබුණ මුදල මදි බව මුදලාලිට පැවසූයේ මුදලාලි අමනාප වේ යැයි බියෙන් යුතුවය.

පියසේන රටතොට පිළිබඳ දැණුම ඇත්තෙකි. ඔහුට ගාල්ල මාතර කොළඹ හොඳට හුරුය. නිතරම රට ගොස් හම්බකර ගැනීම කතා කළ පියසේන සිරිපාලගේ දක්‍ෂතා අගයන්නේ ගමේදී ඔහුගේ දක්‍ෂතාවයට සරිලන මුදලක් ඔහුට නොලැඛෙන බව පවසමිනි.

"සිරිපාල අයියා, මේසන් වැඩවලට හොදට ගෙවනවා. සිරිපාල අයියා වගේ වැඩ කාරයෙක් පිටරට ගියානම් හොඳට හොයා ගන්න පුලූවන් වෙනවා. මෙහේ බලන්න, හරියකට ගෙවනවද. ජයනෝරිස් කාරයා තාප්පය බැඳගෙන අන්තිමට සිරිපාල අයියාට කොකා පෙන්නුවා. ඔහොම වැඩකරලා බැහැ සිරිපාල අයියේ."

පියසේන කියන කතාවේ ඇත්තක් ඇති බව සිරිපාල දනී. එහෙත් ඔහු නිසොල්මන්ව විටක් හපමින් වැඩ කළේය. සිමෙන්ති ඇනීම නිසා ඔහුගේ දෙපා හා දෑත් අලූපාට වී තිබේ. හිසේද සිමෙන්ති කුඩු දක්නට ලැබේ.
—පියසේන මල්ලී, ඔන්න ඔය වීල් බැරෝව අරන් වරෙන්.˜ සිරිපාල විධාන කළේය.

වනිගසේකර ඉස්කෝල මහත්තයා අළුතින් තනන ගෙදර බාස්වැඩ බාර දෙන ලද්දේ සිරිපාලටය. අත්තිවාරම කැපූ පසු සිමෙන්ති කොට්ට තොගයක් සහ ගඩොල් ලෝඩ් එකක් ඉස්කෝලේ මහත්තයා ගුණපාලගේ ලොරියෙන් එවා තිබු‚. ගුණපාල කොන්දේ අමාරුවක් ගැන කියූ බැවින් සිමෙන්ති හා ගඩොල් බෑමද කළේ සිරිපාල හා පියසේන විසිනි. බානලද සිමෙන්ති කොට්ට වීල් බැරෝවේ පටවා, වරින් වර වාඩියට සිරිපාල ගෙන ගියේ වැඩි පරිස්සමටය.

"ඉස්කෝලේ මහත්තයාවත් අපිට සාධාරණ ගානක් ගෙවයිද කියා බලමු," පියසේන කීවේ ගුණපාලටද ඇසෙන්නටය.

"ඉස්කෝලේ මහත්තයා කුණා. ලොරියට සල්ලි අඩුකරන්ඩ කියලා වරුවක් හෙට්ටුකළා." ගුණපාල කීවේ අවඥා සහගතවය.

"වනිගසේකර ඉස්කෝලෙ මහත්තයා තේක්ක කැලෙන් කොටන් කපලා තියෙනවා. හෙට දිහාට මෙහෙට්ට අදියි. ඊයේ ඕ.අයි.සී මහත්තයාට බෝතල් වගයක් ගෙනිච්චා. ලී වලට, වැලිවලට දැන් ප්‍රශ්න වෙන එකක් නැහැ"පියසේන කීවේය.

"උඹට කව්ද කීවේ?˜ ගුණපාල ඇසුවේ කුතුහලයෙනි.

"ඕක නොදන්නේ කවුද?, තෙපා නිසා තමයි කොටන් කපන්න ගිහිල්ලා තියෙන්නේ,˜ පියසේන තව තොරතුරක් එළියට දැම්මේය.

"පියසේන, ඔය කථාව නවත්තලා ඉතිරි සිමෙන්ති කොට්ට ටික බාපං.˜ සිරිපාල කිව්වේ නොඉවසිල්ලෙනි. දබර ඇඟිල්ලෙන් දහඩිය සූරා දැමූ සිරිපාල යළිත් වීල්බැරෝවට සිමෙන්ති කොට්ට අඩුක් කළේය. එදින ඔව්හු බිම්කරුවල වැටෙන තෙක් වැඩ කළහ. ගෙදර යාමට සූදානම් වූ සිරිපාල රාති්‍රයේ වාඩියේ නවතින ලෙස පියසේනට කීවේය.

"පියසේන මල්ලී, උඹ අද රෑ වාඩියේ හිටපන්. සිමෙන්ති කොට්ට එහෙමත් තියෙනවා. කවුරුහරි රෑ මේ ටික ඇද ගත්තොත් මාර කෙළියක් වෙන්නේ."

පියසේන රෑ වාඩියේ නතර වීමට එකඟවූයේ නැත. —අනේ සිරිපාල අයියා, අද රෑ මට ගිල්බට්ලැයි ගෙදර යන්න තියෙනවා, සිරිපාල අයියා අද රෑ නවතින්ඩ.˜

"උඹට පිස්සුද? අම්මා තනියෙන්. මට මෙහේ රෑ නවතින්න බැහැ. උඹ හිටපන්. මම හෙට උදෙන්ම එනවා.˜
මුහුණ නරක්කරගත් පියසේන සිරිපාලගේ විධානයට කීකරු විය,

"පියසේන මල්ලී, මම හෙට උදේට එන්නම්. කොහෙවත් යන්න එපා. අද රෑ ඉස්කෝලේ මහත්තයත් එන්න පුළුවන්."

මෙසේ කී සිරිපාලදාඩිය දාඩිය වැකුණ ශරීරයෙන්ම නිවෙස බලා යාමට පිටත් විය.ඔහුගේ මහළු මව රෑ කෑම උයා සිරිපාල එනතුරු බලාසිටියාය. රාත්‍රී අටට පමණ ගෙට ගොඩවැදුණු සිරිපාල ලිඳෙන් හොඳහැටි නාගත්තේය. නෑමෙන් පසු බඩගිනි දැනුන හෙයින් ඔහු කුම්බලා මාලූ හොදි සමග කැකුලූ හාලේ බත් අනුභව කළේය. ඔහු කෑම කන තෙක් ලඟටවී සිටි අම්මා ඔහුට තවත් මාලූ පිනි බෙදුවාය.

"පුතේ, මේ දවස්වල වියදම් සැරයි. කඩේට රු.800 ක් ණය තියෙනවා.˜ මව ආයාචනාත්මක හඞකින් කීවාය.

"බලමු අම්මේ හෙට වනිගසේකර ඉස්කෝලේ මහත්තයාගෙන්වත් ඉල්ලා ගන්නවා.˜ සිරිපාල පැවසුයේ ස්ථීර නොවන හඞකිනි. ගතේ විඩාව නිසා සිරිපාල ඉක්මනට නිදි පැදුරට ගියේය. එහෙත් හිමිදිරියේ අවදිවූ ඔහු ලහිලහියේ ඉස්කෝලේ මහත්තයාගේ අලූත් නිවස සදන තැනට ගියේ පියසේනට ඉඳිආප්ප පාර්සලයක්ද රැගෙනය.

ඔහු යනවිට පියසේන වාඩියේ කහට කෝප්පයක් සූ දානම් කරමින් සිටියේය. හකුරු කෑල්ලක් සමග බෙලෙක් කෝප්පයකට තේ කහට දමා අතට ගත් සිරිපාල සිමෙන්ති කොට්ට දෙස බැලීය.

"පියසේන මල්ලී, මේ ටික මේ සුමානෙට ඇති. ඒත් ලබන සුමානේ අලූත් ලෝඩ් එකක් ඕන වෙයි. හවස ගිහින් ඉස්කෝලේ මහත්තයා හම්බ වෙලා මම කිව්වා කියලා රුපියල් දාහක් ඉල්ලාගෙන වරෙන්,

මුදල් ගණුදෙනුව සිරිපාල පියසේනට පැවරුවේ ඔහු හෙට්ටු කිරීමට දක්‍ෂයකු බැවිනි. පියසේන ගෙන එන මුදලින් රුපියල් එකසිය පනහක් පියසේනට දියයුතුයි. සිරිපාල තීරණය කළේය.

"සිරිපාල අයියේ, මම දැන් යන්නද? මට ඊයේ ගිල්බට්ලැයි දිහාවේ යන්න බැරිවුනා. හදිසි පණිවිඩයක් තියෙනවා. එකත් කියාගෙන ඉස්කෝලේ මහත්තයා හම්බවෙලා සල්ලිත් ඉල්ලාගෙන එන්නන්.˜

මොහොතක් කල්පනා කළ සිරිපාල ඊට අනුමැතිය දුන්නේය. කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් පියසේන සයිකලයට නැගී ගියේය. පියසේන ගියපසු සිරිපාල මේසන් හැන්ද අතට ගත්තේ තමා කැපූ අත්තිවාරමේ පාදමට සිමෙන්ති දැමිය යුතුයි යන අදහසිනි.

පියසේන ගිය පසු සිරිපාල තනිවම වැඩය කරගෙන ගියේය. පැය දෙක තුනක් ගිය නමුදු පියසේන නාවේය. "මූ කොහේ තොලොන්ජි උනාද? කියමින් සිරිපාල තනිවම ගඩොල් හා සිමෙන්ති සමග ඔට්ටු විය.

රෑ වන තෙක් පියසේන ආවේ නැත. කලින්ම වැඩ නිම කළ සිරිපාල කමීසය දාගත්තේ පියසේනගේ ගෙදරට ගොස් හොඳවායින් දෙකක් කතාකර දෙහි කැපීමට සිතා ගෙනය. පියසේන ජීවත් වූයේ ඔහුගේ අයියා සමගය. කුඩා රේස් බුකියක් පවත්වාගෙන ගිය අයියා රහසේ අරක්කු පෙරුවේය.

පියසේනගේ අයියාගේ බුකියට ගොඩවැදුනු සිරිපාලට. අයියා බුකිතුන්ඩු ලියමින් සිටිබව පෙනිණි. මොහුගේ අයියා ධර්මදාසය.

"ආ, මේ සිරිපාල බාසුන්නැහේ නේඇ මොකද මේ පැත්තේ, ඕලොන් පාරක් වත් දාන්නද?˜ පියසේනගේ වැඩිමහල් සොහොයුරු ධර්මදාස ඇසුවේ කුතුහලයෙනි.

"නෑ, මම පියසේන ඉන්නවද කියලා බලන්ඩ ආවේ. මිනිහා උදේ පොඩි පණිවිඩයකට ගියා. තවම ආවේ නෑනේ. මම වනිගසේකර ඉස්කෝලේ මහත්තයලගේ අළුත හදන ගේ වැඩකරන ගමන් මේ ආවේ. කෝ පියසේන?˜

"පියා මල්ලී කොළඹ ගියානේ බාස් උන්නැහේ.˜

"මක්කැයි කීවේ, කොළඹ ගියා?"

"ඔව්, ඔන්න රට යන ඒජන්සි යනවද මොකක්ද කියලා ගියේ˜ ධර්මදාස පැවසුයේ කනේ ගසාගත් බීඩිය පත්තුකර ගනිමිනි.

සිරිපාලට හොදටම කේන්ති ගියේය.

"හොදයි, මං යන්නන්.පියසේන ආවොත් මාව මුණගැහෙන්න කියන්නකෝ.˜

සිරිපාල ගෙදර ගියේ තරහෙන් පිපිරමිනි. පසුවදාද පියසේන ආවේ නැත. සිරිපාල අසීරුවෙන් අසල්වැසි ගැටවරයකු අතුදව්වට කැඳවාගෙන ගෙය සෑදීමේ වැඩ කරගෙන ගියේය. මෙලෙස සතියක්ම ගතවිය. පියසේන පැමිනියේ නැත. "මූ මටත් නොකියා රට ගියාවත්ද˜ සිරිපාල කල්පනා කරන්නට විය.

අතුරුදහන් වී අටවැනි දින හිටිහැටියේම පියසේන මතුවූයේ මුහුණේ සිනාවවක්ද සමඟිනි. පියසේන දුටු සිරිපාලට හොඳටම තරහ ගියේය. කෝපය නිසා ඔහු මුවින් නොබැන පියසේන නොදැක්කාක් මෙන් සිමෙන්ති ඇනුවේය.

"සිරිපාල අයියේ, මෙදා සැරේ අපි ගොඩ. මම කොලඹ ගියා රස්සාවක් බලන්න අපි දෙන්නටම. සෞදිවල රස්සා දෙකක් දෙන්නම් කියලා ඒජන්සියේ මහත්තයා කිව්වා.˜

පියසේන ගෙනා අලූත් ආරංචිය නිසා සිරිපාලගේ තරහ ගින්නට දැමූ වතුර මෙන් නිවී ගියේය.

" ඉතිං උඹට මට කියලා යන්ඩ තිබුණානේ.˜ සිරිපාල කීවේ තරහ මුසු හඞකින් නොවේ.

"මේකනේ සිරිපාල අයියේ උනේ, ගිල්බට්ලැයි ගෙදර ගියා. එතකොට ගිල්බට් කොලඹ යන්ඩ පිටත් වෙනවා. මටත් එන්ඩ කිව්වා ඒජන්සියට යන්න. මිනිහා පස්සෙන්ම ගිහිං වැඩේ හදාගන. ලබන සුමානේ ගිල්බට් ජෙඩා යනවා. අපි ඉක්මනට යං සිරිපාල අයියේ. මෙහේ වගේදාඩිය දාගෙන සිමෙන්ති අනන්න ඕනෑ නැහැ. ඔක්කොම කරන්නේ යන්ත්‍ර වලින්. මෙහේ අවුරුද්දට හොයන සල්ලි එහේ මාසයකින් හොයන්න පුලුවන්"

"අපට ගහෙන් ගෙඩි එන්න වගේ යන්න ඇහැකියැ. ඉස්කෝලෙ මහත්තයගේ ගෙයි වැඩය ඉවර කරල දෙන්න එපැයි."

" අනේ සිරිපාල අයියේ, අනුන්ට කඹුර කඹුර හිටියට අපිට සෙතක් වෙනවද? ඔන්න ඉතුරුවැඩ පබිලිස් බාස්ට බාර දීල අපි රට යමු"

"එහෙම හැකිය පියසේන. ඉස්කෝලේ මහත්තයා, මට වැඩේ බාර දුන්නේ පබිලිස්ගේ වැඩ හොඳ නැතෙයි කියලනේ."

"අනේ මා දන්නෑ සිරිපාල අයියේ, මම තනියම හරි යනවා මෙදා සැරේ. මෙහේ ඉදලා අපිට මිනිස්සු වෙන්ඩ බෑ, මට දැන් යන්ඩ තියෙනවා ග්‍රාම සේවක හම්බ වෙන්ඩ˜ මේසේ කියූ පියසේන රූටා ගියේය.

එදින සවස් වනතුරු වැඩකළ සිරිපාල, පියසේන කියූ රට රස්සාවගැන සිතුවේය, එදින රාති්‍රයේ පියසේනයලිත් සිරිපාල සොයාගෙන ආවේය.

"සිරිපාල අයියේ, මම ලබන සුමානේ පාස්පෝට් හදන්න කොළඹ යනවා. සිරිපාල අයියා වැඩේට කැමතිනම් මාත් එක්ක එන්න.˜

පිටරට ගමනට සිරිපාල නිහඞවම අනුමැතිය දුන්නේය. රට රස්සාවේ වැඩ සියල්ලම කළේ පියසේනය. පාස්පෝට් සඳහා පොටෝ ගැනීම, පෝරම් පිරවීම, රැකියා එජන්සියට යෑම, මේ සියලූ දෙයක්ම සිරිපාල කළේ පියසේනගේ ගුරුහරුකම් මැදය.

මැදපෙරදිග රැකියාව සඳහා ඔවුන් දෙදෙනා වරින්වර මාතර හා කොලඹ ගියහ. මේ හේතුවෙන් වනිගසේකර ඉස්කෝලේ මහත්තයාගේ නිවසේ ඉදිකිරීම් වැඩ මුළුමනින්ම අඩාලවිය. හිඟ මුදල් ලබා ගැනීමට පවා සිරිපාල ඉස්කෝලේ මහත්තයා හමුවීමට නොගියේ බඩපුරා බැනුම් ඇසීමට සිදුවන බැවිනි.

රට රස්සාවේ දැනමුත්තා වූ පියසේන ඇතැම් දිනවල රාති්‍රය ගතකළේ සිරිපාලගේ නිවසේය.

"සිරිපාල අයියේ, පිටරට ගිහිල්ලා අවුරුදු දෙකක් වැඩ කළත් අපි ගොඩ. මගේ අදහස සල්ලි ටිකක් ඉතුරු කරගන, තී්‍රවීල් එකක් අරගන ලඹ කැටේට නිවාඩු දෙන්න. පියසේන පැවසුවේ කුප්පිලාම්පු එළියෙන් බත් කන අතරය.

"අනේ පුතේ මට නං බයත් හිතෙනවා "සිරිපාලගේ මව කීවාය.

"අම්මා, මොනවට බයවෙනවද? ගිය අවුරුද්දේ ලක්ස්මන් අයියා ඩුබායි ගියේ. අනිද්දා ගිල්බට් යනවා. ඕවා මොනවද? කටුනායක ගිහිල්ලා ප්ලේන් එකට නගිනවා. බහින්නේ සෞදි වලින්. ඒජන්සි එකෙන් ඇවිත් අපව ගෙනියනවා. මාතර යනවටත් වඩා ලේසියි.˜

"අනේ පුතේ ඔය රටවල නීති හරි තදයි. හොරකම් වැරදි කළොත් අතපය කපනව කියල සීබට් මුදලාලිගේ කඩේදී විමලාවතී කිව්වා. උඹලා බොහොම පරිස්සමින් වැඩ කරපන්.˜ ඇය කීවේ තැති ගත් විලසිනි.

"අපි ඔයවගේ වැඩ කරනවයි අම්මේ. අපි රට යන්නේ තුට්ටු දෙකක් හොයා ගන්න මිසක් හොරකම් කරන්න, මංකොල්ල කන්න නෙමෙයිනේ. මහලොකුවට දෙපාරක් ඩුබායි ගියාට විමලාවතීගේ කැරැට්ටුව ගැන අහගන්න එපැයි මැගි අක්කගෙන්.˜ පියසේන පැවසුවේ නොක්කාඩු ස්වරයෙනි.

තවත් සුමාන දෙකක් ගතවිය. පියසේන දන්නා හඳුනන ක්‍රම​ මඟින් පාස්පෝට් සාදවා ගත්තේය. පාස්පොට් ලැස්තිකර ගැනීමෙන් පසු මාසය අන්තිමට සෞදි අරාබියේ ඉදිකිරීම් සමාගමක රැකියාවකට යා හැකිබව එආජන්සියෙන් ඔවුන්ට දන්වන ලදී. වෙනදා සිරිපාලගේ අත් උදව්කරුවා ලෙස වැඩකළ පියසේන මෙහිදී මුදුනා මෙන් කටයුතු කෙළේය. ඔහු උදන් ඇනුවේ සිරිපාලගේ මවටත් ඇසෙන ලෙසිනි.

"ඔන්න සිරිපාල අයියේ, මම වැඩක් බාරගත්තොත් වැඩේ ඉවර කරලයි පස්ස බලන්නේ. මම කොලඹ ගිහිල්ලා එආජන්සි මහත්තුරු හම්බුවෙලා අපි දෙන්නටම රට රස්සා දෙකක් හොයා ගත්තා. ගිල්බට්ලැයි මාමට කංකෙඳිරිගාලා පාස්පෝට් වැඩෙත් ඉක්මනට කළා. දැන් අපිට තියෙන්නේ දෙයියනේ කියලා රට යන එක.˜

සිරිපාලගේ මව ඇසේ කඳුලක් පිස දැමුවාය. "අනේ පියසේන පුතේ, උඹ අපේ කොලූවාව බලාගන්ඩ ඕනේ. ඌ වයසින් වැඩි උනත් තාම පොඩි එකා වගේ. නොදරුවා වගේ."

මවගේ කථාවට සිරිපාලට තරහ ආවේය. "මට පුලූවන් අම්මේ තනියෙන් වැඩකරගන්න. මම දැන් හිච්චි එකෙක්‍යැයි."

මෙහිදී පියසේන කට දැම්මේය." මොනවා කියනවද අම්මේ, මම ඒවා ගානට බලා ගන්නම්. සිරිපාල අයියා ගැන හිත කරදර කර ගන්න එපා."

දෙදෙනාම පිටරට ගමනට ලකලෑස්ති වීම නිසා වනිගසේකර ඉස්කෝලේ මහත්තයාගේ අළුතින් තනන නිවසේ වැඩකටයුතු ඇන හිටියේය. සිරිපාල බාස්ට දහඅතේ බැන බැන සිටි ඉස්කෝලේ මහත්තයා පබිලිස්ට වැඩය බාර දුන්නේ බැරිම තැනය.

රටයාමට නියමිත දින ඔවුන් දෙදෙනා කොළඹ බලා ගියේ සිරිපාලගේ බාප්පා කෙනෙකු සමඟය. ඔහු වරක් කොළඹ සමාගමක මුර වැඩක් කළ අයෙකු නිසා කොලඹට ආගන්තුක නොවීය.

"අනේ පුතේ අපේ කොලූවව බලාගනින්,˜ සිරිපාලගේ මව පියසේනට කීවේ අඩන ගමන්‍ය. "ඌට කාරණා කටයුතු තේරෙන්නේ නෑ. තාම හිච්චි එකා.˜

"ඒවා මොනවා කියනවද අම්මේ, මම සිරිපාල අයියව බලාගන්නම්.˜ මෙසේ කියූ පියසේන සිරිපාලගේ පිටට පොඩි තට්ටුවක්ද දැම්මේ ශිෂ්‍යයෙක් තම බාරයට ගත් ගුරුවරයෙකු පරිද්දෙනි. මෙය සිරිපාලට ඇල්ලූවේ නැත. "මූ ඉස්සර මගේ ගෝලයා, දැන් මූ අලියා වෙලා.˜ කටින් වචනයක් පිට නොකලත් සිතින් සිතා ගත්තේය. සිරිපාල මවට වැඳ ගමන්මල්ල අතට ගත්තේය.

වලස්මුල්ලේ සිට ගාල්ලටත්, ගාල්ලේ සිට කොළඹටත් පැමි‚ ඔව්හු තී්‍රවීලරයක නැග කොටහේනේ ඒජන්සියට ගියහ. ඔවුන් එහි ලඟා වෙන විට තව හතට දෙනෙක්ද ගමන යාමට සූදානම්ව සිටිනු පෙනිනි. ඔවුන් සියලූ දෙනාම වෑන්‍රථයට ගොඩවූයේ කටුනායක අහස්‍යාත්‍රා තොටුපළට යාම සඳහාය. වෑන් රථයේ ඉඩ නොමැතිවූ හෙයින් සිරිපාලගේ බාප්පාට කටුනායකට යාමට නොහැකි විය.

"එහෙනම් උඹ පරිස්සමින් ගිහින් වරෙන්.˜ බාප්පා සිරිපාලට සමුදුන්නේය.

සිරිපාල බාප්පාට වැන්දේ වෑන්‍රථයේ දොර​ අසලදීය. —නගින්න, නගින්න.˜ ඉක්මන්කාරයෙකු වූ වෑන්‍ රියදුරු කියා සිටියේය. වෑන් ‍රථය කටුනායකට යන අතරතුරදී පවා පියසේන සිරිපාලට ගුරුහරුකම් දුන්නේය.

"සිරිපාල අයියේ, දැන් අපි කෙලින්ම ප්ලේන් එකට නගිනවා. පුටුවේ වාඩිවෙච්ච ගමන්ම පටිය තදකර ගන්ට ඕනෑ,

"පියසේන මීට කලින් ප්ලේ එකක ගිහින් තියෙන වැයි, සිරිපාල ඇසුවේ පියසේන කරුණු කාරණා දන්නේ කෙසේදැයි විමසීමටය. පියසේන ඊට කෙළින් උත්තරයක් දුන්නේ නැත.

"බලන්ඩකෝ, මම කියන්නේ බොරුද කියා,˜ ගුවන්‍යානයට ගොඩවූ පසු ආසනයේ පටිතද කිරීමට පවා පියසේන දැනසිටියේ නැත. ගුවන් සේවිකාවක් ඔවුන්ට උදවු කළාය.

"සිරිපාල අයියේ, ප්ලේන් එකෙන් බැස්සට පස්සේ සෞදිවල ඒජන්සි එකේ කට්ටිය එනවා අපිව තෝරගන්න. ඔයවගේ මුලූ ගැන්වෙලා බය මූණක් පෙන්නන්න එපා. ඕනැම වැඩක් අපට පුලූවන් කියලා කියන්න ඕනෑ. සිරිපාල කිසිවක් නොකියා හිස සැලීය.

ගුවන් යානය ධාවනපථය දිගේ වේගයෙන් ඇදී ගොස් අහසට නංවනවිට සිරිපාල දෑස් වසා ගත්තේය. ඔහුට අමුතු බියක් දැ‚නි. —ඉතිපීසෝ ගථාව˜ මැතුරූ ඔහු ගුවන්‍යානයේ ආසනය අත්දෙකින් තදින් ග්‍රහණය කර ගත්තේය.

මදවේලාවකින් ගුවන්‍යානයේ දෙදරුම්කෑම නැතිවී ගියේය. ජනේලයෙන් ඉවත බැලු සිරිපාල සුදුපැහැති පුළුන්වැනි වළාකුළු දුටුවේය.

"සිරිපාල අයියේ, තව ටිකකින් මිසී අපට කෑම ගෙනෙයි. අතින් කන්ඩ එපා. හැන්දෙන් ඇනලා කන්ඩ."පියසේන යළිත් වරක් අවවාද කළේය. සිරිපාල මුනිවත රකිමින් පියසේන කියන්නක් කළේය.

ගුවන් යානය සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපලට ගොඩබෑ පසු, මගීන් ගමනුමලූ රැගෙන ආගමන විගමන නිළධාරීන් වෙත ගියහ. සිරිපාල පියසේන පසුපස ගියේ ස්වාමියා පසුපස යන සුනඛයෙකු ලෙසිනි.

ආගමන විගමන නිළධාරීන් ඔවුන්ගේ ලියකියවිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඒජන්සි නියෝජිතයන් එනතෙක් පියසේනකොළඹ සිට පැමි‚ අනෙකුත් අය සමග කථා කළද සිරිපාල තම ගමන්මල්ල බදා ගෙන වාඩිවී සිටියේය.

සිරිපාල අයියේ, දොට්ට යනවැයි? පියසේන ඈතින් පිහිටි වැසිකිළි පෙන්නා ඇසුවේය.

"නෑ, කමක් නෑ,˜ සිරිපාල තම අවශ්‍යතාවය යටපත් කරගන සිටියේය.

මෙසේ පැය තුන හතරක් ඔව්හු ඒජන්සි යේ නියෝජිතයන් එනතුරු රැදී සිටියහ. පියසේන වරින්වර ගුවන්තොටුපළේ ඒමේ අත ඇවිද ගියද සිරිපාල බහිරවයෙකු සේ ගමන් මල්ල බදාගන පුටුවක වැතිරී සිටියේය. අවසානයේදී රැකියා එආජන්සියේ කිහිපදෙනෙක් පැමිණියෝය. ඔවුන් අතර සිටි පැරණි‚ ලාංකික සේවකයා භාෂා පරිවර්තකකයා ලෙස කටයුතු කළේය. ඔවුන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දුන්නේ පියසේනය. සිරිපාල හිස සැලූවා පමණි.

සේවා නියෝජිතයෝ ඔවුන් ට්‍රක්‍ රථයක නංවාගෙන අලූතින් තනාගන යන ගොඩනැගිලි සංකීර්ණයක් කරා ගෙන ගියහ. ඔවුන්ට නැවතීමට ලැබුණේ ඇඳන් දිග අතට දමා තිබුණු ආරෝග්‍ය ශාලාවක් බඳු ශාලාවක්‍ය. එහි ලාංකික ඉනිදියානු, පකිස්ථාන, හා යේමන් කම්කරුවන් රැසක් සිටියහ. පියසේන හා සිරිපාල එකළඟ තිබූ ඇඳන් දෙකක් මත තම ගමන් මළු තබා අයිතිය තහවුරු කරගත්හ.

අළුත් සේවකයන්වූ ඔවුන්ට ලැබී තිබුණේ වැසිකිළිය ආසන්නයේ තිබූ ඇඳන්‍ය. එහෙත් එය ඔවුනට වගක් නොවීය. පියසේනගේ විධානයෙන් සිරිපාල ඇඳ අද්දර තිබූ කබඩ් එකේ තම ඇඳුම් පැළඳුම් තැන්පත් කෙළේය. එආ අතරවාරයේ ප්‍රධාන සුපර්වයිසර් වරයා පැමිණ පසුදින උදෑසන හයට වැඩ බිමට පැමිණිය යුතු බව දැන්වීය.

මැදපෙරදිගට පැමිණිමෙන් පසුව පියසේන ගුරා බවටත් සිරිපාල ගෝලයා බවටත් පත්වූයේ නිතැතිනි. වෙනදා පියසේන වැඩකලේ සිරිපාලගේ අණ පරිදිය. දැන් සියල්ලම වෙනස්වී තිබේ. තවද සිරිපාල අයියා, අරක එපා, මේක එපා, මෙහෙම කරන්න එපා යනාදී වශයෙන් උපදෙස් දෙන පියසේන සිරිපාලට මහා වදයක් විය.

පියසේන මැදපෙරදිගට පය තබා සති දෙකතුනක් ඇතුළත අරාබි භාෂාව ටිකක් කටේ තොලේ ගාගෙන සුපර්වයිසර්වරුන් සමග කථාවට යාමත්, රෑට රෑට හොරෙන් පකිස්ථාන කම්කරුවන් සමග ඕඩිකොලොන් මිශී්‍රත ජලයෙන් පෙරූ මධුවිත තොල ගෑමත්, සිරිපාල නොරිස්සුවේය. පියසේන සිරිපාල සමග අඩුවෙන් කථාකළේය.

සිරිපාල අයියා, මම කොච්චර කියනවද වැඩපොලේදි මේ තොප්පිය දා ගන්න කියලා. අර සුපර්වයිසර් අරාබි වලින් බනිනවා මෙසේ කියමින් කහපාට හිසාවරණය පියසේන සිරිපාල අත තබයි. එහෙත් පසුදින සිරිපාලට මෙම අවවාදය අමතක වෙයි.

වැඩබිමේ සිකුරාදා දිනය නිවාඩු දිනයකි. එදින මුස්ලිම් කම්කරුවන් හා සුපර්වයිසර්වරු පල්ලි යති. සෙස්සෝ නගරයේ සිරි නැරඹීම සඳහා ඇවිදිති. පියසේන නිබදවම සිකුරාදා දිනවල එළියට යයි. එහෙත් සිරිපාල කම්කරු නේවාසිකාගාරයේ තනිවම ඇඳට වී කල්පනා කරමි සිටියි. කොතරම් පෙරැත්ත කළද සිරිපාල පියසේන සමග ඇවිදීමට නොගියේය.

එක් සිකුරාදා දිනක දවල් වරුවේ නේවාසිකාගාරයේ සිටියේ සිරිපාල පමණි. ඔහු ලංකාවට යැවීමට ලියූ ලිපියක්ද රැගෙන වැඩබිමේ කාර්‍යාලය පැත්තට ගියේ ලිපිය තැපැල් කිරීම සඳහාය. ලිපිය තැපැල්කොට යළි නේවාසිකාගාරයට එමින් සිටියදී, රථගාල අසලදී රන් පැහැති ලෝහයෙන් සාදනලද පනාවක් ඔහු ඇහින්දේය. එහි අඩහඳක් හා තරුවක් කොටා තිබුණි. යළි නවාතැනට පැමිණි‚ සිරිපාල පනාව පරීක්‍ෂාකර බැලීය. රත්‍රන් පනාවක් වගේ මෙසේ තොල් මැතිරූ ඔහු එය සුරක්‍ෂිතව ඇඳුම් අතර සැගවිය.

එදින සවස ඉන්දියානු කමකරුවන් තිදෙනකු සමඟ එළියට ගිය පියසේන පැමි‚යේ රොටී කීපයක් හා එළු මස් කරියක්ද රැගෙනය. පියසේන එවා සිරිපාලට පිරිනැමීය.

—සිරිපාල අයියට පාළු නැද්ද මෙතන ලැගගන ඉන්න? අපි අද ගියා තට්ටු පහක කඩයකට. එකතට්ටුවක් පුරවලා ටෙලිවිෂන්. ලංකාවට එකක් ගෙනියන්න තියෙනවා නම් නියමයි.

පියසේන සමග කොතරම් විරසක තිබුණද තමා ඇහිඳගත් වස්තුවගැන නොකියා සිටීමට සිරිපාලට නොහැකි විය.

ඔහු ඇදුම් අස්සේ සඟවා තැබූ රන් පනාව පියසේනට පෙන්වීය. පියසේන රන් පනාව අතට ගෙන එ මේ අත හරවා බැලීය. ඉන්පසු පනාවේ කෙළවර රළු පොළොවේ මදක් ඇතුල්ලූවේය.

"සිරිපාල අයියේ, මේක යකඩින් හඳලා තියෙන්නේ. මොන යකෙක් පාවිච්චි කරපු එකක්ද දන්නේ නෑ. මොන ජරාවක්ද? විසිකරලා දාන්න. මෙසේ කියා පියසේන නාගැනීම සඳහා තුවායද රැගෙන ස්නානාගාරය දෙසට ගියේය.

පියසේන ගියපසු සිරිපාල තුළ ඇතිවූයේ චකිතයකි. මෙය රත්තරනින් තැනූ පනාවක් විය නොහැකිද? සෞදි අරාබියේ මාලිගාවල බිත්ති රනින් නිමවා ඇතිබව පියසේන දිනක් කිවා මතකය. සෞදි කුමාරවරු භාවිතා කරන උපකරණද තනා ඇත්තේ රත්තරන්වලිනි. රත්තරන් පිඟන් කෝප්ප, රත්තරන් හැඳි ඔවුන්ට තිබේ. මෙය කුමාරයෙකුගේ රත්තරන් පනාවක් විය නොහැකිද? එහෙත් පියසේන මීට කුණුජරාවක් යැයි කීවේ මන්ද? මෙලෙස සිතූ සිරිපාලට තමා කුඩා කල දහම් පාසලේ දී උගත් රන්තලියේ˜ ජාතක කථාව සිහියට නැගුණි.

පනාව නොවටිනා බව පවසා එය විසිකළ පසු තමා සන්තකයට ගැනීමට පියසේන සැලසුම් කළේද? මෙසේ සිතන විට සිරිපාලට පියසේන කෙරෙහි තරහක් මෙන්ම පිළිකුලක්ද ඇතිවිය.

"අපරාදේ පනාව පියසේන ට පෙන්නුවේ.˜ ඔහු මෙසේ සිතමින් පසුතැවිලි විය. මෙය සඟවා තැබිය යුතුයැයි සිතූ සිරිපාල පනාව ඇඳේ මෙට්ටය යට සැගවීය. නාගෙන පැමිනි පියසේන තුවායෙන් හිස පිසදා ගන්නා ගමන් සිරිපාලගේ ඇඳේ වාඩිවිය. මහත් පිලිකුලෙන් සිරිපාල ඈත්විය.

"සිරිපාල අයියා, ලබන සිකුරා දා අපි ඇවිදින්න යං˜ පියසේන ට ඇහුම්කන් නුදුන් සිරිපාල මෙට්ටය යට තිඛෙන වස්තුව පියසේනට අසුවේදැයි චකිතයෙන් පසුවිය.

එදින රාති්‍රයේ නින්දට ගිය සිරිපාල රත්තරන් පනාව විකුණා අළුත් නිවසක් හා වාහනයක් මිළට ගන්නා අන්දම කල්පනා කළේය. ගන්න එකේ ජයනෝරිස් මුදලාලි වගේ ටිපර් එකක් ගන්නවා˜ ඔහු සිතීය.

එදින මුළු රාති්‍රයම සිරිපාලට නින්ද ගියේ නැත. රත්තරන් පනාව විකුණා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන ගන්නා හැටි සිරිපාල කල්පනා කලේය. මධ්‍යම රාති්‍රය පසු වනවිට පනාව තමාට අයත් නොවන වස්තුවක් බව ඔහුට කල්පනා විය. මෙය අහුලා ගත් වස්තුවකි. ඒ නිසා එය සොර බඩුවක් යැයි ඔහුට සිතුනි. එම සිතිවිල්ල සමග මෙතෙක් වේලා ඔහු තුළ තිබූ අධික තන්හාව බියකට පෙරළිනි.

මැදපෙරදිග සොරකම් කිරීම සඳහා දෙන අත පය කැපීම් වැනි දඞුවම් ගැන ඔහු දන්නේය. දැන් මොකද කරන්නේ යැයි ඔහු නිදිවර්ජිතව කල්පනා කළේය. යාබද ඇෙ`ද් පියසේන ගොරව ගොරවා නිදයි. එහෙත් සිරිපාල බිය නිසා දාඩියෙන් නෑවී නිදිවර්ජිතව හිඳියි. පනාව විසි කිරීමෙන්ද පළක් නැත. එය පියසේන දැක්කේය. එය අයිතිකරුට භාරදීමට ප්‍රමාද වැඩිය. අයිතිකරුවා මෙලහකට පොලිස් ගොස් ඇත්ද? තමා සොරෙකු බව ඔහුට වැටහි‚. වැතිරී සිටින ඇඳේ මෙට්ටය යට සොරබඩුවක් තිබේ. එය උලක් මෙන් ඔහුගේ ශරීරයට කා වැදී ඇත. කොයි මොහොතේ හෝ රත්‍රන් පනාව සොයා ගෙන පොලීසිය නේවාසිකාගාරයට කඩා පනිනු ඇතැයි සිතා සිරිපාල සලිත විය.

බිය නිසා ඔහුගේ උගුරකට වියළී ගියේය. පිටතින් ඇසෙන සෑම ශබ්දයක් ගානෙම ඔහුගේ හදවත ගැහෙන්නට පටන් ගත්තේය. අධික පිපාසයක් තිබුණද, ඔහු අඳුරට මුවා වී, ඇඳේ ගුලිවී, පොරවන රෙද්දෙන් මුළු ශරීරයේම ආවරණය කරගත්තේය. තමාගේ හදවත ගැහෙන හඞ යාබද ඇඳේ සිටින පියසේන ඇසේදැයි සිරිපාලට සිතුනි.

එළිවන ජාමයේ ඔහුට නින්ද ගිය අතර හෙතෙම භයානක සිහිනයක් දුටුවේය. පොලීසිය නේවාසිකාගාරයට කඩා වැදී රත්‍රන් පනාව සොයාගන, සොරාව කුදලාගෙන ගොස් වධකයාට බාරදුන්නේය. වධකයා ඔහුව බිම දිගාකොට, දෙපයින් පාගා, විශාල කඩුවක් ගෙන අත් දෙකට කෙටීය. කඩුපහර දෑතට වදිත්ම සිරිපාල මරහ~ දීගන ඇෙ`දන් බිමට පෙරළුනේය.

මොකද, මොකද, සිරිපාල අයියා, හීනෙන් බය වුනාද? පියසේන මෙසේ අසන ගමන්ම වහා නැගිට සිරිපාල අල්ලා ගත්තේය. සිරිපාලගේ දතකට පූට්ටුවී තිබි‚. ඔහු හුස්ම ගත්තේ අසීරුවෙන්‍ය.

මගේ අත කපන්න එපා, මම හොරෙක් නෙවී සිරිපාල මුරගෑවේය. ඔහුගේ කෑගැසිල්ලට අනෙක් කම්කරුවෝද අවදි වූහ. එක් අයෙකු විදුලි පහන දැල්විය. සිරිපාල කම්කරුවන් නිදා සිටී ශාලාවේ ඇදන් උඩින් පැනගෙන දිවීය. ඔහු දිවගියේ මරු විකල්ලෙනි.

මම අහිංසකයි ඔහු කෑගෑවේය. මම හොරෙක් නෙමෙයි. පනාව මෙට්ටය යට තියෙනවා. මට ලංකාවට යන්ඩ ඕනෑ. මට අම්මා බලන්ඩ යන්ඩ ඕනෑ. මෙලෙසින් සිරිපාල විලාප දුන්නේය.

කම්කරුවෝ රොක්වී සිරිපාල සන්සුන් කිරීමට උත්සාහ කළෝය.පියසේන සිරිපාලගේ දෑත්වලින් අල්ලා ගත්තේය.

"සිරිපාල අයියේ, පිස්සු කෙළින්න එපා. මොකද යකෙක්වත් දැක්කද?

සිරිපාල පියසේන ගේ අත ගසා දැමුවේ කෝපයෙනි.

"උඹ බල්ලා, මිත්‍ර ද්‍රෝහියා මම මෙට්ටේ යට හංගල තියෙන රත්‍රන් පනාවට විදින්න නේද තෝ පැලෑන හැදුවේ. තොගේ අයියා අරක්කු පෙරනවා කියලා කවුරුත් තෝ වැඩට ගත්තේ නැති කාලේ මම තමයි තොට අත්වැඩ දීලා ගෝලයා කර ගත්තේ. දැන් තෝ මටත් කෙලින්න නේද එන්නේ?

පියසේන ගේ මුහුණට සිනාවක් ආවේය. අනේ, සිරිපාල අයියේ, අර මලකඩ කාපු පනා කබලද? ඕක තමයි ඔක්කොටම මුල. ඕක විසිකරලා දාන්න. මල ජරාව මෙසේ කියු පියසේන සිරිපාලගේ මෙට්ටය යටට අතදමා පනාව සෙවීය.

කෝපාවිෂ්ට වූ සිරිපාල පියසේන ගේ ඇඟට පැන පා පහරක් දුන්නේය. පහර කෑ පියසේන බිම ඇද වැටුනි. එහෙත් සිරිපාල පහර දීම නැවැත්වූයේ නැත. නේවාසිකාගාරයේ කම්කරුවන් සිරිපාල ඇද දමා පසෙකට කළහ. යේමන් ජාතික යෝධ කම්කරුවෙක් සිරිපාලව පරඩැලක් මෙන් ගෙන බිත්තියට තබා තද කළේය.

"යල්ලා, යල්ලා " පියසේන යේමන් ජාතිකයා තල්ලූකොට සිරිපාලව නිදහස් කරගත්තේය. නිදහස්වූ පසුද සිරිපාල පියසේන ට පහර දීමට පටන් ගත්තේය. කලබලය අස්සේ පැමිණි සුපර්වයිසර්වරයා ගිලන් රථයකට දුරකථන ඇමතුමක් දුන්නේය. විනාඩි කිහිපයකදී වෛද්‍යවරයෙක් හා පිරිමි හෙදි තිදෙනෙක් නේවාසිකා ගාරයට ඇතුළු වූහ. වෛද්‍ය වරයා සිරිපාලට එන්නත් විද්දේය. ඔහු එවිට සන්සුන්ව බිම වැතිරුණේය. ඒ අතරවාරයේ හෙදියෝ රෙදිපටි වලින් ඔහුගේ අත් කකුල් බැන්දෝය. අනතුරුව සිරිපාල රෝහලට ගෙනයන ලදී.

සතියක් පමණ රෝහලේ සිටි සිරිපාල මානසික ආතතිය නිසා සේවයට නුසුදුුසු බව වෛද්‍යවරු තීරණය කළහ. එම නිසා ඔහු නැවත ලංකාවට යැවීමට කටයුතු කරන ලෙස රැකියා ඒජන්සියට දන්වන ලදී. සිරිපාල ලංකාවට යැවීමට ප්‍රථම ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන පියසේන රෝහලට ගියේය.

සිරිපාල අසරණ ලෙස රෝහල් ඇදේ වැතිර සිටි අතර ඔහුගේ දෙනෙත්වල තවමත් බිය දක්නට තිබේ.

"සිරිපාල අයියේ, පියසේන මෘදු ලෙස සිරිපාලගේ අත අල්ලා ගත්තේය.

"සිරිපාල අයියා කලබල වුනේ බොරුවටනේ. මේ තියෙන්නේ පනාව. මේක යකඩ. තඹයක්වත් වටින්නේ නැති මළදානයක්. මෙන්න ගන්න. ඔහු පනාව සිරිපාලගේ අතතැබීය. සිරිපාලගේ අතින් ගිලිහුණු පනාව —ටාං˜ යන හඬින් බිමට වැටුණි . එය යලි අහුලාගත් පියසේන පනාව සිරිපාලගේ කොට්ටය අසල තැබීය.

"අපරාදේ සිරිපාල අයියා විහින් ලෙඩවුණා. දැං මොනා කරන්නද? ලංකාවට ගිහිල්ලා පරණ රස්සාවම කරන්න බලන්න. මම සිරිපාල අයියගේ ඇදුම් බෑග් එක ගෙනාවා. මෙසේ පැවසූ පියසේන සිරිපාලගේ ගමන් මල්ල ඔහුගේ ඇඳ උඩ තැබීය.

"සිරිපාල අයියේ, හෙට ඒජන්සියේ මහත්තුරු ඇවිත් සිරිපාල අයියව ලංකාවට පිටත් කරයි. මම මෙහෙන් සිරිපාල අයියගේ අම්මාට ටැලිග්‍රෑම් එකක් යවන්නම් සේතුං බාප්පාව කටුනායකට එවන්න කියලා"

සිරිපාල පිළිතුරු දුන්නේ නැත. ඔහුගේ දෙනෙත්වල තිබුණේ හිස් බැල්මකි.

"සිරිපාල අයියේ, මට ඉක්මනට වැඩ පොලට යන්න ඕනෑ. සුපර්වයිසර් බලාන ඉන්නවා. සනීප වෙලා ආපහු මෙහේ එන්න බලන්න" පියසේන සිරිපාලගේ හිස පිරි මැද රෝහලෙන් පිටවී ගියේය.

පියසේන ගියපසු සිරිපාල කොට්ටය අද්දර තිබූ පනාව අතට ගත්තේය. තම ශරීරයේ ඇති උපරිම ශක්තිය දකුණු අතට ගොනුකරගත් ඔහු පනාව ඈතට වීසි කළේය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .

ජීවන කතන්දර

අමතක නොවන මතක සටහන්

මගේ පලවෙනි රස්සාව අඹතලේ, නවතින්න වුනා ක්වාටස්වල. ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ.

ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා. මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා " ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.
මේක මේ සෑනාම කියපු කතාවක්. බලපිටියෙ පාරක් අයිනෙ කානු කපපු කම්කරු මහත්තුරු කට්ටියක් දවල්ට කන්න ලෑස්ති වුනාලු. බත් එක ඇරලා බලපු එකෙක් මෙහෙම කිව්වලු "හුකා බොල, මාලු කෑල්ල කා….. ලා නෙව? දැන් ඉතිං අම්මගෙ *?@#$$ එක්කද බත් ටික කන්නේ..ඒඒඒ…?" කියලා. වලියට බර වුනත්, හරිම හිතවත් මිනිස්සු.

අඹතලේට එන්න පාරවල් දෙකක් තිබුනා. කඩුවෙල පැත්තට යන අලුත් පාරත්, කැළනි ගඟ අසබඩින් වැටිච්ච පරණ පාරත් මුණගැහෙන්නෙ අඹතලේ හංදියෙදි. හදිස්සියට අලුත් පාරෙ ආවත්, කොට-කොටා එන පරණ පාරටත් මගේ කැමැත්තක් තිබුනා. කීර කොටු, නාන තොටුපලවල් පහු කරලා එන පරණ පාර, මීතොටමුල්ලේ කුණු කන්ද මඟ හැරලයි එන්නෙ. ඒකෙන්
අඹතලේ හංදියට ආවම, පුරං වෙච්ච වෙලක් මැදින් තිබුන ගුරු පාරක් දිගේ එන ෂෝට්-කට් එකක් තිබුනා. ඔය පාරෙ එනකොට පේනවා වෙල අයිනෙ තියෙන නාන පොකුණක්.

දවසක් පක්සියා එනවා ඔය පාලු ගුරුපාර දිගේ. වැඩි වශයෙන් බිම බලාගෙන සංසුන් ගමනින් වඩින පක්සියාට ඇහෙනවා පොකුනෙ කව්දෝ නානව. එදෙසට නෙත් යොමු කරපු පක්සියාට පේනවා අපූරු දසුනක්. එතන හිටිය ලලනාවක් , දිය රෙද්දෙ ගැටේ බුරුල් කරලා, රෙද්ද සම්පූර්ණයෙන් දිග ඇරලා ආයෙත් ඇඳ ගන්නවා. සෙල්-මුවා වෙච්ච පක්සියා, කාටවත් මේ කතාව කිව්වෙ නෑ. අංගනාව මාව දැක්කෙ නෑ කියලා නං කියන්න බෑ, ඇයි මගේ පැත්තට හැරිලා නෙව රෙද්ද ලිහුවෙ? "මොනවද උලමො බලන්නෙ, ආ ඉඳා බලපිය" වගේ අනුකම්පා සහගත හිතකින් කලාද නං දන්නෙ නෑ. අනික නාන පොකුණු ගාව හොල්මන් තියනවා කියල කතාවකුත් තියෙනව නෙව?

වෙල මැද්දේ ගුරු පාරේ දුටු කලට
හාගන්නට කුඹුරක් දුන්නා යලට
ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?

ක්වාටර්ස් වලට එන, වාහන එන දුර පාර වුනත් නරකම නෑ. පක්සියා ගෙවල්වල හිටපු ගෑල්ලමයි දිහා රබර්-ඇහැ දාගෙන ආවෙ ඒ පාරෙ. ඔන්න දැන් මට මඩ ගහන්න බලන් ඉන්න වාහෙලාටයි මේ කියන්නෙ, රබර්-ඇහැ දාන එක විතරමයි කලේ කියල . ක්වාටර්ස් පටන් ගන්න තැනට උඩින් තිබ්බා පොඩි තේ කඩයක්. අපි යනවා ඕකට තේකක් බීලා, ලැවරියා-හැලප කාලා පත්තරේ කියවන්න. දකුණෙන් ඇවිත් ගමේ බින්න බැහැපු මුදලාලි, මම ගියාම මෙහෙම කියනවා " ඔන්න මහත්තයො, මම අලුත්ම තේ කොල දාලා තමයි තේක හැදුවෙ" කියලා. කොහොමත් ඒ කඩේ තේක රසයි. මුදලාලිත් කොටු පැනලා, ඇණයක් වැදිලා නැවතුනා වෙන්නත් ඇහැකි.

ඔය කඩේට අල්ලලා තිබ්බා පොඩි බොලිබෝල් පිට්ටනියක්. ගමේ තරුණයොයි, අපේ ක්වාර්ටස්වල සේවක මහත්තුරුයි ඕකෙ හවසට සෙල්ලම් කරනවා. අපේ හාදයෙක් හිටියා කුලසේකර කියලා, එයා තමා බෝලෙ "උස්සලා දෙන්නෙ" අනිකාට "ඩෑෂ්" ගහන්න. කුලසේකර බෝලෙ උස්සලා දීලා මෙහෙම කියනවා "ඔන්න වීරෙ" කියලා. මේක බලන් හිටිය, තවත් සේවක මහත්තයෙක් වෙච්ච ප්‍රනාන්දු මෙහෙම කිව්වා "කුලයා මේ උස්සලා දෙන දෙවිල්ලට, මූ ගෑණියෙක් වුනා නං මුළු ගමම ඉවරයි" කියලා.

ක්වාටර්ස් වල ඉන්න කොට කාලයක් අපි උයාගෙන කෑවා. එලවලු ගේන්න ගියේ කඩුවෙල පොලට. එක සති අන්තයක, එක් කෙනෙක් යනවා ඔක්කොටම එලවලු ගේන්න. යන එකාගෙ තේ- අයිස්ක්‍රීම් බිලත් ඒකට දානවා. මගේ වාරෙට පොලේ ගියාම, මම යනවා පොලේ තිබුන ආප්ප කඩේට. ආප්ප ආච්චි සැදැහැවත් බෞද්ධ උපාසිකාවක්. එයා ආප්ප ඉව්වට, බිත්තරේ කඩල දාන්නෙ වෙන්නෙ මට. ඕං ඉතිං, ඊට පස්සෙ මට බිත්තර ආප්පයක් ලැබෙනවා.ගඟ අයිනෙ හුලං වදින ගමන්, පොල් අතු කඩේක, ලෑලි බංකුවක වාඩිවෙලා උණු ආප්ප කන එක වෙනමම ආතල් එකක්. ඒක කාලා, තව අයික්‍රීම් එකකුත් කාලා තමයි, මම බඩු අරගෙන එන්නෙ, අර කිව්ව "සෙල්මුවා" වුන ගුරුපාර දිගේ.
එහෙදි හමුවුන සමහර චරිත අමතක වෙන්නෙ නෑ. පීටර් තමා කිව්වෙ" ආයෙ මොනවද සෑර්, හැන්දෑවට නා….ලා, අරක්කු කාලක් බී….ලා, බත් ජුන්ඩක් කා….ලා, අස්පයෙක් අල්ලන්න යනවා" කියලා. වල් ෆැන්ටා ගැහුවත්, ඒ මිනිස්සු තමන්ගෙ සරල ජීවන රටාවෙන් ගත්ත ආතල් එකේ, අඩුවක් තිබ්බා කියලා මට හිතෙන්නෙ නෑ.

තව හිටියා රණවංස. අත්කොට සුදු කමිසෙ ඇඳලා එන්නෙ. කතාවට අහුවුනොත්, ආයෙ කෝච්චියට අහුවුනා වගේ තමා. අසාමාන්‍ය ලෙස පිරිසිදුයි, උඩරට හාදයෙක්. කොච්චරවත් පනාවයි, කණ්නාඩියයි සාක්කුවෙ. කඩේකින් තේකක් බිව්වොත් බොන්නෙ , අඞුව තියෙන තැනින් කියලා, කුලේ තමයි මට කිව්වෙ.

ආයෙ හිටියා රත්තසේන කියලා සූදු කප්පිත්තෙක්. ඒකාලෙ "රේස් කොලේ" ගැහැව්වෙ
කොටුව/පිට කොටුව හරියෙ. මේකා මහ රෑ යනවා කොලේ ගේන්න කොළඹ, උදේ වෙනතුරු ඉවසිල්ලක් නැතුව. රේස් යුගයට පෙර "ජිම්කානා" කියන අස්ප දිනුමක් ඇදිලා, වෙළඳ ව්‍යාපාරයක් පටන් ගෙන දියුණු වෙච්ච මුදලාලි කෙනෙකුත් ඒ හරියෙ හිටියා. ඒ කඩේ නං තාම තියනවා, නම "තුරඟා". ඔය හරියෙත් තිබ්බා, බස්සා හවසට බිත්තර ආප්ප ගිලපු පොඩි කඩයක්, දැන් නං නැතුව ඇති.
ඒ ජීවිතේ මාරයි කියල නෙවෙයි මම කියන්නෙ. එහෙ කොටු පැනිලිත් තිබ්බා. සමහර ලොක්කොත්, සොක්කොත් දෙගොල්ලම පැන්නා. බස්සො එහෙම නොකලෙ හොඳ නිසා නෙමෙයි, ඇණයක් වදී කියන බයට. ඒකත් එක්තරා ජීවිත අත්දැකීමක්, වෙනම පරිචේදයක්, වෙනමම ආතල් එකක්, එච්චරයි.

හවුස් බස්තියන්

බකමූණු කතා බ්ලොග් අඩවිය https://frozenlazyowl.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .

පරිවර්තිත කෙටිකතාව

වීරයාගේ වීදි කොණ

ඔහුගේ ව්‍යාපාරික ආයතනය තිබුණේ සති පොළ පාරත් ෆාමසියට යන පාරත් කැපෙන තැන වීදියේ කෙළවරයි. මෙයට ‘ආයතනය’ යැයි කීම ගැන විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබුණේ එහි පැවැත්ම දෘෂ්ඨි මායාවක් තරම් වූ බැවිනි. ඔබ රාත්‍රී අටට එහි ගියහොත් ඔහුව දකින්නේ නැත, එමෙන්ම රාත්‍රී දහයටත් ඔහු එතැන නැත. නමුත් අටත් දහයත් අතර කාලයේදී ඔහු පැමිණ තම භාණ්ඩ විකුණා යන්නට යයි.

“උගේ වාසනාව! දවසටම පැයක් විතර වැඩකරලා රුපියල් දහයක් සාක්කුවේ දාගෙන යනවා, අරෙහෙ උපාධිකාරයෝ ඉන්නවා රස්සාවල් නැතිව - මූට මාසෙට රුපියල් තුන්සීයක්!” ඔහුව දකින්නෝ එසේ කියති. මෙවැනි දේ ඇසෙන විට ඔහුට දැනෙන්නේ නොරිස්සුමකි. “මම දවසම ලිප ළඟ ඉඳන් මේ කෑම ජාති බදින හැටි එයාලා දන්නේ නැහැනේ…” ඔහු කියයි.

තම යාබද නිවසේ කුකුලා හඬලන විට ඔහු පිබිදෙන නමුත් ඒ කුකුලා පාන්දර තුනට අවදි වී ලතෝනි දෙන දවස් ද ඇත. “අද මොකද කුකුලා කලින් නැගිටගෙන?” රාමා මෙවන් දිනවල පිබිදෙමින් කල්පනා කරන නමුත් ඒ සංඥාව කුමන වෙලාවක ලැබුණත් ඔහුට එය මගහැරිය නොහැක. එබැවින් වේලාව තුන වුවත් හතර වුවත් පිබිදෙන ඔහු, තම දවස අරඹයි.

රාත්‍රී 8.15 පමණ වෙද්දී තම බඩු මුට්ටු රැගෙන ඔහු නියමිත තැනට පැමිණියේය. ඔහු කෙතරම් දේ ඔසවාගෙන ආවේද යත් බැලූ බැල්මට පෙනුණේ ඔහුට අත් සතරක් ඇති බවයි. විවධ කෑම ජාති සහිත බන්දේසියක් ඔහු තම හිස මත සමබරව විය. ඔහුගේ එක් බාහුවක කුඩා බංකුවක් එල්ලිණි. එක් අතක ලාම්පුවක් සහ අනෙත් අතේ බංකුවේ ගැලවිය හැකි කකුල් විය. මේ ලාම්පුවට පස්තෑල පහක වටිනාකමින් යුතු භූමිතෙල් වැය වූවත් ඔහු එය දල්වා ළඟින්ම තබාගත්තේ විදුලි ආලෝකය පමණක් මත යැපෙන්නට ඔහු අකමැති වූ බැවිනි. ඔහුට සුරැකීමට මාරු කාසි සහ ආම්පන්න බොහෝ විය.

ලාම්පුවේ එළියෙන් ආලෝකමත් වූ ඔහුගේ කෑම බන්දේසිය දුටු විට ආම රෝගයෙන් පෙලෙන්නෙකුට පවා ඒ දෙස නොබලා එතැනින් යාමට අපහසු විය. එහි එක් පසෙක බොන්ඩා අහුරකි. ඒවා පිම්බී, විශාල ව පෙනුණද මුව තුළම දියවී යාමට සමත් ය. තව පසෙක තට්ටු ගැසූ මස්ලින් රෙදි කැබලි සේ පෙනෙන සුදු පැහැති තෝසේ මිටියකි. ඔහුගේ චපාති කෙතරම් සැහැල්ලු ද යත් සුලැඟිල්ලක් මත ඉන් පනහක් වුව එසවිය හැක. තැම්බූ තාරා බිත්තර පෙනුණේ ඇත්දළින් නිමවූ ගෝල ලෙසයි. මීට අමතරව උදුනක් මත නිරතුරුව නටන කෝපි පෝච්චියක් ද විය. රාමා සතුව වෙනම ඇලුමිනියම් බඳුනක චට්නියක් තිබුණු අතර ඔහු හැම මිළදී ගැනීමක් සමඟම පාහේ ඉන් ස්වල්පයක් නොමිලේ බෙදුවේය.

සිනමා ශාලාවේ හවස තිරගතවීම අවසන් වූ පසු ඉන් නික්මෙන සෙනඟ තමන්වෙත කැඳවා ගැනීමට ඔහු හැම දිනකම නියම වෙලාවටම ඒ වීදි කොණට පැමිණියේ ය. ඔහු පැමිණීමට පෙර වැරහැලි පෙනුමකින් යුතු වූ එක්තරා කෙසඟ තරුණයෙක් මේ සිංහාසනයට හැමදාම බොරු කිමිකම් පෑ නමුත් අපගේ මිත්‍රයා ඒ ගැන අනවශ්‍යව වද වූයේ නැත. “ඔන්න ඔහේ මම නැති අතරේ ඒ අසරණ මීයාට මෙතැන බිස්නස් කරන්න ඉඩ අරිනවා” යැයි කීමට පවා ඔහු කරුණාවන්ත විය. වීදි කෑම ලෝකයේ කුමාරයා එහි පැමිණෙන්නට විනාඩියකට පෙර අනෙකා අතුරුදන්වීම නිසා මේ කරුණාවට මනා සේ ගරුසරු ලැබී තිබුණු බවක් පෙනුණි.

රාමාගේ ගනුදෙනුකරුවන් ඔහු ව ප්‍රිය කළේ ය.

“පයිස හයකට කෝපි කෝප්පයකුත් ඇනාවකට චපාති හතරකුත් වෙන කොහෙන්ද ලැබෙන්නේ?” ඔවුහු ඔහුව අගය කරමින් පැවසූහ. ඔවුහු රාමාගේ බන්දේසිය වටා වටවී ඉන් රිසි රිසි දේ ගත් හ. හැම මොහොතකම ඒ වටා අත් දුසිමක් තරම් කැරකෙනු පෙනුණි. මීට හේතුව ඔහුගේ ගණුදෙනුකරුවන්ට විවිධ ආහාර වර්ග මිළදී ගැනීමට පෙර ඒවා අල්ලා, හොඳින් පරීක්ෂා කර බැලීමට බලය ලැබී තිබීමයි.

තමන් විකුණන ද්‍රව්‍ය අල්ලා බලන බොහෝ දෑත් ඔහු වටා තිබුණ ද, කවුරුන් විසින් කුමන කෑමක් ගනු ලැබී ද යන්න ඔහු නිවැරදිව දැන සිටියේ ය. ඕනෑම වේලාවකදී චපාති තෝරන්නේ කවර අශ්ව කරත්තකරු ද යන වග විස්මය දනවන ඉවකින් දැන සිටි ඔහුට, අවශ්‍ය නම් ඒ කරත්තයේ ලියාපදිංචි අංකය පවා කියන්නට හැකියාව තිබිණි. බියෙන් සැකයෙන් යුතුව සෙනඟ අතරින් මතුවෙන මේ පැල්ලම් සහිත අත නම් සපත්තු මදින කොලුවාගේ බවත්, මල්ලව පොර ශූරයාගේ අත ඉස්තරම් තාරා බිත්තරයක් සොයා මතුවන වෙලාවත්, කෑමට පෙර ඒ බිත්තරය බන්දේසියේ වැදෙන මොහොතත් ඔහු හරියාකාවරම දැන සිටියේය.

රාමාගේ ගනුදෙනුකරුවෝ පදික වේදිකාවේ සැරිසැරූ ජනගහනයෙන් කොටසක් විය. උදාහරණයක් හැටියට ඔහු වෙතට එන සපත්තු මදින කොල්ලෝ දවස පුරාවටම සපත්තු පොලිෂ් සහ බුරුසුවක් ලූ මල්ලක් කරේ එල්ලාගෙන “පොලිෂ් සර්, පොලිෂ්!” කියමින් ඒ මේ අත යන අයයි. මේ අසරණයන් වෙනුවෙන් ඔහුගේ හදවතේ මෘදු පදාසයක් තිබිණි. කිසියම් තරබාරු ගනුදෙනුකරුවෙකු මේ කොල්ලන් සමඟ සපත්තු මැදීමේ සේවාවේ මිළ පිළිබඳ ව හෙට්ටු කරනු දුටු විට “ලෝබකම් නොකර ඒ අහිංසකයාට ටිකක් වැඩිපුර කීයක් හරි දෙනවා! තව අන්නාවක් වැඩිපුර ලැබුණොත් ඌ ට තෝසෙකුයි චපාතියකුයි කන්න පුළුවන්. නැත්නම් ඌ ට බාගෙට කාලා දවස පුරාම බඩගින්නේ ඉන්න වෙන්නේ” යැයි කෑ ගසා කීමට ඔහුට සිතේ.

ඒ දරුවන්ගේ ගිලී ගිය කුසගිනි දෑස් ඔහුගේ හදවත රිදවුවේය. ඔවුන් ඇඳ සිටි වැරහැලි දැකීම ඔහුට වේදනාවක් විය. ඔවුන් තම දුඹුරු පැහැ මලු පසෙක තබා ඔහු වෙත එද්දී පෙන්වන දැඩි උනන්දුව ඔහුව ශෝකයෙන් පුරවාලීය. එහෙත් ඔහුට කළ හැක්කේ කුමක්ද? ඔහුට ඔහුගේ වෙළඳාමද පින් පිණිස කළ හැකි වූවක් නොවේ. ඔහු ඔවුන් වෙනුවෙන් සකසන කෝපි කෝප්ප බාගය අඟලට මැන දුන් නමුත් ඔවුන්ට ඕනෑතරම් වෙලාවක් ඒ වීදුරුව වෙත ඇලී ගැලී සිටීමට ඉඩ ලැබුණි.

දවස පුරාම විශාල හෝටලය ඉදිරිපස හිඟමන් ඉල්ලා බැගෑපත් වන අන්ධ හිඟන්නා දවස අවසානයේ තමන්ගේ ඉපයීම් වලින් කොටසක් රාමා වෙත ගෙනැවිත් දී කෑම බීම ඉල්ලා සිටියේය. තණකොළ විකුණන ගැහැණුන් ද මෙසේ පැමිණි ගනුදෙනුකරුවන් අතර විය. ඔවුන් පැමිණියේ තම හිස් මත තබාගෙන උන් තණකොළ මිටි සාර්ථකව විකුණා අවසන් වූ පසු ය. ඔවුන්ගේ උස් කරච්චල් කටහඬ ඔහුට නොරිස්සුම්සහගත වූ අතර ඔවුන්ට කෑම ලබාදීමට ඔහු ප්‍රිය කළේ නැත. නොන්ඩියක් සහිතව ඇවිදින කපටි මිනිසාත් දිනපතා ඔහු වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් අතර විය. හැම ආහාර වර්ගයක්ම එක් කර සැකසූ පාර්සලයක් මිළදීගන්නා ඔහු, එය පාරෙන් අනෙත් පස පදික වේදිකාවේ ගසක් යට සිටගෙන සිටින වෛශ්‍යාවක් වැනි ගැහැනියක් වෙත ගෙන ගියේ ය.

මේ පෙදෙසේ ගැහැනුන් සහ මිනිසුන් විවිධ රැකියා කර උපයාගත් කාසි සියල්ලම දවස අවසානයේදී පැමිණියේ රාමා වෙතටයි. මේ මුදල ඔහු කුඩා රෙදි මල්ලක බහා තම කමිසය යටින් බෙල්ලේ එල්ලාගෙන සිටියේය. සිනමා හලේ රාත්‍රී විකාශය ඇරඹී, එහි යන හැම කෙනෙකුම චිත්‍රපටිය බලද්දී කන්නට දෙයක් මිළදී ගත් බවට සැක හැරගත් පසු ඔහු තම නිවස බලා පිටත් වේ.

ඔහු ජීවත් වූයේ සති පොළ පසුපස වූ දෙවන වීදියේ ය. ඔහුට ඇතුළු වන්නට බිරිඳ දොර විවර කළ විට ඒ නිවසේ නිරතුරුව දැනුණු දැවුණු තෙල් පුසුඹ රාත්‍රී අවකාශයට එක් විය. ඇය ඔහු අත වූ බඩු මුට්ටු ඩැහැගෙන, ඔහුගේ කමිසය යටින් අත යවා රෙදි මල්ල ඉවතට ඇද වහා වහා එහි වූ මුදල ගණන් කළා ය. ඉනික්බිති එළඹුණේ ඔවුන් ඒ මුදල ගැන උදම්වන වෙලාවයි. “උදේ ආයෝජනය කළ රුපියල් පහට දැන් තව රුපියල් පහක් ලැබිලා..” ගණිතයේ ගුණකිරීම නම් විශිෂ්ඨ මායා බලැති ක්‍රියාව ගැන ඔවුහු මෙනෙහි කළහ. පසුදින ආයෝජනය සඳහා සෑහෙන මුදල නැවතත් රෙදි මල්ලට දැමූ ඈ, ප්‍රවේසමෙන් ලාභය වෙන් කර, වසර ගණනකට පෙර තමන් විවාහ වී මෙහි එද්දී ගෙන ආ කුඩා ලී පෙට්ටියක එය බහාලූවාය.

රාත්‍රී ආහාරයෙන් පසු රාමා බුලත් කොළයක් සහ දුම්කොළ කැබැල්ලක් හක්කට තද කරගෙන නිවසේ බරාඳයට ගොස් නින්දට වැටුණි. ඔහු සිහිනයෙන් දුටුවේ තමන්ට පදික වේදිකාවෙන් ඉවත් වන්නැයි ගෝරනාඩු කරන පොලිස් කොස්තාපල්වරුන් සහ තමන් විවිධ ලෙඩ රෝග පතුරවමින් නගරයේ ජනගහනය අඩු කරන බව චෝදනා කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ය. නමුත් වාසනාවකට මෙන් සැබෑ ජීවිතයේදී නම් කිසිවෙකු ඔහුට මෙවැනි බරපතල කරදරයක් කළේ නැත. තම සේවා මුරය අවසන් ව එතැනින් නිවස බලා යන පොලිස් කොස්තාපල් ට සහ සෞඛ්‍ය පරීක්ෂක කන්තෝරුවේ සේවකයාට ඉඳහිට කෑම පාර්සල දෙන්නට ඔහු අමතක කළේ නැත.

සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණි වෙලාවට නම් “මේ කෑම ඔක්කොම වීදුරු පෙට්ටියක දාලා නොවික්කොත් මට දවසක ඒවා විනාශ කරන්න වෙයි, බලාගෙන!” යැයි කීවත් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ බැවින් ඉන් ඔබ්බට ඒ කාරණය ගැන එළවූයේ නැත. නමුත් ඔහු තනිවම නම් ඒ ගැන බොහෝ කලපනා කර තිබිණි. “මේ මිනිස්සු මේවා කාලා කොහොම ජීවතුන් අතර ඉන්නවද කියලා මට නම් හිතාගන්න බැහැ. එක පැත්තකින් දූවිලි, අනෙත් පැත්තෙන් කුණු කානුව- සමහර විට මේවා කාලා කාලාම මිනිස්සුනට මේ වස විස වලට ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා ඇති.” පිරිසිදුබවේ සහ සනීපාරාක්ෂාවේ මූලික නීති මාලාව රාමා අතින් උල්ලංඝනය වූ බවට සැකයක් නැතත් ඔහුගේ ගනුදෙනුකරුවන් වසර ගණනක් තිස්සේ කිසිම ගැටළුවක් රහිතව ඒ ආහාර අනුභව කර නොමැරී බේරුණා පමණක් නොව යහතින් වැජඹුණු බවක් ද පෙනුණි.

රාමාගේ ජීවිතය කිසිදු සෝ සන්තාපයක් රහිතව ගෙවුණු ඉතා තෘප්තිකර එකක් බව කිව හැක. තමන්ගේ මහන්සියෙන් පමණක්ම තම ජීවිකාව කළ බව ඔප්පු කළ මේ මනුෂ්‍යයාගේ ජීවිතය, විශ්වය ඝනීබහවනය වී විනාශ වන තුරුම නොවෙනස් ව පැවතීමට ඉඩ තිබිණි. ඔහුගේ වෙළඳාමත් මුදල් සෙවීමත් නිසා කිසිවෙකුට හානියක් නොවූ අතර, ඔහුගේ ආහාර අනුභවයෙන් වැඩිදෙනෙකු මිය ගොස් තිබුණේ නැත. නගරසභාවේ අවිචාරවත් කටයුතු වල ප්‍රතිපලයක් ලෙස ඇතිවන හදිසි අනතුරුත් ඔහුගේ කෑම බීම සැපයීම නිසා ඇති වූ ඒවාත් අතර වැඩි වෙනසක් තිබුණේ නැත.

නමුත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේදී සදාකාලිකව මෙවැනි සුරක්ෂිතබවක් ළඟා කරගැනීම දුෂ්කර ය. වැඩියෙන් සන්තුෂ්ඨිය ඇති තැන් දකින දෙවිවරු ඒ ගැන කෝප ගෙන හදිසියේම තම නොපහන් බව පෙන්වති. දිනක් රාමා සුපුරුදු ලෙස තම වීදි කොණ වෙත පැමිණි විට එහි සෙනඟ රැස් ව සිටින බවක් දුටුවේය. “කරුණාකරලා අයින් වෙලා ඉඩදෙන්න” ඔහු ආඥාත්මක හඬින් කීවද කිසිවෙකු එය ගණන් ගත්තේ නැත.

“හවස ඉඳන් කට්ටිය මොකක්දෝ දෙයකට රණ්ඩු වෙනවා!” ලිපිද්‍රව්‍ය වෙළඳසැලේ කුඩා කොලුවා රාමාගේ කමිස අතින් ඇද කීවේය.

“මොනවටද?” ඔහු ඇසුවේය.

“මොනවට හරි…” කොලුවා කීවේය. “මිනිස්සු කියනවා වෙළඳ බදු කන්තෝරුව ළඟ මොකක්ද ඡන්දයක් ගැන පත්‍රිකා බෙදුව කෙනෙකුට පිහියෙන් ඇනලා ලු. කාගේ හරි කෝන්තරයක් වෙන්නත් පුළුවන්. අපිට මොකද? රණ්ඩු වෙන්න ඕන කෙනෙක් රණ්ඩුවුන දෙන්!”

“තමුසේ කවුද අපි ගැන එහෙම කියන්න?” මෙය ඇසුණු කෙනෙක් කීවේය.

හැම දෙනාම ඔහු දෙස නොමනාපයෙන් බලන්නට විය. “මනුස්සයෙකුට කතාකරන්නවත් බැරිද දැන්..?” රැස්ව සිටි පිරිසෙන් අයෙක් කීවේය. එය අසා ඔහු අසල සිටි අයෙක් ඔහුට අතුල් පහරක් එල්ල කළේය. රාමා තම බඩු මුට්ටු එල්ලාගෙන අසරණව වටපිට බලමින් පසුවිය. මේ අතුල් පහර සේව නූලක් ඇවිලුවා සේ විය. නොබෝ වෙලාවකින් එතැන රැස්ව සිටි උන් ගුටි ඇන ගනු පෙනුණි.

“පවතින ක්‍රමය භංග වේවා!” කවුරු හෝ කෑ ගැසීය.

“අපි හිතුවා වගේම අපිව යටත් කරන්න මේ හැම දෙයක්ම කළින් සැලසුම් කළ, සංවිධානය කළ දේවල්..” තවත් පැත්තකින් ඇසුණි.

මිනිස්සු කෑ ගැසූහ, සෝඩා බෝතල ප්‍රහාර එල්ල විය, හැම කෙනෙකුම තව කෙනෙකුට පහර දෙන බවක් පෙනුණි. වීදියේ වූ කඩ වෙත කඩා වැදුණු පිරිසක් ඒවා වසා දමන්නට අණ කරනු පෙනුණි.

“ඇයි අපි වහන්න ඕන?” කඩහිමියෝ විමසූහ.

“මේ තරම් දෙයක් වෙද්දී තමුසෙලාට බිස්නස් කරන්න හිත හදාගන්න පුළුවන් ද?”

ශිෂ්ඨ සමාජයේ සීමා මායිම් හදිසියේ අතැර දමන ලද බවක් පෙනුණි. හැම කෙනෙක්ම තව කෙනෙකු හා කේන්තියෙන් පසු වූහ. පැයක් යද්දී වටපිට යුධ පිටියක් බවට පත්විය. ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් පැමිණියත් ඉන් තත්ත්වය තවත් නරක අතට හැරුණේ සටනට තවත් පාර්ශවයක් එක් වූ බැවිණි. නීතිය හා සාමය රැකීමටත්, තමන්වම ආරක්ෂා කර ගැනීමටත්, තුවාල වූ බවට සැලකෙන අයව රැකීමටත් පොලිසියට තුන් ආකාරයක රාජකාරියක් විය. වසා නොදැමූ කඩ සාප්පු මංකොල්ලකා තිබිණි.

එක්වරම සිනමා ශාලාවේ දර්ශනවාරය අවසන් වී මහා ජනකායක් මාවතට ඉහිරුණි. මොවුන් ද මේ ගැටුමේ විවිධ තැන් වලට එක් වූහ. පිහි අතින් ගත් මිනිස්සු ඒ මේ අත දිවූ අතර ලේ පෙරා ගත් අය කෙඳිරි ගාමින්, කෑ ගසමින් විය. ගිලන් රථ තැන තැන දක්නට ලැබිණි. පොලීසිය මුලදී පොලු වලින් පහර දීමත්, කඳුළු ගෑස් ප්‍රහාරත් සිදු කළ අතර අන්තිමේදී පිරිස වෙත වෙඩි තබන්නට විය. බොහෝ දෙනා මරණයට පත්විය. තුවාල ලත් සංඛ්‍යාව තුන්දහසට වැඩි බවට මිනිසුන් අතර කතාවක් පැතිරුණද, නිල ආරංචි මාර්ග කියා සිටියේ තුවාල ලැබුවේ පස් දෙනෙකු පමණක් බවත් මරණයට පත් වූ සංඛ්‍යාව හතරකුත් කාලක් බවත් ය. මැදියම් රැයේදී රාමා තමන් සැඟව සිටි බෝක්කුවෙන් පිටතට පැමිණ නිවස බලා ගියේ ය.

“අද මම වෙනදා ගෙනියන ප්‍රමාණ ගෙනියන්නේ නැහැ, අද වැඩි සෙනඟක් ඉඳී කියලා මම හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොන යකෙක් වැහුණාද කියලා දෙවියෝ තමයි දන්නේ! ඡන්ද කීපයක් වෙනුවෙන් උන් එකිනෙකාව මරාගන්න ලෑස්තියි…” ඊට පසු දින රාමා සිය බිරිඳ ට කීවේය. ඔහුගේ අනුමානය නිවැරදි විය. එදින සති පොළ වීදියේ සාමාන්‍ය ජනතාවට වඩා පොලිස් නිලධාරීන් දක්නට වූ අතර ඔහුගේ සුපුරුදු වීදි කොණ තදින් රැකවල් ලා තිබිණි. පොලිස්කරුවෙකු පෙන්වූ ඉන් ඈත තැනක ඔහුට තම වෙළඳාම කරන්නට සිදු විය.

කෝලාහලයේදී සිදු වූ වෙඩි තැබීම් සාධාරණ ද යන වග සහ මින් මතු මෙවැන්නක් සිදුවීම වළක්වන්නට පොලිසිය ගත් පියවර යනාදී දේ ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සියලුම පුවත්පත් ඝෝෂා කරන්නට පටන් ගෙන දින දහයක් පමණ ගතවෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. තමන් ඉදිරිපිට නූතන ඉතිහාසය දිගහැරෙන ආකාරය පුවත්පත් විකුණන කොලුවන්ගේ සිරස්තල කෑ ගැසීම් ඔස්සේ නිරීක්ෂණය කළ රාමා, ටික දවසක් ගතවෙද්දී නැවතත් තමන්ගේ සුපුරුදු වීදි කොණ වෙත යන්නට උත්සාහ කළේය. ඔහු එහි තම බන්දේසිය සූදානම් කර බංකුවේ අසුන් ගත් සැණින් නිල පදක්කම් පැළඳු තරුණයන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණියහ.

“මෙතැන වෙළඳාම් කරන්න බැහැ.”

“ඇයි බැරි සර්?”

“මෙතැන තමයි එදා අපේ නායකයා තුවාල ලැබූ ශුද්ධ වූ තැන. පොලිසියේ උන් මෙතැනදී තමයි එයාගේ හදවතට තුවක්කු එල්ල කළේ. අපි මෙතැන එයා වෙනුවෙන් ස්මාරකයක් හදනවා. දැන් මේක අපේ තැන. නගර සභාවෙන් අපට මෙතැන දුන්නා.”

නොබෝ දිනකින් මේ වීදි කොණ ලණු ඇද වෙන්කර දැමුණු අතර එහි නිතරම කිසියම් පිරිසක් රැස්ව සිටි බව පෙනුණි. ආධාර සඳහා කැට සෙලවීමත්, ඒවාට මිනිසුන් මුදල් දැමීමත් සිදුවිය. එතැන මුදල් ආකර්ෂණය අතින් කෙතරම් බලගතු ද යන වග රාමා නම් හොඳින් දැන සිටියේය. ගලින් තැනු ස්මාරකයක් ඉදි කිරීමට මුදල් එකතු වූ අතර ඊට අලංකාර වැටක් සහ මල් පෝච්චි එකතු වූ පසු ඒ වීදි කොන සම්පුර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත්තේය.

බරපතල, සැර පරුෂ පෙනුමෙන් යුත් විවිධ පුද්ගලයෝ මෙතැනට පැමිණ නිතරම කතා බහේ යෙදී සිටියහ. මෙතැන සිට මීටර් දෙසීයක් තරම් දුර, වීදියේ මැද තැනකට රාමා ට විතැන් වීමට සිදුවිය. මේ නිසා ඔහුගේ ගනුදෙනුකරුවන්ට ඔහු ව එකවර නොපෙනුණි. සිනමා ශාලාවෙන් පිටතට එන්නෝ වෙනත් පැති වලට ඇදී ගියහ. රථවාහන පොලිස් නිලධාරියාගේ මඳ ඉවසීමෙන් ප්‍රයෝජන ගෙන තම රිය පාරේම නවතා යමක් මිළදී ගැනීමට දිව ආ අස් රිය රියැදුරන්ට මෙතරම් දුරක් ඒම දුෂ්කර විය. පෙරදී රාමා ඒ වීදි කොණෙහි නොමැති වෙලාවට එතැන අයිති කරගෙන සිටි කෙසඟ තරුණයා පාරෙන් අනෙත් පස විය. සපත්තු මදින කොලුවන් ඔහු වෙත යමින් සිටි අතර ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙමින් තිබිණි.

කොයිතරම් අඩුවෙන් කෑම වර්ග සැකසුවත් හැම දිනකම බොහෝ කෑම ඉතිරි වී ආපසු නිවසට ගෙන යාමට රාමාට සිදු විය. මින් කොටසක් ඔවුහු ආහාරයට ගත් අතර බිරිඳගේ උපදෙස් මත ඉතිරිය රත් කර ඔහු පසු දින නැවතත් විකිණීමට ගෙන ආවේය. මේවා ආහාරයට ගත් කීප දෙනෙක් ඔක්කාර කර රාමාගේ කෑම දැන් පෙර සේ රසවත් නොමැති බවට කතාවක් පැතිරවූහ. දිනක් අන්නා දෙකක් පමණක් රෙදි මල්ලේ ඇතිව නිවසට ගිය ඔහු නිවසේ බරාඳයේ හිඳ තම බිරිඳට මේසේ නිවේදනය කළේය.

“මම හිතන්නේ දැන් අපේ ව්‍යාපාරය අසාර්ථකයි. අපි මීට පස්සේ ඒ ගැන හිතන්නේ නැතිව ඉමු.”

තම භාජනත්, බන්දේසියත්, ලාම්පුවත් පසෙකට දැමූ රාමා විශ්‍රාම සුවයෙන් ජීවිතයේ ඉතිරි ටික ගෙවන්නට සූදානම් වූයේය. ටික කලකින් තම ඉතුරුම් අවසන් වූ පසු ඔහු නිතරම ශබ්ද විකාශන යන්ත්‍ර ඝෝෂාවෙන් යුක්ත වූ කෝහිනුර් නම් ආපානශාලාවක රැකියාවක් ලබාගැනීමට කටයුතු කළේ ය. එහි ඔහු මසකට රුපියල් විස්සක් ඉපයීම වෙනුවෙන් දවසට පැය අටක් වේටර් රැකියාව කළේය. කොහෙන්දෝ නිරතුරුව ඇසුණු රේඩියෝ හඬ නොරිස්සුවත්, දවස පුරාම ගනුදෙනුකරුවන් යන එන එතැන රැකියාවේ ඔහු රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. කිසියම් ගනුදෙනුකරුවෙක් ඔහුට ගරු සරු නොමැතිව කතා කළහොත් ඔහු මෙසේ කියනු ඇසේ.

“පරෙස්සමෙන් කතාකරන්න සහෝදරයා, ඉස්සර කාලෙක මාත් හෝටලයක අයිතිකාරයෙක්!”

මේ කුඩා ස්මරණයෙන් රාමා මහත් තෘප්තියක් ලැබූ බවක් පෙනුණි.

Translation of the short story ‘The Martyr’s Corner’ by R. K Narayan

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *