විඩාපත් සිරුරු ගලවාගන්න

මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන
සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන
සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන
විඩාපත් සිරුරු ගලවාගන්න
ඉටිපහන් එළිය මැද
සුප් බඳුනකට කැරට් හදවත් කපන
අහඹු චුම්භන කොපුලතක අලවන
පෙම්භරිත සැඳෑවක්
පෑල දොර විවරකර ගෙට ගන්න
බැල්කනියෙ කෙලවරක තුරුලුව
තරුවලින් වෑස්සෙන ඇත්තටම ඇත්ත එළි
තරු දෙනෙතකින් උර උරා බොන්න
තුංග මැදුරක හිසක – ඇස්බැස්ටෝස් කෙසක
දැවටි දැවටී පැමිණි හුළඟක් සිපගන්න
කණමැදිරි රෑ බදුළු එළියෙන්
අතීතෙක ශේෂ පැල්ලම් සුඹුළු දැකගන්න
ස්මාර්ට් එළි සැණෙලි මගහැර
මාවුලාවක හිස ඔබා නෙත් පියවන්න
මා ඔබේ උරබාහු මැද්දේ සඟවන්න
වෙහෙස වන්නා වූද,
බර උසුලනා වූද
සියල්ලන්ටම සහනයක් දෙන්න
අප කෙරෙහි අනුකම්පාව වගුරුවා
අදත් තෙකලාව අත්හිටුවන්න
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )
බස්සී ගේ නවාතැන බ්ලොග් අඩවියෙන්
https://bassigenawathana.blogspot.com/
නොනවතින

රෑ මැදියමට පැය තුනයි
ඉර තාමත් උඩ වැඩ
දහඩිය පෙඟුණු පුටුවක
කැරකෙමි එක තැනක අපි වැඩ
විටෙක දුරබනුව නද දෙයි
ඒ තව ‘ටාස්කයක්’ එන හඬ
ලිස්ට් එක නම් එහෙමමයි
ඕටී නැතිවමත් අපි වැඩ
මීටිම් කැලැන්ඩර් පුරවයි
හොය හොයා ඉඩකඩ
ලන්ච් ප්ලෑනින් කැචප් දැම්මයි
කන්නත් වෙලාවක් නැති හැඩ
ඇස් කෙවෙණි තදට කකියයි
මොනිටරේ දිස්නයට තද
ජනේලෙන් එළිය බැලිමි මඳකට
හිටියා කුරුල්ලෙක් පොඩි හරි හැඩ
නාඩියා නාඩිරත්න
නාඩියාගේ නාඩි බ්ලොග් අඩවියෙන්
https://naadiyaonline.blogspot.com/
ඉතින් ආයෙම.. සිනහවෙන්..

නොරිස්සුම් දහසකි
සිනහවන් අල්පයකි...
කරන්ට්ටෙක යයි ටැංකියට වතුර ගහන්න
කීපාරක් කිව්වද ඔයාට කෝ ඇහුවද
පොඩ්ඩව ටිකක් බලාගන්න
තුවාල කරගනියි කිව්වට ඇහුවද
මේ ලයිට් බිල.. ගෙවල නෑනෙ
බලන්න මේ ඇඳුම්
ඇදල දාපු තැන්වලම
සපත්තු තැන තැන...
කියෙව්වට වැඩක් නෑ නිතරම
කෝ මහලොකුවට ඔය ලියන එව්ව
ගෙදර වැඩක් කලානම් මොකද
මටම පුලුවන්ද ඉවසන්න මේ හැටි
මං යනව යන්න ගෙදර
බලමුකො කරන හැටි...
නොමනාපකම්ය විසිවෙන
කොස්සටත් හසුනොවෙන
ගෙයි අදුරුම අහුකොන් වලට
දුක්ඛයන්මය නිතරම එබෙන
හිත් රිදවුම් ම ය නැඟෙන...
ළිඳෙන් ඇදල නාවන්ඩද
ඇඳුම් ටිකත් හෙමීට හෝදමු ඉතිං
හවස යංකො ටවුම පැත්තෙ
නැත්තං පොඩ්ඩ එක්ක ෆිල්ම් එකක් බලන්න
එන ගමං මොනාහරි කාලම එමු
එහෙම හොදයි නේද..
ම්ම්ම්ම්....
අයිස්ක්‍රීම් එක්කුත් ඕන
පොඩ්ඩ කැමතිම චොක්ලට් එව්වට..
මහේෂ් රත්නායක
අවන්හල බ්ලොග් අඩවියෙන්
https://awanhala.blogspot.com/
මරදානට පායන සඳ

මරදානට පායන සඳ
ලස්සනදැයි කියන්න
මා නොදකින ඒ පුරසඳ
ඔබට හැකිය දකින්න
අදුරු ලලා වහිනා කල
මහරගමම තෙමෙන්න
බැරියර් යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
රාළාමිල අත වනාවී
එපා අහක බලන්න
කෝවිඩ් මතකය ගුලි කර
බේරෙ වැවට දමන්න
චාමිල, හැලපෙල, ඉවාන්ල
ඉන්නවදැයි බලන්න
පරණ පෝස්ට් කියවන කොට
තනි ඇහැට ඇඩුනා කියන්න
අල්ලපු වත්තටත් අපේ
ඩෙල්ටා ආව කියන්න
අපේ ගමට පායන හඳ
හැකි වෙයිද ආයෙ දකින්න
උම්බලකඩ වඩේ එකක්
ඉස්සො වඩේ හපන්න
ඩොංගා කාලා ලොකට් කියන
පලතුරු රස බලන්න
උගුරැස්ස, දිවුල්, වැල වරකා
හරකා වගේ ගිලින්න
ආයෙත් ඉස්සර වාගේ
චෑන්ස් එකක් ලැබෙන්න
හවුස් බස්තියන්
බකමුණු කතා බ්ලොග් අඩවියෙන්
https://frozenlazyowl.blogspot.com/
'සතුටින්ද?'

විලෝ අතු අගිස්සක්
එබී නිල් විල් තලට
'සතුටින්ද?' සෙමෙන් මුමුණා අසයි
නිහඬවම දිය රළක් දුර ඇදෙයි
සුළං රැළකට හසුව
ගිලිහි ගිය තුරු පතින්
'රිදුණා ද?' ගසක් රහසේ අසයි
කඳුළු බිඳු තණ පලස මත වැටෙයි
අතරමං සඳ රැසක්
කුමුදකට ලං වෙමින්
'නාඬන්න' කොඳුරමින් සිපගනියි
මුළු රැයම හුස්මකින් සසල වෙයි
හෙල්මලී ගුණතිලක - Hot Chocolate days