මිසිසාගා පන්සලට අළුතින් එකතු වෙන  සෑරදුන් සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන ඔබ නොඇසූ පසුබිම් කතාව 

 2025 මැයි මස 31 වන සෙනසුරාදා උදෑසන දී කැනඩාවේ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානය එහෙමත් නැත්නම් කැනඩාවේ අපි පොදුවේ භාවිතා කරන “ මිසිසාගා පන්සලට”  අඩුපාඩුවක්ව පැවති දාගැබ සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත උද්‍යානයක් විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙනවා.රූපණ මාධ්‍ය ජාලයේ අපි එම උත්සවයේ  අදියර තුනම දවස පුරා සජීවී ලෙස යූටියුබ් සහ මුහුණු පොත් අවකාශය හරහා ඔබ වෙත විකාශය කරනවා. මේ ලිපිය ලියැවෙන්නේ ඒ මහා කාර්යභාරය පිටුපස තිබෙන පසුබිම් කතාව ඔබ වෙත ගෙන එන්නටයි.  තිරයෙන් පිටුපස සිට ටොරොන්ටෝව  අවට සමාජයටත්,  විශේෂයෙන්ම ඉතා විශාල පිරිසකට මව්බිමෙන් බැහැරව සිටිනා විට දැනෙන කාන්සිය නොදැනෙන ලෙසින් අඩුපාඩු පිරිමසාලමින් මේ මහඟු පින්බිමේ සියලු මෙහෙයුම් කටයුතු කරන විහාරාධිපති ශාස්ත්‍රපති කුළුගම්මන  ධම්මාවාස හිමියන් මාධ්‍ය සංවාද ඇතුළු ප්‍රචාරක කටයුතුවලට සහභාගි නොවන බැවින්  මේ ලිපිය ලියැවෙන්නේ මේ ව්‍යාපෘතියේ උපදේශක සුගත් එදිරිසිංහ මහතා සමග කෙරුණු සංවාදයක් ඇසුරින්.

පොදුවේ කවුරුත් කතා කරන මිසිසාගා පන්සල කුඩා තට්ටු නිවාසයකින් පටන්ගෙන  අද පවතින මේ ස්ථානයේ විශාල ආගමික සහ ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙසින් ස්ථාපිත වුණේ දෙදහස් දහය අවුරුද්දේදී (2010).විහාර මන්දිරයක්,  කුඩා සංඝාවාසයක් මූලික කරගෙන  කටයුතු කරගෙන යද්දී එහි තිබුණු ඉඩකඩ පහසුකම් නිසා බෞද්ධ විහාරස්ථානයකදී බැතිමතුන්ට ලබාගත හැකි සම්පූර්ණ ආගමික ආස්වාදය ලබන්නට ඉඩක් තිබුණේ නැහැ. ජනගහනය පිරුණු නගරයක අළුතින් ඉඩක් සෙවීම හෝ මේ මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම ලෙහෙසි පහසු කාරණයක් වුණෙත් නැහැ . විහාරස්ථානය  තිබෙන කවත්‍රා  පාරේ අංක 3133 ( 3133 Cawthra Rd, Mississauga, ON L5A 2X4) දරන ඉඩම දෙපසින් තිබුණු නිවාස දෙක කොයි වෙලේ හෝ හිස් වේවි කියන අදහස බොහෝ දෙනෙකුගේ හිත තුළ තිබුණත් ඒ සඳහා දරන්නට වන බරපැන ගැන ගැටලු තිබුණේ දැනට පන්සල පවතින ඉඩකඩට උකස් වාරික ගෙවන්නෙත් දායකයින්ම නිසා.  කොහොම හරි එක පැත්තක තිබුණු නිවසක් නිවාස ඉදිකිරීමේ ආයතනයක් වැඩි මිලකට මිලදී ගත් නිසා ඒ අවස්ථාව මගහැරුණා. දෙවැනි අවස්ථාව වුණේ අනික් පසින් ඉතිරිව වෛද්‍ය සායනය සහිත නිවසයි.අවසානයේදී මහත් පරිශ්‍රමයකින් පසු ඒ පැරැණි නිවස තිබුණු ඉඩම මිලදී ගන්නට දායක පිරිසට ඉඩක් ලැබුණා.

ඒ අළුත් ඉඩමේ අංග සම්පූර්ණ විහාරස්ථානයක අත්දැකීම ලබාදෙන ආකාරය ගැන ධම්මාවාස ලොකු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් විවිධ සැලසුම් පිළිබඳව කතාබහ කෙරුණා. ඒ  සඳහා වැය වන අතිවිශාල මුදල ගැන කතාබහ කෙරුණේ වරක් දෙවරක් නොවේ. අවසානයේදී නායක හාමුදුරුවෝ කිවුවේ " අපි මේ වැඩේ කොහොම හරි කරමු " කියලා. 

ශ්‍රී ලංකාවට ආවේණික බෞද්ධ විහාරයක පෙනුම ලබා දෙමින් විහාර මන්දිරයක් සැලසුම් කළ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී  සම්පත් පෙත්තාවඩු ට සැලසුම් කිහිපයක් ඉදිරිපත් කරන්නට යෝජනා වුණා. සම්පත් බොහොම සතුටින් අදහස් කිහිපයක්ම ඉදිරිපත් කළා .ශ්‍රී ලාංකික බෞද්ධ ගොඩනැගිලිවල තිබෙන සියලු ගෘහ නිර්මාණ ශිල්පී අංග ඇතුළත් අලංකාර සැලසුම් ඒ අතර තිබුනා. කැනඩාවේ වෙනස් වන දේශගුණික තත්වයන් හමුවේ බෝධියක් පවත්වාගෙන යාමේ අපහසුතාවය නිසා බෝධි අංකුරයක් හැර විහාරස්ථානයකට අවශ්‍ය වන දාගැබක්,  බුදුපිළිමයක් , සිත නිවන පරිසරයක් ඇති උද්‍යානයක් එළිමහනේ ඉදී කරන්නට සැලසුම් කෙරුණා . වියදම් ගැන සලකා බැලුනා. යළිත් වියදම් සමාලෝචනය කෙරුණා. ඊළඟට ගැටළුව  වුණේ ඒ කැටයම් ගලින් නිර්මාණය කරගන්නේ කොහොමද කියලයි. ශ්‍රී ලංකාවේ  Star Granite  ආයතනයෙන් අදාල ගල් කැටයම් නිර්මාණය කර ගැනීම සඳහා ගිවිසුම් සකස් වුණා. දාගැබේ කොටස් කිහිපයක් ලංකාවේදී නිර්මාණය කරන්නටත් තීරණය කෙරුණා. අසීරුතම කාරණය වුණේ බරින් වැඩි ඒවා නැව් මගින් කැනඩාවට ගෙන්වා ගැනීමයි.

ඊට අමතරව තවත් ගැටළු දෙකක් ඉතිරිව තිබුණා. ඉන් පළමුවැන්න දාගැබේ ගර්භය සකස් කිරීම සඳහා  ලංකාවට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පී පෙනුම ලබාදෙමින් ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා කැනේඩියානු ඉදිකිරීමේ සමාගමක් සොයා ගැනීමයි  අවසානයේදී ඒ සඳහා Fibergel  සමාගම සමග ගිවිසුම්ගත වුණා. දෙවැන්න නිවාස සහිත පරිසරයක් මායිම් වන පරිශ්‍රයක කෙරෙන ඉදිකිරීම්වලදී  මිසිසාගා නගර සභාව මගින් ක්‍රියාත්මක වන නීති රීති.  මුල් සැලසුමේ තිබුණු හිටි පිළිමය සමාධි පිළිමයක් බවට පත්වුණේ උස සීමා ප්‍රශ්න නිසා. දාගැබේ උස පිළිබඳවත් සීමා මායිම් තිබුණා. ඒ වගේම ඉඩමේ ඉදිකිරීම් සීමා සහ පරිසරය තුළනතාවය පවත්වා ගැනීම සඳහා නියමිත ගස් ප්‍රමාණයක් පවත්වා ගැනීම වැනි නියමයන් නගර සභාව විසින් පනවනු ලැබුණා . මෙහි උද්‍යානය  නම් ආයතන 2 ක් මගින් සකස් කෙරුනා. සැලසුම් යථාර්ථයක් වෙන්න දින, සති, මාස, අවුරුදු ගෙවුනේ ඒ දිගු පියවර මැද්දේ මේ ව්‍යාපෘතිය හිරවෙමින් තිබුණු නිසයි.

ලබන සතියේ විවෘත වීමට නියමිත මේ දැකුම්කළු  වටපිටාව පැමිණෙන සියලු දෙනාම බුද්ධානුලම්බන ප්‍රීතියෙන්  ඔප් නංවනු නිසැකයි. මේ හැම දෙයක්ම සිදු වුණේ බොහෝ දෙනකුගේ දහඩිය මහන්සියෙන්. විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලූම ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය මෙයට නොමඳව ලැබුණා. අදහස් ,උපදෙස්, සම්බන්ධතා මත කෙරුණු බොහෝ  සම්බන්ධීකරණ කටයුතු වගේම ස්වාමීන් වහන්සේලා බොහෝ අවස්ථාවලදීම වැඩ කටයුතු කළ අයට තේ පැන් සංග්‍රහ කරමිනුත් කටයුතු කළා.වත්මන් සභාපති රන්ජන් අතුකෝරාල ඇතුළු විහාරස්ථ දායක සභාවේ සියලු දෙනා වගේම විහාරස්ථානයට යන එන බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික කාලය සහ ධනය කැප කරමින් සතියේ දිනවල හවස් වරුවලත්, සති අන්ත වලත්, කැනඩාවේ නිවාඩු දිනවලත් තම ශ්‍රමය මේ විවිධ වැඩකටයුතු වලට දායක කලේ  " අපේ වැඩක්" කියන හැඟීමෙන්.  කවුරුත් ආස කරන සුපුරුදු තේ කෝප්පය එක්ක  හැමෝටම කෑමෙන් වගේම හිනාවෙන් සංග්‍රහ කරන්නටත් ලොකු හාමුදුරුවන් අමතක කළේ නෑ . මිසිසාගා පන්සලේ දියුණුවේ රහසත් එයයි.

ඒ  නිසා ඩොලර් එකක  හෝ මුදලකින් මේ ව්‍යාපෘතියට දායක වූ දායකයන් පිරිසට වගේම කැනඩාවෙ කොතැනක හෝ ජීවත් වන ඕනෑම කෙනෙකුත් පැමිණ වැඳ පුදා  ගන්නටත්, මහත් ආඩම්බරයෙන් කැනඩාවට පැමිණෙන නෑදෑ හිතවතුන් මෙතැනට කැඳවාගෙන එන්නටත් පුළුවන්.සුපුරුදු ආගමික හා ප්‍රජා කටයුතු සමඟින් මිසසාගා විහාරස්ථානය තව තවත් සමාජ මෙහෙවරක් කරාවි. ගිම්හාන කාලයේදී ඔබේ හිතට නිදහසක් ලබන්නට සුදුසු පරිසරයක් මෙහි නිර්මාණය කර තිබෙන නිසා ඔබටත් ඉඩ ලැබුණු මොහොතක මිසිසාගා පන්සලට ගොඩවෙලා මේ අත්දැකීම විදගන්නට කියලා ආරාධනා කරන්න  කැමතියි .

 සටහන - කිසිවෙකුටත් අසාධාරණයක් වෙතැයි යන සිතුවිල්ල මත අත්‍යවශ්‍යම නම් කිහිපයක් පමණක් මෙහි සටහන් කර ඇති අතර  ව්‍යාපෘතියට දායක වූ හැමට මිසිසාගා  වෙස්ට් එන්ඩ් බෞද්ධ  විහාරස්ථානයේ ප්‍රණාමය හිමිවන බව විහාරාධිපති කුළුගම්මන ධම්මාවාස හිමියන් ප්‍රකාශ කර සිටියා.

සේයාරූ - ජනක මොහාන් සහ සුගත් එදිරිසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *