සර්ෆින් ක්‍රීඩාව සුලබව සිදුවන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බිකිණි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් කිරීමට සංචාරකයින්ට ඉඩ නොදෙන්නැයි පොතුවිල් පොලිසිය හෝටල් හිමියන්ට දැනුවත් කර තිබෙනවා.
ඒ, ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්.
පොතුවිල් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවයි.
වාර්ෂිකව අමෙරිකා ඩොලර් බිලියන 4කට වැඩි ආදායමක් හිමි කරදීමට සමත් මෙරට සංචාරක කර්මාන්තය ජාතික ආර්ථිකයට එක් කරන්නේ දැවැන්ත ශක්තියක්.
ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් සුවපහසු ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතර ප්‍රචලිතව පවතින අතර, ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහ විනෝද ක්‍රීඩා ආදිය ද ඊට හේතු වී තිබෙනවා.
විදෙස් සංචාරකයින් වඩාත් ප්‍රිය කරන මෙරට සංචාරක කලාප අතර ආරුගම්බේ මුහුදු තීරය සුවිශේෂී වන්නේ ස්වාභාවික මුහුදු රළ මත කරන සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන්.
ඊටම ආවේණික ක්‍රීඩා උපකරණ මෙන්ම ඇඳුම් ද සර්ෆින් ක්‍රීඩාව සඳහා භාවිත වනවා.
ආරුගම්බේ සංචාරක කලාපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ එහි පැමිණෙන සංචාරකයින්ට පනවා ඇති ආගන්තුක නීති කිහිපයක් හේතුවෙන්. ඒ අනුව එම ප්‍රදේශයේ ගැවසෙන සංචාරකයින්ට බිකිනි සහ සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳීම තහනම් කර ඇති බව වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් පොතුවිල් පොලිසියෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ බිකිනි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් නොකරන ලෙසට දැනුවත් කර ඇති බවයි.