දැයක් පිනවූ මාලිනිය සමුගනී.

හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි රැජින, අභාවප්‍රාප්ත ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය රාජ්‍ය අනුග්‍රහය සහිතව, දහස් ගණනකගේ සෝ සුසුම් මැද මළ හිරු බැසයද්දී පසුගිය (26 වැනිදා) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිය දිවි රඟමඩලට සදහටම සමු දුන්නාය.

සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති ඇය, ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය වන අතර, ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි.

හෙළයේ නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමඟුල් උත්සවය හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබුණි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය (26 වැනිදා) පෙරවරුවේ කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත මහජන ගෞරව සහිතව හරසරින් රැගෙන එන ලදි.ඒ වන විටද ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටියහ.අනතුරුව සවස 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දීම සිදු කෙරිණි.

ඉන් පසු ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම සඳහා ඉදි කළ විශේෂ වේදිකාව වෙත රැගෙන ඒම සිදු කළහ.

පිළිගැනීමේ කතාව සිදු කරන ලද්දේ ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය විසිනි.පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවන ලද්දේ සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කඹුරුගමුවේ වජිර මහා නාහිමියන් විසිනි.

පින් අනුමෝදන් කිරීම කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් සිදු කළේය. සවස 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යෑම සහ පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමා කෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, විදේශීය රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, රංගන ශිල්පීන්, ශිල්පිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් සාහිත්‍යවේදීන්, විවිධ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

දේශීය සිනමාව බිහිකළ විශිෂ්ටතම රූපවේදිනිය ප්‍රතිභා පූර්ණ අග්‍රගණ්‍ය රංගවේදිනිය 78 වසරක් ආයු වැලඳුවද තවත් සියවස් ගණනාවක් සැමදා සැමගේ හදවත් තුළ අමරණීයව නිදන්ගත වනු බව නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *