වසර 58කට පසු ආසියානු ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව ඉතිහාසයට එක් කළ ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 18ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දින 11ක් පුරා පැවති මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුදු 22න් පහළ තරග අංශයෙන් රිදී පදක්කම් 4ක් ද, ලෝකඩ පදක්කම් 11ක් ද, යොවුන් තරග අංශයෙන් එක් රිදි පදක්කමක් ද, ලෝකඩ පදක්කම් 7ක් ද දිනාගත්හ.
තරගාවලියේ අවසන් දිනයේ පැවති අවුරුදු 22න් පහළ අවසන් මහා තරගවලදී පරාජයට පත්වූ යස්මින් උසෙයිත් (කි.ග්‍රෑ.75), හංසනී නායකරත්න (කි.ග්‍රෑ.63), සඳුනිකා නරසිංහ (කි.ග්‍රෑ. 75) සහ නෙත්මි තරූෂිකා (කි.ග්‍රෑ.81) රිදී පදක්කම්වලට හිමිකම් කී අතර, යොවුන් තරග අංශයේ රිදී පදක්කම දිනාගනු ලැබුවේ කි.ග්‍රෑ. 63 බර පන්තියේ අවසන් තරගයෙන් පරාජයට පත්වූ හිරුණි විජේසිංහ විසිනි.
ආසියානු බොක්සිං සම්මේලනය සහ ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සංවිධායකත්වයෙන් හා රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ආසියානු සමස්ත ශූරතාවලියේදී කසකස්තානය රන් පදක්කම් 41ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ආධිපත්‍යය පතුරුවාලීමට සමත් විය