ජනාධිපති අනුර දිසානායක ඡර්මානු ඡනපති හා විදේශ ඇමති හමුවේ.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier)  විසින් පසුගිය  (11) වැනිදා  උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒදින පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙ‍ළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *