
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් බන්ධනාගාරගත කර සිටි සිරකරුවකු අනීතික ආකාරයට බන්ධනාගාරයෙන් නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය පසුගිය (11) වැනිදා නියෝග කළාය.
මෙම සිද්ධියේදී අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කළ යුතුව තිබූ සිරකරුවන් 36 දෙනාට අමතරව එම බන්ධනාගාරයේ තවත් සිරකරුවන් තිදෙනෙකු අනීතික ආකාරයෙන් නිදහස් කර ඇති බවට ද සිදු කරන ලද විමර්ශනවලදී මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ, මෙම සැකකරු මෙම ප්‍රශ්නගත සිද්ධි ජාලයට අදාළ ලේඛන විනාශ කිරීමට සූදානම් බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ සඳහන් කළේය.
‘ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පවතිනවා. ඒ බන්ධනාගාර 28 තුළ තියෙන සිරකරුවන් රජයේ විශේෂ දවස්වලදී නිදහස් කරනු ලබනවා. ඒ දවස් නම් නත්තල්, වෙසක්, සිංහල අවුරුදු උත්සවය, නිදහස් දවස ලෙස කියන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව සිරකරුවන්ට සමාව හිමිවෙනවා. ඒ අනුව මෙම ජනාධිපති පොදු සමාව හිමිවන ආකාරය කොටස් හතරක් යටතේ දක්වා තිබෙනවා.’
‘2025/5/12 නිකුත් කළ ඇති චක්‍රලේඛය අනුව සියලුම සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී කොටස් හතරකට අයත් වෙනවා, ඒවා නම් සැකකරුවන් හට වසරක සිර දඬුවමක් හිමිවී එය අවසන් වීමට සතියක කාලයක් තිබේනම් ඔවුන්ට ජනාධිපති සමාව හිමිවෙනවා. දෙවැනි පිරිස වන්නේ දඩ මුදල් නියම වී එය ගෙවීමට අපහසු වීම හේතුවෙන් සිරගත කර ඇති සිරකරුන්හට ඔවුන්ට ජනාධිපති සමාව යටතේ ගෙවීමට ඇති දඩ මුදල් ශේෂය අහෝසි කරනවා. තුන්වැනි කාණ්ඩය වන්නේ දඩ මුදල් භාගයක් ගෙවා තිබෙනවා නම් ඉතුරු දඩ මුදල් ශේෂය අහෝසි කර සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනවා. හතරවැනි කාණ්ඩය වන්නේ වසර තිහකට අධික කාලයක් බන්ධනාගාර දඬුවම් හිමිවී තිබේ නම් වසර විස්සක් අවසන් කර තිබේ නම් ඉතිරි අවුරුද්දක කාලය ජනාධිපති සමාව යටතේ අහෝසි කරනවා.’
‘ස්වාමීනි මේ ආකාරයටයි ජනාධිපති සමාව හිමිවන්නේ, ස්වාමීනි, දිවයිනේ තිබෙන බන්ධනාගාර 28න් ඒ ඒ බන්ධනාගාර අධිකාරිවරුන් විසින් ජනාධිපති සමාව හිමිවන සිරකරුවන්ගේ ලිස්ට් එක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරනවා. ඒ ලිස්ට් එක තමා එම සැකකරු විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරන්නේ. ඊට පස්සේ මෙම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා.’
‘ස්වාමීනී, පසුගිය වෙසක් දිනයක මේ ආකාරයට 388දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ගොස් තිබෙනවා. ඒ ලැයිස්තුවේ මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළ අතුල තිලකරත්න යන විත්තිකරුගේ නම සඳහන්ව නැහැ.
‘ස්වාමීනි, මෙම විත්තිකරු මහාධිකරණ විනිසුරුතුමා විසින් නියම කළ ලක්ෂ විස්සක දඩ මුදල ගෙවීමට නොහැකි වීම නිසයි වන්දියක් ලෙස මෙලෙස බන්ධනාගාරගත කර තිබෙන්නේ. මෙලෙස ක්‍රියා කිරීම වින්දිතයාට කර තිබෙන අසාධාරණයක්. අධිකරණයේ වරදකරු විනිසුරුතුමා ඇතුළට දාන විත්තිකරු බන්ධනාගාර රජ්ජුරුවන්ගෙන් නිදහස ලබාගෙන එළියට එනවා.’
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් අධිකරණය හමුවේ අනාවරණය කරනු ලැබුවේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් සැකකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකළ ලිපියේ ජනාධිපති පොදු සමාව හිමිවන සිරකරුවන් 37දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබුණද සැකකාර තුෂාර උපුල් දෙණිය මහතා විසින් එම නම් ලැයිස්තුවෙන් එක් සිරකරුවකුගේ නමක් ඉවත් කර සිරකරුවන් 36 දෙනෙකුගේ පමණක් නම් ඇතුළත් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යංශය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇති බවයි.
‘ස්වාමීනී, බන්ධනාගාරයේ නඩුව අහලා තමයි මෙම සිරකරුවන් ජනාධිපති පොදු සමාව ලබාගෙන නිදහස් වෙලා තියෙන්නේ, ඊයේ වනතුරු කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා මෙම සැකකරුට අමතරව තවත් සැකකරුවන් තිදෙනෙක් ජනාධිපති පොදු සමාව යටතේ ඉකුත් වෙසක් පොහොය දින නිදහස් වෙලා තියෙනවා කියලා. ස්වාමීනි, ලංකාවේ සියලු බන්ධනාගාර ගැන අපි විමර්ශනය කරනවා. මොකද, ඔවුන් වෙනම රාජ්‍යයක් හදාගෙන රජ්ජුරුවෝ වගේ තමන්ගේ අභිමතය පරිදි සිරකරුවන්ට සමාව දීලා තියෙනවා.’
‘ස්වාමීනි, වෙසක් පොහොය නිමිත්තෙන් අප්‍රේල් 22 වැනිදා තමා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ යුතු සිරකරුවන් පිළිබඳව ලේඛනය කැඳවා තිබෙන්නේ. මෙම සිද්ධියට අදාළ 5/2 තමා බන්ධනාගාරගත වෙන්නේ. 5/2 බන්ධනාගාරගත වෙන සිරකරු දොළොස් වැනිදා ජනාධිපති පොදු සමාව යටතේ එළියට එනවා.’
‘එම විත්තිකරු ඇතුළේ හිටියනම් කොටස්කරුවන් කොටස් වශයෙන් හරි වින්දිතයන්ට දඩ මුදල් ගෙවන්න තිබුණා, හැබැයි දැන් මෙතැන වින්දිතයන්ටත් වෙලා තියෙන්නේ අසාධාරණයක්. දැන් වින්දිතයන්ට දඩ මුදල් ගෙවන්නේ නැතුව මොහු නිදහස් වෙලා. බන්ධනාගාර අධිකාරිවරුන් අපරාධකරුවන්ට සහන ලබා දෙනවා.’
අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් මහතා අධිකරණයට පවසා සිටියේ, 2024 වසරේ සිට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට තිබූ 388 සිරකරුවන් අතරින් මේ වනවිට 257 සිරකරුවන් නිදහස් කර තිබෙන්නේ වංක ලෙස බවයි.
‘ස්වාමීනි, 2024 වෙද්දී මෙම සිරකරුවන් 388න් 257ක් මේ වනවිට නිදහස් කර තිබෙනවා. මෙම පුද්ගලයන් නිදහස හිමි වූ සැකකරුවන්. ලේඛනගත වෙලා තිබෙන්නේ යොමු අංකවලින් පමණයි. සිරකරුවන්ගේ නමක්, වරදක්, දඬුවමේ ස්වභාවයක් කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මේ සියල්ල වංක ස්වභාවයෙන් තම අභිමතය පරිදි කරපු දේවල්. ඒ ලේඛන කවදහරි ඕනෑ වෙයි කියලා හිතාගෙන තමයි යොමු අංක දාලා මේ විදියට පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේවා මේ රාජ්‍ය ආයතනවල පවත්වාගෙන යන ආකාරයේ ලේඛන නොවෙයි.’
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ, ‘අධිකරණ විනිසුරුවරුන් මඟින් නඩු අසා වරදකරුවන් කර සිරගත කරන සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය තිබිය යුතුයි. එය මම පෞද්ගලිකව මෙම උසාවියේ කියනවා. ස්වාමීනි, මේ ජනාධිපති පොදු සමාව හිමිවන බොහෝ සිරකරුවන් මහේස්ත්‍රාත් අධිකරණවලින් දඬුවම් ලැබූ සිරකරුවන්. මහාධිකරණ සහ සෙසු උසාවිවල ඉන්නේ සුළු පිරිසක්. එතකොට මේ බන්ධනාගාර නිලධාරීන්ට ඒ ඒ ප්‍රදේශවලට අයත් බන්ධනාගාරවල සිටින සිරකරුවන් නිදහස් වීම පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුම්වත් කිරීම කළ හැකියි.’
‘ඒත් මොවුන් එය නොකරන්නේ, තමුන්ගේ ඒකාධිපති ආධිපත්‍යය බන්ධනාගාරය තුළ පවත්වාගෙනයෑමටයි’ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දක්වමින් සැකකරු හට ඇප ලබා දීමට විරුද්ධ විය.
‘ස්වාමීනි මෙම ක්‍රියාවලිය බූවල්ලකුගෙ ක්‍රියාවලියක් වගේ, මහ මොළකරු ඇතුළේ හිටියට ඔහුගේ අඬු වටේම තිබෙනවා. ඔවුන් මීට අදාළ සාක්ෂි විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන්. ස්වාමීනි, මෙම ක්‍රියාවලිය අතිශය භයානක ක්‍රියාවලියක්. කවදා ඉඳන් ද මේ ක්‍රියාවලිය සිදුවන්නේ. මෙය අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක් අවුරුදු දහයක සිට පටන් ගත්ත විමර්ශනය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, මට අද හෙට ඉවර කරන්න බැහැ. අපි යාන්ත්‍රිකයො නෙමෙයිනේ. ඉදිරි නඩු දිනයේදී ඔබතුමිය විස්මයජනක වන නඩු ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමට මම සූදානම්, ඒ නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මම ඉල්ලනවා.’
‘අධිකරණ අමාත්‍යාංශය කියන්නේ රටේ පවතින සුවිශේෂී ආයතනයක්. මේවා රාජ්‍ය ආයතන. මහජන සල්ලිවලින් තමා මේ වගේ නඩත්තු කටයුතු සිදු කරන්නේ. ස්වාමීනි මෙම සිද්ධිය පමණක් නොව ලංකාවම පුරා මීට පෙර ද සිරකරුවන් 68 දෙනෙකු තම අභිමතය පරිදි අදාළ බන්ධනාගාර අධිකාරිවරුන් නිදහස් කර තිබෙනවා. එම බන්ධනාගාර අධිකාරිවරුන් පිළිබඳවත් අපි විමර්ශනය කරලා වාර්තා ඉදිරිපත් කරනවා, සියලු බන්ධනාගාර අධිකාරිවරුන් ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටීම වැදගත්’ යැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සඳහන් කරනු ලැබුවේ මෙවැන්නකි.
‘2025/6/6 පුවත්පත් වාර්තාවක තිබූ දැන්වීමක අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකුට ජනාධිපති සමාව දුන් බව කියන සිද්ධියක් වාර්තා වුණා. අනුරාධපුර මහාධිකරණයේ තිබූ නඩුවකට අදාළ සැකකරු ලක්ෂ විස්සක වන්දියක් නොගෙවන්නේ නම් ඔහුට මාස 6ක සිර දඬුවම් නියම කර තිබුණා. ඉකුත් පොහොය දින ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරු නිදහස් කර තියෙනවා. ස්වාමීනි, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිරකරුවන් 388 යටතට මෙම සැකකරු සඳහන් වන්නේ නැහැ. එසේවීමට හේතුව රජය මඟින් නිකුත් කර තිබූ බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ චක්‍රලේඛයට අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට පවතින බලතල අනුව නම් කරන ලද සිරකරුවන්ට අමතරව නිදහස් වීමට හැකි සිරකරුවන් නිදහස් කිරීමට හැකි බව දන්වා තිබීමයි. නමුත් ස්වාමීනි, එම චක්‍රලේඛයේ කිසියම් සිදුවීමක් සිදුවුවහොත් බන්ධනාගාර අධිකාරිවරයා විසින් නිදහස් කරන ලද සිරකරුවන් පිළිබඳ සියලු වගකීම ලබාගත යුතු බව එහි දක්වා තිබෙනවා. එම කරුණින්ම පැහැදිලි වෙනවා ස්වාමීනි මගේ සේවාදායකයා බන්ධනාගාර කොමසාරිස්වරයා මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව.’
‘ස්වාමීනි, මෙම සිද්ධියට මගේ සේවාදායකයා විතරක් නෙවෙයි, අධිකරණ අමාත්‍යවරයා පවා සැකකරුවෙක් වෙනවා. 388 නම් කරන ලද සිරකරුවන් ලැයිස්තුව ඇතුළත් ලේඛනය අධිකරණ ඇමැතිවරයා හරහා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කිරීම සිදුවන නිසා, 2025/6/7 වැනි දින බෝගම්බර බන්ධනාගාරයට ලිපියක් යවලා තියෙනවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්න කියාලා’
‘ස්වාමීනි, මගේ සේවාදායකයා මෙම ක්‍රියාවට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැහැ. ස්වාමීනි, සාමාන්‍යයෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කර තිබෙනවා. ස්වාමීනී මගේ සේවාදායකයාගේ වැඩ තහනම් කරලා තිබෙන්නේ. එම නිසා ඔහුට විමර්ශනවලට කිසිදු බලපෑමක් සිදු කිරීමට හැකියාවක් නෑ, එමනිසා සුදුසු ඇපයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් මම ඉල්ලනවා’ යනුවෙන් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා තවදුරටත් කරුණු දැක්වීය.