ලංකාවේ විදුලි ගාස්තු වැඩි නොකර ඉන්න බැරිද?

කිසියම් ව්‍යාපාරයක නියැලෙන ආයතන බොහොමක් අපට ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන ලෙස වර්ග කරන්න පුළුවන්. මෙවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම. වෙනත් ඕනෑම අරමුණක් ද්වීතියික අරමුණක්. 

ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන වලට අමතරව ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ලෙස හඳුන්වන ආයතන වර්ගයකුත් තිබෙනවා. නමුත් මේ ආයතන ලාබ නොලබන ආයතන නෙමෙයි. ලාබ නොලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. 

ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ලෙස ආයතනයක් හඳුන්වන්නේ ඒ ආයතනයේ ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම නොවන විටයි. එය වෙනත් කවර හෝ අරමුණක් වෙන්න පුළුවන්. නමුත්, අරමුණ කුමක් වුවත්, අරමුණට යා හැක්කේ ආයතනය පණ පිටින් තිබුණොත් පමණයි. ආයතනයක් පණ පිටින් දිගටම තියාගන්නනම් ලාබ ලබන්නම වෙනවා. ලාබ නොලබන ආයතනයක් වැහී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

රජයට අයත් ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ කොටස් හිමියන් සඳහා ඉහළම ප්‍රතිලාභ ලබා දීම නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවී, වෙන කවර අරමුණකින් ආයතනයක් පවත්වා ගෙන ගියත්, ආයතනයක් එක දිගට පාඩු ලබද්දී ඒ ආයතනය පවත්වා ගෙන යන්න අමාරුයි. 

මෙහිදී ලාබ යන්නෙන් අදහස් වෙන්නේ ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ. ගිණුම්කරණ ලාබ කියන්නේ බොහෝ විට නීතිමය අවශ්‍යතාවයක් වෙනුවෙන් හදන අංකයක් පමණයි. ආයතනයක් ගිණුම්කරණ ලාබ ලැබූ පමණින් ආර්ථික ලාබ ලබන බවක් අදහස් වෙන්නේ නැහැ. නමුත් අවම වශයෙන් ගිණුම්කරණ ලාබ හෝ නැත්නම් එහි ආර්ථික ලාබයක් තිබීමේ ඉඩක් නැති තරම්. 

උදාහරණයකින් පැහැදිලි කළොත්, ස්ථිර තැන්පතු පොලිය හෝ භාණ්ඩාගාර බිල්පත් පොලිය 7%ක්නම්, ප්‍රාග්ධනය හිමි කෙනෙක්ට වැඩි මහන්සියක් නොවී, වැඩි අවදානමක් නොගෙන ඒ 7% ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් කරලා ලාබ ලබන එක ඊට වඩා ගොඩක් අවදානම් කටයුත්තක්. ඒ නිසා, අවම වශයෙන් තමන් යොදවන ප්‍රාග්ධනය වෙනුවෙන් 7%ක්වත් ලැබෙන්නේ නැත්නම් ප්‍රාග්ධනහිමියෙක් ව්‍යාපාරයක තමන්ගේ සල්ලි හිර කරලා තියන්නේ නැහැ. ව්‍යාපාරය යම් ලාබයක් ලැබුවත්, දිගුකාලීනව තමන්ගේ ආයෝජනය වෙනුවෙන් 7%ක්වත් ලැබෙන්නේ නැත්නම් ව්‍යාපාරය වහලා දමන එකයි කරන්නේ. කටුනායක නෙක්ස්ට් කම්හලක් වසා දැමීම මෑතකාලීන උදාහරණයක්.

ආයතනයක් දිගින් දිගටම පාඩු ලබද්දී වුනත් එය දිගටම පවත්වාගෙන යන යම් ව්‍යතිරේඛ තත්ත්වයන් තිබෙනවා. ඇමසන් සමාගම පසුගිය (2024) වසරේ අවසන් කාර්තුවේදී ලෝකයේ වැඩිම ආදායමක් ලැබූ සමාගම. අවුරුද්දම සැලකුවොත් වෝල්මාට් සමාගමෙන් පසුව දෙවැනි තැන. නමුත් 1995දී පටන් ගත් ඇමසන් සමාගම අවුරුදු අටක්ම දිවුවේ පාඩුවට. මුලින්ම ලාබ වාර්තා කළේ 2003දී. එක දිගටම පාඩු ලැබුවත් ඇමසන් ආයතනය අනාගතයේදී ලාබ ලබන බවත්, එවිට පරණ පාඩු සියල්ලටම හරියන්න ලාබ ලැබෙන බවත් එහි කොටස් හිමියන් විසින් විශ්වාස කළා. එය එලෙසම සිදු වුනා. 

අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාරයකට ලාබ ලබන්න යම් කාලයක් යනවා. ඒ වගේම එවැනි ව්‍යාපාරයකට කරන ආයෝජනයක විශාල අවදානමකුත් තිබෙනවා. 

දිවයින පුවත්පත අලෙවි කරන උපාලි පුවත්පත් සමාගම පටන් ගත්තේ 1981දී. උපාලි විජේවර්ධන ඒ වන විට ව්‍යාපාරික දැවැන්තයෙක්. නමුත් පුවත්පත් ව්‍යාපාරය අල්ලාගෙන හිටියේ ලේක්හවුස්, ටයිම්ස් සහ ස්වාධීන පුවත්පත් ආයතන තුන. එම ආයතන විසින් පිළිවෙලින් සිළුමිණ, ලංකාදීප සහ රිවිරැස ඉරිදා පුවත්පත් ප්‍රසිද්ධ කළා. ඔය පත්තර තුන වෙළඳපොළ අල්ලගෙනයි තිබුණේ. 

උපාලි පුවත්පත් සමාගම පිහිටුවලා දිවයින ඉරිදා සංග්‍රහය බැස්සුවේ ඔය වගේ පසුබිමක. මේ විදිහට අලුත් පත්තරයක් බස්සන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් උපාලි සමාගම විශාල මුදලක් වියදම් කළා. එය අවදානම් ආයෝජනයක්. 

පත්තරයේ මුල්ම කලාපය වෙළඳපොළට දමද්දී කොළඹ වගේම පිට පළාත් වල ප්‍රධාන නගර වලත් තාප්ප වැහෙන්න පෝස්ටර් පාරක් ගියා. පත්තරේ ගැහුවේ සම්පූර්ණයෙන්ම පරිගණක අකුරු වලින්. ඒ දවස් වල අනෙක් පත්තර සියල්ලම මුද්‍රණය කළේ පැරණි මුද්‍රණ තාක්ෂනය යොදා ගෙන අච්චු අකුරු වලින්. මුලින්ම ආපු අකුරු ටිකක් අමුතුයි. උදාහරණයක් විදිහට "ස" අකුර තිබුණේ "ය" අකුරට කෑල්ලක් එකතු කරලා.

ඔය කාලයේ පත්තර වෑන් වලින් අලෙවි නියෝජිතයින්ට පත්තර බෙදනවා. පත්තර වෑන් පාන්දරම එනවා. ඇණවුම් අනුව කඩ වලට පත්තර දමන ගමන් ඊළඟ සතියට ඇණවුම් එකතු කරගෙන යනවා. ඔය දවස් වල අනෙක් ප්‍රධාන පත්තර සමාගම් තුනේ තිබුණු සම්මතය අනුව, අලෙවි වුනේ නැත්නම්, ඇණවුම් කළ පත්තර ප්‍රමාණයෙන් 10%ක් ආපහු දෙන්න පුළුවන්. ඊට වඩා පත්තර ඉතිරි වෙලානම් පත්තර නියෝජිතයාට අතින් කයිට්. ඒ පත්තර පරණ පත්තර විදිහට කිලෝ ගාණට විකුණන එක පමණයි කළ හැකිව තිබුණේ.

ඔය විදිහට පත්තර ඉතිරි වීමේ අවදානම නිසා පත්තර නියෝජිතයෝ ඕනෑවට වඩා පත්තර ඇණවුම් කළේ නැහැ. පත්තරයක් එක දිගටම ගන්න කෙනෙක්නම් පත්තර නියෝජිතයාට කලින් කියලයි තියෙන්නේ. පත්තර කඩේට ආපු ගමන්ම ඒ පත්තර ටික වෙන් කරනවා. ඒ නිසා, හදිසියේ තීරණය කරලා ගන්න අයට පත්තර සුළු ප්‍රමාණයක් පමණයි ඉතිරි වෙන්නේ. ඒ ටිකත් ඉක්මණින්ම විකිණෙනවා.

සමහර සති වල පත්තර ඉල්ලුම ඉහළ යනවා. උදාහරණයක් විදිහට රටේ විශේෂ දෙයක් සිදු වූ සතියක. ඒ වගේ දවසක තමන්ට අවශ්‍ය ඉරිදා පත්තරය කඩේ නැත්නම් පත්තරයක් අවශ්‍ය කෙනෙක් බොහෝ විට වෙනත් පත්තරයක් මිල දී ගන්නවා.

හැමදාම ගන්න පත්තරේට ඇබ්බැහි වෙලා ඉන්න අය ගොඩක් වෙලාවට ඒ පත්තරේම හොයනවා මිසක් අලුත් පත්තරයක් ගන්නේ නැහැ. කොටස් වශයෙන් යන කතා, එක දිගට යන සංවාද ආදිය බලන්නනම් හැමදාම ගන්න පත්තරේම ගන්න ඕනෑ. ඒ නිසා, අලුත් පත්තරේකට එක පාරටම ලොකු ඉල්ලුමක් එන්නේ නැහැ.

දිවයින පටන් ගත්ත ගමන්ම අලෙවි නියෝජිතයින්ගෙන් ආපහු ගන්න පත්තර ප්‍රමාණය 25%ක් කළා. දැන් පත්තර නියෝජිතයින්ට ලොකු අවදානමක් නැතුව වැඩිපුර පත්තර ප්‍රමාණයක් ඇණවුම් කරන්න පුළුවන්. පත්තර ඇත්තටම කඩ වල ඉතුරු වුනා. නමුත් මොකක් හෝ පත්තරයක් ගන්න එන කෙනෙක් අනෙක් පත්තර නැත්නම් ඉතුරු වෙලා තියෙන පත්තරේ ගන්න නිසා දිවයින අලෙවිය ටිකෙන් ටික ඉහළ ගියා. ඒ එක්කම දිවයිනට ඇබ්බැහි වූ පිරිසකුත් ගොඩ නැගුණා. ආපහු ගන්න 25% නිසා කාලයක් වැඩිපුරම බඩු එතුනේත් දිවයින පත්තර වල. ඔහොම ටික කාලයක් යද්දී දිවයින ආවේ "දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන ඉරිදා පුවත්පත" ටැග් ලයින් එකකුත් එක්ක. 

අනිවාර්යයයෙන්ම කාලයක් යන තුරු දිවයින ගැහුවේ පාඩුවට. එහිදී වුනේ අනාගත ලාබ දිහා බලාගෙන අවදානම ගැනීමක්. ඇමසන් කොටස්හිමියන් හැසිරුණු විදිහම තමයි. 

ඔය ආසන්න කාලයේදී උපාලි සමාගමෙන් සබන් වර්ග දෙකක් එහෙමත් වෙළඳපොළට දැම්මා. සබන් ඒකාධිකාරය තිබුනේ පසුව යුනිලීවර් වූ ලීවර් බ්‍රදර්ස් සමාගමට. නමුත් සබන් වර්ග දෙකටනම් වෙළඳපොළ අල්ලා ගන්න බැරි වුනා. ගොඩක් ආයෝජකයෝ අනාගත ලාබ ඉලක්ක කරගෙන පාඩුවට ව්‍යාපාර පවත්වා ගෙන යනවා. නමුත් අරමුණ පුළුවන් තරම් ලාබ ලැබීමම තමයි.

වෙනත් හේතු මත පාඩුවට ව්‍යාපාර පවත්වා ගෙන යන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදිහට නීත්‍යනුකූල ලෙසම බදු අඩුවෙන් ගෙවීම සඳහා.

සමහර සමූහ ව්‍යාපාර සතුව සමාගම් දෙතුන් සීයක් තියෙනවා. නමුත් ඔය අතර ප්‍රධාන සමාගම් තියෙන්නේ කීපයක් පමණයි. ඒවා හොඳින් ලාබ ලබන සමාගම්. නමුත් සමූහ ව්‍යාපාරයේ ගොඩක් සමාගම් නමට වගේ තිබෙන කුඩා සමාගම්. ඒවා නඩත්තු වෙන්නේ ප්‍රධාන සමාගම් වල ලාබයෙන් පොම්ප කරන සල්ලි වලින්. බදු අය කරන්නේ සමාගමක ලාබ මත නිසා රජයට බදු සේ ගෙවන මුදලෙන් කොටසක් ලාබ නොලබන සමාගමකට පොම්ප කිරීම මගින් වියදමක් නැතිවම ඒ සමාගම් පවත්වා ගන්න පුළුවන්. හැබැයි අවසාන අරමුණ පුළුවන් තරම් ලාබ ලැබීමම තමයි. මේ විදිහට සල්ලි පොම්ප කිරීමක් වෙන්නේ එකම සංයුතියක කොටස් හිමිකාරත්වය තිබෙන සමාගම් දෙකක් අතරනම්, එයින් කිසිම කොටස්හිමියෙක්ට පාඩුවක් වෙන්නේ නැහැ. 

ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් පවත්වා ගෙන යන්නේ පුළුවන් තරම් ලාබ ලැබීමේ අරමුණින් නෙමෙයි. අඩු වශයෙන් අනාගතයේදී හෝ එවැනි ලාබ ලැබීමේ අරමුණක් එහි නැහැ. නමුත් මෙවැනි ආයතනයක් වුවද, ලාබ නොලබා දිගුකාලීනව පවත්වා ගෙන යා හැක්කේ දිගින් දිගටම පිටින් මුදල් පොම්ප කරන්නේනම් පමණයි.

ලංවිම පාඩු ලබද්දී විදුලි පාරිභෝගිකයාට වාසියක් ලැබෙනවා. එහි බර වැටෙන්නේ බදු ගෙවන්නන් මත. රටේ හැමෝම වගේ විදුලි පාරිභෝගිකයෝ. ඒ වගේම රටේ හැමෝම වගේ යම් ආකාරයක බදු ගෙවන්නෝ. නමුත් සෛද්ධාන්තිකව විදුලි පාරිභෝගිකයා සහ බදු ගෙවන්නා කියන්නේ දෙන්නෙක් මිසක් එක්කෙනෙක් නෙමෙයි. ඊට හේතුව විදුලි පරිභෝජනය හා බදු ගෙවීම සමානුපාතික නොවීමයි.

ලංවිම ආර්ථික ලාබ නොලබනවා කියන්නේ අදාළ පාඩුව රටේ බදු ගෙවන්නට ගෙවන්න සිදු වෙනවා කියන එක. මෙය අනෙකුත් රාජ්‍ය ව්‍යවසාය වලටත් අදාළයි. රජය කියා කියන්නෙත් ආකෘතිමය ලෙස සමූහ ව්‍යාපාරයක් වැනි එකක් කියා සැලකුවත්, එහි එක් තැනක තිබෙන අරමුදල් ලංවිම වැනි තැනකට පොම්ප කිරීම මගින් එවැනි ආයතන දිගටම පවත්වා ගෙන යන්න පුළුවන්. එසේ කිරීම මගින් රජයේ "කොටස්හිමියන්" වන බදු ගෙවන්නට යහපතක් වෙනවානම් එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැහැ. 

ඇත්තටම තියෙන ප්‍රශ්නය බදු ගෙවන්නන්ගේ අරමුදල් රාජ්‍ය ව්‍යවසාය වලට පොම්ප කරන එක නෙමෙයි. එහෙම නොකරන එක. හරියටම කිවුවොත් මූල්‍ය අරමුදල විරුද්ධ වෙන්නේ බදු ගෙවන්නන්ගේ අරමුදල් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වලට පොම්ප "නොකරන" එකට.

මේ කරුණ පැටලිලි සහගත බව මම දන්නවා. පැහැදිලි කරන්නම්.

කුමක් හෝ දේශපාලනික හෝ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා ලංවිම වැනි ආයතනයක් පාඩුවට පවත්වා ගෙන යා යුතුයි කියා අපි හිතමු. එහෙම අවශ්‍යද කියන එක වෙනම සාකච්ඡාවක්. එයටත් මම පසුව පිළිතුරු දෙන්නම්. ආයතනයක් පාඩුවට පවත්වා ගෙන යන්නනම් එහි පිරිවැය කවුරු හෝ විසින් දරන්නම වෙනවා. විදුලි පාරිභෝගිකයාගේ පිරිවැයෙන් කොටසක් බදු ගෙවන්නා විසින් දරනවානම්, බදු ගෙවන්නාගේ අරමුදල් යොදවා රජය විසින් ලංවිම සුබසාධනය කරනවානම්, මූල්‍ය අරමුදල එයට විරුද්ධ වෙන එකක් නැහැ. රාජ්‍ය ප්‍රතිපත්තිය එසේ කිරීම වෙන්න පුළුවන්.

මෙහිදී කළ යුත්තේ රාජ්‍ය අයවැයෙන් ලංවිමට කෙළින්ම මුදල් වෙන් කරන එක. ඒ මුදල බදු ගෙවන්නාගෙන් අය කර ගන්න වෙනවා. රජයෙන් ලැබෙන මුදල ආදායමක් සේ එකතු කළාට පස්සේ ලංවිම පාඩුව නැති වෙනවා. එවිට ලංවිම තව දුරටත් පාඩු ලබන ආයතනයක් නෙමෙයි.

නමුත්, මෙතෙක් කල් වුනෙත්, දැන් වෙන්නෙත් ඒක නෙමෙයි. රාජ්‍ය ආයතන සුබසාධනය කිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එසේ තිබියදී, රාජ්‍ය ආයතන පාඩු ලබනවා. ඒ පාඩු ගිණුම් වල එකතු වෙනවා. යම් සීමාවක් දක්වා ආයතනයකට පාඩු එක්කම දුවන්න පුළුවන්. හිරවෙන තුරුම ඔය වැඩේ කළ හැකියි. නමුත් හිර වුනාට පස්සේ බදු ගෙවන්නන්ගේ මුදල් යොදවන්න වෙනවා. 

අවසාන වශයෙන් කොහොමටත් බදු ගෙවන්නන්ගේ මුදල් යොදවා මේ ආයතන පවත්වා ගෙන යනවානම් මෙහි තිබෙන ප්‍රශ්නය කුමක්ද?

මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් ගෙවිය යුතු මුදලක් (ආපතික බැරකමක්) ගිණුම් තුළ සැඟවී යාමයි. එමෙන්ම, රජයේ ණය ප්‍රමාණය අඩුවෙන් පෙනීමයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් අනාගතයේදී යෙදවිය යුතු බදු මුදල් කියා කියන්නේ රජය විසින් අනාගතයේදී ගෙවිය යුතු ණයකට සමාන දෙයක්. 

ලංකාව මුහුණ දී තිබෙන්නේ ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයකට. ඒ කියන්නේ ගෙවිය යුතු ණය හා පොලිය නියමිත දිනට ආපසු ගෙවීමට නොහැකි වීමේ ප්‍රශ්නයට. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන්නේ ණය තිරසාරත්වය ඇති කිරීමයි. ප්‍රාථමික අයවැය අතිරික්ත ආදී ඉලක්ක සකස් කර තිබෙන්නේ මෙම අරමුණ පෙරදැරිවයි. නමුත් රාජ්‍ය ණය යටතේ නොවැටෙන වෙනත් අනාගත ආපතික බැරකම් ගොඩ ගැසේනම් අවදානමේ වැටෙන්නේ රටේ ණය තිරසාරත්වයයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව විදුලි පාරිභෝගිකයින්ට සහනයක් දිය යුතුනම් කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය මුදල රාජ්‍ය අයවැයෙන් වෙන් කිරීමයි. එසේ අරමුදල් වෙන් කිරීමෙන් පසුවද අවශ්‍ය ප්‍රාථමික අතිරික්ත ඉලක්කය පවත්වා ගත හැකිනම් ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

රජය මුල් වී යම් කණ්ඩායමක් සුබසාධනය කරන්නේනම් එම සුබසාධනයේ බර වෙනත් අයෙකුට දරන්නට සිදු වෙනවා. එසේ කිරීම හෝ නොකිරීම දේශපාලනික තීරණයක්. එහෙත් මෙහිදී සිදු වන්නේ එසේ සුබසාධනය වෙනුවෙන් මුදල් වැය කිරීමක් නොකර ප්‍රශ්නය යට ගැසීමක් සහ අනාගතයට කල් දැමීමක්. 

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත් අවසාන වශයෙන් ඒ වෙනත් අරමුණ හෝ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. අරමුණ කුමක් වුනත් එය ඉටු කරගත හැක්කේ ආයතනය පවතිනවානම් පමණයි. 

ලංවිම වැනි එක දිගට පාඩු ලබපු රාජ්‍ය ආයතන වැහිලා ගිහින් නැහැ. එහෙම වැහිලා ගිහින් නැත්තේ වරින් වර බදු මුදල් යොදවා එම ආයතන බේරාගැනීම නිසා. ඒ විදිහට පාඩු ලබන රාජ්‍ය ආයතන බදු මුදල් වලින් නඩත්තු කළ යුතුයිද කියන එක සරල තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි. එයින් එහාට ගිය දේශපාලනික ප්‍රශ්නයක්. ඒ නිසා, විවිධ දේශපාලන ධාරා ඇතුළේ ප්‍රශ්නයට දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. 

දේශපාලනික හේතු මත ලංවිම වැනි ආයතනයක් බදු මුදල් යොදවා සුබසාධනය කළ යුතුයි කියන තැනට ආවත්, ලංකාවේ සිදු වුනේ එය සිදු විය යුතු නිවැරදි ක්‍රමයට නෙමෙයි. මූල්‍ය අරමුදල ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යන එකට විරුද්ධ වෙන්නේ එය කරන ක්‍රමයේ වැරැද්ද නිසා මිසක් ලංවිම සුබසාධනය කිරීමට විරුද්ධ වෙන පදනමකින් නෙමෙයි. සුබසාධනය කියන්නේ මූල්‍ය අරමුදලේ වැඩ සටහනේම තිබෙන ප්‍රධාන අංගයක්. 

ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරනවානම් ඒ වෙනුවෙන් කලින්ම බදු මුදල් වෙන් කළ යුතුයි. එසේ නොකර ආයතනය පවත්වා ගෙන යන්න බැරි වෙන තුරු ඉඳලා බදු මුදල් වෙන් කරන්න බලාගෙන ඉන්නවා කියන්නේ රජය විසින් අනාගත බැරකම් ගොඩ ගසා ගැනීමක්. ණය එකතු වීමක් වගේම තමයි. ඒ නිසා, එසේ කිරීම ණය තිරසාරත්වය ඇති කිරීම සඳහා හදා තිබෙන වැඩ පිළිවෙලකට බාධාවක්. එය නොකළ යුතු දෙයක් බව තේරුම් ගන්න අමාරු නැහැ. ඒ වගේම එය දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති කරුණක්.

දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති වුනත් වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. සුබසාධනය කරන ක්‍රමය අදාළ වෙන්නේ සුබසාධනය කරන නිසා. සුබසාධනය කිරීම හෝ නොකිරීම දේශපාලනික කරුණක්. මේ ලිපියෙන් ඒ ගැනත් ටිකක් කතා කරමු.

විදුලි ගාස්තු සුබසාධනය කිරීම වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින අය එසේ කරන ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව ජීවන වියදම අඩු කිරීම. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ. දෙවන හේතුව නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මගින් අපනයන තරඟකාරිත්වය ඇති කිරීම. මෙහිදී පහසුවෙන්ම අමතක කරන සරල කාරණය වන්නේ ඔය විදිහට විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි පිරිවැය කාට හෝ දරන්න වෙනවා කියන එක. 

අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරද්දී එහි පිරිවැය ඉහළ ආදායම්ලාභීන්ට දරන්න වෙනවා. මෙය දේශපාලනිකයි තමයි. අරමුණ ආදායම් විෂමතා අඩු කිරීම. නමුත් දේශපාලනිකව ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමින් අඩු ආදායම්ලාභීන්ව සුබසාධනය කළ යුතුයි කියන ස්ථාවරයට ආවත් ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යාම අදාළ අරමුණට යා හැකි නරකම ආකාරයක්.

විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි වාසිය යන්නේ වැඩිපුරම විදුලිය පරිභෝජනය කරන අයට මිසක් අඩු ආදායම්ලාභීන්ට නෙමෙයි. පරිභෝජනය වැඩි වෙද්දී ඉහළ යන ඒකක ගාස්තු ක්‍රමය නිසා මේ තත්ත්වය පාලනය වන නමුත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැකි හොඳම ක්‍රමය එසේ සුබසාධනය කළ යුතු අයට කෙළින්ම සල්ලි දෙන එකයි. මූල්‍ය අරමුදල විසින් ඉන්ධන, විදුලි ගාස්තු ආදිය සුබසාධනය නොකළ යුතුයි කියා යෝජනා කරන අතරම අස්වැසුම වැනි වැඩ පිළිවෙලවල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා.

ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරද්දී වෙන්නේ ඒවා වැඩියෙන් පරිභෝජනය කරන්න පෙළඹීමක් ඇති වෙන එක. නමුත් අතට සල්ලි ලැබෙද්දී වැඩියෙන් පරිභෝජනය කරන්නේ තමන්ට වඩාත්ම අවශ්‍ය දේවල්. ඒ දේවල් මොනවාද කියන එක එක් එක් පවුල් ඒකකය අනුව වෙනස් වෙනවා. බදු මුදල් වලින් එකම මුදල ලැබෙද්දී ඒ මුදල් වියදම් කරන විදිහ පවුල් ඒකකයකට තීරණය කළ හැකි වූ විට ඔවුන් ඔවුන්ට හොඳම, අවශ්‍යම දේවල් මිල දී ගන්නවා. නමුත් ඒ වෙනුවට ඒ මුදල් යොදවා ඉන්ධන, විදුලි ගාස්තු ආදී රජය විසින් තීරණය කරන නිශ්චිත දේවල් සුබසාධනය කළ විට තමන්ට වඩා අවශ්‍ය දේවල් පරිභෝජනය කිරීමේ අවස්ථාව නැති වෙනවා. ඒ නිසා, සුබසාධනය වඩාත්ම කාර්යක්ෂම ලෙස සිදු වෙන්නේ කෙලින්ම අතට සල්ලි දුන් විටයි.

විදුලි ගාස්තු අඩු කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකිද?

විදුලි ගාස්තු කියන්නේ නිෂ්පාදන පිරිවැයෙහි කොටසක්. ඒ නිසා, යම් පිරිවැය අඩු වීමක් සිදු වෙනවා. නමුත් ප්‍රශ්නය ඒ පිරිවැය ආවරණය කරන්න බදු එකතු කරද්දී නැවත පිරිවැය ඉහළ යන එක. අවසාන වශයෙන් දෙපැත්ත කැපිලා ගියාට පස්සේ සමස්ත පිරිවැයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩේ බොරු වැඩක්.

මොන විදිහකින් හෝ නිෂ්පාදන පිරිවැය අඩු කරලා, බදු මුදල් යොදවා සුබසාධනය නොකර, ඉන්ධන, විදුලි ගාස්තු ආදිය අඩු කළ හැකිනම් ඒක වෙනම කතාවක්. එහි වාසියක් තිබෙන බව ඉතාම පැහැදිලියි. නමුත් ප්‍රායෝගිකව ඔය වැඩේ කියන තරම් ලේසි නැහැ. අදාළ රාජ්‍ය ව්‍යවසාය වල කොපමණ අකාර්යක්ෂමතා තිබෙනවා වුනත්, ඒ අකාර්යක්ෂමතා මුළුමනින්ම නැති කළත්. ලංකාවට විදුලි ගාස්තු වලින් අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අමාරුයි. මෙය ලංකාවට විශේෂ වාසියක් නැති ක්ෂේත්‍රයක්.

අපනයන නිෂ්පාදන වල පිරිවැය කෙරෙහි විදුලි ගාස්තු බලපානවා තමයි. නමුත් එය පිරිවැයෙහි එක් කොටසක් පමණයි. ඒ කොටස නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්නම් අදාළ කර්මාන්ත ලංකාවට හරියන කර්මාන්ත නෙමෙයි. කළ යුත්තේ විශාල ලෙස විදුලිය අවශ්‍ය කර්මාන්ත තරඟකාරී ලෙස විදුලිය නිපදවිය හැකි රටවලට කරගන්න ඇරලා ලංකාවට අඩු පිරිවැයකින් සැපයිය හැකි කවර හෝ නිෂ්පාදන යෙදවුම් වැඩියෙන් අවශ්‍ය වන කර්මාන්ත වලට වැඩි අවධානයක් යොමු කරන එකයි.

ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ප්‍රමාණවත්ද?

ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම.

බංග්ලා දේශය - කිලෝවොට් පැය 603 (ඩොලර් 2,551)

ඉන්දියාව - කිලෝවොට් පැය 1,075 (ඩොලර් 2,481)

නේපාලය - කිලෝවොට් පැය 321 (ඩොලර් 1,378)

පකිස්ථානය - කිලෝවොට් පැය 606 (ඩොලර් 1,365)

ශ්‍රී ලංකාව - කිලෝවොට් පැය 684 (ඩොලර් 3,828)

දකුණු ආසියාව - කිලෝවොට් පැය 956 (ඩොලර් 2,303)

සිංගප්පූරුව - කිලෝවොට් පැය 10,143 (ඩොලර් 84,734)

තායිලන්තය - කිලෝවොට් පැය 2,867 (ඩොලර් 7,182)

මැලේසියාව - කිලෝවොට් පැය 4,986 (ඩොලර් 11,379)

ඉන්දුනීසියාව - කිලෝවොට් පැය 1,257 (ඩොලර් 4,876)

මියන්මාරය - කිලෝවොට් පැය 354 (ඩොලර් 1,233)

වියට්නාමය - කිලෝවොට් පැය 2,624 (ඩොලර් 4,282)

චීනය - කිලෝවොට් පැය 6,112 (ඩොලර් 12,614)

පහළ මැදි ආදායම් රටවල් - කිලෝවොට් පැය 905 (ඩොලර් 2,416)

ඉහළ මැදි ආදායම් රටවල් - කිලෝවොට් පැය 4,286 (ඩොලර් 10,451)

ලෝකය - කිලෝවොට් පැය 3,486 (ඩොලර් 13,170)

කවුරු කැමති වුනත්, අකැමති වුනත්, ඒක පුද්ගල විදුලි පරිභෝජනය සහ ඒක පුද්ගල ආදායම අතර සෘජු සම්බන්ධයක් තියෙනවා. එය කරුණුමය සත්‍යයක්. රටක් සංවර්ධනය වෙද්දී ඒක පුද්ගල විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි. 

ඉහත දත්ත දෙස බලා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි, තෝරාගත් රටවල් අතර, ලංකාවට වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන හැම රටකම ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවට වඩා වැඩියි. ලංකාවට වඩා අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනයක් කරන හැම රටකම ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා අඩුයි. 

පෞද්ගලික හෝ ජාතික ඉලක්කයක් විදිහට අඩුවෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව කාටවත් විරුද්ධ වෙන්න බැහැ. නමුත් ඒ ඉලක්කය සහ රටේ ඒක පුද්ගල ආදායම වැඩි ගැනීම කියන ඉලක්ක දෙක කිසිසේත්ම එකට යන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙද්දී විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි.

මෙහිදී මම කතා කරන්නේ නාස්තිය අඩු කිරීම මගින් කළ හැකි සංරක්ෂණය ගැන නෙමෙයි. පරිභෝජනය හා නාස්තිය කියන්නේ කරුණු දෙකක්. නාස්තිය අඩු කිරීම පරිභෝජනය අඩු කිරීමක් විය යුතු නැහැ. 

ඒක පුද්ගල ආදායම් මට්ටම දෙස බලද්දී ලංකාවේ අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනය කැපී පෙනෙනවා. ඒක පුද්ගල විදුලි පරිභෝජනය අතින් ලංකාව ඉන්නේ පකිස්ථානය සහ බංග්ලා දේශය ඉන්න තැනට කිට්ටුව. ඒ දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න රටවල්. විශේෂයෙන්ම පකිස්ථානය. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න වියට්නාමයේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවේ මෙන් හතර ගුණයක්. 

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය. මේ ගණන් සංසන්දනය කළ විට පැහැදිලි විකෘතියක් පේනවා. ලංකාවේ ජීවන තත්ත්වය ඇත්තටම ඉන්දියාවේ ජීවන තත්ත්වයට වඩා වැඩිද? ඒක පුද්ගල ආදායම් වෙනස එවැන්නක් පෙන්නුවත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය දෙස බලද්දී එවැනි තත්ත්වයක් පේන්නේ නැහැ.

ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක තිබෙන නිසා සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන දකුණු ආසියාවේ සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජන අගය සැලකුවත් ලංකාව ඉන්නේ ඊට වඩා පහළින්. ඒ වගේම, ලංකාව දැන් ඉන්න පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල සාමාන්‍ය අගය සැලකුවත් ලංකාවේ අගයට වඩා වැඩියි. 

දැන් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටී සිටියත්, ලංකාව කියන්නේ ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ හිටපු රටක්. ඉහළ මැදි ආදායම් රටවල සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 4,286ක්. ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය වන කිලෝවොට් පැය 684 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට කිසිසේත්ම නොගැලපෙන අගයක්. ලංකාවට කවදා හෝ සංවර්ධිත රටක් වීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබේනම් මේ කරුණ ගැන දැන් සිටම බරපතල ලෙස හිතන්න වෙනවා.

මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? 

පළමුව ලංකාවේ විදුලි බලය උත්පාදනය කිරීම හා බෙදා හැරීම කළේ සහ කරන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා. හැබැයි එපමණකින්ම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවලත් විදුලි බල කර්මාන්තය තුළ රාජ්‍ය බලපෑම දකින්න පුළුවන්.

මේ ප්‍රශ්නයට හේතු වී තිබෙන්නේ ලංකාවේ විදුලි ගාස්තු සුබසාධනය කළ ආකෘතිය. දිගින් දිගටම සිදු වුනේ සුබසාධනයේ බර රාජ්‍ය අයවැයෙන් ඉවත් කරලා ලංවිම ගිණුම් ඇතුළේ සඟවපු එක. ඒ නිසා ලංකාවේ විදුලි බල කර්මාන්තයට ආර්ථිකයත් එක්ක ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය එකතු කරගන්න ලැබුණේ නැහැ. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ හැකියාවක් කර්මාන්තයට තිබුණේ නැහැ.

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදකයෙක් උත්සාහ කරන්නේ තමන්ගේ නිෂ්පාදනය පුළුවන් තරම් විකුණාගන්න. ඒ කියන්නේ පරිභෝජනය වැඩි කරවාගන්න. නමුත් විදුලිබල මණ්ඩලය තමන්ගේ පාරිභෝගිකයින්ට කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් පරිභෝජනය කරන්න කියලයි. ඇත්තටම මේ කර්මාන්තය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ සලාක ක්‍රමයකට ආසන්න ක්‍රමයක්. 

ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය මේ තරමටම ඉහළ ගොස් තිබීමට එරට විදුලි බල කර්මාන්තයට පෞද්ගලික අංශය සම්බන්ධ වීම විසින් සෑහෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර පහළොවක පමණ කාලය ඇතුළත. පසුගිය කාලය තුළ ඉන්දියාවේ විදුලි බල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ ගොස් ඇති ආකාරය මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව දැක ගත හැකියි. 

මෙයට විසඳුම විදුලි ගාස්තු සුබසාධනය කිරීම මගින් පරිභෝජනය දිරිමත් කිරීම නෙමෙයි. ඒ ක්‍රමය හරි ගියානම්, ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඔය තරම් පහළ මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. 

විදුලිබල කර්මාන්තයේ ආයෝජන ඉහළ යන තරමට ඒකක පිරිවැය අඩු කළ හැකි ආයෝජන එකතු වී ඒකක පිරිවැය අඩු වෙනවා. ආයෝජන සිදු වෙන්නේ නැත්නම් විදුලිය නිපදවන්න වෙන්නේ ඒකක පිරිවැය වැඩි අකාර්යක්ෂම ක්‍රමවේද අනුව. යම් කාලයකදී කාර්යක්ෂම ක්‍රමයක් කාලයක් යද්දී අකාර්යක්ෂම ක්‍රමයක් වෙනවා. දිගටම ආයෝජන අවශ්‍ය වෙන්නේ ඒ නිසා. නමුත් අවශ්‍ය ආයෝජන කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් එක්රැස් කරගන්න බැරි ආයතනයකට මේ සෙල්ලම කරන්න බැහැ. තියෙන්නේ එකම ආයතනයක් පමණක්නම් එය රටේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. 

මම හිතන්නේ ඔය හිරවීම ඉන්දියාවේ රාජ්‍ය අංශයේත් වෙන්න ඇති. නමුත් පෞද්ගලික ආයෝජන නිසා කර්මාන්තය ප්‍රසාරණය වෙනවා. අලුත් ආයෝජන වැඩි වැඩියෙන් එද්දී ඒකක පිරිවැය වැඩි පැරණි ආයෝජන වලින් විදුලිය හදලා ලාබයක් ගන්න බැරි වෙනවා. අලුත් ආයෝජන වලින් පරණ ආයෝජන විස්ථාපනය වෙනවා. එහෙම වෙද්දී විදුලි ගාස්තුත් අඩු වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *