සිංහල කෙටිකතාව – ඉබ්බි, ජීවන කතන්දර – යවුල ගස සහ අමුත්තා  , පරිවර්තිත කෙටිකතාව- අම්මා කෙනෙකුගේ වෛරය

සිංහල කෙටිකතාව

ඉබ්බි

ඉබ්බි ගැන මතකය හදිසියේම මගේ හිතට කඩාවැදුණේ පලා මිටියක්  සුද්ද කරද්දී කියා කීම එතරම්ම සම්භාව්‍ය නැත. එහෙත් ඉබ්බි එකල නම් කිසිම සම්භාව්‍ය දෙයක් නොකළ  බැවින් සත්‍යයම කීම වඩාත් සුදුසු වේ. ඉබ්බි ට උප්පැන්නයෙන් ලැබුණු බර සාර නමක් තිබිණි. දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැති ඈට එය නොගැලපුණු නිසාදෝ කෙසේ හෝ ඈට ඉබ්බී  නම ලියාපදිංචි විය. එය කෙසේ කවදාක වූවා දැයි මට මතක නැත. එහෙත් ඈ ව ඉබ්බි හැර වෙනත් නමකින් නොදන්නා අය එමට සිටි බව නම් මම දනිමි.

ඉබ්බි ඉතා කඩිසරය. කාර්යශුරය. උදෑසන ඇඳෙන් බැස ඊළඟ තප්පරයේදී ඈ පොල් බෑයක් ගා හමාර ය. ඊටත් විනාඩි පහකට පසු බෝඩිමේ මුල්ලක ඈ යළිත් තද නින්දේ සිටිනු හැකි වීම වෙනමම කතාවකි. ඉබ්බි රෑ ඇඳුම් ලෙස ඇන්දේ ඇගේ අක්කා ගේ ගවුම් ය. අක්කා අඩි හයක් තරම් උස වීමත්, ඉබ්බි අඩි හතරහමාරක් තරම් වීමත් නිසා ඒ දසුන ගැන වැඩි  විස්තර අනවශ්‍ය ය. බිම ගෑවෙන දිග ගවුම සරමක් සේ වලාපට ගසාගන්නා ඉබ්බි බෝඩිමේ උදෑසන ඉවුම් සටන මොහොතකින් සිනා සාගරයක් බවට පත් කරන්නී ය. එකල රූපවාහිනියේ විකාශය වූ ඉවුම් වැඩසටහනක් මෙහෙයවූයේ සිංහල නුහුරු කාන්තාවකි. ඇගේ උච්චාරණය අනුකරණය කරන ඉබ්බි. "මින්න මී ආකාර්යට, ඔබ්බ කොට්ටු හැඩ්ඩයට කප්පාගත් ළුෑණු සුවල්පයා ... " යනුවෙන් රඟ දක්වමින් හොද්දක් උයන්නීය. එය දැක අවශේෂ බෝඩිම් සගයෝ ඉවීම ද පසෙක ලා තැන තැන වැටි වැටී සිනාසෙමින් සිටීම ඇයට අදාළ වූයේ නැත.

දිනක් අපට බෝඩිම් ඇන්ටිගෙන් කතුරුමුරුංගා කොළ මිටියක් ලැබිණි. මැල්ලුම් සැදීමට පෙර මෙය පිරිසිදු කර කොළ සූරා ගැනීම ඉබ්බිත් මාත් බාර ගත්තෙමු. අපි බෝඩිමේ පඩිය උඩ හිඳ පච හලමින්,  මේ ව්‍යාපෘතිය ඇරඹුවෙමු.

"ඒයි, මේකේ අරගොල්ලෝ ඉන්නවද දන්නේ නෑ නේද?" ඉබ්බි හදිසියේ කතුරුමුරුංගා ඉත්තක් පෙන්නා මට කීය.

"මොක්කුද අනේ අරගොල්ලෝ මේගොල්ලෝ කියන්නේ?" සාමාන්‍යයෙන් සිහි කල්පනාව අඩු මම ඇගෙන් ඇසුවෙමි

"අර අරගොල්ලෝ.. අර නම කියන්න හොඳ නැති කට්ටිය!" ඈ තවත් ඉත්තක් ගෙන සුපරික්ෂාකාරිව බලමින් කීවාය.

ඒ වෙද්දී මගේ කුතුහලය බලවත් ලෙස ඇවිස්සී තිබිණි. පලා අහුලද්දී නම නොකිය යුතු 'කට්ටියක්' සිටින බව මම දැන සිටියේ නැත

"ඔයා කියන්නේ.. පනුවෝද?" මම ඇගෙන් රහසින් ඇසුවෙමි.

"චඃ ඔයා කෑවනේ වැඩේ.. ඒගොල්ලන්ගේ නම කිව්වම ලු ඒගොල්ලෝ පලා මිටියේ ඉන්නේ!" ඈ මුහුණ බෙරි කරගත්තා ය.

එතෙක් පලා මිටියක නොසිටි පණුවෙක් නම කී සැණින් මැවෙන්නේ කෙලෙසද යන තර්කමය ගැටලුව ඈ වෙත ඉදිරිපත් නොකර මා සිනාව තද කරගත්තේ ඉබ්බි එසේ  කීවේ විහිලුවට නොවන බව වැටහුණු බැවිනි. ඉතින් ඈ ඉබ්බී ය. ඈට තර්ක ශාස්ත්‍රය වත් ඈ තර්ක ශාස්ත්‍රයට වත් අනුගත වූයේ නැත.

ඉබ්බි සරසවි යද්දීම රැකියාවක නියැලුණා ය. එබැවින් අන් අයට මෙන් නොව, රැකියාවකට ඔබින අත් බෑගයක් ඈ සතු විය. 

"මේ කෙහෙල්මල වහන්න බැහැනේ අප්පා.. අපරාදේ තව එකක් ගන්න වෙයිද මන්දා!" ඈ නිතර මේ අත්බෑගය ගැන නෝක්කාඩු කීවාය.

"කෝ දෙන්න බලන්න ලොක් එක හදන්න පුලුවන්ද කියලා" බෝඩිමේ කුඩා අලුත්වැඩියා කටයුතු භාරව උන් තනුජා ඉබ්බිට දිනක් පැවසුවේ මේ කන්කරච්චලය අසා ඉන්න බැරිම තැන විය යුතුය.

ඉනික්බිති ඉබ්බී ඇද වී අංග විකල වී තිබුණු අත්බෑගය පාඩම් මේසය වෙත ගෙන ආවාය. අත තැබූ සැණින් විවර වූ එයින් ඉවතට පැන්නේ බෑගය මිළ දී ගත් දින සිට ඉබ්බි ගමන් කළ හැම බසයෙන්ම, දුම්රියෙන්ම ලද ටිකට් පත් ය. ඈ මිලදී ගත සෑම භාණ්ඩයකටම ලද රිසිට්පත් ය. මීට අමතරව විශේෂ කාර්යයක් නොපවරුණු කොළ කැබලි, පත්තර කැබලි සමූහයක් ද එහි විය.

"මොනවද බං මේ කුණු ගොඩවල්? මොකටද මේවා තියාගෙන ඉන්නේ?" තනුජා විමසුවේ කොළ කැබලි කන්දට යට වූ ඇගේ සටහන් පොත බේරාගනිමිනි

"ඕවා තියන් ඉන්නේ එක එක දේවල් මතක් වෙන්න!' ඉබ්බි ගාණක් නැතිවම කීවාය. "ඔන්න බලන්න මේක- සඳමාලි ටුවර්ස්, 138 විජේරාම-නුගේගොඩ, මෙදා නේ අපි අර ඇක්සිඩන්ට් එකක් දැක්කේ, අර අපි අයිස්ක්‍රීම් කකා බලන් හිටියේ නුගේගොඩ හන්දියේ!.. එතකොට මේක.. ම්ම්ම් .. කොටුව-කැලණිය, සීටීබී බස් එකක් .. කෝ බලන්න මතක් කරන්න.."

"අනේ තියාගනින් උඹේ බස් ටිකට් සැමරුම්!" තනුජා ඉවසුම් නොමැතිව කෑ ගැසුවාය. "මං කියන්නම් වැඩක්- උඹ කොට්ටේ උරේ අයින් කරගෙන ඒකේ දාගෙන පලයන් මතක සටහන් ටික.. මේ කුණු ටික අයින් කලහම යසට වැහෙනවා හෑන්ඩ් බෑග් එක!"

"එහෙම කියලා කොහොමද..?" ඉබ්බි නෝක්කාඩුවෙන්ම යළිත් කොළ කැබලි රැස බෑගයට දමාගන්නට විය. "මේවා කවදාහරි..."

"මේ... දන්නේ නැති නිසයි අහන්නේ.. " මෙම කතාවට පැත්තක සිට  අසංගි හොට දැම්මා ය. "ඉබ්බි ට කොහොමද ඔය මතකේ බින්දුවක් වත් නැත්තේ විභාගවලට?"

"ෂික්! පාප මිත්‍රයෝ!" මහා හඬින් සිනාසෙමින් උන් අපට බණිමින් ඉබ්බි එතැනින් යන්න ගියේ  ඇද වුණු අත්බෑගය ට නැවතත් හැකි තරම් කොළ කැබලි ඔබා ගනිමිනි.

ඒ බෝඩිමේදී අපි ඉඳහිට ඇඳුමක් දෙකක් හුවමාරු කරගෙන ඇන්දෙමු. හදිසියකට සුදු ඇඳුමක්, කළු සායක් හුවමාරු කරගැනීමේ මේ කාර්යය කොමඩියක් බවට පත්වූයේ ඒ සමීකරණයට ඉබ්බි එකතු වූ විට ය. බෝඩිමේ උසම සාමාජිකාවගේ බ්ලවුසයක් ඉබ්බිට ගවුමක් තරම් විය. 'අද රෑට ඉක්මනට නිදාගෙන හෙට පාන්දරින් නැගිටිනවා පාඩම් කරන්න!' වැනි උදාර චේතනාවෙන් ඇඳට යන අප බොහෝ දිනවල රෑ දෙගොඩහරි ජාමය තෙක්ම කඳුළු එනතෙක් හිනැහෙමින් උන්නේ ඉබ්බිගේ 'මොඩ්ලින්ග්' නිසයි. එවැනි බ්ලවුසයක් පැළඳගන්නා ඉබ්බි, බෝඩිමේ ඇඳන් අතර පටු තීරය තම කැට් වෝක් එක බවට පත් කරගෙන අඟර දඟර ගමනක් යන්නී ය. වෘත්තිමය නිරූපිකාවක් මෙන් කාමරයේ කෙළවර දක්වා මෙසේ ඇවිද ගොස් හිස ගස්සා අප දෙස රවා බලන්නීය.

පසුදාට බෝඩිමේ ගේට්ටුවෙන් පිටවෙද්දී "ඊයේ මහා රෑ වෙනකම් මොකද මේ පැත්තෙන් හිනා සද්දේ ඇහුනේ?" යැයි අසා  ඕපදූපයක් අහුලාගැනීමට බෝඩිමේ ඇන්ටි මාන බලන්නේ මෙවැනි අවස්ථාවල ය. එවැනි දිනවල ඒ ජවනිකාව වදනින් විස්තර කරගනු නොහැකිව, උනුන් දෙස  බලා සිනහා සිර කරගෙන. ඈට පිළිතුරු නොදී ම අපි බේරී දිව යන්නෙමු

වසර බර ගණනකට පසු පලා කොළ අහුලද්දී මට මේසේ ඉබ්බි ගැන මතක රැසක් පෙළගැසුනි. දැන් ඉබ්බී තිදරු මවකි. ආණ්ඩුවේ ඉහළ නිලයක් දරන්නියකි. එහෙත් තවමත් සාරිය දෙකට නවා අඳින තරමට සිඟිති පෙනුමෙන් යුක්තය. ඇගේ හැසිරීමේත් මහා වෙනසක් සිදු වී නැති බව මට වැටහුණේ මෑතකදී ඈ හා කළ කතා බහකදී ය.

"කිසි ජොලියක් නැහැ බං දැන් කාලේ ළමයි!" ඈ සත් වියැති ඇගේ වැඩිමහල් පුතු ගැන පැවසුවාය.  

" ළඟදී දවසක අපි සෙල්ලම් කර කර ඉන්දැද්දී කොලුවා ඇහුවා නේ 'අම්මේ දැන් උයන්න තියෙනවා නේද.. සෙල්ලම් කළා ඇති නේද?' කියලා! 'අම්මටත් ඉතින් සෙල්ලම් කරන්න ගියහම මෙලෝ සිහියක් නැහැ නේද?' ඇහුවා. මහා සවුත්තුව!"

ඉතින් කාලය ගත වූවත් ඉබ්බී තවමත් ඉබ්බීම ය.

ජීවන කතන්දර

යවුල ගස

ඊයේ කෑම   පැයේදී අප කතා කරේ හොල්මන් සහ අවතාර ගැනයි. බොහෝ රටවල මිනිසසුන්  අඩු වැඩි වශයෙන් මේවා විශ්වාස කරන බව පෙනේ. හැමෝටම පොදු කතාවක් තිබිණි. ඒ මේවා විශ්වාස කරත් නැතත් ඔවුන් ජීවත් වූ පරිසර වල හොල්මන් සිටිනවා යැයි  සම්මත බියකරු ස්ථාන තිබුණු බවය. එවන් බය හිතෙන තැන වලින් යද්දී හය්යෙන් උරුහන් බෑමටත් කුණු හරුපෙන් කාට හෝ බැනීමටත් පොදුවේ කවුරුත් පුරුදු වී සිට ඇත. බය වූ කල ඉති පිසෝ ගාථාව කියන්නේ අපේ රටේ පමණක් වන්නට පුළුවන.

අපේ ගමේද හොල්මන් ගැවෙසෙන තැනක් තිබිණි. කඳු ගැට දෙකක් අතරින් ගමට ඇතුල් වෙද්දී වැලමිට වංගුවත් සමග හමුවන අඳුරු ජන ශුන්‍ය තැනක පිහිටි රූස්ස ගස නමින් යවුල ගසකි. ඒ හාත්පස දක්නට ලැබුණු ගුප්ත බව  දුටුවන් සිත චංචල කිරීමට සමත්ය. ඊට යාබද කඳු ගැටයේ තිබෙන පාළු සොහොන් බිම මේ ස්ථානයේ ඇතැයි   කියන මුසල බිය මුසු ගතිය ඉහළ නැංවීය .

ගොම්මන් යාමයේ තනිවම මෙතැන පසු කර ගිය හැඩි දැඩි තරුණයන් පවා බිය වී යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ගොඩ ආ පුවත් නිතර අසන්නට ලැබිණි. කුඩා කළ සිටම දෙවියන් සහ බුතයන් විශ්වාස නොකරන රැල්ලේ සිටි නිසා මම මේ හොල්මන් කතාව විශ්වාස කරේම නැත. ඇරත් අපේ ගෙදරට හැතැප්ම බාගයක දුරින් පිහිටි මේ හොල්මන් පොළ අපිට නුපුරුදු තැනක් නොවිණි.ඒ ත් එක්තරා වැසිබර දිනක පුංචි අම්මලා ගෙදර ගොස් රෑ  බෝ වී එතනින් ගිය මට තව දුරටත් බිය නැති වීරයෙක් වන්නට බැරි විය. ඒ වැසි බර අඳුරු දවසේදී හවස හත හමාරට පමණ වෙවුලන කටහඬින් බයටම  සින්දුවක් කියමින් එතනින් ගිය මගේ කුඩයෙන් කවුදෝ අදිනවා දැනිණි. මද වැසි  නිසා මම ඉහලාගෙන ආ පුංචි අම්මාගේ කුඩය මම කෙතරම් වැරෙන් අල්ලා ගෙන සිටියත් බියකරු අතකින් එය මගෙන් උදුරා ගනිමින් සිටියේය. අඳුර දෙබෑ කරමින් දැල්වුණු අකුණු සැර  පෙන්නුම් කළේ  කිසිම මනුස්ස ප්‍රාණියකු ළඟ පාතකවත් නැති බවය. මොහොතකින් මගේ කුඩය තනිකරම තමන් සතු කර ගන්නට හොල්මන සමත් විය.දැන් ඉතින් බය වෙනවා හැර මොනවා කරන්නද.මම දිව්වෙමි දිව්වෙමි. හති දමමින් ගෙදරට දුව ගොස් උළුවස්සට වාරු වුණූ  මගේ සියොළඟින් වැසි දිය හා දහදිය බේරෙමින් තිබිණි.

 බියපත් අම්මාගේ පළමු ප්‍රතිචාරය වුයේ 'පුතේ උඹ යවුල ගහ ලඟින් තනියම ආවාද' යන්නය්. බයෙන් සැලෙමින් සිටියද මම හොඳ සනීපයෙන් සිටින බව පසක් කර ගත තාත්තා මා දෙස හෙළුවේ විමසිලිමත්, සමච්චල් බැල්මකි. කොල්ලට තෙල් ඩිංගක් මතුරාගෙන එන්නට එපිටහා ගෙදර මුත්තා හොයන්නට යුහුසුළු වන අම්මා වැලැක්වූ තාත්තා  මට වුයේ මොකක්දය් හරියටම හගිස්සගන්නට තැත් කළේය .

උණු තේ එකක් බීමෙන් පසුව මම විස්තරය  කිව්වෙමි. ඒසැනින් මගේ අතට විදුලි පන්දමත් හා කූඩයක් දුන් තාත්තා කිව්වේ යවුල ගහ ළඟ වැටී ඇති කුඩය අහුලා ගෙන එන ලෙසය. මෙය කෙතරම් දරුණු අසාධාරණ  අණක්ද. අම්මාද මමද එකවර තාත්ත දෙස පුදුමයෙන්  බැලුවෙමු . එත් තාත්තාගේ අණකිරිම නැවතත් මතු වුයේ තරමක් දයාබර එහෙත් ස්ථිර සාර හඬකිනි.   'ගිහින් කුඩේ අරන් එන්න;.

මමත් කළුවරේ  දෙපා අද්දමින් ගාට ගාටා යවුල ගහ බල යන්නට පිටත් වුනෙමි. තාත්තා මෙසේ කරන්නේ මගේ බය නැති කරන්නට බව මට නොතේරුණා නොවේ. ඒත්  මෙවන් බියකරු අත්දැකීමක් ලැබූ  කොලු ගැටයෙක් තට්ට තනියමේ ආපසු යැවීම ගැන මම බෙහෙවින් උරණ වී සිටියෙමි.

එදා ගෙදර සිට යවුල ගහ ලඟට ආපසු ගිය ගමන මගේ ජීවිතයටම අමතක නොවන ගමනකි . පළවෙනි යාර දෙතතුන් සීය මම ගියේ අනුකම්පා විරහිත අපේ තාත්තාට හිතින් බැන බැනය .ඒ සමගම හොල්මන් යනු බොරු විකාර බව මම මෙතෙක් කල් සිතා සිටි මතයේ යලි එල්බී දිරියක් ගතිමි. හීතලත්, පාළුවත් බයත් නොසලකා හැරීමේ කේන්තියත් විසින් මගේ හිතට ආවේගයක් ගෙන දී තිබිණි . දෙවැනි යාර දෙතුන් සියය මම ගියේ ඕනෑ එකක් වෙද්දෙන් කියා සිතෙන අමුතුම ජවයකිනි. එත් එවැනි අවතාර හොල්මන් කිසිවක් නැතත් දහතුන් හැවිරිදි තමන්ගේ පුතා මෙලෙස අපහසු ගමනක් එවීම ගැන තාත්තා සමග මගේ හිතේ තිබූ අමනාපය නොනිම් එකක් විය. 

යවුල ගහට යාර සීයක් විතර තිබියදී මට යථාවබෝදය ලැබුනේ රිදී පාටට දිලිසෙමින් පාර මද වැටී තුබුණු කුඩේ මිට හමු වීම නිසාය. ඒ දවස් වල අලුතින් වෙළඳ පොලට ආ 'ටික් ' කුඩයේ උද කොටස මිට අතේ තිබියදී ගැලවෙන තරමේ දුර්වල එකක් බව එවිට මට මතක් විය. මහත් සැහැල්ලුවකින් ඊළඟ පියවර කීපය ගිය මට පාර අයිනේ තෙතබරිව උඩබලියාගෙන සිටි  කුඩයේ ඉතිරි කොටසද හමු විය. දැන් මගේ බිය අතුරුදන් වී ඇත. යවුල ගහ ළඟ තනියම පැයක් දෙකක් ඉන්නට පුළුවන. මම මහත් සොම්නසින් ආපසු හැරුනේ තාත්තා ගැන උපන් සෙනෙහසක් සමගය. එත් එම සෙනෙහස දොරේ ගලා ගොස් ජීවිත කාලයටම විඳ  සැනසිය හැකි ප්‍රමෝදයක් බවට පත් වුයේ ඊළඟට මා දුටු දර්ශනයෙනි. මට නොකියාම මගේ පසුපසින් පැමිණි තාත්තා යාර කීපයක් ඔබ්බෙන් හිනැහෙහමින් සිටියේය.

*********************************************************************************************

අමුත්තා 

අපි සරසවියෙන් පිටවෙලා ඉස්ඉස්සෙල්ලම රස්සාවට ගියේ අනුරාධපුරේ .ලබන පළමුවනිදට හරියටම අවුරුදු විස්සය් . මේ අවුරුදු විස්සේ රසකතා හා නීරස කතා බොහොමයි.

මේ ලියන්න යන්නේ අනුරාධපුර ජීවිතේ පොඩි සිදුවීමක් ගැන.මොන දුෂ්කරතා මුදල් හදල්  මදි පාඩුකම් තිබුනත් එහෙදි සුන්දර චරිත රැසක්ම හම්බ උනා . 

 වන්නි හා ලක්ෂ්මන් එහෙ පදිංචි වෙලා හිටි සරසවි මිතුරන්. ඔවුන්ට අමතරව අපිට වඩාත් සමීප වුන අනෙත් මිත්‍රයා  තමයි  රන්ජිත්. අපට වඩා  අවුරුදු තුන හතරකට  කලින් රස්සාවට ආපු ඔහුගේ ගම මඩාටුගම.

ඒ පළාතට දුර බැහැරින් ඇවිත් හිටියේ ශාන්තය් මමය්.


මාසයක් විතර බෝඩිමක හිටපු අපට අලුතින් පිළිසකර කරපු නිල නිවාසයක් ලැබුනා. ලොකු කාමර තුනක්, ශාලයක් හා කුස්සියක් ඇතුළු ඕනෑ තරම්  ඉඩ කඩ  එහි තබුනත් ගෙදර බඩු මුට්ටු මොකුත්ම තිබ්බේ නෑ .

සල්ලි තියෙන හැටියට  පුටුවක්, මෙට්ටයක් හා වළන් මුට්ටි  ටිකක් කඩෙන් අරගෙන අපි ජීවිතේ පටන් ගත්ත. ඔහොම ඉද්දි දවසක් රන්ජි අපේ ගෙදර ආව. අපි ඉන්න හැටි දැකල රන්ජි බොහොම දුක් වුනා.‘මචන් මේ දවස් වල අපේ ගෙදර ඉන්නේ මම විතරය්. මමත් සතියකට දෙතුන් පාරක් නෝනලා ගෙදර යනවා . උඹලට ඇඳක් පුටුවක් නැතුව ඔහොම ඉන්න අමාරුනේ, වරෙල්ල අපේ ගෙදර. ගිහින් තියෙන දෙයක් බෙදාගෙන එහෙ ඉමු'. කියල ඒ වෙලාවේම අපිව ඇදගෙන ගියා. ඒ වෙනකොට රංජිත්ගේ නෝනා කුළුඳුල් දරු උපතට සුදානමින් සිටි නිසා කල් ඇතිව මහගෙදරට ඇරලවා තිබුනා


අපි හිටපු ගෙදර හැටියට ඒ ගෙදර සුර පුරයක්. ටී වී එක, ප්‍රිජ් එක, ගෑස් ලිප්, පුටු සැටි අල්මාරි ඔක්කොම තිබුනා . මීට අමතරව තව මාසයකින් දෙකකින් ගෙදරට එන සිඟිති අමුත්තා පිලි ගැනීමට මෙන් ලස්සන ජනෙල් රෙදි, බුමුතුරුණු හා මල් පෝච්චි වලින් ඒ ගෙදර හැඩ  වැඩ වී තිබුනා.

අපි තුන් දෙනා පළ වෙනි දවසේ ඉඳන්ම උයන්න පටන් ගත්ත. රන්ජි මාසේකෙට විතර උයන පිහන දේ ගෙනත් දාල .


රන්ජි හවසට වෙනත් ආයතනයක උගන්වනවා.  වැඩ ඇරිලා ගියාම් ආයේ එන්නේ හත අට වෙලා අපි ගිය දෙවැනි දවසේ රන්ජි හම්බ වෙන්න අමුත්තෙක් ආව.හවස හය හමාරට විතර . 

ඉස්සර රන්ජි ළඟ වැඩ කරපු කෙනෙක්ලු .මොකක්දෝ ලියමනක් ගන්න ආව කිව්වා. රන්ජි ගෙදර නෑ  කියල දැන ගත්තම මනුස්සය හැරිලා ගියා හෙට එන්නම් කියල.


 පහුවදත් ඒ වෙලාවටම රන්ජි හම්බ වෙන්න අමුත්තෙක් ආව.  ගෙදර දොරට තට්ටු කළ  අමුත්තා දොර ඇරපු අපව දැකල පුදුමෙන් වගේ බැලුව.හැබැයි  කලින් දවසේ ආපු කෙනා නෙවෙයි.ඔහු අහිංසක ප්‍රියමනාප පුද්ගලයෙක්. ලජ්ජාශීලියි. 


' රන්ජිත් මහත්තය ගෙදර නැද්ද ?'  ඔහු කනට ඇහෙන නැසෙන ගානට ඇහුව .

'නෑ  ගමනක් ගිහිල්ල එන්ඩ රෑ වෙයි ' 

අපි කිව්වේ කලින් දවසේ මනුස්සය වගේම මෙයත්  ආපහු හැරිලා යයි  කියල හිතල. 

'කමක් නෑ මම එනකන් මෙහෙන් ඉන්නම්' කියල ගෙට ඇතුල්වෙන තැනම පොඩි පුටුවේ වාඩි  වුනා.  

තවත් පැය බාගයක් විතර ගියා. රන්ජි තාම නෑ.

'ගෙවල් එහෙම කොහෙද ඈතද ?මම අමුත්තාගෙන් ඇහුවා

'මඩාටුගම'

ඒ කියන්නේ රංජිත්ගේ ගමේ . දැන් රන්ජිත් හම්බුනත් ආපහු යන්න බස් නැති වෙයිනේ.?අපි ඇහුවා.

'එහෙම උනොත් අද ඉඳල හෙට යනවා' අමුත්තා ඇඟට පතට නොදැනී කිව්වා 


දැන් රෑට උයන වෙලාව .අමුත්තාට ඉන්න ඇරලා අපි දෙන්න උයන්න පටන් ගත්තා.

උඩට ඇඳන් හිටපු කොටු කමිසය ගලවපු අමුත්තා බැනියම පිටින් කුස්සියට ආව. මමත් උදව් වෙන්නද?

අපි හා කිව්වම අමුත්ත මගෙන් පිහිය ඉල්ලගෙන  අල ගෙඩි වල  පොතු රහින්න පටන් ගත්තා. මෙච්චර වෙලා මගේ අතට අකීකරු වෙලා අල ගෙඩිය බාගෙට කොනහ කොනහ හිටි පිහි පොඩ්ඩ  මෙන්න අමුත්තා ළඟ හීලැ වෙලා.අලගෙඩිවල පොතු රැහෙන ලස්සන.දැන් අල ගෙඩි  එක සමාන හතරැස් කොටු කෑලි  වලට කැපෙනවා.හරියට පැකට් කරන්න හදන රස කැවිල්ලක් වගේ. ශාන්තයි  මමයි වැඩ නවත්තල අමුත්තාගේ හුරුබුහුටි එළවළු කැපිල්ල දිහා බලාගෙන ඉන්නවා .ඒ අතර ලුණු, අමුමිරිස්,කරපිංචා ආදිය ඔහු ලඟට කිට්ටු කරනවා . සියල්ල භාජනයකට පිළිවෙලකට දාන ගමන් අමුත්තා කියනවා 'මහත්තයෝ ඔය උඩ  රාක්කේ දකුණු කෙළවරේ තියෙනවා උළුහාල් බෝතලේ ඒක ගන්නකො කියල'


අපි දැන් හොල්මන් වෙලා. මෙහෙ මීට කලින් ඇවිල්ල තියෙනවද ? ශාන්ත අමුත්තාගෙන්  අහනවා 

අමුත්තා හිනාවෙලා කියනවා 'ඔවු මම සතියකට දවසක් දෙකක් එනවා'


ඊළඟ  ප්‍රශ්නේ මගෙන්.


එතකොට ඔයා  රන්ජිත් මහත්තයාගේ කව්ද ? 


ඔහු  දුන්න උත්තරෙන් පස්සේ මෙතැන ඉන්න හැබැම අමුත්තෝ දෙන්න ශාන්තය් මමයි නේද කියල තේරුණා 


 'කොහේද  ඉතින් මහත්තයල කව්ද කින්ද මන්ද දන් නැති හින්ද මමත් කියන්න ගියේ  නෑ.

මම රංජිත්ගේ තාත්ත !' 

තිලකසිරි ඒකනායක

තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

https://thilakasitha.blogspot.com

පරිවර්තිත කෙටිකතාව

අම්මා කෙනෙකුගේ වෛරය

පාඔලෝ සවේරිනිගේ වැන්දඹුව සිය පුතණුවන් සමග බොනිෆාචියෝ නගරයේ පවුර අද්දර ඉදිකළ කුඩා දුගී නිවෙසක ජීවත් වූවාය. කඳුවැටියෙහි කෙළවරක් මුහුද දෙසට නෙරා ගොස් නිර්මාණය වූ බිමක ගොඩනගා තිබූ බොනිෆාචියෝ නගරය ඇතැම් ස්ථානයක සත්‍ය වශයෙන්ම මුහුදට උඩින් එල්ලී තිබුණේය. නගරය පිහිටා තිබූ තැන සිට බලන විට ගල්පරවලින් ගහණ ඕඩයකට ඔබ්බෙන් සර්දීනියාවේ පහත් වෙරළ තීරය පෙනිණි. මුහුද පිහිටි දිශාවට විරුද්ධ පැත්තෙන් නගරය පාමුල වූයේ වරාය ලෙස භාවිතා කෙරුණු තවත් ඕඩයකි. එය නගරය සම්පූර්ණයෙන්ම පාහේ වට කොට සිටි අතර දැවැන්ත කොරිඩෝරයක් පරිද්දෙන් කඳු ප්‍රපාතය දෙකට කපා දමා තිබිණි. ශීඝ්‍ර බෑවුම් සහිත ඕඩය ඔස්සේ දීර්ඝ ගමනක යෙදීමෙන් අනතුරුව කුඩා ඉතාලි හෝ සර්දීනියානු මාළු ඔරුවලටත් සෑම සති දෙකකටම වරක් අජාච්චෝ නගරයේ සිට පැමිණ නැවත ගිය පැරණි දුම් බෝට්ටුවටත් නගර පාදමෙහි පිහිටි නිවෙස් අසළටම යාත්‍රා කිරීමේ හැකියාව තිබිණි.   

සුදු පැහැති කන්ද මත ඉදිවුණු නිවෙස් සමූහය වඩාලාත් සුදු පැහැයෙන් යුත් පැල්ලමක් කන්දෙහි නිර්මාණය කළේය. කලාතුරකින්වත්  නැවක් යාත්‍රා කරවීමේ අවදානම ගැනීමට නාවිකයන් නොපෙළඹෙවූ ඒ භයංකර දියපහර මත සිය ආධිපත්‍යය පතුරවමින් ගල් පර්වතය මත ඉදිව තිබූ නිවාස සමූහය වනයෙහි වසන සියොතුන්ගේ කූඩු මෙන් පෙනිණි. නිරන්ත‍රයෙන් හැමූ සුළඟ මුහුද පීඩාවට පත්කොට තුනී තණ ආවරණයකින් වැසී තිබූ නිසරු වෙරළ තීරය ඛාදනයට ලක් කළේය. කඳු අතර වූ පටු ගැඹුරු දෙණියට කඩා වැදුණු සුළඟ එහි දෙපස වනසා දැමීය.  රළ පෙළ පරයා සෑම තැනකම නැගී සිටි නොගිණිය හැකි තරම් වූ ගල්පරවල කලු පැහැති මුදුන් වටා විසිරුණු පෙණ පිඬු , ජලය මතුපිට පාවෙමින් උඩ පහත යන කැන්වස් රෙදි කැබලි මෙන් පෙනිණි.

‍සවේරිනි වැන්දඹුවගේ නිවෙස ගල් පර්වතයේ කෙළවරේම පිහිටා තිබිණි. නිවෙසේ වූ ජනේල තුන අතරින් පෙනුණේ පෙරකී වියරු හුදෙකලා දර්ශනයයි. ඇය සිය පුතණුවන් වූ අන්තොන්ද බැටළුවන් බලා ගන්නා වර්ගයට අයත් වූ  දිගු අවුල්ව ගිය ලෝම සහිත විශාල සිහින් බැල්ලක වන සෙමියන්ත්ද සමග එහි ජීවත් වූවාය.  තරුණ අන්තොන් දඩයමේ යන විට බැල්ල රැගෙන ගියේය.

එක් සන්ධ්‍යාවකදී, දබරයකින් අනතුරුව, නිකොලා රවොලාති විසින් අන්තොන් සවේරිනිට  පිහියෙන් ඇන ඉතා නින්දිත ලෙස මරා දමනු ලැබිණි.  එදා රාත්‍රියේම නිකොලා  රවොලාති සර්දීනියාවට පළා ගියේය.

අවට බලා සිටියවුන් විසින් අන්තොන්ගේ මළ සිරුර ඔහුගේ මව වෙත රැගෙන එනු ලැබූ විට ඇය නොවැලපුණාය. එහෙත් දීර්ඝ වේලාවක් ඒ දෙස නිසොල්මන්ව බලා සිටියාය.  ඉන් අනතුරුව සිය රැළි ගැසුණු දෑත මළ සිරුර මතින් දිගහැර ඔහුගේ මරණයේ පළිය ගන්නා බවට දිවුරුවාය. කිසිවෙකුට තමා සමග ඉන්නට ඉඩ නොදී දොර වසාගත් ඕ  මළ සිරුරද උඩු බුරලන බැල්ලද  සමග ගෙතුළ තනි වූවාය.  ඇඳ පාමුල සිට සිය ස්වාමියා දෙස නෙත් අයාගෙන දෙපා අතර වල්ගය තදින් රුවාගත් බැල්ල නොනැවතී උඩු බුරුලෑවාය. බැල්ල එතැනින් සෙලවුණේවත් නැත. මළ සිරුරට උඩින් නැවී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් නිහඬවම මහා කඳුළු ගංගාවක් හෙලූ මවද එතැනින් නොසෙල්වුණාය.

ඉදිරිපසින් හරහට ඉරුණු සිදුරකින් යුත් ඝනැති ලොම් කබායක් හැඳ උඩුබැලි අතට වැතිරී සිටි තරුණයා පෙනුණේ හරියට නිදන්නාක් මෙනි. එහෙත් ඔහු‍ගේ සිරුරේ හැම තැනම රුධිරය තැවරී තිබිණි. තුවාලය ඔතන්නට කැබැල්ලක් ඉරා ගනු ලැබූ කමිසය, යටි කබාය, කලිසම, මුහුණ, අතපය මේ සෑම තැනකම රුධිරය තැවරී තිබිණි. ඔහුගේ රැවුලේද හිස කෙස්වලද මිදුණු රුධිර කැටිති විය.

මහලු මව ඔහුට කතා කරන්නට පටන් ගත්තාය. ඇගේ කටහඬ ඇසූ බැල්ල නිහඬ විය.

“ අනේ මගේ අසරණ පුංචි පු‍තේ මේකෙ පළිය මං ගන්නවා. නිදාගනිං පුතේ නිදා ගනිං මං මේකේ පළිය ගන්නවා. ඇහුණද මගේ පුතේ ? මං දිවුරනවා. පු‍තේ උඹ මගේ හැටි දන්නවා නේද ? මං කිවුවොත් දෙයක් ඒ දේ කරනවා.”

සෙමෙන් ඔහුට උඩින් නැවුණු ඇය ඔහුගේ මියගිය දෙතොල මත සිය ශීතල දෙතොල තැබුවාය.

ඉන් අනතුරුව සෙමියන්ත් නැවතත් උඩු බුරලන්නට විය.  ඇය දිගු, ඒකතානමය, හදවත පාරන සුළු, බිය ජනක හඬවල් නැගුවාය.

අන්තොන් සවේරිනිගේ මළ සිරුර පසුදා මිහිදන් කරන ලදී. වැඩිකල් යාමට මත්තෙන් බොනිෆාචියෝ නග‍රයේ ඔහු ගැන කෙරෙන කතාබහ නතර විය.

අන්තොන්ට සහෝදරයකුවත් සමීප ඥාති සහෝදරයකුවත් නොසිටි බැවින් ඔහුගේ ලේවල පළිය ගැනීමට පිරිමියෙක් නොසිටියේය. මහලු කාන්තාවක වූ ඔහුගේ මව පමණක් ඒ ගැන තදින් කල්පනා කළාය.

ඕඩයෙහි අනෙක් ඉවුරෙහි වෙරළ මත වූ සුදු පැහැ තිතක් දෙස ඇය උදේ සිට රෑවන තුරු බලා සිටියාය.  එය ලොන්ගොසාර්දෝ නම් කුඩා සර්දීනියානු ගම්මානයක් වූ අතර නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට පළා යන මං පහරන්නන්ට එහි පිළිසරණ ලැබිණි.  මේ කුඩා ගම්මානයේ සම්පූර්ණ ජනගහණය සමන්විත වූයේ මෙසේ නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට සර්දීනියාවට පළා ගිය මං පහරන්නන්ගෙනි. ඔවුහු මෙසේ සිය මවුබිමෙහි වෙරළට මුහුණ ලා ජීවත් වූ අතර පෙරළා මවුබිමට පැමිණීමට; කෝර්සිකා‍වේ වනාන්තරවලට පැමිණීමට සුදුසු වේලාවක් එනතුරු කල්යල් බලමින් හුන්හ.  නිකොලා රවොලාති ද සරණ ලබා ඇත්තේ මේ කුඩා ගම්මානයේම බව ඕ දත්තාය.

මුළු දවස පුරාම හුදෙකලාව ජනේලය අසළ වාඩිවී ගම්මානය දෙස බලමින් ඇය පළිගැනීම ගැන කල්පනා කළාය.  මරණයට මෙතරම් ළං වූ දුර්වල තමා මේ කාර්යය තවෙකෙකුගේ සහයක් නොමැතිව තනිවම කරන්නේ කෙසේද? එහෙත් පුතුගේ මළ සිරුර මත දිවුරා පළිගැනීමට ඇය ශපථ කොට තිබිණි. ඇයට එය අමතක කළ නොහැක. තවදුරටත් බලා සිටීමටද නොහැක. ඇය කරන්නේ කුමක්ද? රාත්‍රී කාලයේදී ඇයට නිදා ගැනීමට නොහැකි විය. නින්දවත් සිතෙහි සන්සුන්බවවත් ඇයට නැතිව ගියේය. ඕ මුරණ්ඩු ලෙස පළිගැනීමේ මගක් සෙව්වාය. බැල්ල ඇය‍‍ පා ළඟ වැටී නිදා වැටුණු අතර ඇතැම් විට හිස නගා බලා හිස් අවකාශයට උඩු බිරුවාය. දැන් සිය ස්වාමියා මියගොස් සිටි බැවින් බැල්ල බොහෝවිට මේ ආකාරයට උඩු බිරූ අතර ඇය එසේ කළේ ඔහු අමතන්නාක් බඳුව මෙන්ම සැනසිය නොහැකි සිය තිරිසන් ආත්මය තුළ ඔහු පිළිබඳ මැකී නොයන මතකයක් රැඳී ඇතිවාක් ද මෙනි.

එක් රාත්‍රියක සෙමියන්ත් උඩු බුරලන්නට පටන් ගත් විට  පළිගැනීමේ කැමති ‍රෞද්‍ර වනචාරියකුගේ සිතක ස්වභාවිකවම පහළ විය හැකි සිතිවිල්ලක් මවගේ සිතෙහි හට ගත්තේය. උදෑසන වන තුරු ඒ ගැන හොඳින් සිතා බැලූ ඇය අලුයමින්ම නැගිට පල්ලිය වෙත ගියාය. ගල් පොළොව මත දණගසා ගෙන යාඥා කළ ඇය සිය පුතණුවන්ගේ ලේවල පළිය ගැනීමට සිය දුර්වල සිරුරට ශක්තිය දෙන ලෙසද සිය කාර්යයේ දී තමාට දිරිය සහ සහය දෙන ලෙසද දෙවියන් ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා සිටියාය.  

ඉන් අනතුරුව ඇය නිවෙස කරා පෙරළා පැමිණියාය. බ‍ඳෙහි තැන් තැන්වලින් ඇතුළට එබී ගිය පැරණි පීප්පයක් මිදුලේ තිබිණි. එය වැසි ජලයෙන් පිරී තිබුණේය. පීප්පය හිස් කළ ඇය එය පොළොවෙහි ‍පෙරළා ලී කූඤ්ඤවලින් සහ ගල්වලින් එය බිමට තද කළාය. මෙසේ තනාගත් බලු කූඩුවෙහි සෙමියන්ත් දම්වැලකින් බැඳ දැමූ ඇය නිවෙස තුළට ගියාය.

ඉන් අනතුරුව ඇය සිය කාමරය තුළ නොනැවතී සක්මන් කළාය. ඇයගේ ‍දෑස සර්දීනියාවේ වෙරළ තීරය වෙත තවමත් එල්ල වී තිබිණි. මිනීමරුවා ජීවත් වූයේ එහිය.

මුළු දවස පුරාමත් රාත්‍රිය මුළුල්ලේත්  බැල්ල උඩු බිරුවාය. උදෑසන මහලු කාන්තාව භාජනයක දැමූ ජලය ස්වල්පයක් ඌට දුන්නද කෑමට කිසිවක් නොදුන්නාය.

තවත් දවසක් ගතවිය. අධික ලෙස වෙහෙසට පත් සෙමියන්ත් නිදාගෙන හුන්නාය. ඊළඟ දවසේ බැල්ලගේ දෑස දිලිසෙන්නට විය. කෙලින් වූ ලෝම සහිතව ඇය වියරුවෙන් මෙන් දම්වැල ඇද කඩන්නට තැත් කළාය. 

එහෙත් මැහැල්ල ඌට කෑමට කිසිවක් නුදුන්නාය. කුසගින්නෙන් උමතු වූ බැල්ල බැරෑඬි හඬින් බුරන්නට වූවාය. තවත් රැයක් ගතවිය.

දවස උදා වූ කල සිය අසල්වැසියාගේ නිවෙසට ගිය සවේරිනි වැන්දඹුව පිදුරු මිටි දෙකක් ඉල්ලා ගත්තාය. සිය මිය ගිය සැමියාගේ ඇඳුම් කිහිපයක් ගත් ඇය ඒවාට පිදුරු පුරවමින් මිනිස් රුවකට සමාන පඹයකු සෑදුවාය.

සෙමියන්ත්ගේ කූඩුව ඉදිරිපිට කණුවක් සිටවූ ඇය පඹයා ඊට තබා ගැට ගැසුවාය. දැන් එය සිටගෙන සිටින සෙයක් පෙනිණි. පැරණි ඇඳ රෙද්දක් ගුලි කොට ඇය ඊට හිසක්ද සවි කළාය.

කෙතරම් කුසගින්නෙන් සිටියද විමතියට පත් බැල්ල මේ පිදුරු මිනිසා දෙස නිහඬව බලා සිටියාය.

ඉන් අනතුරුව මස් කඩයට ගිය ඇය ඌරු ලේවලින් තැනූ කලු පැහැති දිග සොසේජස් කැබැල්ලක් මිලට ගත්තාය.  නිවෙසට පැමිණි ඇය මිදුලෙහි බලු කූඩුව ආසන්නයේ ගිනි ගොඩක් ගසා කලු සොසේජස් කැබැල්ල පුළුස්සන්නට වූවාය.  වියරු වැටුණු සෙමියන්ත් ඔබ මොබ පනිමින් මුවෙහි පෙණ නංවාගෙන දැඟලුවාය.  ඇයගේ බැල්ම මස් කැබැල්ල වෙත යොමු වී තිබුණු අතර පිළිස්සෙන මසෙහි සුවඳ ඇයගේ කුසෙහි පත්ළටම කා වැදුණේය.

දුම් දමන ‍සොසේජස් කැබැල්ල ගත් මැහැල්ල එය පිදුරු මිනිසාගේ ගෙල වටා පැළඳුවේය. එය සකස් කරමින් ඇය බොහෝ වේලාවක් ගත කළේ මස් කැබැල්ල ඉතා ‍හොඳින් පිදුරුවලට තබා තදකොට බඳිනු පිණිසය.  කාර්ය අවසන් කළ ඇය බැල්ල ලිහා දැමුවාය.

පඹයාගේ ගෙල වෙත වේගවත් පිම්මක් පිනූ බැල්ල සිය ඉදිරි ගාත් පිදුරු මිනිසාගේ උරහිස් මත තබාගෙන මස් කැබැල්ල සපන්නට විය. කැඩුණු මස් කෑල්ලක් මුවෙහි තිබියදී බැල්ල පසුපසට වැටුණාය. ඇය නැගිට යළිත් පිදුරු මිනිසාගේ උගුරු දණ්ඩ වෙත පැන්නාය. මස් කෑල්ල ගැට ගසා තිබූ නූල් කටින් කඩා දැමූ ඇය තවත් මස් කැබැල්ලක් ඉරා ගත්තාය. ඇය යළිත් වැටිණි. වියරුවෙන් මෙන් බැල්ල යළිත් මස් කෑල්ල වෙත කඩා පැන්නාය.

සිය විශාල මුවෙන් සපමින් ඇය පඹයාගේ මුහුණත් ගෙලත් කීතු කීතුවලට ඉරා දැම්මාය.

දිලිසෙන දෑසින් යුත් මැහැල්ල නිසොල්මන්ව නිහඬව ඒ දෙස බලාගෙන සිටියාය. ඉන් පසුව ඕ නැවතත් බැල්ල දම්වැලෙන් ගැට ගසා දෙදිනක් කුසගින්නේ තබා මේ අමුතු රංගනය නැවතත් රඟ දැක්වූවාය.

මාස තුනක් තිස්සේ ඇය බැල්ල මේ තියුණු දත්වලින් ඉරාගෙන ආහාර ගැනීමේ කාර්යයට පුහුණු කළාය. මැහැල්ල තවදුරටත් ඇය දම්වැලෙන් බැඳ දැමුවේ නැත. එහෙත් සංඥාවක් කළ පමණින් පඹයා වෙත කඩා පැනීම බැල්ලට පුරුදු කෙරිණි.

පඹයාගේ ගෙලෙහි ආහාර සඟවා නොතිබියේදීත් ඒ වෙත කඩා පැන ඉරා කන්නට මැහැල්ල ඇයට පුරුදු කළාය. බැල්ල හොඳින් සිය කාර්ය කළ විට මැහැල්ල ඌට පිසින ලද කලු ‍සොසේජස්වලින් සංග්‍රහ කළාය.

පිදුරු මිනිසා දුටු විගස සෙමියන්ත් වෙවුලන්නට පටන් ගන්නා අතර සිය ස්වාමි දියණිය දෙස බලන්නට පටන් ගන්නීය.  එවිට මැහැල්ල ඇඟිල්ලක් ඔසවා සිවුරුහන් හඬකින් ‘අල්ලපන්’ කියන්නීය. බැල්ල ඊට ප්‍රතිචාර දක්වයි.

නියම කාලය එළඹ ඇතැයි ඇයට වැටහුණු විට පවු ක්ෂමා කරගැනීමට ගිය සවේරිනි වැන්දඹුව එක් ඉරිදා උදෑසනක ප්‍රහර්ෂිත උනන්දුවකින් යුතුව සත්ප්‍රසාදය ලැබුවාය. ඉන් අනතුරුව මහලු හිඟන්නෙකුගේ බඳු පිරිමි ඇඳුම්වලින් සැරසුණු ඇය සර්දීනියානු ධීවරයකුට ඇවිටිලි කොට තමාවත් බැල්ලවත් ඕඩයේ අනෙක් ඉවුරට එතෙර කරවා ගත්තාය.

ඇය ගෙන ගිය කැන්වස් මල්ල තුළ විශාල කලු සොසේජස් කැබැල්ලක් විය. සෙමියන්ත්ට දින දෙකකින් ආහාර දී නොතිබිණි. ඇය සෑම මොහොතක් පාසාම මස් කැබැල්ල තිබූ මල්ල ඉව කරන්නට බැල්ලට දුන් අතර ඇ‍යගේ කුසගින්න එයින් දියුණු තියුණු විය.

ඔවුහු ලොන්ගොසාර්දෝ වෙත පැමිණියහ. කෝර්සිකානු ගැහැනිය යාන්තමින් නොන්ඩි ගසමින් සිටියාය.  අසළ බේකරියට ගිය ඇය නිකොලා රවොලාතිගේ නිවෙස තිබෙන ස්ථානය ගැන විමසා සිටියාය. වැද්දුම් ශිල්පියෙකු වු රවොලාති සිය පැරණි රැකියාව යළි ආරම්භ කොට තිබූ අතර  සිය සාප්පුවේ පිටුපස තනිවම වැඩ කරමින් සිටියේය.

දොර තල්ලු කොට විවෘත කළ මැහැල්ල ඔහුට කතා කළාය.

“ඒයි ! නිකොලා !”

ඔහු හැරී බැලුවේය. එවිටම බැල්ලගේ දම්වැල අත් හළ ඇය කෑ ගෑවාය.

“අල්ලපන්, අල්ලපන්, හපපං ඕකව ! හපපං ඕකව !”

දෑත ඉදිරියට දිගු කළ මිනිසා බැල්ල බදා ගෙන බිම පෙරලුණේය.  මිනිත්තු කිහිපයක් ඔහු සිය දෙපා බිම ගසමින් දඟලන්නට විය.  ඉන් පසුව සෙමියන්ත් ඔහුගේ උගුරු දණ්ඩ සපා එය කීතු කීතුවලට ඉරා දමන විට බිම හොත් ඔහුගේ සිරුර නොසෙල්වී තිබිණි.

සිය ස්වාමියා විසින් දෙන ලද දුඹුරු පැහැ යමක් අනුභව කරමින් යන සිහින් කලු බල්ලෙකු සමග දුගී මහල්ලෙකු දොරෙන් එළියට ආ බවක් තමාට යාන්තමින් මතකයැයි සිය දොරකඩවල් අසළ  වාඩි වී සිටි අසල්වැසියෝ දෙදෙනෙක් පසුව පැවසූහ.

එදින සවස මැහැල්ල පෙරළා සිය නිවෙසට පැමිණියාය. එදා රාත්‍රියේ ඇයට ඉතා හොඳින් නින්ද ගියේය.

 ගී ද මෝපසාං  (1850-1893)

පරිවර්තනය - රාජ්‍ය සම්මානලාභී පරිවර්තක නිලූක කදුරුගමුව

පරිවර්තන බ්ලොග් අඩවියෙන් https://nilukakadurugamuwa.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *